2013/10/10

146) විකුණන විකිණෙන - රිදවන වදදෙන ගැට - 1

අද ලිපිය “පිළිකා“ ගැන , ඇත්තෙන්ම කීවොත් “පිළිකා ප්‍රතිකාර“ ගැන . “සොඳුරු සුව අසපුව“ දිගටම කියවන ඔබ දැන් හිතාවි , “ මේ ගැන මීට ඉස්සර ලියල තියෙනවානේ ? ...ආයෙත් මොකද ? .“ කියලා .
පිංතූරය ගත්තේ www.boston.com පිටුවෙන් 


පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ ...., අද මේ කතාවට මූලික හේතුව , ෆේස්බුක් එක පුරා , ඒ වගේම විවිධ මාධ්‍ය ඔස්සේ , “පිළිකා සුව කරන බව කියන“ , විවිධාකාර “මැජික්කරුවන් “, “දොස්තර “ නම් භාවිතර කරන්නන් ,  අන්ධ භක්තියන් මුලා කරන “පුජකයන්“  පිළිබඳ අසන්නට , දකින්නට ලැබීම නිසා .මේ සියල්ල දකිමින් , අසමින් , තවත් අත , කට පියාගෙන ඉන්න එක , යම් අයෙක්ට , විශේෂයෙන්ම , “පිළිකා රෝගයකින් පෙළෙන රෝගියෙක්“ , සමහර විට , රෝගියාගේ ඥාතීන් වගේ කෙනෙකුට  අසාධාරණයක් නේද කියල හිතෙන නිසාමයි මේ අළුත් ලිපිය ලියැවෙන්නේ. 

 වෘත්තීය ජීවිතයේ , වැඩිම සතුටකින් රාජකාරි කළ ඒකකය වන කරාපිටිය රෝහලේ , පිළිකා (වෛද්‍ය/ශල්‍ය/ළමා) ඒකකයේ සේවය කළ වසර හතකට ආසන්න කාළය තුල , සිද්ධාන්තමය වශයෙන්ම වගේම , ප්‍රතිකාර කටයුතු වලදි ප්‍රායෝගිකව ලද අත්දැකීම් , මේ පිළිබඳ විශේෂඥයන් වෙතින් ලබා ගත් දැනුම වගේම ,රෝගයෙන් අසරණ වෙලා උන්නු , රෝගීන් සහ , ඔවුන්ගේ ඥාතීන් එක්ක ළඟන් කටයුතු කරත්දි ලැබුණු , මිළ කළ නොහැකි අත්දැකීම් යන සියල්ල ඔස්සේ තමයි ලිපිය කැටි කරන්නට උත්සාහ කරන්නේ , 
දැනට හිතේ තියෙන සැලසුමේ විදියට මේ මාතෘකාව , කොටස් කිහිපයක් ඔස්සේ ලියන්නට වේවි , සමහර විට මෙගා නාටකයක් වගේ වේවිද දන්නේ නැහැ ...


  • මුලින්ම පිළිකාවක් කියන්නේ මොකක්ද , ඒවායේ පොදු ලක්ෂණ මොනවද කියල කතා කරන්නයි හිතාගෙන ඉන්නේ , 

