2026/02/02

258) ලංකාවේ Sex ed සහ ගුණධර්ම රැකීම


පහුගිය දවස් ටිකේ ෆේස්බුක් නිව්ස්ෆිඩ් එක පුරා එක් එක් ආකාරයට හැඩ ගැන්වූ එක් කතාවක් පැතිරෙන බව දැන ගන්න ලැබුණා. ඒ "ලංකාවේ sex education" කියන මාතෘකාව ගැන. 

මුලින්ම යම් දේශපාලනික හෝ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා වගේ දැනුනත්, පහුපහු වෙන්න ඒ කතාවලට හේතුකාරකය, ලංකාවේ සමාජ මාධ්‍යයම ජනප්‍රියතාවයක් ලබාගෙන ඉන්න, එක්තරා ටියුෂන් ගුරුවරයෙක් කළ දේශනයක් බව පස්සේ කියවන්නට ලැබුණා. 

දැන් මේක කියවන්නට හදන, කෙනෙක් හිතන්න පුළුවන් "ආ මෙයත් හදන්නේ අපේ ගුරුතුමාට පාර ගහන්න" කියල. නැහැ, මගේ අරමුණ කිසිදු "පුද්ගලයෙක් වෙත" අහේතුකව ප්‍රහාර එල්ල කිරීම නොවේ. මොකද, මාත් ජීවිතේ පටන් ගත්තේ "ටියුෂන්කාරයෙක්" විදියට. හැබැයි ඒ "අවිද්‍යාව සහ ගෝත්‍රික අදහස්" වෙළඳන් කරමින් "ලාබ-ජනප්‍රියත්වය" අපේක්ෂා කරමින් නොවේ, මගේ විෂය වුනේ , "විද්‍යාව" සහ ඒ සමඟ ජීවිතේ ජයගන්න , ලෝකය එක්ක ඉදිරියට එන්නට අදහස් එකතු කළා විෂයට අමතරව. 

ඒ නිසා මුලින්ම කියන්න ඕන, මගේ ලිපියේ අරමුණ, අදාල දේශකයාගේ කතාව තුල අන්තර්ගත "වැරදි" අදහස් සහ ඒ ඔස්සේ ඔහු සමාජගත කරන්නට හදන අවදානම් මතය ගැන, මගේ මතය කරුණු කාරණා සහිතව ඉදිරිපත් කිරීම පමණයි. එය හරිද වැරදිද, සමාජගත විය යුත්තේ කුමක්ද කියන එක කියවන ඔබට බාරයි.

දේශකයා "බොහොම සංවේදීව" කළ දේශනය තුල මට හඳුගන්න පුළුවන් වුනු කරුණූ පහක් තිබුණා. ඒ ‍වගේම, මේ දේශනයෙන් පස්සේ ගෙදර ගිහින්, සමාජ මාධ්‍ය තුල පැතිරෙන ඔහුගේ දේශනයේ වැරදි කියවෙන පෝස්ට් වෙනුවෙන් සැලසුම්ගතව කළ වීඩියෝවේ කරුණූත් ටිකක් විග්‍රහ කරල බැලුවා. මුලින්ම , මං ඒ වීඩියෝ දෙක තුල මා හදුනගත්ත ප්‍රධාන කරුණූ මේ විදියට කෙටියෙන් කියන්නම්.

මුල්ම වීඩියෝව (දේශනය) තුල මට දැනුනු කරුණු මේ

🟡1. ප්‍රජනක සෞඛ්‍යය දරුවන්ට අවශ්‍ය නොවන බව - "ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕන ළමයි නෙමෙයි."

🟡2. ගුණධර්ම සහ කීකරුකම කෙරෙහි අවධානය යොමු කිරීම - "ළමයි දැනගන්න ඕන ගුණධර්ම අම්මට තාත්තට කීකරු වෙන්න. අම්මා තාත්තා කියන දේ අහන්න. ගුරුවරු කියන දේ අහන්න. ඒවා මිස ලිංගික පද්ධතිය ගැන නෙමෙයි."

🟡3. විදේශීය සංකල්ප පිළිබඳ අනතුරු ඇඟවීම - "පිටරටවල තියෙන හැම ගුලියම ගිලින්න එපා. ඒවා ගැලපෙන රටවල් තියෙනවා නොගැලපෙන රටවල් තියෙනවා."

🟡4. ළමා කාලය ආරක්ෂා කිරීම - "ළමයි එන්න ඕන ළමයි විදිහට. ... ඒක පටලව ගන්න එපා."

🟡5. සුදුසු කාලය සහ මනසෙහි මුහුකුරා යාම -  "ප්‍රජනක සෞඛ්‍ය දැනගන්න උවමනක් කාලයෙද්දී නොමේරූ හිත් වලට මේක දීලා බෑ."

මේ කතාවෙන් පස්සේ ගෙදර ඉඳන් එකතු කළ වීඩියෝවේ මෙන්න මේ වගේ උත්තර බැඳීමක් වගේ දෙයක් කරල තිබුණා.

🟠1.  මාධ්‍ය සහ "Thumbnail" මත වරද පැටවීම - "ප්‍රශ්නය තමයි ඉතින් අර තම්නේල් එකක් දැක්ක ගමන් අපේ සමහර අය ටිකක් කලබල වෙනවා"

🟠2. "නිසි වයස" පිළිබඳ තර්කය - "නිසි වයසේදී නිසි කාලෙදී ඒ ප්‍රජනක සෞඛ්‍යය ගැන ප්‍රජනක පද්ධතිය ගැන උගන්න ඕනේ කියන එක" මෙතැනම ඔහු "නිසි වයස" ගැන ඔහුගේ දැනුමේ හැටියට මෙහෙම කියනවා " මම උගන්නන්නේ ඒ නිසි වයස ඉන්න අයට... මම උගන්නන්නේ ඒ ඇති මොකද මේ උසස් පෙළ පාඩමක් නිසා ඒක අපිට කරන්න වෙනවා"

🟠3. "ළමයි" යන වචනය අර්ථ දැක්වීම - මම ළමයි කියන එකෙන් අර්ථ දක්වන්නේ... ලිංගික පරිණතිය වුන හෝ ඒකට ආසන්න වෙච්ච අය හැර ඊට පහල අය ගැන තමයි"

🟠4. තමා ජීව විද්‍යා ගුරුවරයෙකු බව සිහිපත් කිරීම - මම ජීව විද්‍යා ගුරුවරයෙක්... මානව ප්‍රජනනය... පාඩම වශයෙන් තියරි ළමයින් ටික උගන්න ඕන"

