2016/05/15

203) වටිං ගොඩිං කතා කියන පිටිං ඉඩීමා

පහුගිය කාළේ හැංගිලා හිටිය ඉර දැන් ඉතින් සැරට වැඩ පටන් අරගෙන. කොළ නැතිව තිබුණූ “ගස්“ සුන්දර කොළ පාට සළු වලින් එතිලා. සුදුපාට , මඩ පාට වෙලා තිබුණු බිම දැන් සීතල තණ නිල්ලක් වගේ. අළුත් කොළ දළු , පැය දොළහකටත් වඩා අපිත් එක්ක ඉන්න ඉර එළිය අමුතු ප්‍රබෝධයක් ගෙන දෙන්නේ. එහෙම දවසකටත් ගේ අස්සට වෙලා ඉන්න පුළුවනෑ.

හැම සති අන්තයක වගේම මේ සති අන්තයෙත් ටිකක් ඈත ලස්සන පරිසරයකට ගියා. ගමන ටිකක් දුර උනත් , ඒ සුන්දරත්වය නම් ඉහළයි. කෙල්ලො දෙන්නටත් ඇති කියන්න දඟලන්න පුළුවන් තැනක්. ආපු වෙලාවේ ඉඳළ දැඟලිල්ල ,

“තාත්තී , මේ trail දිගේ යමුද ? ලස්සනයි වගේ පහළට යත්දි“ පොඩ්ඩි හරි කළබළේ .
“පොඩී , තවම ඔය පාර සුද්ද කරල හදල නැහැනේ , මොක්කු ඉන්නවද දන්නෑ “ අම්මගෙන් උත්තරේ ලැබුණ.
“අනේ අපි යමු කෝ, මං ඉස්සර වෙන්නම් ,‍නේද අක්කේ“



මේ තමයි සොඳුරු සුව අසපුවට
“කතා හදන“ , “කතා ලියන“ අපි
තවමත් සමර් එකෙ වැඩ කටයුතු ආරම්භ නොකරපු නිසා සමහර මං නිසි ලෙසින් පිරිසිදු කෙරිලා නැහැ .හැබැයි කියවත් වගේ ලස්සන Hiking trail  එකක් .

කෙල්ලො දෙන්නයි අම්මයි ගමන පටන් ගනිත්දි මම වට පිටාවේ තියෙන සුන්දර දසුන් ටිකක් කැමරාවට හසු කරගත්තා.ටිකෙන් ටික ඉදිරියට ගියා . ටික වෙලාවක් ගියා , මෙන්න කට්ටියම පණ එපා කියල දුවගෙන එනවා !
“මොකද කළබලේ !  “
මී මැසි ප්‍රහාරයට පෙර ! 
“මී මැස්සෝ ! ,“
කොහොම හරි කළබලේ අස්සෙ පොඩ්ඩිගේ කකුලට මී මැසි ප්‍රහාරයකුත් එල්ල වෙලා ,

ආයෙත් ඒ පාරෙන් යන එක හිතින් අත ඇර , වට පිටාවේ සුන්දරත්වය විඳිමින් ඉඳළ ගෙදර එත්දි රෑ අටයි . “අවුලක් නෑ තවම අව්ව තියෙනවනේ“ .
“මේ , මගේ කකුල ඉදිමිලා , පොඩ්ඩි හිනා වේවී , අක්කට පෙන්නනවා  “
“හ්ම් ඕක ගනන් ගන්න එපා , දැන් ඔතන white blood cells ලා වැඩ , ඒකයි ඔය ඉදිමිලා තියෙන්නේ“ ලොක්කි ටික්ක ලොකු උත්තරයක් දුන්න.

දවස ගෙවිලා ගියා , අද නම් ඉරිදා, පහුගිය සිකුරාදා වෙත්දි මේ බ්ලොග් පිටුවට හරියටම අවුරුදු පහක් පිරුණා, 2011 මැයි මාසේ 13 දා වෙනත් අරමුණක් එක්ක පටන් ගත්තු “සොඳුරු සුව අසපුව“ ටිකක් වයසට ගිහින් , සතුටක් දැනෙනවා. ඒ සතුටේ ගෞරවය යොමු කරනවා ඔබට , මක් නිසාද ඔබ නොවන්නට මේ ලියවිලි දෙසීය නොවන්නට තිබුණා.


