2018/05/26

කැනඩාවට බෝට්ටුටවෙන් එන්න එපා!



මුහුණූ පොතට එන හැමදවසකම වගේ, එහි මැසෙන්ජරය තුල කාගෙන් හෝ පණිවිඩක්.

“කැනඩාවට එන්න ලේසි ක්‍රම මොනවද ?“

“අයියා, මම ---- එකේ ඩිග්‍රිය කම්ප්ලීට් කරනවා , එන්න චාන්ස් එකක් තියේද“

“මම ටීචිං ඩිග්‍රිය කම්ප්ලීට කරනවා , මෙහෙ ඒජන්සියකින් කිව්වා ටොරොන්ටෝ වල වේකන්සි තියෙනව කියලා“

“ඔයා නර්ස් කෙනෙක් නේද? මේ අපටත් කැනඩාවට එන්න චාන්ස් එකක් අරන්දෙන්කෝ“

“මේ ෆේස්බුක් එකේ තිබුණූ දැන්වීමකට මගේ විස්තර යැව්වා , එයාල කියනවා රැපියල් පන්දාහන් බඳින්න කියල ඇප්ලිකේෂන් එක ඇසෙස් කරන්න, ඊට පස්සෙ ලක්ෂ හතක් ඕනලු , මේක ඇත්තක්ද “

“මේ කැනඩාවට නර්ස්ලා ගන්නවලු , පොච්චක් විස්තර එවනවද?“

“මේ අයියා, මම මෙහෙ සෙමිනා එකකට ගියා , එයාල කියනව මාස දෙකෙන් වීසා අරගෙන දෙනව කියල , එයලා ෂුවර්ද ?“

මේ වගේ නනාප්‍රකාර ප්‍රශ්න..


මේ වගේ ප්‍රශ්න කැනඩාවේ එන්න අනෙක් මිතුරු මිතුරියන්ටත් ලැබෙනව ඇති, නමුත් මා ලියූ “කැනඩාවට එන්නට මග“ (http://sincanada.blogspot.ca) බ්ලොග් සටහන කියවූ සෑහෙන පිරිසක් මා වෙත මේ පැන එවන බව දැනගන්නට ලැබෙනවා. අවස්ථාව ලැබෙන පරිදි කැනඩා ගමනේ ඇත්ත තත්ත්වය ඔවුන්ට පැහැදිලි කළ දුන්නත් ඒ “ඇත්ත“ සමහරෙකුට “තිත්ත“ වන්නට පුළුවන්. නමුත් ඔබෙන් රුපියල් ලක්ෂ ගණනක් “කඩා ගන්නට“ මාන බලන ඉමිග්‍රේෂන් ඒජන්සිකාරයන්ගේ “සීනි බෝල“ කතා වලට රැවටී පසුව වේදනාවට පත්වනවාට වඩා , මෙහි නිවැරදි තත්ත්වය දැන , ඒ ඔස්සේ කටයුතු කළොත් “කැනඩා ගමන හීනයක්“ වෙන එකක් නැහැ. ඒ නිසා මෙන්න මේවගේ “සීනි බෝල කතා“ තිබෙන දැන්වීම් , දේශන , කෙටි පණිවිඩ ලැබුනොත් ටිකක් පරිස්සම් වීම වටී.

· Guaranteed work permits!

· Free scholarships!

· High-paying jobs in Canada with minimal or no experience needed!

· Free air tickets and accommodation!

· Guaranteed employment!

· SPECIAL programs!

· Earn $4,000 a month as a hotel cleaner!

මෙන්න මේ කාරණා ටිකත් හිතට අරගෙනම ඊළඟ පියවරට ගියොත් ගමන තවත් සාර්ථක වේවි.

