සමහර විට ඔබට මතක ඇති මීට සතියකට විතර ඉස්සර ලංකාවේ ලොකු කතාබහක් වුනා ලිංගික අධ්‍යාපනයද ගුණධර්මද , නිසි කාලේ මොකක්ද වගේ ප්‍රශ්නෝත්තර මුතුවුනු ලොකු කතාබහක්. ඊට ටික කළකට ඉස්සර වෙලා ඉස්කෝලේ පොතකට මොනවදෝ අඩුපාඩු වගයක් නිසාත් ලිංගික ප්‍රශ්න ගණනාවක් ගැන උණුහුම් වෙලා හිටියා. අනේ මන්දා, හුඟක් අය හිතාගෙන ඉන්න "බටහිර" රටවල, බටහිර සංස්කෘතිවල ලිංගික කතා ගැන උණූහුම් වෙනවට වඩා, ඒ ගැන වැඩියෙන්ම අවධානය යොමු කරල තියෙන්නෙ ලංකාවේ, "සිරි ලාංකික" යම් පිරිසක්ද මන්දා?
කොහොම හරි, මේ ලිංගික අධ්‍යාපනය, ඒකේ හොඳ නරක ගැන මෑතම කතාවට මුල වුනේ, අර බණ දහම් දෙසන, දේශපාලනික වගේම, ගෝලීය සංස්කෘතිය ගැනත් දැනුවත්බව අඩු ප්‍රජාවක් චූන් කරන්නට හොඳින් දන්නා, ජීව විද්‍යාව උගන්වනවා යැයි කියමින්, සමාජ මාධ්‍යමය වශයෙන් "අන්ධ වන්දනීය" ජනප්‍රියත්වයක් ගත් ටියුෂන් ව්‍යාපාරිකයෙක්ගේ අගක් මුලක් නොදැන, ජීව විද්‍යාත්මක පදනමක් නොදැන, හුදෙක් රැල්ල පිනවා ලාබ ලබන්නට කී "හිස් කතාව" නිසා. හැබැයි, මොනව වුනත් උන්දෑ වගේ සමාජය තුල ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම කතාවක් කළ නිසා මේ ගැන අපට කතා කරන්න පුළුවන් වුනා, ඒ වෙනුවෙන් අමුතු මත දරුවන්ගේ ඔළුවලට දාන ඒ ව්‍යාපාරිකයාටත් ස්තුති නොකරම බැහැ.
සති දෙකෙන් අමතක වන "ජානමය" සංයුතියක් තියෙන අපේ සමාජය, මට දැනෙන විදියට මේ වෙත්දි ඒ ගැන කතාබහ හිමීන් සැරේ නිමා කරල, තවත් සති දෙකක් පවතින්නට අළුත් සිද්ධියක් හොයනවා ඇති. නමුත්, ඒ අතරේ මගේ අරමුණ, කතා කරන්නට පටන් ගත්ත ඒ "වැදගත් මාතෘකාව" ඔස්සේ මේ ලිපියත් ලියන්නට. ඒ, එකක්, සමාජ තුල සෞඛ්‍යය විද්‍යාත්මක, ප්‍රජා දැනුවත්බවේ වටිනාකම හොඳින්ම දන්නා, ඒ වටිනාකම පවත්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටක සැලසුම් කරන, කාළය යොදවන, අත්දැකීම ලබන අයෙක් විදියට. ලංකාවේ උපන් පුද්ගලයෙක් විදියට, ඒ ප්‍රජා දැනුවත්බව ලබා දීම වෙනුවෙන් මටත් ඇති යම් හෝ වගකීමක කොටසක් ඉටු කරන්නටයි මේ ලිපියත්. මෙය කවුරුන් කියවාද? කීදෙනෙක් කියවාද මට කිසි වගක් නෑ, මගේ වගකීම නිවැරදි ලෙස ඉටු කරනවා විතරයි.
එහෙම නම් අද කතාවට.
අද කතාවට අපට යන්න වෙනවා "බුදුන් උපන් දේශයට" , ඒ කිව්වේ....ඉන්දියාවටද ? නැහැ, එදා ලුම්බිණිය තිබුණා කියල හදුනගන්න, නේපාලය වෙත. මේ කතාව ලියන්නට හේතු කාරණා ගණනාවක් තිබුණත්, ඒ අතරේ ඉහළින්ම තියෙන්නේ , එක්තරා කාළයක වෙනත් රටක සේවය කරත්දි මගේ සහෝදරය වෘත්තීය සගය වුනු ක්‍රිශ් එක්ක ආගම , දේශපානය, රට තොට ගැන කළ කතාබහේ මතකය. කෙසේ වෙතත්, ඒ මතකයෙන්ම විතරක් මේ ලිපිය ලියවෙන්‍නේ නැහැ, ඒ මතකය ඔස්සේ ලංකාවේ සිදුවුනු කතාබහට අදාල කොටස්, අද දවසේ නිවැරදි තොරතුරු එක්ක දිග කතාවක් ලියන්නයි කල්පනාව.