🟠5. ප්‍රායෝගික අත්හදා බැලීම් පිළිබඳ බිය - "පරිණතභාවයක් නැති නිසා ඒක දරන්න තරම් ඒක සුදුසු නැති නිසා ඒ මානසික මට්ටම ඒ දරුවෝ ඒක එක්පීරියන්ස් (experience) කරන්න බලනවා"

🟠6. විවේචකයන්ගේ හැසිරීම තමාගේ මතයට සාක්ෂියක් ලෙස යොදා ගැනීම - "ප්‍රජනක සෞඛ්‍ය විතරක් දැනගෙන ගුණධර්ම දන්න නැති අය හැසිරෙන විදිහ තමයි මේ තියෙන්නේ"

🟠7. ලිංගික අධ්‍යාපනය වෙනුවට ආත්ම ආරක්ෂාව - "ප්‍රජනක සෞඛ්‍යයට වඩා එතනදි අපයෝජනයකට ලක් නොවීම සම්බන්ධව තියෙන්න ඕන ආත්ම ආරක්ෂාව ගැන දැනුම... ගුඩ් ටච් බෑඩ් ටච් ඒක ඒ ළමයාට තේරුම් කරන්න ඕන"


හරි දැන් මේ ලිපියට පාර තමයි මේ. නමුත් මේ ඔස්සේ මා උත්සාහ කරන්නේ වඩාත් නිවැරදි (සමහර විට ලංකාවේ රැල්ලට නොයන) විද්‍යාත්මක සහ සංඛ්‍යාත්මකව වඩාත් පිළිගත්, ඒ වගේම ලංකාව වගේම ගෝලීයව මේ පිළිබඳ ඇති අද දවසට ගැලපෙන නිවැරදි මතය මට තේරෙන විදියට එකතු කරන්න. 

ඒ තුල මා කිසිවිටෙකත් , "මා" වෛද්‍යවරයෙක් හෝ ළමා සෞඛ්‍යය විශේෂඥයෙක් එහෙමත් නැත්නම් මේ පිළිබඳව පර්යේෂණ කළ විශේෂඥයෙක් ලෙස පෙනී සිටින්නට හෝ සමහර ටියුෂන්කාරයන් මෙන් "හුදෙක්, රැල්ල හිනැස්සීමට හෝ රැල්ලෙන් වන්දනා ලැබීමට"  බොරු මවා එකතු කරන්නේ නැහැ. 

මා රටවල් කිහිපයක, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විවිධ පරාසයන්ගේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ උපන් කැනඩානු සෞඛ්‍යය වෘත්තිකයෙක් , ඒ වගේම ලෝකය දිහා අද දවසට ගැලපෙන විදියට දකින්න, රැල්ල යන අතට වඩා නිවැරදි අත හදුනාගන්න උත්සාහ කරන පියෙක්, වැඩිහිටියෙක්, සහ මට දැනෙන දේ ගැන "වෙනත් කිසිදු ලාබ අපේක්ෂාවක් නැතිව ලියන්නෙක්,  එච්චරයි.  

මගේ ලිපිය තුල ඇති හැම කරුණකටම පසුබිම් වන දත්ත, තොරතුරු, අත්දැකීම් සහ විශ්ලේශණ සතුව තමයි මේ ලිපි එකතු වෙන්නේ. මේ කතාබහට අදාල ප්‍රායෝගික උදාහරණ සහ සැසඳීම් සඳහා රටවල් දෙකම තුල අධ්‍යාපන පද්ධති වල උගත්, නමුත් වැඩියෙන්ම කැනඩානු පද්ධතිය තුල ඉගෙනීම කළ මගේ දරුවන්ගේ අත්දැකීම් සහ ඒ ආශ්‍රිතව කැනඩාව ඇතුළු දියුණූ අධ්‍යාපන ක්‍රම ඇති (ලංකාවත් ඇතුළුව) අධ්‍යාපන/සෞඛ්‍යය පද්ධති සමඟ සැසඳීමක් කරන්නයි කල්පනාව.

මේ ගැන සිංහලෙන් කොටන්න තිබුණු කම්මැළිකම නිසා, ඊයේ මගේ ෆේස්බුක් පිටුවට එක් කළ ලිපියට කැමති නම් මෙතැනින් යන්න.

https://www.facebook.com/share/p/1DJupcBAEV/

දැන් අපි මේ ප්‍රධාන කතාවට එමු.

මුලින්ම, ඔහු කළ දේශණය තුල, දැක්වූ කරුණූ පහ අතරින් කෙටියන් විග්‍රහ කළ හැකි කරුණූ තුනක් ගැන ම‍ගේ අදහස දක්වනවා. ඊට පස්‍සේ තමයි හානිකර ලෙස සමාජගත විය හැකි ප්‍රධාන කරුණු දෙක සහ ඊට අදාල කරුණූ වලට එන්නේ. ඒ නිසා, මුලින්ම කියන්නෝන මේ ලිපිය ටිකක් දිග එකක් වේවි. කියවීම නොකියවීම ඔබේ කැමැත්ත, මගේ අදහස් එකතු කිරීමේ මගේ යුතුකම විතරක් මේ විදියට ඉටු කරල තියනවා.

🔹ගුණධර්ම සහ කීකරුකම කෙරෙහි අවධානය යොමු කිරීම.

මාත් මේ අදහසට යම් තරමකට සහ පැහැදිලි කිරීම් සමඟ එකඟ‍ වෙනවා. මුලින්ම ගුණධර්ම, 

මෙතැනදි මා ගුණධර්ම විදියට සළකන්නේ  , තමන්ගේ වටිනාකම, සමාජය තුල පවත්වාගත යුතු වටිනාකම්, කාරුණික බව, තමන්ගේ වටිනාකම් පවත්වා ගනිමින් අනෙකා වෙත ගෞරවය පත්වා ගැනීම, අනෙකාගේ "තත්ත්වය" නිවැරදිව හදුනාගැනීමට දරණ සහකම්පණය, අධ්‍යාත්මික වටිනාකම්, සමාජමය ව‍ගකීම් වගේ දේවල්. මේව තමයි අද දවසේ , මිනිස් සමාජය තුල "ගුණධර්ම" විය යුත්තේ. එහෙම නැතුව දකින දකින කෙනාට වැඳ වැඳ "හොඳ" වෙන එක හරි, පාටක් දාගත්ත නායකයෙක් හරි ආගමක කරුණූ ඔස්සේ ජීවත්වන පූජකයෙක් කියන වෙනත් බාසාවක වාක්‍යයකට කිසිම තේරුමක් දන්නේ නැතිව දොහොත් මුදුන් දීගෙන හෝ ඔළුව නමාගෙන ඉන්න එක නොවෙයි. 

