2011/09/23

60) කෙළ බේරෙන කතාවකට....


“මහේෂ් , අර දමයන්ති මිස් කතා කළා , හෙට උදේට hospital එනවා කියලා එයාගේ husband පොඩ්ඩක් dental clinic එකට පෙන්න ගන්න පුළුවන්ද කියල ඇහැව්වා , එයාගේ කටේ ඇතුලේ කාළයක් තිස්සේ තුවාලයක් තියෙනව කියල ඒක පෙන්නුවම ඒ doctor කිවලු , dental clinic එකට පෙන්නන්න කියල ..“
අදත් night shift නිසා හවස් වරුවේ පොඩි නින්දක හිටිය මාව යන්තං ඇහැරුණ විතරයි ,...“මොන මිස්ද ..“  තව ටිකක් නිදා ගන්න ඕනකම තිබුණත් දැන් ඉතින් මේ මොකක්ද කියල දැන ගන්න එපායැ.


“අර ......කේ වැඩකරන දමයන්ති මිස් , ....“
“ඔය කිව්වේ අපේ වික්‍රමේ ගැනද ?..“
“අන්න එයා ගැන තමයි ..., හෙට උදේට පුළුවන්ද clinic එකට පෙන්න ගන්න. කතා කළ විදියට නම් හොඳටම බය වෙලා ..මොකද තාත්තත් නැතිවුනේ cancer එකකින්නේ ....“
“බැහැයි කියල බැහැනේ ...අපි බලමු මොකක් හරි කරන්න ...“
Figure 1.2: World age standardised male incidence rates for oral cancers, selected countries of the world,
අපි තමයි නොම්මර එකේ කට කාරයෝ ....

තව ටිකක් වෙලා නිදා ගන්න හරිබරි ගැහුනා ...
“නංගී ..තාත්ත ඇහැරලා.....අරක අහන්න ....“
ඒ නින්දත් ඉවරයි ..ලොකූට මොකක් හරි ඕන වෙලා නංගිව“ රත් කරල එවන්න“ හදනවා ..දැන් ඉතිං නිදා ගන්නව බොරු තමයි ...

කොහොම හරි කතාව එතැනින් ඉවර වුනා කියමුකෝ , මොකද එතැනින් පස්සේ මට හවය හය වෙනකම්ම
දෙන්නගේ බඩු ගොඩක් හොයන්නට සාප්පු සවාරියේ යන්න උනා. ඒ අතරේ හිතා ගත්තේ අද ලියන්න  ඕන Oral cancers ගැන කියලා , මොකද ,ලංකාවේ පිරිමි පිළිකා රෝගීන් අතරේ ඉහළම තැනක තමයි මුඛ පිළීකාව තිබෙන්නේ.ඒ වගේම මුඛ පිළිකා ඇති පිරිමි රෝගීන් සංඛ්‍යාව අනුවත් ලංකාව පළමු තැන වගේ ඉන්නවා. ආඩම්බරයි නේ .....


මුඛ පිළිකාවක් කියල පොදුවේ හදුන්වන්නේ , අපේ තොල් වල ඉඳළ උගුර දක්වා කට ඇතුලේ ඇතිවිය හැකි “අසාමාන්‍ය,පාළනය කළ නොහැකි ,හානිකර,අක්‍රමවත් සෛල වර්ධනයක් “ , කෙටියෙන්ම කිව්වොත් තොල් සහ උගුර අතරේ කටේ ඕනෑම තැනක ඇතිවෙන්න පුළුවන් පිළිකාවක්. මම මෙතැනදි ඕනම තැනක් කිව්වේ මේ අපිට පේන තොල් , දිව . තල්ල විතරක් නොවෙයි අපේ දත් අතරේ , කම්මුලේ , ඒවිතරක් නොවෙයි , ඇතුලේ තියෙන සයිනස් Sinus වලත් මේ පිළිකාව හැදෙන්න පුළුවන් .
(sinus ගැන මීට ඉස්සර කිවුව කතාව මතකද ?  ,පිළිකාව ගැන නම් 15,26,42,55 කියන ලිපි වල වැඩි දුරටත් කතා කරල තිබෙන නිසා ඒ ගැනත් කියවල හිටියනම් වඩාත් හොඳයි , ලිපි මල්ලට ගිහින් කියවන්න

