2020/01/29

233) මාස්ක් වන්නමේ ආශ්චර්‍යය


මෙ ලිපිය ලියන අද දවස වෙත්දි ලංකාවේ එක්තරා ආකාරයක “කුලප්පුවක්“ වී ඇති බවක් හැඟෙනව , අහන්න දකින්න ලැබෙන දේ අනුව. එහෙම කියන්න හේතුව “බහුතරය“ නිවැරදි දැනුවත් වීම් වලින් තොරව ෆේස්බුක් එකේ හෝ රූපවාහිනියේ උදේ පත්තර කියවන්නන්ගේ හිස් වචන නිසා අවදානමේ ස්වභාවය නිවැරදිව හදුනානොගෙන , ආයලේ දුවන බවක් රටෙන් ඈත හිටියත් අපට දැනෙනවා. අන්න ඒ නිසා මේ ලිපිය වෙන් කරන්න හිතාගත්තා මේ කුලප්පුව “ඔබට ඇත්දැයි“ හිතන්නට අවස්ථාවක් ලබා දෙන්න.

  1. මාස්ක් වන්නම
මාස්ක් වන්නම නටන්නට නම් 
අද දවස වෙත්දී ලංකාවේ පෞද්ගලික ඖෂධශාලා බොහොමයක ෆේස් මාස්ක් හිඟයක් ඇති බවත් , තිබෙන ඒවා රැපියල් 500කට එහා මිලකට පවා විකුණන්නට උත්සාහ කරන බවත් දැනගන්නට ලැබෙනවා. ඒ අතරේ මාස්ක් ගන්නට බැරිි වූ “ඇත්තෝ“ මරණය ගේ එළිපත්තට ආවාමෙන් සිතමින් විඳවමින් , තිගැස්මෙන් ජීවිතය ගත කරනවා. 

ඇත්තටම මේ කොරෝනා වයිරසයේ අවදානමක් ඇති මේ මොහොතේ, මාස්ක් එකේ එල්ලී “වන්නම්“ නැටිය යුතුමද? අපි ටිකක් කතා කරමු. 