ඒ වගේම, "කීකරුකම" කියන්නෙ අපේ රටේ බොහෝ සාම්ප්‍රදායික හෝ පරම්පරානුගත රටාවම පවත්වාගන්නා වැඩිහිටියන් හිතන, කියන විදියට  වැඩිහිටියන් කියන ඕන දෙයක් , ප්‍රශ්න කිරීමකින් තොරව ඔළුව නමා පිළීගන්න එක, හෙමින් කතා කරන එක, වැඩිහිටියෙක් එක්ක තර්ක නොකර, හුදෙක් කියන "කියන දේ අවබෝධයකින් හෝ විමසීමකින් තොරව පිළිපදිමින් ඔළුව නමාගෙන , නිහඬවී" ඉන්න එක නොවෙයි. මේ "කීකරු රටාව" තුල හැදෙන්නේ විවෘත මනසක් ඇති, විමසා බලන්නට ‍කැමැත්තක් ඇති දරුවෙක්/වැඩිහිටියෙක්ට වඩා "පෞරුෂමය වගේම චින්තනය" තුලත් බිඳී ගිය, කැඩුනු දරුවන්, බිඳුනු වැඩිහිටියන්. නිවැරදි කීකරුකම වෙන්නේ, තමන්ගේ වටිනාකම පවත්වා ගනිමින්, අවශ්‍ය සහ විමසිය යුතු තැන අනෙකාට දිය යුතු වටිනාකම දෙමින් විමසීමට හැකි, අවශ්‍ය තැන විවේචනාත්මකව හිතන්නට, විමසන්නට පුළුවන්, තමාට උදව් අවශ්‍ය තැන ගෞරවාන්විතව උදව් ඉල්ලන්නට වගේම, තමන්ගේ වටිනාකම් වෙනුවෙන් එපා හෝ නැහැ කියන්නට ශක්තියක් ඇති හැකියාව දරුවෙක් තුල තිබීමයි.

🔹විදේශීය සංකල්ප පිළිබඳ අනතුරු ඇඟවීම 

මේක ඉතින් අප දන්න කාළේ ඉඳන් අපේ සමාජය "ගොනාට අන්දල" තමන්ගේ පැවතීම , තමන්ගේ ඡන්දය, තමන්ගේ ජනප්‍රියත්වය පවත්වා ගන්නට කියවෙන කතාවක්නේ. ඒකම, මේ පුද්ගලයාත් ප්‍රකාශ කිරීම ඒ තරම් පුදුමයක් නොවෙයි. මොකද, ඔහු දන්නවා තමන්ට වන්දනා කරගෙන ව‍ගේ ඉන්න සමාජයේ ඇති තත්ත්වය , විමර්ශණ බුද්ධියේ තරම සහ ඒ ඔස්සේ තමන්ට ලබා ගත හැකි විවිධ "වාසි". මොකද , ඇත්තට මේ පුද්ගලයා විවිධ කුසලතා ඇති පුද්ගලයෙක් , ඒ ගැන සැකයක් නෑ. විටෙක නළුවෙක්, විටෙක ගායකයෙක්, හුඟක් වෙලාවට ජෝකර් කෙනෙක්, ධර්ම දේශකයෙක්, තවත් අවස්ථාවක අහන් ඉන්න අයගේ හඳුන්පත කීං කීං ගාන ගානට සුන්දර රිදීමක් ඇති කරවන්න පුළුවන් කථිකයෙක් , ආ.. තවත් වෙලාවට විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ වගේම දරුවන්ගේ කටපාඩම් කරගන්න රටාවට හුරුවූ මනසට උසස් පෙළ ජීවි විද්‍යාවේ කරුණූ "නිදාගන්නේ නැතිව" අහන්න ඉන්න පුළුවන් විදියට දෙන ටියුෂන්කාරයෙක්. ඔය ‍සේරටම වඩා දිගු කාළීන සැලසුම් ඇති , තමන්ගේ හැකියාවන් හොඳම තැනට විකුණමින් "ජීවිතේ ජයගන්න" උත්සාහ කරන තවත් අපේම මනුස්සයෙක්.

මේ විදේශීය සංකල්ප සහ ලිංගික සෞඛ්‍යය අධ්‍යාපනය හෝ ප්‍රජනක සෞඛ්‍යය අධ්‍යාපනය කියත්දි මේ අතරේ ලොකු වෙනස්කම් ඇත්තේ නැහැ. මොකද, කැනඩාවේ කෙල්ලට ආර්ථවය වෙන විදියට තමයි , ලංකාවේ ගම්තුලානේ ඉන්න කෙළීටත් මාස් අමාරුව හැදෙන්නේ. ඒ වගේම උන් දෙන්නගේම ජීව පද්ධති වල ක්‍රියාකාරකම් හුඟක් දුරට සමානයි. 

වෙනස ඇත්තේ අදාල රටවල ප්‍රතිපත්ති, පහසුකම් සහ දැනුවත්බව සහ දේශගුණික පාරිසරික තත්ත්ව ඔස්සේ ඇතිවන පරස්පරයන් විතරයි. ඒ ඔස්සේ යමින් , දරුවන් වෙත ලබා දෙන ප්‍රජනක/ලිංගික සෞඛ්‍යය ගැන (මේ Reproductive Health සහ Sex Education කියන පද දෙක ගැනත් සමහරු ගැටළු , දේශපාලනික මතයකින් ඉදිරිපත් කරල තියෙනව දැක්ක. මම ඒ ගැනත් ලිපිය අවසානයේ කතා කරන්නම්) ලොකු වෙනසක් මේ පද්ධති දෙක තුල ඇත්‍තේ නැහැ, පෙර කී රටේ නීතිමය සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් (උදාහරණයක්, ගබ්සාවේ නීතිමය තත්ත්වයන්) හැරෙන්නට. 

ඒ නිසා, බටහිර රටකින් , අද දවසට ගැලපෙන අධ්‍යාපන සහ සෞඛ්‍යය සහ සමාජ පර්යේෂණ මත ලැබෙන නිවැරදි දැනුමක්, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලට එක්වීම, ලංකාවේ දරුවෙක්ට ඉගෙන ගැනීමට ලැබීම "වරදක්" විදියට මා නම් දකින්නේ නැහැ. විය යුත්තේ එසේ ලැබෙන යාවත්කාළීන, නිවැරදි සහ රටේ ප්‍රතිපත්ති/නීති පද්ධති වලට ගැලපෙන දැනුම , ගුරුවරයා , දෙමාපියා හෝ පිළීගන්නා සංවිධානාත්යමක සැලසුමක්, ආකෘතියක් ඔස්සේ දරුවන්ට ලැබීමට සැලැස්වීමයි. 

