අද නම්, සෞඛ්‍යය දැනුවත් කිරීම් කරන්නට ඕන තරම් ෆේස්බුක් පේජ්, ගෲප්ස් තියෙනවා. විශේෂයෙන්ම අර වීව්ස් වලින් කීයක් හරි හොයාගන්න පුළුවන් පහසුකම ලංකාවට ලැබුණට පස්සේ, සමහර සෞඛ්‍යය වෘත්තිකයන් සැලකිල්ලෙන්, නිවැරදි ලෙස පළ කරන පෝස්ට් සොරකම් කර, තමන්ගේ වගේ බෙදාගන්නා, ඒ ඔස්සේ කීයක් හෝ හොයාගන්නට උත්සාහ කරන ෆේක් හෙල්ත් ෆිල්ඩ් එකක් දැන් ෆේස්බුක් පරිසරයේ ඇති බවක් පේනවා.
හැබැයි, මෙව්ව මේ තරම් නැති කාළේ, ලිව්වට සල්ලි හම්බවෙන්නේ නැති කාළේ , අන්තර්ජාලයේ සිංහල අකුරු භාවිත කරමින්, සෞඛ්‍යය තත්ත්වයන්, සෞඛ්‍යය පරිසරයේ ඇත්ත අත්දැකීම් ගැන සෞඛ්‍යය වෘත්තිකයන් විසින් ලියවුනු නිවැරදි තොරතුරු ලියවුනු “සිංහල බ්ලොග්” කිහිපයක් ඇති වුනා. ඒ අතර, “සොඳුරු සුව අසපුව” නමින් මගේ බ්ලොගයත් සක්‍රියව තිබුණා.
මම මේ එන්නේ, මගේ පුද්ගලික කයිවාරුවකට නොවෙයි. අපේ රටේ “ලිංගික අධ්‍යාපනයේ” දැනටත් ඇති ගැටළුවක් ගැන මගේම අත්දැකීමක් පෙන්වන්නට.
ඉතින්, අර කී බ්ලොග් අඩවිය වෙත, 1,134,000 (ඔව් මිලියනකට වැඩි) පිරිසක් පිටු පෙරළලා තිබුණා. ඒ තුල ලිපි 250කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ ලිපි අතරින්, වැඩිම පිරිසක්, ඒ කියන්නේ 134,000ක් කියවලා තිබුණේ අංක 68 වන ලිපිය, එය නමින් “ඉල්ලන්නට ලැජ්ජ හිතුන ..නොගත්තොතින් වැඩ වරදින පෙත්ත “ . එම ලිපිය තුල මා ඉදිරිපත් කළේ, හදිසි ගැබ් ගැනීම් වලක්වන පෙති එහෙම නැත්නම් ECP ගැන. ප්‍රතිශතයක් විදියට බැලුවම 11%ක්ම කියවල තියෙන්නේ මේ ලිපිය. එය සතුටක්, ඒ වගේම ඒ ඔස්සේ දැකගන්න පුළුවන්, සමාජීයව ඇති යම් දැනුම අඩුබවක ඡායාවකුත්.
විශේෂයෙන්ම ECP වැනි දේ ගැන. මෙහි තවත් අපූරු හදුනාගැනීමක් වුනේ, ඒ ලිපියෙන් පසු මට ලැබී තිබුණු “ගැටළු” තුල තිබුණු රටාවයි. ඒ තුල වයස අවුරුදු 16 වගේ සීමාවක සිට, අවුරුදු හතලිස් හතර දක්වා වයස් සීමාවේ , ගැහුණූ පිරිමි දෙපාර්ශවයම විවිධාකාර ගැටළු විමසා තිබුණා, සමහර කිසිදු දැනුමක් නැති, තවත් සමහරු නිවැරදි දැනුමක් නැති, වැරදි විදියට භාවිත කළ, එය සාමාන්‍ය උපත්පාලන පෙත්තක් මෙන් පාවිච්චි කිරීමක් ගැන පවා ඒ තුල විමසීම් තිබුණා. අදටත් මා දන්නේ නැහැ , ලංකාවේ පාසල් පද්ධතිය තුල මෙවන් “හදිසි උපත් පාලන පෙති” ගැන දැනුම්ක නිවැරදිව , ගුරුවරුන් විසින් ලබා දෙනවා දැයි.