මේකත් ලක්ෂණයක් වෙන්න පුළුවන්
ඉතින් පිළිකාවක් කිව්වම තවත් විස්තර ඕනද නේද ? ඒ කිව්වේ පිළිකාව වලක්වා ගන්නට කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ , එහිදි අදාල පිළීකාව ඇති විමට බලපාන සාධක , ඒ වගේම බලපෑ හැකි යැයි සැක කරන සාධක හදුනා ගැනිම හරිම වැදගත් . යම් හෙයකින් පිළිකාවක් ඇති වුනොත් එය මුල් අවස්ථාවේම හදුනාගැනීමයි ඊළඟ වැදගත්ම දේ , එහිදි පුර්ව පිළිකා ලක්ෂණ Precancerous features ) වගේ තත්ත්ව ගැන දැනුවත්ව සිටීම ජීවිතය වෙනුවෙන් අවශ්‍යම දෙයක් . එයින් පස්සේ පිළිකාවක යැයි හදුනාගත් විට ඉක්මණින් නිසි ප්‍රතිකාරයට යොමු වීම මගින් විය හැකි අනතුර පාළනය කරගන්නට පුළුවන් වෙනවා ..එසේ නොවුනොත් වෙන්නේ “පිළිකාවේ ගොදුරක් බවට “ පත් වෙන පුද්ගලයා කායිකව මෙන්ම මානසිකවත් සෑහෙන විඳවීමක් විඳල අවාසනාවන්ත ඉරණමකට මුහුණුපාන එක.

මෙතැනදි ඒ අවාසනාවන්ත බවෙන් මිදෙන්නට අඩුම තරමේ පාලනයක් වන්නට “දැනුම හරිම වැදගත් “ විශේෂයෙන්ම මේ රෝග තත්ත්ව පිළිබඳ දැනුම . මෙතැනදි බටහිර රටවල පුද්ගලයින්ට සාපේක්ෂව අපේ රටේ අයගේ දැනුම සහ ලබා ගත් එම දැනුම භාවිත කිරීම කියන දේ ගැන තත්ත්වය නම් හුඟක් දුර්වලයි ,මේ ගැන පොත පතේ කොහොම තියෙනවද දන්නේ නැහැ , නමුත් විදේශික කණ්ඩායම්  සමඟ කටයුතු කරත්දි මට ලැබුණු අත්දැකීම මතයි එසේ කියන්නට හිතුනේ .

පිළිකා සෛල පැතිරෙන හැටි.
හොඳයි එනෙම් පටන් ගනිමු ,දැන් අපි කිව්වනේ මේ Oral cancer කට සහ ආශ්‍රිත ඕනම තැනක ඇති වෙන්න පුළුවන් කියලා , නමුත් ඒ අතරින් දිව , කම්මුල , තොල් ආශ්‍රිතව මෙම පිළිකා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩියි.මේ තත්ත්වයේ අනතුර මේකයි , මේ බොහොමයක් පිළිකා මතුවෙන්නේ කටේ තියෙන පැතලි , පහසුවෙන් ගැලවී යන්නට පුළුවන් සෛල වල , අපි විද්‍යාත්මකව නම් කරන්නේ Squamous cell කියලා , මේ නිසා මුඛ කුහරයේ යම් තැනක ඇතිවන පිළිකාවක් බොහොම පහසුවෙන් දේහයේ වෙනත් තැනකට පැතිරෙන්නට (පර්යටනය වන්නට metastasizes) හැකියාව ඉහළයි, අනෙක වැදගත්ම තැන් වලට . උගුර හරියේ වසා ග්‍රන්ථී (lymph glands) තියෙන නිසා ඒ තුලට ඇතුළු වන්නට පුළුවන් , එහෙම උනොත් මේ පිළිකාව ඇඟේ ඕන තැනකට ඔඩු දුවන්න පුළුවන් , මොකද වසා ග්‍රන්ථි සහ එම තරළය දේහය පුරාම ගමන් කරන නිසා. අනෙක් තැන පෙනහළු , කියන්න ඕන නැහැනේ පෙනහළු වලට පිළිකාව පැතිරුණොත් තත්ත්වේ. මෙන්න මේ වගේ සාධක නිසා මුඛ පිළීකාව පුංචි උනත් හරිම චණ්ඩියෙක් .

