2011/09/29

61) “ආදම්ගේ ඇපල් ගෙඩිය“ ලෙඩ වීම

මගේ සාමාන්‍ය ලිවීමේ චර්යාව මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙනස් වුනා , ඒ නොවැලැක්විය හැකි වෙනත් රාජකාරී බහුල කාළසීමාවක් ලබා තිබීම නිසා , ඒත් මම ඔබ සැමගෙන් සමාව ඉල්ලනවා , මොකද පහුගිය දින ටිකේ වරින් වර සොඳුරු සුව අසපුවට යමින් එමින් , එබෙමින් , “අළුත් ලිපියක්“ ඇත්දෝ යයි සොයන්නට වූ වෙහෙස වෙනුවෙන් .


අද ටිකක් විවේකයක් ලැබුණ . ඒ විවේකයේ ලියන්නේ මොකක්දෝ කියල හොයමින් ඉන්න වෙලාවේ ලස්සන සිංදුවක් ඇහුනා ..සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් අහම්බෙන් හොයාගත් ගැඹුරු හැඟිම්බර , ලයාන්විත හඬ ...අමරසිරි පීරිස්ගේ කාළයෙන් ටිකක් පැරණි , ඒත් රසයෙන් හැමදාම අළුත් ගීත අතරේ ලස්සන ගීතයක් ...

“ඔබ ඇපල් මලක් වාගේ .....ලස්සන වසන්ත කාළේ ...මට හදිස්සියෙන් වාගේ හමුවූ ....“
....යුරේකා....අද මාතෘකාව හම්බවුනා .... ...ඒ තමයි ඇපල් ...නිකං ඇපල් නෙවි “ආදම්ගේ ඇපල් .....

එහෙමනම් තවත් කාළය නාස්ති නොකර අපි වැඩේ පටන් ගනිමු . අද කතාව “ආදම්ගේ ඇපලය“ ගැන . හැබැයි අර තහනම් ගහේ ඇපල් ගැන නෙවි මේ කතා කරන්නේ . තහනම් නැති අපිට හරිම වැදගත් ඇපලයක් ගැන ..සාමාන්‍යෙයන් Adam's apple කියල හදුන්වෙන්නේ උගුරේ තියෙන කොටසක් , ඔය උගුරේ ඉස්සරහට වන්නට “ඇටයක් “ වගේ අහුවෙන , ශ්වාස නාලය එක්ක තියෙන කාටිලේජයක් තමයි මේ ආදම්ගේ ඇපලය කියල කියන්නේ , ඒත් මේකේ වෛද්‍යවිද්‍යාත්මක පදය “Thyroid cartilage" . මේ කාටිලේජයට පොඩ්ඩක් පහළට වෙන්න , “සමනලයෙක් “ වහල ඉන්නව ...(අර ඇපල් මලේ පැණි බොන්නද දන්නෑ ...නේද ? ) ..මේ සමනලයට අපි කියනවා “තයිරොයිඩ් ග්‍රන්ථීය “ නැත්නම් Thyroid gland කියලා ..

සමනලයා සහ ඇපල් ගෙඩිය 
මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිකුත් කරන “හෝමෝන “ කියන දියරයක් තමයි අපේ ඇඟේ “සක්‍රිය බව“ නිසි මට්ටමක පවත්වා ගන්න වැදගත්ම මෙහෙය කරන්නේ කියන්න පුළුවන් . තවත් හෝමෝන වැදගත් , ඒත් මේ තයිරොයිඩ් හොමෝනය සෘජුවම අපේ “පරිවෘත්තීය සීග්‍රතාව“ පාළනයට මැදිහත් වෙනවා . මෙතන පරිවෘත්තීය සීඝ්‍රතාව කියලා බර වචනයකින් කිව්වේ ඇගේ සක්‍රියශීලී බව කියල පහසුවෙන් කියන්න පුළුවන් . අපේ ඇඟේ සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට , සෛල වර්ධනයට , ඒවායේ පරිනතබව ඇති කිරීමට ..අනෙක් හෝමෝන හොඳට වැඩ කරන්න අවශ්‍ය සහය දෙන්නට ...ඇඟේ උණුසුම පවත්වා ගන්නට ඔය වගේ කී , නොකී මහා කාරණා රාශියක් මේ තයිරෝයිඩ් හෝමෝන මගින් කෙරෙනවා .