මුලින්ම, නේපාල ජාතික මිනිස්සු ගැන හිතත්දි මතකයට එන්නේ, බහුතරයක් හරිම අහිංසක, ඒ වගේම එයාලගේ ඇදහීම්, සංස්කෘතික විශ්වාස වගේම දෙමාපියන්ගේ උපදෙස්, නීති රීති ගැන දැඩි අවධානයකින්, ඕන අභියෝගයක් අරගෙන, කරන්න ආපු රස්සාව කරල මාසේ අන්තිමට සල්ලි ටිකක් ගෙදරට යවන එක ලොකු ආසාවක් කරගත්තු අය. මම මේකෙන් කියන්නේ නෑ, මේ හැමෝම කියල , හැබැයි මගේ අත්දැකීමට මට හමුවුනු වැඩි පිරිසක් මේ චර්යාවේ අය. එක්තරා විදියකින් කිව්වොත් ලංකාවේ පුරවැසියන්ගේ රටාවට හුඟක් ආසන්නයි කියල මට හිතෙන්නේ. ආදරය , බැඳීම්, බෙදා ගැනීම වගේ තැන්වලදිත් ටිකක් සමානයි.
නමුත්, ඒ බහුතරයකගේ , නේපාලය තුල ජීවිතය හරිම දුෂ්කර , වගේම සංකීර්ණ සහ සාම්ප්‍රදායිකත්වයට වැඩි තැනක් දෙන එකක්.ලංකාවේ අපේ ලිවීමේ කියවීමේ හැකියාව 92%ක් විතර වෙත්දි නේපාලයේ එම අගය 74%ක්. හැබැයි ඉතින් ඒකට හේතුව , ලි.කි.හැකියාව හෝ ආර්ථිකයම විතරක් නොවෙයි, ඔවුන්ගේ ජනාවාස, ගම්මාන බොහොමයක් තියෙන නගරයේ ඇති පහසුකම් වලට වඩා ඉතාමත් අඩු පහසුකම් ඇති ගම්මාන පරිසරය, ප්‍රවාහනයේ ඇති අභියෝග, පාරිසරිකව ඇති හේතු නිසා සිදුවන වෙන්වීම්, නැත්නම් කුඩා පවුල් කණ්ඩායම් ලෙස "තනිවීමේ" රටාව තුල , අපේ රටේ බහුතයරයක් විඳින යම් පහසුකම් තත්ත්වයක් වේද, ඊට වඩා අඩු පහසුකම් මත ඔවුන් ජීවත්වන බවයි මගේ අත්දැකීම.
රටේ සංඛ්‍යා ලේඛණ, දත්ත එක්ක සැසඳීමක් කරල බැලුවත්, ඒ වෙනස දැක ගන්න අපට පුළුවන්. අපේ රටේ වර්ග ප්‍රමාණය වගේ දෙගුණයක් විතර , භූමිප්‍රදේශයක් හිමි, ජනගහණය වශයෙන් ගත්තොත් අපට වඩා ටිකක් වැඩි හින්දු, බෞද්ධ පරිසරයක ජීවත්වන මේ අය, ආගමට , දහමට ලැදි, ඒ පිළිගැනීම්, ඇදහීම් "නිවැරදිව" කරන්නට වැඩි කැමැත්තක් ඇති , ටිකක් "සාම්ප්‍රදායික" ගති ලක්ෂණ දරන අය. වාර්ෂික, දළ ඒක පුද්ගල ආදායම ගත්තත්, ලංකාවේ කෙනෙක්ට වඩා තුනෙන් එකක් විතර අඩු GDP per capita එකක් තමයි නේපාල ජාතිකයෙක්ට තිබෙන්නේ. ලංකාවේ අප, මානව සංවර්ධණ දර්ශකයේ (Human Development Index) ඉහළ මට්ටමක ඉන්න අතරේ, නේපාලය තිබෙන්නේ ,එයි පහළ මට්ටමක. මට මේ එක්කම මතක් වුනේ, දවසක් මගේ මිත්‍රයා කී දෙයක්. "මං දවසක් කොලොම්බෝ වල ගත කළා, ඒක අප්පා දිව්‍යලෝකේ වගේනේ, රෑට ආයේ ඉතින් මල්ම තමා" , මේ කතාව සිද්ද වුනේ 2006 විතර.