එයයි විය යුතු. එසේ නොවීම තුල ජංගම දුරකථනය, අන්තර්ජාල පහසුකම් අතැති දරුවා "තමන්ට ඕනෑ දේ" මොහොතකින් හොයා ගන්නට පුළුවන්. ඒ හොයා ගන්නා දේ සෞඛ්‍යයානුකූලද, සමාජීයව සුබදායකද කවුද දන්නේ. නමුත්, නිවැරදි දැනුම දරුවාට ලබා දීම තුල, කුතුහලය ඇති දරුවාට නිවැරදි අදහසක් ලැබෙනවා. ඒ තුල තව දුරටත් කුතුහලය ඔස්සේ සොයා බැලීම් කළත් , නිවැරදි දැනුම ඇති නිසා අවදානමට ලක්වීමේ ඉඩ කඩ අඩුවෙනවා. ඒ නිසා, පිටරටින් එන හැම ගුලියම නොගිල, නිවැරදි, යාවත්කාළීන ගුලිය එකතු කරගත්තාට කමක් නෑ. ඒ වගේම ලංකාවෙන් එන් සමහර ගුලි කෑවොත් ....එක්කෝ මක්කටෙයි ඕව කියෝල නේද?

ඊළඟ අදහස,

 🔹"ළමා කාලය ආරක්ෂා කිරීම "

මේ හරිම ලස්සන, ආදරනීය අදහසක් වගේ නේද පේන්නේ? හැබැයි මේ අදහස තුලම "බිඳුනු, අපයෝජනය වී තමන් වෙනුවෙන් ඉදිරිපත් වීමට ශක්තියක්, දැනුමක් නොමැතිව නිහඬවුනු" දරුවෙක්, වැඩිහිටියෙක් තැනෙන පරිසරයක් හැදෙන්නත් යොදා ගන්නට පුළුවන්. තවත් විදියකින් කිව්වොත් මේ ප්‍රකාශය දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. 

ඇත්තටම "ළමා කාළය ආරක්ෂා කරන්නට" කැමැත්තක් ඇත්නම් කළ යුත්තේ දැනුම ලබා දීම, හැංගීම හෝ හංගා මැජික් පෙන්වීම නොවෙයි. තමන්ගේ ශරීරය ගැන, එහි වෙනත් අයෙකු නොදැකිය හෝ ස්පර්ශ නොකළ යුතු තැන් ගැන, තමන්ගේ සීමාවන් පවත්වා ගැනීම ගැන දැනුවත්වීම තුල තමයි "ළමා කාළය" ආරක්ෂා වෙන්නේ. එහෙම නැතිව එන හැම සීයගේම උකුළුට වෙලා මුකුළු කිරීමම නොවේ. මේ අදහස ගැන ඔහු දෙවන "පැහැදිලි කිරීමේ හෝ තමන්ගේ වැරැද්ද වසා ගැනීමට උත්සාහ කිරීමේ" වීඩියෝව තුල යම් ආකාරයකින් කියනවා මෙන්න මෙහෙම , 

"ලිංගික අධ්‍යාපනය වෙනුවට ආත්ම ආරක්ෂාව - ප්‍රජනක සෞඛ්‍යයට වඩා එතනදි අපයෝජනයකට ලක් නොවීම සම්බන්ධව තියෙන්න ඕන ආත්ම ආරක්ෂාව ගැන දැනුම... ගුඩ් ටච් බෑඩ් ටච් ඒක ඒ ළමයාට තේරුම් කරන්න ඕන" 

මේ කියන "ගුරුවරයා" අඩුම තරමේ මේ කරුණූවත් " නොදැන සිටීම ගැන ඇත්තේ පුදුමයක්, ඒ වගේම මේ ලිපියෙන්ම ඔහුට ආරාධනා කරන්න කැමතියි එන්න, මගේ "සොඳුරු සුව අසපුව" කියන සිංහල බ්ලොග් එකට මං ලිංක් එක පහළින් දාන්නම්. එහි 170 වන ලිපිය මීට අවුරුදු එකොළහකට විතර ඉස්සර ලිව්ව ලිපියක්, ඒක කියවන්න. හේතුව මේකයි, මේ Good touch, bad touch, private part, PANTS rule වගේ දේවල් පාසල් පුංචිම පන්ති වල ඉන්න දරුවන්ට, සමහර අවස්ථා වල පෙර පාසල් අවධියේදීම උගන්වන්නේ. හැබැයි ඒ self-defence විෂයක් යටතේ නොවෙයි. පෙර පාසල් අවධියේ නම් life‑skills කියන ක්‍රියාකාරකම් ඔස්සේ සහ, පාසල් තුල නම් Health and Physical Education or Health හෝ Human Development and Sexual Health කියන සෞඛ්‍යය විද්‍යාත්මක විෂයයන් තුල. මේකම , තවත් අවස්ථාවක Comprehensive Sexuality Education (CSE) කියන විෂය තුල උගන්වනවා.

ඒ නිසා ඔහු දෙවන වීඩියෝවේ දී පළමු වැරැද්ද වසා ගැනීමට වරදවා හෝ කියන මේ කරුණට මාත් එකඟයි, ඒ ඔහුත් එකඟවන දැනුම දරුවන්ට ලබා දෙන්න ඕන. නමුත් ඒක, එන්නේ මේ කියපු විෂයයයන් , එහෙම නැත්නම් පොඩි දරුවන්ට දෙන්න එපා කියන ඔහුම කියන විෂයන් වල කොටස් තුලමයි.

දැන් ඔහුගේ ආදරණීය (වගේ) දේසනාවේ හොඳම කොටස,

 🔹"ප්‍රජනක සෞඛ්‍යය දරුවන්ට අවශ්‍ය නොවන බව " සහ "සුදුසු කාලය සහ මනසෙහි මුහුකුරා යාම" එකතුව අඩංගු ලාබ කතාව ගැන.

දැන් මේ කතාවේ ප්‍රධානම සීමාකාරී සාධකය වන, "සුදුසු කාළය" ගැන තමන්ගේ ඇති නොදැනුවත් බව හෝ තමන් නිවැරදියැයි දරන මතය තහවුරු කරගන්නට එකතු කරන දෙ‍වන වීඩියෝව තුල ඔහු තව දුරටත් අනාගන්නවා. එතැනදී "ළමයා", "පරිණතභාවය", "මුහුකුරායාම" , "නොමේරු හිත්" වගේ සංකීර්ණ වටිනාකමක් ඇති , නමුත්  ලාංකීය සමාජය තුල බහුලව ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදා ගන්නා අදහස් ඔස්සේ තමන්ගේ "නොපරිනත" බව සමාජගත කරනවා. හැබැයි වාසනාවනට මේ කතා අහන සමාජයේ විමර්ශණ බුද්ධිමය හැකියාව මත, මොන විදියට බාර ගත්තාද කියන අදාල කතාබහ දකින, කියවන ඔබට වැටහේවි.