1. කැනඩාවට මොනයම් ආකාරයක වීසා ඉල්ලුම් කිරීමකටවත් , immigration consultant කෙනෙක් , immigration representative කෙනෙක් එහෙම නැත්නම් ඒජන්සි එකක් අවශ්‍ය නැහැ. මේ කියන කිසිම කෙනෙක්ට Canada රජයේ සංක්‍රමණ කටයුතු වලට බලපෑමක් කිරීමට කිසිම හැකියාවක් නැහැ , එය සම්පුර්ණ ස්වාධීනව කෙරෙන දෙයක්. ඔබේ ඉල්ලුම්පත්‍රය ආවේ ඒජන්සියක් හරහාද නැත්නම් සෘජුවම ඔබ විසින්ද කියන කාරනේ වැදගත් නැහැ. ඔවුන්ට වැදගත් ඔබේ ඉල්ලුම්පතේ තිබෙන සුදුසුකම් හා ඒවාට ලැබෙන වටිනාකම් පමණයි. ඒ නිසා ඔය කිසිම කෙනෙක්ට කියන්න බැහැ “අනිවාර්යයෙන්ම වීසා ලබා දෙනව“ කියලා. එය ඔබේ සුදුසුකම් සහ කැනඩා සංක්‍රමණ නිලධාරින් අතයි පවතින්නේ.

2. ව්‍යාජ ලිපි ලේඛණ, ව්‍යාජ රැකියා පැවරුම් ආදිය ඉදිරිපත් කර , ඔබේ ඉල්ලුම්පත යොමු කරන්නේ නම්, එය බොහෝ විට කැනඩාවට “කිසිදු දවසක“ ඇතුළු වීමට ඇති මග අහුරා ගැනීමක් වෙන්න පුළුවන්.

3. කැනඩා සංක්‍රමණය සඳහා ඉල්ලුම්පත් යොමු කළ පසු එහි සැකසුම් ගාස්තුවක් Processing fee එකක් අයකෙරෙන අතර එය වීසා වර්ගය , ඉල්ලුම්කරන්නගේ සංඛ්‍යාව වැනි කරුණූ අනුව වෙනස් වුවත් , ඒ එක් එක් අවස්ථාව සඳහා සම්මත වූ ඩොලර් වටිනාකමක් ඇත. එය www.cic.gc.ca (කැනඩා සංක්‍රමණයට අදාල නීත්‍යානුකූල සහ යාවත්කාළින තොරතුරු ලබා ගත හැකි රාජ්‍ය වෙබ් අඩවිය මෙයයි. මීටම සමාන ව්‍යාජ වෙබ් අඩවි ඇති නිසා විමසිලිමත්ම මෙම ලිපිනයට යන්න.) වෙබ් අඩවිය තුල පෙන්වා ඇත. කැනඩා ඩොලරය සහ රුපියල අතර අනුපාතය අනුව මෙහි රුපියල් වටිනාකම් විචලනය වුවත් , අදාල ගෙවීම කළ යුත්තේ කිසිදු ඒජන්සියකට , පුද්ගලික ගිණුමකට නොව කැනඩා රජයේ ගිණුමක් වෙතයි. ඒ ගෙවිය යුතු මුදල , ගෙවිය යුතු ආකාරය සියළු උපදෙස් ඉහත කී වෙබ් අඩවියේ ඉතා සරළව , පියවරෙන් පියවර පෙන්වාදී ඇත.


මේ කෙටිසටහන අවසන කිව යුත්තේ මෙයයි , ඔබේ , ඔබේ දරුවාගේ අනාගතයේ යහපත උදෙසා ලෝකයේ ඉහළම ජීවන තත්ත්ව දර්ශක ඇති රටක් ලෙස කැනඩාව තෝරා ගන්නේ නම් එය හුදෙක් “හිනයක්ම“ නොකරගන්න, දැනුවත් වෙන්න , වෙන කෙනෙක්ගේ දැනුමින් නොව ඔබේ දැනුමින්ම නිසි පියවර අනුගමනය කර කැනඩාවට එන්න. මෙහි ඇති

· නිදහස ( දේශපාලනික ආගමික වහලුන් නැති , වාර්ගික කුළල් කාගැනීම් නැති) ,

· සුන්දරත්වය (වෙනස් දේශගුණ කළාප , භූ විෂමතා , බහුසංස්කෘතිත්වයේ) ,

· ස්ථාවරත්වය ( ඊළඟ ඡන්දෙදි කවුරුන් ආවත් , ආයතනයේ ලොක්කා කවුරු වුනත් නිසි අධ්‍යාපනය සහ රැකියාව ඇති නම් අනාගතය පිළිබඳව ඇති විශ්වාසනීයබව , විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතය පිළිබඳව)

· දියුණුවේ රස ( ලෝකයම පිළිගන්නා දියුණු අධ්‍යාපනයක් / සෞඛ්‍ය සේවාවක් ඔබට , දරුවාට ලබා ගන්නට)

විඳින්නට එක්වන්න.