මොළයේ මූලික පාලනය මත නිපදවෙන මේ තයිරොයිඩ් හෝමෝනය ..එකක් වගේ තේරුණාට ප්‍රධාන හෝමෝන දෙකක මිශ්‍රණයක් , එකක් අපි නම් කරන්නේ Thyroxine නමින් ඒක කෙටියෙන් T4 කියල ඔබේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සටහන් වෙලා තියෙන්න පුළුවන් . අනෙක් එක තමයි T3 නැත්නම් Triiodothyronine. මේ මිශ්‍රණය හදන්නට අපේ ආහාරයෙන් ඇතුළු වන අයඩීන් කියල මූල ද්‍රව්‍ය අතශ්‍යවශ්‍ය බව ඔබ දැනටමත් දන්නවානේ ...මීට අමතරව අපේ අස්ථි වල ශක්තිමත් බවට වැදගත් වන කැල්සිටොනින් හදන්නෙත් මේ ‘සමනලයාම “ තමයි .. හැබැයි අපේ අද කතාවේ කතා නායක කම ගන්නේ නම් T3 , T4 දෙන්න තමයි ..

මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ප්‍රධාන රෝග කාණ්ඩ හතරක් හදුන ගන්නට පුළුවන් ,
ඉන් පළමු වැන්න , මේ ග්‍රන්ථියේ අධී ක්‍රියාකාරීත්වය (Hyper activity) නිසා ඇති වන හයිපර් තයිරොයිඩිසම් ,Hyperthyroidism
දෙවැන්න ග්‍රන්ථීයේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ඇති වන (Hypo activity ) හයිපො තයිරොයිඩිසම් .. තුන් වැන්න මෙම ග්‍රන්ථියේ ආකෘතියේ ඇති වන දෝෂ ...බොහෝ වෙලාවට උපතින්ම එන තත්ත්ව , හතර වැන්න තයිරොයිඩ්  පිළිකා ...මේ හතරෙන් අද කතා කරන්නට සැරසෙන්නේ පළමු සහ දෙවැනි තත්ත්ව දෙක ගැන ..

අද මේ ලිපියට Hypo Thyroidism ගැන ලියන්නම් ..හෙට අනෙක් ලිපියට hyper ගැන ලියන්නම් , මොකද ඔක්කොම එකට ලිව්වොත් මේක කියවන ඔබට අපැහැදිලි වෙන්නත් පුළුවන් ..දැනටමත් අපැහැදිලිද මන්ද මේ hypo , hyper කතා එක්ක ..මේකයි වෛද්‍ය විද්‍යාත්මක පදයට Hypo කියන නම මුලට තිබුනොත් ඒකේ තේරුම “අඩුයි ,පහළ...“ වගේ අදහසක් , උදහරණයක් Hypo thermia , මෙතැන thermia කියන්නේ උණුසුම , එහෙම නම් Hypo thermia කියන්නේ දේහ උශ්නත්වය හුඟක් පහලට යාම ...දැන් Hyper  කියන්නේ “වැඩි..ඉහළ“ වගේ  අදහසක් දෙන්නේ . අපි දැනටමත් කිව්වේ  hyper activity ...දැන් පටලැවිල්ල ලිහුන නේද ..?

ඔව් එතකොට Hypothyroidism කියන්නේ , තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය නිසා ඇති වන “රෝග සංකීර්ණය“ ..මෙතැන සංකීර්ණයක් කිව්වේ මේ තයිරොයිඩ් හෝමෝන අපේ ඇඟේ කාර්යයන් ගොඩාක් කරනවා , මේ හොමෝන අඩු වුනාම ඒ සියළුම කාර්යයන් අඩු වෙනවා , දුර්වල වෙනවා ..කෙටියෙන්ම කිව්වොත් මුළු ඇඟම කම්මැළි වෙනවා ...කායිකව විතරක් නොවෙයි මේ අඩුම රෝගියාගේ මානසික තත්ත්වය වෙනස් කරන්නත් බලපානවා ..ලේසි නැහැ ..මුලු ජීවිතේම ලෙඩ කරන්න මේ “පොඩි අඩුව ඇති“ ..

