2017/11/26

215) බෙදන්න පෙර හිතා බලනු!

නත්තලත් ළඟ එනවා!
පසුගිය ලිපියෙන් කීව වගේම අපි මාසයක්ම කතා නොකර හිටිය නේද ? ඒ කාළෙ ඇතුලත අපට නම් සීත සෘතුවේ ඇරඹුම සටහන් කළා. නත්තලටත් හරියටම මාසයයි , පළාතම  සැරසිලා නත්තලට , හරිම ලස්සනයි.

කෙසේ වෙතත් ඔය අතරේ සොඳුරු සුව අසපුවේ ලිපි , දැනුවත් කිරීමේ වීඩියෝවන් සෙමින් පැතිරෙන වග දැක ගන්නට ලැබුණා. ඒ අතර විශේෂයෙන්ම , “අනාරක්ෂිතව රිය පැදවීමේ පල විපාක “ ගැන කතාවන වීඩියෝවත් , “වඳ බෙහෙත්“ ගැන ලිපියත් ඉහළ තැනක තිබුණා. ඒ දැනුම බෙදාගන්නට එක්වුනු හැමටම ස්තුතියි.



නමුත් අද ලියන්නට හිතුනේ ටිකක් වෙනස් කතාවක් , ඒ  අන්තර්ජාලය ඔස්සේ , මුහුණූපොත වැනි සමාජ ජාල තුලින් පැතිර යන සමහර “අවවාද , පණිවිඩ“  ගැන . අන්තර්ගතයේ  සත්‍ය අසත්‍යතාව ගැන කිසිඳු සොයා බැලීමක් නැතිව ඒවා  සමාජ ගත කරන්නට , තව තවත් පතුරවන්නට කෙරෙන පෙළඹවීම පිළිබඳව.

මේ වගේ පැතිරුන , තවමත් පැතිරෙන පණිවිඩ කිහිපයක් ,


“විශෙෂ දැනුම් දිමක්.. කිසි විටෙක ක්‍රිස්ටෝපර් ඩේවිස් හෝ ජෙසිකා ඩේවිස් යන අයගේ ප්‍රෙන්ඩ් රික්වෙස්ට් අනුමත නොකරන්න , ඔවුන් පරිඝනක හැකර් වරුන් වෙති. හැකිතරම් යාලුවන්ට මේ පනිවිඩය කොපි කර හැකි සෑම මාර්ගයකින්ම දන්වන්න. “


"සුමුදු ලක්මාල් කියලා කෙනෙක් ඔයාට FB එකෙන් request එකක් එව්වොත් ඔයා ඒක accept කරන්න එපා... එතකොට ඔයාගේ profile එක hack වෙනවා.. ඔයාගේ friend list එකේ ඉන්න කෙනෙක් හරි accept කලොත් ඒක ඔයාටත් බලපානවා.. ඒ නිසා හැමෝටම යවන්න... සයිබර් ප්‍රහාර ගැන. හැමෝටම දැන ගන්න සෙයාර් කරන්න යාළුවේ.."


"It will cost nothing to you but to this kid means a lot He has cancer and Facebook has decided to help by giving 1 Like = 2 Dollars 1 Comment = 4 Dollars 1 Share = 15 Dollars Please , Im begin you don't scroll without typing amen"


fakopedia.com
"ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා තිබේ.මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ."
“ Dr. Richard of the United States has found new cancer in human beings, caused by Silver Nitro Oxide. Whenever you buy recharge cards, don’t scratch with your nails, as it contains Silver Nitro Oxide coating and can cause skin cancer. Share this message with your loved ones. “

මේ වගේ පැතිරෙන “පච ප්‍රචාර“ වලින් කිහිපයක් මේ. ඉහත කියැවුනු සියළුම ප්‍රචාර හුදෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂිමත පදනම් වූ තොරතුරු නොවන බව හඳුනාගෙන තිබෙනව. 

