2019/06/05

229) හිත් කපාගෙන “වඳ“ වෙන මිනිස්සු

කළකට පස්සේ නැවතත් යමක් ලියන්නත් මේ උත්සාහය. අවුරුදු අටකට ඉස්සර ආරම්භ කළ මේ “සොඳුරු සුව අසපුව“ අළුතින් ලිපියක් ලියන්නට ඇති උනන්දුව අඩුවීම නිසාදෝ සෑහෙන කළකින් ඔබත් එක්ක කතා කරන්න බැරි වුනා. නමුත් ඒ කාළය මීට වඩා ප්‍රෙයා්ජනවත් විදියට කැනඩාවට එන්නට මග ෆේස්බුක් ගෘෘප් එක ඇතුළෙ ගත කළා කියල හිතෙනවා. ඔබත් කැමති නම් ඇවිත් බලන්න.


හරි , දැන් අපි අද අපේ කතාවට එමු. කෙසේ වෙතත් මුලින්ම කියන්න ඕන, මම මේ ලිපිය ලියන්නේ කිිසිදු ආගමකට හෝ ජාතියකට , දේශපාලන පක්ෂයකට , පක්ෂග්‍රාහීව හෝ විරුද්ධව නොවේ. එසේ කිරීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. 

ඔබට මතක ඇති මීට ටික කළකට පෙර ලංකාව පුරා “වඳ කිරීමේ“ භීතිකාවක් පැතිරුණා, තිසර පට වල තිබෙන යමක් දියරයක් නිසා , නැත්නම් කොත්තුවක තිබුණු “පෙත්තක්“ නිසා වඳ වන බව ගිණිදැල් වගේ අපේ සමාජය තුල පැතිරී ගියා. එතැනදිත් “නොදන්නන්“ එය “පරම සත්‍යයක්“ ලෙස වටහා ගනිත්දි “ඇත්ත දත්තෝ“ විවිධ හේතු නිසා “ඇත්ත නොකියා“ මග හැරියා. ( කිහිප දෙනෙක් “ඇත්ත“ කියන්න උත්සාහ කළත් “මළකුණු වලට“ කෑදර මාධ්‍යය ඒවා නිසි ලෙස ජනතාව තුලට ගෙන ගියේ නැහැ. ) ඒ පිළිබඳව ඇත්ත “සොඳුරු සුව අසපුව“ තුල කතා කළා 213 වන මෙන්න මේ ලිපියෙදි


කෙසේ වෙතත් දැන් ආයෙත් ලොකු කතා බහක් , ඒ සිසේරියන් සැත්කමින් “වඳ“ කරන කතාවක්. දැන් මේ ගැන “ෆේස්බුක් උගත්තු“ වගේම විෂය පිළිබඳ දැනුමැති මහාචාර්යවරුනුත් සමාජය දැනුවත් කරන්නට පටන් අරගෙන. නමුත් අවාසනාව මේ “ජනප්‍රිය දැනුවත් කිරීම්“ බොහෝමයක ඇත්තේ “ඇත්තට“ වඩා “ලාබ ජනප්‍රියත්වය හෝ පටු දේශපාලනික අරමුණු මිශ්‍රකළ“ අසත්‍යයි.“  අපේ රටේ මා දකින අවාසනාවන්තම තත්තවය මෙවන් ව්‍යාජ පුවත් පැතිරෙත්දී “සත්‍යය කතා කළ හැකි“ උගතුන් නිදා සිටීමයි. එයට හේතුව “ දේශපාලනික හෝ ආගමික අන්ධභක්තියද , ඇත්ත කතා කර විඳවන්නට වේය යන බිය දැයි නොදනිමි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දන්නා දේ ගැන ඇත්ත කතා කරන්න මා උත්සාහ කරන්නේ “ලාබ ජනප්‍රියත්වය“ අපේක්ෂාවෙන් නොව අඩුම තරමේ “මේ ඇත්ත දැයි“ සොයන්නට ඔබ පෙළඹවේයැයි යන විශ්වාසයෙනි. 

