2018/04/02

මියා කළීෆා සමඟ “සහෝදරයා“ - කළාව සහ එහි සමාජයීය බලපෑම්

කළා නිර්මාණයකින් සිදු කෙරෙනුයේ එහි පාඨකයා හෝ ප්‍රක්ෂකයාගේ පරිකල්පනය පුළුල් කිරීමයි . එනම් පුද්ගලයාගේ සිතුවිලි තවදුරටත් ඔස්සේ විහිදුවා “විඳින්නට සහ සිතන්නට “ සැලැස්වීමයි. එය විටක සිතුවමක් , සංගීතයක් , නර්තනයක් , පොතක් , සිනමාත්මක නිර්මාණය්ක විය හැකියි. එමන්ම “කළා නිර්මාණයේ“ සුවිශේෂිතවය වන්නේද එහි රසවිඳින්නාගේ සිත විවිධ දිශා ඔස්සේ යවමින් එය එස විඳින්නට “විවෘත අවස්ථාවක්“ සහ ඒ පුද්ගලයාගේ අත්දැකීම් සමාජ-ආර්ථික-දේශපාලනික සංවේදීබව මෙන්ම ජෛව විද්‍යාත්මක පරිසරය තුල පුද්ගලයාට සංජානනය වන අත්දැකීම විඳීමට “ස්වාධීනත්වයක්,නිදහසක්“ ලබා දීමයි.








යම් නිර්මාණයක් එය ස්වාධීනව විඳීමේ නිදහස සීමා කරත්ද “විදිය යුත්තේ මෙය පමණ“ කැයි බලෙන් හිස හරවා නිර්මාණකරුට අවශ්‍ය දිශාව වෙත පමණක් අපේ හිත-ඇස යොමු කරත්ද එහි නිර්මාණාත්මක වටිනාකම ගිලිහෙන්නට පටන් ගනී. ඒ නිසාවෙනි Francisco Goya සිතුවම් කළ The Nude Maja ලොව පිළිගත් කළා නිර්මාණයක් ලෙසත් Mia Khalifa යොදා ගනිමින් කළ නිරුවත් රුවක් නිකම්ම පෝර්න් පිංතූරයක් පිළිගත් සමාජය තුල ප්‍රචලිත වන්නේ. The Nude Maja අපට හිතන්නට, විඳින්නට විවෘත ඉඩ 
පිංතූරය අන්තර්ජාලයෙන්

හසරක් ලබා දෙත්දී මියා කලීෆාගේ පිංතූරය අපේ සිත එක තැනකට කොටු කරන්නට උත්සාහ ගනී. (නමුදු මෙතැනදි පුද්ගල බද්ධ අත්දැකීම් , සීමාවන් මෙ සංජානනයට හේතු වන බව කිවැයුතුමයි. සිතන්න ඔබ අන්ධ පුද්ගලයෙක් අතට The Nude Maja සහ Mia Khalifa පිංතූර දෙකක් ලබා දුන්නාය කියා. ඔහු ඒ දෙක වෙන වෙනම අතගා ලබා ගන්නේ “බොහෝ දුරට එකම සමාන , සීමාවක හිරවුනු ,ආතල්, එකකි.)



මෙතැනදී “සහෝදරයා“ තුලදී Namal Jayasinghe සහ කණ්ඩායම අපට තම තම ණැන පමණ එය විඳින්නට , එය පිළිබඳව සිතන්නට ඉඩ ලබා දී ඇතිවා මෙන්ම , අපේ ස්වාධීනත්වයට ද බාධා නොකරයි. නිර්මාණයේ “රස“ තවත් වැඩිවන්නේ මෙලෙස පාඨකයාගේ හෝ ප්‍රේකෂකයාගේ සිත යැවිය හැකි මානයන් , දිශාවන් වල විවිධත්වය වැඩිවන තරමටය. “සහෝදර සමාගම“ තුල ඊයේ පටන් මතුවන විවිධ වාද විවාද වල සංෂිප්තය වන්නේ , “සහෝදරයා“ අපේ සිත් කෙතරම් මාන ඔස්සේ ගෙන ගොස් ඇත්දැයි යන්නයි. එහි සංගීතය , විවිධ චරිත යොදා ගත් දෙබස් , මෙන්ම අවසන “අජන්තගේ“ මරණය පිළිබඳව විවිධ දිශෘ ඔස්සේ අපේ සොහොයුරු-සොහොයුරියන් සිත යොමු කරවන බව පෙනේ. එයමයි “සාර්ථක කළා නිර්මාණයක“ ජය. නමුත් අයෙකු දකින අර්ථයම අනෙකා දැකිය යුතු යන මතය “බලෙන් ඔබ්බවන්නට“ ගියහොත් එහි නිර්මාණශීලීත්වයට හානියක් වන මගේ අදහසයි. ඒ නිසා එය ඔබෙ සංජානනමය හැකියාවන් , අත්දැකීම වලට සාපේකෂව රස විඳින්න , නමුත් අනෙකාගේ අදහස පිළිබඳවත් සිතා විමසා , ඒ විඳි රස තවත් පුළුල් කරගන්න.