මේ පුද්ගලයා කියන සහ අඟවන ආකාරයට ලිංගික අධ්‍යාපනය හෝ ප්‍රජනක සෞඛ්‍යය ගැන උගත යුත්තේ උසස් පෙළ කරන , එනම්, අවුරුදු දහ හත, දහ අට වගේ වයස්වල ඉන්න දරුවන්. ඊට වඩා අඩු දරුවන් නොමේරු හිත් ඇත්තන්. එයාලට ශිෂ්ණය ගැන කියල දුන්නම, ඊළඟ දවසේ ශිෂ්ණය බෝල බෙයාරිම ඔබාගෙන ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා. යෝනිය ගැන කියල දුන්නම ‍‍බෝතලයක් ඔබාගෙන කරදර කරගන්නවා. මොකද ඔහු කියන විදියටම "ඒ කාලේ ඒක දුන්නාහම මේ දරුවන්ගේ මානසිකත් මට්ටම මෝරලා නැති නිසා පරිණත යම් පරිණතභාවයක් නැති නිසා ඒක දරන්න තරම් ඒක සුදුසු නැති නිසා ඒ මානසික මට්ටම ඒ දරුවෝ ඒක එක්පීරියන්ස් (experience) කරන්න බලනවා"

හැබැයි ‍මේ කියන ගුරුවරයාම, අර "පරිණත" දරුවන්ට උගන්වනවා කියන කාළය තුලම "ශිෂ්ණය හැපුනොත් මොනව වේවිද?" ඉතාමත් අධ්‍යාපනික වටිනාකමක් ඇති පාඩම් එහෙමත්.

මේ මුහුකුරායාම, පරිණතවීම , මේරු හිත් ඇතිවීම සිදුවන්නේ මොහු කියන විදියට  ජම්බු ගහක් උඩ ඉඳල හදිසියේ වැටෙනවා වගේ නොවෙයි. ඒක ක්‍රමානුකූල, රිද්මයානුකූල සහ දින, පැය ඔස්සේ කාළය සමඟ ක්‍රමයෙන් වැඩිදියුණුවන ජීව, සහ සමාජ විද්‍යාත්මක තත්වයක්. මේකටම, පාරිසරික තත්ත්ව, දෙමාපිය , සමාජයේ දැනුවත්බව, තාක්ෂණික පහසුකම් එහෙමත් බලපානව. 

උදාහරණයක් හිතල බලන්නකෝ ඔබ අප පාසල් දරුවන් විදියට ජීවත්වුනු කාළයේ අපට තිබුණූ ‍දැනුම සහ අද දවසේ එම වයසේ දරුවෙක්ගේ දැනුමේ වෙනස. අපට ලෝකය දකින්න තිබුණෙ විජය පත්තරේ මිහිර පත්තරේ සහ ගුරු දෙගුරුන් කියන දේ විතරයි. ඒ කියා දුන් දේවල් ගැන පදනමක් ඇතිව තර්ක කරන්න අවශ්‍ය බව දැනුනත් ඒ සඳහා පසුබිම් දැනුමක් ලබා ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. 

අද ඒ වගේද? ෆෝන් එක ගත්තා , ඇප් එකක් ගත්තා ඕන දෙයක් දරුවන්ට හොයා ගන්න පුළුවන්. ඒ දවස් වල මහරජා දහස් ගාණක් මිනී මරල, ජීවිත අවදානමක් අරගෙන , විනාසයක් කරල හදාගත්ත රජමාලිගයට කිට්ටුව තියාගත්ත අන්ත:පුරේ රඳවාගෙන හිටපු රජාගේ හිත ගිය, ගමේ , රටේ ලස්සම ගෑනු ටිකට වඩා ලස්සන ගෑණූ හෝ පිරිමි අන්තර්ජාලය ඔස්සේ කිසිම යුද්දයක් නැතිව ගෙදර කාමරේ ඇතුලට ගෙන්න , ගෙනල්ල තමන් කැමති දෙයක් වර්වුවලි කරගන්න පවා පහසුකම් අද දවසේ තියෙනවා, අනෙක මේ සමහර දේ නොමි‍ලේම ගන්න පවා , මේ නොමේරු හිතැත්තන්ට අද තියෙනවා. 

මේ වගේ පරිසරයක් තුල, අර මුලින් කිව්ව වගේ ජම්බු ගහෙන් ඇදන් වැටුන වගේ "ක්ෂණික පරිණතවීමක්" නොවෙයි සිදුවෙන්නේ, එය ක්‍රමාණූකූල ක්‍රියාවලියක්. ඒනිසා වැටෙනකම්ම ඉන්න එපා උගන්වන්න. එය ඊට පෙර ක්‍රමානුකූලව, පියවරෙන් පියවර සිදුවිය යුතු අධ්‍යාපනික ක්‍රියාවලියක්. 

මේ කරුණ ඔස්සේ යමින්‍ ගෝලීය තත්ත්වය ගැන විමසා බැලීමක් කළොත්, වඩාත් දියුණූ, වඩාත් යාවත්කාළීන, වඩාත් ගෝලීය පරිසරයට ගැලපෙන අධ්‍යාපන පද්ධති රටවල ක්‍රියාත්මක වන්නේ මේ ක්‍රමය. ඔවුන් Life skills ඔස්සේ පටන් ගන්න  Comprehensive Sexuality Education (CSE)  එකක් පියවරෙන් පියවර දරුවාගේ වයස, ලබා දෙන දැනුම අවබෝධ කරගැනීමේ මානසික මට්ටම, අතිරේක පහසුකම්, ගුරු සහ දෙමාපිය අවබෝධය වගේ සාධක ඔස්සේ ගලපා යමින්, ටිකෙන් ටික, සංකීර්ණ විෂය කරුණූ දක්වා එනවා. 