ඇත්තම කිව්වොත් ඔබ ෆාමසියෙන් ගන්න 3 layers මාස්ක් එකෙන් , මෙවන් වයිරස සඳහා 100%ක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. හේතු කිහිපයක් 
  • මෙම සර්ජිකල් මාස්ක් මගින් වාතයේ තිබෙන කෙළ බිඳිති , විශාල දුහුවිලි අංශු යම් ප්‍රමාණයකට පෙරහන් කර ශ්වසනයට ලබා දුන්නද, වයිරස වැනි අතිශ්‍යය කුඩා ක්ෂුද්‍ර අංශු පෙරහන් කිරීමට එයට ඇති හැකියාව ඉතා අඩුය.( මීට පෙර ලංකාවේ මෙවැනිම අවදානම් අවස්ථාවල , ඒ වෙනුවෙන්ම ප්‍රතිකාර කරන Isolation care unit වල ඉදිරි සේවා වල කටයුතු  කළ අප මෙවැනි “වයිරස“ අවදානම් අවස්ථාවල සර්ජිකල් මාස්ක් නොපැලදූ අතර ඒ සඳහා විශේෂිත වූ මාස්ක් වර්ග භාවිත කළා. නමුදු ඒවායේ පවා 100%ක ඵලදායි ආරක්ෂාවක් ලැබෙුණේ නැත). එම නිසා සර්ජිකල් මාස්ක් පැලදීම තුලින් වයිරසයෙන් සම්පුර්ණයෙන් ගැලවිය හැකි යැයි සිතීම මුලාවකි. මේ පිළිබඳව මේ විෂයේ ප්‍රවීණයන් පවසන අදහස් වලින් එකක් මේ “Right now, there’s no evidence that [wearing face masks] is going to help prevent that infection,” Chiu, a professor of laboratory medicine at the University of California, San Francisco.
  • මාස්ක් එකකින්  යම් ඉහළ ආරක්ෂාවක් ලැබීමට නම් , එය නාසය කට සම්පුර්ණයෙන් ආවරණය කළ යුතුය. ඒ අතර යම් හිදැස් ඇති වේනම්, එයින් ලැබෙන ආරක්ෂාව තහවුරු කළ නොහැක. විශේෂයෙන්ම දුහුවිලි, කෙළ බිඳිති වැනි විශාග අංශූන් වලින් යම් ආරක්ෂාවක් ලැබෙතත්, වාතයේ පාවී එන වයිරස වැනි ක්ෂුද්‍ර අංශු වලට මාස්ක් එක සහ මුහුණ අතර ඇති හිදැස් මගින් රිංගා යා හැකිය. 
  • මේ සර්ජිකල් මාස්ක් පැළදීම මගින් , තමන්ගේ මුහුණ දෙසට කෙළ , කිවිසීම් ඉසීම් මගින් පැමිණිය හැකි විෂබීජ ප්‍රමාණය සීමා කරගැනීම මෙන්ම, තමන් ගේ නාසයෙන් , කටින් කෙළ බිඳිති සමඟ පිට වන විෂබීජ පරිසරයට මුදාහැරීම සීමා කිරීම කළ හැක. එමෙන්ම අප බොහෝ දෙනෙක් ලෙඩේ දා ගන්න “මුහුණ අතගෑමේ“ පුරුද්දෙන් වැලකීමට මේ මාස්ක් එක යොදා ගත හැකිවේවි.
  • අනෙක, සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක පෙරහනේ කාර්යක්ෂමතාව උපරිමව තිබෙන්නේ පැලද පැය කිහිපයක් යනකම් පමණයි, එය වෙනස් වෙනවා මාස්ක් එකේ නිශ්පාදනය , පැලඳ සිටින්නාගේ සෞඛ්‍ය තත්ත්වය සහ බාහිර පරිසරයේ තත්ත්වය අනුව. සාමාන්‍යෙයන් සර්ජිකල් මාස්ක් එකක විශාල ප්‍රමාණයේ අංශු , කෙළ බිඳිති , කිවිසීමෙන් පිටවන බිඳිති පෙරහන් කිරීමේ කාර්යක්ෂමතාව පැය භාගයකට විතර පස්සේ අඩුවෙන්න පටන් ගන්නවා. මාස්ක් එක ඉරි ගියොත්, නැත්නම් ඇතුල් පැත්තේ තියෙන අවශෝෂක ලේයර් එක , තෙමිල , පෙඟිලා නම් තිබෙන්නේ කොහොමත් මේ මාස්ක් එකෙන් අවශ්‍ය දේ සිදුවෙන්නේ නැහැ. එවැනි ගැටළුවක් ඇතිවුනේ නැතත්, පැය3-4කට වඩා එකම සර්ජිකල් මාස්ක් එක පැළඳ සීටීමෙන් වැඩක් ඇත්තේ නැහැ. මතක ඇතිව මේ අවස්ථාවේ මාස්ක් එක ඉවත් කරල, කසල බදුනකට දාල දෑත් පිරිසිදු කරගන්න
  • අනෙක් මේ සර්ජිකල් මාස්ක් පළදින්න පුළුවන් එක් අවස්ථාවක් විතරයි , පැළදු එකක් නැවත පැළඳීමම වයිරසය “අතින් අරන් කටේ දමාගැනීමක්“ . එය කොහෙත්ම කරන්න එපා, දැන් සමහර විට ලංකාවේ තිබෙන ගැටළුවත් එක්ක, සමහරු පාවිච්චි කළ මාස්ක් එක සර්ජිකල් ස්පිරිට් හරි මොනව හරි රසායනිකයකින් පිහිදල ආයේ පළඳින්න හදනව ඇති, එපා!!!! එය සම්පුර්ණ වැරදි ක්‍රමයක්. එයින් ඔබේ අවදානම වැඩි කරගන්නවා විතරයි.
  • හැබැයි මෙන්න මේ අවස්ථා වලදි සර්ජිකල් මාස්ක් එකක් දැමීම (මේ අවස්ථාවේ විතරක් නොවෙයි ඕනම අවස්ථාවක) වැදගත් ,