මෙයින් , එක්තරා නමකින් කෙනෙක් එවන friend request බාර ගැනීමෙන් තමන්ගේ ප්‍රොෆයිලය හැක් වන බවත් එය මහා සයිබර් ප්‍රහාරයක් බවත් කියැවෙන “පච ප්‍රචාරය “ පිළිබඳව තොරුතුරු තාක්ෂණය සහ ජාල ආරක්ෂාව පිළිබඳව විද්වතුන් ප්‍රකාශ කරන්නෙ එලෙස මිතුරු ඉල්ලීම භාර ගත් පමණින් තමන්ගේ profile  අවදානමකට ලක් වීමේ ඉඩක් නැති බවත් , සංකීර්ණ මුරපදයක් භාවිත කිරීම , මුරපදය පිළීබඳ ඉඟි කිසිවෙකුටත් ලබා නොදීම , තමන්ගේ මුහුණූ පොතේ සිටින් මිතුරන් හෝ මිතුර්න ලෙසින් එවන විවිධ වීඩියෝ , හෝ අදාල ලිංක් පිළිබඳ සැක සහිත නම් ඒවා මත ක්ලික් නොකර සිටීම , මුහුණූපොතේ පණිවිඩ ඔස්සෙ එන විවිධ භාගත කිරීම් වලදී සැලකිළිමත්  වැදගත් බවත්ය. 

දෙවැන්න , පිළිකාවකින් පෙලෙනවායැයි කියන දරුවෙක්ගේ පිංතූරයක් සහිතව  පැතිරෙන සටහනට  like  comment share කරන ආකාරය අනුව ඒ දරුවාට ෆේස්බුක් ආයතනය මගින් මුදල් පිරිනැමෙනවාය කියන පණිවිඩය පිළිබඳව ඇත්ත කතාව නම් මේ කියල ආකාරයට මුදල් ආධාරයක් ගෙවීම ෆේස්බුක් ආයතනය නොකරන අතර සිදුවන එකම දෙයනම් අදාල “පච ප්‍රචාරය“ පතුර වන ෆෙස්බුක් පිටුව අන්තර්ජාලය තුල ව්‍යාප්තවීමත් ඒ ඔස්සේ මේ කපටිකම් කළ පුද්ගලයා තමන්ගේ පිටුවේ රේටින් ඉහල නංවා ගනිමින් තම ආදායම වැඩිකරගැනීමත් පමණි.

උදාහරණ ලෙස ගත් ඊළඟ “ප්‍රචාරය“ ලංකාව , ඉන්දියාව ආශ්‍රිතව ලඟදී ඇතිවන භූමිකම්පාවක් පිළීබඳව කතාවක්ය. මේ ප්‍රචාරය ඇතිවන්නේ ඉන්දියාවේ එකතරා “අනාවැකි කියන්නෙකු ExtraSensory Perception “ ඉන්දීය ජනපති වෙත යැවූ ලිපියක් එරට මාධ්‍ය තුල පළවීමත් සමගිනි. Babu Kalayil නම් මේ “අනාවැකි කියන්නා“ ගේ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාවේ රජයෙ භූකම්පන පිළිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක Dr Vineet Gahlau පවසන්නේ මේ ප්‍රචාරය කිසිදු වගකීමක් , පිළිබඳ හැකි දත්තයන් නැති “හිතලුවක් සහ හාස්‍යය උපදවන “ කතාවක් බවයි. නමුත් මේ පිළිබඳ ප්‍රචාරයක් ලබා දෙන ලංකාවේ සමහර මාධ්‍ය සහ ගොසිප් අඩවි තමන්ගේ ආදායම වැඩිකරගැනීමේ අපේකෂාවෙන් අදාල “අනාවැකි කියන්නා“ භුවිද්‍යා මහාචාර්යවරයෙක් ලෙසත් , ඉන්දීය භූවිද්‍යා ආයතනය මේ පණිවිඩය නිකුත් කළ ලෙසත් රඟ දක්වමින් ප්‍රචාරයක් ලබා ගනිමින් සිටියි.

අවසාන උදහරණය ලෙස ගත් පෙරගෙවුම් කාඩ්පත් වල ඇති රහස්‍ය අංකය වසා ඇති කොටස නියපොත්තෙන් සීරූවිට පිළිකා ඇතිවනවාය කියන කිසිඳු සත්‍යතාවක් නැතිබවත් එහි සඳහන් කරන ආකාරයේ සිල්වර් නයි‍ට්‍රොඔක්සයිඩ් නමින් හඳුන්වන කිසිදු රසායනිකයක්වත් නැති බව ඔබ දන්නවාද ? එ් විතරක් නොවෙයි අදාල පර්යේෂණය කළා කියන ආයතනය හෝ පර්යේෂණය කළා කියන Dr. Richard පවා යම් අයෙකුගේ හිතලු නිර්මාණයක් විනා කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි කියවෙන්නේ.