කෙසේ වෙතත් මේ කතා අස්සේ අද අලුත් ලිපියකට මුල පුරන්නයි මේ උත්සාහය. අද කතාව “ඉදිමීමක්“ ගැන.

අපි දන්නවනේ ඉදිමීම ගැන ඕන තරම් , කකුල් , අතපය , බඩ , ඇස් විතරක් නොවෙයි ඔළුවත් ඉදිමෙනව නොවැ. “ඕනවට වඩා , එක් රැස් වුනාම“ තමයි මේ ඉදිමීම් වෙන්නෙ . විද්‍යාත්මකව කෙටියෙන්ම කිව්වොත් “පටක අතර ඕනවට වඩා තරලය රැස් වුනොත්“ ඉදිමීමක් ඇති වෙනවා.

මේ විදියට ඉදිමීමක් අැති වෙන්නට හේතු කාරක මොනවාදැයි හොයල බැලුවොත් , අවස්ථා ගණනාවක් ගැන කතා කරන්නට පුළුවන් වේවි. ඉන් ප්‍රධාන අවස්ථා අතරේ , අදාල ප්‍රෙදේශයෙ දේහ පටක වලට සිදුවන අනතුරක් , අසාත්මික තත්ත්වයක් නැත්නම් එහි ඇති වන ප්‍රදාහික තත්ත්වයක් තමයි හේතුව. අපි පොඩ්ඩක් මතක් කරගනිමු තුවාලයක් වෙච්ච දවසක් , පැය කිහිපයකට පස්සේ ඒ තුවාලය වුනු තැන , අවට ඉදිමෙන්න පටන් ගන්නවා , රතු වෙනවා , රිදෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩිට වගේ මී මැස්සෙක් ඇන්න නම් , ඒ ඇනුුුුම සිදුවුනු තැන වටාත් ඉදිමෙනවා. මේ අවස්ථා දෙකේදිම වගේ ඉදිමීම ඇති වෙනවා නොවෙයි , අපේ ඇඟෙන් “ඇති කරනවා“ . මොකද තුවාලයක් , මී මැසි ඇනුමක් වගේ අවස්ථාවක , පටක තුවාල වෙනවා, ඒ වගේම “අපේ නොවන විවිධ ද්‍රව්‍ය , ප්‍රෝටීන වර්ග , රසායනිකයන්“ අදාල පටකයට බාහිරින් ඇතුළු වෙනවා. මේ “හතුරන්“ නසා ලීම තමන්ගේ මූලික කාර්ය කරගත්තු “සුදු රැධීරාණු “ ඔය කරදර වෙච්ච පටක වලට ඉක්මණට ළං වෙනවා. හැබැයි සුදු රැධිරාණූ හමුදාවට , ආපදාවට ලක් වෙච්ච ප්‍රෙද්ශ වලට ( මේක ලියත්දි මතක්වුනේ ලංකාවේ බොහෝ ප්‍රෙද්ශ වලට වැස්සත් එක්ක අවදානම් ඇතිවෙලා තිබෙන බව දැක්ක, පරිස්සම් වෙන්න ) ලංවෙන්න ලේසි කරන්න වටේ ඉන්න ලේ නාල , තමන්ගේ බිත්ති හරහා තරලය පටක අතරට කාන්දු කරන එක වැඩි කරනවා , දැන් මේ කාන්දු වෙන තරළය ඔස්සේ “සුදූ“ ලට ඉක්මනට අවශ්‍ය තැනට ගිහින් වැඩ පටන් ගන්න පුළුවන්. සාමාන්‍යෙයන් මෙහෙම කාන්දු වෙන තරළය නිසා තාවකාළිකව ඉදිමීමක් ඇති වුනත් , වටේ ඉන්න වඩා නාලවලින් ආයෙත් අර අමතර තරලය උරා ගන්න නිසා පැය කිහිපයකට පස්සෙ ඉදිමීම බැහැල යනවා.

නමුත් !