ඒ තුල කරන්නේ, උගන්වන්නේ, පෙන්වන්නේ ;  ලංකාවේ සමහරු සෙක්ස් එඩුකේෂන් එහෙම නැත්නං "ලිංගික අධ්‍යාපනය" කියල කියපු ගමන් වල්ගේ උස්සගෙන හිතන Po#$Hub වීඩියෝ වල කරන රඟපෑම් ගැන කියාදීමක් නොවෙයි. ඒ තුල කියා දෙනවා, තමනගේ ජීව අවයව, ඒවාගේ පිරිසිදු බව තියා ගන්න විදිය, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂභාවය සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය ( මේක නිවැරදි වචනය නොවේ, මේක ඇතුලේ තමයි පහුගිය කාලෙ ලංකාවේ සමහර අය කුලප්පු වෙච්ච LGBTQ වගේ අවස්ථා ගැන පැහැදිලි කෙරෙන්නේ සහ ඒ ඔස්සේ ඔවුන් වෙත අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන්ම ‍මානුෂීය ගෞරවය ඇතිව පිළිගැනීමක් ඇතිවීමට දරුවාට අවස්ථාව දෙන්නේ. මං දන්න විදියට gender and gender identity වෙනුවෙන් සුදුසුම වෙනත් වචනයක් නෑ , දන්නවනං කොමෙන්ට් කරන්න මාත් ආසයි අළුත් දෙයක් ඉගෙන ගන්න), මානව සම්බන්ධතා පවත්වා ගැනීම, කැමැත්ත ප්‍රකාශ කිරීම, සීමා පවත්වා ගැනීම, අනෙකාගේ ගෞරවනීයත්වය පිළිගැනීම, සෞඛ්‍යානුකූල පුරුදු, ප්‍රජනක පද්ධතිය ගැන ජීව විද්‍යාත්මක කරුණූ, වැඩිවිය පත්වීම සමඟ ඇතිවන වෙනස්කම්, ආර්තව චක්‍රය සහ ඒ ආශ්‍රිත දැනුම, ගර්භනීත්වය ඇති වන ආකාරය, සහ පවුල් සැලසුම් ක්‍රම, ලිංගාශ්‍රිත රෝග සහ වලක්වා ගැනීම , හදිසි ගර්භණීත්වයන් වලක්වා ගැනීමේ ඖෂධ සහ ගන්නා ආකාරය වගේ බොහොම සැලසුම්ගත, පුළුල් දැනුමක් දරුවාට පියවරෙන් පියවර ලබා දෙනවා. දැන් මම කිව්වද? හතරේ පන්තියේ පොඩි එකාට පොස්ටිනෝ ගිලින හැටි කියල දෙනවා කියල , නෑ. ඒ ගැන කියල දෙනවා නමය, දහය වගේ වෙත්දි. 

ඔන්න ඔය විෂය කරුණූ එකතුවට තමයි Sex Ed කියල කියන්නේ. ඒතුල sexual and reproductive health education කියන දෙකම අන්තර්ගත වෙනවා.

දැන්, මෙයා කියන විදියට පරිණත හෝ වැඩිවිය පත්වුනාට පස්සෙද මේ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන. නැහැ, එය සමාජ පර්යේෂණාත්මකව ඔප්පු කරපු වැරදි , කල්පැන ගිය, ගෝත්‍රික අදහසක්. අද දවසේ දියුණූ ලෝකය, විද්‍යාත්මක සහ පර්යේෂණාත්මක කරුණූ පදනම්ව පිළිගන්නා මතය තමයි "දරුවා කායිකව, ජීව විද්‍යාත්මකව වැඩිවිය පත්වීමට පෙර , මේ ලිංගික/සෞඛ්‍යය අධ්‍යාපනය ලබා දිය යුතු බව." අවුරුදු දෙදාස් පන්සීයකට පෙර නොවෙයි, 2018දී, ලෝක සෞඛ්‍යය ‍සංවිධානය ඉදිරිපත් කරන International Technical Guidance on Sexuality Education වාර්තාව තුල ඔවුන් මෙහෙම කියනවා. "starting CSE [Comprehensive Sexuality Education] at the age of 5 when formal education typically begins. However, sexuality education is a lifelong process... Learning is incremental; what is taught at the earliest ages is very different from what is taught during puberty and adolescence." ඒ ඔස්සේ යමින් ඔවුන් තවදුරටත් කියනවා "Sexuality education helps them prepare for and manage physical and emotional changes as they grow up, including during puberty and adolescence. " ඒ කියන්නේ, මේ විෂය ඔස්සේ, දරුවා තමා වැඩෙත්දී, මුහුණදෙන කායික, චිත්තවේගීය වෙනස්කම් සඳහා "සූදානම්" වීමක් විය යුතු බව. මෙන්න මේ "සූදානම්" වීම තමයි වැදගත්. 

දැන් මේක ලංකාව සහ කැනඩාව අතර‍ පොඩි සැසඳීමක් කරමු අදහස් ගන්න බලාගෙන. 

කැනඩාවේ ගැහැණූ දරුවෙක් වැඩිවිය පත්වෙන්නේ දළ වශයෙන් අවුරුදු දොළහක වගේ සීමාවකදි. කොළු පැටියෙක් නම් අවුරුදු එකොළහ වගේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ, හයේ, හතේ වගේ පන්තිවලදි. දැන් මේ දරුවන් "වැඩිවිය" පත්වෙන්න ඉස්සර වෙලා, ඒ කියන්නේ හතරේ පන්තියේ ඉඳන් තමන්‍ගේ ශරීරය ගැන, වයසත් එක්ක සිදුවන වෙනස්කම්, වැඩිවිය පත්වීම කියන්නේ මොකක්ද කියන වගේ කරුණූ සරළව, තේරුම් ගන්න පුළුවන් විදියට ලබා දීම පටන් ගන්නවා. ඒ කියන්නේ, දරුවා "වැඩිවිය පත්වෙත්දි" ඒ ගැන අවබෝධයක් දරුවාට තියෙනවා. එතැනදි කුතුහලයට වඩා, තමන්ගේ දැනුවත්බව එක්ක අළුත් ජීවිතයට මුහුණදෙන්න දරුවට පුළුවන් වෙනවා.

දැන් ලංකාවේ මොකක්ද වෙන්නේ, සාමාන්‍යයෙන් ලංකාවේ කෙළි පැටියෙක්, අවුරුදු දහතුනක වගේ සීමාවකදීත්, කොළු පැටියෙක් අවුරුදු දොළහකදී වගේදීත් තමන්ගේ "වැඩිවිය" පත්වීමේ කායික ලක්ෂණ අත්විඳිනවා. ඒ කියන්නේ, හත, අට වගේ පන්තියේදී. මම දන්නේ නැහැ දැන් මේ පන්ති වලදි මේ ගැන උගන්වනවාද කියල. මා ඉගෙන ගන්නා කාළයේ අසූ ගණන් වල අන්තිම කාළේ ප්‍රජනක පද්ධතිය ගැන මුහුණ බලන්නේ නැතිව හරි ගුරුතුමී අපට කියල දෙන පාඩම තිබුණේ දහයේ පන්තියේ( එකොළහ වසරේ) විද්‍යාව පොතේ. ඒ කියන්නේ, ලංකාවේ දරුවෙක් "වැඩිවිය" පත්වෙත්දි, ඒ ගැන ජීව විද්‍යානුකූල , සංවිධානිත දැනුමක් , අවබෝධයක් දරුවට ලැබිල නැහැ. ඒ අවබෝධව ලැබෙන්න හෝ ඊට ආසන්න යමක් ඉගෙන ගන්න හරි තවත් අවුරුදු දෙක තුනක් ඉන්න වෙනවා. 

