2012/09/30

120) කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලන කොල්ලා ..ගැබ් ගෙල පිළිකාව

පාට පාට 
සීතලම , සීතල උදේ  පාන්දරින්ම ඇහැරෙන ඉරිදාව අද ....එහෙම කීවේ , වෙනදනම් ටිකක් පරක්කු වෙනකම්ම නිදා ගන්න දවස තමයි අද ..ඒත් මේ පැත්තට ආවට පස්සේ ඒකේ අනිත් පැත්ත ..

ඇහැරිලා නිකං ඉන්නයැ , බිරින්දෑව , සේවා ස්ථානෙට ඇරලවල , ...මීදුම , සීතල අඳුර මැදින් , පැටව් දෙන්නව ඇහැරෙන්නේ නැතිවෙන්න , බොහොම හීං සීරුවෙ ආයෙත් ගෙදරට එන්නත් එපායැ ., නිදි මතත් එක්ක , ඈනුමක් නොයනවමත් නොවෙයි ...ඒත් දවල්ට යත්දි නම් ඇහැට , හිතට හරිම සතුටුයි , මොකද එළිය බැළුවොත් , පාර දෙපැත්තෙම තියෙන ගස් කොළන් රතු පාට , කහ පාට , දම් පාට වගේ පාට පාට රටා මවාගෙන එනවා , සීතල හුළඟට ඒමේ එතට පැද්දෙන “බඩ ඉරිඟු“ යායවල් වලින් අමුතු සුවඳකුත් එනවා ..ඒ ඔක්කොම අමතක වෙන්න , පිටිපස්සෙ දෙන්නෙක් යුද්ද කරනවා , විනෝද සමය වගේ තමා ....

ගෙදර ගාවට , නිකම්ම එන පත්තරේ ..
කොහොම හරි අදත් උදේ රාජකාරිය අවසන් කරල ගෙදර ඇවිත් මගේ දවසේ පළමු රාජකාරිය පටන් ගත්තා , ඒ තමයි දවසේ පත්තර ටික බලන එක , නොමිලේ ගෙදර ගාවටම ඇවිත් දාල යන මෙහේ පත්තරේට වැඩිය මට වටින්නේ , අපේ රටේ පත්තර ටික බලන එක ...එකින් එක් බලනවා , ......ප්‍රශ්න ..පෙළපාලි ...අළුතෙන් පහල වුනු මැණික් ඉල්ලම් ....පෝයට කාර් එකේ තියාගෙන අරක්කු විකුණපු හැටි ., මිනි මැරුම් , ......අනේ මන්දා ප්‍රවෘත්ති කියල කියවන්න ලැබෙන්නෙම හිත රිද්දන දේම විතරද කියලා , ..කොහොම වුනත් තවත් වෙබ් පුවත් පතක මට හිතට වැදුනු යමක් තිබුණා ....“ ගැබ් ගෙල පිළිකා නිසා දවස් දෙකකට මරණ තුනක් “ ..... ජම්මෙට වඩා පුරුද්ද ලොකු නිසාද මන්ද , මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් ටිකක් වැඩිපුර කියවල බලන්නටම හිතෙනවා , (එහෙම කීවේ , මගේ වෘත්තීය ජීවිතේ , මම වැඩිම කළක් , වැඩිම කැමැත්තෙන් , මගේ හිතට දැනෙන යමක් කළේ , කරාපිටියේ පිළිකා ඒකකයෙදි නිසා ....)

කෙසේ වෙතත් , මේ ලිපියෙන් කියැවෙන්නේ මෙහෙමයි ,

උපුටා ගැනීමක් ....( මෙරට කාන්තාවන් දහසක් පමණ වසරකට ගැබ් ගෙල පිළිකාවලට ගොදුරුවන බව සෞඛ්‍යය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඉන් 70% ක්ම රෝගය හඳුනාගන්නේ අවසන් අවස්ථාවේදී බවය.

මේ හේතුවෙන් ගැබ්ගෙල පිලිකාවට ලක්වන කාන්තාවන් වැඩි පිරිසක් කෙටි කලකින් ජීවිතක්ෂයට පත්වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අවම වශයෙන් දින දෙකක් තුල මෙම රෝගය හේතුවෙන් කාන්තාවන් තුන්දෙනෙකු මරණයට පත් වන බව අදාළ නිවේදනයේ සඳහන්ය.

කෙසේ වෙතත් ගැබ්ගෙල පිලිකා කල්තියා හඳුනාගැනීම තුලින් ජීවිත අවදානම මගහරවා ගත හැකි අතර ඒ සඳහා වන සායන 700 ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.


මේ අතර ගැබ් ගෙල පිලිකාවක් වැළඳීමට ඉඩ ඇද්ද යන්න විනාඩි 20 ක් තුල තහවුරු කිරීමට හැකි තාක්ෂණික ඒකක දෙකක් නාරාහේන්පිට හා යාපනය ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති බව සෞඛ්‍යය අමාත්‍යංශය දැනුම් දෙයි.“ 

උපුටා ගැනීම අවසන් , මේක ගත්තේ http://newsfirst.lk/ වෙබ් අඩවියෙන් , ...