මුලින්ම පුංචි පාඩම් දෙකක්, 

පළමු පාඩම -මොකක්ද මේ සිසේරියන් සැත්කම කියන්නේ ?

මෙහි සියළු පියවර බොහොම කෙටියෙන් කිව්වොත්, 

  1. තීරණ ගැනීම , කැමැත්ත ලබා දීම සහ සූදානම් කිරීම ( මෙතැනදි සිසේරියන් සැත්කම ගැඹිණි මවට අවශ්‍යද යන්න පිළිබඳව තිරණය කර ඒ පිළිබඳ දැනුවත් කිරීමත් , අදාල ශල්‍යකර්මය සඳහා ලිඛිත කැමැත්ත ලබා ගැනීමත් කෙරෙනවා. මේ ශළ්‍යයට පසුව Tube ligation මඟින් ස්ථීරවන්ධ්‍යකරණය අවශ්‍ය නම් ඒ පිළිබඳව “විශේෂ දැනුවත් කිරීමක්“ සහ වෙනම කැමැත්ත ලබා ගැනීමක් කෙරෙනවා. ශල්‍යයට පෙර සූදානම් කිරීමේදී , ශල්‍ය හෙද කණ්ඩායම වගේම නිර්වින්දක වෛද්‍ය කණ්ඩායමත් එක්ව එම කටයුත්ත කරනවා.)
  2. නිර්වින්දය ( මෙහදී බොහෝ විට සිදු කෙරෙන්නෙ spinal anesthesia ක්‍රමය ඔස්සේ හිරි වැට්ටීමක් , මේ කටයුත්තේදි සාමාන්‍ය සිසේරියන් සැත්කමකට ගත වන කාළය සහ අදාල ගැඹීණී මවගේ තත්ත්වය සැළකිල්ලට ගන්නවා)
  3. ශල්‍ය කැපුම ( දැන් මවගේ උදරයේ පහළ ( යටි බඩ) ප්‍රෙද්ශයෙන් ශල්‍ය කැපුමක් ආරම්භ කරනවා , සාමාන්‍යෙයන් විනාඩි පහක් දහයක් ඇතුළත උතර බිත්ති ඔස්සේ ගර්භාෂය දක්වා පියවරෙන් පියවර මේ කැපුම යනවා. අදාල පටක, කැපුම් ස්වභාවය අනුව අවශ්‍ය ශල්‍ය උපකරණ සපයන්නේ ශල්‍ය හෙදිය වන අතර කැපුම පිළීබඳ සහය දක්වන්නේ සහයක වෛද්‍යවරයා. නිර්වින්දක වෛද්‍යවරයා මේ අවස්ථාවේ එම ස්ථානයේ දැඩි අවධානයකින්)
  4. ගර්භාෂය තුල ක්‍රියාවලිය  (මේ අවස්ථාව වෙත්දි කැපුම ගර්භාෂය හරහා ගොස් දරුවා ඉන්නා පැස දක්වා , එම කළළ පැස බිඳීමත් සමඟ නිකුත් වන කළල තරළය චූෂණය කර ඉවත් කරමින් , කැපුම ඔස්සේ ශල්‍ය වෛද්‍යවරයාගේ අත් ගර්භාෂය තුලට ඇතුළු කරමින් විනාඩි දෙක තුනක් තුල සියළුම උපක්‍රම යොදා ගනිමින් ( යම් අපහසු අවස්ථාවල ශල්‍ය උපකරණද භාවිත කරමින්)  දරුවාගේ හිස පිටපත පළමුව එන සේ දරු පිටතට ගන්නවා. )
  5. දරුවා මව වෙත (දැන් පෙකැණී වැළ කපා , දරුවා මවගේ පටක වලින් වෙන් කර මවට තුරුළු කරගන්නට හෝ අවශ්‍ය විශේෂ සත්කාර සඳහා යොමු කරනවා. )
  6. පසු සැකසුම ( දැන් වෛද්‍යවරයා , මවගෙ ගර්භාෂය තුල ඇති ඉවත් කළ යුතු පටක (placenta) ඉවත් කර නැවතත් පියවරෙන් පියවර , ස්ථරයෙන් ස්ථරයට පටක මැසීම පටන් ගන්නවා.
  7. ශල්‍යය නිමාව ( සියළු පටක මසා , සැරසුමක් දැමූ පසු , ශල්‍යය නිමා වෙනවා , දැන් නිර්වින්දක වෛද්‍යවරයා රෝගියාව අවස්ථා කිහිපයකදී පරික්ෂා කර , නියමිත කාළ සීමාවකට පසුව අදාල මාතෘ ඒකකය වෙත යොමු කරනවා.)
  8. ශල්‍ය කණ්ඩායම ( ශල්‍ය වෛද්‍ය කණ්ඩායම අදාල ශල්‍යය පිළිබඳ සියළු තොරතුරු මවගේ ඇඳඉහ පතේ සටහන් කරනවා . ශල්‍ය තුල සහ පසු රෝගියාගේ තත්ත්වය නිර්වින්දක වෛද්‍යවරයා සහ  ශල්‍ය හෙද කණ්ඩායම සටහන් කරනවා , පැය කිහිපයක් දක්වා එම සටහන් අළුත් කරනවා. 
දෙවන පාඩම - මොකක්ද මේ එක්ක එන “වඳ සැත්කම“