බිව්වත් එකයි , කෑවත් එකයි ..
දැන් අපි කතා කරන්නේ මේ චණ්ඩියා බිහි කරන සාධක මොනවද කියලා , තවමත් බොහො පිළිකා සඳහා මුලිකම හේතුව මේකයි කියල කියන්න අමාරුයි , මෙතැනදිත් එහෙමමයි . මුඛ පිළිකාවට හේතු විය හැකි සාධක ගැන පමණයි කතා කරන්නේ  , ඒ සාධක වෙන්නේ ,
“දුම්කොළ / Tobacco (මීට අයිතියි දුම් බීම වගේම දුම්කොළ  සැපීම කියන අවස්ථා දෙකම )
,Alcohol මධ්‍යසාර භාවිතය මගින්(මත්පැන් භාවිත කරන්නන් අතරේ මුඛ පිළිකාවේ අවදානම එසේ නොකරන්නන් එක්ක බැලුවොත් හය ගුණයකින් වැඩියි)  , හිරු එළිය Sun rays (මෙහිදි උදේ 11 සහ සවස 3 අතරේ තද හිරු එළියට දිගු කාළීනව නිරාවරණය වීම මගින් මුඛ පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ යන බව සොයාගෙන තිබෙනවා .) ,බුලත් සැපීමත් chewing betel nuts ඉන්දියාව ලංකාව වගේ රට වල මුඛ පිළිකා ඉහළ යාමට හේතුවක් , මීට අමතරව කාන්තාවන්ගේ ගැබ් ගෙල පිළිකා ඇති කිරීමට හේතු සාධාක විය හැකි බව හදුනාගෙන තිබෙන එක්තරා වෛරසයකුත් මුඛ පිළිකා සඳහා දායක විය හැකි බව ප්‍රකාශ වෙනවා. ඒ තමයි H.P.V (Human papilloma virus) , මේ එක්කම දුර්වල මුඛ සෞඛ්‍ය පුරුදුත් හේතුවක් වෙනවා,ලංකාවේ අපි දන්ත සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම අතින් බොහොම පහත් මට්ටමක ඉන්න බව ඔබ දන්වාද ? ,"
ඒ වගේම බොහොමයක් පිළිකා වලට වගේම මෙහිදීත් වයස බලපානවා , ඒ කිව්වේ වැඩි වයසක අයෙක්ට මේ පිළිකාව ඇති වීමේ අවදානම වැඩියි , ඒ වගේම මෙතැනදි නම් Gents first (මතකනේ ladies first වුනු තැන )  , ඒ කිව්වේ මුඛ පිළිකා වලදි කාන්තා පාර්ශවයට වඩා පුරුෂ පාර්ශවය ඉහළින් ඉන්නවා , ඒකට අර හේතු සාධකම හේතු වෙනවාද කියල හිතෙනවා.එමෙන්ම ඔළුව හෝ උගුර ආශ්‍රිත පිළිකාවක් මීට පෙර ඇති වෙලා තිබුණ අයෙක්ට හෝ පවුලේ පිළිකා රෝග සහිතවූවන් සිටි අයට මුඛ පිළිකාවේ අවදානම වැඩියි.

දැන් අපි කතා  කරමු මේ තත්ත්වයේ ලක්ෂණ මොනවාද කියලා ? මේ අවාසනාවේ පොඩි වාසනාවකුත් නැතුවම නොවෙයි , ඒ කිව්වේ මේ පිළිකාව “පිළිකාවක් “ විදියට හැදෙන්නට ඉස්සර වෙලා “පොඩි සිග්නල් එකක් “ දානවා ,අපි මේවට කියන්නේ පූර්ව පිළිකා ලක්ෂණ Precancerous featuresකියලා. මේ වෙනස් කම් හදුනාගත් ගමන් නිසි ප්‍රතිකාරයකට යොමු වුනොත් වෙන්නට තියෙන අනතුර අඩු කරගන්නවත් පුළුවන්. දැන් අපි බලමු මොනවද මේ “පුර්ව පිළිකා ලක්ෂණ “කියලා ,