දැන් ඉතින් සොඳුරු අසපුවේ කවුරුත් දන්නවා අද මාතෘකාව මොකක්ද කියලා ...ඒ තමයි ළඳුන් වෙත  බැළුම් හෙළන , ගැබ් ගෙල පිළිකා යක්ෂයා ගැන ......

පොඩ්ඩක් ඔහොම ඉන්න , දැන් මේක කියවන මහත්තුරු කාටත් නොකියා හොරෙන්ම මාරුවෙන්න එපා ,“ ඕක ඉතින් අපිට වැඩක් නෑහැනේ කියලා “ ...මොකද නෝනට මේ යකාගෙ බැල්ම අරන් දෙන්නත් ..සමහර විට බැල්ම නවත්වන්නත්   , මහත්තයටත් “කට්ටඩිය“ විදියට දායක වෙන්න පුළුවන් , ඒ කියන්නේ ගැබ් ගෙල පිළිකා ,ලිංගාශ්‍රිත රෝගයක් වගේම , එහෙම නැත්නම් ඒ එක්කම ගමන් කරන්නත් පුළුවන් බව මේ ලිපියෙදි අපි කතා කරනවා , ඒ නිසා , නෝනල වගේම මහත්තුරුත් පොඩ්ඩක් මේ ගැන කියෙව්වොත් නරකක් වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ ...

ඒත් .....ඇත්ත ..මේ වගේ බ්ලොග් එකක් කියවන එකත් මහ කම්මැළි වැඩක් වෙන්න ඇති , මොකද “කිසි ජොලියක් , ආතල් එකක් නැහැනේ “ ....ඔව් , “ජොලියක්  ගන්න පුළුවන් සටහන ඕන තරම් තියෙන එකේ , වෙනත් රසයක් දෙන්නට මෙහෙම තැනකුත් තියෙන්න එපායැ නේද ....මොකද ඉතින් හැම රසක්ම දැනෙන කොට නේ , නියම වටිනකම එන්නේ ...

හරි කතාව වැඩි වුනා වගේ ..අපි දැන් “එලවන්නට පුළුවන් , මේ යකා ගැන ටිකක් හොයල බලමු ....

ඉස්සර වෙලාම , අපි පොඩ්ඩක් හඳුනගන්න බලමු මොකක්ද මේ “ගැබ් ගෙල “ කියන්නේ කියලා ...ඔව් ..ඔව් ..අර ජීව විද්‍යා පන්තිය තමයි ..එහෙම නම් ඕන්න පටන් ගත්තා ...

අපි දැනටමත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ව්‍යුහ ගැන අවබෝධයක් තිබෙනවා ,ඒත් මතක් වෙන්නත් එක්ක මේ පින්තූරෙට ඇහැ  ගෙනියන්නකෝ .

 ඔබ දන්නා විදියටම , මෙතැන Vagina කියල නම් කරන්නේ යෝනි මාර්ගය , ..හරියට මාළිගාවට යන පාර වගේ තමා ...මොකද අපිට එක පාරටම මාළිගාවට යන්න බැහැ , මුර කපොළු දෙකක් එක්ක පොඩි ආරක්ෂක උමඟකින් යන්න වෙනවා ...ඔය Os කියල නම ඉවර වෙන්නේ ආර ආරක්ෂක කපොළු දෙක තමයි ...ඒ අතරේ තියෙන ගැබ්ගෙල උමඟ දිගේ ගිහින් තමයි , මාළිගාවට ඇතුළු වෙන්නේ....කාගෙද මේ මාළිගාව ....ඒ තමයි මේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයට අයිති , ඒ කීවේ “පුංචි පැටියට අයිති ගර්භාෂ මාළිගාව ....“ ( ඔය රූප සටහනේ Adam කියල තියෙන්නේ ඇම්ඩන් කියන එක එහෙම නෙවි ...ඒ තමයි ජීව විද්‍යාත්මක රූප සටහන් ලබා ගන්න හොඳම තැන ) 

හරි ..දැන් අපි දැන ගත්තනේ තැන ගැන ...මේ හරියේ ප්‍රධාන සෛල වර්ග දෙකක් ඉන්නවා , එක කට්ටියක් , ගැබ් ගෙල උමගේ බිත්තිය හදන ගඩොල් වගේ ඉන්න අතරේ තව කට්ටියක් “අර බීම් එක හදනවා වගේ දිගැටියට ඉඳගෙන “ , ඒ උමඟට ඕන කරන තෙතමනය හදල දෙනවා , ඔය තෙතමනය හරි වැදගත් , මොකද තව ටිකකින් ඔය හරහා “ජීවයේ සොඳුරුතම පිහිනුම් තරඟය“ ගමන් කරන්න ඉඩ තියෙනවා ...ඒ ගැන මතක නැත්නම් සොඳුරු සුව අසපුවේ “බබා ලැබෙනකං“ ලිපි පෙළ කියවල බලන්න...අනෙක ඉදිරි දවසකදි “බබාට “ ලෝකෙ බලන්න හොඳ දවස ආවම , එයාට එළියට එත්දි ඇරෙන මුල්ම දොරත් මේක තමයි ..ඒ නිසා “ගැබ් ගෙල“ සමහර විට අපි හිතන තරමට වඩා වැදගත් ..

