2012/10/21

123) ජීවන බැලුමකට ගින්දර දෙන්න එපා

“ අදනම් හරි මහන්සියි ......උදේ ඉඳළම එක වගේ .....ඒ මදිවට බෙහෙතුත් මදි ..එක යුද්දයයි ..“ ...බයික් එකෙන් බහින ගමන්මයි  මට කියවුනේ ...


“එහෙම නම් අද හවසටත් ක්ලින්ක් එකේ සීටී ඉතිරි වෙලා ඇති නේ ....අද හවස අපි තුන් දෙනයි ඉන්නේ ....එක්කෙනෙක් ක්ලිනික් ගියොත් අපි දෙන්නයි ..එහෙම නම් ඉතින් හවසටත් යුද්දෙම තමයි ...“ මනෝජ හිනාවක් දාන ගමන් කීවත් හිතේ පොඩි බයක් නොතිබුණා නොවෙයි මට හිතුනේ ..මොකද ඒ දවස් වල එයා අපේ දෙවෙනි දරු පැටික්කි ලැබෙන්න සූදානමින් හිටියේ ...ඉතින් ඒ දවස් වල රෝගීන් අසූවක් , සීයක් එක්ක කටයුතු කරන එක ටිකක් අමාරුයි ., විශේෂයෙන්ම පිළිකා ඖෂධ , ඒ නිසාම ඇති වන වමනය , සහ වමනය නිසා ඇති වන අප්‍රසන්න ගඳත් එක්ක ගැබිණියකට විශේෂයෙන්ම ටිකක් අමාරු කාරියක් ....ඒත් රාජකාරිය කරන්න ඕන නේ ....

“ටක් ටක් ටක් ....“ ..කවුද ගේට්ටුවට ගහනව ...ගලවපු ෂර්ට් එක ආයෙත් උඩින් දාගෙන ගිහින් ගේට්ටුව ඇරියා .....

“මේ ..........මේ අපේ ප්‍රියන්ත ගේ අම්ම නේද ? ...ඇයි මේ .මොකක් හරි ....“ .....
“අනේ ඔව් නිශාන්ත මහත්තය ...මගේ කොල්ල ගැන ලොකු මහත්තය මොකද කියන්නේ ..අනේ ..මොනව හරි කියන්න ....වාට්ටුවෙදි කීවට මට ඇත්තම දැන ගන්න ඕන මහත්තය ..ඒ නිසා මහත්තය ඕෆ් වෙලා යනව බලන් ඉඳල මේ ත්‍රීවීල් දරුවෙක් එක්ක මෙතෙන්ට ආවේ මගේ දරුව ගැන හරියටම දැන ගන්න ..අනේ ...! “ ....මේ එක හුස්මට කියවගෙන යන්නේ , වයස අවුරුදු හැට පහක විතර අම්ම කෙනෙක් ..ඔව් මම දන්නව මේ අපේ ඒකකයේ ප්‍රතිකාර ලබන , ඇත්තම කීවොත් ජීවිතේ අවසාන දින කිහිපය ගෙවන “ප්‍රියන්ත“ ගේ අම්ම ..ඇය විශ්‍රාමික ගුරුතුමියක් ...ඒත් අද ඇය අසරණ , ලෝකේ තියෙන දරුණූම වේදනාවක් හිතේ දරා ගෙන ඉන්න මවක් ...

“එන්න මිස් ජයසේකර .....ගෙට එන්න .....“ හැමදාමත් වගේ මේ වගේ අමතර රාජකාරියක් ලැබෙන බව දන්න මනෝජ දැනටමත් තේ එකක් හදාගෙන එනව පෙනුන ...

අපි කතා කළා ...ඇයගේ තරුණ පුතාගේ තත්ත්වය ගැන මම දන්න ඇත්ත ඇයට පැහැදිලි කළා ..ඒ වගේම කල හැකි ප්‍රතිකාර සහ ඒවායෙන් ලැබෙන්නට පුළුවන් පල අපල ගැනත් කතා කළා ...ඇත්තම කීවොත් මේ ටිකම වාට්ටුටවදි ඇයට කීවා ..ඒත් “තමන්ගේ දරුව බේර ගන්න පිදුරු ගහක් හරි අල්ල ගන්න උත්සාහ කරන මේ අම්මට මට කරන්න පුළුවන් ..මේ ඇත්ත තත්ත්වය පහදල දෙන එක විතරයි ...

“මට තේරෙනවා , අම්මගේ හිතේ තියෙන දුක ..ඒත් මේ කියපු දේවල් ඇරෙන්න , දැන් තියෙන තත්ත්වයට ලෝකේ කොහේ ගියත් සම්පුර්ණ සුව කිරීමක් කරනවා කියල හිතන්න අමාරුයි ..මොකද දැනටමත් පිළිකාව එක තැනක නොවෙයි තියෙන්නේ ..පැතිරිලා ....ටිකක් තත්ත්වේ දරුණූයි ...ලොකු දොස්තර මහත්තය උත්සාහ කරන්නේත් , තියෙන අමාරුකම් ටික පාළනය කරල ප්‍රියන්තට යම් සහනයක් දෙන්න තමයි ...“

කතා බහ ඉවර වුනගමන් මනෝජව සවස සේවා මුරයට ඇරලල ආවා ....

පසු දවසේ උදේ සේවා මුරය .....