ඉන්දියාවේ , පිලිපීනයේ තරම් සංක්‍රමණයට උපකාර වන ( දියුණු රටකට සංක්‍රමණයට උපකාරවන) අධ්‍යාපන ක්‍රමයක් සහ සහයෝගයක් අපේ රටේ නැතත් , ඔබේ උනන්දුව , දක්ෂතාව සහ යම් තරමක වාසනාවද කැනඩාවට එන්නට පාර කියාවි.

( මේ සටහන ලීවේ මාවෙත පණිවිඩ එවන මිතුරු මිතුරියන්ට මතුව ඇති ගැටළු කිහිපයකට පොදුවේ පිළිතුරු දීම සඳහා වුවත් , යමෙකුට මින් වැදගත් දෙයක් ගත හැකි යැයි හැඟේ නම් බෙදා ගත්තාට කිසිදු “අහිතක්“ නැත්තේමැයි.)





11 comments:

  1. හොඳ විස්තරයක්. අපේ අයට ඉතිං කන්ටේනර් පෙට්ටියක හරි කමක්නෑනෙ රටකට යන්න තියෙනවනං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබ තවමත් සිංහල බ්ලොග් අතරේ රැඳෙන එකම කොයිතරම් සතුටක්ද ?

      Delete
  2. නිදහස, සුන්දරත්වය, ස්ථාවරත්වය, දියුණුවේ රස විඳින්නට එක්වන්න.
    නමුත් discrimination නමැති දෙයටත් මුහුණ දෙන්නට සූදානමින් පැමිණෙන්න.

    ReplyDelete
    Replies
    1. Discrimination තත්ත්වය වෙනත් රටවලට සාපේකෂව කැනඩාව තුල අඩුයි.(100% නැති රටක් සොයා ගන්න බැරිව ඇති අමෙරිකාව තුල නම් එවන් ගැටළු බහුල බව දන්නවා ) . මගේ අවුරුදු හතක අත්දැකීම් අනුව නම් මට හෝ මගේ පවුලෙ කිසිම අයෙක්ට Discrimination තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා නැහැ. රාජකාරි පරිසරය මෙන්න අනෙක් කටයුතු වලදිත් අපට ලැබිය යුතු සැලකිල්ල , හිතවත්කම ලැබුණා , ලැබෙනවා.

      කෙසේ වෙතත් , රටට ගැලපෙන අධ්‍යාපනයක් ලබල , සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් කරමින් සුදුසු නිසි පරිසරය තුල වෙසෙනවානම් ඔබ කියන ඩිස්ක්‍රිමිනේෂන් කියන දේ “වචනයක්“ විතරයි. මේ මම කිව්වේ මගේ අත්දැකීම, සමහර විට ඔබට ලැබුණූ අත්දැකීම වෙනස් ඇති , මොකද ඒ සියල්ල රඳා පවතින්නේ අප හැසිරෙන ආකාරයත් එක්ක. වැදගත්කම රැකගන්න නම් වැදගත් විදියට හැසිරෙන්න එපායැනේද?
      ස්තුතියි ඔබේ අදහසට

      Delete
    2. බොහොම ස්තුතියි ඔබේ පිළිතුරට.
      මහේෂ්, ඔබ හෝ ඔබේ පවුලෙ කිසිම අයෙක්ට Discrimination තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා නැති බව දැනගන්නට ලැබීමත් සතුටක්.
      නමුත් අපි ඇත්ත කතා කරමු.
      ඔබ ඔය “වචනයක්“ විතරයි කියන එක ගැන මට නං කියන්න තියෙන්නේ පොඩ්ඩක් බලන්නකෝ මේ ස්ටැට් කැනඩා එකේ ගනුදෙනුව https://www150.statcan.gc.ca/n1/pub/89-503-x/2010001/article/11527/tbl/tbl017-eng.htm . සියේට තිහ හතලිහ කියන්නේ අඩුවක් නෙවෙයි මම නං හිතන්නේ.නේද මහේෂ්.
      අනික මහේෂ් කොච්චර වැදගත් විධියට හැසිරුනත් ඩිස්ක්‍රිමිනේට් කරන එකා ඩිස්ක්‍රිමිනේට් කරනවා. එහෙනං ඇයි කැනඩාවේ constitution එකේ තියෙන්නේ ඩිස්ක්‍රිමිනේෂන් තහනම් කරලා. ඒ කියන්නේ කැනේඩියන් කාරයෝ වැදගත් විධියට හැසිරෙන්න දන්නේ නැති අයද ?
      පොඩ්ඩක් ඔයාගේ comfort zone එකෙන් එලියට ගිහින් සාමාන්‍ය සමාජයේ හැසිරිලා බලන්න. ඔය රේඩියෝ ටී වී එහෙමත් ටිකක් බලන්න පුළු පුළුවන් වෙලාවට .
      වැඩිය කතා ඕනේ නැහැ ඔය රටේ ආදිවාසීන්ට හරියට බොන්න වතුරවත් තියෙනවද? ඒ එවුන් හරියට හැසිරෙන්නේ නැති නිසාද? මොනවාද මහේෂ් මේ කතා.

