2012/10/07

121) නොබිඳුනු කන්‍යාවියකගේ කතාව


මගේ ලෙඩේම තියෙන මගේ පැටවු ..

අඟහරු වෙතට ගිය Curiosity දැන් වැඩ පටන් අරගෙන ..බොහොම පැහැදිලි ඡායාරූප , වාර්තා එවනවලු . මගේ විනෝදාංශ අතරේ තාරකා විද්‍යාව ඉහළ තැනක තිබෙන නිසා හැමදාමත් Curiosity ගේ අලුත් වැඩ ගැන ඊ මේල් ලැබෙනවා ...නාසා අයතනයේ වෙබ් අඩවියට ගිහින් ලියාපදිංචි වුනාම ඔබටත් මේ අලුත් රසවත් තොරතුරු ලබා ගන්නට පුළුවන් . , අද තාරකා විද්‍යාව ගැන කතා කරන්න යනව නොවෙයි ...අද කතාවට මුල පුරන්නේ ඒ අඟහරු යානයට දී ඇති වචනයෙන් ....Curiosity .....සිංහලෙන් කීවොත් “කුතුහලය“ .....


ඇත්තටමේ “කුතුහලය“ වැදගත් දෙයක්ද ? .....ඔව් ...වැදගත් ...මේ කුතුහලය නොවන්නට ජීවයේ පැවැත්මක් නොවන්නට ඇති ..මෙවන් දියුණුවක් නොවෙන්නට ඇති ....කුතුහලය නිසා නොවැ මේ බොහෝ දේ “සොයා ගන්නේ “ ....මිනිසුන්ට ඇති කුතුහලය දනවන මතෘකා අතරේ “ලිංගිකත්වය“ , කියන දේ ඉහළින්ම තිබෙනවා ... ලිංගික ආකර්ණය කියන දේ තවත් වැඩි කරමින් , විටෙක වෙනස් කරමින් මේ “ලිංගික කුතුහලය“ අපේ සිත් ඇතුලේ තිබෙණවා ...සංස්කෘතිය නීතිය , ගෞරවය වගේ සාධකත් එක්ක යම් සීමා තුල හිර වුනත් මේ “ලිංගික කුතුහලය “ sexual curiosity හැංගිලා තිබෙන බව අපටම දැනේවි ...


කොළ අත්තෙන් ලිංගික අවයව වහගන්න උත්සාහ ගත් අවධියේ පටන් , එය ටිකෙන් ටික වර්ධනය වුනත් , ඊට පෙර සිටම එය තිබෙන්නට ඇති ...නමුත් මිනිසාගේ දියුණුවත් එක්ක ...මේ කුතුහලයේ පරාසයන් පුළුල් වෙනවා වගේ හැඟෙන්නේ ....යොවුන් පුවත්පතක වෛද්‍ය ගැටළු තීරුව දිගේ ඔබේ ඇස ගෙන ගියොත් මේ කුතුහලය නිසා අසන ප්‍රශ්න කීයක් නම් සොයාගන්න පුළුවන්ද ...“සුව විමසුම“ පිටුවේ ඇති ප්‍රශ්න අතරේත් වැඩියෙන්ම තිබෙන්නේ ඒවාද මන්ද ..? ....තවත් ප්‍රශ්න ලැබිල තිබෙනවා , නමුත් ඒවා publish නොකරන්නේ , එවිට එම පිටුව වෙනමම මාතෘකාවක පිටුවක් වේද කියන සැකයට ..නමුත් අදාල ගැටළු වලට පිළිතුරු නිසි ලෙසින් යොමු කර තිබෙනවා ..

කෙසේ වෙතත් මේ ලිංගික කුතුහලයන් අතරිනුත් කන්‍යාභාවය සහ කන්‍ය පටලය කියන පද වලට වැදගත් තැනක් ලැබෙනවා . මේක අපේ රටේ විතරක් නොවෙයි බොහෝ රටවල ප්‍රසිද්ධීයේ කතා නොකරන “හැංගුණූ කතාවක්“ .....කණ්‍යාපටලය නැත්නම් Hymen  ......අද මාතෘකාව දිවෙන්නේ මෙන්න මේ හදවත් රිද්දන තුනී පටලය ගැනයි ..