අපි දැන් බලමු මේ තත්ත්වය හඳුනාගන්නට පුළුවන් රෝග ලක්ෂණ මොනවාද කියල ..සමහර විට ඒ ටික කියවත්දි ඔයාටත් සැකයක් හිතෙන්න පුළුවන් “මටත් හයිපො තයිරොයිඩිසම් “ ද කියලා . කළබල නැතිව ඔක්කොම කියවන්නකෝ .ඔබත් 20න් එකකට අයත් කෙනෙක් ද කියලා ...(ඒ කිව්වේ ලෝක ජනගහනයෙන් 20න් එක් අයෙකුට මේ තත්ත්වය ඇති වීමේ හැකියාවක් තිබෙනවා )

හැඩ බලන්න...
මේ රෝගයේදි මුලින්ම එන ලක්ෂණ වන්නේ හේතුවක් කියන්න බැරි “ඇඟේ පතේ වේදනාවක් aches and pains) “  , කියන්න තරම් මහන්සියක් නොවුනත් හරි තෙහෙට්ටුයි වගේ  (Fatigue) , ඒ එක්කම අත පය ඇඟ රිදෙනවා , හන්දි කැක්කුමයි(Arthritis)  ,හරි සීතලයි වගේ දැනෙනවා , වාඩි වෙච්ච තැනක වාඩි වෙලාම ඉන්න හිතෙනවා ,මේක හරිම උග්‍රයි මළපහ කරන්න ගියාම , මළපහකිරිමත් හරිම අහසුයි , මලබද්ධය වගේ Constipation එත් එතැන වාඩි වුනාම ආයේ නැඟිට ගන්නත් බෑ වගේ ,සමහර වෙලාවට පුටුවක් වාඩි වුනොත් කම්මැළියි නැගිටින්නවත් නිකං අතපය බරයි වගේ (Muscle hypotonia)  ...සමහර වෙලාවට එහෙමම නින්ද යන තරම් , හරි නිදි මතයි (Excessive sleeplessness)  ,ඒත් හිත එකතැනක තියා ගෙන ඉන්න් බැහැ , සමහර වෙලාවට moods ගහගෙන ඉන්නවා කිසි හේතුවක් නැතිවත් ..ඔය වෙලාවට වෙනදට වැඩිය ටිකක් කේනති යන්නත් ඉඩ තියෙනවා(mood swinging)  ...අතපය දිහා බැළුවම වෙනදට වඩා සුදු මැළිවගේ (pale) ..අනෙක වෙනද හොදට ලස්සනට තිබුණු සමත් වියලිලා ගිහින් (dry skin) , කෙස් , නියපොතු හරිම ලේසියෙන් කැඩෙනව(brittle hair ,nail)  , කොන්ඩේ පීරලා ..පනාව දිහා බලාගෙන හූල්ලන එක තමයි උදේට....

මට හයිපො තයිරොයිඩිසම් නේ ඒකයි ...
ඔය ලක්ෂණ එච්චර ගනන් ගන්නේ නැතිව හිටියම (ඇත්තටම බොහෝ වෙලාවට මේක ලෙඩක්ද කියල හදුනගන්න බැරි තරම් ..) ටික දවසක් යත්දි දැනෙනව ඇඟේ බර වැඩියි වගේ weight gain , බලාගෙන ඉදිත්දි ඇඟ ඉදිමිලා , ගෙම්බෙක් වගේ  ...මෙන්න මෙතැනදි තමයි සැක කරන්න පටන්ගන්නේ මොකද මේ රෝග තත්ත්වය වැඩි පුර ඇතිවෙන්නේ කාන්තාවන්ටනේ ..දැන් එයාල ටිකක් හොයන්න බලන්න පටන් ගන්නවා" මොකද මේ එක්කම ආර්තව චක්‍ර යේත් වෙනස් කම් වෙන්නට පටන් ගන්නවා (මේ ගැන තවත් කතාවක් මෙතනින් ගිහින් බලන්න)  , මේ එක්කම කටහඟ ටිකක් රළු ගතියක් එනවා  වෙනද වගේ සුකුමාල හඬක් වෙනුවට “බර ගොරෝසු , පිරිමි හඬක් “ වගේ එන්න පටන් ගන්නවා ...සමහර විට උගුරෙ ගෙඩියක් Goitre) වගේ මතුවෙලා පේන්නත් පුළුවන් , අපි පොදුවෙ ගලගණ්ඩය කියන තත්ත්වය ...