ප්‍රියන්තගේ තත්ත්වය හුඟක්ම අසාධ්‍යයි ..තව පැය කිහිපයක්වත් ජීවත් වේද සැක තරම් ...අම්ම ඊයේ ආ ගමන් තවමත් ප්‍රියන්ත ළඟ ....අපේ ලොකු දොස්තර මහත්තය ...(නමින් ඩෙහාන් ගුණසේකර  ...මගේ සේවා කාලයේ දුටු හොඳම වෛද්‍යවරයෙක් ..මනුස්සකම පිරුණූ , මුදලට වඩා ජීවිතයක වටිනකම හඳුනාගෙන හිටි නියම “දොස්තර මහත්තයෙක්“ දැන් නම් මහරගම පිළිකා ආයතනයේ සේවය කරන්නේ  ...) වාට්ටු රවුම යනගමන් ....ප්‍රියන්තව බලල තවත් රෝගීන් කිහිප දෙනෙක් ගැන කටයුතුත් අවසන් කරල වාට්ටුව කෙළවරේදි ......

“නිශාන්ත ..අපි ප්‍රියන්තගේ අම්ම එක්ක ටිකක් කතා කරන එක හොඳයි ...වෝඩ් රවුන්ඩස් ඉවර වුනාම ක්ලිනික් එකට එවන්න ...“ .....

මේ සිද්ධි මාලාව මගේ හිතේ කවදාවත් නොමැකී තියෙන්නට හේතු කිහිපයක් තිබෙනවා ..ඒ .... ප්‍රියන්ත මට වඩා ටිකක් විතර වියපත් , හොද හැඩි දැඩි තරුණයෙක් ...අනෙක මුල ඉඳන්ම මේ අම්ම වුනු මහන්සිය ..ඊට වඩා ...ප්‍රියන්තගේ අවසානය ....වුනේ  හරිම වේදනාකාරී විදියකින් ...ඒ ඔහුට කියන්නට පුළුවන් වුනා දැන් තමන්ගේ අවසන් මොහොත බව ...“මාව අල්ල ගන්න ...අම්මට යන්න කියන්න ...“ මට මතක විදියට ප්‍රියන්ත අන්තිමට කීවදේ ....අපේ වෛද්‍ය , හෙද කණ්ඩායම අවශ්‍ය හදිසි ප්‍රතිකාර , ශ්වසනනය පහසුකරවන , වේදනාව අවම කරවන කටයුතු කරගෙන යත්දි මට වුනේ ප්‍රියන්තගේ අත අල්ලගෙන ඉන්න .....මුලින් බොහොම හෘදයාංගම විදියට අත මෘදුව අල්ලගෙන හිටි ප්‍රියන්ත ...හරිම තදින් අත මිරිකගෙන ....ටික වෙලාවක් හිටියා ....අවසන සියල්ල සන්සුන් ...තවමත් ඔහු මගේ අත අල්ලගෙන ...ඒත් ඒ මුලදි තරම් හෘදයාංගම බවකින් වත් , මොහොතකට පෙර වූ දැඩි බවකින් වත් නොවෙයි ...නිකම්ම අත මගේ අතේ රැඳිලා තිබුණා විතරයි ....සියල්ල අවසන් ...මිනිසත් බව ලැබ ...නැටූ නාඩගම් සියල්ල අවසන ....අම්ම කෙනෙක් මෙලොව දැරිය නොහැකිම දුක ඉතිරි කරලා ඔහු යන්න ගිහින් ...එදා අපේ කාර්ය මණ්ඩලයේත් නොහඬා හිටි කෙනෙක් නැති තරම් ...පෙනහළු පිළිකාව දිනුම් ...ප්‍රියන්ත සමඟ වෛද්‍ය තාක්ෂණයම පරාදයි ...

ඒ කතාව එහෙම අවසන් වුනත් ..ආයෙත් මේ අවසානය ආයෙත් මගේ මතකය අළුත් කළේ “ටෝනි ග්‍රේග් “ පෙනහළු පිළිකාවකින් පෙලෙන බවත් හෙට දින ඔහුට පළමු ශල්‍ය කර්මය සිදු කෙරෙන බවටත් පුවත්පතක වූ වාර්තාවක් ....ඒ එක්කම මට මතක් වුනේ “සොඳුරු සුව අසපුව“ තුල පෙනහළු පිළිකාව ගැන තවම කතා කළේ නැහැ නේද කියන එක ...විශේෂයෙන්ම ‘සොඳුරු සුව අසපුව“ එක් පාර්ශවයක් වෙත බර නොවන්නට , සමබරව පවත්වා ගන්නට ඕන නිසා විවිධ රෝග සහ අනතුරු ගැන කතා කළත් පිළිකා ගැන කතා කරන්න තියෙනව නම් ඒ තමයි මගේ වඩාත්ම කැමති මාතෘකාව ...ඒ හැමදාමත් කියනව වගේ මගේ ...නැහැ අපි දෙන්නගෙම වෘත්තීය සේවා කාළයේ වැඩිම හිතට දැනුන කාළය නිසා වෙන්නත් පුළුවන් ..