ඔබ දන්නව නේ කළලයක් හැදෙන්න පිරිමියා ශුක්‍රාණූ යෝනි මාර්ගය ඔස්සේ ගර්භාෂයට ඇතුළු කරත්දි  , එහි සක්‍රිය ඩිම්බයක් ඉන්න ඕන. එයා එතැනට එන්නේ ගර්භාෂයෙන් පිටත ඉඳළ ෆැලෝපියන් නාල කියන පාර  දිගේ . ඇත්තටම ඒ වගේ පාරවල් දෙකක්  තිබුණත් එක් මාසෙකදි එක පාරකිනුත්  අනෙක් මාසයේ අනෙක් පාරෙනුත් එන්න ඩිම්බය උත්සාහ කරනවා. මේ ගැන කතා කළා අපි 38 වන ලිපියෙන් 

දැන් මේ කියන වඳ සැත්කමේදී මොකක්ද වෙන්නේ , මේ ඩිම්බයට ගර්භාශය ඇතුලට එන්න තිබෙන “පාර“ එක අවහිර කරල දානවා. බොහෝ වෙලාවට ඒ පාර මැදින් දෙකට කඩල වෙන් කරලම දානව එහෙම නැත්නම් , ආයෙ හොල්ලන්න බැරි “ගලක්“ දාල  පාර වහල දානව. දැන් ඉතින් ඩිම්බයට ගර්භාෂයට එන්න බෑ කවදාවත් . ඒ කියන්නේ සථිර වන්ධ්‍යකරණයක් වුනා

මේ සඳහා ෆැලෝපියන් නාල ( මුලින් කීව විදියට “පාර) දෙකට නවල බෑන්ඩ් එකක් දාල හිර කරන්න හරි , කපල , පිළිස්සමක් කරල අවහිර කරන්න හරි පුළුවන්. එහෙම නැත්නම් නාල කපල දාල සම්බන්ධය නැති කරන්නමත් පුළුවන්. ඒ වගේම මීට අමතරව තවත් නවීන ක්‍රම ගණනාවක් තිබුණත් අපේ රට වල ප්‍රධානව භාවිත වෙන්නේ මේ කී ක්‍රම කිහිපය තමයි. 