 ඇත්තටම මොකක්ද මේ කන්‍යාපටලය කියන්නේ ? ....මේකේ වැදගත් කමක් තිබේද ? ....මේ පටලව සහ කාන්තාවගේ “පිරිසිදු“ බව අතර සබඳතාවක් ඇත්ද ? ......මේ විදියට ප්‍රශ්න වැලක් අහන්න පුළුවන් ...
ඔව් ..අපි එකින් එක විස්තර වෙන විදියට කතාව ගෙනියමු ....නමුත් අවසානයේ අපි කතා කරනවා මේ පටලයේ වෙනසක් නිසා ඇති වන සෞඛ්‍ය ගැටළුවක් ගැන ...මේ ඔක්කොටම ඉස්සර වෙලා හැමදාමත් වගේ “පාඩමට“ යමු ....


කන්‍යාපටලය ....? කොහෙද මේ “මහ ලොකු“ පටලය තියෙන්නේ ...අපි දැනටමත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය ගැන යමක් දන්නා නිසා ( මේ ගැන පෙර ලිපි වලදි කතා කළා) ...කෙටියෙන් මේ විදියට කියන්න පුළුවන් ...Hymen එක නැත්නම් මේ කන්‍යාපටලය ( මේ නම යෝනි පටලය කියල කියැවෙනවා නම් වඩා නිවැරදියි කියලයි මට හිතෙන්නේ )  පිහිටන්නේ යෝනි මාර්ගයේ Vagina එළියට කිට්ටුවෙන්න ...තුනී පටලයක් (නමුත් සමහර අවස්ථා වල ටිකක් ඝණ කම් වෙන්න පුළුවන්) ...හරියට යෝනි මාර්ගයේ දොර වගේ තමයි පිහිටන්නේ ..දොර කිව්වට ...දොරක්ම නොවෙයි ..මොකද මේ පටලමය දොරේ ..මැද සිදුරක් තිබෙනවා ...ඇඟිල්ලක තරමේ සිදුරක් පිහිටනවා මේ පටලය මැදින් ...මේ සිදුරේ ප්‍රමාණය වෙනස්වීමත් එක්ක මතුවන ගැටළු පසුවට අපි කතා කරන්න තියලා ...දැන් ටිකක් කතා කරමු  මේ මැද සිදුරක් ඇති තුනී පටලයේ වැදගත්කම මොකක්ද කියලා ..


ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව මේ Hymen එකෙන් සිදුවන කිසිදු වැදගත් සේවයක් නැහැ ...විටෙක හිතෙන්නට පුළුවන් මේ පටලය නිසා යෝනි මාර්ගයට බාහිරින් යම් දේ ඇතුලු වීම පාලනය වෙනවා නේද කියලා ..නමුත් මේ බොහොම තුනී පටලයක් , එයට ලොකු බලපෑමක් කරන්න තරම් සවියක් නැහැ , ඒ නිසා මේ කියන සේවය අපිට නොසලකා හරින්න පුළුවන් ...අවසානයේ කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව කන්‍යාපටලයේ වැදගත්කමක් නැහැ කියන එක ...මොකද මේ කන්‍යාපටලය නැතිවුනා කියල ඇයට කිසිදු සෞඛ්‍ය ගැටළුවක් මතු නොවන නිසා ...නමුත් සමාජ විද්‍යාත්මකව නම් හරිම වැදගත් ...ඇයගේ නොකිළීටි බව ...(මේ වචන නම් හරිද මන්දා ...මොකද කිළීටි වෙන්න ඔය පටලයම ඕන නැහැනේ ) ...පිරිසිදු බව නැත්නම් කන්‍යාභාවය Virginity තත්ත්වය , එනම් මීට පෙර ලිංගිකව එක් වී නොමැති බව පෙන්වන සංකේතයක් විදියට මේ Hymen පටලය යොදා ගන්න එක අපේ රටේ විතරක් නොවෙයි බොහෝ රටවල සිදුවන්නක් ...ඒකේ අනිත් පැත්ත කන්‍යාපටලය බිඳිලා නම් ඒකේ තේරුම ඇය ලිංගිකව එක්වී ඇති බවමයි කියන තරමට හිත් ඇතුලට කිඳා බැස්ස අදහසක් වෙලා ...නමුත් තව ටිකක් කතා කරගෙන යත්දි අපට වැටහේවි මේ සියුම්පටලය බිඳෙන්න , නැතිවෙන්න පුළුවන් මේ විදියට ලිංගික එක්වීමක් වුනාම විතරක්මද කියන එක .....ඒත් කොයිතරම් මේ ඇත්ත කීවත් “සුදු රෙද්ද “ අමතක කරවන්න ටිකක් කල් යයි වගේ ..