අම්මට Hypothyroidism ...
දැන්වත් ලෙඩේට ප්‍රතිකාරයක් නොගත්තොත් තව ටික දවසකින් ඔස්ටියෝපොරෝසිස් (මතකනේ අපි 22 වන ලිපියෙදි කතා කළා) , කොලෙස්ටරෝල් අධික වීම (විසි වැනි ලිපිය)  සහ ඒ නිසාම හෘදයාබාධ (23 ලිපියට අනුව ) ඇති වෙන්නට පුළුවන් ,  ඒ විතරක් නොවෙයි , මානසිකව රෝගී තත්ත්ව වලට යන්නත් මෙය හේතුවක් වෙන්වා.ලොකු අවදානමක් තිබෙනව ගර්භණී මවකට , මොකද මව මේ රෝගයෙන් පෙළෙනවා නම් ලැබෙන දරුවා තවත් රෝග ගණනාවක් එක්කම ,මානසික අඩු වර්ධනයක් සහිතව mentally retarded  බිහිවිමට ලොකු ඉඩක් තිබෙනවා ,


ඉතින් මේ තත්ත්වය ඇති වෙන්නට හේතු මොනවද ?...ඔව් ඔබ හරි ආහාරයෙන් අපි ගන්න අයඩින් ප්‍රමාණය සාමාන්‍යෙයන් දේහයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුනාමත් මේක වෙන්න පුළුවන් . ඒත් ඊට වඩා තවත් සාධක ගනනාවක් තියෙනවා , ඒ ...අපේ දේහයේම පටක , පද්ධති , මේ ග්‍රන්ථියේ සෛල , පටක කොටස් “නරක අය කියල“ වැරදි වැටහීමක් ඇති කරගෙන , අපේ ඇඟේ ආරක්ෂක පද්ධති විසින්ම මේ තයිරෝයිඩ් ග්‍රන්ථීයේ පටක විනාශ කරන්නට පෙළඹීම , අපි මේක Autoimmune thyroditis කියලයි නම් කරන්නේ , ඊට අමතරව මොළයේ පිටියුටරි ග්‍රන්ථීයේ ඇති වන වෙනස්වීම් එකකත් මේ රෝගය සම්බන්ධයි මොකද මේ තයිරෝයිඩ් ග්‍රන්ථිය වැඩ කරන්නේ පිටියුරිය කියන මොළය පතුලේ තියෙන ප්‍රධාන පාළක මධ්‍යස්ථානය කියන විදියට  , ඒ පාළක මධ්‍යස්ථානයේ වෙනසක් වුනොත් තයිරෝයිඩ් ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙන එක ආයෙ ඉතින් කියන්නම ඕනද නේද ? ඒ වගේම දිගුකාළීනව ගන්නා සමහර ඖෂධ වර්ග නිසාත් මේ අඩු ක්‍රියාකාරීත්වය ඇති වෙන්න පුළුවන් අනෙක පිලිකා හෝ වෙනත් හේතුවක් නිසා මේ ග්‍රන්ථිය හෝ කොටසක් ඉවත් කළොත් ...ඒත් Hypothyroidism හැදෙන්න අවස්ථාවක් තියෙනවා.