    • හිතන්න ඔබට හෝ දරුවාට තද කැස්සක්   සෙම්ප්‍රතිශ්‍යාවක් , උගුරේ අමාරුවක්  තිබෙනවා කියල , අන්න ඒ අවස්තාවේ මාස්ක් එකක් පැළඳීම ඔබේ විෂබීජ පරිසරයට මුදා හැරීම සිමා කරන්නට උදව් වෙනවා. එය කාටත් හොඳයි,
    • අපි හිතමු මේ දවස් වල ඔබ රෝහලට යනව කියලා, මාස්ක් එකක් අරගෙන යන එක වැදගත් වේවි, මොකද ඔබ යන වාට්ටුවේ , බාහිර රෝගී අංශයේ කැස්ස තිබෙන රෝගීන් , කිවිසීම් වන වාර ගණන වැඩි රෝගීන් ඉන්න බවක් දැනෙනව නම් දැන් ඔබේ මාස්ක් එක පැළඳ ගැනීම යම් ආරක්ෂාවක් දෙන්නට පුළුවන්.
    • ඔබ , ගුවන් තොටුපලේ හෝ , මෙම ආසාදනය පවතින රටවල සිට පැමිණි අය සමඟ වැඩි වෙලාවක් කටයුතු කරන අයෙක් නම් ආයතනය ලබා දෙන උපදෙස් අනුව මාස්ක් එකක් පැළඳීම වැදගත්.
    • සර්ජිකල් මාස්ක් සහ  N95 සැසැඳීම
    • මේ හැර , නිකං කඩේට යත්දි, ඉස්කොළෙට යත්දි මාස්ක් පළඳින්නට තරම් අවදානමක් අපේ රටේ ඇත්තේ නැහැ, එවැනි අවදානමක් ඇත්නම් රජයේ සෞඛ්‍ය අංශ ඔබව දැනුවත් කරාවි. එවැනි තත්ත්වයකදි පවා සර්ජිකල් මාස්ක් පැළඳීමෙන් 100%ක ආරක්ෂාව නොලැබෙන බවත් , මාස්ක් නොපැළඳු සියල්ලන්ට රෝගය වැළඳීමේ හැකියාවක් ඇතැයි කියන්නට නොහැකි බවත් ඔබ දැනුවත් කරන්නට  ඕන.
දැන් මේ විෂය ගැන දන්න කෙනෙක් කියාවි අපි N95 දැම්මොත් පරිස්සම්ද කියල. මුලින්ම N96, P100 වැනි Respirator masks වල පෙරීමේ හැකියාව පෙර කී සර්ජිකල් මාස්ක් වලට වඩා ඉහළ තිබෙන බව ඇත්ත, ඒ වගේම එය වැඩි කාළ සීමාවක් පැළඳිය හැකි බවත් ඇත්ත, එමෙන්ම එයට කුඩා අංශූ පවා පෙරා ගන්නට පුළුවන්. නමුත්! එයත් 100% ක කාර්ෂක්මතාවක් දක්වන්නේ නැහැ. එයටත් හේතු තියෙනවා, 
N95 වලදි Fit Test එක හරිම වැදගත් 
  • එහි පෙරහනෙන්ද යම් ක්ෂුද්‍ර අංශු ප්‍රමාණයකට රිංගායන්නට පුළුවන් වීම, (සර්ජිකල් මාස්ක් එකකට සාපේකෂව ඉහළ ආරක්ෂාවක් තිබුණද)
  • මෙවැනි රෙස්පිරේටර් මාස්ක් පැළදීම කරන්නට පෙර Respirator Fit Test එකක් මගින් පුද්ගලයාගේ මුහුණට ගැලපෙන මාස්ක් එකේ ප්‍රමාණය නිර්ණය කළ යුතු වෙනවා. එසේ පරික්ෂාවකින් තීරණය නොකර පළඳින N95 මාස්ක් එකකින් පවා බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබෙන්න පුළුවන්. (මෙම රටවල සෞඛ්‍ය සේවයේ ඉන්න අපට නම් හැම වසරකට Respirator Fit Test එක කර ලබා ගන්නා “සහතික“ හැම විටම අප ළඟ තිබෙන්නට ඕන, දැනගත් පරිදි ලංකාවේ රෝහල් පරිසරය තුල පවා මෙම Respirator Fit Test සිදු නොවන බවයි දැනගන්නට ලැබුණේ. කෙසේ වෙතත්, N95 මාස්ක් පැළඳීමෙන් පසු කරන Seal Check Test එක මඟින් පෙර කී Respirator Fit Test පරික්ෂාව යම් තරමකට ආවරණය කරන නිසා අඩුම තරමේ මෙම මාස්ක් පැළඳි හැම විටම අඩුම තරමේ Seal Check Test එකවත් කරන්නට උත්සාහ කරන්න, විශේෂයෙන්ම අපේ රෝහල් තුල ඉදිරිපෙළ සේවය කරන නිළධාරීන්ට මේ මතක් කිරීම.
  • ඔබ මුහුණ පුරා රැවුල වවා ඇති අයෙක්නම් N95 පැළඳුවද එයින් උපරිම ආරක්ෂාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හේතුව රැවුල නිසා ඇතිවන “හිදැස්“ පැවතීමයි
  • පොදුවේ මහජනතාවට මේ මාස්ක් වර්ග මිලදී ගැනීම ඉතා වියදම් අධික මෙන්න ප්‍රමාණවත් සැපයුමක් නැති වෙන්නත් පුළුවන්. ( සාමන්‍යෙයන් මම N95 මාස්ක් පැළඳීම කරන්නේ , රෝහල් වල අවදානම් රෝගීන් සමඟ සෘජු සත්කාර කටයුතු කරත්දී )
මේ අනුව කියන්න තියෙන්නේ , මාස්ක් හොයන්න කුලප්පුවෙලා දුවල දුවල හති වැටිලා, ඒ අතරේ මේ වයිරස වලට ගොදුරු වෙන්න එපා, ඊට ඉස්සර ඔබට කළ හැකි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපඳින්න, එය සමහර විට මාස්ක් එකකින් “මුහුණ වසා ගත්තාට‘‘ වඩා වාසිදායක වේවි.

