2018/01/14

216) සල්ලි දීල ඉල්ල ගන්න “පිරිමි වඳ පෙතී ?“

ලැබුවාවු නව වසර , සුව සතුට සපිරි සුබ නව වසරක් වේවා යි පතමින්ම අද ලිපිය  ආරම්භ කරන්න තනන්නේ. සොඳුරු සුව අසපුව සමඟින් රැඳී සිටින අයෙක් නම් ඔබට යම් මතකයක් ඇති මීට මාස කිහිපයකට පෙරත් මේ වගේම ලිපියක් පළවුනා. ඒ වඳ දෙන “තිසරපටේ උද්දාමය (213)“ . එතැනදි අපි කතා කළේ පහුගිය දවස් වල හුඟක් කතාබහට ලක්වුනු “වඳ පෙති  , වඳ ජෙල් , වඳ ක්‍රීම් ජාති“ ගැන. කියවන්නට වුනේ නැත්නම් මේ ලිපියට පෙර එය කියවා බලන්නට ආරාධනා කරනවා ඔබට. ඊට පස්සේ එන්න මේ “වඳ පෙත්ත“ හඳුනගන්න.



අද කතාවේ කතා නායකයා වෙන්නේ Ibuprofen කියන කෙනා , නම කියන්නත් අමාරුද මන්ද , ඉබියුප්‍රොෆන් කියල උච්චාරණය කළාට වරදක් නැහැ. මෙයාගේ නම ටිකක් අමාරු වුනාට , හොයා ගන්න නම් ඒතරම්ම අමාරුවක් නැහැ . ඕනම පොඩි ගමක නගරයක තියෙන ෆාමසියක් වුනත් දකින්නට ලැබෙන , දොස්තර මහත්තයගේ තුන්ඩු කෑල්ල නැතිව වුනත් මිලට ගත හැකි “වේදනානාශක “ වර්ගයට අයත් මේ පුංචි පෙත්ත ලොව පුරා , ගත වේදනාවලින් පෙලෙන්නන්ගේ “දුක“ තුනී කරන්නට  භාවිත කරනවා. තදබල ඔළුවෙ කැක්කුම් ,උණ ,  සන්ධී වේදනා , ආර්තව වේදනාවන්ට වගේම වෘත්තීය හෝ නොවන දෛනිකව ක්‍රීඩා සහ ඉතා වෙහෙසකාරී ව්‍යායාම වල යෙදෙන්නන් ද මේ ඖෂධයේ පිහිට නිතර ලබා ගන්නවා. ඒ නිසාම බටහිර ඖෂධ අතර මෙයා බොහොම ප්‍රචලිත කෙනෙක්. 


මේ පෙත්ත උදව්වන අවස්ථා කිහිපයක්
පෙති , කරල් , දියර , ජෙල් එහෙම නැත්නම් ස්ප්‍රේ විදියට එහෙමත් ඉබුප්‍රොෆන් ගන්න පුළුවන් . මෙයාගේ උපන්ගේ නාමය ඉබුප්‍රොෆන් වුනාට , එක එක රටවල විවිධ නම වලින් පෙනී සිටින්නත් පුළුවන්. තව විදියකට කිව්වොත් මෙයාට වෙන නම් 138කට වඩා තියෙන්න පුළුවන් . මට මතක විදියට ලංකාවේ බහුලවම දකින්න ලැබුණෙ Brufen කියන වෙළඳ නාමය යටතේ. (මේ මීට අවුරුදු හය හතකට පෙර , දැන් තව වර්ග ඇති ).කුමන නමකින් හිටියත් ඖෂධීය ක්‍රියාකාරීත්වය බොහෝ දුරට එකසමානයි.

මේ කියන ඖෂධය ගත්ත , ගන්න කෙනෙක් අත්විඳින ප්‍රධාන අතුරු පලයක් තමයි බඩේ දැවිල්ල . එය සරළ තාවකාළික බඩ දැවිල්ලක ඉඳළ ආමාශයේ බඩවැල් වල ඇති කරන “තුවාල“ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව බඩේ අජීර්ණ ගතියක් , ඔක්කාරෙට එන ගතියකුත් ඇති කරන්නට ඉඩ තිබෙනවා. මේ වගේ පුංචි කරදර ඇති කරත් , වේදනාව සමණය කරන්න හොඳ උපකාරයක් නිසා අපි හුඟ දෙනෙක් දැනටත් Ibuprfen භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒත් . , මෙන්න මේ තත්ත්ව වල ඉන්න කෙනෙක් මෙම ඖෂධය පාවිච්චි කරන්න ඉස්සර වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක වැදගත් වේවි, ඒ ඔබ ආමාශ වෘණ නැත්නම් ගැස්ට්‍රික් අල්සර් තත්ත්වයෙන් පෙළෙනවා නම් , මීට පෙර වේදනානාශඛ ඖෂධ වලට  අසාත්මිකතා මතුවුනා නම්  ( කසන , පළු දාන , හුස්ම ගන්න අපහසු ඇතිවුනු කෙනෙක්නම්) , හෝ ඔබට හෘදයාබාධයක් හෝ අක්මාව ආශ්‍රිත රෝගයක් ඇති බවට හදුනාගෙන ඇත්නම් . මේ කණ්ඩායමේ අය “හිතුමනාපෙට“ මේ බෙහෙත් ගන්න එක “ජීවිතේ එක්ක කරන අවදානම් සෙල්ලමක් වෙන්න පුළුවන්“ . ඒ නිසා “ගන්න පෙර අහන්න“. ඒ වගේම  ඔබ ගර්භනී මවක නම් “හිතුමනාපෙට “ ඉබුප්‍රොෆන් ගන්න එපා. ඔබේ කුසෙ ඉන්න දරු පැටියගේ වයසත් එක්ක සුදුසුද නැත්ද , දෙනවා නම් සුදුසු මාත්‍රාව ඔබේ වෛද්‍යවරයා තීරණය කරාවි (කිරි දෙන මවකට වුනත් මේ කතාව එකඟයි).

