2013/10/29

150) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 5

පිළිකාව පිළිබඳ කතා කරන ලිපි මාලාවක අද පස්වන ලිපිය , මෙගා නාටකයක් වගේ කොටස් වශයෙන් ලියන්න වන නිසා , ලිපි අතර නිසි පරතරයක් තබා ගන්නට උත්සාහ කළත් , සියළු රාජකාරි අතරේ , බ්ලොග් ලිපි වෙතට යොමුවන්නට ලැබෙන ඉඩ දැන් දැන් සීමාවෙමින් පවතින නිසා , ලිපි පළවීම යම් ලෙසකින් පමා වන්නට ඇති , ඒ වගේම ,  මේ හේතුව නිසාම , සිංහල බ්ලොග් පරිශ්‍රය තුල සැරිසරන්නට , අදහසක් සටහන් කරන්නට හැකියාවක් නොලැබෙන තරම්. සොඳුරු සුව අසපුව වෙත පැමිණෙන , සිංහල බ්ලොග් ලේඛක මිතුරු- මිතුරියන් ඒ පිළිබඳව උදහස් නොවනු ඇතැයි විශ්වාස කරමි.

අද කතාව පටන් ගනිමු 


අද කතාව .....මෙතෙක් ආ මගේදී අප දැනගත්තානේ , පිළිකාවක් කියන අවස්ථාව හඳුනාගන්නා ක්‍රම කිහිපයක්  , සහ එම හඳුනාගැනීමේ කාර්යයේදී අදාල වගකීම් ගන්නේ කවුද කියන වග  . අද එතැන් සිට ...

රෝගියාගේ පවුලේ වෛද්‍යවරයා වෙත , අදාල පරික්ෂණ වාර්තා ලැබුණ පසු, අදාල තත්ත්වය පිළිකාවක් බව හඳුනාගෙන ඇත්නම් , සාමාන්‍යෙයන් කෙරෙන , කළ යුතු දේ තමා , පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත , නැත්නම් ඔහුගේ සායනය වෙත යොමු කිරීම . එතැනදි , පවතින රෝග තත්ත්වයට වඩාත්ම සුදුසු ප්‍රතිකාර සැළසුම පිළීයෙල කරන , අදාල විශේෂඥ වෛද්‍ය කණ්ඩායම( Medical Oncologist , Surgical Oncologist , Radiotion Oncologist)  , හැකි ඉක්මණින් අදාල සැලසුමට අනුව ප්‍රතිකාර කටයුතු ආරම්භ කරනවා . මෙතැනදි වෛද්‍ය සේවාව වගේම හෙද සේවය , වෛද්‍ය තාක්ෂණ ශිල්පී , වෘත්තීය චිකිත්සක , භෞත චිකිත්සක සේවාව වගේම , රෝහලේ අනෙක් සහායක සේවා වැනි අදාල අංශ ගණනාවක සහයෝගය හුඟක් වැදගත් වනවා. 

යුද්ධය සහ සාමය 

අපි දැනටමත් දන්නවා , පිළිකාවක් කියන්නේ , කිසිම පාළනයක් නැතිව වර්ධනය වෙමින් , සාමාන්‍ය දේහ පටක වලට හානි කරමින් වැඩෙන “අසාමාන්‍ය වර්ධනයක්“ කියල ...

දැන් මේ ප්‍රතිකාර වලදි ලබා ගන්නට අරමුණූ කිහිපයක් තිබෙනවා , ඒ තමා , තව දුරටත් පිළිකා සෛල බිහිවෙන එක නවත්වන එක , නැත්නම් පාළනය කරන එක.  දෙවැන්න , පවතින පිළිකා සෛල දේහයෙන් ඉවත් කරල , ඒවායින් ඇතිව තිබු ආපදා වේදනා සමනය කරන එක , තුන .... ප්‍රධාන පිළිකාවේ මුල් ඇදුනු තැන් ඇත්නම් ඒ මුල් සියල්ල ගලවල , විනාශ කරමින් , නැවත පිළිකාවක් ඇති වීමේ අවදානම හඳුනා ගැනීම සහ සීමා කරන එක ...අවසාන පියවර , පැවති තත්තවයත් එක්ක රෝගියාගේ බිඳු වැටුනු සෞඛ්‍ය තත්ත්වය නැවත යථා තත්ත්වයට හෝ ආසන්න තත්ත්වයට ළඟ කරදීම ...