මේ කතා කළ දේ අනුව දැන් ඔබට වැටෙහ්වි කියල හිතනව දැනට ලංකාවේ ඇතිවී තිබෙන ‘‘මාස්ක් කුලප්පුව“ කොයිතරම් දුරට පළදායීද කියල. කෙසේ වෙතත් ලංකාවේ මා දකින ප්‍රධාන සන්නිවේදන ගැටළු කිහිපයක් තිබෙනව, විශේෂයෙන්ම මෙවන් අවදානම් අවස්ථාවකදි, 
  1. බොහෝ දෙනෙක් “රජයේ“ උපදෙස් පිළිබඳ යම් අවිශ්වාසයක් දරන්නට කැමැත්තක් දක්වනවා, එයට හේතු ලෙස සමහර ජනමාධ්‍ය වල උදේ පත්තර කියවන්නන්ගේ අදහස මෙන්ම සමාජ ජාලා අඩවිවල සෞඛ්‍ය පිළිබඳව , විශේෂයෙන්ම මේවගේ අවදානම් තත්ත්ව වලදී සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කිසිදු දැනීමක් නැති පුද්ගලයින් පතුරවන මතවාද , ප්‍රවෘත්ති මා දකිනවා. ඒ විතරක් නොවේ සමහර අවස්ථාවල සෞඛ්‍ය පිළිබඳ දැනීමක් ඇතැයි විශ්වාස කරන ආයතන බව වැරදි තොරතුරු බෙදා හරිනවා. හොඳම උදාරණය අර මාස්ක් එකේ පැති මාරු කර පැළඳීම ගැන තොරතුරු ලබා දුන් ඉන්දියානු සෞඛ්‍ය ආයතනය.
  2. අනෙක රජයේ පිළීගත් නිවේදන සාමාන්‍ය මහජනතාවට ලඟා වන ක්‍රමවේදයේ අඩුපාඩු, බොහෝ වෙලාවට අශ්වයා ගියාට පසු ඉස්තාලේ වහන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. එය එදා සුනාමියේ සිට අදත් යම් තරමකට එලෙසමදැයි සැකයක් පවතිනවා. මෙම රටවල නම් රටේ යම් අවදානම් අවස්ථාවක් හෝ සමස්ථ ජනතාවට දැනුම් දිය යුතු පණීවිඩයක් , එකම අවස්ථාවක අපේ දුරකථන වලට ලැබෙත්දි ගුවන් විදුලි , රූපවාහිනී වලද එම පණිවිඩයම සඳහන් වෙනවා. ඒ නිසා යම් අවදානමක් ගැන වැඩිපිරිසක් එකවර පිළිගන්නා ක්‍රමයක් ඔස්සේ දැනුවත් වීම මේ රටවල දකින්න පුළුවන් විශේෂත්වයක්
  3. අනෙක් සාධකය , ව්‍යාපාරිකයන් විසින් ඇති කරන ප්‍රචාරණයන්, මෙය ලංකාවේ පමණක් නොවේ බොහෝ රටවල දකින්න ඇතත්, ලංකාවේ එය තදින් වැළඳ ගන්නා බව ඔබටම දැනෙනවා ඇති.