එතකොට මොකක්ද මේ “ගැබ් ගෙල පිළිකාවෙදි“ වෙන්නේ ...
“ඔව් ...මේ පිළිකාවෙදි වෙන්නේ , අපි කී ගැබ් ගෙල සෛල“ වල විකෘතිතාවයක් ඇති වෙන එක ...ඒ කියන්නේ  , සාමාන්‍යෙයන් , කාටවත් කරදරයක් නැතිව තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්න ගැබ්ගෙල සෛල , මොකක් හරි හේතුවක් නිසා “පිස්සු වැටිලා“ ... කලබල කරන , කිසිම “හිරිකිතක් නැතිව“ හැම තිස්සෙම පිස්සු හැදුන පැටව් දාන ....අන්තිමට මේ ඔක්කොම පිස්සු සෛල ටික එකතු වෙලා වටේ ඉන්න අනෙක් අයගේ කෑමත් උදුරගෙන කාළ , අනෙක් අයගේ ඉඩකඩනුත් අයිති කරගෙන “මහා කළබැගැනියක්“ කරන තත්ත්වයක් මේ .( පිළිකාවක සැබෑ හැඩ රුව ගැන මිට වඩා විස්තරාත්මකව කතා කළ ලිපි තිබෙන නිසා , ආයෙත් මොකටෙයි ඒ ගැන කියන්නේ ...ඔය “ලිපි මල්ල “ පිටුවට ගිහින් බලා ගන්න එකනෙවැ ඇත්තේ ...!) 

දැන් එතකොට මේ කියන විදියට , කොහොමද “ගැබ් ගෙල සෛල“ පිස්සු නටන්න පටන් ගන්නේ , නැත්නම් පිළිකා සෛල බවට පත්වෙන්නේ ..? 

ඇත්තම කිව්වොත් , තවමත් බොහොමයක් පිළිකා වලට ස්ථිරවම හේතුව මේකයි කියල කියන්න බැරි තරම් ..මේකටත් එහෙමම තමයි , ඒත් පර්යේෂණාත්මකව හඳුනාගත් “විය හැකි“ ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනවා , අපි කතා කරන්නට ඕන අන්න ඒ , ප්‍රධාන සාධක ගැනයි , මොකද එතකොටයි ඉන් ඉවත් කළ හැකි සාධක අයින් කරල , මේ අනතුරින් යම් තරමකට හෝ ගැලවෙන්නට පුළුවන් වෙන්නේ .

මොනවද මේ ප්‍රධාන සාධක කියල ඇහුව්වොත් ...ඉන් ප්‍රධානම තැනක් ගන්නේ එක්තරා වෛරසයක්..අපේ ඇඟේ ඉන්නන් එහෙම හදන්න හේතුකාරකයා වන “Human Papiloma Virus" කෙටියෙන් කීවොත් H.P.V. තමයි මේ වරදට ප්‍රධාන වැරදි කාරය විදියට දැනට හඳුනගෙන තියෙන්නේ .මොකද මෙයාට පුළුවන්ලු අර ගැබ්ගෙල සෛල වල යම් යම් වෙනස්කම් ඇති කරවන්නට , හඳුනාගෙන ඇති Cervical cancers වලින් 70%කටම මෙයා දායක වෙලා තියන නිසාම , අපිත් ටිකක් මෙයා ගැන හඳුනගත්තොත් හොඳයි කියල හිතෙනවා . අපේ හමේ අනෙක් තැන්වල “ඉන්නන්“ ඇති කරනවා වගේම ලිංගික අවයව ආශ්‍රිතව 
Genital warts 
“ඉන්නන් “ ඇති වන තත්ත්වයක් තිබෙනවා . අපි ඒවට කියන්නේ Genital warts කියලා  මේ ඉන්නන් ස්ත්‍රියගේ වගේම පුරුෂයාගෙත් ලිංගික ප්‍රෙදේශයේ මතු වන්නට පුළුවන් ..මේ තත්ත්වය ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගයක් හැටියට එක් අයෙක් ගෙන් තවත් අයෙක්ට යන්න ඉඩ වැඩියි ,, විශේෂයෙන්ම “මහත්තයගෙන්“ නෝනට යන්න ඉඩ බොහොම වැඩියි ...ඔව් ...සමහර විට මහත්තයටත් ඕක හම්බවුනේ “නෝන කෙනෙක්ගෙන්“ වෙන්න පුළුවන් ..