මේ පිටිං ඉඩීමා
ඔය කිව්ව කාරණේට වඩා ටිකක් වෙනස් හේතු නිසාත් ඉදිමීම ඇති වන්න පුළුවන්, මතකනේ දවස පුරාම ඇවිද හවස ගෙදර ආවම , එහෙම නැත්නම් පැය දොළහක් විතර හිටගෙන කරන රාජකාරියකින් පස්සෙ (මටනම් මතක් වෙන්නේ ඒ දවස් වල පිළීකා ඒකකයේ කරපු සුන්දර යුද්දේ) කකුල් ඉදිමිලා තියෙන්න පුළුවන්. පාද දෙසට යන ලේ , නැවත හෘදය වෙතට එන ගමනේ ඇති වන තාවකාළීක පමාවක් නිසා ඇති වන මෙම තත්ත්වය ඉක්මණින් නැවත සාමාන්‍ය අතට පත්වුනත් , එවන් හඳුනාගන්න පුළුවන් හේතුවක් නැතිව , පාදයේ වළලුකර දෙපැත්ත ඉදිමිලා නම් ( පාද දෙකේම එක ලෙස පවතීනම්)  , ඒ එක්කම ඒ ඉදිමිනු තැන ඇඟිල්ලේන් තද කළාම , ටික වෙලාවක් යනකම්ම එබිලා තියෙනවා නම් මේ තත්ත්වය ගණන් නොගෙන ඉන්න හොඳ අවස්ථාවක් නෙවෙයි. මේ විදියට ඇඟිල්ලෙන් තද කළාම එබිලා ටික වෙලාවක් තිබෙන ඉදිමීම් වලට වෛද්‍ය විද්‍යාෙවදි කියන්න් Pitting edema “පිටිං ඉඩීමා“ කියලා. මෙහෙම වෙන්න තවත් හේතු තියෙන්න පුළුවන් වුනත් , මේ එක්කම කැස්සක් , හුස්ම ගැනීමේ අමාරුවක් , වෙනදට වඩා අසාමාන්‍ය මහන්සියක් දැනෙනවා නම් හොයල බලන එක වටිනවා. මොකද හෘදයේ පේශී වල ක්‍රියාකාරීත්වය දුර්වල වුනාම මේ අවස්ථාව දකින්න පුළුවන් . මේ එක්කම පපුවේ කැක්කුමකුත් එනවා නම් කළබල නොවී , ලට්ට ලොට්ට කර ගහගන්නෙ නැතිව , තව කෙනෙක්ගේ උදව් ඇතිව , වාහනයකින් රෝහලට ගිහින් , රෝද පුටුවක් උදව් කරගෙන දොස්තර මහත්තය ගාවට යන තරමට වටිනවා. මොකද Heart  failure කියන රෝගී තත්ත්වයදැයි ‍නොවේදැයි හරියටම තහවුරු කරගන්න එක වටින නිසා.හෘදය ආශ්‍රිත ගැටළු වලදි විතරක් නොවෙයි , අක්මාව , වකුගඩු සම්බන්ධ රෝග වලදිත් , පෝෂණ ඌණතා වලදිත් මේ විදියට කකුලු දෙකේම  ඉදිමීම එන්න පුළුවන්.

හැඩ .....සපත්තුව
හැබැයි ඉතින් ගර්ණනී මවකගේ කකුල් මේ විදියටම ඉදිමෙන්න පුළුවන්, ඒ නම් ඇගේ දේහයේ රැධීර පරිමාව වගේම රැධීර පීඩනයත් , ලේ වල සංයුතියේ සිදුවන යම් වෙනකම් නිසාත්. එහිදි හුඟක් වෙලාවට පාදයේ ඉහළ කොටස් වල තමයි ඉදිමීම ඇති වන්නේ.එහෙම වුනොත් නම් පාද වලට ටිකක් ව්වේකය දීල , විවේක ගනිත්දි , නිදාගනිත්දි පාද  යටින් මෘදු කොට්ටයක් තියල ඉහලට ඔසවල තියන්න පුළුවන්. තද නැති , සුව පහසු පාවහන් පැළදීම වගේම ,උපදෙස් පරිදි ව්‍යායාමයන් කිරීම ,  හුඟක් තද නැති ඇදුම් වලිනුත් ලොකු උදව්වක් වේවි. කෑම බීමෙදි , වෛද්‍ය උපදෙස් නිවැරදිව අනුගමනය කරන්න , ලුණු , දියර ජාති ගන්න ඕන ප්‍රමාණ ගැන අකුරටම සැළකිලිමත් වුනොත් පාද වල ඇති වන අපහසුතාව අවම කරගෙන දරු පැටියා වෙනුවෙන් කාළෙ ගත කරන්න පුළුවන්.නමුත් ඊට අමතරව පෙර කී ලක්ෂණ , එහෙම නැත්නම් කකුල රතු වෙලා , කැක්කුමක් තදි්න එනවා නම් “ඕක ඇරිලා යයි“ කියමින් බලා ඉන්න එපා.