කළා නිර්මාණයක මූලික අරමුණක් වන පාඨකයා හෝ ප්‍රක්ෂකයාගේ පරිකල්පනය පුළුල් කිරීම ඔස්සේ අපේක්ෂා කරන හෝ සිදුවන තවත් පල විපාක වේ. ඉන් “රස වින්දනයක්‘ ප්‍රධාන වේ. සුන්දර දර්ශනයක් , සංගීතයක් ඔස්සේ පුද්ගලයා එය “රස විඳින්නට“ ගනිත්දී අනිච්ඡානුගවම තව දුරටත් එවන් රස විඳින්නට සොයන්නට “රස කුතුහලයකට“ සිත යොමු කරන්නට පෙළඹේ. “සහෝදරයා“ රස විඳි සහෝදරයන් “ නාමල් ගේ“ අනෙක් නිර්මාණ සහ කසුන්ගේ නාද මාලා සොයමින් පීරමන් පෙන්වන්නේත් ඒ “රස විඳිමේ කුතුහලය“ අවදි වූ බවයි.


එපමණක් නොව , “කළා නිර්මාණයක්“ ඔස්සේ නිර්මාණකරුවා , සමාජයේ ඇති “වටිනාකම්“ , “බිඳීම්“ මෙන්ම මෙතෙක් “සංවේදී නොවූ හෝ බලෙන් අමතක කර දැමූ“ සමාජ යථාර්ථයන් සමාජ සාධාරණත්වය , “සමාජ ආදරය“ පිළීබඳ අදහස් නැවත ප්‍රේක්ෂකයා වෙතට නිර්මාණාත්මකව මුදා හරියි. එතැනදි ඒ සමාජ යථාර්ථයන් වටිනාකම් පිළිබඳව තව දුරටත් සිතන්නට “රස විඳින්නා“ ගේ සිත ස්වාධීනවම පෙළඹවීමම , එවන් සමාජ යථාර්ථයන් පිළිගන්නා ප්‍රෙක්ෂකයන් හෝ පාඨකයන් “එක්රැස් කිරීමකට“ හේතුවේ. Mero Cocinero Karimi හෙවත් “ජනතාවගේ කෝකියා“ මහ මග හෝ වේදිකාවම කෑමක් සකසමින් එම සමාජයෙ තිබූ ආහාර වර්ග පුරුදු මෙන්ම ගැටළු පිළිබඳව කතා කරමින් උපහාසය එක්කරමින් සිදු කළේ සමාජයේ ඇති “වටිනාකම්“ , “බිඳීම්“ මෙන්ම මෙතෙක් “සංවේදී නොවූ හෝ බලෙන් අමතක කර දැමූ“ සමාජ යථාර්ථයන් නැවත ප්‍රේක්ෂකයා වෙතට නිර්මාණාත්මකව මුදා හැරීමයි. “සහේදරයා“ නැරඹූ ප්‍රෙක්ෂකයන් බොහොමයක් තුලද මෙතෙක් තිබූ නිල්-කොළ-රතු හෝ කුරුස-අඩසඳ-ධර්මචක්‍ර කණ්නාඩි වලින් විඳි වින්දනයට වඩා , වීවෘත මනසකින් “අපේ රට යන හැටි“ දැකීම යෙහෙකැයි අදහසක්වත් මතුවන බව මෙම ගොමුවේ කතාබව දෙස ඇස-සිත යොමන විට පෙනෙයි.

Francisco Goya ගේ The Third of May

කළා නිර්මාණයකින් සිදුවන ඊළඟ වැදගත් ප්‍රතිපලය වන්නේ සමාජයේ සිටින පුරවැසියන්ගේ “චිත්තන රටාව“ වෙනස් වීමයි. තවත් විදියකින් කිව්වොත් පුද්ගලයා වෙනස් වීමයි.පෙර කී ෆ්‍රැන්සිස්කෝ ගෝයා , The Third of May නම් සිතුවම මඟින් වගේම හිප් හෝප් සංස්කෘතියේ ගීත නිර්මාණ වලින් අප්‍රිකාව තුලදී සහ “ඔෂීන්“ ටෙලි නාට්‍යට ජපානය තුලත් , ගුණදාස කපුගේ “කම්පන“ තුලි අසූව දශකයේ ලංකාව තුලත් කළේ මේ සමාජයීය පුරවැසියාගේ චින්තන රටාව වෙනස් කිරීමයි. “සහෝදරයා“ නිමා වුවත් , තවමත් මේ සිදුවන “සමාජ කතිකාවන්“ තුල පෙනෙන්ට ඇත්තේද “සහෝදරයා“ අපේ සමාජ ජීවින්ගේ චින්ත රටාවේද යම් වෙනසක් සිදුකෙරෙමින් පවතින බවයි. ඒ වෙනස්වීමේ සාර්ථක බව , පැවැත්ම මත අපෙ රටේ අනාගතය තීරණය වෙනවා නම් අනාගතයේ දවසක මේ ගීතය හිතට එකඟව රස විඳිය හැකිවනු ඇතැයි මම සිතමි. මිරැන්ඩා හේමලතාගේ පද රචනයෙන් , මාලනී බුලත්සිංහල ගායනා කළ “මේ රට මගේ රට මා ඉපදුන රට“ ඒ ගීතයයි.



“මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...
සරු පස පොළවෙන් වැහි බිඳු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත..

මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත...
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට...

එඩිතර කම ඇතී කම්මැළි කම නැතී
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මව් රට“
“උත්තරා දේවී සිටින රටේ සිට“ ලංකාව දෙස බලා මේ සටහන ලියන්නට මා සිත පෙළඹූයේ , “සහෝදර සමාගම“ තුල සිදුවන මේ සුන්දර කතාබහ බව කිව යුතුමය. විවෘතව අදහස් හුවමාරු කරගත හැකි , අනෙකාගේ අදහස් වලට ගරු කරන්න සිත දෙන , මෙවන් සක්‍රිිය තාරුණ්‍යයක් අපේ රටේ තිබුණාදැයි හිතේ සැකයක් මට මෙන්ම ඔබටද තිබුණා වන්නට පුළුවන. රටක දියුණුවට මෙ විවෘත-සක්‍රිය සංවාදය අවශ්‍යමය , එය කළා නිර්මාණ , දේශපාලනය , සමාජ සාධාරණත්වය සහ ආර්ථික පරිසරය වෙතද පැතිර ගිය කළ මේ රට “උන්ගේ රටක් නොව“ , “අපේ රටක්“ බවට පත්කර ගැනීමේ බලාපොරොත්තුවයක සේයාවක් වත් මතුකර ගනු හැකි වෙතැයි මම සිතමි.


ස්තුතියි මේ “හෑල්ල“ කියෙව්වා නම් , මෙ අදහස් වලට එක්වීමට හෝ විරුද්ධ වීමට ඔබට ඇති අයිතියේ “රස විඳිනු“ ඇතියි අපේක්ෂා කරමි.

සහෝදර සමාගමට මග https://www.facebook.com/groups/1587309034661565/
“සහෝදරයා“ ටෙලියට මග http://www.itntv.lk/current-dramas/dramas-on-weekend/sahodaraya/

5 comments:

  1. මොන තරම් මෙවැනි නිර්මාණ වලින් කතිකාවත් ඇති වුවත් මා නම් දකින්නේ නැ අඩුම ගානේ තරුණ පිරිස (විශේෂයෙන් ගැහැනු පිරිමි සම්බන්ධතා වල, තවම කැමති ගැහැනිය සියලු දේ දරා ගනිමින් අත් හරිනවට ඇගේ ජිවිතය අන් අය වෙනුවෙන් , අරගල, මිනී මැරීම් තමා තවම කතා කරන්නේ ) අතරවත් අදහස් වල වෙනසක්.. ආකල්ප වෙනසක් තවම බොහෝ ඈතයි කියා සිතෙන පෝස්ට් සහ කමෙන්ට්ස් මේ group එක පුරාමත් මේ විඩියෝ පුරාමත් දකින්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඔබ අදහසට එකඟ වෙනවා. ඇත්ත තවත් රැල්ලක් විදියට පෝස්ට් ෂේයා කළාට ඒ ෂේයා කරන දේ තිබෙන “ගත යුත්ත“ ගන්නවාද කියන එකත් ප්‍රශ්නයක් . නමුත් යම් තරමක හෝ වෙනසක් සෙමෙන් වේවි කියල අපේක්ෂාවක් තබා ගන්නට පුළුවන්. ප්‍රධානම ගැටළුව , තමන් ඉන්නේ වහල්භාවයේ කියල , වහලෙකුට තේරුම් කරල දෙන එක.
      ස්තුතියි

      Delete
    2. ඇත්ත,, වහළ් බාවයේ ඉන්නේ කියලා හිතන්නවත් අකමැති මිනිස්සු ඒ ගැන කතා කරද්දිත් තරහ ගන්නේ ස්වාධීන වෙන්න අවශ්‍ය කරන හැමදේම ලඟම තියාගෙන වීම මොන තරම් අවාසනාවක් ද ?

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)