ජීවිතේ අවලස්සන කරන ..ලස්සන වෛරසය 
කොහොම වුනත් , මේවිදියට ඇගේ යෝනි මාර්ගයට , ගැබ් ගෙල ප්‍රෙද්ශයට රිංග ගන්න HPV මේ සෛල ඇතුළට ගිහින් පොඩි පොඩි වෙනස්කම් කරනවා , සෛල වල හැඩය , ප්‍රමාණය , වගේම ඒවායේ සාමාන්‍ය ක්‍රියාවලියත් වෙනස් කරන්නට මෙයාට පුළුවන් ...මෙන්න මේ වෙනස් කිරීම වල අවසානය “ගැබ් ගෙල පිළිකාවක මුල“ වෙන්නට පුළුවන් ...ඒ නිසා , ලිංගික එක්වීමකදි , ආරක්ෂණ උපක්‍රම , භාවිත කිරිමේ වැදගත් කම මෙතැනදිත් මතු  වෙනවා .  දැන් ඕන්න මම කීවේ නැහැ , ගැබ් ගෙල පිළිකාව සමාජ රෝගයක් කියල හරි , පිළිකාවට පත් වුනු හැම කෙනෙක්ම “වැරදි ලිංගික චර්යාවන් වල සිටි අය කියල හරි “ ...නැහැ ...මේ තත්ත්වය 100%ක් නොවෙයි , එහෙම නැති බොහොම හොඳ පවුල් ජීවිත ගත කළ “මව්වරුන්“ විශාල සංඛ්‍යාවක් මගේ සේවා කාලය තුලද හමුවෙලා තිබෙනවා . ඒ වගේම මේ ලිංගික ඉන්නන් ඉන්න හැමෝටම ගැබ්ගෙල පිළිකා හැදෙනවා කියල කීවෙත් නැහැ ..මේ කියන දේවල් කළබල නැතිව හරියට තේරුම් ගන්න ...හැබැයි , ලෙඩ රෝග ගැන නම් , “ඒකද දන්නේ නැහැ , මේකද දන්නේ නැහැ“ කියමින් “සැක කර කර ඉන්න එක නම් හොඳ දෙයක් වෙන්නේ නැහැ , හොඳම දේ , ඔබේ වෛද්‍යවරයා ගාවට ගිහින් සැකේ දුරු කරගන්න එක ...අපි ඒ ගැන ඉදිරියෙදි කතා කරමුකෝ ..

කරන දෙයක් පරිස්සමට ...
හරි මෙච්චර වෙලා කීවේ ගැබ් ගෙල පිළිකා සඳහා හේතුවන ප්‍රධාන එක් අයෙක් ගැන විතරයි ...අනික්වා මොනවද බලමු දැන් ...ලිංගික ක්‍රියාකාරකම් ....ඒ කීවේ , අඩුවයසින්ම ලිංගික කටයුතු  ආරම්භ කළ කාන්තාවන්ට අවදානම වැඩියි , ඔය අවුරුදු 16 , 18 ඉඳළම ‘‘ වැඩ පටන් ‘ගන්න අය , ටිකක් පරණ වෙනකොට “ මේ අවදානමට අත වනනවා ...තවත් වැදගත් දෙයක් මෙතැන ලිංගික කටයුතු කියල කීවේ ලිංගික සංසර්ගය විතරක්ම නොවෙයි , මුඛ-ලිංගික වගේම යෝනි මාර්ගය තුලට වෙනත් දේ ඇතුළු කරන්නට හුරුවුනු ( ඇඟිළි හෝ වෙනත් උපකරණ ) කාන්තාවනුත් මීට අයිතියි ...තවත් ... බහු පුරුෂ සේවනය වගේම , බහු ස්ත්‍රී සේවනය කරන පුරුෂයන් එක්ක ලිංගිකව එක්වීමත් , මීට ඉස්සර වෙලා කතා කළ HPV ඉන්නන් වගේම , වෙනත් ලිංගාශ්‍රිත රෝග ඇති මහත්තුරුත් එක්ක ලිංගිකව එක්වන නෝනලාත් තමන්ගේ අවදානම වැඩි කරගන්නවා . ඒ නිසා මොන වැඩේ පටන් ගන්නත් ඉස්සර වෙලා , තමන්ගේ අනාගතේ ගැන හැම පැත්තක්ම හිතන එක වටිනවා ...නැත්නම් “දැන් සුවේ හෙට ලෙඩේ “ තමා ...