මෙලෙසින්ම ටික දවසකට පෙර පැතිරුණා HIV වයිරසය ඇතුළු කළ කෙසෙල් ගෙඩි ගැන  වගේම කළකට පෙර එක්තරා ප්‍රධාන මාධායක් මඟින් “ දුරකථන වල සිටින මයිටාවන්“ මහා භයංකර ලෙස රඟ දැක්වීමෙන් සමාජය තුල ඇති කළ බිය ඔබට තවමත් මතක ඇතැයි සිතමි (මේ පිළිබඳව සොඳුරු සුව අසපුවේ 104 වන ලිපියෙන් කතා කළා) ) , තවත් නානාවිධ කතාවන් බෝමයි .


මෙම “ප්‍රචාර“ අත්පත්‍රිකා ඔස්සේ , දුරකථන ඔස්සේ සහ පසුව ජංගම දුරකථන කෙටි පණිවිඩ ඔස්සේ පැතිරුණත් අද සමාජ ජාල ඔස්සේ එම පැතිරීමේ වේගය ඉතා සිග්‍රවීමක් දකින්නට පුළුවන්. එමෙන්ම සමාජ ජාලා ඔස්සේ පැතිරෙන මෙවන් “ව්‍යාජ පුවත්“ සත්‍ය ලෙස පිළිගැනීම නිසා (  “ඉන්ටර්නෙට් එකේ තිබුණු නිසා ඇත්තයැයි පිළිගැනීම“) සමාජය තුල ව්‍යසනයන් මතුකරවන බව අසන්නට දකින්නට ලැබේ. විටෙක සමාජය තුල අනිසි බියකින් සංත්‍රාසයට පත්වීමක් ලෙසත් , තවත් අවස්ථාවක නිවැරදි දේ යටපත්වී වැරදි අදහසක් සමජා ගතවීමත් හෝ විටෙක  යම් ජනවර්ග අතර ගැටීමක් ඇති කරමින් සමාජයට ආපදාවක් කිරීම දක්වාත් පැතිරීයා හැක.

මේ නිසාවෙන් , අන්තර්ජාලය භාවිත කරන ඔබ වෙත එන සමහර පුවත් , කෙටි පණිවිඩ , අවවාද වල සත්‍ය අසත්‍යතාව හඳුනාගැනීම හරිම වැදගත් , විශේෂයෙන්ම ඔබ ඒ පණිවිඩය නැවත බෙදා ගන්නවා නම් , බෙදා හරිනවා නම් ඊට පෙර “පණිවිඩයේ“ සත්‍ය අසත්‍යභාවය හැකි තරමින් වටහා ගැනීම ඔබටත් ඔබේ මිතුරාටත් උපකාරයක් වේවි.

අන්න ඒ සඳහා උදව්කරගන්නට පුළුවන් තොරතුරු ටිකක් තමයි අද දවසේ කතාව හැටියට කියන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් දැනුයි ලිපියේ අවශ්‍යම තැනට එන්නේ.

අද දවසේ ඔබේ ජංගම දුරකථනයට , මුහුණූපොතට එන පණිවිඩ බෙහෝමයි , ඉන් සමහරක් කිසිදු වැදගතකමක් නැතැයි ඔබට හැඟෙන අතරේ ඉන් යම් කොටසක් කියවන්නට කුතුහලය ඇති කරවන , තවකෙනෙක් එක්ක බෙදාගන්න දිරිගන්වන ආකාරයේ “තොරතුරු හෝ දැනුවත් කිරීම්“ . ඔබට ලබෙන ඒ “තොරතුරු හෝ දැනුවත් කිරීම්“  ඔබට රිසි පරිදි කියෙව්වාට කිසිදු වරදක් නැහැ, ඒ ඔබේ කැමැත්ත. නමුත් ඔබ කියැවූ තොරතුරු තවත් අයෙකුට බෙදා දෙන්නට හිතෙනවා නම් , ඊට පෙර මෙන්න මේ සරළ ප්‍රශ්න තුනට උත්තර හිතන්න.