ඇඟ ඇතුලේ ත්‍රස්තවාදය 

අපි තේරුම් ගන්න පහසුවට මෙන්න මෙහෙම කතාවට එමු , පිළිකා සෛල කියන්නේ “ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ“ ...රටේ නීතියට , සාමාන්‍ය පිළිගැනීම් වලට පිටින් කළබලකාර , විනාශකාරී කටයුතු වල යෙදෙන පිරිසක් .ඒ වගේම මේ අය මොනතරම් දරුණූ ද කියනවා නම් , අදාල රටේ ඉන්න හමුදාවට බැහැ මේ ත්‍රස්තවාදීන්ව විනාශ කරන්නට , දැන් මොකද කරන්නේ ...තීරණ දෙකක් තියෙනවා , එක ...රටේ හමුදාව , ත්‍රස්තවාදීන්ට යටත් වෙලා , රට ත්‍රස්තයන්ට දෙන එක ... නැත්නම් , වෙන ප්‍රබල රටක උදව් අරගෙන ත්‍රස්තයන්ව විනාශ කරල රට බේර ගන්න එක ...ඔය වැඩේමයි නේ අපේ ඇඟේ සිද්ධවෙන්නෙත් ..

මේ ත්‍රස්තවාදී පිළිකා සෛල හැදනේන පටන් ගත්තාම , අපේ ඇඟේ ඉන්න ආරක්ෂක හමුදාව වන සුදු සෛල , සුදු රුධීරාණූ හඳුනගන්නවා මේ “වෙනස් කළබලකාරයන්ව“ , හඳුනගෙන තමන්ට තියෙන ආයුධ වලින් පහර දීලා ඔවුන්ව විනාශ කරල දාන්න උත්සාහ කරනවා , මුලින් පුළුවන් වුනත් , ත්‍රස්තයෝ හරිම වේගවත් , සුදු හමුදාව , තමන්ගේ බලඇණිය ලොකු කරගන්න වේගෙට වඩා බොහොම වැඩි වේගයකින් ත්‍රස්තයෝ තමන්ගේ බලඇණීය ලොකු කරගෙන , එච්චරද , ... නෑ ...දැන් ඉතින් එයාල ඒ අවට තියෙන පටක වලට කරදර කරමින් ත්‍රස්ත කළාපය ලොකු කරගනිමින් ඉන්නවා . 


පිංතූරය www.sgul.ac.uk
මෙන්න මේ වෙලාවේ තමයි “ලොකු දොස්තර මහත්තයා “ මැදිහත් වෙලා , විදේශ යුධ ආධාර අරන් දෙන්නේ ... මුලින්ම කෆීර් ප්‍රහාර ....ඒ කීවේ ... පිළිකා ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රෙද්ශය , සීමාව , ත්‍රස්තවාදී ප්‍රමාණය එහෙම හොයාගෙන ,  (ඒකට ඔත්තු කියන්නේ මීට පෙර ලිපියේ කී පරික්ෂණ මඟින්) ... දෙනවා ගැමා විකිරණ වලින් ප්‍රහාරයක් Radiation therapy  .... මේ “කෆීර් ප්‍රහාරයත් “ එක්ක විනාශ වෙලා , කැඩිල බිඳල ගිය ත්‍රස්ත බලකොටුවට , දැන් විදේශ රටෙන් ගෙනා හමුදාව බිමින් ගිහින් පහර දෙනවා , යුධ ටැංකි , රොකට් වෙඩි දාල බලකොටුව බිමට සමතලා කරල දාන්නට කටයුතු කරන මේ කටයුත්තට අපි කියන්නේ  ශල්‍ය ප්‍රතිකාරය Surgical therapy කියලා .
ඔය විදියට බලකොටුවට විතරක් පහර දුන්නට මදි බව විශේෂඥයෝ දන්නවා , ඒ නිසා , රට පුරාම විදෙස් රටින් ආපු , හැංගිලා ඉඳල පහර දෙන  “බලකායක්“ යොදවල  තැන් තැන් වල හැංගිලා ඉන්න ත්‍රස්ත සෛල වලට පහර දීලා විනාශ කරනවා , Cytotoxic therapy කියන්නේ මෙන්න මේ බලකායට . සමහර වෙලාවට මේ බලකායට ඇත්තම පිළිකා සෛලය සහ  ඒවගේම කළබල කරන සාමාන්‍ය දේහ සෛල වෙන් කරල හඳුනගන්න බැරි වෙනවා , අන්න ඒ අත්වැරදීම් විදියට වදින පහරවල් නිසා තමයි මේ ප්‍රතිකාරය ගන්නා අයගේ කෙස් වැටීම වේගවත් වීම වගේ පොඩි කරදර ඇති වෙන්න ඉඩ තිබෙන්නේ   , සමහර අවස්ථාවල , මේ බලකායේ උදව්ව විතරක් ගන්න වෙන අවසථා වලුත් තිබෙනවා . වැදගත් දෙයක් කියන්න ඕන , මේ බලකා කිහිපයක් හිටියත් , හැම අවස්ථාවකම මේ සියල්ල යොදා නොගන්න හෝ , විවිධ එක්කිරීම් සහිතව ප්‍රහාර ලබා දෙන්නට ඉඩ තිබෙනවා , එය තීරණය වන්නේ  පිළිකාවේ වර්ගය , තත්ත්වය , පැතිරීම , රෝගියාගේ තත්ත්වය වගේ සාධක ගණනාවක් සැළකිල්ලට අරගෙන ...