ඔය කිව්වේ පාද දෙකම ගැන නේ , නමුත් සමහර වෙලාවට එක පාදයක විතරක් ඉදිමීම ඇති වෙන්න පුළුවන්. තුවාලයක් , බිඳීමක් වගේ දැනෙන අවස්ථාවක් නොවේ නම් ඒ ගැන ටිකක් සොයල බලන එක වැදගත් වේවි. හේතුව තමයි පාදය ආශ්‍රිතව තිබෙන ශිරා වල ගැටළු , සහ වසා ග්‍රන්ථි ආශ්‍රිත ප්‍රශ්න නිසා මෙවන් තත්ත්වයක් ඇතිවීමේ අවස්ථාව වැඩියි. අපි “නහර ගැට ගැහිලා කියන “ ගැටළුව වගේම  , ශිරා ඇතුලේ “දිග පණුවන් වගේ “ ලේ කැටි ඇතිවෙලා ජීවිත අවදානම් ඇති කරන Deep Vein Thrombosis DVT තත්ත්වයේදිත් , වසා ග්‍රන්ථී ආශ්‍රිතව මතුවන පිළිකාමය හෝ නොවන තත්ත්ව වලදිත් එක් කකුලක ඇති වන මෙවන් ඉදිමීම් දකින්නට පුළුවන් නිසා.

වසා ග්‍රන්ථී වල ගැටළු නිසා පාද විතරක් නොවෙයි අත්වලත් ඉදිමීම් ඇති වන්න පුළුවන්. ඔබට මතක නම් පියයුරු පිළිකාවක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වුනු කෙනෙක් , ශල්‍යෙයන් පසු මුල් කාළයේ ඇයගේ අත් වල ඉදිමීමක් අැති වෙන්න පුළුවන් , ඒ අදාල ශල්‍යකර්මයේදි , පියයුරේ කොටස් වගේම , ඊට සම්බන්ධ වසා ගැටිති නාල ( කිහිල්ල ආශ්‍රිතව තිබෙන) ආදියත් ඉවත් කෙරෙන නිසා. ඔවුන්ට පසු ශල්‍ය සාත්තුවේදි කියා දෙන ව්‍යායාම , නිවැරදි ලෙස කිරීම හුඟක් වැදගත් මේ ඉදිමීමේ අපහසුතාව අවම කරගන්නට.

අත් කකුල් විතරද ඉදිමෙන්නෙ  , ඇයි එකතොට “බඩ“ . බඩ ඉදිමෙන්නෙ ඉතින් “බඩ පැලෙන්න කෑවොත්නේ“ නේද ? .ඔව් එතකොටත් ඉදිමිලා වගේ තමයි . හැබැයි අක්මාව ආශ්‍රිතව  ඇතිවන සිරෝසිස් සහ පිළිකාමය හෝ නොවන ගෙඩි / අර්බුධ අවස්ථා වලදිත් අක්මාව හරහා යන්න ඕන ලේ , වෙනද වගේ යන්නෙ නැතිව “තව පීඩනයකට“ ලක් වෙන් නිසා , බඩ ඉදිමුමක් ඇති කරමින් Ascites හදනවා. අර “බීල බීල ලිවර් එක නරක්වෙලා“ කියල ගමේ කතා බහට ලක් වෙන රෝගීන්ගෙ “කළ ගෙඩි බඩට “ එක හේතුවක් ඒකයි.