අපි කීවනේ මේක තුනී පටලයක් යෝනි මාර්ගයේ දොර වගේ තියෙන්නේ කියලා ...එතකොට මොකටද අර “සිදුර“ ......එක එක හේතු කියාවි ..නමුත් ජීව විද්‍යාත්මකව මේ සිදුර හැදිල තියෙන්නේ “ආර්තවයේදී “ ඉවත් වල රුධිරය බැහැර වීමට මඟක් විදියට ...නමුත් සමහර අවස්ථාවල මේ සිදුර ප්‍රමාණවත් විශාලයත්වය නොතිබීම වගේම ,  සිදුරක් නොතිබිමත්  රෝග තත්ත්වය් බවට හේතු වෙනවා ..මොකද එවිට නිසි ලෙස ආර්තව රුධිරය පිටතට යන්නේ නැහැ ..ඉදිරි කොටසේදි ඒ ගැන කතා කරන්න තියලා අර පොදු ප්‍රශ්න කීපයට උත්තර දෙන්න බලන්නම් ..කෙසේ වෙතත් මේ කන්‍යපටලය ප්‍රමාණයෙන් , ඝණ කමෙන් වගේම ඇදෙන සුළු බවින් , පිහිටීමෙන් එකිනෙකාගෙන වෙනස්වන්නට පුළුවන් ..ඒ නිසා මේ පටලයේ බිඳිම් සිදුවිය හැකි ආකාරය ගැන පොඩ්ඩක් දැන ගැනීම මුලින්ම කරන්න ඕන කියල හිතුන ..

කොහොමද කන්‍යාපටලය කැඩෙන්නේ .........?

 “ලිංගික එක්විමකදි‘‘  ...ඔබේ උත්තරේ එහෙම වුනත් ඔබ දන්නවද  සමහර අවස්ථාවට පටලයේ ඇදෙන සුළු බව හොදින් ඇත්නම් , ඇය ලිංගික කාර්යයේදි සැහැල්ලුවෙන් ( බය වීමකින් තොරව )සිටීනම් කළබල නැති ලිංගික එක්වීමකින් පවා මේ පටලය නොබිදෙන්නට ඉඩ තිබෙනවා ....ඒ කියන්නේ කන්‍යාපටල තිබීමෙන්ම ඇය මීට පෙර ලිංගිකව එක් නොවුවෙක් කියන එකට 100%ක හොඳ සාක්ෂියක් වෙන්නේ නැහැ ..නමුත් අධිකරණ වෛද්‍ය විද්‍යාත්මකව ඉරිනොගිය කන්‍යා පටලයක් පිළිබඳව වුනත් සොයා බලල ඇය යම් ලිංගික අතවරයකට ලක්වී ඇත්ද කියල හඳුන ගන්නට පුළුවන් , ඒ විශේෂ අවස්ථාවක් ....


ඒ වගේම සමහර අවස්ථාවකදි ක්‍රීඩා කිරීමේ වලදි සිදු කරන පැනීම් Stretching වගේ සිදුවීම් නිසා , ලිංගිකව එක් නොවුවත් මෙය ඉරී යන්නට ඉඩ තිබෙනවා ...ඒ විතරක් නොවෙයි ස්වයං වින්දනය අවස්ථා වකදි තමන්ගේම ඇඟිල්ලෙන් එන පීඩනය නිසාත් නැත්නම් යෝනි මාර්ගය තුලට ඇතුළු කරගන්නා දේ නිසා , සමහර විට ඇය ළදරු වියේදි නොදැනුවත්ව කරන එවන් ක්‍රියා නිසාත් මෙම පටලය බිඳි යන්නට අවස්ථා තිබෙනවා ...එතැනදි ඇය “කන්‍යාවියක්“ ද නොවේද කියල ටිකක් හිතන්න වෙනවා ...