හරි මේ මාස්ක් කුලප්පුවෙන් පස්සේ , කොරෝනා වෙනුවෙන් ලංකාවේ සිදුවන තවත් “අතිසාර්ථක“ ක්‍රම ගැන පොඩි විවරණයක් කරන්න හිතුනා, ඒ එම මත වලට පහර ගහනවාට වඩා , මේ අවස්ථාවේ “නිවැරදි දැනුම“ වැදගත් නිසාවෙන්.

කොරෝනාට පෙරුම්කායම් බැඳීම.

ආයුර්වේදය තුල පෙරුම්කායම් වල විශේෂ හැකියාවක් ඇති බව පිළිගන්නවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේ මතුව ඇති තත්ත්වය තුල , අතේ වැළමිටේ පෙරුම්කායම් ගැටගසාගෙන සිටීමෙන් , වයිරසය දේහ ගත වීම වලක්වන්නට බැහැ. මේ වයිරසය “ගඳ සුවඳ නැත්නම් විහිදෙන සැර“ අනුව හැරිලා යන එකක් නොවේ. එය මිනිසුන් සහ සතුන්ගේ දේහ වලට කැමැත්තෙන් ඇතුලු වෙලා ජීවත්වන්නට කැමති වයිරසයක්. 
අනෙක් චීනය කියන්නේ වසර 5000කටත් එහා ගිය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවති සංස්කෘතියක් , ඔවුනුත් මෙවැනිම ස්වභාවික අල, ගෙඩි, යුෂ වලින් රෝග වලට ප්‍රතිකාර කරන , ආයුර්වේදය වැනිම සංවිධානික වෛද්‍ය ක්‍රම රැසක් තිබුණූ රටක් . ඉතින් ඔවුන් මෙවැනි අල , මල් ගැටගසාගෙන් වයිරසය විනාශ කළා නම් ඇයි අපට මේ තරම් ගැටළුවක් ඇති වෙන්නේ. ඒ නිසා, කමක් නෑ පෙරුම්කායම් හෝ ඕන දෙයක් ඇඟේ අතුල්ලාගත්තට , නමුත් මේ ලිපියේ පහල දක්වන සෞඛ්‍ය උපදෙස් සහ රජය විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. එයයි ආරක්ෂාවට “නියම“ මග.කෙසේ වෙතත් පෙරුම්කායම් අතේ බැඳගන්නවාට වඩා හොඳ Hand sanitizer (Alcohol based) පැලඳ ගැනීම සහ එය අවශ්‍ය අවස්ථා වල භාවිත කිරීම නම් හොඳ ක්‍රමයක් වේවි.

කොරෝනාගේ නාසයේ ක්‍රීම් ගෑම

මෙය වරින්වර මතුවන කතාවක් , එනම් මේ වගේ වයිරස රෝග පැතිරෙත්දි නාසය ඇතුලත විවිධ ප්‍රතිජීවක අඩංගු ඖෂධ ගල්වා ගැනීමෙන් ආරක්ෂාවක් ලැබෙන බව. එයත් අර පෙරුම්කායම් වගේම කතාවක් තමා. ප්‍රතිජීවක වලින් වයිරසයකට බලපෑමක් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසාමනේ අප කියන්නේ නිකං හෙම්බරිස්සාවට ඇන්ටිබයොටික් ගහන්න එපා කියලා, එයින් අවාසිකයක් හැරෙන්නට වාසියක් ඇති වන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවෙත් ෆාමසිගානේ ගිහින් ඇන්ටිබයොටික් ක්‍රීම් ඔබේ , දරුවන්ගේ නාහේ ඇතුලේ ගාල , නැති කරදර ඇති කරගන්න එපා. ( එවැනි කරදර ගැන මෙහි ලිපි ගණනාවක් තිබෙනවා) 

මේවතේදි ලෝකයේ පර්යේෂකයින් ගණණාවක් මේ වයිරසයට බැට දිය හැකි ක්‍රම අත්හදාබලමින් ඉන්නවා. ඒ අත්හදාබැලීම් තුල ඔවුන් නවීන තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පර්යේෂණ කරත්දි , නවීන වෛද්‍ය තාක්ෂණික ක්‍රම මෙන්ම, විවිධ රටවල සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළීබඳව ද විමසීම් කරන නිසා, පෙරුම්කායම් වලින් කොරෝනාට ගහන්න හැකිදැයි අනාගතයේ හෙලිවේවි, එතකං ඉන්න එපා , දැනුවත් වෙලා පරිස්සම් වෙන්න.

කොරෝනාට දුම් ගැසීම

මේ ගැනද කිව හැක්කේ පෙර කතාවමය, සමහර විට ඩෙංගු මදුරුවා තාවකාළික පළවාහරින්නට දුමක් වැදගත් වන්නට පුළුවන්, නමුත් මේ කොරෝනා ඔබට එන්නේ මදුරුවෙකුගේ පිටේ නැගී නොව , ඔබ ආශ්වාස කරන වාතයේ රිංගා ගෙනය. ඉතින් මේ දුම් ගැසීම් “හිත හදාගැනීමට“ මිස වයිරසයෙන් බේරිමට නම් නොවේ.

කොරෝනාට පිං වතුර ඉසීම, 

තවත් සමාජ මාධ්‍ය මගින් පතුරවන අදහසක් වන්නේ යම් ආගමික මෙහෙයුම් ඔස්සේ මෙ වයිරසයට බැට දිය හැකි බවය. කමක් නෑ, ආගමික් වතාවත් ඔස්සේ යම් මානසික සුවයක් ලැබේවි ,යම් මානසික ශක්තියක් ලැබේවි, නමුත් ඒ පමණක් ප්‍රමාණවත් නොවන බවත් , අදාල ආගමික වතාවත් වෙනුවෙන් සිදුවන සෙනඟ රැස්වීම් වලදී විශේෂයෙන්ම අප කතා කරන ආරක්ෂක සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් බව පමණක් මතක් කරනු කැමැත්තෙමි.