අද කතාවට එමු ...ටෝනි ග්‍රෙග් ....දකුණූ අප්‍රිකාව තුල උපත ලබන ග්‍රෙග් , තමන්ගේ දක්ෂතා සහ පිය පාර්ශවයේ බැඳීම් ද හේතුවෙන් එංගලන්තය තුල ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසුකම් ලබනවා ..ඊට පස්සේ එංගලන්ත පිලේ නායකත්වය දරමින් ක්‍රීඩා කරන ඔහු ..ටෙස්ට් තරඟ 58 තුල ලකුණූ 3599ක් , කඩුළු 141 සහ උඩපන්දු 87ක් රඳවා ගනිමින් මැද පෙල පිතිකරුවෙක් ලෙස සාර්ථක වූවෙක් ...මේ සියල්ල 1972 -75 වගේ කාළේ වෙච්ච දේවල් නිසා ඔහුගේ පිතිකරණය ගැන හරි හැටි අවබෝධයක් නැතත් ..ක්‍රිකට් විචාරකයෙක් ලෙස පුදුම දක්ෂතාවයක් පෙන්වු අයෙක් වුනා ..තරඟයක් මන්දගාමිව වන අවස්ථා වල පවා ශ්‍රාවකයා තරඟය වෙත රඳවා ගනිමින් , තරඟයේ උණුසුම් අවස්ථා පපුවටම දැනෙන අයුරින් විචාරන්නට සමත් මේ දක්ෂ ක්‍රිකට් විචාරකයා අද “පෙනහළු පිළිකාවක ගොඳුරක් වෙලා“ ..නමුත් ඔහුගේ ප්‍රතිකාර අද හෙටම ආරම්භ වෙනවා ...ඔහු කියන ලෙසින්ම , දැන් ඔහු තවත් තරඟයක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ ..“ ......අද මාතෘකාව මේ රෝග තත්ත්වය වෙන අතරේ ඔහුට ඉක්මන් සුවය පතන්නට ඔබ සැමත් එක්වේයැයි කියල සිතන්නේ , එක්තරා කාළෙක ඔහු ශ්‍රී ලාංකිකයන් අතරේ ජනප්‍රියම පුද්ගලයෙක් වූ නිසාම නොවෙයි ...



හරි ...එහෙම නම් දැන් අපි පටන් ගන්න යන්නේ අද කතා බහේ මාතෘකාව ..ඒ පෙනහළු පිළිකාව ගැන .....දැන් ඉතින් “ඕක කියන්නද මෙච්චර තැටමුවේ ? ....“ කියල අහන්න පුළුවන් ...ඒ අයට මේ විදියටයි  උත්තර දෙන්න වෙන්නේ ...

මේ වගේ මාතෘකා කියවන්නට ඒ තරම් කැමැත්තක් අපි බොහෝ දෙනෙක් අතරේ නැහැ , ඒක ඇත්තක් , අපේ රටේ විතරක් නෙවෙයි , ලෝකේ පුරාම මේක තමයි තත්වේ ..විශේෂ හේතුවක් , නැත්නම් “මේ ලෙඩ ගැන“ කියවන්න ආස නැහැ ...ඒ නිසා , ඒ තිත්ත මාතෘකා වලට , තව පොඩි පොඩි රස කවලං කරලා , හොඳ ගුළියක් හදලා හරි පොවන්න එපායැ ...ඒක තමයි සොඳුරු සුව අසපුවේදි වෙන්නේ ...ඔය වට පිට , ඕපාදූප ටිකක් එක්ක හැමදාමත් වගේ දැන ගත යුතු තිත්ත මාතෘකාවකුත් ඔබ්බවලයි දෙන්නේ ..

අද කතාවේ වැදගත්ම තැන ..පිළිකාව ....මොකක්ද පිළිකාවක් කියන්නේ කියන එක මීට පෙර ලිපි ගනනාවකදි කියවිලා තිබෙන නිසා , ආයෙත් එකම දේ ඒ විදියටම කියන්න ඕන නැහැනේ ..ඒත් පොඩියට ඒ ගැන කියන්නම් ,  ඔබ දන්නවනේ අපේ ඇගේ අවයව හැදිල තියෙන්නේ “සෛල“ කියල පුංචි ව්‍යුහ ලක්ෂ ගණනනාවක් එකතු වෙලා කියල ...හරියට බිත්තියක නැත්නම් ගෙබිමක   අල්ලල තියෙන ටයිල් වගේ මේ සෛල , ජීවත් වෙන ව්‍යුහ ..එයාල කෑම කනවා , හුස්ම ගන්නවා , පැටවු දාමින් තමන්ගේ වර්ගයා බෝකරනවා ..මේ හැමදේම බොහෝම පිළිවෙලට රටාවකට සිදුවෙනකම් අපිට කරදරයක් නැහැ .., ඒත් යම් හේතුවක් නිසා මේ සෛල , “පිස්සු වැටුනොත් “ ..එයාලගේ සාමාන්‍ය රටාව බිඳ වැටෙනවා ..ඒ විතරක් නොවෙයි , ඒ ජාතියෙම “පිස්සු පටවු “ දහස් ගණනක් ඉක්මණින් බිහි කරන්නත් එයාට පුළුවන් ..මෙන්න මේ විදියට පිස්සු වැටුනු සෛල නිරෝගී සෛල විනාශ කරමින් , “පිස්සු පැටවු“ ගොන්නක් හදාගැනීම තමයි පිළිකාවකදි වෙන්නේ ...කොහොමද මේ “සෛල වලට “පිස්සුව හැදෙන්නේ කියල ඇහැවුවොත් හේතු ගණනාවක් තියෙනවා ....සමහර වෛරස වල ක්‍රියාකාරීත්වය , රසායනික වර්ග වල බල බලපෑම , විකිරණ , දිගු කාළීනව සිදුවන භෞතික සීරීම් , ඇතිල්ලීම් , තුවාල විම ..., ආවේණිකව තමන් ගේ පරම්පරාවෙන් ලැබුණු  දේවල් නිසා , මේ යම් හේතුවක් නිසා සෛලයේ කේන්දරේ , ඒ කිව්වෙ D.N.A , නැත්නම් ජාන වල සිදුවන විකෘති වීම් නිසාත් පිළිකා ඇති වන බව දැනට සොයාගෙන තිබෙනවා ...