දැන් මේ අවස්ථා දෙක සසඳල ඔබම හිතන්න වඩාත් නිවැරදි ‍කුමක්ද කියල. මගේ පුද්ගලික මතය නම් , ජාත්‍යන්තර අදහස සමඟ ගැලපෙනවා. ඒ කියන්නේ, වැඩිවිය පත්වීමට පෙර සිටම මේ විෂය ගැන දැනුම දරුවාට ලැබෙමින් තිබෙන්නට ඕන. ඒ තුල මේ දේශකයා කියන විදියට වෙන වෙන එක්පීරියන්ස් කරනවාට වඩා, දැනුමින් උගත් ජීවියෙක් බවට පත් වෙනවා. නමුත් ලංකාමේ මේ පරක්කු වීම් නිසා, එක්පීරියන්ස් කරන්න ගිහින් වගේම, තිබෙන දැනුමේ අඩුකම නිසා, ලංකාවේ  ජනගහණය දහසකින් 15ක් ළමා/අඩුවිය ගැබ් ගැනීම් බවට පත් වෙනවා (වාර්තා වෙන ඒවා විතරයි). අර වේලාසන ‍ලිංගික අධ්‍යාපනය ලබා දෙන "බටහිර රට" කැනඩාවේ , ජණගහනයෙන් දහසකට අඩුවිය ගර්භණිත්වයන් සිදුවෙන්නේ 4.1 විතර. 

 ලිංගික අධ්‍යාපනය ටැබූවක් කරගෙන, සඟවා ගත් මැජික් එකක් කරගෙන, නිවැරදි ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට, ඒ ඔස්සේ වැඩිහිටිවන පරම්පරාවට නිසි සහ නිවැරදි ලෙස ලබා නොදීමේ තවත් එක් ප්‍රතිපලයක් "ගබ්සා කිරීම්" , විශේෂයෙන්ම අනාරක්ෂිත , අවදානම් සහගත සහ වෛද්‍ය හේතුවක් නොවන ගබ්සා කිරීම්. උපත්පාලන ක්‍රම , හදිසි උපත් පාලනය, තම ජීව ක්‍රියා ගැන නොදැනුවත් බව සහ ඒ ආශ්‍රිත අවශ්‍ය පහසුකම් නොතිබීම මේ ගබ්සා වල ප්‍රධාන හේතුවක් වෙනවා. ඔබ දන්නවද , වසර දහයකට විතර වාර්තා වී ඇති දත්ත අනුව (ලංකාවේ සෞඛ්‍යය දත්තත් හරිම අපහසුයි ලබා ගන්න, ඒවත් එක්කො වාර්තා නෑ, නැත්නං ලෝකයට මුදා හරින්න බැරි තරම් ඇති) වසරකට 240,170ක් ගබ්සා කිරීම් සිදුවෙනවා. 

ඒ වගේම ලංකාවේ සිදුවන "මාතෘ මරණ" වලින් 10-13%ක් සඳහාම ප්‍රධාන හේතුව වෙන්නේ, අනාරක්ෂිත ගබ්සා කිරීම් සහ ඒ ඔස්සේ ඇතිවූ සංකූලතා. මරණ විතරක් නොවෙයි, සංකූල සහිතව රෝහල් ගත වන ගර්භණී මව්වරුන්ගෙන් 7-16% අනාරක්ෂිත ගබ්සා කිරීම්, ඒ සඳහා උත්සාහ කිරීම් සහ ආශ්‍රිත සංකූල එක්ක. ඔබ දන්නවද ඒතුලත් ඇති කණගාටුදායක තත්ත්වයක්, ඒ එන අයත් වැඩි දෙනෙක් එන්නේ ප්‍රතිකාර ගත යුතු මූලික අවස්ථාව පහු වෙලා, අවදානම් තත්වයට පත් වුනාම, මොකද, නීතිමය ගැටළු, සමාජමය කැළැල් සහ නොදැනුවත්කම නිසා. 

ඔබට මතකද මන්දා , 2021දී අවුරුදු දහ තුනක දැරිවියක් මියයනවා, තමන්‍ගේම පවුලේ අයෙක් ඔස්සේ සිදුවනු ලිංගික දූෂණයක ප්‍රතිපලයක් විදියට ඇතිවූ දරු ගැබ විනාශ කරගන්න ගත් අනාරක්ෂිත උත්සාහයක් නිසා. දැන්වත් තේරුම් ගන්න පුළුවන්ද ලංකාව තුල අද දවසේත් ඇති අවදානම. මේව, ආගමික, සංස්කෘතික වගේ වචන එක්ක වහල දාල හංගන්න පුළුවන් දේවල් නොවෙයි. මේ මිනිස්සු හැංගිලා හරි මුහුණ දෙන ඇත්ත තත්ත්වය.

මේ තවත් දැනගත යුතු අවදානම් , 2025 කළ පර්යේෂණයක් අනුව හදුනාගන්නවා, තම ආර්ථවය ආශ්‍රිත සෞඛ්‍යය දැනුවත් වීම් ලබා ඇත්තේ, අදාල වයස් සීමාවේ ඉන්න දරුවන්ගෙන් 10%ක් විතරයි. ඒ කියන්නේ ගැහැණූ දරුවන් සියයකින් අනූවක්, තමන්ගේ ශරීරය තුල සිදුවන වෙනස්වීම් සහ ඒ ඔස්සේ පත්වාගත යුතු සෞඛ්‍යය පුරුදු ගැන "නිවැරදි" දැනුමක් නැහැ. (ගෙදරින් හෝ සාම්ප්‍රදායිකව ලැබෙන දැනුම හැරෙන්නට) . මේ විදියටම, 2015 කළ සමාජ පර්යේෂණයක් ඔස්සේ හදුනාගන්නවා ලංකාවේ තරුණයන්‍ (adolescents) ගෙන් 1%කටත් අඩු ප්‍රමාණයකට තමයි "ප්‍රමාණවත් සහ නිවැරදි" , ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය ගැන දැනුමක් ඇත්තේ. 