  • ඊළඟට , එහෙම පොදු නොවන , ඒත් දැන ගන්න ඕන සැක කළ හැකි ලක්ෂණ ගැන කතාවක් 
  • එයින් පස්සේ , රෝගියාට  පිළිකාවක් තිබෙනවා කියල කියන්න පුළුවන් කාටද , එහෙම කියන්න සාධක කරගත යුතු තීරණාත්මක කාරණා මොනවද කියන එක , 
  • තව තියෙනවා , ඒ තමයි පිළිකාවට බටහිර වෛද්‍ය ක්‍රමය අනුව අද තිබෙන ප්‍රතිකාර , සහ තාක්ෂණයන් , ඒවායේ සංකීර්ණ බව සහ සාර්ථක , අසාර්ථක බව   ,ඒ වගේම ඒ ප්‍රතිකාර ලබා ගැනීමට හරියට යායුතු කවර වෛද්‍යවරුන් ළඟටද ? .....( උදාහරණයක් ,ඕනම බටහිර වෛද්‍යවරයෙක්ම ශල්‍යකර්ම කරන්න පුළුවන් වුනත් ,  ශල්‍යකර්මයක් මඟින් සුව කළ හැකි පිළිකාවක් ඇත්නම් , වඩාත් සුදුසු එහි ශල්‍යය  , පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් මඟින් කරව ගන්න එක  ..ඔහුයි ඒ වෙනුවෙන් විශේෂඥ පුහුණුවක් ලබා තිබෙන්නේ  ) 
  • ඊළඟ නාටකය , පිළිකාවක් සුව කිරීම , පාළනය කිරීම කියන වචන සහ ඒ තත්ත්වයන් අගැයුම් කරන හැටි ..
  • එළිවෙන යාමෙට හොඳ හොඳ සෙල්ලම් කියල ...අන්තිම කොටස් වලදි තමයි අමාරුම වැඩේ ...ඒ කියන්නේ “අද ජනමාධ්‍ය මඟින්“ , ෆේස්බුක් වැනි මාධ්‍ය මඟින් , “පිළිකා සුවකරනවා “ යැයි කියා ගන්නා මැජික්කරුවන් කරමින් තිබෙන රැවටිලි  සහ ඒවායේ වෛද්‍යවිද්‍යාත්මක සිංසිද්ධි , සහ මේ වංචාවන්ට හසුවීමේ පලවිපාක ....මේකෙදි කතන්දර කීපයක් කියන්නත් හිතාගෙන ඉන්නවා ( කියන්න නම් ඇත්ත කතන්දර බෝමයි , ඒත් ඉන් කිහිපයක් විතරක් ලියන්නයි ඉන්නේ ) . 
සමහර විට මෙතැනදි කෙනෙක්ගේ හිත් රිදෙන්න පුළුවන් වුනත් , අද ලෝකයේ පිළිගත් , ඔප්පු කළ සාධක අනුව ඇත්ත කතාව කියන්න වෙනවා .
  • අවසන් කරන්න හිතාගෙන ඉන්නේ , පිළිකාවට ප්‍රතිකාර කළ හැකි  බව කියන , වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රම කිහිපයක් සහ ඒවායේ සාර්ථක අසාර්ථකතාවයන් ගැන සංෂීප්තයක් එක්ක , මෙතැනදි නම් ටිකක් විස්තර හොයා බලන්න වෙනවා , මොකද අපේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාත්මක පරිසරයක තිබෙන නිසා , අනෙක් පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලට ගැරහීමක් නොකර , අසාධාරණයක් නොකර කතා කරන්න නම් (  නැත්නම් අඩුම අසාධාරණයක් වෙන්න) අදාල ක්ෂේත්‍රෙය් පර්යේෂණ , දත්ත , තොරතුරු හොයල බලන්න වෙනවා . 
අපි උත්සාහ කරමු , ....(වාසනාවට වගේ මේ සති අන්තය දිගු සති අන්තයක් Long weekend ) , අපට පුළුවන් වේවි මේ කතාව ගෙනියන්න මේ ලිපි කිහිපය ඔස්සේ , ....ඒ ඔබේ අදහස් , යෝජනා , චෝදනා වගේම , මේ මාතෘකාවන්ට අදාල දත්ත , තොරතුරු, සිදුවීම් , සාධක සහිත ඇත්ත කතා වගේ දේවල් “සොඳුරු සුව අසපුවත් එක්ක “ බෙදා හදා ගන්න එක්වුනොත් ...


එහෙම නම් , මේ ආරම්භය ...

මුලින්ම අපි පටන් ගනිමු , පිළිකාවක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳළම ..

පිළිකාවක් කියන්නේ.......

පිළිකාවක් කියන්නේ , යම් සෛලයක පාළක ඒකකයේ (න්‍යෂ්ටියේ )  , හෝ ඊට අනුබද්ධ ව්‍යුහයක (ජාන) සිදුවන , අනපේකෂිත වෙනසක් නිසා , අදාල සෛලය , එහි නිසි පාළනයෙන් තොරව , අසාමාන්‍ය ලෙස , අක්‍රමවත්ව ,  , විකෘති  සෛල අධිකව බිහිකිරීමක් 


හැම ගැටයක්ම පිළිකාවක්ද ? 