  1. ඔබ මේ බෙදාගන්නට සැලසෙන ලිපිය/තොරතුර/දැනුවත් කිරීම නිසා , එය කියවන යම් අයෙක්ගේ ජීවිතයට යම් බලපෑමක් ඇති කරාවිද? ( උදහරණයක් , ජීවන රටාවේ / ආහාර /රැකියාව/ ගමන් බිමන් හෝ වෙනයම්ම ආකාරයට අනෙකාගේ ජීවිතයට බලපාවිද? ) 
  2. එය කිපෙන සුළු/ ආවේගීශීලීත්වයක් ඇති කරවන හෝ මෙ අවස්ථාවේ සමාජය තුල මතභේදාත්මක තත්ත්වයකට හේතුවන හෝ එවන් තත්වයක් මතට බලපෑමක් ඇතිකරවන තොරතුරක්ද ?
  3. මේ “තොරතුරු හෝ දැනුවත් කිරීම්“  ඇත්තක්ම වුනානම් හොඳයි  ඔබට සිතෙනවාද , (අන්ධ) භක්තියක් ඇති කරවනවාද ? 
මේ කිසියම්ම පැනයකට ඔබට දැනෙන පිළිතුර “ඔව්“ නම් , මොහොතක් ඉන්න , Share කරන්නට පෙර මෙන්න මේ කරුණූ ගැනත් සොයා බලන්න.
  1. මේ “තොරතුරු හෝ දැනුවත් කිරීම්“  ඔබ අතට පත්විය හැකි “ව්‍යාජ සහ අවදානම් “ වර්ගයට අයත් විය හැකි එකක්ද ? 
    1. මෙලෙස ඔබ අතට පත්විය හැකි “ව්‍යාජ සහ අවදානම් වර්ගයේ තොරතුරු කොටස් කිහිපයකි , යම් අයෙක්  ආගමික , දේශපාලනික හෝ ආර්ථික වාසි අපේකෂාවෙන්  වංචාසහගතව සිතාමතාම සමාජය තුලට , වැරදි තොරතුරක් ලබා දෙන්නට නැත්නම් ද්වේශ   සහගත ආකල්පයක් ඇතුළු කරන්නට  නොඒසේ නම් තමන් අදහන/පිළිගන්නා පාර්ශවයේ ගොඩ තරකරගන්නට එක් කරන පුවත් / “තොරතුරු හෝ දැනුවත් කිරීම්“  .
    2. ඊළඟ අවදානම් වර්ගය වන්නේ ඔබේ තොරතුරු හෝ ඔබේ මුදල් සොරා ගන්නට අපේකෂාවෙන් යොමුවන Scam වර්ගයේ “තොරතුරු හෝ දැනුවත් කිරීම්“  . උදහරණයක් ලෙස ටික දවසකට පෙර මුහුණූ පොතේ messenger හරහා ව්‍යාප්ත වුනු “ ඔබෙ රැව සහිත වීඩියෝවක් හමුවුනා found your video. “  පණිවිඩය ගන්නට පුළුවන්. අදාල පණිවිඩය ලැබුණු අයෙක්  කුතුහලය නිසාම අදාල ලිංක් එක මත ක්ලික් කරන්නේ “මේ වීඩියෝව කුමක්දැයි“ බලන්නට , නමුත් සිදුවන්නේ පරිගණකය තුලට හානිකාරක මෘදුකාංගයක් රිංගා ගැනීම. දැන් පරිගණකය ක්‍රියාත්මක කරන හැම විටම , එහි වයිරස සැගවී සිටින බව කියමින් එය ඉවත් කිරීමට අදාල Antivirus මිලට ගැනීමට “බල කෙරෙන“ පණිවිඩක් දිස්වනවා. 
    3.  “ව්‍යාජ සහ අවදානම් “ කාණ්ඩයට අයත් වන මීළඟ අවස්ථාව   , අන්තර්ජාලය ඔස්සෙ මිලදී ගත හැකි විිවධ උපාංග පිළිබඳ “ව්‍යාජ වෙළඳ දැන්වීම්“ . ලොව ප්‍රකට පිළිගත් වෙළඳ භාණ්ඩ ලෙසින් පෙනීසිටිමින් මෙම වෙළඳ දැන්වීම් ඔස්සේ “ව්‍යාප භාණ්ඩ“ විකිණීම කෙරෙනවා. බොහොම බහුල උදාහරණයක් අන්තර්ජාලයෙන් මිලදී ගත හැකි මෘදුකාංග. 