තවත් හේතු සාධක ගණනාවක් තිබුණත් , ඒ ඔක්කොම ඔය විදියට “වැල“ වගේ ලියන්න ගියොත් , සොඳුරු සුව අසපුවට ඉවසීමෙන් එන මේ ටික දෙනාත් ආයෙ  නොඑන්නම යන්න ඉඩ තියෙනවා ...අනෙක අනෙක් සාධක ප්‍රධාන මට්ටමට සලකන්නෙත් නැහැ ..හැබැයි බලපෑමක් වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් කතා කරමු ....ඒ තමයි දුම්බීම හෝ පානය කිරිම ...පානය කිරීම කියල කීවේ අනුන් දෙන දුම , නැත්නම් කෙටියෙන් කිව්වොත් මහත්තය බොන සිගරට් එකේ දුම නිසා , නෝනට වගේම , ගෙදර ඉන්න ලොකු දුවටත් ගැබ්ගෙල පිළිකා අවදානම ලං කරනවා , ඔන්න ඔහොම වෙලා , අන්තිමටම නෝනටම දෝස්මුරේ දාන්න එපා මහත්තයා මොකද ලෙඩේ දුන්නේ මහත්තයගේ කටින්ම නේ ..මේ වගේම යම් ලිංගාශ්‍රිත රෝගයකින් පෙළිම , මීට පෙර පෙළෙමින් සිටීම වගේම , පවුලේ කෙනෙක් මේ පිළිකාවෙන් ඉන්නවා නම් , අන්න ඒකත් අවදානම් , ඒ කියන්නේ බෝවෙනවා කියන එක නොවෙයි , යම් ජානමය සම්බන්ධතාවයක් පවතින්නට හැකි වීම නිසා ..අනෙක කාළයක් තිස්සේ ගන්න බෙහෙත් වර්ගයක් නිසා හරි , නැත්නම් වෙනත් ලෙඩක් නිසා හරි ඇයගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ හැකියාව , ලෙඩ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු නම් , පරිස්සම් වෙන එක හොඳයි ...ඔය වගේම අපි දන්නවනේ වියපත් වීමත් එක්ක විවිධ වෙනස්කම් වෙනවා කියලා ..අන්න ඒ වියපත් වීමේදි ඇති වන වෙනස්කම් නිසාමත් ගැබ්ගෙල පිළිකා මතුවන්නට පුළුවන් , ඒ වගේම “අවුරුදු දහයකට වඩා උපත්පාලන පෙති භාවිත කරල තිබේ නම් අවදානමක් ඇත“ කියන සැකය පර්යයේෂකයන් පෙන්වා දෙනවා , ඒ කියන්නේ එහෙම වෙන්නත් ඉඩක් නැතුවා නොවේ කියන එක ..

ඔය වගේ සාධක ගණනාවක බලපෑමෙන් ඇතිවන ගැබ්ගෙල පිළිකාවේ මුලික ලක්ෂණ මොනවද කියල අපි බලමු ..මෙතැනදි අපිට මේ මුලික ලක්ෂණ කියල කියන්න වෙන්නේ , ඇයට දැනෙන , බාහිරින් සිදුවන වෙනස්කම් විතරයි , එහෙම කියන්න හේතුව , මේ බාහිරට වන , දැනෙන වෙනස්කම් වලට කාළට ඉස්සර වෙලා තමයි පිළිකාව පටන් ගන්නේ ...ඒ පටන් ගන්න දවස් වලට මේ අවදානම හඳුනගන්නට පුළුවන් පරික්ෂණයක් තිබෙනවා , අපි කියන්නේ “පැප් ටෙස්ට්“ එක කියලා .. පොඩ්ඩක් ඉන්න ...අපි කියන්න ආවේ වෙන දෙයක්නේ ..ඉස්සර වෙලා අපි ඒ ගැන කතා කරල ඉමු ...ඊට පස්සේ යම් ටෙස්ට් එක ගැන කියවන්න ..

මුලින්ම දැනෙන වෙනස්කමක් තමයි තමන්ගේ “යටි බඩ හරියේ“ පොඩි නොසන්සුන් බවක් , පිච්චෙන , නැත්නම් පොඩි ඇද්දුම් කෑමක් වගේ දැනෙන්න පුළුවන් , ඒත් ඉතින් කාන්තා පාර්ශවයට ඔය හරියේ වේදනාවන් හැමදාමත් තියෙන නිසා හුඟක් වෙලාවට ඔය ලක්ෂණ දෙක “ගණන් ගන්නේ නැහැ “ ., ඔන්න ඊළඟට පොඩ්ඩක් ගනන් ගන්න ලක්ෂණ පෙන්නවා ..සාමාන්‍ය ආර්තවය සිදු නොවන දවස් වලටත් “පොඩ්ඩක් ලේ යන්න “ පටන් ගන්නවා , බිංදු කිහිපයක් , Spotting කියල කියන්නේ ..සමහර විට ඔය දැනුම් දීමත් “ අනේ ඔහොම වෙනව අනේ“ කියල අමතක කරල දාන්න ඉඩ තියෙනවා ...දැන් නම් තුන් වෙනි warning එක දෙන්න හදන්නේ , ඒ තමයි ලිංගිකව එක්වීමේදි වෙනදා ඇති  නොවනු තද වේදනාවක් ඇති වෙනවා , මේකනම් බොහෝ විට හඳුනාගනීවි , ඒ එක්කම වෙනද නොවනු විදියට ලේ යන්නත් පටන් ගනීවි ...දැන් ඕකටත් “මොකක් හරි කියල හිනාවෙලා , පරණ දවසක් මතක් කරගෙන “ ඉන්න හදන්න එපා ...මේක නම් ඉක්මණින්ම “සැක හැර දැන ගත යුතු තත්ත්වයක් “ ...මේ එක්කම යෝනි මාර්ගයෙන් අසාමානය විදියට , දියරයක් ස්‍රාවය වෙනවා නම්  , ඒක වතුර වගේ හරි උකු ටිකක් තද පාට , ගඳකුත් එක්ක වෙන්න හරි පුළුවන් ...දැන් නම් “ඉන්න එපා ගෙදර ..යන්න ඉක්මණින්ම දොස්තර මහත්තයව(හරි නෝනව හරි)  හම්බවෙන්න ...