තවත් , ...හදිසි අනතුරු වලදි වගේම සමහර වෛද්‍ය පරික්ෂණ හෝ ශල්‍ය කර්ම වලදිත් කන්‍යා පටලය බිඳි යන්නට ඉඩක් තිබෙනවා ..හැබැයි වෛද්‍ය ප්‍රතිකාර ආශ්‍රිතව එය සිදුවුනා නම් , අදාල වෛද්‍යවරයා ඒ පිළිබඳව රෝග විනිශ්චය කාඩ් පතේ සඳහන් කරනවා ...“මේ පරික්ෂණය , නැත්නම් ශල්‍යකර්මය තුලදි කන්‍යාපටලය ඉවත් කිරිමට සිදුවු බව “ ...ඒ වගේම ඇය ..නැත්නම් ඇයගේ දෙමාපියන් දැනුවත් කරාවි මේ රෝග විනිශ්චය කාඩ් පත පරිස්සම් කර ගැනීමේ “විශේෂ වැදගත්කම“ ගැන පවා ...මොකද “කාඩ් එක නැතිවුනොත් කාඩ් කුඩු තමා ...“ ..ඒ වගේම උපතින්ම Hymen එක නොපිහිටන අවස්ථාවනුත් Congenital absence of hymen තත්තවයත් ඉතාමත් කළාතුරකින් වෙන්නට පුළුවන් ...මේ ඔක්කොම ගත්තම ..කන්‍යාපටලය සහ “ලිංගිකව එක්වීම“ කියන කාරණා දෙක ටිකක් වෙනස් විදියකට දකින්න පුළුවන් ..

තව ප්‍රශ්නයක්නේ මේ පටලය කැඩීම සහ රුධිරය පිටවීම ...ඔය මඟුල් ගෙවල අවමඟුල් ගෙවල් කරවන්නට තරම් දුර දිග ගිය අවස්ථා පවා ඇති වුන මේ කතාවේ ඇත්ත මොකක්ද ?......මේක කියත්දි මතක් වුනේ “අර කොළ බොක්කට ඇනපු කතාව ......දන්නවද මන්ද ...දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහලම බලන්නකෝ .... ..

මේ පටලය ඉතා තුනීයි , ඒ වගේම බොහොම සියුම් රුධීර නාලිකා සුළු ප්‍රමාණයක් ඇති ඒ වගේම බොහොම සුළු ස්නායු අග්‍ර කිහිපයක් ඇති ව්‍යුහයක් ..ඉතින් ලිංගික කාර්යයේදි පටලය ඉරියාමක් වුනොත් සුළු ලේ වහනයක් වෙන්නට පුළුවන් ..සමහර විට එය එළිය නොදැනෙන තරමේ සුළු ප්‍රමාණයක් වෙන්නත් පුළුවන් ...ඒ වගේම කාත්තාවට මේ පටලය බිඳීයාම දැනෙන්නේ නැති තරම් ..මොකද ස්නායු අග්‍ර සුළු ප්‍රමාණයයි තිබෙන්නේ ..අනෙක ඒ අවස්ථාව වෙනකොට යෝනි මාර්ගයේ අනෙක් ප්‍රෙද්ශ සක්‍රිය වෙලා ....ලේ වැගිරීම ගැන තව දෙයක් කියන්න තියෙනවා ...සමහර විට කන්‍යාවියක් නොවන කෙනෙක්ගෙන් වුනත් ලිංගික එක්වීමෙදි ලේ වැඟිරෙන්න පුළුවන් ..හේතු කිහිපයක් නිසා , එකක් එම කටයුත්තේ ඇති වේගවත් බවත් එක්ක යෝනි මාර්ගයේ ඇතුළු පටල ඉරියන්නට පුළුවන් ..නැත්නම් මේ කටයුත්තට ඇය මානසිකව සූදානම් නැත්නම් , බියෙන් ඉන්නවා නම් , ඇය නොදැනුවත්වම සිදුවන යෝනි මාර්ගයේ පටුවීම් Dysperunia (මේ ගැන ලියු සොඳුරු සුව අසපුවේ 56 වන ලිපිය කියවන්න) නිසාත් පටක ඉරී රුධීරය සුළු ප්‍රමාණයක් වැගිරෙන්නට පුළුවන් ..තවත් හේතු ඇති නමුත් මේ කීවේ වෛද්‍ය විද්‍යාත්මකව බහුල අවස්ථාවන් ...