දැන් අපි බඩෙන් ඇතුලට ගිහින් පෙනහළු පැත්තතට ගියොත් ප්‍රධානවම හෘදයේ ආබාධ නිසා පෙනහළු තුල ඉදිමීමක්  , තරළය එකතු වීමක් ඇති වන්න පුළුවන්. මෙය නම් ඉහත කී අවස්ථා වලට වඩා භයානකයි. ඉක්මණ් ප්‍රතිකාර අවශ්‍යමයි. නැත්නම් ජීවිත ඉතා අවදානම් තත්ත්වයකටයි පත්වෙන්නේ. හෘදයාබාධ වගේම අර ඉස්සර වෙලා කිව්ව DVT තත්ත්වයේදි ඇති වන දිග ලේ කැටි ඇවිත් පෙනහළු වලට යන ලේ නහර වල හිර වුනොත් එහෙම නැත්නම් පාළනය නොවුනු අධීක රැධීර පීඩනය නිසාත් පෙනහළු ඇතුලේ මෙවන් ඉදිමීමක් ඇති වන්න පුළුවන් Pulmonary edema . මේ අවදානම් අවස්ථාවේ තව පපුවේ කැක්කුමක් , හුස්ම හිර වුනු බවක් එක්කම “මර බය“ දැනෙන්න පුළුවන් . මේ “බය“ නිසාම හුස්ම ගන්න එක තවත් අමාරුයි , හරියට හතිය හැදිල වගේ , කැස්ස , ඒ එක්කම සුදු පාට පෙන සහිතව සෙම පිටවිමක් වෙන්න පුළුවන්. මේ ලක්ෂණ කිහිපය ඉක්මණින්ම ඇතිවුනා නම් “ හිත හිත ඉන්නේ නැතිව“ ඉක්මනින්ම රෝගියාව පහසුකම් ඇති රෝහලකට ගෙනියන්න , නැත්නම් ජීවිතේ අනතුරේ.

දැන් තව ටිකක් උඩට ගියොත් ඔබට මතකද ඇස් ඉදිමීම ගැන , ඔව් ඇස් අමාරුව , ඇඩීම වගේ හේතු වලට අමතරව හේතුවක් කියන්න බැරි අවස්ථාවක ඇස් වල ඉදිමීමක් ඇත්නම් , පොඩි දරුවෙක්ගෙ විශේෂයෙන්ම , මේකත් නොසලකා නොහැරිය යුතු තත්ත්වයක් මොකද වකුගඩු , අක්මාව ආශ්‍රිත ගැටළු වලදි වගේම හෘදයේ රෝග තත්ත්වයකදිත් මෙ ඇස වටා ඉදිමීම ඇති වන්නට පුළුවන් නිසා. ( විශෞෂයෙන්ම, අක්මාව , වකුගඩු වගේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග වලදි මුළු ඇඟේම ඉදිමීමක් දකින්න පුළුවන් )

මෙතැනින් එහාට ගියාම අන්තිමට අපි කතා කරමු ඔළුව ඉදිමීම ගැන , නැහැ අපි කතා කරන්න හදන්නේ  “මොළය ඉදිමීම ගැන “. මොකද ඔළුව ඉදිමීම ගැන කතා කරන්න ගියොත් කොයි තරම් කියන්නද  , විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සු ගැන ?  හිසට වෙන අනතුරු , මොළය ආශ්‍රිතව ඇති වන ගෙඩි (පිළිකාමය නොවන සහ පිළිකාමය වන ) ලේ නහර පිපිරීම් , මොළයේ ආසාදන වගේ අවස්ථා වලදි මොළයේ ඇති වන ඉදිමීම එළියට දකින්න බැරි වුනත් , තදින් ඇති වන හිසේ කැක්කුම , ඒ එක්කම ඇස් පෙනීමේ වෙනස්කම් , කල්පනාව වෙනස්වීම , වමනය (ප්‍රක්ෂිප්ත වමනය) වගේ ලක්ෂණ ඔස්සේ සොයා බලා තත්ත්වය හඳුනාගන්නට පුළුවන්. මේ අවස්ථාවත් ඉක්මන් , නිසි ප්‍රතිකාරයට යොමු විය යුතු බව කියන්නම ඕන.