මේ වෙලාවෙත් ගණන් නොගෙන හිටයොත් , ඊළඟට කොන්දේ කැක්කුම් , කකුල් වල ඉදිමිම් , මුත්‍රා පාලනයක් නැතිව පිටවිම් , ඇඟේ පතේ කියන්න නොතේරෙන අමාරුකම් , රෑට ටිකක් උණ වගේ දැනෙන . , ඇඟ  බලාගෙන ඉඳිත්දි කෙට්ටු වෙලා යන , කන්න අප්පිරිය වෙන, හැම තිස්සෙම මහන්සි ගතියක් තියෙන  , මළ සමඟත් ලේ පිට වෙන වගේ ..දරුණු රෝග ලක්ෂණ මතු කරන්නට ඉඩ තිබෙනවා ...අඩුම තරමේ දැන්වත් ප්‍රතාකරයක් වෙත යොමු වෙන්න ...

නිසි  වෛද්‍යවරයෙක් ළඟට ගියොත් , ඔහු මේ තත්ත්වය හඳුන ගන්නට පරික්ෂණ කිහිපයක් කරාවි , සමහර විට යෝනි මාර්ගය පුළුල් කරන වෛද්‍ය උපකරණයක් බාවිත කරල , යෝනි මාර්ගයේ ඇතුළු බිත්ති වල ස්වරූපය ගැන බලාවි ,;තවත් HPV test කියල එකකුත් කරාවි ... ඒ එක්කම , ගැබ් ගෙල හරියෙන් සෛල ටිකක් හූරල වගේ අරගෙන එය අන්වීක්ෂයෙන් බලල වාර්තාවක් ලබා ගන්නට නිසි පර්ක්ෂණාගාරයකට යොමු කරාවි , ඒ වාර්තාව ආවට පස්සේ Colposcopy කියන පුංචි කැමරාවක් සහිත උපකරණයක් යෝනි මාර්ගය තුලින් යවල , ඒ ප්‍රෙද්ශය , ගැබ් ගෙල ගැන ගැඹුරින් නිරීක්ෂණය කරන්නට ඉඩ තිබෙනවා , ඒ එක්කම සැක සහිත තැන් වලින් පොඩි පටක කෑළි ටිකක් කඩල අරගෙන Biopsy පරික්ෂණයට යොමු කරන්නත් ඉඩ තිබෙනවා . තවත් වටපිටාව ගැන එහෙම සොයල බලන්න ඕන වුනොත් , X.ray , ස්කෑනින් වගේ පරීක්ෂණත් කරල සම්පුර්ණ වැටහීමක් ලබා ගනීවි ..

දැන් ඉතින් තත්තවය මේකයි කියල හඳුනගත්තොත් , කරන්න වෙන ප්‍රතිකාර කිහිපයක් තියෙනවා , ඒ තමයි ශල්‍යකර්මයක් මඟින් පිළිකාව සහිත , පැතුරුණු සහ ආශ්‍රිත අවදානම් පටක පවා ඉවත් කරල , සුද්ද පවිත්‍ර කිරීම , හුඟක් වෙලාවට මේ එක්කම , ගැබ් ගෙල සහ ආශ්‍රිත ප්‍රෙද්ශයට විකිරණ ප්‍රතිකාර දෙනවා , සමහර විට එළීයෙන් තියෙන විශේෂ උපකරණයකින් ගැබ් ගෙලට විකිරණ විදින්නත් පුළුවන් , Teletherapy විදියට නැත්නම් , විකිරණ මුදා හැරෙන යම් රසායනික කූරූ විශේෂයක් යෝනි මාර්ගයේ ගැබ් ගෙල ආසන්නයේ තැන්පත් කරලා යම් කාළ සීමාවක් තියන්නත් පුළුවන් ...(විකිරණ ප්‍රතිකාර  ගැන දැන ගන්න මේ ලිංක් එකෙන් ගිහින් “85වන ලිපිය“  කියවන එක වටීවි) 
මෙයටම තවත් ප්‍රතිකාරයක් එක් කරන්නට ඉඩ තිබෙනවා , ඒ තමයි පිළිකා නාශක ඖෂධ ... Cytotoxic therapy ....මෙතන ක්ලික් කරලා  ඒ ගැන ලියපු ලිපියට යන්න පුළුවන් නිසා ආයෙත් දිගට ඒගැන ලියන්න අදහස් කරන්නේ නැහැ ...