කෙසේ වෙතත්, ලිංගික අධ්‍යාපනය කියන්නේ, සමහර හිතනවා මෙන් ලිංගික කාර්යයේ යෙදෙන ආකාරය විස්තර කිරීමක්ම නොවේ. ඒ තුල, දරුවෙක්, පුරවැසියෙක් විදියට තමන්ගේ ඇඟ, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ අයිතිය , අනෙකාට ගරු කිරීම, අනෙකාගේ කැමැත්තට එකඟ වීම සිට, අනාගත ජීවිත සැලසුම් සකසා ගැනීම දක්වා වූ පුළුල් පරාසයක් තිබෙනවා. නමුත් අවාසනාවට,අපේ සමහරු හිතන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නේ පොඩි චූන් එකක් ගන්න පුළුවන් ටොපික් එකක් විතරයි කියලා.
මේ නිසාම, දරුවන්ට ලිිංගික අධ්‍යාපනය ලබා දීම කියන මාතෘකාව ආ ගමන් ඊළඟට එන කුලප්පුව තමයි “ඒක දෙන්න ඕන පොඩි දරුවන්ට නොවෙයි”, තරුණ දරුවන්ට කියන අදහස. එහෙම නැත්නම් ඒ දැනුම දරාගත හැකි වයසෙ අයට කියන කතාව. මේ කියන්නේ, පහුගිය දවස් වල අර කවුද ටියුෂන් ගුරුවරයෙක් කී කතාවම විතරක් නොවෙයි. ඔහු , තමන්ගේ ආර්ථීකමය වාසිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කීවෙත්, සමාජයේ වැඩි පිරිසකගේ සහ විශේෂයෙන්ම භක්තිවන්ත ලෙස මේ මාතෘකා ගැන හිතන බහුතරයකගේ අදහස.
නමුත්, වෛද්‍ය/සෞඛ්‍යය විද්‍යානුකූලව වගේම සමාජ විද්‍යානුකූලවත්, මේ විෂය තුල ඇති පුළුල් පරාසය නිසා, ලංකාවේ “රැල්ලට” කතාවෙන මේ අදහස සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නට වෙනවා. ලිංගික අධ්‍යාපනය ආරම්භ විය යුත්තේ, දරුවෙක් කුඩා අවධියේ සිටමයි. එය ප්‍රාථමික ශ්‍රේණි වල සිට, සාපෙළ , උසස් පෙළ දක්වාත් ගෙනයා යුතු විෂයයක් වෙනවා.
මේ මට හිතෙන නිසා කියන දෙයක් නොවෙයි. ප්‍රජනක සෞඛ්‍යය සහ ලිංගික අධ්‍යාපනය ගැන පර්යේෂණාත්කව විමර්ෂණයන් කර, එහි අන්තර්ගතයන් සකසා, කුමන වයස් සීමාවලට අදාල දැනුවත් කිරීම් ලබා දීම තුල , මොන ආකාරයේ වාසි අවාසි ලැබේදැයි පරික්ෂා කර, විමර්ෂණය කර, විද්වත් සාකච්ඡා ඔස්සේ අදහස් බෙදාහදාගෙන Comprehensive Sexuality Education එහෙම නැත්නම් පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ගැන ජාත්‍යන්තරව ගලපා ගත හැකි ආකෘතියක් සැකසු (The International Technical Guidance Framework) සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර පිළිබඳව ජාත්‍යන්තර විමසීම් ඇති ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කරන අදහස (UNESCO, UNFPA, WHO, UNICEF, UNAIDS, and UN Women).