මේක බොහෝ විට , ගෙඩියක් , තුවාලයක් ලෙසින් දකින්නට පුළුවන් වුනත් ,  හැම පිළිකාවක්ම ගෙඩියක් විදියට  දකින්නට නොලැබෙන්න පුළුවන් , ඔබ දන්නව , ලේ පිළිකාව නැත්නම් ලියුකේමියාව , අන්න ඒ වගේ අවස්ථාවක්. ඔය අතරෙම කියන්න ඕන , “හැම ගෙඩියක්ම , හැම ගැටයක්ම  පිළිකාවක් යැයි කියන්නට බැහැ , හේතුව අපේ ඇඟේ හැදෙන ගැටිති බොහොමයක් “පිළිකාමය නොවන “ නැත්නම් “අහිංසක“ ගැට Benign tumours  , සමහර විට ඔය අතේ පයේ ගැට වගේ හැදෙනව අපේ හමයට තෙල් තට්ටුවේ සිදුවන වෙනස්කම් ( Lipoma ) නිසා . ඒත් , අපි බෙහොමයක්, “බඩේ ගෙඩියක් , මොළයේ ගෙඩියක් කීව ගමන් හිතන්නේ “ ......“අපොයි පිළීකාවක් ! කියල ..නැහැ , මේ තියෙන්නේ ඒ විදියට පිළිකාවක් වීමේ හැකියාව ගැන අදහසක් ගන්න පුළුවන් සටහනක් , බලන්න , 
  Figure 1


හොඳ “හොඳ“ ගැට තිබේද ? 

එතකොට මේ “පිළිකාමය නොවන අහිංසක“ අය නිසා මොකද වෙන්නෙ , එයාලට මොකද කරන්නට පුළුවන් ? .. අහිංසක කීවට මෙයාල නිසාත් කරදර වෙනවා , උදාහරණයක් , මේ ගැට වලින් එන තෙරපීම නිසා , ස්නායුවක් , ලේ නහරයක් අවහිර වෙන්න , එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා කරන්න , බාහිර පෙනුම වෙනස් කරන්න , මොළයේ නම් , තාවකාළිකව පැත්තක් හිරි වට්ටන්න , පණ නැති කරන්න  වුනත් පුළුවන් , හැබැයි ........ මෙයා අහිංසක නිසාම , පහසුවෙන් ගලවල (ශල්‍යකර්මයකින්)  , නැත්නම් අකුළල (විකිරණ ප්‍රතිකාරයෙන්)  අයින් කරල දාන්න පුළුවන්.  තව විදියකින් කීවොත් , මේ ගෙඩි , ගැට වලින් ඇති වන ආබාධය ,අපහසුතාවය , සම්පුර්ණයෙන් සුව කරන්නට, එසේ නැතහොත් අවදානම සීමා කරන්නට  පුළුවන්. දැන් ඔය ගැහැණු දරුවන් , කාන්තාවන් හුඟක් දැනුවත් නිසා , “ගැට වැඩියිනේ “ , හැබැයි මේ පියයුරු ගැට වැඩි ප්‍රමාණයක්ම , සාමාන්‍ය අහිංසක ගැටිති , සමහර විට , අනෙකුත් සාධක ගණනාවක් සළකා බලල , මේ අහිංසක ගැටිති , ශල්‍යකර්මයකින් “ගලවල“ ඉවත් කරල දාන්න වෛද්‍යවරයා තීරණය කරන්න  පුළුවන් , එතැනින් ඒ ගැටේ ඉවරයි , 

හැබැයි ඔය ගැට කතාවෙදි මෙන්න මේ සුත්තරේ මතක තියා ගන්න එක වටිනවා ...
මොකක්ද ඒ ...