සුදු ලපේ ...
මෙතනදි වෙන්නේ කට ඇතුළේ පුංචි පැල්ලමක් වගේ හැදෙන එක , ඒ පැල්ලම patch සුදු පාට , රතු සහ සුදු මිශ්‍රව හෝ රතු පාටට තියෙන්න පුළුවන් , පැල්ලම සුදු පාටට තිබුණොත් වෛද්‍යවරයි එය හදුන්වාවි leukoplakia කියන නමින් , මේ පැල්ලම තව ටික දවසකින් මුඛ පිළිකාවක් වීමට යම් අවදානමක් තියෙන තැනක් .
රතු ලපේ 

හැබැයි පැල්ලම රතු පාටනම් අනතුර ටිකක් වැඩියි , සාමාන්‍යෙයන් එම ප්‍රෙද්ශයේ වර්ණයට වඩා තද රතු පැහැයක් තිබෙන , සුමුදු පැල්ලමක් තියෙනවා නම් Erythrolakia මෙය පිළිකාවක් වීමේ අවදානම වැඩියි .


ඒ වගේම මේ වර්ණ දෙක මිශ්‍රවූ අවස්ථාවකුත් තියෙන්න පුළුවන් (erythroleukoplakia) මේ අවස්ථාව , අර සුදු පැල්ලමට වඩා අවදානම් . ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට මේ “පැල්ලම් නිරීක්ෂණයෙන් පිළිකාවේ මුලික අවස්ථාව හදුනාගැනීම අතින්“ අපේ රට ඉහළ මට්ටමක ඉන්නවාලු. ඒ නිසා මේ ගැන අවධානය වැඩ පුර යොමු කරන එක හොඳයි නේද ?

මේ ලප වගේම යම් අයෙක්ට වෙනද වගේ සාමාන්‍ය විදියට කට අරින්න බැරි නම් , තද වේදනාවක් දැනෙනව නම් , ඒ වගේම ආහාර ගනිත්දි වෙනදට වඩා දැවිල්ලක් වේදනාවක් ටික කලක ඉඳන් තියෙන වනම් වැඩි වෙනවා නම් නිකම් බලාගෙන ඉන්න එපා , නිසි සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් හමු වෙන්න .

(දන්නවනේ  වෛද්‍යවරයෙක්(බටහිර)  විදියට ලංකාවේ සේවය කරන්න නම් M.B.B.S. හෝ B.D.S(දන්ත වෛද්‍යවරයෙක් සඳහා) සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හෙවත් S.L.M.C ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා , මෙහෙම කියන්නට හේතුව අද ලංකාවේ සමහර පළාත් වල මේ කිසිත් නැති "හොර වෙදුන් “ ඉන්නා බව හදුනාගෙන ඇති නිසා.) 
හිනා තමයි ...
මේ මුලික ලක්ෂණ වලට අමතරව තවත් ලක්ෂණ කිහිපයක් පොදුවේ ඇති වන්නට පුළුවන් , ඒ තමයි සති තුනකට වඩා කල් පැවති සුව නොවන තුවාලයක් , මේක තොල් වල කට ඇතුලේ කොතැනක වුනත් වෙන්න පුළුවන් , සමහර විට බැලුවට කිසිත් නොපෙනුනත් දිගට පවතින කටේ වේදනාවක් , කට අරින්නට අපහසුවක් , දිගු කාළිනව කට හඬේ වෙනසක් මේ එක්කම වෙන්න පුළුවන්. සමහර විට දිගටම තියෙන කනේ කැක්කුමක් විදියට වුනත් මේ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මේ එක්කම දිවේ , නැත්නම් කම්මුලේ ඇතුළු පැත්තේ “සංවේදනය , නැත්නම් හැඟීම් දැනීම් අඩු “ බවක් දැනෙන්නත් පුළුවන් . හේතුවක් නැතිව වරින් වර කටෙන් ලේ මිශ්‍ර කෙළ එනවා නම් , ටිකක් හොයල බලන්න , “බොරු දත් “ දාල තියෙන කෙනෙක්ට නම් මෙච්චර කළක් හොඳට හයි වෙලා තිබුණු දත් කූට්ටම දැන් නිකං බුරුල් වෙනවා වගේ , නැත්නම් හරියට හයි වෙන්නේ නැහැ වගේ දැනෙන්නත් පුළුවන් , මේ ලක්ෂණ ආවොත් නම් කට බලියන් බලා ගෙන ඉන්න එපා , හැකි ඉක්මනින් “සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න “ ...