ඇත්ත, දැන් මේ ලිංගික අධ්‍යාපනය ගැන අදහස එන්නේ, අපේ දෙදාස්පන්සීයක් පරණ සෙල් ලිපි වලින් හරි, සාම්ප්‍රදාය, ආගමික යැයි පිළිගන්නා අන්ධ විශ්වාස වලට පදනම්ව නොවෙයි. මේ හදුන්වා දීම් කරන්නේ evidence-informed , එහෙම නැත්නම් සාක්ෂි-තොරතුරු සහිතව කරන ඉදිරිපත් කිරීම්. තවත් සරළව කිව්වොත්, මේ අදහස එන්නේ කවුරු හරි තනි පුද්ගලයෙක් “හිතෙන හැටි” හරි, එයාගේ වන්දනාකරුවන් සන්තෝස කරන්න නොවෙයි. මෙම ආකෘතියේ කොටස් නිර්මාණය කරමින්, තෝරාගත් ප්‍රජාවන්, රටවල් තුල පූර්ව ක්‍රියාත්මක කරමින්, ඒවායේ අත්දැකීම්, හොඳ නරක තොරතුරු සාක්ෂි එකතු කරගනිමින් වසර ගණනාවක , විශාල වෘත්තිකයන් කණ්ඩායම් වල විමර්ෂණ, නිවැරදි කිරීම් සැකසීම් ඔස්සේ ඉදිරිපත් කරන ආකෘතියක්.
මේ වගේ ආකෘතියක්, විශේෂයෙන්ම මිනිස් ජීවිත වලට බලපාන ආකෘතියක් සැකසීමෙදි ඔවුන් , විවිධ රටවල, විවිධ සංස්කෘති වල, විවිධ ජීවන තත්ත්ව වන මිනිසුන් පිළිබඳව අධ්‍යයන කරනවා. ඒ නිසා, මේක “බටහිර පන්නයේ” ආකෘතියක් කියල අහක දාන්න බැරි, බටහිර රටක දරුවෙක් වැඩිවිය පත්වන වයස සහ ලංකාවේ දරුවෙක් වැඩිවිය පත්වන වයස අතර ලොකු පරතරයක් නැති නිසා, ඒ වගේම දෙරටේම දරුවෙක් වැඩිවිය පත්වුනාම සිදුවන වෙනස්වීම් සමාන නිසා , දෙරටේම දරුවාට ඇතිවන ලිංගික ආශාවේ බටහිට, නැගෙනහිර බවක් නැති නිසා.
ඒ නිසා, දේශපාලනික හෝ ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදා ගන්නා “බටහිර කුමන්ත්‍රණ” වචනේ ටිකක් පැත්තකින් තියලා, මේ The International Technical Guidance Framework ගැන ටිකක් කතා කරමු කියල ඔබට යෝජනා කරන්නට හිතුණා. ඒ නිසා, මෙතැනින් එහාට, අර අමුතු කතා කියු කෙනා, “නිසි වයස” ගැන දීපු උත්තරේට හුරේ දාපු අයටත් , ඒ අදහසේ ඇති වැරැද්ද තේරුම් ගත් උගත් මිතුරන්ටත් ආරධනා කරනවා, තවත් සුළු මොහොතක් මේ ලිපියේ රැදෙන්නට.
මෙම ආකෘතිය තුල Comprehensive Sexuality Education ලබා දීම සඳහා ගැලපෙන වයස, කාණ්ඩ හතරකට වෙන් කරනවා. ඒ, 5–8, 9–12, 12–15, 15–18+ ට වැඩි ලෙස. තවත් විදියකින් කිව්වොත් , මේ තමයි අර අ”මුතු” කෙනා කිව්ව “නිසි වයස්” කාණ්ඩ හතර.
ඇයි මෙහෙම වයස් කාණ්ඩ කරන්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා.
🔹1) ශාරීරිකව අදාල වෙනස්කම් වීමට පෙර , අවශ්‍ය දැනුම ලබා දීම. (මේ තමයි අපේ රටේ අ”මුතු” අය චූන් වෙන කොටස. ඒ අය හිතන්නේ, වැඩිවිය පත්වීම ගැන ඉගෙන ගන්න ඕන, ඒ ශාරීරික වෙනස වුනාට පස්සේ කියල වගේ. නෑ එය වැරදියි. විය යුත්තේ, ඒ ශාරීරික, සංවර්ධනාත්මක වෙනස්කම් වීමට පෙර, අදාල දැනුම දරුවට ලැබිය යුතු වෙනවා.)
🔹2) මෙම දැනුම, ක්‍රමානුකූලව , පියවරෙන් පියවර , පදනම් දැනුමේ සිට, උසස් දැනුම් මට්ටමක් දක්වා යා යුතු නිසා. (එකපාරට ප්‍රජනක පද්ධතියේ පිංතූරෙ පෙන්නන්න ඉස්සර වෙලා දරුවට තමන්ගේ අවයව ගැන අවබෝධයක් දෙන්න ඕන )
🔹3) දරුවා වර්ධන අවධිවල ඇති බුද්ධිමය සහ චිත්තවේගීය වෙනස්වීම් වලට ගැලපිය යුතු වීම.