    4. අවසානයේ  මේ වගේ ගැටළුකාරී “තොරතුරු හෝ දැනුවත් කිරීම්“ ඔබ තිරයට එන්න පුළුවන්. ඒ තමයි උපහාසය/අපහාසය හෝ හාස්‍ය රසය  සඳහා “ඇත්ත වගේ“ පෙන්වන පුවත්. ඒ තොරතුර ඉතා සියුම් ආකාරයට හාස්‍ය උපදවන අයුරින් නිර්මාණය කළත් සිදුවීම පිළිබඳ අවබෝධයක් නැති අයෙක් එය “නිවැරදි පුවතක් “ ලෙස බෙදා ගන්නට පෙළබෙනවා. මේ සඳහා උදහරණ විදියට මෙ දවස් වල පැතිරෙන සමහර දේශපාලනකරුවන් පිළිබඳ කතා ගත හැකියි.
  2. මීළඟ ආරක්ෂාකාරී පියවර වන්නේ , කවුරුන් විසින් මේ තොරතුර බෙදා හරින්නේදැයි සොයාබැලීමයි. අදාල ප්‍රවෘත්තියේ විශ්වාසවන්තනීය භාවය , ඒ කීවේ තොරතුරු ඉදිරිපත් කරන්නා හෝ ආයතනය රට තුල පිළිගත් මාධ්‍ය ආයතනයක්ද යන්න (යම් “තොරතුරු හෝ දැනුවත් කිරීමක්“ සත්‍ය විය හැකියැයි යම් තරමකට පිළිගන්නට එය ඉදිරිපත් කරන මාධ්‍යයන්හි පිළිගැනීම හුඟක් වැදගත්. ) ඒ  වගේම එම තොරතුර අනෙක් මාධ්‍යවල ඉදිරිපත් වන්නෙ කෙසේදැයි විමසාබැලීමත් වටිනවා. අද අන්තර්ජාලය හැම තැනම , මේ බොහෝ තොරතුරු අපේ රටේ මාධ්‍ය වල විතරක්ම නොවෙයි පළවෙන්නේ , විදේශ මාධ්‍යවල පවා ඒ නිසා හුඟක් වැදගත් යැයි ඔබ සිතනවා නම් අදාල ප්‍රවෘත්තිය , ටිකක් හොයල බලන්න ඒවායෙත්.
    1. අදාල “තොරතුරු හෝ දැනුවත් කිරීම්“ සොඛ්‍ය හෝ විද්‍යාත්මක් පසුබිමක් ඇත්නම් ඊට අදාල රජයේ ආයතනයේ පිළිගත් නිළධාරියෙක් / ආයතනයක් අදාල තොරතුර ලබා දී ඇත්දැයි බලන්න. (හොඳම  උදාහරණය මෙ භූමිකම්පා කතාව) 
    2. අදාල සැකසහිත “තොරතුරු හෝ දැනුවත් කිරීමේ“ පිංතූරයක් ඇත්නම් අන්තර්ජාල පිරික්සුමකින් එම පිංතූරයේ ඇත්ත දැන ගන්නට පුළුවන් Google image හෝ http://www.tineye.com/ මේ සඳහා හොඳ උපකාරක වේවි.
    3. ඔබ බෙදා ගන්නට හදන ප්‍රවෘත්තියේ මාතෘකාව යොදා ඇත්තේ කුතුහලය , ආවේගශීලීත්වය හෝ ලිංගිකත්වය තදින් උළුප්පා දක්වන අයුරින් නම් තව ටිකක් සැළකිලිමත්වන්න.
    4. අදාල තොරතුර/ ප්‍රවෘත්තිය අඩංගු ලිපිය තනා ඇත්තේ ඉක්මණින් බෙදා හැරිය හැකි ආකාරයෙන් හෝ , යම් හේතුවක් දක්වමින් එය තවත් අය අතරේ බෙදා ගන්නයැයි පෙළඹවිමක් කරනවා නම් ටිකක් සැළකිලිමත්වන්න.
  3. අවසානයේ , හොඳට බලන්න අදාල ප්‍රවෘත්තිය පළකර ඇති දිනය , හෝ තවත් අය අතරේ බෙදාගෙන ඇති දිනයන් , මක් නිසාද සමහර අතීත සිදුවීම් නැවත  පැතිරීම තුල සමාජයේ විවිධ ගැටළු පැන නඟින්නට පුළුවන්. 
පේනව නේද ඔබෙ මුහුණුපොතේ සිටින මිතුරු මිතුරියන් බෙදාගන්න සමහර දේ යම් අවදානමක් ඇති වග . එය ඔබට පමණක් නොවෙයි , ඔබෙ තවත් හිත මිතුරෙකුටත් ආපදාවක් , ගැටළුවක් මතු කරන්නට පුළුවන්. ඒ නිසා බෙදාගන්නන් වාලේ බෙදාගන්නෙ නැතිව ටිකක් හොයල බලල බෙදා ගන්න. 