දැන් පෙනහළු පිළිකාවට ඉස්සර වෙලා , පෙනහළුවේ වටපිටාට ගැන කතා කරල ඉමු ...
 අපිට හුස්ම ගන්නට පහසුකම් ලබල දෙන මේ පෙනහළු සහිත ශ්වසන පද්ධතියෙම දළ සටහනක් මේ ...නාසයෙන් පටන් අරගෙන මේ බැලුන් දෙකකින් ඉවර වෙන මේ පද්ධතිය පිහිටල තියෙන  හරියෙම තමයි තවත් වැදගත් ඉන්ද්‍රියයන් කිහිපයක් පිහිටල තියෙන්නෙ ..මොනවද ඒ ...ඒ තමයි හෘදය , හෘදයෙන් පිටවල ප්‍රධාන ධමනිය සංස්ථානික ධමනිය (Aorta) , ආහාර ජීරණ පද්ධතියේ ගලනාලය Esophagus , ඒ  විතරද  ටිකක් පිටිපස්සට වෙන්න තමයි කොඳු ඇට පෙළ ඉන්නෙත් ...ඒ වගේම හුඟක් ලේ නහර , වසා නාලත් මේ පෙනහළු ආශ්‍රිතව ගමන් කරනවා ....දැන් පේනවද පෙනහළුව තුල “පිස්සු සෛල“ දඟලන්න පටන් ගත්තොත් , ඒ පිස්සු සෛල වලට යන්න පුළුවන් තැන් ....ඒ කියන්නේ පෙනහළු පිළිකාවක පැතිරීම Metastasis  වෙන්න පුළුවන් තැන් මොනවද කියන එක ...

ඔබ දන්නවද ලෝකය පුරාම වසරකට මිලියන 7.6 ප්‍රමාණයක්  පිළිකාවෙන් මිය යනවා ..ඒ කියන්නේ සියළු මරණ වලින් 13%ක්ම මෙයට අයිතියි ,  ඒ අතරින් මුල් තැනක් ගන්නට පෙනහළු පිළිකාව සමත් . 2008 කළ සමීක්ෂණ වාර්තා අනුව මෙන්න තත්වේ ...lung (1.37 million deaths)  අනෙක් තත්ත්ව පිළිවෙලින් ..
stomach (736 000 deaths)
  • liver (695 000 deaths)
  • colorectal (608 000 deaths)
  • breast (458 000 deaths)
  • cervical cancer (275 000 deaths) 
මේ මරණ විශේෂයි , මේ සාමාන්‍ය මිය යාම් නොවේ , බොහෝ අවස්ථාවල දිගු කලක් අපහසුකාරී ප්‍රතිකාර  පරික්ෂණ , ඒ විතරක් නොවෙයි මානසික පීඩනයනටත් ලක් වෙලා සිදුවන මරණ ..වැදගත්ම දේ මේ පිළීකා මරණ බොහොමයක් වලක්වා ගත හැකි  ඒ කියන්නේ පිළිකාව ඇති වීම වලක්වා ගත හැකි , සමහර විට මුල්ම අවස්ථා වේ හඳුනා ගැනීමේ සුව කරන්නට පුළුවන් , නැත්නම් හොඳින් පාළනය කරන්නට පුළුවන් ..තත්ත්ව  ...

මේ නිසාම අපි මුලින්ම බලමු මේ පෙනහළු පිළිකාව ඇති කරවන්නට හේතු විය හැකි සාධක මොනවාද කියලා ....හොඳින් මතක තියා ගන්න බොහොමයක් පිළිකා සඳහා හේතු කාරකේ “මෙන්න මේකයි කියල ටක්කෙටම කියන්න බැරි වුනත් “ පර්යේෂණ මඟින් හඳුනාගත් බලපෑම් කාරකයන් ගණනාවක් ඉන්නවා . ඒ බලපෑම් නිසා මුලින් කීව වගේම සෛල වල සිදුවන වෙනස්විම් නිසා තමයි මේ පිළිකා බොහොමයක් ඇති වන්නේ ...විශේෂයෙන්ම පෙනහළු පිළිකාව සඳහා ප්‍රධාන බලපෑම් කරුවන් විදියට හඳුනගෙන තිබෙන්නේ .දුම Smoke  , මේ යටත් මුලින්ම දුම්කොළ ආශ්‍රිත නිශ්පාදන , දුම්වැටි භාවිතය නිසා ඇතිවන “සක්‍රිය දුම්පානය සහ අනෙක් අයට ලබාදෙන අක්‍රිය දුම්පානයත්“ , වාහන සහ කර්මාන්ත ශාලා වල සිදුවන ඉන්ධන දහනය මඟින් නිකුත්වන දුමත් හේතු වෙනවා . 