“හැම ගැටයක්ම පිළිකාවක් නොවුවත්  , පිළිකා විය හැකි ගැට තිබිය හැක“ 

ඒ කියන්නේ , ගැට , ගෙඩි කීව ගමන්ම “පිළිකා“ වචනේ දාගන්නේ නැතිව , එය පිළිකාමය හෝ පිළිකාමය විය හැකි තත්ත්වයේ එකක්ද ? නැත්නම් එය නිකම් අහිංසකයෙක්ද කියල දැන ගන්න , 

ඒ ගැටත් , මේ ගැටත් හැර තවත් ගැට තිබේද ? 
තිබේ , තිබේ ......ඒ කීවේ , පිළිකාවක මේ ගැට ලක්ෂණය තිබෙන්නත් නොතිබෙන්නත් පුළුවන් කියල අපි කීවනේ , මේ විදියට පිළිකාවක මතුවිය හැකි ලක්ෂණ , රෝගියාගේ වයස , පිළිකාවේ වර්ගය , තත්ත්වය , එහි පැතිරීම , වගේ සාධක ගණනාවක් නිසා ලොකු පරාසයක් පුරා විහිද යන්න පුළුවන් . ඒත් ඕනම පිළිකාවකදි බහුලක දකින්න පුළුවන් “පොදු ලක්ෂණ“ කිහිපයක් හඳුනගන්න පුළුවන් .

ඔය අතරින් මුලින්ම තියන්න පුළුවන් දේ තමයි අසාමාන්‍ය බර අඩුවීම , ඒ කීවේ , බර අඩු කර ගැනීම සඳහා යම් උපක්‍රම , ආහාර හෝ ව්‍යායාම චිකිත්සාවක් නොකළත් , මාස තුනක් වගේ ඇතුලත , දැනෙන තරමේ බර අඩු වීමක් , සමහර විට ඇහැට පෙනෙන තරමේ කෙට්ටු වීමක් , තමන්ගේ බර ගැන පොඩි හරි අවබෝධයක් තිබෙනව නම් , මෙහෙම කියන්න පුළුවන් දේහ බරින් 10%ක් විතර අඩුවෙනම නම් ....මේක ටිකක් හොයල බලන්න ඕන තත්ත්වයක් , මොකද පිළිකාවක් පවතිත්දි , එම පිළිකා පද්ධතියේ ( පිළිකා සෛල ගොනුව , සහ ඊට සම්බන්ධ පැතිරීම්) අධීක්‍රියාකාරිත්වය , ඒ සඳහා ශක්තිය වැය වීම  වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවන බිඳ වැටීම වගේම  , පිළිකා සෛල තුලින් නිපදවන සමහර රසායනිකයන් ( සයිටොකයිනීස් වැනි) මඟින් මේ කෙට්ටුවීම ඇති කරවන බවට පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. 

එයාට මෙයා උදව් කරනවානේ මෙයා ... 

ඔය පිළිකා සෛල මඟින් නිකුත් කරන රසායනික මඟින් දේහ බර අඩු කරවනවා කීවම , බොහොම උනන්දු වෙන පිරිසකුත් ඇති (බර වැඩිවෙලා අඩු කරගන්න දඟලන අය ...)  , හැබැයි ඔය හිතන වැඩේ හරියන්නේ නැහැ , මොකද මේ රසායනික නිසා , දේහයේ තවත් තැන්වලට ආපදා ඇති කරනවා , විශේෂයෙන්ම , මොළයේ සෛල වලට බලපාමින් අවපීඩනය වැනි ගැටළු පවා ඇති කරවන්නට මේ රසායනික වලට පුළුවන් . 

ඒ වගේම , සයිටොකයිනීස් වගේ , පිළිකා සෛල මඟින් හදන රසායනික , බර අඩු කරවන්න විතරක් නොවෙයි , තවත් දේකට හේතු වෙනවා , ඒ තමයි “කෑම අරුචිය“ ....හේතුවක් නැතිව ( ඒ කීවේ , බබා හම්බවෙන්න ඉන්න මුල් මාස වල සමහර කෑම වලට අරුචියක් එන එක ගැන කළබල වෙන්න එපා , ඒ වගේම සමහර බෙහෙත් බොත්දිත් කෑම අරුචිය එන්න පුළුවන් , ඒව ගැන නොවෙයි මේ කියන්නේ ) කෑම අරුචිය එනවා නම් , ඒ එක්කම අප්පිරියාවක් දැනෙනවා නම් , මේ තත්ත්වය ටික කළක් තිස්සේම තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන එක වටිනවා , මොකද මේ මුලින් කී රසායනිකය නිසාද කියන එක . 