ආ, මෙතැනටම තවත් වෙනසක් මතක් වුනා. ඒ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ප්‍රමුඛස්ථානයේලා සැලකීමේ අවශ්‍යතාව කිව්වත් ("The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e)") නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ විදියට එක් ආගමක් "ප්‍රමුඛස්ථානයේ" තබා ගන්නේ නැහැ, ඊට වඩා නිවැරදියි "මේ වෙත්දි නැහැ" කියන එක. මොකද, කාළෙකට ඉස්සර , නේපාලය "හින්දු රාජධානියක්" ලෙස හදුන්වාගත්තත් ( ඒ තුලද "හින්දු ආගම" වෙත විශේෂ ප්‍රමුඛතාවයක් නොදුන්නත්) 2015 නේපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල තම රාජ්‍යය හඳුන්වාදෙන්නේ මෙහෙම , "State of Nepal- (1) Nepal is an independent, indivisible, sovereign, secular, inclusive, democratic, socialism-oriented, federal democratic republican state. Explanation : For the purposes of this Article, "secular" means religious, cultural freedoms, including protection of religion, culture handed down from the time immemorial.". මේ ගැන පොඩි විමසීමක් කළොත් , ලංකාවේ ව්‍යවස්ථාව තුල Buddhism කියන වචනය පස් වතාවක් භාවිත වෙත්දි, සිදුහත් කුමාරය උපන් නේපාල ව්‍යවස්ථාවේ "Buddhism" වචනය තියා, "Hinduism" වචනයවත් එකම වතාවක් භාවිත වෙලා නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් , ලිංගික අධ්‍යාපනේ ගැන කියන්න ගිහින් ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ මොකද කියල. සමහර විට හේතුවක් ඇති.
ඔන්න දැන් ඒ කතාවේ හොඳම කොටසට එන්නේ.
ලංකාව "ලිංගික අධ්‍යාපනය" , ප්‍රජා ලිංගික සෞඛ්‍යය වගේ ප්‍රතිපත්ති, නීති, අධ්‍යාපන ආකෘති සැකසීම් ගැන කතා කරමින්, ඒ ඔස්සේ සමාජය තුලින්, විවිධ ආගමික යැයි කියා ගන්නා පරිසර වලින් මතුවන බලපෑම් තුල හිර වෙමින්, දෙපැත්තට අදිමින්, "දවසේ පැවැත්මට" යමක් කරන ප්‍රතිපත්ති රටාවක ඉන්න අතරේ, නේපාලය, විධිමත් ලිංගික අධ්‍යාපනය , එහෙම නැත්නම් CSE (Comprehensive Sexuality Education) , ලිංගිකත්ව සහ ප්‍රජනක සෞඛ්‍යය ආශ්‍රිත සේවාවන් (Sexual and Reproductive Health (SRH)) , ගබ්සාවේ නීතිමය තත්ත්වය ගැලපීම වගේ කාරණා ගැන ප්‍රායෝගික සැලසුම් "ක්‍රියාත්මක" කරන්නේ, ආයෙත්, එක එක පක්ෂ ඇවිත් ලංකාවේ වගේ "පැවැත්මට ගේන මාතෘකා" වගේ නොව , ඇත්තම අදාල ප්‍රතිපත්ති, පනත් "ක්‍රියාත්මක කර" පුරවැසියාට එම අයිතීන් ලබා දීමට කටයුතු කරන්නේ,
මේ ඔස්සේ අපි ටිකක් කතා කරල බලමු, මොනවද මේ නේපාලය තුල සිදුවුනු ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් සහ ඒ ඔස්සේ ප්‍රජාව තුලට ලැබුණූ වාසි, අවාසි එහෙම නැත්නම් අභියෝග මොනවද කියල. මොකද, ඒ හදුනාගැනීම තුල, අපට පුළුවන් වේවි, ලංකාව තුල කෙසේ නම් වෙනස්වීමක් විය යුතුද කියල එක ගැන යම් අදහසක් ගන්නට.
දෙදාහේ මුල් භාගයේ, ඔවුන් ලිංගික සහ ප්‍රජනක සෞඛයය ක්ෂේත්‍රයට අදාලව ප්‍රධාන සහ වැදගත් ප්‍රතිපත්තිමය තීරණ තුනක වාසිය පුරවැසියාට ලබා දෙනවා. ඒ,
🟢1) 2002දි ගබ්සාව නීතිගත කරනවා.