විශේෂයෙන්ම දුම්වැටි භාවිතයේදි පෙනහළු තුලට ඇතුළු වන රසායනික ගණනාවක්ම පෙනහළු සෛල වල DNA විකෘති කරවන්නට සමත් ...ඒ විතරක් නොවෙයි , එමඟින් පෙනහළුවට ඇතුළු වන තාර වැනි සංයෝග නිසා පෙනහළු පටක විනාශ කරමින් , විකෘති කරමින් ඔහු පිළිකාව කරා ඇද දමනවා . අනෙක දුම්බොන්නා තවත් නපුරක් සිදු කරනවා ...ඒ තමයි තමන් ගන්න ඒ අවාසනාවේ උණූසුම් සුසුම් ...තවත් අයෙකුට බලෙන් ඇතුළු කරන එක ...ඒ තමයි අක්‍රිය දුම්පානය ...විශේෂයෙන්ම කාන්තාවන්ට පෙනහළු පිළිකා ඇති වීමේදි මේ අක්‍රිය දුම්පානය මූලික හේතුවක් බව සොයාගෙන තිබෙනවා . 87%ක්ම පෙනහළු පිළිකා සඳහා සෘජු දායකත්වය දරන්නට “දුම්වැටිය “ සමත් බව අද සොයාගෙන තිබෙනවා . 

අනෙක් සාධකය , ඇස්බැස්ටෝස් ආශ්‍රිත කෙඳි ..ඒ වගේම ජානමය බැඳිම් ..පවුලේ ආවෙණිකව එන සැඟවුනු අනතුරුදායක ජාන සහිත පුද්ගලයන් මේ සඳහා ලොකු අවදානමක් තිබෙනවා . මෙතැනදි කියන්නට ඕන සැඟවුනු අනතුරුදායක ජාන කියත්දි , අපි කා තුලත් මේ වගේ සැඟවුනු අනතුරුදායක ජාන තිබෙන්නට පුළුවන් . ඒ සදහා පවුලේ කෙනෙක්ට “කැනසර් එකක් “ තිබෙන්නම ඕන නැහැ ...ඒ අය තුලත් මතු නොවී මේ ජාන වලට තිබෙන්න පුළුවන් . වැදගත් දේ වෙන්නේ මේ විදියට හැංගිලා ඉන්න “කාලබෝම්බ “ වගේ අනතුරුදායක ජාන “පුපුරවන්නට “ සමත් වෙන්නේ අපිමයි ...අපේ ඇඟට දාගන්න අහිතකර රසායනික , විකිරණ නිසා මේ සැඟවුනු අහිතකර ජාන පුපුරා යන්නට පුළුවන් . එතැනදි පිළිකාවක් මතුවන එක වලක්වන්නට කාටවත්ම බැහැ ..මේ ඇත්ත කතාව කීවේ මේ ලිපිය කියවන දුමට රිසි මිතුරන් මෙහෙම කියන නිසා ..“අපේ සීය මැරෙනකම්ම සුරුට්ටු බිව්ව ..මම දැන් අවුරුදු විස්සක් තිස්සේ බොනවා ..කෝ ....ඔය පිළිකා අපිට හැදෙනේනේ නැහැ .....“ .....ඔව් ඔහොම කියන්න ....මේ බෝම්බය පුපුරා යන්නේ මොන මොහොතෙද කියන්න අපිට බැහැ ...ඔබ ඔය කරන්නේ බෝම්බේ පුපුරවගන්න “පින් එක  අදින එක වෙන්න පුළුවන්“ ....ඔව් සමහර විට හරියට පින් එක නොඇදි බෝම්බේ නොපුපුරන්නට ඉඩක් නැත්තෙත් නැහැ ...ඒත් ඔය අහිතකර රසායනික , ඇඟට දාගෙන “සීමාව පැන්න ගමන් “ පින් එක ඇදුනොත් ......පුපුරන එක නවත්වගන්නද ? .....එතැනදි මේ “සීමාව“ කොතැනද කියන එක තවම කාටවත් කියන්න බැහැ ..කෙනෙක් සිගරට් සියක් බීල කැනසර් එක හැදෙන්නත් පුළුවන් ..ඒත් තව කෙනෙක් සිගරට් දාහක් බීලත් කැන්සර් නොහැදි ඉන්නත් පුළුවන් .එයාගේ “සීමාව“ 1001 වෙන්න පුළුවන් .ඒ නිසා වැදගත්ම දේ මේ අවදානම් සාධක ඇඟට දාගන්න එක නවත්තන එක ...ඒත් ඒක ඉතින් පුද්ගලික කැමැත්ත ..

මේ සාධක වලට අමතරව කෘෂිරසායන මඟින් බොන වතුරට එකතු වෙලා තිබෙන  ආසනික රසායනිකය , මෙන්ම විකිරණත් හේතු කාරකයන් විදියට ඉදිරිපත් වෙනවා ...මේ සාධකත් එක්ක බැළුවම පෙනව ඇති මේක “පිරිමි කැන්සර් “ එකක් නොවෙයි , කාන්තාවන්ටත් පෙනහළු පිළිකා අවධානම තිබෙනවා ..ඔවුනුත් මේ ගැන දැනුවත් වීම හරිම වැදගත් ....මට නම් හිතෙන්නේ කාන්තාවන් හරියට මේ අවදානම හඳුනගන්නවා නම් පෙනහළු පිළිකා අවදානම සෑහෙන්න අඩුකරන්න ඔවුන්ට පුළුවන් කියල..හේතුව හිතා ගන්න පුළුවන්ද ? 