එයාට නොගහ මෙයාට ගහන එයා  

අනෙක් පොදු ලක්ෂණ ගැන කතාවට පනින්න ඉස්සර වෙලා , මෙයා ගැනම ඒ කීවේ මේ සයිටොකයීනීස් (Cytokines)ල ගැනම කතා කරන්න හිතුන තව ටිකක් , මොකද දන්නවද ? ... සමහර බෙහෙත් , එහෙම නැත්නම් බෙහෙත් කියල කියන සංයෝග වල තිබෙන රසායනිකයන්ට පුළුවන් මේ සයිටොකයිනීස් කියන , ඇඟ කෙට්ටු කරවන , කෑම පිරිය නැති කරවන , පිළිකාසෛල විසින් හදන , රසායනිකයට පහර දෙන්න . ( ඔය සමහර “ගුලි“ වල තිබෙන ගංජා නමින් ගමේදි අපි හඳුන්වන “රසායනිකය Canabinoids“ අන්න ඒ වගේ එකක් , ) ඉතින් මේ “බෙහෙත දුන්නම“ මෙච්චර දවසක් ලෙඩා වෙලා හිටපු “පිළිකා ලෙඩා “ ..මෙන්න දැන් පණ ඇවිත් , ...හොඳට කෑම කනවා , කෙට්ටු වෙලා ගිය ඇඟ දැන් ආයෙත් පිරීගෙන එනවා , බර වැඩිවෙලා , ටිකක් ඇඟ පණ ගහල එනවා ..........ඔය ටික දැක්කම දැන් කියනවා , 
“දැන් ලෙඩාගේ පිළිකාව හොඳයි .....මේ ඇස්පනාපිටම දැක්කනේ මගේ බෙහෙතේ වැඩ ....ආයේ ඉතින් මොනාද ..මම තමයි ලෝකෙ ඉන්න , පිලිකා හොඳ කරන එකම කෙනා ......“

හැබැයි හොඳට මතක තියා ගන්න ඕන දෙයක් , ඔය ගුළියේ තිබුණු , බෙහෙතට පුළුවන් එකම දෙයයි , ඒ පිළිකා සෛල වලින් එළියට දාන , “කුණු ටික“ පුච්චන්න විතරයි , ඇත්ත , මේ කුණූ ටික පිච්චුවම , “ගඳ“ අඩුවෙනවා , ඒ කීවේ කෑම කන්න පුළුවන් වෙනවා , බර වැඩිවෙනවා ........ ඒත් “කුණූ හදන ෆැක්ටරිය, පිළිකාව“ තවම වැඩ ....වෙනද වගේ එළියට නොදැනුනත් , ඇතුලේ එයාගේ වැට කොටස කරගෙන යනවා , හේතුව ඒ පිළිකා සෛල වලට පහර දෙන්නට මේ එළීයෙන් දීපු “බෙහෙතට“ බැරි නිසා .