මේ කතා කළේ අද ලංකාව තුල පැතිරෙන යම් අදහස කිහිපයකි, කිසිදු විටෙක එම අදහස් පිළිගන්නා ඔබට ගරහාවක් කරන්නට නොසිතන අතර , එය පිළිගැනීමේ ඇදහීමේ අයිතියට පුද්ගලිකව ගරුකරමි  , නමුත් පහත  දක්වන සෞඛ්‍ය උපදෙස් පිළීපැදීම නම් ඉතාවැගත් බව පමණක් මතක් කරමි.

කොරෝනගෙන් ගැලවෙන්නට හරි මග 
  1. දෑත පරිස්සම් කරගන්න
    මේ හෑන්ඩ් සැනිටයිසර් ඇඳුමේ එල්ලගන්න පුළුවන්
     අවශ්‍ය සියළුම අවස්ථා වලදී ,දෑත් සබන් සෝදා ගලා යන ජලයෙන් පිරිසිදු කරගන්න. (විශේෂයෙන්ම,පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයෙන්,වෙළදසැල් වල ගැවසීමෙන් රෝහල් තුල රැඳීසිටීමෙන් පසු)
    1. පොදු ස්ථාන වලදී අත් සේදීමෙන් පසු වියලීම සඳහා සවි කර ඇති Hot air hand dryer භාවිත නොකරන්න 
    2. ජලය නොමැති අවස්ථා වලදී භාවිත කිරීම සඳහා Alcohol based hand sanitizer එකක් හැම විටම සූදානම්ව ළඟ ලබා ගන්න 
    3. ඇස් , මුහුණ අතගෑම් හැකි තරම් සීමා කරන්න.
    4. සුබ පැතීම් සඳහා අතට අතදීම්, වැළඳ ගැනීම් සීමා කරන්න. 
    5. රෝග ලක්ෂණ නොපෙන්වන අයෙක් තුල පවා වයිරසය ඇති බව , පැතිරවිය හැකි බව දැනුවත් වන්න. 
    6. සැක සහිත අවදානම් සහිත යමක් ස්පර්ෂ කලේනම් , දෑත් නිසි ලෙස පිරිසිදු කරගන්න.
  2. කෙළ බිඳිති ආවරණය කරන්න
    1. කිවිසීමේදී දෑත භාවිත නොකර ටිෂු එකක් හෝ නැත්නම් වැලමිට ඇතුලත භාවිත කර බිදිති විසිරීම පාලනය කරගන්න. 
    2. නැවත භාවිත කරන ලේන්සුවකට වඩා වරක් භාවිත කර ඉවත් කරන facial tissue වඩාත් සුදුසුයි මේ අවස්ථාවේ. 
    3. කිවිසීමකට , නාසය පිරිසිදු කිරීමකට පසු දෑත සබන් / ගලා යන ජලය හෝ Hand sanitizer භාවිත කර පිරිසිදු කරගන්න.
  3. රෝග ලක්ෂණ දැනගන්න
    1. කැස්ස, උණ , උගුරේ වේදනව, සෙම්ප්‍රතිශ්‍යා වේ ලක්ෂණ, ශ්වසන අපහසුව මුලික ලක්ෂණ විය හැක
    2. සෙම්ප්‍රතිශ්‍යාව ලක්ෂණ මතුවූ සැනින් කළබල නොවන්න.
    3. නිවසට වී දිනක් දෙකක් විවේක ගන්න, රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත්වන්න. 
    4. දියර වර්ග වැඩිපුර ගැනීම, පෝෂණිය ආහාර ගැනීම හැකි තරම් පවුලේ අනෙක් අයගෙන් ඈත්ව සිටීමට උත්සාහ කරන්න 
    5. මේ කාළය තුල ඔබේ හිතුමනාපෙට ප්‍රතිජීවක ඖෂධ නොගන්න. 
    6. ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පවුලේ අනෙක් අයගෙන් හැකි තරමට වෙන්ව මේ කාළසිමාව ගත කරන්න.( මේ අවස්ථාවේ නිවස තුලදී වුවද මුව වැස්මක් පැළඳීම පවුලේ අනෙක් අයට යම් ආරක්ෂාවක් වේවි)
    7. රෝග ලක්ෂණ වැඩිවන බව දැනෙනවා නම් මුව වැස්මක් පැළද, රෝහලට යන්න. 
    8. ඔබට කොරෝනා වයිරසය ඇතුළු වී ඇතැයි රෝහලේදී හඳුනාගත්ත ද වයිරසය ශරීරගත වූ සියල්ලන් ජීවිත අවදානමකට ලක් නොවනබව තේරුම් ගන්න, සෞඛ්‍ය උපදෙස් අනුව අදාල කාළ සීමා රෝහල තුල ගත කරන්න.
    9. සැක සහිත ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ ඉතා ළඟ කතා බහ ( මීටර දෙකකට වඩා ලඟින්) සිප ගැනීම්, නොකරන්න.
  4. හොඳට කන්න බොන්න
    1. පෝෂණීය ආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය/දියර වර්ග වයසට ගැලපෙන ප්‍රමාණයට පානය කරන්න. 
    2. මත්පැන් පානය මගින් මෙම වයිරසය විනාශ නොවන බව දැනුවත් වන්න. 
    3. මස්, කිරි බිත්තර වැනි සත්ව ආහාර හොදින් පිස පරිභෝජනය කරන්න. 
    4. (හොදින් පිසගත් මස් මාංශ අනුභවයෙන් ප්‍රෝටීන් මිස වයිරසය නොලැබේ ,කෙසේ වෙතත් සත්ව ආහාර මිලදී ගැනීම සඳහා වගකීමක් ඇති වෙළඳ සැලක් වෙත යන්න) 
    5. ආහාර සැකසීමේදී , නොපිසින ආහාර ( ගොටු කොළ වැනි) සමඟ නොපිසූ මස් මාංශ මිශ්‍රවීම වලක්වා ගන්න‍ 