      Delete
  3. පිටරට යාම තම එකම හීනය කරගත්ත ය බලන්නේ කොහොම හරි යන්න මිනිස්සුන්ගේ හීන සමග සෙල්ලම් කරන මුදාලාලිලා කොටසකුත් මේ රටේ ඉන්නවා ඔය කොයි රටට ගියත් තමන්ගේ උපන් බිමේ තියන නිදහස නිවහල් බව සල්ලිවලට ගන්න බෑ කියන එක සල්ලිවලට යටවෙලා තියෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අද අපේ රට යන අත බැලුවම නම් එහෙම “හීනයක්“ ඇති කරගන්න එක , අඩුම තරමේ තම දරුවන්ටවත් යහපතක් කියල මට හිතෙනවා. ඇත්ත මේ හීනය විකුණන්න හරි ලේ්සියි ඒ නිසාම ඒ අනතුරේ වැටිලා විඳවන්නට වන පිිරිසත් බෝමයි. ඔබ නිවැරදියි කොච්චර වුනත් “උපන් බිමේදි දැනෙන හිතේ නිදහස“ වෙන රටකදි දැනෙන්නේ ඒ විදියටම දැනෙන්නේ නැහැ. නමුත් කාළයත් එක්ක තමන් ජීවත් වන රට , නගරය තුල ජීවිතේට අවශ්‍ය නිදහස , නිවහල් බව ඇති කරගන්නට පුළුවන් කියන එකයි මගේ අදහස.
      ස්තුතියි ඔබේ අදහසට.

      Delete
  4. බොහොම හොඳ දැනුවත් කිරීමක් sir.මම sirge මුලින් තිබූ canadawata maga blog එකේ ඉඳන් කියෙව්ව.ගොඩක් හොඳයි.2014postකරතිබූ canadawata Maga Blog එකේ තිබූ කරුණු 2018tat වලංගු ද?යන ගැටලුව මතු වුණා.sir ඇත්තටම New Immigrants ලට canadawe Jobs hoyaganiddi ගැටලු මතු වෙනවාද?canadian experience eka නැතිව jobs හොයාගන්න බැරිද?canadawe වර්තමානයේ තත්ත්වය පිළිබඳව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.ස්තුතියි.

    ReplyDelete
  5. බොහොම හොඳ දැනුවත් කිරීමක් sir.මම sirge මුලින් තිබූ canadawata maga blog එකේ ඉඳන් කියෙව්ව.ගොඩක් හොඳයි.2014postකරතිබූ canadawata Maga Blog එකේ තිබූ කරුණු 2018tat වලංගු ද?යන ගැටලුව මතු වුණා.sir ඇත්තටම New Immigrants ලට canadawe Jobs hoyaganiddi ගැටලු මතු වෙනවාද?canadian experience eka නැතිව jobs හොයාගන්න බැරිද?canadawe වර්තමානයේ තත්ත්වය පිළිබඳව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.ස්තුතියි.

    ReplyDelete
  6. බොහොම හොඳ දැනුවත් කිරීමක් sir.එක ඉල්ලීමක් කරන්න කැමතියි.වර්තමානයේ canadawata ena new immigrants ලට Jobs හොයාගන්න බොහොම අසීරු තත්ත්වයක්da thibene?e ගැන දැනගන්නට කැමතියි.sirge blogs ගොඩක් වැදගත් Educational දේවල් දැනගන්නට පුළුවන්.ස්තුතියි.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)