🔹4) වයසට අදාල, දැනුවත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දීම. (පුංචි පැටියාගේ සිට, යව්වනයා දක්වාම)
🔹5) දරුවාගේ සිට, ලිංගික සක්‍රිය පුද්ගලයා දක්වා එත්දි විය හැකි “දැනුම් හිඟවීම” knowledge gaps වලක්වා ගැනීමට. (මොකද තැනින් තැන පිළිවෙලක් නැතිව ඉගැන්වීම මේ අඩු දැනුමට හේතුවක්)
මෙන්න මේවගේ “හේතු” මත තමයි අදාල ආකෘතිය ලෝකය ඉදිරියේ තබන්නේ.
දැන් මේ විදියට කාණ්ඩ කරගත් වයස් කණ්ඩායම් සඳහා ලබා දිය යුතුයැයි ඔවුන් නිර්දේශ කරන “දැනුම් ක්ෂේත්‍ර” අටක් තිබෙනවා. ඒ
• සබඳතා,
• අගයයන්- අයිතිවාසිකම්- සංස්කෘතිය සහ ලිංගිකත්වය,
• ස්ත්‍රී-පුරුෂ භාවය අවබෝධ කර ගැනීම
• ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂිතව සිටීම
• සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා වන ජීවන කුසලතා
• මානව දේහය සහ වර්ධනය
• ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම්
• ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය
දැන් මේ “දැනුම් ක්ෂේත්‍ර” අට, අවුරුදු පහේ දරුවාගේ සිට, 18+ වන යව්වනයා දක්වා , අදාල වයස් කාණ්ඩයට ගැලපෙන පරිදි ලබා දිය යුතුවෙනවා.
දැන්, කෙනෙක්ට කියන්න පුළුවන් “අනේ අපේ එකේ පන්තියේ ඉන්න කොළු පැටියට පුළුවන් අප්පා මෙච්චරක් “ කියල. එහෙම නැත්නම් අර අ”මුතු” රැළි හදාගෙන ලාබ ලබන අය කියන්න බැරි නෑ “මේ අත දරුවන්ට මේව්ව බර වැඩියි, එයා දාං පාසල්ම යවන්න ඕන” කියල. පොඩ්ඩක් ඉන්න, මම මේ වයස් කාණ්ඩයක් අරගෙන පැහැදිලි කරන්නම්.අර “නිසි වයස” ගැන කතා කරන අයට දැනගන්නත් එක්කම ගන්නම්කෝ පොඩිම ගෲප් එක.
වයස 5–8 (1-3 පන්ති) වල දරුවන්ට.
🔹 සබඳතා - මේ යටතේ කියල දෙන්නේ, විවිධ පවුල් වර්ග, මිත්‍රත්වය, හොඳ මිත්‍රයෙක් හදුනාගැනීම, කාරුණීක බව, බෙදා ගැනීම අනෙකාගේ අදහස් වලට ගරු කිරීමේ වැදගත්කම. දරුවාගේ ජීවිතයට “ විශ්වාසනීය” වැඩිහිටියෙකුගේ ඇති බලපෑම, විශ්වාසනීය බව සහ ගරු කිරීම පිළිබඳ සංකල්ප.
🔹 අගයයන්- අයිතිවාසිකම්- සංස්කෘතිය සහ ලිංගිකත්වය - මෙම කොටස තුලදී, තම ශරීරය “තමන්ට අයිති දෙයක් බව” මෙන්ම, අනෙකාට එයාට අයිති වූ ශරීරයක් පවතින බව සහ ඒ වෙනුවෙන් වගකීම් සහ ගෞරවය පවත්වා ගැනීම, හැඟීම් සහ ඒවා වෙනස්වන ආකාරය, ගැහැණු/පිරිමි බව සහ සංස්කෘතිය තුල ඇති වටිනාකම්, පෞද්ගලිකත්වය සහ එය රැකීම මෙන්ම අනෙකාගේ පෞද්ගලිකත්වයට රැකීමේ වගකීම.