දත් දොස්තර මහත්තය “කට කපාවිද ?“ මේ ලක්ෂණ එක්ක දන්ත වෛද්‍යවරයා හමු වෙන්නට ගියාම ඔහු ඔබේ සාමාන්‍ය තොරතුරු , විශේෂයෙන්ම ඔබේ පුරුදු , රැකියාවේ ස්වභාවය , ආහාර රටාව වගේ තොරතුරු විමසලා , කට ඇතුළ බලාවි , මේ නිරීක්ෂණයේදි යම් අසාමන්‍ය තත්ත්වයක් හඳුනගත්තොත් , ඔහු එම ප්‍රෙද්ශයෙන් සෛල ටිකක් සූරලා අරගෙන  , නැත්නම් පොඩි කැපුමක් කරලා අරගෙන අන්වීක්ෂයෙන් පරීක්සා කිරිමට යොමු කරනවා (Biopsy ) . සමහර විට පාට වතුරක් වගේ දේකින් කට හෝදන්න දේවි , ඒ අර අපි මුලින් කී ලප හොදින් බලා ගන්නට.

යම් හෙයකින් මුඛ පිළිකාවක් යැයි හදුනා ගත්තොත් කෙරෙන ප්‍රතිකාර ක්‍රම හතරක් තිබෙනවා , බොහෝ වෙලාවට මේ පිළිකාමය ප්‍රෙද්ශය කපා ඉවත් කිරීමක් කරන්නට වේවි (surgery) , හිතන්න දිවේ භාගයක් විතර කපා ඉවත් කරන්නට වුනොත් මොකද තත්ත්වේ කියලා , සමහර විට කම්මුලේ පිළිකාවකදි , ඒ කම්මුල් කෑල්ල ශල්‍යකර්මයකින් කපල ඉවත් කරල මැහුම් දානව , ඒත් සමහර අවස්ථා වල මේ තැන් වලින් කෙළ එළියට වැක්කෙරෙමින් ජීවිතේ ගත කළ රෝගීන් මම , මගේ වෘත්තීය ජීවිතයේදි දැකල තියෙනවා.

ඊළඟ ප්‍රතිකාරය තමයි radiation therapy මෙහිදි කරන්නේ පිළිකාවේ තත්ත්වයට අනුව ගණනය කළ විකිරණ මාත්‍රාවක් පිලිකා සෛල පිහිට ස්ථානයට යොමු කිරීම එහිදි උපකාරණයක් උදව්වෙන් බාහිරින් විකිරණ ලබා දීමක් හෝ විකිරණශිලි මුලද්‍රව්‍යයක් සහිත කටුවක් , එම පිළිකාව සහිත ප්‍රෙද්ශයට ඇතුළු කිරීමක් කරන්නත් පුළුවන් , සාමාන්‍යෙයන් “කරන්ට් අල්ලනව “ කියල කියන්නේ මෙන්න මේ ප්‍රතිකාරය . (බය වෙන්න එපා , කරන්ට් වද්දනව නොවෙයි , බොහොම පුංචි කිරණයක් අල්ලනවා විතරයි , ප්‍රතිකාරයෙන් නම් ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ , ඒත් මේ ප්‍රතිකාරයෙන් පස්සේ කටේ පොඩි තුවාල මතු වෙන්න පුළුවන් , හැබැයි ඒවා බොහොම පහසුවෙන් හොඳවෙනවා.)

මේ ප්‍රතිකාර දාමයේ ඊළඟ අවස්ථාව “පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරය “ , මේ ගැන 42 වන ලිපියෙදි කතා කරල තිබෙන නිසා නැවත ඒ ගැන කියල මේ “මාගල“ තවත් දික් කරන්න ඕනයැ .