තවත් හරි අපූරු තොරතුරක් මේ ආකාරයේම සමාජ පර්යේෂයක් ඔස්සේ හදුනාගන්නවා, ඒ 2022 දී කළ එකක්. ඒ ඔස්සේ හදුනාගන්නවා, දැනට කරගෙන යන ආකාරය තුල පාසල් දරුවන්ට ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය ගැන දැනුම ලබා දීම තුල ගැටළු කිහිපයක්. (මේ කියන්නේ, දැනට කරන ක්‍රමය තුල පවා) ඒ අතරේ, අදාල ගුරුවරුන්ට මෙම විෂය ගැන නිසි විශේෂිත පුහුණු නොලැබීම පළමු තැන තියෙනවා. ඒ කියන්නේ මේ වගේ සංවේදී මාතෘකා කොහොමද දරුවන්ට ලබා දෙන්නේ කියන එක වගේ දේ ගැන අධ්‍යාපන මනෝ විද්‍යාත්මකව මූලිකව හොඳ සෞඛ්‍යය දැනුමක් ලැබෙන්න ඕන.  තවත් තැනකදි දෙමාපියන්, සමාජයේ විරුද්ධ විම් , ආගමික පූජකවරුන්ගේ එරෙහිවීම් කියන හේතුව නිසා , අදාල විෂය කොටස් උගැන්වීම වැලැක්වීම. තවත් තැනකදි අවශ්‍ය අධ්‍යාපන උපකරණ , පහසුකම් නොතිබීම වගේ ගැටළුත් තිබෙන බව හදුනාගන්නවා. ඒ කියන්නේ, අවශ්‍යතාව තිබුණත් සමහර විට ලබා දීම ගැන ගැටළුවකුත් ඇතුලේ තියෙනවා. ඒ වගේ ගැටළු හදන්නන්ට , මේ වගේ ගුරුවරු කියා ගන්න අයගේ  "ආදරණීය ගොං කතා" සමාජගත වීම උපකාරයක් වෙන්නත් බැරි නෑ. 

මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අනාගතයේදී හෝ සිරි ලංකාව මිදෙන්න නම්, ලිංගික, ප්‍රජනක සෞඛ්‍යය ගැන නිවැරදි සහ ප්‍රමාණත් දැනුමක් ඇති තරුණ පරපුරක්වත් බිහිවෙන්න නම් විය යුතු දේ විදියට මා දකින කරුණු කිහිපයක් මේ. තවත් ඇති, ඒ කරුණූ කොමෙන්ට් තීරයට එකතු කරමින් මේ ලිපිය තවත් මිතුරන් අතරේ බෙදා ගත්තොත් , අපේ සමාජයට යම් අවස්ථාවක් ඒවි "ඇස් හැර" බලන්නට, අඩුම තරමේ මේ වගේ දිව්‍යය ලීලාවෙන් පෙනී සිටින ප්‍රේතයන්ට අවස්ථාවක් නොදී දුම්මල ගසා එළවා දමන්නට.

🟩1) ලිංගික අධ්‍යාපනය දරුවා කුඩා කාළයේ සිටම පියවර ඔස්සේ ක්‍රමානුකූලව ලබා දීම, විශේෂයෙන්ම "වියපත්" වීමේ සීමාවට පෙර, එහි ප්‍රධානතම සෞඛ්‍යය කරුණූ ලැබීමට සැලසුම් සැකසීම. 

🟩2) පුළුල් විෂය මාලාවක් සහතික කිරීම ,ඒ තුල ලිංගික, ප්‍රජනක සෞඛ්‍ය්‍ය, උපත්පාලනය, හදිසි උපත් පාලනය වැනි අත්‍යවශ්‍ය කරුණූ අන්තර්ගත කිරීම.

🟩3) මෙම විෂයානුබද්ධව ගුරු පුහුණුව සහ වෘත්තීය සහාය සඳහා ප්‍රමාණවත් ලෙස ආයෝජනය කිරීම

🟩4) ආයතනික , සංස්කෘතික බාධාවන් සහ සමාජමය ලෙස අද දවසේ මෙම ක්ෂේත්‍රය ගැන ඇති වැරදි, යාවත්කාළීන නොවූ , ගෝත්‍රික මත, කැළැල් බිඳින්නට අවශ්‍ය ක්‍රියාත්මක වීම් වෙන්න

🟩5) අවදානමට ලක්විය හැකි සහ පාසල් බාහිර ජනගහනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය සහ පහසුකම් පුළුල් කිරීම

🟩6) ගබ්සාව පිළිබඳ දැනට ඇති "දැඩි සහ අද දවසට නොගැලපෙන" නීති‍ කොටස් ඉවත් කර, පිළිගත් සාධක මත  ආරක්ෂිත ගබ්සාවන් රාජ්‍ය මැදිහත්වීම් සහිත සේවා පුළුල් කිරීම

ඔන්න ඔය කතාව තමයි මට , මේ ‍දේශකයාගෙ අදහසට අදාලව ඔබ ඉදිරියේ තබන්නට ඇත්තේ. ඔබ මේ කරුණූ වලට මේ සැනෙන් එකඟවෙන්න අවශ්‍ය නැහැ, නමුත් විමසීමක් කරන්න, දැනුවත් වෙන්න. ඒ දැනුවත් වීම මත අපේ සමාජය දැනුවත් කරන්න එකතු වෙන්න. වැරදි මත දරන්නන්ගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය දිරිය ලබා ගන්න.

එහෙම නම් කතාව ඉවරයි. මේ ලිපිය මං ලියන්නේ ම‍ගේ අදහස්ම නොවෙයි, ඒ තුලට තවත් පිළිගත් පර්යේෂණ රැසක පිළිගත හැකි වාර්තා , තොරතුරු එකතු කරගන්නවා. යම් අයෙකුට අවශ්‍ය නම් ඒ වාර්තා, පර්යේෂණ මොනවාදැයි දැන ගන්නට මට හෝ "සොඳුරු සුව අසපුව" වෙත පණිවිඩයක් දාන්න. එවිට ඒ තොරුතුරු ලබා දෙන්නම්. මොකද ඒ සියල්ලත් මේ ලිපියේ වලිගේ වගේ එක් කළොත් කියවනවාට වඩා වනන්න තමා වෙන්නේ.

එහෙම නම් සුබ දවසක් ඔබට පහතින් ඇත්තේ ‍ලිපියේ ඉහළ සඳහන් කළ ලිපියක ලිංක් එක.

https://nursinglanka.blogspot.com/2015/03/170-child-sex-abuse.html 

මේ වගේ කතාබහ ඔස්සේ දැනුවත් වෙන්න , දැනුම බෙදා ගන්න කැමති නම් එන්න මේ  ‍ෆේස්බුක් පිටු වෙත,

🟩සොඳුරු සුව අසපුව

https://www.facebook.com/sondurusuwa

🟩 RecMike Chronicles

https://www.facebook.com/RecMike.Chronicles


No comments:

Post a Comment

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)