දැන් මේ කියාගෙන ගියේ “ඉදිමිලි“ සහ “ හේතු “ ගැන නේ  . මේ කිව්ව ඔක්කොමටම වඩා වෙනස් දෙයක් නිසාත් ඉදිමීම් ඇති වන්න පුළුවන් . ඒ බෙහෙත් නිසා ! ඔව් සමහර ඖෂධ වර්ග නිසා තාවකාළිකය ප්‍රෙද්ශයේ ඉදිමීමක් ඇති වන්න පුළුවන් . සමහර වේදනානාශක , අධීරුධීර පීඩනයට දෙන ඖෂධ  වගේම ස්ටීරෝයිඩ ඖෂධ මඟිනුත් ඉදිමීමක් ඇති කරනවා . හැබැයි බෙහෝ වෙලාවට මේ ඉදිමීම් තාවකාළිකයි නැත්නම් ටික කළකටයි , බෙහෙත් නවත්වල ටික දවසක් ගියාම නැවත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඔය විදියේ බෙහෙතක් අනිසි ලෙස භාවිත කරමින් කරන රැවටිල්ලක් තමයි අද තරුණ පිරිමි දරුවන් අතරෙ පැතිරිලා තියෙන “ඌරු පෙති“ . “ඕක ගැහැව්වම සතියෙන් මහත් වෙනවා “ කියල කියත්දි “ කෙට්ටුවේ වේදනාවෙන්“ විඳන තරුණයෙක්ම වෙන මොන වෛද්‍ය උපදෙස්ද “ඌරු පෙත්ත“ සතියක් ගනිත්දි ඉදිමිලා , එන්නෙ “ඌරෙක් වගේ“ හැබැයි ඒ තවත් අවාසනාවන්ත රෝග ගණනාවක් කැන්දාගෙනයි.

එහෙම නම් දැන් ලිව්ව ඇති වගේ , ඔව් ඔබටත් කියෙව්ව  ඇති වගේ නේ ! . අපි මේ කතාව මෙතැනින් නවත්වමු , අද කතා කළේ “ඉදිමීම් සහ හේතු “ කිහිපයක් ගැන , ලියපු අකුරු ටිකෙන් යමෙක් , යමක් ලබා ගත්තා නම් සතුටක්.

“ලෙඩ රෝග සෞඛ්‍ය ගැන කතා කළ යුත්තේ වෛද්‍යවරුන්“ පමණක්“ය කියන ( නමුත් වෛද්‍යවරුන් එසේ නොකියන)  , අපේ රටේ සමාජය තුල මුල් බැසගත් සෘණ  අාකල්පය   තුල (මෙවන් රටවල නම් හැම සෞඛ්‍ය වෘත්තිකයෙක්ම , සෞඛ්‍ය දැනුවත් කිරීමේ කටයත්ත දේවකාරියක් සේ කරන කළක) මේ ලිපි වලින් කවරෙක් පල ප්‍රෙයා්ජන ගනීදැනි නොදනිතත් , වෛද්‍ය විද්‍යාව සහ ආශ්‍රිත සෞඛ්‍ය ක්ෂේත්‍රවල පිළිගත් අධ්‍යාපනයක් ,පුහුණුවක්  සහ රජයේ නිත්‍යානූකූල ලියාපදිංචිය හිමි සෞඛ්‍ය වෘත්තිකයෙක්ට , සෞඛ්‍ය අභිවර්ධනය කිරීමේ , සෞඛ්‍ය දැනුවත් කිරීමේ වගකීමක් සහ අයිතියක් ඇති බව පමණක් සටහන් කරමි. ඒ දැනුම සමාජය තුල බෙදා දෙමින් සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කිරීමේ කාර්යය අප - ඔබ හැම සතු මහඟු වගකීමක් බවද මතක් කරනු කැමැත්තෙමි.