නමුත් බොහෝ වෙලාවට මේ ප්‍රතිකාර මිශ්‍රණයක් විදියටයි ලබා දෙන්නේ , ඒ නිසා ප්‍රතිකාරයට යොමු වන අයෙක් එහි පල -අපල අදාල වෛද්‍යවරයාගෙන්  හෝ හෙදියගෙන් නිවැරදිව අසා දැන ගැනීමත් ඒ වෙන්වෙන් කායිකව වගේම මානසිකව සූදානම් විමත් හරිම වැදගත් , හේතුව ප්‍රතිකාරය අතර මගදි නතර කළොත් වෙන්නට පුළුවන් දේ හරිම භයානක වෙන්නට පුළුවන්.කොයි තරම් අවාසනාවන්තද කිව්වොත් ඒ තත්ත්ව ගැන පිංතූර දාන්න ගියොත් ඔබ මේ සටහන බලන්නේ නැහැ. ඒ නිසා මේ සටහනට පිංතූර තෝරත්දි හරිම අමාරුවක වැටුනේ මමත්.

දැන් අපි අන්තිමට කතා කරමු වලක්වා ගන්නේ කොහොමද කියලා , ලේසිම දේ තමයි අපි මුලින් කතා කළ රෝගය ඇති කරන හෝ ඇති කරවිය හැකි සාධක වලින් වැළකෙන එක. ඒ එක්කම පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමත් විශේෂයෙන්ම පළතුරු අනුභවයේ ( අලිගැට පේර මගින් මුඛ පිළිකා පාලනයට යම් බලපෑමක් ඇතැයි කියවෙන පර්යේණයන් කිහිපයක් තිබෙනවා) වැදගත්කමත් මතු කරන්නටම ඕන. අනෙක් වැදගත්ම දේ යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම . මෙතැනදි නිසි ලෙස දත් මැදීම මුලික තැනක් ගන්නවා .

තනියම කරගන්න හැටි 
මීට අමතරව අඩුම තරමේ මාසයකට වතාවක්වත් dental self examination එකක් කර ගැනීමට පුරුදු වෙන්න. මේක මහ ලොකු වැඩක් නොවුනත් මුඛ පිළිකා පුර්ව හඳුනාගැනීම සඳහා ‘මහලොකු වාසිදායක ක්‍රියාකාරකමක් “ මේ සඳහා අවශ්‍ය හොඳ එළියක් තියෙන තැනක හයි කළ මුහුණ බලන කණ්නාඩියක් විතරයි . කරන්න තියෙන්නේ මේකයි , මාසෙකට සැරයක්වත් මේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඔබේ කට හොඳට ඇරල තොල් වල ඉදල කටේ ඔබට පෙනෙන ප්‍රෙද්ශය හොඳින් බලන්න ,දිව කම්මුල් , විශේෂයෙන් වැසුනු ,රැළි වැටුනු දිව පතුල හරිය හොදින් බලන්න , මෙතැනදි එහි පාට වෙනසක් වෙලාද , පැල්ලම් මතු වෙලාද , අසාමාන්‍ය ගැට , ඉදිමිම් තිබේද කියල බලන්න . මේ කටයුත්ත පුරුද්දක් විදියට කළොත් බොහොම පහසුවෙන් , මුලින්ම අනතුරක් හදාන ගන්නට පුළුවන්. සැකයක් ඇත්නම් දැන් ඔබට පුළුවන් දන්ත වෛද්‍ය උපදෙසක් ගන්නට.


අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අඩුම තරමේ මාස හයකට වතාවක් වත් සුදුසුකම් ලත් ඔබේ දන්ත වෛද්‍යවරයා මගින් මුඛ පරීක්ෂාවක් කරගන්න . මේ සඳහා ඔබට ළඟම තියෙන රජයේ රෝහලේ දන්ත සායනයේ හෝ ජංගම දන්ත සායනයේ උදව් ලබා ගන්නත් පුළුවන්.

එසේ නම් අදට සමුගන්නවා , තවත් දවසක හමුවෙමු , එතෙක් නොවේ හැමදාමත් නිරෝගීව ඉන්නට උත්සාහ කරන්න ..

“නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා “



21 comments:

  1. ඉතාමත්ම වැදගත් කාලීන ලිපියක්. මේ ලිපිය කිහිප දෙනෙකුටම පෙන්නලා , බුලත් කෑමෙන් අයින් කරවන්නයි මම හිතාගෙන ඉන්නේ. කොච්චර කිව්වත් අහන්නේ නැ මේ අපේ වැඩිහිටි අය. එයාල මේවා පිළිගන්නේ නැ. එයාලගෙත් වැඩි හිටියො කොච්චර බුලත් කාලත් කිසිම ලෙඩක් නැතුව හිටිය කියල සාක්ෂි පෙන්නලා , දිගටම බුලත් කෑම අතාරින්නෙම නැ.