ගබ්සාව ගැන එතෙක් තිබූණූ සීමාවන් වෙනස්කරමින්, වඩාත් සැලසුම්ගත ආකෘතියක් තුල "ගබ්සාව නීතිගත කරනවා. ඒ තුල, අවශ්‍යතාවය පරිදි සති දොළහක ගැබක සිට, ස්ත්‍රී දුෂණයක ප්‍රතිපලයක්, මවට ජීවිත හානියක් හෝ කායික, මානසික අගතියක් කළ හැකි ඇති කරනවා නම් සති 28 ගැබ් සීමාව දක්වා වැඩි කරමින් මෙම නීතිගත කිරීම කරනවා.රටේ , ඉහළම අධිකරණය මඟින් මෙම තීරණය, "මානව හිමිකමක්" ලෙස හදුන්වා දෙමින්, එතෙක් ගබ්සාවකදී, කාන්තාව වෙත පැණවුනු දඬුවම් ලබා දීම නවත්වනවා.
ඒ ඔස්සේ නේපාලයේ හැම දිස්ත්‍රික්කයකම පාහේ ආරක්ෂිතව ගබ්සාවන් කරගැනීමට අවශ්‍ය සෞඛ්‍යය සේවා ලබා දීම පටන් ගන්නවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම්, පුහුණූ වෘත්තිකයන් ලබා දෙනවා. ඒ තුල ශල්‍යකර්ම හෝ ශල්‍යක්‍රම ඔස්සේ සිදුකරන ගබ්සා කිරීම් මෙන්ම, ඖෂධීය ලෙස සිදුකරන ගබ්සා සඳහාද පහසුකම් නේපාල සෞඛ්‍යය සේවාව විසින් ලබා දෙනවා.
කොහොම වුනත්, අපේ රටේ භූගෝලීය ආකෘතියට වඩා සංකීර්ණ, සහ දුෂ්කරතා සහිත නේපාලය තුල මෙම පහසුකම් "100%ක්ම" සාර්ථකය බෙදීයාමක් තවමත් කරගන්නට අපහසු වුනත්, ඒවගේම, ගබ්සාව තුල එතෙක් කරමින් තිබුණූ සාම්ප්‍රදායික ක්‍රම, ගමේ ගබ්සා වෙදුන්වෙත යාම තවමත් යම් ප්‍රමාණයකින් සිදුවෙනවා. (විශේෂයෙන්ම සමහර සංස්කෘතිකමය සාධක නිසා රෝහල වෙත යනවාට වඩා, ගමේ ගබ්සාවෙදා වෙත යාම සිදුවෙනවාලු. ඒ එක්ක, මේ ආරක්ෂිත ගබ්සා කිරීම් සඳහා පහසුකම් ඇති රෝහල් වෙතට යාමේ අපහසුතා, ඒ වගේම අදාල පුහුණුව ඇති සෞඛ්‍යය වෘත්තිකයන්ට අදාල ගම් ප්‍රදේශවලට පැමිණීමේ අපහසුතා, සන්නිවේදන ගැටළු වගේ තවත් හේතුත් මීට ඇතුලත්)
ඒ සියල්ල එසේ වුවත්, කළ හැකි සීමා තුල සහ විශේෂයෙන්ම නීතිය ඔස්සේ ලැබෙන සහනය තුල එතෙක් "අපරාධයක්" ලෙස හදුන්වා තිබුණූ ගබ්සාව පිළිගත්, රාජ්‍ය සෞඛ්‍යය සේවාවක උදව්වෙන් කරගත හැකි නිසා, මෙතෙක් සැඟවී, නිසි සංඛ්‍යාලේඛණ ගණනය කිරීමක් නොමැතිව , අනාරක්ෂිතව සිදුවූ ගබ්සාවන් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී තිබෙනවා. ඒ නිසා, පෙර, ලැජ්ජාව, නීතියෙන් දඩුවම් ලැබීම වගේ හේතු නිසා අනාරක්ෂිත ගබ්සාවලට යොමුවී , අවදානම් තත්ත්ව වලට පත්වී , මිය ගිය මව්වරුන් ප්‍රමාණය අඩු කරගන්නට හැකි වෙලා තිබෙනවා. පවතින දත්ත අනුව, මෙම "ගබ්සාව නීතිගත කිරීමට" පෙර, සිදුවුනු ගර්භණී මව් මරණ ප්‍රමාණයෙන් 20-30%ක්ම, අනාරක්ෂිත ගබ්සාව නිසා වූ මරණ. ඒ කියන්නේ, අද , මේ නිතිමය ආරක්ෂාව යටතේ එම අවාසනාවන්ත අගය අඩු වෙලා තිබෙනවා.අද වෙත්දි ආසන්න වශයෙන් 50%ක විතර අඩු කරගැනීමක වාසි ලබා ගන්නට නේපාලයට පුළුවන් වෙලා තිබෙනවා.