වැළකෙන්න ඕන හැටිනේ කතා කළේ ..අපි දැන් බලමු පෙනහළු පිළිකාවක් මුලින් හඳුනගන්නේ කොහොමද කියලා ...( .....මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා ..මොකද පෙනහළු පිළිකාව මුලින්ම හඳුනගන්න අවසථා හුඟක් අඩුයි ...එක්කො ගණන් ගන්නේ නැතිව ඉඳලා අමාරු වුනාම තමයි හඳුනගන්නේ , නැත්නම් වෙන ලෙඩ කියමින් ප්‍රතිකාර ගන්නවා , කැනසර් එක හඳුගන්නකොට ටිකක් පරක්කුයි .හේතුව මේ අපි මුලින් කීව වගේ , සෑහෙන අවයව ගනනාවක් මේ කිට්ටුව තියෙනවනේ ..) ..

මෙන්න මේ වගේ ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න ඕන ..ඒ තමයි දිගු කලක් තිස්සේ තියෙන කැස්ස ..බොහොම තද , පටන් ගත්තට පස්සේ නවත්ත ගන්න බැරි වගේ දැනෙන , තද කැස්සක් ....මේ කැස්සත් එක්කම මුළු පපුව පුරාම දුවන කැක්කුමක් ...කැහැල දාන සෙම වල පාටේ වෙනසක්  ..රතු , රෝස පාට වගේ ..නැත්නම් සුදු පාට සෙම වල ලප වැටිල වගේ තියෙන්න පුළුවන් ...මේ විදියට කැහැල ඉවර වුනා පස්සේ කතා කරගන්න බැරි තරම් ..ඊට පස්සේ කැස්සත් නැතත් කතා කරත්දි උගුර බැරින්ඩි වෙලා දිගටම ...මේ වගේ සාධක අවදානම් ...ඊට පස්සේ වෙන්න පුළුවන් දේවල් තමයි කැස්සත් එක්ක හොඳට අඳුනගන්න පුළුවන් තරමට ලේ එන්න පටන් ගන්නවා ...හුස්ම ගන්න හරිම අමාරුයි ..නිදාගන්න ගියත් එක විදියකට ඉන්න බැහැ , පපුව ඇතුලේ මොකක්දෝ තද වෙලා වගේ ...මේ එක්කම ඕනම පිළිකාවකට එන්න පුළුවන් පොදු ලක්ෂණ ...මද උණක් ..බලාගෙන ඉන්දෙත්දි කෙට්ටුවෙලා යන ගතියක් ( ඒ කීවේ මාස දෙකක් තුනක් ඇතුලත බර 30%ක් හෝ ඊට වඩා .....හොඳට පේන විදියේ කෙට්ටු වීමක් ..) ...කෑම අප්පිරියාව දිගටම තියෙන එක ...ඇඟ පතේ කියාගන්න බැරි අමාරුකම් කැක්කුම් ...වරින්වර හීන් ඔළුවෙ කැක්කුමක් ...ඔය වගේ ලක්ෂණත් එන්න පුළුවන් ....හැමදාම කියනව වගේ මේ එකක් දෙකක් දැක්ක ගමන් කුලප්පු වෙන්න එපා ..හැබැයි ඔබ අවදානම් සාධක වලට ලඟ නම් , මේ මුලින් කී ලක්ෂණ එකකට වඩා තිබෙනව නම් හොඳම දේ ළඟම ඉන්න දොස්තර මහත්තයෙක් හම්බ වෙලා මොකක්ද තත්ත්වේ කියල හදුනගන්න එක ..

මේ විදියට සැක සහිත රෝගියෙක් ආවම , , සාමාන්‍ය දේහ පරික්ෂාවන්ට අමතරව , එක්ස් රේ , පෙනහළු වල පරිමා පිළිබඳව , ඒ වගේම පෙනහළු ඇතුලේ තත්ත්වය බලන්නට Bronchoscopy වගේ පුංචි කැමරාවක් සහිත උපකරණයක් පෙනහළු තුලට යවල බලන්නත් සමහර විට සැක කරන තැනක් ඇත්නම් එතැනින් සෛල ටිකක් ගලවල අරගෙන අන්වීක්ෂයෙන් පරික්ෂා කරවන්නටත් යොමු කරාවි ..තව දුරටත් තහවුරු කරගන්නට ඕනෑ වුනොත් CT scan වගේ පරික්ෂණත් කරන්නට පුළුවන් .