දැන් හිතෙනවා ඇති “ලේ ගියත් එකයි නොගියත් එකයි“ කියල ..මොකද ඔය බලාපොරොත්තුවන පිරිසිදු බව තහවුරු කිරීමට මේ කාරණේ ඒ තරම්ම වැදගත් නොවෙන නිසා ....අනෙක අද නැතිවී ගිය කන්‍යාපටලය නැවත තිබූ තත්ත්වයටම පත් කරල , නැවන “කන්‍යාවියක් “ කිරිමේ Hymenoplasty  ශල්‍යකර්මය ඉතා පහසුවෙන් පෞද්ගලික රෝහලකදි කරගන්නට පුළුවන් ..එතකොට අර “පිවිතුරු බව ???“ ...

.
හරි මෙතුවක් වෙලා කතා කළේ හරියට තිබුණු කන්‍යාපටලය ගැනනේ ..දැන් කතා කරන්න හදන්නේ “හරියට නොතිබුණු පටලය“ ගැන ..ඒ කියන්නේ Hymen එකේ පැවතිය හැකි වෙනස්කම් සහ ඊට කෙරෙන ප්‍රතිකාර පිළිබඳව ...

http://www.youngwomenshealth.org වෙතින් 
අපි මුලින් කීවනේ  මේ කන්‍යාපටලය මැදින් ඇඟිල්ලක විතර ප්‍රමාණයේ සිදුරක් තිබෙන බව ...ඔව් ..ආර්තවයේ රුධිරය එළියට ගලා එන්නට ඇති ඒ සිදුර නම් කරන්නේ Vaginal opening කියල ..මේකේ ප්‍රමාණයේ වෙනස්කම් නිසා ඇතිවන තත්තව කිහිපයක් ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ ..

මේ පිංතූරයේ තිබෙන්නෙ සාමාන්‍ය අස්ථාවක් ....නමුත් සමහර අවස්ථාවල මෙම යෝනි විවරය නිසි ලෙස විවෘත නොවී පවතින්නට පුළුවන් ..නිසි ලෙස කීවේ ප්‍රමාණයත් තරමට නැතිව ඉතා කුඩා විවරයක් සහිතව පවතින්නත් පුළුවන් (Microperforate hymen) ඒ වගේම මේ විවරය මැදින් බිත්තියක් බැදල වගේ තීරුවක් සහිතව යෝනි විවරය පිහිටන්නත් පුළුවන් Septate hymen ...මේ අවස්ථා දෙකම බොහොම සරළ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්නට පුළුවන් තත්ත්වයන් ....නමුත් දැන් ටිකක් විස්තරාත්මකව කතා කරන්නට හදන්නේ මේ විදියට විවරයක් නැතිවන අවස්ථාව ගැන ... ඒ කීවේ යෝනි මාර්ග විවරය සම්පුර්ණයෙන්ම Hymen පටලයෙන් වසාගෙන ඇති තත්ත්වය ගැන ..ඒ ගැන කතා කරත්ද මීට ඉහත නම් කළ අවස්ථා වලට අදාල තොරතුරුත් ලැබෙන්න පුළුවන් නිසා දැන් අපි කතා කරන්න හදන්නේ නොබිඳිනු කන්‍යාපටලය ගැනයි ...Imperforated Hymen ...