🟢2) මෙයින් අවුරුද්දකට පස්සේ, 2003 නේපාලය පරිපූරණ ලිංගික අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයට එකතු කරනවා.(Comprehensive Sexuality Education)
මේ ඔස්සේ, එතෙක් ලිංගිකත්වය, වැඩිවිය පත්වීම, ගැබ් ගැනීම, උපත් පාලනය, හදිසි උපත් පාලනය ගැන නිසි දැනුමක් සහ ප්‍රමාණවත් දැනුමක් නොතිබුණූ පාසල් දරුවන්ට, සැලසුම්ගත, පියවරෙන් පියවර දැනුවත් වෙන්නට පටන් ගන්නවා. ආරම්භයක් ලෙස හතරේ පන්තියේ සිට අටේ පන්තියට මෙම දැනුම ලබා දෙන්නේ , එතැනින් එහාට තෝරා ගැනීම මත තව දුරටත් ඉගෙනීමට අවස්ථාව දෙමින්. හැබැයි ඉතින්, මොනව කළත් ඒ රටෙත් සමහර ගුරුවරු ටිකක් අදිමදි කළාලු මෙව්වත් උගන්නන්න ඕනද කියල . අපේ රටේ කෙනාවගේම ගුණධර්ම කතාවත් කීවද දන්නෑ.
🟢3) 2008-2010 වගේ කාළයේදී යොවුන් ප්‍රජාව ප්‍රධානව ඉලක්ක කරගෙන National Adolescent SRH strategies එහෙම නැත්නම්, ජාතික යොවුන්, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය ආකෘතිය හදුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.
මේ හදුන්වාදීම ඔස්සේ ලැබෙන දැනුවත් කිරීම්, පහසුකම් සහ උපකාරයන් ඔස්සේ, එතෙක් පැවති ඉතා ඉහළ යොවුන් ගැබ්ගැනීම් ප්‍රමාණය ඉක්මණින් පහළට ගේන්නට හැකිවෙනවා. වසර කිහිපයක් තුල, මෙම අගයන්, එනම් AFR (Adolescent Fertility Rate) එක, අවුරුදු 15-19 අතර ගැහැණූ ළමුන් 1000ක් අතරින් "දරුවන් බිහිකිරීම්" 100ක් වාර්තා වෙලා තිබුණු අතර, මෙම අළුත් හදුන්වාදිම ඔස්සේ මෙම අගය හැටක වගේ අගයකට අඩු කරගන්න පුළුවන් වෙනවා. රටේ සමහර ප්‍රදේශවල පවතින සංස්කෘතිකමය කාරණා, උදාහරණයක් අඩුවිය විවාහයන් වගේ හේතු නිසා සහ පවතින ආර්ථීක දුෂ්කරතා, වගේම උපත්පාලන පෙති, හදිසි උපත්පාලන පෙති වගේ පහසුකම් ඉතා දුෂ්කර ප්‍රදේශ වලට නිසි වේලාවට සහ අවශ්‍ය ප්‍රමාණයට යොමු කිරීම් අපහසුතාවනුත් මෙම අගය තවමත් යම් ඉහළ අගයක පවතින්නට හේතු වෙනවා.නමුත්, මෙම අළුත් ප්‍රතිපත්ති සහ ඒ ඔස්සේ ලැබෙන දැනුවත් කිරීම්, පහසුකම් (උදාහරණයක් ලෙස යොවුන් හිතැති සෞඛ්‍යය සේවා) නිසා, තරුණයන්ගේ දැනුවත් බව, නිවැරදි තීරණ ගැනීමට පෙළඹවීම ඉතා හොඳ මට්ටමක පවතින බව හදුනාගන්නවා.
මෙතෙක් කතා කළ අළුත් ප්‍රතිපත්තිමය තීරණ සහ හදුන්වාදීම් නිසා, නේපාලයේ පාසල් වියේ වගේම යොවුන් වියේ , තරුණවියේ ප්‍රජාවගේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සමඟ බැඳී ඇති මානසික තත්ත්වයන් වඩාත් සුවදායී මට්ටමකට එනවා.
දැන් ඔය කියාගෙන ගියේ, ටිකක් දුරට අපේ රට සමාන, නේපාලයේ ලිංගික, සහ ප්‍රජනක සෞඛ්‍යය ආශ්‍රිත වෙනස්වීම සහ ඒ ඔස්සේ ලබා ගත් ජයග්‍රහණ සහ අභියෝග ගැන කතාවක්. 1988 විතර ආරම්භ කරන Sexual and Reproductive Health and Rights (SRHR) ප්‍රතිපත්ති සැලසුම ඔස්සේ තමයි නේපාලය මෙතැනට එන්නේ.