උණ , මද උණ , සැඟ උණ 

පිළිකාවක පොදු ලක්ෂණ කතා කරත්දි ඊළඟට හඳුනගන්න පුළුවන් තත්ත්වයක් තමයි උණ . දැන් මෙතන උණ කීවට , බොහෝ විට මේක දවස පුරාම තියෙන “මද උණ“ ගතියක් වෙන්න පුළුවන් , නැත්නම් දැනෙන “තද උණක්“ වෙන්නත් පුළුවන් , සමහර අවස්ථාවන , බොහොම දරුණූවට දැනෙන සහලෝල ගන්න උණක් වෙන්නත් පුළුවන් , කොයි විදියට උනත් , පිළිකා සෛල වලින් නිකුත් කරන විවිධ රසායනික “අපද්‍රව්‍ය“ වල බලපෑම , රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වල වීමත් එක්ක , විවිධ විෂබීජ “වැඩ කාරයන් වෙලා “ ආසාදනයන් ඇති කිරීම , එහෙම නැත්නම් “පිළිකා ගෙඩිය“ නිසා අවහිර වීමක් වෙලා , එතැන ඇතිවන ප්‍රදාහයක් නිසා , ඔය වගේ හේතු ගණනාවක් නිසා මේ “උණ“ ඇති වෙන්නට පුළුවන් . ඔය උණ හෙම්බිරිස්සාවත් එක්ක එන උණට වඩා වැඩි කාළයක් මේ උණ ගතිය තිබෙන්න පුළුවන් , හැබැයි අර ගැට සූත්තරේ මෙතනටත් අදාලයි ...ඒ නිසා පොඩි උණක් ආ ගමන් , ලෝකේ පෙරළගෙන කළබල වෙන්න එපා ....

හිතට ගන්න ඕන රිදවිල්ලක්  

අපි දැන් දන්නවනේ  , පිළිකාව “ගෙඩියක් “ විදියට මතුවෙන්න පුළුවන් කියලා , ඔය ගෙඩිය නිසා මොකද වෙන්නේ , ඊට වටේ තිබෙන අවයව , පටක තෙරපෙන්න පටන් ගන්නවා , සාමාන්‍යෙයන් නොවිය යුතු , ඒත් මේ පිළිකාව නිසා සිදුවන මේ තෙරපිල්ල, ඒ ආසන්නයේ ඉන්න ස්නායු විසින් හඳුන ගෙන කියනවා , “ඉන්න බෑ හරි කැක්කුමයි“ .... විශේෂයෙන්ම , ඔය පණිවිඩ  ගෙනියන ස්නායුවක්ම තෙරපුනොත් , තවත් කරදර ගොඩයි , ඒ විතරද , මේ පිළිකා ගෙඩිය , ලොකු වෙත්දි , අවට පටක තුලට “හාරගෙන මුල් බහිනව“ , එතැනදිත් ස්නායු , අවට පටක වලට තුවාල , කරදර වෙනවා ,අන්න ඒ වෙලාවත් “කැක්කුම“එන්න පුළුවන් . පිළිකා ගෙඩි විතරක් නෙවි , අපේ අස්ථී වල හැදෙන එක්තරා පිළීකාවකදි Multiple Myeloma , සිදු වෙන්නේ , අපේ ඇට කටු දිරන එක , එතකොටත් කැක්කුම එන්න පුළුවන් , විශේෂයෙන්ම , තුනටියෙ හරියේ කොඳු ඇට දිරුවට අපේ ඇඟේ බර දරාගන්න බැරිව , ඒ දිරපු ඇට ඇකිළිලා , එයත් එක්ක ඉන්න ස්නායු තෙරපෙත්දි , මේ කැක්කුම , කොන්දේ කැක්කුමක් විදියට එන්න පුළුවන් .   ලොකු කතාව , පොඩි කළොත් මෙන්න මෙහෙම , ....හඳුන ගන්න හේතුවක් නැතිව , ටික කළක් තිස්සේ , වේදනාව පවතිනවා නම් , විශේෂයෙන්ම එක කොටසක , පැත්තක ,  .... ගනනකට නොගෙන ඉන්න එපා , මේක ගැන හේතුවක් දැන ගන්න එක වටිනවා . 


වේදනාව  ගැන කතා කරලා අද ලිපියට අවසන් තිත තියන්නයි කල්පනාව , එක හේතුවක් දැන් වෙලාව ..රෑ දෙකයි ...වේදනාවක් නැතත් , දැන් නම් නිදිමතයි ...අනෙක් කාරනේ තව ලිවුවොත් මේක “සෙල් ලිපියක්“වෙලා පොළොව යටට ගියා වගේ තියේවි , මොකද බ්ලොග් එකට ඇවිත් බැලුවම “මාගලක් වගේ පෝස්ට් එකක්“ කියවන්න හිතෙන එකක්යැ නේද ? ...අනෙක ඉතින් මේ පෝස්ට් වල “රසකාරකත්“ නැති එකේ ..... 