මේ සියල්ලගෙන් අදාල තත්ත්වය පෙනහළු පිළිකාවක් බව හඳුගත්තොත් පැතිරී ඇති තත්ත්වය මත එය ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කරන්නට හැකි වේදැයි වෛද්‍යවරු තීරණය කරනවා .එසේ කළ හැකි නම් , පෙනහළු පිළිකාවට අදාල කොටස හෝ , සමහර විට පෙනහළුවේ එම අර්ධයම කපා ඉවත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ එක්කම පැතිරීම් වෙලා නම් ඒ පටකත් කපා ඉවත් කරනවා . නමුත් පැතිරීම් බහුලව සිදු වෙලා නම් , ශල්‍යකර්මයකින් ඉවත් කළ නොහැකි තත්ත්වයෙන් නම් ඉන්නේ ඊළඟ උත්සාහය පිළිකා නාශක ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර ..බොහෝ වෙලාවට මේ සියල්ලගේම එකතුවක් විදියට තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ ..මීට අමතරව හෝමෝනමය , ජානමය සහ ප්‍රතිශක්තිකරණමය ප්‍රතිකාරත් අද ලබා දෙනවා .මේ ප්‍රතිකාර ඔක්කොම බොහොම ලෙහෙසි , කිසි අමාරුවක් නැති ප්‍රතිකාර කියල බොරු කියන්න මට බැහැනේ ..ඇත්තෙන්ම ටික් අපහසුතා , කරදර සහිත ප්‍රතිකාර මාලාවකට තමයි ලක්වෙන්නේ ..හැබැයි පිළිකාවේ මුල් අවස්ථාවන් නම් , පැතිරීම් අඩුනම් , ශල්‍යකර්මය සාර්ථක නම් මේ සියළු අපහසුතා විඳිගෙන ප්‍රතිකාර ගත්තොත් කරදර සෑහෙන අඩු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුළුවන් වෙනවා ....සමහර විට පිළිකාව හොඳ කරා කියල කියන්නත් පුළුවන් එතකොට ...


ඔබට මතකද ලාන්ස් ආම්ස්ට්‍රෝන් ..ඔව් දක්ෂ පාපැදි තරඟකරු ,ඔහුත් පෙනහළු පිළිකා තත්ත්වයෙන් පීඩා විඳි අයෙක් ...ඒත් ඒ තතත්වය සමනය කරගනිමින් පාපැදි තරඟ ගණනාවක් ඔහු ජයග්‍රහණය කරනවා .ඒ විතරක් නොවෙයි පිළිකා පර්යේෂණ සඳහා දායකත්වය දෙමින් සෑහෙන සමාජ සේවයක් කරනවා ..


අන්තිමට ....පෙනහළු පිළිකවෙන් වලකින්නේ කොහොමද කියමු බලන්න .....එකක් , අවදානම් සාධක ළං කරගන්න එක සීමා කරන්න , නවත්වන්න ...විශේෂයෙන් දුම ගැන මීට වඩා ටිකක් හිතල , ඒ පුරුදු ගැන තීරණයක් ගන්න ...(මෙතැනදි පුංචි දෙයක් කියන්න තියෙනවා ..ඒ ...යම් කෙනෙක් දුමට ඇබ්බැහි වෙලා නම් , “දුමක් ඇද්දම ලැබෙන දේ “  දෙන්න පුළුවන් නිකොටින් චුයින්ගම් දැන් තියෙනවා ) ...ඊළඟ දේ අනෙක් අවදානම් සාධක ගැන සැළකිල්ලෙන් ඉන්න , විශේෂයෙන්ම පවුලේ කෙනෙක්ට පිළිකාවක් හැදිල තියෙනව නම් කෝකටත් හොඳයි තමන්ගේ සෞඛ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කරන එක ..මොකද අර ජාන සෙල්ලම අඟේ ඇත්ද දන්නේ නැහැනේ .....අනෙක දැන් දැන් බොහෝ රටවල පෙනහළු පිළිකා පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වෙනවා , එවන් පහසුකම් ඇත්නම් ඒවාට සහභාගී වෙලා තමන්ගේ පෙනහළු හොඳින් ඉන්නවද කියල සොයා බලාගන්න එකත් වැදගත්


එහෙම නම් අද අපේ කතාව මෙතැනින් නිමා කරන්නට හදන්නේ ...


යන්න ඉස්සර වෙලා ඔය දුම්බොන මහත්තුරු පොඩ්ඩක් මේක බලල යන්න ...ඔය ...ඉතින් තරහ ගන්න එපා ..මම කීවෙ නැහැනේ දුම්බොන්න එපා කියල ..මම කීවේ මේ වීඩියෝව බලල යන්න කියල විතරයි ..මොකද තමන්ගේ ජීවිතේ අයිති තමන්ට ..ඒත් මතක තියා ගන්න ඔබේ දුමෙන් තවත් කෙනෙක් නැසෙන්නට ඉඩ ඇති බව ....ඒ නිසා පුළුවන් නම් බීපු දුම්ටික එළියට නොදා ඇතුලෙම තියා ගන්න පුළුවන් නම් “මට ඕන හැටියට “ බොන්න ...




සිගරට් එකේ සැප බලන්න ...




පෙනහළු පිළිකාවෙන් පෙලෙන පීටර්ගේ කතාවත් අහන්න ..


21 comments:

  1. පුංචි නිවැරදි කිරීමක් කරන්නම් වැඩක් නැති වුණත්, ටෝනි ග්‍රේග් 72-77 කාලේ තමයි ක්‍රීඩා කළේ. බොහෝම වටිනා තොරතුරු ටිකක්. ගොඩක් දේවල් දැනගත්තා. මමත් හිතන විදියට දුම් බොන අය කරන්නෙ අනිත් මිනිස්සුන්ගේ මානව අයිතීන් කඩ කිරීමක්, නිදහසේ හුස්ම ගන්න තියෙන අයිතිය නැතිකරනවා එයාලා අක්‍රිය දුම් පානය මඟින්. මේකට කවුරුත් නීති පනවන්නෙ නැහැනේ. ඒකට කනගාටුයි. යුවරාජ් සිං ටත් වැළඳිලා තිබුණෙ මේ වගේ එකක් නේද? ලාහිරු දහසක් දිලී... පැත්තෙත් ඇවිත් යන්න වෙලාවක් තියෙනවනම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවැරදි කිරීමට .. “දුම් බොන අය කරන්නෙ අනිත් මිනිස්සුන්ගේ මානව අයිතීන් කඩ කිරීමක්, නිදහසේ හුස්ම ගන්න තියෙන අයිතිය නැතිකරනවා එයාලා අක්‍රිය දුම් පානය මඟින්“ මේ අදහස නම් සම්පුර්ණ ඇත්ත ...යුවරාජ් සිං ගේ තත්ත්වය ගැන නම් මට හරියටම මතක නැහැ , ඒ දවස් වල කතාබහක් තිබුණු බව නම් මතකයි ...