ලංකාවේ අපි, මෙම ආකෘතියේ කොටසක් විදියට, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සහ එහි ක්‍රියාකාරකම් පටන් ගන්නේ 1953 විතර. හැට අටේ විතර රටේ ප්‍රජනක සෞඛ්‍යය වෙනුවෙන්ම Family Health Burea එක ආරම්භ වෙනවා. 1998 විතර, Population and Reproductive Health Policy ගෙනැවිත් යෞව්වන් යනගේ ලිංගික, ප්‍රජනක සෞඛ්‍යය දැනුම, ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වල "අවශ්‍යතාව" හදුනාගන්නවා. ඒ කාළෙම තමයි Safe Motherhood Initiatives ගෙනැවිත් මාතෘ මරණ සංඛ්‍යාව අඩු කිරීම ගැන කතා කරන්නෙත්.
නමුත්, 2023 කළ සමාජ පර්යේෂණයක සඳහන් වන, 2013-15 වගේ කළ වෙනත් පර්යේෂණයක දත්ත ඔස්සේ මෙහෙම කියනවා "In a study of in-school adolescents aged 16–19 years, less than 1 % demonstrated satisfactory sexual and reproductive health knowledge across standard questions." සිංහලෙන්ම කිව්වොත්, අවුරුදු 16-19 සීමාවේ දරුවන්ගෙන් 1%කට වඩා අඩු ප්‍රමාණයක්ලු, සෑහීමට පත්විය හැකි මට්ටමේ , ලිංගික-ප්‍රජනක සෞඛ්‍යය දැනුමක් තිබුණේ. නමුත් ඒ සමාන කාළයේම කළ පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා නේපාලයේ දරුවන්/යෞව්වනයන් 14-21%ක් අතර ප්‍රමාණයකට ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම හොඳ මට්ටමක තිබෙන බව.
දැන් , අපේ මෙච්චරයිද අඩු? නැහැ. අපේ AFR අගය ඒ කිව්වේ, අවුරුදු 15-19 සීමාවේ ගැහැණූ දරුවන් දහසකට , "බිහිවන" දරුවන් ගණන, 15ක් විතර කියල තමයි කියන්නේ (තවත් අවස්ථාවකදී මෙම අගය 20%ක් දක්වා වැඩි වෙන්න ඉඩක් තිබෙන බව කියවෙනවා, සමහර ප්‍රදේශ වල සිදු කරන නිවෙස තුල කරන දරු බිහි කිරීම් සහ ඒ ඔස්සේ සිදුවන "වාර්තා නොවීම්" හේතුවෙන්.
තවත් විදියකින් කිව්වොත් ලේඛණගත වෙන්නේ. මේ අර හුඟක් අය කතා කරන ටීනේජ් ප්‍රෙග්නන්සි එහෙම නැත්නම් යොවුන් ගැබ්ගැනීම් කියන එකම නොවෙයි. මේ කියන්නේ "දරුවෙක් බිහිකළ අවස්ථා" ගැන, ඒ කියන්නේ, පෙර කී විදියට සිදුවන ගැබ්ගැනීම් සංඛ්‍යාව නම් මීට වඩා හුඟක් වැඩි ඇති. අවිවාහකව සිදුවන ගර්ණනීත්වයකට, අඩුවියේදී වන ගැබ්ගැනීමකට ඇති ස්ටිග්මා, එහෙම නැත්නම් සමාජීය කැළැල් තත්ත්වය වගේම, අනීතිකව ගබ්සා කරගැනීමට ඇති ප්‍රවණතාවය නිසා සහ තවත් පවුල්, සමාජීය හේතු නිසා "වාර්තා නොවන" මෙවන් ගැබ්ගැනීම් කොයිතරම් ඇත්ද?