මේ ප්‍රතිකාර ක්‍රම දෙකක්  ගැන මීට පෙර ලියල තිබෙන නිසා , නැවත නැවතත් එකම දේ සටහන් කරන්නට යන්නේ නැහැ , දැන ගැනීමට අවශ්‍යතාවක් ඇති ඔබට පහත ලිංක් ඔස්සේ ඒ ලිපි වලට යන්න පුළුවන් ...

විකිරණ ප්‍රතිකාරය ගැන http://www.nursinglk.com/2012/02/85.html
පිළිකා සෛල ධුළක ඖෂධ ප්‍රතිකාරය http://www.nursinglk.com/2011/08/42-chemotherapy.html



පිංතූරය www.rocketswag.com 
තුන් වැන්න , ශල්‍ය ප්‍රතිකාරය ගැන පොඩි දෙයක් හරි ලියන්න එපායැ නේද , ..ඔව් අපි දන්නවා ශල්‍යකර්මයකදි කෙරෙන්නේ , ශල්‍යගාර තත්ත්ව යටතේ , දේහයේ පටක විවෘත කිරීමක් කරල , යම් ශල්‍ය වෛද්‍ය පිළිවෙතක් කරන එක , ඒක සමහර විට පටක කොටසක් කපල ඉවත් කිරීමක් , නැත්නම් බද්ධ කිරීමක් , එහෙමත් නැත්නම් සිදුරක් හැදීමක් ... වෙන්න පුළුවන් . නමුත් පිළිකා ශල්‍ය ප්‍රතිකාරය , සාමාන්‍ය ශල්‍යකර්මයකට වඩා වෙනස්කම් තිබෙනවා. හේතුව , මේ වෛද්‍යවරයාට , තමන්ගේ සැත්කම් තලයත් එක්ක සටන් කරන්න වෙන්නේ , ඇහැට නොපෙනෙන තරමේ පුංචි ත්‍රස්තවාදී සෛල එක්ක  , අනෙක , ශල්‍යකර්මය කරත්දි වෛද්‍යවරයා උත්සාහ කරන්නේ , වැඩි කළබලයක් නොකර , මුළු ත්‍රස්තවාදි කඳවුරම “උගුල්ලලා  ඉවත් කරන්න“ ..සෑහෙන අපහසු කාර්යයක් , හේතුව බොහෝ අවස්ථාවල මේ පිළිකා කඳවුර , මුල් ඇඳල වට පිටාවට , එතැනදි , ඒ මුල් හොයාගෙන ,  පිළිකාවේ මුල් එක්කම ගලවල ඉවත් කරන එක තමා ඔහු කරන්නේ , එතැනදි , වැරදිලාවත් පිළිකා ත්‍රස්තයෙක් ඇඟ ඇතුලේ ඉතිරි නොවන විදියට ඉවත් කරන්නට තමයි වෛද්‍යවරයා උත්සාහ කරන්නේ . ඒ නිසාමයි , සාමාන්‍යෙයන් පිළීකා ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කරත්දි , ඊට යාබද , සාමාන්‍ය පටක සීමාවකුත් ඉවත් කරන්නට වෙන්නේ , ඒ , අර විදියට ත්‍රස්ත සෛල ඉතිරි වෙලා තිබුණොත් කියන අවදානම අඩු කරගන්නට . හැබැයි , පිළිකා ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ පුහුණූවක් නැති , විශේෂඥ ශල්‍යෙවෙද්‍යවරයෙක් මේ කටයුත්ත කරන්න ගියොත් , මේ පිළිකා ත්‍රස්ත කඳවුර උගුල්ලලා ගලවනවා වෙනුවට , ඒ තුල තිබෙන පිළීකා සෛල බාහිර අවයව වලටත් විහිදෙන්නටත් ඉඩ තිබෙනවා . 