🔹 ස්ත්‍රී-පුරුෂ භාවය අවබෝධ කර ගැනීම - මේ මාතෘකාව තුල පිරිමි දරුවන්ට වගේම ගැහැණූ දරුවන්ටත් පාසල, ක්‍රීඩාපිටිය, කණ්ඩායම තුල සමාන වගකීම්, ක්‍රියාකාරකම් කළ හැකි බව, ගැහැණුන් විසින්ම කළ යුතු හෝ පිරිමින්ම විසින් කළ යුතු වගකීම් ලෙස සමාජයේ ඇති පිළිගැනීම් සහ ඒවායේ ඇත්ත වැනි වටිනාකම් උගන්වනවා.
🔹 ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂිතව සිටීම - මේ තුල තමයි අර අ”මුතු”ත් කිව්ව, ගුඩ් ටච්, බෑඩ් ටච් සංකල්පය වගේම, ප්‍රයිවෙට් බොඩි පාට්ස්, පෑන්ට්ස් නීතිය, පුද්ගලික සීමාවේ වැදගත් කම, අනවශ්‍ය ස්පර්ශයකදී “ එපා “ කියන්නට සහ එම අවදානමෙන් ඉවත්වන්නට ඇති අයිතිය, විශ්වාසවන්ත වැඩිහිටියා යනු කවුද, තමන්ට යම් අවදානමක් වූ තැනකදී උදව් ගත යුත්තේ සහ කිව යුතු දේ ගැන, අනෙක් දරුවාට, පුද්ගලයාට හිරිහැර නොකිරීමේ වැදගත්කම ගැන කතා කරනවා.
🔹 සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා වන ජීවන කුසලතා - මේ එක්කය තුල , තමන්ට දැනෙන “හැඟීම්” හදුනාගැනීම සහ නම් කිරීම ( මෙම දැනුම අද අපේ වැඩිහිටියන් තුල පවා අඩු බව, අපේ “සිත් සුව අරණ” තුල කළ විමසීමකදිත් හදුනාගන්නට පුළුවන් වුනා) , සෞඛ්‍යානුකූලව තම හැඟීම් ප්‍රකාශ කරන්නේ කෙසේද? , ස්ට්‍රෙස් වන අවස්ථා සහ ඒ අවස්ථාවේ හිත සැහැල්ලු කරගැනීමට කළ හැකිදේ, සාර්ථකව කතාබහ, සන්නිවේදනය කරන ආකාරය, අවශ්‍ය නැත තමන්ගේ වටිනාකම සහ ආරක්ෂාව වෙනුවෙන්, “නැහැ, බැහැ” කිව යුතු අවස්ථා සහ ආකාර, ගැටළුකාරී අවස්ථාවකදී , විශ්වාසවන්ත වැඩිහිටියෙක්ගෙන් උදව් ලබා ගත යුතු ආකාරය වැනි ජීවිතයට ප්‍රායෝගික කරුණු ඉගෙන ගන්නවා.
🔹 මානව දේහය සහ වර්ධනය - තමන්ගේ ශරීරයේ ඇති අවයව වලට භාවිත වන නිවැරදි සෞඛ්‍යය විද්‍යාත්මක “නම්” හදුනාගැනීම, එක් එක් අවයව වල කාර්යය ගැන අවබෝධයක්, එම අවයව, ඉන්ද්‍රියයන්ගේ ප්‍රමාණය, විශාලත්වය, හැඩයන් වෙනස්වීම් ගැන, දරුවෙක් මව් ගර්භාෂය තුල වර්ධණය වන ආකාරය ගැන දළ අදහසක්, වයස සමඟ ශරීරයේ සිදුවන සහ සිදුවිය හැකි වෙනස්කම් ගැන, ශාරීරිත පවිත්‍රතාව පවත්වා ගැනීම සහ එහි වැදගත්කම ගැන දැනුවත් කරනවා.