සංඛ්‍යාලේඛණ අනුව, ඒ කියන්නේ වාර්තාවන සංඛ්‍යාවන් අනුව , ලංකාවේ ටීනේජ් ප්‍රෙග්නන්සි රේට් එක, 3.8% වෙත්දි නේපාලයේ ඒ අගය 14% වගේ. දැන් මෙතැනදි හේතු වන සාධක කිහිපයක් තියෙනවා. නේපාලයට සාපේක්ෂව, ලංකාවේ ගැහැණූ දරුවන් පාසල් අධ්‍යාපනයේ රැදෙන කාළය (ඒ කියන්නේ පාසල් ඒම සහ පන්ති ඔස්සේ ඉහළට වාම) වැඩියි. මේකෙම අනිත් පැත්ත , නේපාලයේ ගැහැණූ දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වන ප්‍රමාණය වැඩියි. ඒ සඳහා ආර්ථීක, ප්‍රවාහණ වගේ පහසුකම් දුෂ්කරතාවයනුත්, ඔවුන්ගේ සංස්කෘතිකමය පිළිගැනීම තුල ගැහැණු දරුවා ඔස්සේ "විධිමත්" අධ්‍යාපනය සහ දැනුමක් අපේක්ෂා කරනවාට වඩා, බිරිඳක්, මවක් සහ ගෘහණියක් ලෙස තිබිය යුතු කුසලතා, වගකීම් සමාජය බලාපොරොත්තු වෙනවා. ඒ තුලම තමයි අඩුවිය විවාහයන් වගේම, අපේ රටට සාපේක්ෂව අඩුවියකදී ගැබ් ගැනීමට සමාජය තුල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා, අපේ රටේ මේ වයසේ ගැහැණූ දරුවෙක් ගැබ් ගත්‍තොත් වගේ බියෙන් , සමාජයෙන් වෙන්වෙලා ඉන්න අවශ්‍ය නැහැ. තවත් විදියකින්, මේ teenage pregnancy රේට් එක මතම අප "හොඳයි" කියන තීරණයට එන්නට බැහැ.
ලංකාවේ "ගබ්සා නීතිය" තුල ඇති සීමාවන් වගේම, සමාජීය තත්ත්ව, ආර්ථික ගැටළු, උපත් පාලනය පිළිබඳ වගේම හදිසි උපත්පාලන ක්‍රම ගැන නොදැනුවත් බව වගේ සාධක නිසා සිදුවන "අනාරක්ෂිත ගබ්සා" ප්‍රමාණය වසරකට 240,000-300,000 පමණ "විය හැකි බව" (මේ අගයන් නිවැරදිව සංඛ්‍යාලේඛණ ගත නොවන නිසා මීට වැඩිවීමට වැඩි ඉඩක් තිබෙනවා) සඳහන් වෙත්දි, මේ ගබ්සාවන් අතරින් 16%ක් විතරම, විවාහක කාන්තාවන්ලු සිදු කරගන්නේ. ඒ තුලම "ප්‍රජනක සෞඛ්‍යය දැනුමේ" අඩුබව හෝ දැනුම ක්‍රියාත්මක කරගන්නට ඇති බාධාවන් පේනවා ඇති. මේ ඔස්සේම ගත්තොත්, ගර්භණී මාතෘ මරණ වලින් 10-13%ක් සඳහා හේතු වෙන්නේ, මේ "අනාරක්ෂීත ගබ්සා" සහ ඒ ඔස්සේ ඇති වුනු සංකූලතා. නේපාලය ගත්තොත් මේ අගයන් 50%කින් විතර අඩු කරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා , අවශ්‍ය ප්‍රතිපත්ති "ක්‍රියාත්මක කිරීම" තුල.
හිතේ හැටියට ලියාගෙන ගියාට දැන් නම් මහන්සියි, මේ කතාව අදට ඇති කියල හිතනවා. හැබැයි නිමා කරන්න ඉස්සර වෙලා මේකත් කියන්න හිතුණා.
මේ ලිපිය ඔස්සේ මා උත්සාහ කළේ නේපාලයේ සෞඛ්‍යයේ හොඳ හෝ ලංකාවේ නරකක් නොවෙයි. මගේ උත්සාහ වුනේ ටිකක් සමාන රටවල් දෙකක් අරගෙන සැසඳීමක් කරලා, අපේ රට, ලංකාවේ අනාගතයේ හෝ හොඳ ලිංගික, ප්‍රජනක සෞඛ්‍යය තත්ත්වයක් ඇති කරගැනීමට යම් අදහස් එකතු කිරීමක් කරන්නට විතරයි. මොනව වුනත්, Sexual and Reproductive Health and Rights පැත්තෙන් අපට වඩා නේපාලය ඉදිරියෙන් ඉන්නවා කියන එක කියන්න දෙයක්ද? ඒත් ඔබ දන්නවද මේ සියල්ල නේපාලය කරන්නේ, වසරකට එක් පුරවැසියෙක් වෙනුවෙන් $88ක විතර සෞඛ්‍ය සේවා වියදමක් දරමින්. මතකනේ මුලින්ම කිව්වා, අපට වඩා නේපාලය ආර්ථිකව ටිකක් පහළින් ඉන්නේ. හැබැයි, අපේ රටේ එක් පුරවැසියෙක් වෙනුවෙන් $145ක විතර වියදමක් දරනවා.ඒ කියන්නේ, එක් පුද්ගලයෙක්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ලංකාවේ රජය, නේපාලයට වඩා 60%ක් විතර වැඩි මුදලක් වියදම් කරනවා. ඒ නිසාමනේ අපේ රටේ සෞඛ්‍යයයේ සංඛ්‍යාත්මක අගයන් , තත්ත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක තිබෙන්නේ.