මේ වම් අත පැත්තේ පිංතුරය බැළුවාම තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වේවි ....මේ අවස්ථාවේ යෝනි මාර්ග විවරය වැහිලා ..එය වසාගෙන කන්‍යාපටලය වර්ධනය ....
http://www.youngwomenshealth.org වෙතින්
කුඩා අවධීයෙදි පැහැදිලිව මේ තත්ත්වය හඳුනා නොගත්තොත් ( සමහර අවස්ථාවල උපතින් දින කිහිපයක් තුල මේ තත්ත්වය හඳුනාගන්නට හැකිවෙනවා)  ඇය වැඩි විය පත්වන තුරුම කිසිම වෙනසක් කරදරයක් කරන්නේ නැහැ ...නමුත් වැඩිවියපත් විමත් සමඟය ඇඟේ වෙනස්කම් ඇතිවෙනවා ..සම වයසේ ගැහැණු දරුවන්ගේ වගේම සියළු වෙනස්කම් වුනත් මේ දියණියගේ මල්වරවිමක් හඳුනාගන්නට බැහැ .නමුත් ආර්තවයේදී ලෙසින්ම තද කොන්දේ වේදනාවක් , ඇඟපතේ රුදාවන් එක්ක මාසෙකට සැරයක් රටාවකට වගේ  “ලෙඩවෙන“ මේ දියණිය නිසි වෛද්‍ය පරික්ෂණයකට ලක් කළොත් පහසුවෙන්ම මේ අවස්ථාව හඳුනාගන්නට පුළුවන් . නමුත් මේක “නිකං හිතේ ලෙඩක්“ කියල වසන් කරගෙන හිටියොත් , ආර්තවය මඟින් ගලා එන ලේ , යෝනි මාර්ගය තුලම රැඳිලා , ලේ කැටි බවට Hematocolpos පත්වෙලා ටිකක් කරදර ඇති කරන්නට පුළුවන් .

නමුත් නිසි වෛද්‍ය පරික්ෂනයකදි , කෙරෙන ස්කෑනින් පරික්ෂකාවක් මඟින් කන්‍යාපටලය විසින් යෝනි මාර්ග විවරය වසාගෙන ඇති ආකරය මෙන්ම , එකතු වු ලේ මගින් සිදුවී ඇති ගැටළුත් හඳුනාගන්නට පුළුවන් . 


අදාල තත්ත්වය මෙයමැයි හඳුනාගත්තොත් ඔබේ වෛද්‍යවරයා ඉක්මණ් දිනයක් ලබා දේවි ශල්‍යකර්මයකට ...දැන් ඉතින් කළබල වෙන්න එපා ...මේ බොහොම සරළ ...බොහොම විට එක් දිනකින් ගෙදර යන්න පුළුවන් ශල්‍යකර්මයක් ...හැබැයි එය කර නොගත්තොත් ඉදිරියේදි බොහොම දරුණූ අතුරු රෝග තත්ත්ව වලට මුහුණ දෙන්න ඉඩ වැඩියි  සමහර විට අනාගතයේදි දරුවන් ලැබීමට ඇති අස්ථාව පවා අහිමි කරවන්නට මේ අවහිරයට පුළුවන් ...ඒ නිසා බය නොවී ශල්‍ය කර්මය කරගෙන සාමාන්‍ය තරුණියකගේ ජිවිතයේ සුවය විඳින්න ඉඩ ලබා ගන්න...


ලිපිය අවසන් .. මේ මාතෘකාව බොහොම පරිස්සමෙන් විස්තර කළ යුතු කරුණක් , හේතුව අපේ සමාජයේ පවතින මත , සංකල්ප වගේම සංස්කෘතිකමය කරුණූ සමඟත් මෙහි යම් බැඳිමක් ඇති නිසා ...ඒ නිසාවෙන්ම හැකි තරම් පරිස්සමින් සහ සරළව මේ කතාව විස්තර කරන්නයි උත්සාහ කළේ , වෙනද වගේ වැල්වටාරම් නැතිව  ඇති ..ඒත් අවශ්‍ය දේ ඔබට ලබා ගන්නට පුළුවන් වේයැයි සිතනවා ..

එසේනම් අදට සමුගන්නම් , ආයෙත් දින කිහිපයක විරාමයකින් පසුව නැවතත් සොඳුරු සුව අසපුවේදි හමුවන බලාපොරොත්තුවෙන් ..