එහෙම නම් , මෙයටම සම්බන්ධ ඊළඟ ලිපියෙන් හමුවන තුරු ආයු බෝ වේවා .....සුව සතුට පිරි දිනයක් ..

8 comments:

  1. බොහොම හොඳ දැනුවත් කිරීමක් . පිළිකා සම්බන්ධ ලිපියක් ඔබ ලීවොත් අනිවාර්යෙන් එය කියවනවාමයි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි ,මේ මාතෘකාව තමා මගේ කැමතිම මාතෘකාව , උත්සාහ කරනවා ඉදිරි දින කිහිපය තුල මේ මාතෘකාව ගැන අද කතා කළ යුතුම කරුණූ කිහිපයක් විස්තර කරන්නට ,

      Delete
  2. මේ වෙත්දි ඔබෙ සියළුම ලිපි කියවා අවසන්.. බොහෝම පින් අපිව දැනුවත් කරනවට.. හැකිනම් ෆයිබ්‍රොයිඩ් ගැනත් ලැපරස්කොපි පරීක්ෂණය ගැනත් කියා දෙන්න ඉදිරියේදී..

    - ශ්‍රී

    ReplyDelete
    Replies
    1.  මේ පිටු පුරවමින් අකුරු කරන්නට , වැය වන කාළය , වෙහෙස , අපතේ නොගිය බව දැනෙනවා ඔබේ අදහසින් , එය මට සතුටක් .
      ස්තුතියි  ,ඒ වගේම මේ ලිපි පෙළ අවසන , ඔබේ මාතෘකාව ගැන සටහනක් එක් කරන්නම් .

      Delete
  3. best post.....matath getaluwak thiyenawa...hiv aasadithayaku nirogee kenekuge shisnayak muwa thulata geneemen nirogee kenata virus eka asadanaya wenna puluwana?

    ReplyDelete
    Replies
    1. අවදානමක් තිබේ , හේතුව , මුඛය තුල ඇති ශ්ලේශ්මල පටලයේ තිබිය හැකි අපට නොදැනෙන තුවාල , බිඳීම් තුලින් වෛරසය දේහ ගත වීමට අවදානමක් ඇත . එමෙන්ම , කරුණාකර මෙවැනි , ලිපියට සෘජුව අදලා නොවන ගැටළු , “සුව විමසුම“ පිටුව තුලට යොමු කරනවා නම් එය පහසුවක් මෙන්ම , තව අයෙක්ට උපකාරයකද වනු ඇත .
      ස්තුතියි ඔබට

      Delete
  4. මං නං ඉතිං කොහොමත් කියවනවනෙ... හි හි... හැබැයි මේ හොර දොස්තරලා කරන වැඩ ගැන ලියන එක නං හරි වටිනවා... මොකද ඒවයින් ගොඩක් අයට වෙන්නෙ ආ දැන් හොඳයි කියලා ඉඳලා අන්තිමට ලෙඩේ ගොඩ ගන්නම බැරි වෙන්න වැඩි වෙන එක.. අපි කිව්වට ගනං ගන්නෙත් නෑ... මේවා ගැන දන්න කෙනෙක්ම කියන එක හොඳයි...

    ReplyDelete
  5. “මොකද ඒවයින් ගොඩක් අයට වෙන්නෙ ආ දැන් හොඳයි කියලා ඉඳලා අන්තිමට ලෙඩේ ගොඩ ගන්නම බැරි වෙන්න වැඩි වෙන එක“ ...මෙන්න මේකයි ඇත්තටම හුඟක් වෙලාවට සිදුවෙන්නේ , මෙවන් තත්ත්වයට පත්වුනු සෑහෙන පිරිසකගේ අත්දැකීම් ලැබිලා තියෙන නිසා , මේ ගැන නොකිය ඉන්න එක වරදක්ය කියන හැඟිමක් ආ නිසාම ලියන්න පටන් ගත්තේ .., දිග නිවාඩුවේ ලිපි දෙක තුනක්වත් publish කරනවා කියල හිතුවට , දිග නිවාඩුව තමා අවිවේකීම වුනේ ....
    ස්තුතියි හිරූ ..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)