මේ විදියට ෆැලෝපීය නාල කපන්න හරි ගැට ගහන්න හරි ශල්‍ය වෛද්‍යවරයාට අවස්ථාව ලැබෙනව , සිසේරියන් සැත්කමකට (දරුවා බිහි කළාට පසුව)  හෝ වෙනත් ශල්‍ය කර්මයකට ගර්භාෂය ප්‍රෙද්ශය විවෘත කළ අවස්ථාවකදි , එහෙම නැත්නම් උදරයේ ඇති කරන පුංචි සිදුරු කිහිපයක් හරහා කැමරාවක් ,කැපුම් උපකරණ සහිත කුඩා බටයක් වගේ ශල්‍ය උපකරණයක් යවල ඒ හරහාත් මෙය කරන්න පුළුවන්. (Laparoscopic tube ligation) . කෙසේ කළත් , ෆැලෝපීය නාලයට කැපුමක් කළාද , ගැටයක් ගැසුවාද කියන එක පසු අවස්ථාවක වෛද්‍ය පරික්ෂණයකින් හඳුනාගන්නට පුළුවන්.

මේ ශල්‍යය සඳහා විශේෂ පුහුණුවක් වගේ යම් පිරිවැයකුත් යනවා. ඒක නිකං “ඇඟිල්ලෙන් මිරිකළ“ වඳ කරන්න පුළුවන් නම් මේ අවශ්‍යතාව තිබෙන මව්වරුන්ට- පියවරුන්ට ලොකු උපකාරයක් වේවි ඒ අළුත් ක්‍රමය.  ඇත්ත, අවශ්‍යතාවක් ඇත්නම් ෆැලෝපීය නාල අතින් මිරිකළ හරි අඩුවක් මගින් පොඩි කරල හරි තුවාල කරන්න පුළුවන් , නමුත් එයින් සම්පුර්ණ වඳභාවය ඇතිවන්නට ඇති අවස්ථාව  අඩුයි  එවැනි පටක තුවාල කිරීමක් බලෙන් කර ඇත්නම් එය හඳුනාගන්නට ඇති හැකියාවත් ඉහළයි.  ඒ වගේම එවැනි තත්ත්වයන් නිවැරදි කරන්නට හෝ වෙනත් ක්‍රම මගින් දරු පිළිසිඳ ගැනීමක් ලබා දෙන්නට  පුළුවන් වෛද්‍යතාක්ෂණ ක්‍රම තිබෙනවා. 


දැන් කතාව ,

“ඇත්තටම සිසේරියන් සැත්කමකින් කාන්තාවක වඳභාවයට පත් කරන්න පුළුවන්ද?“ 
උත්තරය “ඔව්“ .... 
හරිනේ ඕක නේ අපි කිව්වේ ....නේද ? 

පොඩ්ඩක් ඉන්න , සිසේරියන් සැත්කමක් තුලදි , නියමත අවසරය තිබේ නම් (බිරිඳගේ සහ සැමියාගේ අවසරය / ලිඛිත කැමැත්ත සහ විශේෂඥ උපදෙස්) දරුවා බිහි කළාට පස්සේ ෆැලෝපීය නාල කපා , ගැටගසා අවහිර කර “ස්ථිර වඳභාවයට පත් කරන්න“ පුළුවන්. කෙසේ වෙතත් මේ වන්ධ්‍යකරණය ඉතා පහසුවෙන් හඳුනාගන්නට පුළුවන් ක්‍රමයක්.  ඒවගේම මෙය කරන්නට පුළුවන් වන්නේ සමස්ථ ශල්‍ය කණ්ඩායමේම දැනුවත් වීමත් එක්ක. ඒ කිව්වේ අදාල ශල්‍ය කරන වෛද්‍යවරයා , ඊට සහාය වන වෛද්‍යවරයා , නිර්වින්දක වෛද්‍යවරයා ශල්‍ය හෙදිය , ශල්‍ය සහායක කණ්ඩායම වගේ සෑහෙන පිරිසක් මෙම ක්‍රියාව පිළිබඳ දැනුවත් වෙනවා. එසේ නැතිව කරන්න තිබෙන අවස්ථාව අර කණ කැස්බෑව විය සිදුරෙන් අහස බැළුව වගේ තමා. හැබැයි මෙහෙම පුළුවන්, මුළු කණ්ඩායමම දැනුවත් වෙලා රෝගියාට හොරෙන් මේ කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිළිගත් මිනිස් සමාජය තුල එවැන්නක් වන්නට ඉඩ අවමයි.