🔹 ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම්- තම සිරුරේ අවයව, මෙන්ම අනෙකාගේ අවයව වන වෙනස්කම් ගැන කුතුහලය සහ ඒ තුල මතුවන ගැටළු වලට පිළිතුරු ලබා දීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මෙන්ම, තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීම ගැන (මේ තුල නාන කාමරයකට , ඇඳුම් මාරු කරන කාමරයකට ඇතුළු වෙත්දී දොරට තට්ටු කිරීම, කතා කර අවසර සහිතව ඇතුළු වීම ) , ඉදිරි වයස් සීමාවන් වලදී දැනිය හැකි “ලිංගික හැඟීම් සහ ආකර්ශණය” ගැන , ඒතුල ඇති “සාමාන්‍ය”බව සහ එකිනෙකාගේ වටිනාකම් වලට ගරු කිරීමේ වැදගත්කම් වගේ කරුණූ ගැන දැනුමක් ලබා ගන්නට දරුවාට අවස්ථාව ලැබෙනවා.
🔹 ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය - මවගේ ගර්භාෂය තුල දරුවා වර්ධනය වන ආකාරය ගැන මූලික දැනුමක්, ශුක්‍රාණු, ඩිම්බ වැනි සෛල ගැන සරළ නම් කිරීම් සහිත දැනුවත් කිරීමක්, දරුවෙක් පවුලකට එකතුවන ආකාරයන් ගැන (උදා-මවට, පියාට දාව උපතින්, වෙනත් අයෙකුගේ දරුවෙක් පවුලට එකතු කරගැනීම ) වගේ කරුණූ දරුවට ගැලපෙන ආකාරයට , මූලික අවබෝධයක් ලබා ගන්නවා.
දැන් මේ විදියට, අවුරුදු පහේ දරුවගේ ඉඳන් 18+ වන දරුවා දක්වාම, අදාල වයස් කාණ්ඩයට ගැලපෙන, උප මාතෘකා අටක් ඔස්සේ අදාල වයසේ “පුද්ගලයෙක්” ලෙස දැනගත යුතු වගේම, ඊළඟ වයස් සීමාවට යත්දි සිදුවන, සිදුවිය හැකි වෙනස්කම් වෙනුවෙන් සූදානම් වීමට අවශ්‍ය දැනුමද ඔවුන් ලබා ගන්නවා. ඒ ඔස්සේ, තවත් ඉදිරියට එත්දි, පෙර කී ECP , හදිසි උපත් පාලන පෙති නිවැරදිව භාවිත කිරීම, අනාරක්ෂිත ලිංගික එක්වීම් වල ඇති අවදානම්, සිට වැඩිහිටියෙක් ලෙස වගකීම් සහිත ලිංගික ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය කරුණූ , පියවරෙන් පියවර, වයස ,දරුවාගේ මානසික , චිත්තවේග මට්ටම ගැලපෙන ලෙස ලබා දෙනවා.
ඉතින් මේක වැරදිද?
මම නම් හිතන්නෑ වැරදියි කියලා. මේ ආකෘතිය ඔස්සේ උගත් කෙල්ලන් දෙන්නෙක් මටත් ඉන්නේ. ඔවුන් කොයිතරම් වගකීම් සහිත ජීවිතයක් ගත කරනවාද , අනෙක් පුද්ගලයාගේ වටිනාකම් වෙනුවෙන් දෙන තත්ත්වය, ආදරය බැඳීම්, කැමැත්ත ලබා දීම වගේ තැන්වලදි වගේම ගැටළුකාරී අවස්ථා වලදී ක්‍රියාත්මක වන ආකාරය ගැන මට පුද්ගලිකවම අත්දැකීම් තිබෙනවා. ඇත්තම කිව්වොත් ඒ දරුවන් දක්වන “පරිණත” බව වැඩිහිටියන් වූ අපට තිබුණාදැයි සැක හිතෙන අවස්ථාත් අප අත්දැක තිබෙනවා. හේතුව, අප හැදී වැඩුනෙත්, තවමත් අද දවසට ගැලපෙන ලෙස යාවත්කාළීන නොවූ අධ්‍යාපන, ලිංගික අධ්‍යාපන පසුබිමක් තුල. සෞඛ්‍යය වෘත්තිකයන් ලෙස අදාල දැනුම ලබා ගත්තද, ඒ වයස් සීමා වලදී අපට තිබුණු දැනුම සහ විශේෂයෙන්ම අවබෝධය සහ මෙම සැලසුම් සහගත, ලිංගික සෞඛ්‍යය ආකෘතිය ඔස්සේ උගත් දරුවන්ට තිබෙන දැනුම අතර ලොකු වෙනසක් දැනෙනවා. මේ ලිපිය තුල හදුන්වා දෙන ආකෘතිය ඔස්සේ , මෙම රට වලදී උගත් දරුවන් ඒ අතින් දැනුවත්, පරිණත සහ සමාජය තුල අවබෝධයෙන් ජීවිතය ගෙවිය හැකි පුරවැසියන් වූ බව දැක ගන්නට පුළුවන්.