ඉතින් මේ වගේ රෝග ලක්ෂණ හෝ සැක කළ හැකි තත්ත්ව තිබේ නම් කළ යුතු හොඳම දේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවි මේ ගැන සාකච්ඡා කරන එක . එවිට ඔහු ඔබේ ගෙල ප්‍රෙද්ශය , මේ ග්‍රන්ථියේ පිහිටීම සහ එහි තත්ත්වය ස්ඵර්ශ කරලා , බලාවි , එයින් යම් අදහසක් ගන්නට පුළුවන් . තව දුරටත් සැක සහිත නම් , රුධිර පරීක්ෂණ කිහිපයක් (T.S.H level , serum T3/T4 හෝ Thyroid profile test ) කරන්නත් පුළුවන් . එයින් ඉදිරියට පරික්ෂණ කරන්නට වුනොත් ඔහු , ඔබට ආසන්න රජයේ රෝහලට යොමු කරාවි , එතැනදි ඉදිමුනු තයිරොයිඩය තුලට පොඩි කටුවක් ඇතුළු කරලා ලේ ටිකක් වගේ දියරයක් ගෙන බලාවි (Fine Needle Aspiration Biopsy ) තවදුරටත් අවශ්‍ය නම් scanning  හෝ CT/MRI/Nucler වගේ විශේෂීත Scanning පරීක්ෂණ කරන්නත් පුළුවන් .එයින් ඔබ මේ රෝග තත්ත්වයෙන් පෙළෙන බව හඳුනගත්තොත් මොකක් වේද ?
තයිරොයිඩ් Scanning

බොහොම සරළ දෙයක් ..ඔබට ජීවිත කාළය පුරාවටම පුංචි බෙහෙත් පෙත්තක් දිනපතා බොන්නට වේවි .ඒ එක්කම මීට සම්බන්ධ වෙනත් රෝග , (උදාහරණයක් හෘදයාබාධ , මානසික රෝග ...වැනි ) ඇත්නම් ඊටත් ප්‍රතිකාර එක් කරාවි . වැදගත්ම දේ මේ පෙත්ත බොහොම පොඩි උනත් එය නිසි ප්‍රමාණයෙන් , දිගු කාළිනවම , බොහෝ වෙලාවට ජීවිතේ පුරාවටම ගන්න එක . ඒ කාළ සීමාවේ ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වරින් වර රුධිර පරික්ෂණ කිරීමත් ඊට සහ වයසට අනුකූලව ඖෂධ මාත්‍රාව පවත්වා ගැනීමත් හරිම වැදගත් ..
ආ බොන්න ..ජිවිතේ පෙත්ත ...
මතක තියා ගන්න ඔය පෙත්ත මුලින්ම ගත්ත දවස් වල පොඩි පපුවේ කැක්කුමක් ආවොත් ටිකක් විවේක අරගෙන ඒ ගැන වෛද්‍යවරයාව දැනුවත් කරන්න , මොකද මෙච්චර දවසක් “කම්මැලිකමට වැඩ කළ හෘදය , දැන් ඖෂධය ලැබෙන නිසා වෙනදට වැඩිය ටිකක් වේගවත්ව , එහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය එන්නට හදන මුල් අවස්ථාවේ පොඩි පපුවේ කැක්කුමක් එන්න යම් ඉඩක් තියෙනවා , ඒ අර කිව්ව විදියට heart එක වැඩ පටන් ගත්තට , මේ වෙනකොට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණ නම් ඒවා  ඔය කිරීටක ධමනි වල තැනපත් වෙලා තිබෙන්නට පුළුවන් , ඒ නිසා තමයි ඔය කැක්කුම එන්නේ .ඒ හැරෙන්නට ලොකු කරදරයක් ඇති වෙන එකක් නැහැ නිසි ප්‍රතිකාර ගත්තොත් ..නොගත්තොත් නම් ඉතින් ...

අද කතාව මෙයින් අවසානයි අසා සිටි ඔබ සැමට ...නැ නෑ ..කියවූ ඔබ සැමට ස්තුතියි ...

මේ අතරේ අපේ සොඳුරු සුව අසපුවේ පාඨකයින් විවිද රෝග ගැන ලියන්න කියල වරින් වර ඉල්ලීම් කරනවා ..ඔව් අනිවාර්යයෙන්ම ඒ ඉල්ලීම් වලට ගරු කරමින් ඒ ගැන සමාජය දැනුවත් කිරීමේ අරමුනෙන් ඒ ගැනත් ඉදිරියේදී ලියනවා ....ඒ නිසා ඉදිරියෙදිත් ඒ වගේ යෝජනා චෝදනා බාර ගන්න මම හරිම කැමැත්තෙන් ඉන්න බවත් කියන්න එපායැ නේද ...