    6. විටමින් සී සහිත ස්වභාවික පළතුරු භාවිතය වාසිදායක විය හැකි බව දැනුවත් වන්න.
  5. නිවැරදිව දෑත් පිරිසිදු කරගන්න
    1. ගලා යන ජලයෙන් , ඇඟිලි/ඇඟිලි අතර/මැණික්කටුව ප්‍රෙද්ශය/අල්ල/පිටි අල්ල, හොඳින් තෙමා ගන්න 
    2. අත සෝදන සහ Hand sanitizer භාවිත කරන නිවැරදි ආකාරයන්
    3. දැන් සබන් යොදා පෙර ප්‍රදේශ තත්තපර 20-30ක්වත් හොඳින් අතුල්ලන්න , දැන් ගලා යන ජලයෙන් හොඳින් සෝදා හරින්න. 
    4. අත් වියලීම සඳහා පිරිසිදු රෙදි කඩක් හෝ ටිෂු එකක් යොදා ගන්න, කිසිදු විටෙක සවිකර ඇති Hot air hand dryer භාවිත නොකරන්න 
    5. ගලායන ජලය සහ සබන් නොමැති අවස්ථාවකදි Alcohol based hand sanitizer බිඳු කිහිපයක් අතට ගෙන පෙර කී ප්‍රෙද්ශ තුල හොඳින් ආලේප කරගන්න, වියලෙන්නට දෙන්න. තෙතමාත්තු කිරීම හෝ සේදීම කළ යුතු නොවේ. 
    6. අත කිළිටි යැයි හැඟෙන හැම විටකෙම සහ , කිවිසීම , නාසය පිරිසිදු කිරීම, සතුන් ස්පර්ශ කිරීමෙන් පසු, කෑම පිළීයෙල කිරීමට පෙර , කෑමට පෙර , වැසිකිලි භාවිතයට පසු, රෝගී අයෙක්ට සත්කාර කළ පසු සහ අතට අතදීම හෝ අවදානම් යමක් ස්පර්ශ කිරීමට පසු දෑත පිරිසිදු කරගන්න
  6. දැනුම යාවත්කාළීනව තබා ගන්න
    1. 2019 nCoV නමැති මෙම වයිරසය , ලෝකයට අළුත් කෙනෙක් නිසා තවමත් එහි හැසිරීම පිළිබඳ සෞඛ්‍ය ආයතන සිදු කරන පර්යේෂණ පිළිබඳ දැනුවත් වන්න, දැනුම යාවත්කාළීනව පවත්වා ගන්න. 
    2. රජය විසින් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. 
    3. සමාජ ජාලා වල පැතිරෙන තොරතුරු එකවර විශ්වාස කිරීම /බෙදා ගැනීම නොකරන්න. වැරදි තොරතුරු බෙදා ඇති විටෙක, වරද පෙන්වා දෙන්න 
    4. පහත බැදුම් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගන්නා “නිවැරදි“ නවතම දැනුම ලබා ගන්න.
      1. https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019
      2. https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html
    5. ලබා ගත් නිවැරදි දැනුම බෙදා ගන්න
  7. දැන ගෙන මාස්ක් එකක් පළදින්න
    1. අවදානම් යැයි ඔබ සැක කරන ස්ථානයකදි හෝ ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පළදින්න.
    2. පැළදීමට පෙර දෑත , සබන් සහ ගලා යන ජලයෙන් හෝ විෂබීජනාශකයක් යොදා පිරිසිදු කරගන්න. 
    3. හැම විටම වර්ණවත් ලේයරය (Fluid repellent layer) ඉවතට ( බාහිර පරිසරයට යොමු වන සේ)  සහ සුදු පැහැ පැත්ත මුහුණට ස්පර්ශ වන සේ පළදින්න. 
    4. කිසිදු විට සුදු පැහැ ලේයරය (Absorbent layer) එක ඉවතට තිබෙන සේ පළදින්න එපා. 
    5. නාසය ඉහළ කෙළවර සිට නිකටේ පතුල දක්වා මාස්ක් එකෙන් ආවරණය විය යුතුමයි 
    6. නාසය මතු පිට ඇති තුනී පතුර (Nose strip) එක ප්‍රමාණවත් ලෙස තද කරමින් නාසයේ හැඩයට , ආවරණය කරගන්න 
    7. Surgical mask මගින් 100%ක ආරක්ෂාවක් නොලැබුණද, නොපලදිනවාට වඩා ආරක්ෂාවක් ලැබෙන බව දැන ගන්න 
    8. එකම මාස්ක් එක නැවත භාවිත කරන්නට එපා.
    9. කෙසේ වෙතත්, අද දිනය වෙත්දී (01/28/2020) ලංකාවේ සාමාන්‍ය ජනයාට , මුව වැසුම් පැළඳීමේ අවශ්‍යතාවක් නැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දී තිබෙනවා.
ලෝකයේ ඉතා දියුණූ සෞඛ්‍ය පහසුකම් තිබෙන මෙම රටේ ( කැනඩාවේ) සෞඛ්‍ය සේවයේ කටයුතු කරන අප , අපේ සේවාලාභීන් ( clients/patients) දැනුවත් කරනුයේද මෙම ආකාරයෙනි, තවමත් කිසිවෙක්ට මාස්ක් පැලදීම පිළිබඳව අප උපදෙස් ලබා නොදෙන අතර, රෝහල තුලදී පවා , අවදානම් ඒකක්වල හැරෙන්නට , අනේක සාමාන්‍ය ඒකක වල දී කොරෝනා වයිරසය නිසාවෙන් මාස්ක් පැළඳීමක් සිදු නොකරයි. 