25 comments:

  1. හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. ස්තූතියි.. :)

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණීම සතුටක් ලයාන් ...

      Delete
  2. වැදගත් ලිපියක්.ඇත්තම කියනවනම් ගොඩක් මේ දේ ගැන හොයන්නේ වත්ත වටේ ගෑනු අනාත කරපු පිරිමි ඒක තමයි තියන ලොකුම අවුල.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ...කෙටියෙන් කිව්වොත් “මසුරං කතාව“

      Delete
  3. මේක ගැන කොච්චර කතා කළත් සමාජයේ මුල් බැස ගෙන තියෙන මිත්‍යා මත නම් ඉතිං පරම්පරාවෙන් පරම්පාරවට ඉදිරියටම යනවා.. ඇත්තටම මේක කරුම පටලයක්....

    හැබැයි ‌මේ වෙනකොට නම් බොහොමයක් යුවලවල් මේ ගැන අවබෝධයෙන් ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ... සමහර විට යාලු වෙලා බඳින එක වැඩි නිසා වෙන්නැති.. ඉස්සර නම් වැඩිපුර යෝජනාවල් නේ... මම හිතනවා ඒකත් මේ තත්වය වෙනස් වෙන්න හේතුවක් තියලා... දෙන්නට දෙන්නා යම්කිසි විදියකින් මේවා ගැන කතාබස් කරලා ඉන්න නිසා සූදානමකින් ඉන්නවානේ...

    කොහොම උනත් මේක තේරෙන සිංහලෙන් මෙච්චර පැහදිලිව කතා කරන්න පුළුවන් කමක් තියෙද්දි අපේ ඉස්කෝලවල, අඩු ගානේ ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉන්න ළමයින්ට හරි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කටයුතු කරනවා නම්, ඔය ලිංගික කුතුහලය නිසා ඇතිකරගන්න ප්‍රශ්න ටිකක් හරි අඩු කරන්න පුළුවන් වෙයි .... මට හිතෙන විදියට....

    මේ ගැන ලිව්ව එකින්ම අයියා ලොකු පිනක් කරගෙන තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..ඔබේ අදහස නිවැරදියි ...විය යුත්තේ එයයි ...

      Delete
  4. ඉතාම වැදගත් ලිපියක්.
    රට වටේ ගිහින් කරන්න තියෙන ඔක්කොම කරලා අන්තිමේදී සුදනා වෙන්න සමහර කෙල්ලෝ මේක ආශිර්වාදයක් කරගන්න අතරම, තවත් අහිංසක ගෑනු ළමයි කට්ටියක් උපතේ හෝ අනතුරක් නිසා වන වරදක් නිසා ජීවිත කාලයම වින්දෝනවා. ඒ නිසා නැවතත් කියනවා මේක ඉතාම වැදගත් ලිපියක්.

    ඒ වගේම තවත් යෝජනාවක් තියෙනවා. පුරුෂයන්ටත් මේ හා සමාන දෙයක් තියෙනවා කියලා අහලා තියෙනවා. (මංවත් දන්නෑ තිබුනද කියලා) ඒ ගැනත් ලිපියක් පල කලොත් හොඳයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ...ඕනම දේක දෙපැත්තක් තියෙනවා වගේ මේ ලිපියත් ඔබ කියන ආකාර දෙකටම විග්‍රහ කරන්නට පුළුවන් ...

      ඔව් ඔබ කියන කාරණය ගැන සොඳුරු සුව විමසුමේ “Please HELP Me.“ නමින් ප්‍රශ්නයක් යොමු කර තිබුණා ...එහි පිළිතුර අනුව මේ ඔබ අසන කාරණයදැයි තහවුරු කරගන්නට පුළුවන් ...

      ඉදිරි ලිපියකදි ඒ ගැනත් ටිකක් විස්තර කතා කරමු ...

      ස්තුතියි ඔබේ පැමිණිම සතුටක්

      Delete
  5. ඉතාමත් වැදගත් ලිපියක්. මේවා ගැන කට්ටිය කතා වෙනවා අඩුයිනෙ.