ඔබට යම් තොරතුරක් ගැන තව දුරටත් විමසාබලන්නට අවශ්‍ය නම් යොදා ගත හැකි වගකිමක් ඇති වෙබ් අඩවි කිහිපයක් මේ ,
  • රෝග තත්ත්ව / ඖෂධ පිළිබඳ / සෞඛ්‍ය සම්බන්ධව www.cdc.gov/ www.who.int/ www.webmd.com/    www.drugs.com
  • භූකම්පන / සුනාමි / කාළගුණ ආපදා - www.usgs.gov/    www.moes.gov.in/programmes/national-centre-seismology
  • පරිගණක වයිරස / සයිබර් ප්‍රහාර පිළිබඳව www.cisecurity.org


තවත් මේ කරුණූ ගැන දැන ගන්න අවශ්‍ය නම් කියවන්න.
https://www.facebook.com/help/188118808357379
http://www.thenewsliteracyproject.org/sites/default/files/GO-TenQuestionsForFakeNewsFINAL.pdf
https://www.snopes.com/

අවසානයේ මගේ පෞද්ගලික ඉල්ලීමක් තියෙනවා , ඒ තමයි මගේ මුහුණුුපොත වෙත  පණිවිඩ ලෙස මෙවන් ප්‍රවෘත්ති / වීඩියෝ එවන්න එපා . විවිධ ආගමික / ජාතික / දේශපාලනික මතවාද ගැන කියැවෙන වීඩියෝ පණිවිඩ ප්‍රවෘත්ති වලින් මට කිසිඳු ප්‍රයෝජනයක් නැහැ , මක් නිසාද මම මුහුණුපොත යොදා ගන්නේ මගේ මිතුරු පිරිස සමඟ කතාබහක් කරන්නටත් , අපේ ජීවිත වල එදිනෙදා සිදුවන මතකයේ රදවාගත යුතු සමහර දෑ සටහන් කර තබා ගන්නටත් පමණක් වන නිසා. 

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට ! 

6 comments:

  1. 👏 👏 👏 හොඳ කාලෝචිත ලිපියක්.මමනං දැන් කාලෙක ඉඳන් ෆේස්බුක් අතෑරලම දාල තියෙන්නෙ ඔය විකාර නිසා.කොහෙන් හරි අහුලගත්ත දෙයක්, කාගෙහරි දුකක් වේදනාවක්, නොදන්නාකමක් විකුණල තමන්ගෙ ලයික්ස් රේටින් වැඩි කරගැනීම තමයි ඔය පේජ් ඇඩ්මින්ලායැයි කියාගන්න කට්ටිය කරන්නෙ,ඒ තියා වගකිවයුතු මාධ්‍යවලගොසිප් සයිට් පවා ඔය කාලකණ්නි වැඩේ කරනවා .කණගාටුවට කාරණේ මේ දේවල් ගැන බුද්ධිය මෙහෙයවල හරිහැටි හොයාබලල (විශ්වාසනීය මූලාශ්‍රවලින්) ඇත්ත නැත්ත පහදගන්න අපේ අයගෙ තියන අකමැත්ත නොදන්නාකම, කම්මැලිකම හෝ අවාසනාවන්තකම.(මතකනෙ අර ප්ලාස්ටික් හාල් කතාවක් ඇදගත්ත පහුගිය කාලෙ 🙃 )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. අපේ හුඟක් අයට තොරතුරේ සත්‍යතාවට වඩා , තමන් “ හොඳට දැනෙන “ තොරතුර තමා වටින්නේ ,

      Delete
  2. අපේ වර්ගයා නිකන් හම්බ වෙනවනම් වැදෑ මහත් කැන්ද කොළේ ඔතන් යන ජාතියක් කියලා මගේ පියා මට කියල දීල තියෙන්නේ. ඒක අපේ විචාරකතුමාගේ කියමනක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව කෙටියෙන් ! 
      ස්තුතියි , ඔබේ පැමිණීම වෙනුවෙන් ,

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)