    ReplyDelete
  2. අපේ උණ්දැල අත අරියි බුලත් කෑම හුහ්...

    ReplyDelete
  3. -Kavindi,
    ස්තුතියි ඔබට , ඔව් දැනුවත් කිරීම වටිනවා . ඒත් තමන්ගේ ජිවිතය ගැන තීරණය ඔවුන්ගේ අතේ .

    -indi,
    ඔය ප්‍රශ්නේ තවමත් තිබෙනවා , ඒත් මීට අවුරුදු දහයකට සාපේක්ෂව ගත්තම දැන් අඩුයි , ඒත් රස්සාවේ හැටියට කියමින් සමහරුන් තවමත් ඕකේ එල්ලිලා. එක් වුනාට ස්තුතියි ඔබටත්

    ReplyDelete
  4. හප්පා..... මම් හිතන් හිටියේ බුලත් කනකොට ඔව්වා හැදෙනේ නෑ කියලා. මාත් ඉදහිට බුලත් කනවා. ඒකත් අතාරින්න ඕනා.

    ReplyDelete
  5. -මධුරංග,
    ඒකත් හොඳ අදහසක් තමයි , ස්තුතියි මල්ලී ...

    ReplyDelete
  6. ලංකාව මුල්ම බව ඇහුවම පුදුමත් හිතුන . මොකක්ද මේකට හේතුව . දැන් ඉස්සර වගේ බුලත් කෑමත් දුම් බිමත් කෙරෙන්නේ නැහැනේ . ඒ අතින් චීනය අපිට වඩා ගොඩක් ඉදිරියෙන් . නමුත් මේ චාර්ට් එකේ පහල . අපේ කෑම රටාවද මේකට හේතුව .

    ReplyDelete
  7. -Bindi,
    මේක 2002 වසරේදි කළ පර්යේෂණයක් ප්‍රතිඵලයක් , විය හැකි ප්‍රධාන හේතු කිහිපයක් තිනෙවා ,මත්පැන් ,හිරු එළියට නිරාවරණය වන කාළය වගේම වැදගත් දුර්වල මුඛ සෞඛ්‍යය ,

    ස්තුතියි ඔබට .

    ReplyDelete
  8. වැදගත් ඉතාම වැදගත්

    ReplyDelete
  9. අනේ මන්දා ..අපේ අම්මත් ඔය වැඩේ කරනවා.
    කොච්ච්ර කිව්වත් ..එයාට ඒකෙන් මිදෙන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ.
    බුලත් කෙල ගිලින්නේ නැති හන්දා ප්‍රශ්නයක් නෑ- කියලා කියන කතාව ඇත්තද අයියා.

    ReplyDelete
  10. -ලොකු ඡෝන්,

    ස්තුතියි ඔබට..

    - නිල් අහස -,
    බුලත් වල තිබෙන රසායනිකයන් මුඛ කුහරයේ පටලයට කරන හානිය තමයි ප්‍රධාන සාධකය..තේරුම් කරලා දෙන්න බලන්න ...
    ස්තුතියි ඔබටත්

    ReplyDelete
  11. අනේ මේ ලිපි මගේ පියා මිය යන්ට පෙර දුටුවානම්..
    ඔහුත් අධිකව දුම් පානය නිසා මුඛ පිලිකාවකින් මිය ගියා...
    මුලින්ම් උගුරේ ආවෙ සුදු පාට පැල්ලමක්.. කල්ගියාම ඔහුට කන්නත් බැරිව ගියා.
    තවත් ප්‍රශ්නයක් මගේ මව අද මට කිව්ව එයගෙ දිවේ අමුත්තක් දැනෙනවා කියල. දත් කුට්ටමක් පලදින නිස එතන ගැටෙනෙවලු.. ඇයව පෙන්නන්ට ඕන නේද දොස්තර කෙනෙකුට.
    හොඳ ලිපියක්.