ඒ වගේම සාමාන්‍ය සිසේරියන් සැත්කමක් ඇතුළත මෙය කරන්නට ඇති අවස්ථාව අඩු වන්නට තවත් හේතු ගණනාවක් තිබෙනවා. එකක් ශල්‍යයට සහාය වන ශල්‍ය හෙදිය.

අපේ සමාජය දැන ගත යුතු දේ ශල්‍ය වෛද්‍යවරයා සැත්කම කළත් , ඊට සහාය වන ශල්‍ය හෙදිය විශාල කාර්යභාරයක් කරනවා. විශේෂ පුහුණුවක් තිබෙන ශල්‍ය හෙදිය හෝ හෙදවරයාට පුළුවන් , වෛද්‍යවරයා ඊළඟ අවස්ථාවේ කරන්නේ කුමක්දැයි හඳනාගෙන ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ , අවශ්‍යතා සැපයුම් කරන්න. ඇය හෝ ඔහුත් ශල්‍යකර්මයට ලබා දෙන හැම උපකරණයක් පිළිබඳවම වගකීමක් දරනවා. දෙන ගෝස් කෑල්ල පවා ගණන් තබාගෙන කරන සංකීර්ණ “සහය වීමක්“ කරන්නට ප්‍රමාණවත් දැනුමක් ශල්‍ය හෙදවරයාට තිබෙනවා. ඉතින් සාමාන්‍ය සිසේරියන් සැත්කමක් කරත්දි ගන්න පියවර මෙන්ම , ඒ සමඟ කරන ස්ථිර වන්ධ්‍යකරණ පිළිවෙතත් කෙරෙනවා නම් ඒ අවස්ථා දෙක ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන්ට තිබෙනවා. එතැනදි ස්ථිර වන්ධ්‍යකරණයක් සිදුවෙනවා නම් , සමස්ථ ශල්‍ය කණ්ඩායමම ඊට අදාල written consent කැමැත්ත පළ කිරීම පිළිබඳව දැනුවත් වෙනවා.



මේ වගේම ශල්‍යයට සහය දෙන සහායක ශල්‍ය වෛද්‍යවරයා , සැත්කම කරන ශල්‍ය වෛද්‍යවරයා කරන හැම කටයුත්තක් පිළිබඳවම “දැඩි අවධානයකින්“ ඉන්නවා. කැපෙන පටකය , පිළිස්සිය යුතු තැන වගේම එකතු වන ලේ ඉවත් කරන අවස්ථා පිළිබඳ ඔහු හෝ ඇයගේ ඇත්තේ දැඩි අවධානයක් . විශේෂයෙන්ම සිසේරියන් සැත්කමකදි ඒ අවධානය ඉතාමත් ඉහළයි කියන්න පුළුවන් මක් නිසාද ඔවුන් කටයුතු කරන්නේ ජීවිත දෙකක් එක්ක නිසා. මේ නිසා “පත්තර වල“ ගිය ආකාරයට “ඇඟිල්ලෙන් අල්ලා“ වඳ කරන ක්‍රමය (එහෙම ක්‍රමයක් ඇත්නම් ) කරන්නට ඇති අවස්ථාව පෙර කී කණ කැස්බෑවගේ කතාවේ අවස්ථාවටත් වඩා අඩුයි. අනෙක් ඒ කියන ආකාරයට ෆැලෝපීය නාල වලට තුවාල කාළොත් එය “හඳුනාගත“ හැකි වගේම 100%ක්ම නැතත්  එය නිවැරදි කිරීමේ අවස්ථාවකුත් තිබෙනවා. ඒ නිසා “ඇඟිල්ලෙන් අල්ලා ස්ථිර වඳභාවයට පත් කිරීම“ ආගමික / දේශපාලනික අන්ධභක්තිකයන්ට “ඇත්තක්“ වුනත් වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ ඇත්තක් නොවේ.