මේ විදියට , පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් කළ යුතු මහාන්ත්‍ර පිළීකාවකට  , එසේ නොවන වෛද්‍යවරයෙක් මඟින්  ශල්‍යකර්මයක් කරගෙන [මුදල් කන්දරාවක් වියදම් කරමින් ]  , මහාන්ත්‍ර පිළිකාවට අමතරව තවත් උදරය ආශ්‍රිත ආපදා ගණනාවකට ලක් වෙලා , ජීවිතය පවා අවදානමට ලක්වුනු මවක් පිළිබඳ මතකය තවත් තිබෙනවා , වාසනාවට , මේ රෝගියා අපේ රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට යොමු කරවන්නට පුළුවන් කම ලැබුණු නිසා තවත් ශල්‍යකර්ම කිහිපයක අවසානයේ ජීවිත අවදානමින් මිදෙන්නටත් පසුව සුව තත්ත්වයට පත්වන්නටත් හැකි වුනා . හැබැයි , මේ මව අපේ පිළීකා විශේෂඥ වෛද්‍ය වරයාට යොමු වුනු අවස්ථාවේ , ටිකක් විතර කේන්ති යන එතුමා , පෙර ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමකින් කළ “සුද්ධ සිංහල පැහැදිලි කිරීම“ තවම මතකයට නැගෙනවා . 

මේ කියූ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුන , වෙන් වෙන්ව හෝ , බොහෝ විට බද්ධ ප්‍රතිකාරයක් ලෙස එක්ව ලබා දෙන්නටත් ඉඩ තිබෙනවා , එමෙන්ම මීට අමතරව , හෝමෝන ප්‍රතිකාර (විශේෂයෙන්ම පියයුරු පිළිකා , පුර්ස්ථ ග්‍රන්ථී පිළිකා අවස්ථා වල) , ප්‍රතිශත්කි වර්ධක Immunotherapy සහ තවත් අනුබද්ධ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා . 

ඊට අමතරව අද , ජාන තාක්ෂණය මඟින් “සැකසූ බැක්ටීරියාවන්“ භාවිත කරගනිමින් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා , දැනට සාර්ථක ප්‍රතිපල ලබා ඇතත් , ප්‍රතිකාරයක් ලෙස රෝහල් වෙත මේ අළුත් ක්‍රම එත්දි යම් කළක් ගියත් , එදාට වඩා සාර්ථක මට්ටමේ ප්‍රතිකාර පිළිකා සුව කිරීම සඳහා අද තිබෙන බව කියන්නට ඕන , ඒත් ප්‍රතිකාරයේ ඵලදායක බව රඳා පවතින්නේ පිළිකා වර්ගය වගේම පිළිකාව හඳුනාගන්නා අවස්ථාව කියන සාධක මත බවත් කියන්න සිදුවෙනවා , ඒ කීවේ අද , බොහොමයක් පිළිකා , මුල් අවස්ථාවෙම හඳුනාගෙන ප්‍රතිකාරයට යොමු වුනොත් , අවදානම සම්පුර්ණයෙන්ම නැති කරන්නට හෝ , සීමා කරන්නට හැකියාව තිබෙනවා . කළ යුත්තේ නිසි අවස්ථාවේ රෝගය හඳුනාගැනීමට පෙළඹීම සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම පමණයි ..

එහෙම නම් අදත් වෙනද වෙලාවටම ලිපිය අවසන් කරන්නට පුළුවන් වුනා වගෙ ....මේ ලිපි පෙළ කෙනෙක්ට “නොවැදගත් කියල “ දැනෙන්නට පුළුවන් ....මොකද ? අපේ පවුලේ කාටවත් ඔය ලෙඩ නැහැ .....අපට ඕව හැදෙන්නේ නැහැ ....

ඒත් අවදානමකට පෙර සූදානම පාඩුවක් වෙන එකක් නැහැ ...

එසේ නම් සුව සතුට පිරි දිනයක් ...

ලිපි වැලේ පෙර ලිපි 

පළමු ලිපියට ,http://www.nursinglk.com/2013/10/146-1-cancer-cancer-treatments-and.html
දෙවැන්නhttp://www.nursinglk.com/2013/10/147-2.html
තෙවැනි ලිපියට ,http://www.nursinglk.com/2013/10/148-3.html 
සිව්වැන්නට . http://www.nursinglk.com/2013/10/149-4.html