එසේ යමින් සෞඛ්‍යය සම්බන්ධ දැනුවත් කරන  සිංහල බ්ලොග් අඩවි තවත් මතු වේවායි අපේකෂා කරමින් අදට සටහනින් සමුගන්නේ , තරුණ දරුවන් අතර හිඟ  “නිවැරදි සෞඛ්‍ය දැනුම “ පිළිබඳ පෙන්වන එක් කොමෙන්ටුවක්  මෙහි සටහන් කරමිනි.මාධ්‍ය තුල පවා  “අවිද්‍යානුකූල සංකල්ප“ මිස ( රූපවාහිනී වල චිකිත්සකවරුන් , වෛද්‍යවරුන් ලෙස , රෝග සුව කරන්නන් ලෙස පෙනී සිටින්නන් මගින් ) නිවැරදි සෞඛ්‍ය දැනුවත් කිරීම් වලට නිසි වැදගත්කමක් දෙන්නේ දැයි නොදනිමි. මුහුණුපොත හෝ , අන්තර්ජාල පිටු අතරේ පවා “රස පෙරමින්“ බෙදෙන්නේ නිවැරදි සෞඛ්‍ය කරුණු දැයි විටෙක සැක සිතේ . නමුත් ඒවා අර “ඌරු පෙති“ මෙන් ක්ෂණික රසයක් දෙමින් ඉක්මණින්ම පැතිරී යනබව නම් නොරහසකි.  දැන් අර කොමෙන්ටුව , මෙය පළකරන්නේ අදාල පාඨකයාට අපහසුතාවක් ඇති කිරීමට නොවන අතර , එය අපේ රටේ තරුණයන්ගේ “සෞඛ්‍ය දැනුම ගැන ( පරිගණක දැනුම කෙසේ වෙතත්) “ යම් ඉඟියක් දෙන නිසාවෙනි.( කෙසේ වෙතත් සොඳුරු සුව අසපුවට ලියන ලිපි වලට , අවුරුදු පහලොවක් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් රැඳෙමින් ලද දැනුම සහ අත්දැකීම් මෙන්ම , අද දවස වන විට ලොව පිළිගැනීමට ලක්ව ඇති පත පොතද , අන්තරජාලයේ තිබෙන “පිළිගත් සහ යාවත්කාළීන වන“ වෛද්‍ය විද්‍යාත්මක වෙබ් අඩවි ඔස්සේ ලබා ගන්නා දැනුමද මුසුවන බව කියනු කැමැත්තෙමි.)
මෙයයි ඒ කොමෙන්ටුව
sir gambini bawak athi wanne Purusha lingaya sthri lingaya thulata athul kirima haraha pamanakmada ...
stri lingaya laga purusha lingaya athillima wani karana waladi gabini bawak athi wimata puluwanda

සුව සතුට රැඳේවා සිත දිරි වැඩේවා !

නැවත හමුවෙමු. එතෙක් සමුගන්නේ ඔබේ අදහස් උදහස් වලට ඉඩ ලබා දෙමිනි.


16 comments:

  1. ගස්ලබ්බගෙ කකුලෙත් හිමටෝමා තත්වයක්(?) ඇතිවී තිබිලා යථා තත්වයට පත් උනා.නමුත් කෙටිදුර ඇවිදීමකදී පවා නැවත එම ප්‍රදේශය ඉදිමීමත් වේදනා දීමත් සිදුවෙනවා.. මේවා සාමාන්‍ය තත්වද?
    වසර පහ පනහ දක්වා දිගු වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ගැටළුවේ හැටියට නම් හිමටෝමා එක එන්න හේතු වුනු කාරණේ අනුව පිළිතුර වෙනස් කරන්නට වෙනවා. ඒ ආශ්‍රිත රැධීර වාහිනී , පටක වලට වුනු තාවකාලික අනතුරකිට පසුව ඇතිවු හිමටෝමවකට පසුව නැවත් නැවතත් මේ වගේ සිදුවනවා නම් ටිකක් හොයල බලන එක හොඳයි , මොකද එය සාමාන්‍යයි කියන්න බැරි නිසා.

      Delete
  2. අගෙයි............ හැමදාම වගේ අගේ ඇති පෝස්ටුවක්.....

    ReplyDelete
  3. පස් වසරට සුබපැතුම්!