අවසන, සොඳුරු අසපුව තුල ලියැවෙන සියළුම ලිපි වලට පාදක කරගන්නේ , වසර විස්සකට වැඩි කාළයක් සෞඛ්‍ය සේවයේ ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස සේවය කරමින් අප ලබා ගත් ප්‍රාෙයා්ගික දැනුම, වසර අටකට වැඩි විෂයානුබන්ධ දැනුම සහ ජාත්‍යන්තරව පිළිගත් www.cdc.gov,  www.who.int www.ncbi.nlm.nih.gov  www.osha.gov
වැනි වෙබ් අඩවි වලින් ලබා ගන්නා යාවත් කාළීන තොරතුරු මිස, සෞඛ්‍ය/වෛද්‍ය ක්ෂේත්‍රය පිළීබඳ දැනුමක් නැතිව , හුදෙක් ඉංගිරිසි ලිපි පරිවර්තනය කරන්නන්ගේ හෝ , එබඳු කිසිදු අවබෝධයක් නොමැති ෆේස්බුක්කරුවන්ගේ ‘‘දැනුම‘‘ යැයි කියාගන්නා යාවත්කාළීන නොවූ හෝ නොමග යවන තොරතුරු වලින් නොවන බව මතක් කරන්නේ , මෙම ලිපිවල අඩංගු තොරතුරු පිළිබඳ ඔබේ විශ්වාසනීයත්වය ඇති කිරීමටයි.

මම -මහේෂ් ( සොඳුරු සුව අසපුවෙන්) 
ලියාපංචි හෙද නිලධාරි- ශ්‍රී ලංකාව
විශ්‍රාන්ති චිකිත්සක/අංශ ප්‍රධානී - කැනඩාව

ආශ්‍රිත ලිපි-
https://www.osha.gov/Publications/respirators-vs-surgicalmasks-factsheet.html

මේ වෙලාවේ මෙම ගැළුටවේ තත්ත්වය දැනගන්නට
https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6


4 comments:

  1. බොහොම ස්තූතියි....ඉතා සාරගර්භ..මනා හැදැරීමකින් ලියා ඇති ලිපියක්..ඔබේ කාලයට හා මහන්සියට බොහොම ස්තුතියි.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)