5 comments:

  1. මා හටත් කලකට පෙර මේ රෝගය තිබ්බා. ප්‍රතිකාර ගත්තා.
    මීට අවු 10ට පමන කලින්. ඊටපසුනම් බෙහෙත් ගත්තෙ නෑ. දැන්නම් මම හිතන්නේ සුව වෙලා. ඊට පස්සේ අමාරුවක් නෑ...

    බොහොම ස්තුතියි ,.ඔබ කරන මේ සේවය .මිල කළ නොහැකියි..

    ReplyDelete
  2. අපේ අම්මටත් මේ ලෙඩේ තිබ්බ.බෙල්ල ටිකක් ලොකු වෙලා තිබ්බ.පස්සෙ එතනින් සෙල්ස් අරන් පරීක්ශා කරා,කරල පිළිකා තත්වයක් නෑ කිව්ව.බෙහෙත් පෙත්තක් දුන්න බොන්න කියල.

    ගෝවා,මන්නොක්කා වගේ ඒවා කන්න එපා කියනව නේද මේ ලෙඩේදි?ඒවට අයඩීන් අවශෝශනය අඩුකරනවලු.

    ReplyDelete
  3. -Gimhani,
    ඔව් ඒ වයසේදී සාමාන්‍යෙයන් විය වයස හැකි දෙයක් මේ . මොකද අවුරුදු 16-22 වගේ අතර අපේ දේහ වර්ධනය සීඝ්‍ර වෙනවා හුඟක් ඉක්මණට.ඒත් අපේ හොමෝන ග්‍රන්ථී වල පරිනතිය ක්‍රමයෙන් සිදු වන්නක් . ඒ නිසා ඒ දින වල තාවකාළිකව හයිපොතයිරොයිඩිසම් තත්ත්නවයක් ඇති වෙනවා . එය ක්‍රමයෙන් නිවැරිදි වෙනවා නිසි ප්‍රතිකාරයත් එක්ක . සතුටුයි මේ වගේ අත්දැකිම් සහිත ඔබගෙන් ලැබුණු අදහසට .

    -නදී ,
    සතුටුයි ඔබේ මවට ලොකු කරදරයක් නැති බව අසන්නට ලැබීමත්. බොහෝ දුරට දෙන්නට ඇත්තේ කියා ඇති පෙති වර්ගය . ඔව් මේ ආහාර වර්ග නොගැනීම සුදුසුයි .ස්තුතියි දැනුවත් කිරීමකට එක්වුනාට

    ReplyDelete
  4. මා මෙය මීට දින කිහිපයකට පෙර පොඩි දෙනුවත් වීමක්‌ උනා එත් මෙපමනනම් නොවේ...ඒ අපෙ පුංචි පෙටවුන්ට උපතේදිම තයිරොඩ් ග්‍රන්තිය නොමෙතිවීමක්‌ ගැන, එක බොහොම අවදානම් තත්වයක්‌ලු..උපතේදිම ඇතිවන මෙ තත්වය මාස 6ට පෙර අදුර ගත්තේ නැතිනම් පුංචි එකා මානසික රෝගයෙක්‌ වෙනවාලු.වාසනාවට දැන් මේ තත්වය අදුර ගන්න අපගේ රජයේරෝහල් පරික්‍ෂන පවත්වනවලු.පුංචි එකාගෙ අල්ලෙන් හො යටි පතුලෙන් ලේ බින්දු දෙකක්‌ අරගෙන. ඒ ගන්න ලේ බින්දු දෙකෙන් පුංචී එකාට තියෙන රෝග තත්වයන් අදුරගෙ නිසි ප්‍රතිකාර කරන්න වැඩ පිලිවෙලවල් දැන් රජයේ රෝහල් වල සිදුකරනවාලු. පිට රට මේ තත්වය වෙනස්‌ලු.උපතේදිම එම පරික්‍ෂන කරන්න අනිවාර්ය යයිලු.
    වැරදි ඇතොත් නිවැරදි කරන්න.
    ස්‌තූතී

    ReplyDelete
  5. -මුදී,
    ඔබ හරි දැන් , දැන් මේ රෝග තතත්වයන් ගැන හොඳින් හදුනාගත හැකි පරික්ෂණ අපේ රටේ තිබෙනවා , ...නිසි පරිදි ඖෂධ ගත්තොත් ලොකු ගැටළුවක් ඇති වෙන්නේ නැහැ .
    ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)