කෙසේ වෙතත්, ඉතා නිවැරදි ආකාරයට කරන සිසේරියන් සැත්කමක් නිසා වුවත් තාවකාළික හෝ ස්ථිර  ද්විතීක වඳභාවය (Secondary infertility)  ඇතිවීමේ ඉතා සුළු ඉඩක් තිබෙන බව කියන්න ඕන. ඒ ශල්‍ය කර්මයේදී සිදුවන කැපීම් සහ එහිදි ඇතිවන කැළැල් පටක සහ ආශ්‍රිත සංකූල නිසා. මේ තත්ත්වය නිසා මේ රට වල , විශේෂයෙන්ම පළමු දරුවා normal delivery මඟින් ලබා ගන්නට යෝජනා කරන අවස්ථා තිබෙනවා. දැන් කළබල වෙන්න එපා , වැඩි අවස්ථාවක් සිසේරිය්න් සැත්කමකින් මාස 12-24කට පස්සේ ගැටළුවක් නැතිව තවත් දරුවෙක් පිළිසිඳ ගැනීමට හැකිවෙනවා. 

හරි එහෙම නම් අද කතාව නිමා කරන්නට කාළය , දැන් ආගමික හෝ දේශපාලනික මත වලින් අන්ධවෙලා ඉන්න කෙනෙක් මේ ලිපිය කියවල කළබල වුනත්,  මෙයයි ඇත්ත කතාව. මට කිසිදු අයෙක් නිවැරදි කරන්න හෝ වැරදි කාරයෙක් කරන්න අවශ්‍යතාවයක් නැතත් , පළමු පත්වීමම සිසේරියන් ශල්‍යාගාරයක සේවය කරන්නට ලද භාග්‍ය ඔස්සේ අද දක්වා වසර විසි දෙකක් ලංකාවේ , මැද පෙරදිග සහ කැනඩාවේ සෞඛ්‍ය සේවය තුල දැනුම යාවත්කාළීන කරගනිමින් ජීවත් වන මට අවශ්‍ය වූයේ මේ පැතිරෙන කතා වල වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳ කතා කිරීම පමණි.

අපේ සිරි ලාංකික මිනිසුන් “ව්‍යාජ නමුත් රැල්ලට යන“ පුවත් මගින් අන්ධ කරන්නේද ආගමික හෝ දේශපාලනික වශයෙන් අන්ධව ඇති “උගතුන්“ යැයි කියාගන්නා පිරිසක් සහ එබඳුම මාධ්‍ය සංස්කෘතියක් මගින් බව දැනෙන විට උපන් සිරි ලංකාවේ අනාගය ගැන ඇතිවන්නේ කණගාටුවක්ම පමණි. එය තවත් වැඩි වන්නේ “පෝර්න්“ බලන්න අන්තර්ජාලයේ කප්පිත්තන් වන සමහර සිරි ලාංකිකයන් , ඒ අන්තර්ජාලය තුල ලොව පිළිගත් වෛද්‍ය වෙබ් අඩවි වල මේ කතා ඇත්තදැයි විමසා නොබලා “රැල්ලට යාමේ ස්වයංවින්දනය විදිමින්“ සිරි ලාංකීය ජාතියම ලෝකය තුල අවමානයට ලක් කිරීමට කටයුතු කිරීමයි.

අදට කතාව නිමයි , කැමැත්තෙක් යමක් අරගන්න. 

4 comments:

  1. //නමුත් එයින් සම්පුර්ණ වඳභාවය ඇතිවන්නට ඇති අවස්ථාව අඩුයි //

    ඒ කියන්නේ එය කල හැකි බවයි.