නමුත්, ලංකාවේ Sexual and Reproductive Health and Rights තත්ත්වය ප්‍රමාණවත් මට්ටමක තිබෙනවාද? හිත්නනට ඔබට බාරයි. ඒ වෙනුවෙන් උදව්වක් වෙන්න පොඩි සැසඳීමක් එකතු කළොත්,
🔹 ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සහ ආශ්‍රිත අයිතිවාසිකම් වලට අදාලව නෛතික ස්වාධීනත්වය (Legal Autonomy) ගත්තොත් නේපාලය දිනුම්,
🔹 හැබැයි මාතෘ සෞඛ්‍යය සහ ආරක්ෂාවට අදාලව ගත්තොත් ලංකාවේ අප දිනුම්.
🔹 උපත් පාලන පෙති සහ පහසුකම් ලබා ගැනීමේ හැකියාව ගත්තත් ලංකාව දිනුම්.
🔹 හැබැයි ඉතින් ප්‍රතිපත්ති ඇතුලත් කිරීම සහ ක්‍රියාත්මක (Policy Inclusivity) කිරීම අතින් ගත්තොත් ලංකාවේ අපි, නේපාලයට පරාදයි.
දැන් අපට ඕන, අපේ රටට ජයක් අරන් දෙන්නනේ. අන්න එතැනදි, ඔය පරාජය වන අවස්ථා දෙක අරගෙන, ඒ ඔස්සේ ඔබේ මතකය පහුගිය වසර කිහිපය දිගේ පිටුපස්සට ගියොත්( මේ අවුරුද්දේ පහුගිය මාස කිහිපයත් එක්කම) ඔබට යම් රටාවක් හදුනාගන්නට පුළුවන් වේවි, අපේ රටේ "පරාජය" වීම් වලට විය හැකි සාධක කිහිපයක්.
දැන් කෙනෙක් අහන්න පුළුවන්, ඇයි මේ ලිපියේ අර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් මොනවද ලියල තිබුණේ කියල. ඒකට හේතුව මෙන්න මේකයි.... එක්කෝ ඒ විය හැකි හේතු ඔබම හදුනාගන්නකෝ.
මේ ලිපියේ අන්තර්ගත යම් කරුණකට අදාල පර්යේෂණ පත්‍රිකා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දත්ත/සංඛ්‍යා ලේඛණ ගැන තහවුරු කරගැනීමක් ඔබටම අන්තර්ජාලය ඔස්සේ කරගන්නට පුළුවන්. එසේ නොහැකි වන අවස්ථාවක අදලා තොරතුරු ලබාගත් තැන් ගැන දැනගැනීමට අවශ්‍ය නම් කොමෙන්ට් එකක් දාන්න, නැත්නම් වෙනත් ක්‍රමයකින් හෝ පණිවිඩයක් එවන්න, මම එවන්නම් ඒ ලිස්ට් එකම.
ඔන්න දැන්නම් නිමාවට පෙර,
මේ ලිපිය , ලංකාවේ ලිංගික සහ ප්‍රජනක අධ්‍යාපනය , නිසි වයස , ගුණධර්ම වගේ දේවල් ගැන කතා කිරීම පටන් ගත්ත ලිපි මාලාවේ තුන්වැන්න.
මුලින්ම,
Sex Ed පරක්කු කරනු(ද)! ගැන කතා කළා
ඊළඟට,
සහ අද, මේ ලිපියෙන් බුදුන් උපන් රටෙන් සෙක්ස් ගැන ඉගෙන ගන්න හැටි මේ විදියට කතා කළා.
ඔබ සුව, සතුට වේවා!
මම , මහේෂ්
මෙවන් දැනුවත්වීම සඳහා එන්න එකතු වන්න,
සොඳුරු සුව අසපුව වෙත
- සොඳුරු සුව අසපුව පිටුව
- සොඳුරු සුව අසපුව ගෲප් එක
(වීව්ස්, මුදල් , ලාබ ජනප්‍රියත්වය හෝ රැල්ලට යාමේ කිසිදු අපේක්ෂාවක් නැත, නිවැරදි දැනුම සමාජගත කිරීම එකම අරමුණයි)
No comments:
Post a Comment
(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)