මේ ප්‍රතිකාර ටික හරියට කර ගත්තොත් , පිළිකාවෙන් සම්පුර්ණයෙන්ම සුව වෙන්න හරි , හොඳින් පාළනය කර ගන්න හරි පුළුවන් ...හොඳට මතක තියා ගත යුතු දෙයක් තියෙනවා  ඒ තමයි මේ වචන දෙක “සුව වීම“ ....“හොඳින් පාළනය වීම“ ....ඔය වචන දෙක අතරේ තියෙන්නේ ..අර නන්දාමාලිනියගේ “ ප්‍රේමයය වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට තරම්“ වගේ ..බොහොම සුළු කාළ සීමාවක් ..ඒක දින , සති , මාස කිහිපයක් වෙන්න පුළුවන් , ඒ නිසා වැදගත්ම දේ මුල්ම අවස්ථාවේ අවදානම හඳුනාගැනීම , රෝගයේ මුල් අවස්ථා හඳුනා ගැනිම සහ මුල් අවස්ථාවේදි නිසි ප්‍රතිකාර සහ පසු ඇගැයුම්(ප්‍රතිකාරයෙන් පස්සේ නියමිත සායන වලට එමින් , තත්ත්වය ගැන තව ටික කළක් යනතුරු සෙවිල්ලෙන් ඉන්න එක) ....

කතාව ඉවරයි කියල හිතන්න එපා ....මේ තොවිලේ හොඳම කෑල්ල දැන් ...ඒ තමයි මේ යකාව බැල්ම දානකොටම ...හඳුන ගන්න පුළුවන් පරික්ෂණයක් තියෙනවා , නම පොඩියි වැඩ ගොඩයි ..ඒ තමයි “පැප් පරික්ෂණය“ ....හරිම සරළ වේදනාවක් ඇති කරවන්නේ නැති , ඒ වගේම නොමිලේ කරගන්න පුළුවන් පරික්ෂණයක් ...ඔබේ ගමේ සුවනාරි සායනයේ , නැත්නම් ඔබේ රෝහලේ මේ පරික්ෂණය කරනවා ..අද ලිපියේ විදියට මේ වෙනුවෙන් සායන 700ක්ම තියෙනව ...
ඔය සායන තිබුනට කවුද ඕවට යන්නේ ...? නේද ...ඔව් යන්න ඕන මෙන්න මේ අය ...මුලින්ම කියන්න ඕන , වයස අවුරුදු 21 හෝ මුලින් කී ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන්නට පටන් ගත් අවධියේ සිට ..(.එය 20 හෝ 18 වුනත්) වසර තුනකට වතාවක්  මේ පැප් පරික්ෂණය කරවා ගන්න එක , පිළිකාවේ පුර්ව අවස්ථාවම හඳුනගෙන ඉන් ජීවිතේ රැක ගන්නට හේතු වෙනවා , අනෙක් අය තමයි මුලින්කී අවදානම් සාධක ඇති අය , සමහර විට ඒ අයට මීට වඩා අඩු කාළපරතරයකදි පැප් පරික්ෂණය කරවා ගන්නට වේවි   , ඒ ගැන , ප්‍රතිකාර කරන වෛද්‍ය සායනයෙදි දැනුම් දීමක් කරනවා ..(විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන විදියට අවුරුදු හතලිහෙන් පස්සේ , හැම අවුරුද්දකට සැරයක්ම පැප් පරික්ෂණය කර ගන්න කියල ඉල්ලීමක් කරනවා)

තව දෙයක් ..දැන් අර HPV  වලින් පරිස්සම් වෙන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා ...ඒක 100%ක්ම සාර්ථකද කියන එක ගැන ප්‍රශ්න නැතුව නොවෙයි ..මොකද ...HPV ගණනාවක් අතරින් පිළිකාව ඇති කරන්නේ වර්ග දෙක තුවක් විතරයි ...කොහොම වුනත් ඔබේ වෛද්‍යවරයාගෙන් මේ ඉංජෙක්ෂන් එක ගැන අහල දැනගත්තත් වරදක් වෙන එකක් නැහැ ..හොඳ නම් ගන්න .. ...