    ReplyDelete
  6. හැංගි හැංගි බොහෝදෙනා කතා කළත් ගොඩාක් දෙනෙක් තුළ හරි හමන් විද්‍යාත්මක අවබෝධයක් නැති මාතෘකාවක්... ඒ නිසාම හැමෝටම තේරෙන්න විදියට සරල බසකින් ලියපු මෙවන් හරබර ලිපියක් බොහෝ වටිනවා...

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නේ හැංගි හැංගි බඳින වෙස්මූසු වගේ තමා...අපේ විතරක් නොවෙයි මේ රටවලත් සමහරු අතරේ ඔය ප්‍රශ්නේ තියෙනවා ...ඉතින් ..ස්තුතතියි මල්ලී හැමදාමත් ඇවිත් දිරි ගැන්වීම් කරනවාට ......

      Delete
  7. ගොඩක් අය මේ ගැන දැනගෙන හිටියත් හණ මිටි ඊට වඩා බර වැඩි නිසා පිළිගන්න කැමති නෑනෙ මහේෂ්..
    කොහොම වුනත් පැහැදිලිව මේ ගැන දැනගත්ත එක නම් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ...පිළිගන්නවා වගේ පෙන්නුවත් යම් අවස්ථාවක හිතේ හැංගිලා තියෙන “කුණු“ මතු කරවන්නට මෙය සාධකයක් ...නමුත් අද පරපුර යම් තරමකට හරි මේ ගැන දැනුවත්ව ඉන්නා බව පේනවා . .ඒත් මේ ගැන කුතුහලය නම් තවමත් එහෙමමයි ..
      ස්තුතියි රූ

      Delete
  8. A-Z available.....Good ...thanks,Nisahtha aiya..

    ReplyDelete
  9. මේ විදිහටම පිරිමින්ගේ ලිගුවේ යට සමේ දාරය බිඳී යාම කුමර බඹසර කැඩීම ලෙස ලෝක සම්මතයක් තිබුනානම් ගැහැණුන් පෙලන මේ හණමිටි අදහස නැති වන්නට තිබුනා. තමන්ගේ පිරිසිදුකම තිබෙන්නේ තමන්ගේ හදවතේ හෝ මනසේ බව පිළිනොගන්නේ ඇයි? අද වෙනදාටත් වඩා කලවා ආශ්‍රිත සංසර්ගය, මුඛ ලිංගික සංසර්ගය සිදුවනවා යන්න රහසක් නොවෙයිනේ. එදාත් සිදු නොවුනා නොවෙයිනේ. තම චර්යාව පාලනය නොකරගන්නා බොරු සුචරිතවාදීන් සහ හණමිටි කර තබාගෙන යන සමහර අම්මන්ඩිලා ඒ හනමිටියෙන් ටිකක් ඊළඟ පරපුරට දීලම තමයි චුත වෙන්නේ. එකයි මේ අදහස් තවම ශේෂෝපගතව තිබෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබ හරි ...ඔබ කියා ඇති මුල් කාරණේ ඇත්‍ත තත්තවේ ගැනත් ඉදිරියට ලියන්නට හිතන් ඉන්නවා ...

      ඔබේ අදහස් වෙනුවෙන් ස්තුතියි

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ‍මම මේ බ්ලෙ‍ෙග් එකට ගොඩවැදුණෙ අහම්බෙන්... ඒත් කියවපු පළමු ලිපියෙන්ම තේරුණා ඉතාම වැදගත් බව... බොහොමත්ම ස්තුතියි... ඔබට සදා ජය...!!!

      Delete
    2. ස්තුතියි ඔබට ..ඔව් , ලොවට වැඩ ඇති යමක් කරන්නට ..ඇත්තෙන්ම අපේ මිනිසුන්ට වැඩක් ඇති යමක් කරන්නට උත්සාහ කරනවා ...

      Delete
  11. වැදගත් ලිපියක්. පරිස්සමින් කතා කරන්න ඕන මාතෘකාවක් ගැන විස්තරාත්මකව පැහැදිලි කරල තියෙනවා. දැනුවත් කලාට ස්තුතියි අයියේ

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)