    ReplyDelete
  12. -ගිම්හානි,
    කණගාටුයි ඔබේ පියා වූ සිදුවීම ගැන . මේ තත්ත්වයේදී වෛද්‍ය උපදෙස් ගනිම වඩාත් සුදුසුයි ,
    ස්තුතියි

    ReplyDelete
  13. මම නං කොහොමත් සතියකටවත් වතාවක් කටේ ඇතුල හොඳටම චෙක් කරල බලනව. මොකද කිවුවොත් මගෙ දත් දිරායාම ටිකක් වේගයෙන් වෙන අතරෙම නිතරම විදුරුමසින් ලේ ගැලීමකුත් වෙන නිසා . . . . .

    ReplyDelete
  14. මේ දේ හැදෙන්න පුලුවන් කියන ක්‍රම ගැන නම් මට බයක් නැ අය්යේ මොකද මම ඒව මොනවත් නොකරන නිසා.. ඒත් අවධානයෙන් ඉන්න එක තමා හොද...

    ගොඩාක් ස්තුතියි අය්යේ

    ReplyDelete
  15. -ඕනයා,
    චෙක් කර ගන්න එකනම් හොඳා , ඒත් විදුරු මසින් ලේ ගැලිමක් තියෙන නිසා දන්ත වෛද්‍යවරයෙක්ට පෙන්න ගත්තොත් හොඳයි , විටමන් සී සහිත පලතුරු ටිකක් වැඩිපුර ගන්න...දැනට දත් මදින බ්‍රෂ් එකේ තත්ත්වෙත් හොයල බලන්න...
    ස්තුතියි පැමිණියාට

    -දේවා ගේ අඩවිය ,
    සතුටුයි මෙහෙම කියන්නට පුළුවන් කමක් තිබිම ගැන ...ඒ වගේම සුබ උපන් දිනයකට ආසිරි පතනව ඔබට...

    ReplyDelete
  16. අම්මේ. ඉතින් මහෙශ් අයියා වගෙ මෙ කරුනු කාරනා කියල දෙන්න කෙනෙක් ඉන්න කොට එඩ රෝග වලින් ගැළවෙන එක ලේසි නේ. ඇත්ටම තමන් දන්න දෙවල් වෙන අයට කියල දෙන එක ලොකු පිනක් අයියේ,,

    ජය,,,

    ReplyDelete
  17. -Gayan Rupasinghe ,
    බොහොම ස්තුතියි පැමිණියාට , දැන ගත්දේ ගැන ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න

    ReplyDelete
  18. ලොකු ප්‍රශ්නයක්‌???? මගෙ සීය, සීයගේ තාත්තා...කලේ කුබුර් ගොවිතෙන් උදේ ඉන්දන් හවස 2,3 වෙද්දී තමා ගෙදරට අවේ..ඒ අය හොදට බුලත් කැවා මගේ තාත්තා ඉදල හිටල කන්වා...මගේ මුත්තා අවු 93යි සීයා 94 ඒ අය මෙලොවින් සමුගන්නා තුරු හොද සෞකය සනීපෙන් හිටියා දෙනටත් ඉන්නව ?????????????????

    ස්‌තූතී,,,

    ReplyDelete
  19. -මුදී ,
    මේක හොඳ ප්‍රශ්නයක් . මෙහෙමයි  , පිළිකාවක් ඇති වෙන්නේ එක සාධකයක් නිසාම නොවෙයි. ඒ සඳහා පිළිකා කාරක සාධක ගණනාවක් එකතු වෙන්නට ඕන . මීට අවුරුදු 50 -60 කට ඉස්සර පරිසරයේ තිබුණු පිළිකා කාරක සාධක ප්‍රමාණය අඩුයි ඒත් අද අපිම හදා ගත් සාධකත් එක්ක පිළිකා කාරක සාධක ප්‍රමාණය වැඩියි , ආහාර ,බොන ජලය , අපේ කම්මැලි ජීවන රටාව , හිරු එළියේවිකිරණ ප්‍රමාණය ...ඔය වගේ සාධක ගොන්නක් අතරට , අද බුලත් විටකුත් දාගන්නවා කියන්නේ එන කෝච්චියට හාන්සි වෙලාම බෙල්ල තියනවා වගේ වැඩක් ..මේ නිසා කළ යුතු අපිට ඇතුළු වන පිළිකා කාරක සාධක ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීමයි ..ස්තුතියි මුදී...

    ReplyDelete
  20. I THINK THIS IS ALSO VERY IMPORTANT.THANKS.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)