    දැනුම බෙදන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  4. ඔය ඔබ කිව්වා වගේ ඔලුව ඉදිමෙන එක තමයි අසාධ්ය්ම වැඩේ :D

    ස්තූතියි සහ සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බෙහෙත් දෙන්නට අමාරුම ලෙඩක් :D
      ස්තුතියි !

      Delete
  5. අගේ ඇති ලිපියක්.
    //වෛද්‍ය විද්‍යාව සහ ආශ්‍රිත සෞඛ්‍ය ක්ෂේත්‍රවල පිළිගත් අධ්‍යාපනයක් ,පුහුණුවක් සහ රජයේ නිත්‍යානූකූල ලියාපදිංචිය හිමි සෞඛ්‍ය වෘත්තිකයෙක්ට , සෞඛ්‍ය අභිවර්ධනය කිරීමේ , සෞඛ්‍ය දැනුවත් කිරීමේ වගකීමක් සහ අයිතියක් ඇති බව// වගකීමක් තිබුණට ඒක ක්‍රියාවේ නංවන අය ඉන්නෙ බොහ‍ොම සුලු පිරිසයි.

    පස් වස සිය වසක් තෙක් යන්නට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව . වගකිම සහ එක ක්‍රියාවට නැගීම අතර තිබෙන පරස්පරය නිසාම තමා හුඟක් කරදර ඇති කරගන්නේ .
      ස්තුතියි මිතුර !

      Delete
  6. ඔබට තව තවත් ලියන්න, දැනුම බෙදන්න , සොඳුරු හිත් අඳුර ගන්න ශක්තිය දහිරිය ලැබෙවා!!!! බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. සතුටක් ඔබේ පැමීණීම , ස්තුතියි

      Delete
  7. හිතවත් මහත්මයාණෙනි, ඔබ ගේ මෙම උත්සහය ඉතාමත් අගය කරමි. මෙම බ්ලොග් පිටුවේ අවසාන post එක දමා ඇත්තේ 2014 දීය. මෙම වසර දෙකට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයද, ආර්ථික තත්වයද වෙනස් වී ඇත. නමුත් ශ්‍රී ලංකික තරුණ පරපුරේ migration සිහිනය තව තවත් වැඩි වී ඇත. ඔබට කැනඩාවට සංක්‍රමණය වීම පිළිබඳ නවතම තොරතුරු යාවත්කාලීන කිරීමට හැකිනම් එය ශ්‍රී ලාංකිකයන් වන අපිට මහත් පිටුවහලක් වනු නොඅනුමානය. ඔබගේ කාර්යබහුලත්වය අතරතුර මෙවන් විශිෂ්ට සේවාවක් අප වර්තමානයේද බලාපොරොත්තු වන අතර එය පවත්නා නිදහස් කාලයේ පුලුවන්තරමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබගේ සොඳුරු සුව අසපුව බ්ලොග් පිටුව යාවත්කාලීන කරන අතතුර කැනඩාවට එන්න මග බ්ලොග් පිටුවත් යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටිමි.
    ඔබට ජය..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස වෙනුවෙන්.
      කැනඩා සංක්‍රමණ නීති සහ යාවත්කාළීන වීම පිළිබඳව සොයාබලන්නට මේ වන විට ඇති නොපෙළඹවීම නිසාමයි එම පිටුව යාවත්කාළීන විම අඩාල වන්නට හේතුව වුනේ. මක්නිසාද මා ලියන දේ පිළිබඳ නිවැරදි දැනුමක්/ අළුත් දැනුමක් නැති තැන තවත් අයෙක් දැන ගන්නට යමක් ලියන්නට මගේ ඇත්තේ නොකැමැත්තක්. කෙසේ වෙතත් ඔබවන් තරුණ දරුවන් එම ලිපිවලින් කිසිවක් ලබා ගන්නවානම් එය සතුටක් . උත්සාහ කරන්නම් නැවත එය යාවත්කාළීන කරන්නට හැකි ඉක්මණින්.

      Delete
  8. කකුල් ඉදිමීම ගැන ලිව්වා එකනම් හොඳයි. අපේ අම්මට කතා කලොත් කකුල ඉදිමිලා කියනව. අක්කත් එහෙමයි. මට උපදෙස් දීලම ඇති වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබේ පැමිණීම සතුටක්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)