මේ අප කතා කරමින් ගියේ ලොව පුරා ප්‍රචලිත “වේදනානාශකයක්“ වන “Ibuprofen"  ගැන . ඔන්න දැන් අපි එනවා මාතෘකාවේ තියෙන “වඳ“ කතාවට.  මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පර්යේෂණ කළ කණ්ඩායමක් මීට දින කිහිපයකට පෙර ඖෂධලෝකය ටිකක් සලිත වන කරුණක් එළි දැක්වුවා. ඒ , Ibuprofen ඖෂධය ඉහළ මාත්‍රාවලින් සහ කාළයක් තිස්සේ භාවිත කරන “පිරිමින්ගේසරු භාවය“ , ඒ කිව්වේ පිළිසිඳ ගැනීමක් ඇති කළ හැකි වයසේ සහ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්න කාන්තාවක සමඟ ලිංගිකව එක්වී , දරුවකු ඇති කිරීමේ හැකියාව අඩුවියහැකි බව. 

මේ රෑන අඩු කරන්න හේතුවක් වේවිද ? 
මේ ඖෂධය මොළයට බලපෑම් කිරීම නිසා සහ , ඒ ඔස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියට කරන බලපෑම් නිසා , “පුරුෂ හෝමෝන “ වල ක්‍රියාකාරීත්වය අඩුවිය හැකි බවත් , ඒ ඔස්සේ ශුක්‍රාණූ නිශ්පාදනය සහ එහි සංයුතියට දුර්වල කිරීමත්  , ලිංගික එක්වීමකට ඇති ආසාව බිඳ දැමීමත් තවත් “පිරිමි ලක්ෂණ“ ගණනාවකුත් දුර්වල කරන්නට මෙය හේතුවිය හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.  

බටහිර රටවල මේවන විට දකින්නට ලැබෙන “මද සරුභාවය“ තත්ත්වය ඉහළයාමට මෙවන් තත්ත්වයන් හේතුවිය හැකි බවටත් ඔවුන් තවදුරටත් පවසනවා. කෙසේ වෙතත් උණකට , අතේ පයේ රුදාවකට පෙත්තක් දෙකක් ගත් පමණින් මේ අවදානම “විය නොහැකි බවත්“ , දිගු කාළීනව සහ අධිමාත්‍රාවන් වලින් ඖෂය ගන්නා අයට මේ ආපදාව “විය හැකි“ බවත් තමන් සාරාංශය ලෙස සටහන් වන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් පර්යේෂණ කරන්නට අද බටහිර වෛද්‍යපර්යේෂ ආයතන කටයුතු කරගෙන යනවා . ඒ නිසා Ibuprofen පෙත්ත “වඳ පෙත්තක්“ කියල කොහේවත් කියල නැහැ , ඇත්තටම “වඳ පෙත්තක්“ මේ ලෝකේ කොහේවත් හදල නැහැ. (මේ ගැන 213 වල ලිපියෙදි කිව්ව මතකයි

කතාවේ අවසානය , මාතෘකාවේ ‘‘වඳ පෙත්ත“ කියන වදන යෙදුවේ , අපේ රටේ හුඟක් අය මේ ගැන කතා කරන නිසා , ඒ හැර එහි කිසිඳු විද්‍යාත්මක පදනමක් නැහැ . කෙසේ වෙතත් ඔබ කිසියම් හේතුවක් නිසා ( ක්‍රීඩාව / රැකියාව/ හෝ වෙනත් හේතුවක් නිසා ) දිනපතා ඉහළ මාත්‍රාවලින් Ibuprofen ඖෂධ ගන්නා කෙනෙක් නම් ටිකක් පරිස්සම් වීම සහ දැනුවත් වීම වැදගත් . 

එසේ නම් නැවත හමුවන තුරු සමුගැනීමට කාළය.  ඔබට සුව සතුට පිරි දිනයක්!



8 comments:

  1. දොස්තර මහත්තයටත් සුබ නව වසරක් වේවා කියල පතනව.

    වතුර උනත් ඕනවට වඩා බොන එක හානිකරයි කියල තියෙන එකේ පෙති ගැන කුමන කතාද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ අදහස් දැක්වීමට .
      මම “දොස්තර මහත්තයෙක්“ නම් නොවෙයි , සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් හිටියට :)

      Delete
  2. දැනුවත් කරාට ස්තුතියි .මාත් වේදනා නාශකයක් ලෙස බෘෆන් හා වෝල්ට්‍රාන් පාවිච්චි කරල තියනවා.විටමින් බී සමග ගැනීමෙන් මෙහි සැර අඩුවෙනවාද යම් තරමකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි, විටමින් බී සමඟ ගැනීමෙන් “සැර අඩුවීමක්“ නම් වන්නේ නැහැ , නමුත් දිගුකාළීනව මෙවන් වේදනානාශක ගනිත්දි ඇඟේ විටමින් බී අඩුකමක් ඇතිවීමේ හැකියාවක් ඇතැයි හඳුනාගෙන තියෙනව. එම අඩුවීම වලක්වා ගැනීමට මේ සමඟ විටමින් බී දෙනවා වෙන්න පුළුවන්.

      Delete
  3. කාලෙකින් මේ පැත්තට ආවේ.... සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා දේවා මල්ලී , සතුටක් දකින්නට ලැබීමත්!

      Delete
  4. ඇත්තටම සතුටුයි මේ කරගෙන යන දේට youtube channel එකකුත් පටන් ගත්තනම් නරකද?

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)