    //හැබැයි මෙහෙම පුළුවන්, මුළු කණ්ඩායමම දැනුවත් වෙලා රෝගියාට හොරෙන් මේ කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිළිගත් මිනිස් සමාජය තුල එවැන්නක් වන්නට ඉඩ නැහැ.//

    මුදල් හා බලය ඉදිරියේ ඕනෑම අමන වැඩකට සිංහලයා පාවිච්චි කල හැකි බව ඔබ නොදන්නේද ?

    //මේ නිසා “පත්තර වල“ ගිය ආකාරයට “ඇඟිල්ලෙන් අල්ලා“ වඳ කරන ක්‍රමය (එහෙම ක්‍රමයක් ඇත්නම් ) කරන්නට ඇති අවස්ථාව පෙර කී කණ කැස්බෑවගේ කතාවේ අවස්ථාවටත් වඩා අඩුයි.
    //

    කරුණාකර https://www.facebook.com/watch/?v=528305734367828
    මේ විශේෂඥ වෛද්යවරය කියන කතාව බලන්න.


    //කෙසේ වෙතත්, ඉතා නිවැරදි ආකාරයට කරන සිසේරියන් සැත්කමක් නිසා වුවත් තාවකාළික හෝ ස්ථිර ද්විතීක වඳභාවය (Secondary infertility) ඇතිවීමේ ඉතා සුළු ඉඩක් තිබෙන බව කියන්න ඕන. //

    දැනගතයුතු වැදගත් ම දේ තමයි 4000 ක් ශල්‍යකර්ම වලින් දැනටමත් 735 පැමිණිලි කරලා තියනව කියන්නේ දැනටමත් 18% ක අතිවිශාල ප්‍රතිශතයකට මෙය සිදුවෙලා ඒ කියන්නේ කණ කැස්බෑවගේ කතාවේ කොච්චර ගැලපෙනවද කියල හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බටහිර වෛද්‍යවරයෙක්ගෙන් ලෙඩට බේත් ගැනීම හැර වෙනත් කිසිදු උපදෙසක් නොගත යුතුයි. :D

      Delete
  2. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට, කෙසේ වෙතත් මම ලිපියෙදි කීව වගේම “කිසිවෙක් නිවැරදි කරන්නවත් වැරදි කාරයෙක් කරන්නවත්“ අදහසක් මේ ලිපිය තුල නැහැ . මෙහි ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය ( දේශපාලනිකව හෝ ආගමිකව අන්ධ නොවූ අයෙක් දකින ආකාරය )
    නැවතත් ඔබේ අදහසට සහ මතයට මගේ ගෞරවය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මෙය ජාතිවාදයට පමණක් අදාළ දෙයක් නෙමෙයි දනය සහ බලය හමුවේ මුනිවත රැක ඇත්තේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට පමණක් අදාළ දෙයක් විතරක් නෙමෙයි ඇමරිකාවටත් අදාලයි.

      2014 අවසානයේ ඇමරිකාවේ Dr. William Thompson නමැති වෛද්‍යවරයා කිව්වා වැක්සින් සහ ඔටිසම් අතර සම්බන්දය සෙවීමට කල පර්යේෂණයේදී තමාත් තම කණ්ඩායමේ සාමාජිකයන් නුත් එකතුව අදාළ විද්‍යාත්මක තොරතුරු විනාශ කල බව.

      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

      පසුව ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මාර්ගයෙන් ඔහු එමතොරතුරු එළිදක්වුව ඉහත විඩියොවෙන් කියන්නේ ඇමරිකාව මේගැන නිතිය ක්‍රියාත්මක කරන ලෙස කරන ඉල්ලීමයි නමුත් වසර 4ට ආසන්න කාලයක් ගියත් කිසිවක් සිදුවී නෑ,
      ධනය සහ බලයට කියන්නේ ඕකට තමයි.

      ඔබල කියනවා මෙහෙම වෙන්න බෑ අරම වෙන්න බෑ කියල නමුත් මුදල් බලය ඉදිරියේ සියල්ල පහසුවෙන් වෙනවා.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)