මේ කතා කරගෙන ගියේ, ජාත්‍යන්තර සංවිධාන එකතුවක් විසින් ලෝකයට හදුන්වා දුන්, අද වෙත්දි ලෝකයේ බොහෝ දියුණූ රටවල ක්‍රියාත්මක කරන Comprehensive Sexuality Education පිළිබඳ ආකෘතියේ අන්තර්ගත ය ගැන බොහොම මූලික මට්ටමේ පැහැදිලි කිරීමක්. ඒ , කියවන ඔබට යම් අදහසක් එකතු කිරීමට මෙන්ම, අර “කියන්නං වාලේ කියනදේ අහන්නං වාලේ අහගෙන ඉඳල හුරේ දාන” , ලිංගික අධ්‍යාපනයේ “නිසි වයස” ගැන අවබෝධය අඩු අයටත් නැවත හිතා බලන්නට පෙළඹවීමක් විදියට.
අවසානයේ නැවත මතක් කිරීමක් කරන්නේ,
🟢ලිංගික අධ්‍යාපනය ලැබීමේ නිසි ක්‍රමය වන්නේ , උසස් පෙළ කරන (අදාල පුද්ගලයා වක්‍රානුකූලව කියන පරිදි) හෝ, දහයේ පන්තියේදී කඩා වැටීමක් ලෙස පාත්වන ප්‍රජනනය පාඩමෙන්ම නොව, එය දරුවා කුඩා කාළයේ සිට, ක්‍රමක්‍රමයෙන්, පියවරෙන් පියවර, වයසට, මානසික තත්ත්වයට, දරුවාගේ චිත්තවේග වලට ගැලපෙන ලෙස ලබා දෙමින්, දරුවාගේ පවතින කායික අවස්ථාවට මෙන්ම, ඉදිරියේ විය හැකි වෙනස්වීම් පිළිබඳ දැනුම, අදාල වෙනස් වීම සිදුවීමට පෙර ලබා දීම බවයි.
ඒ තුල “නිසි වයස” යනු තනි ඉලක්කමක් නොව, දරුවාගේ ජීවිතේ වටිනාම කාළ පරාසයක් බව කියවූ එක් අයෙක් හෝ හදුනාගන්නේ නම් මේ ලිපිය ලියන්නට වූ වෙහෙස වෙනුවෙන් ලැබෙන අමිල සතුට එයයි.
මෙම ලිපිය කියවූ අයෙක්, මෙහි සඳහන් කළ Comprehensive Sexuality Education by Age: The International Technical Guidance Framework පිළිබඳව වැඩිදුර කියවීමට කැමැත්තේ නම් අන්තර්ජාලය ඔස්සේ එය සොයා ගත හැකි අතර, එසේ අපහසුවී නම් මෙයට කොමෙන්ටුවක් තැබුවොත් යම් ක්‍රමයකින් ඔබට එය ලැබීමට සලස්වන්නම්.
එහෙම නම්, “නිසි වයස” ගැන දිග කතාව මෙතැනින් නිමි, රැල්ලට නොව, දැනුමට එකතු වන්න.
මෙවන් දැනුවත්වීම සඳහා එන්න එකතු වන්න,
සොඳුරු සුව අසපුව වෙත
පිටුව - https://www.facebook.com/sondurusuwa/
සමූහය - https://www.facebook.com/groups/sondurusuwaasapuwa
මෙහි සඳහන් වුනු බ්ලොග් ලිපියට පාර,
https://nursinglanka.blogspot.com/2011/11/68.html
(වීව්ස්, මුදල් , ලාබ ජනප්‍රියත්වය හෝ රැල්ලට යාමේ කිසිදු අපේක්ෂාවක් නැත, නිවැරදි දැනුම සමාජගත කිරීම එකම අරමුණයි)
No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)