කෙසේ වෙතත් අන්තිමට කියන්න තියෙන්නේ ගැබ් ගෙල පිළිකාව කියන්නේ පිළිකා අතරිනුත් බොහොම අප්‍රසන්න අත්දැකීමක් ලබා දෙන ,  නරකම පිළිකාවක් කීවත් වැරදි නැහැ , ඒක මට හිතෙන විදිය විතරක් නෙවි , ඒ තත්ත්වයෙන් පෙළුනු කාන්තාවන් , ප්‍රතිකාර ගනිත්දි , ඔවුන්ගෙන් පිටවුනු අදහස් නිසාම , ඒ විදියට හිතෙන්නට වුනේ ...

ඕං එහෙනං ...ආයු බෝ ආවඩා කියල ආතුරයට සෙත් පතලම ...තොවිලේ හමාර කරන්නයි යන්නේ ...දැන් හොඳටම එළිවෙලා නොවැ ...අපේ වෙලාව නම් උදේ දහයයි ..එහෙම නම් ....අපි අදට යන්නම් ...ආයෙත් එනවා , ඊළඟ සති අන්තයේදිත් ...

මොකද කළබලේ ...පොඩ්ඩක් ඉඳළ කහට උගුරක් බීල , හකුරු කෑල්ලක් කාළ ..මේන්න මේ ෆිල්ම් පොඩිත්තත් බලලම ගියානං ....


පොඩිත්ත කීවට පොඩිමත් නැහැ නේ ...ඕන්න යන ගමන් බෙලින්ඩා කියන නැට්ටුක්කාරිගේ කතාවත් අහගෙන යන්නකෝ ...තරහ නැතිව ..


11 comments:

  1. ඇත්ත ඔබේ බ්ලොගේ ජොලියක් ගන්න බෑ තමයි. ඒත් ජීවිතයට වැදගත් දැන ගතයුතු එහෙත් ලෙහෙසියෙන් දැන ගැනීමට නොලැබෙන දේ එමටයි. ලෙඩ රෝගයකට කාටහරි යමක් හොයන්න ඕන උනහම මම මුලින්ම එන්නෙ මෙතනට. මොකද ඒ හොයන වෛද්‍යමය පිලිතුර මෙතන තියනවා.

    …මතකනේ මම දවසකුත් කියුවේ හදිසියකට නම මේකෙ හොයන්න අමාරුයි. මාතෘකා නැත්නම් Labels යොදාගන්නවනම් ඔබටත් මටත් හැමෝටමත් පහසුවේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට ...ඇත්තටම අර පුරුද්ද ලොකු නිසාද මන්ද මේ label දැමිල්ල නම් වෙන්නේම නැහැ ...අද පුළුවන් ඔක්කොටම Label දැම්මා දැන් ..මාතෘකාවට ලෙඩේ නම යොදා ගැනීම දැන් කරනවා , මේවර නැති වුනත් ...පොඩි පොඩි වෙනස්කම් කරන්නත් එපායැනේද ? ....
      නැවතත් , බොහාම ස්තුතියි මේ අඩුපාඩු ටික නැවත මතක් කළාටත් , සරු අදහසක් එක් කළාටත් ....පැමිණියාටත් ..අදහසක් සටහන් කළාටත්

      Delete
    2. කමෙන්ට් නොදැම්මට නිතරම මේ පැත්තෙ කැරකෙනවා

      Delete
  2. සියලුම කරුණු අඩංගු සම්පූර්ණ ලිපියක් . මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න සූදානමින් ලිපිය බලන්න පටන් ගත්තෙ . නමුත් ඊට ඉඩක් නොතියාම ලියල තියෙනවා .
    …අර ලොකු ජෝන් කීව අදහසත් ක්‍රියාත්මක කරනවනම් අපිට හරිම පහසුවක් .
    …බොහොම ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට .
    …ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ...ඔව් , ඒ වෙනස අද එකතු කළෘ ..දැන් ලේබල් වලට ගිහින් ඕන කරල ලිපිය සොයා ගන්න පුහසු ඇතැයි සිතනවා , ඒ වගේම අවශ්‍ය නම් “ලිපි මල්ල “ පිටුවෙනුත් එය කරගන්නට පුළුවන් ..
      බොහොම ස්තුතියි දිරි ගැන්වීමට ..

      Delete
  3. අහාලා තිබුනා අදය් හරිටම ඩැන ගත්තෙ ස්තුතියි ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීම සතුටක්

      Delete
  4. ගොඩක් පින් අය්යට

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි මේ පැත්තේ එනවාට ....

      Delete
  5. ගොඩාක් වටින විස්තරයක්.. විශේෂයෙන්ම කාන්තාවන්ට..ඒ මොකද කිව්වොත් සමහරු ලැජ්ජාව නිසා හංහන් ඉන්නවා තව සමහරුන්ට නොසැලකිල්ල නිසා මූලික අවස්ථාව මඟහැරෙනවා. දැන ගන්නකොට ගොඩක් පහුවෙලා... සුව අසපුවට අන්දවපු ඇදුමත් ටිකක් වෙනස් වෙලා. ලස්සන වෙලා... නියමයිනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තොටියාණනි ඔබේ අගැයුමට ..

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)