      නැවතත් ස්තුතියි ඔබේ පැමිණිම සතුටක් ..අනිවාර්යයෙන්ම එනවා ඔබේ සටහන වෙතත් ..

      Delete
  2. හරිම වටින ලිපියක් ප්‍රියන්තගේ කතා පුවත වගේම, ටෝනි ග්‍රේග් ට පිලිකාවක් ඇති බව ඉයේ දවසේ වෙබ් අඩවි ගනනාවක උනුසුම් පුවතක් වුනා.

    අත්තටම මේවන විට පරම්පරාවෙන් පිලිකා බෝවන බවට වු මතය යම් දුරකට බැහැර වෙමින් අප එදිනෙදා ජිවිතයේ ළඟා කර ගන්නා ක්ෂනික ආහාර සහ දුම්වැටි සෘජුවම බලපා තියෙනවා.

    මහේෂ්ගේ මේ වැයම හරිම අගේ කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට ...

      ඔබේ අදහසට යමක් එක් කරන්නට කැමතියි ..සිදුවන්නේ පරම්පරාවෙන් බෝවන බව බැහැර වීමක් නොවනුනත්(මක් නිසාද පරම්පරාවෙන් එන DNA සබඳතාවයේ ක්‍රියාකාරීත්වයන් නිසා) , අද කෙරෙන පර්යේෂණ මඟින් හඳුනාගන්නේ ජාන වෙනස්වීම සහ සැඟවුනු රෝග කාරක ජාන සක්‍රිය වීම නිසා පිළිකා ඇති වන බව ...මෙම වෙනස්වීමට සහ , සැඟවුනු පිළිකාකාරක ජාන සක්‍රිය කිරීමට ඔබ කියන සාධක සෘජු බලපැමක් කරන බව හඳුනාගනිමින් තිබෙනවා ..

      Delete
  3. මම හිතන්නේ ඔබට මීට කලින් මම කියල ඇති මගේ පියා මිය ගියේ දුම්බීමෙන් ඇති වූ පිලිකාවකින් කියල . ඔහුගේ අවසාන කාලයේ කන්නවත් , බොන්නවත් බැරුව ගියා . ඒ ගැනන්නම් මතක් කරන්නත් කැමති නෑ .
    …බොහොම වටිනා හොඳ විස්තරාත්මක ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ මීට පෙර කොමෙන්ට් එකකදි ඒ බව කියා තිබුණා , කණගාටුයි ඒ සිදුවීම ගැන ..ඇත්ත ...මේ “තාවකාළික සතුට“ හැමෝටම වේදනාවක් දෙන බව තේරුම් ගන්නව නම් !

      ස්තුතියි ඔබට හැමදාමත් දිරි ගැන්වීම් කරනවාට

      Delete
  4. හුගක් වටිනා ලිපියක්,, ස්තුතියි මහේෂ් අයියේ,
    මටත් පෙන්නම බැරි එවුන් කොටසක් තමයි දුම් බොන අය, මගේ ෂොප් එකට සිගරට් බිබී කෙනෙක් අවොත් මම මුලින්ම කරන්නේ එයාට පෙන්නම ෆෑන් එක ස්පීඩ්ම කරලා දාන එක. සුළං පාරත් එක්ක දුම එලියට යනවා විතරක් නෙමෙයි සිගරට් එක විනාඩියෙන් අළු වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී , 

      ඔබේ පැමිණීම සතුටක් ..

      Delete
  5. හැමදාම වගේ මේ ලිපියෙත් වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..
    මට පේන විදිහට නම් තරුණ පරපුර අතර දැන් දුම් පානය නොකිරීම විලාසිතාවක් වෙලා..එක අතකට ඒක හොඳ ප්‍රවණතාව‍යත්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක විලාසිතාවක් විදියට ඉදිරියට එනවා නම් හොඳයි ...දැන් යම් හොඳ ප්‍රවණතාවයක් දකින්නට තිබෙන බව අහන එකත් සතුටක් ..

      ස්තුතියි රූ ..

      Delete
  6. ලෙඩෙකුගේ මියයෑම දෑසින් බලං ඉන්න එකත්, ඒ ආරංචිය ඒ ලෙඩාගේ ඥාතීන්ට කියලා ඒ අයගේ ප්‍රතිචාර බලං ඉන්න වෙන එක තරම් හැඟීම්බර අමාරු වැඩක් තව තියෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සබිත් ..කොහොමද පොඩ්ඩෙක්ගේ මරණය , ඒ දෙමාපියන්ට කියන්න වුනාම ...ඒ අත්දැකීම් නම් ඕන තරම් විඳල තිබෙනවා ..ඔබටත් අනාගතයෙදි වෘත්තීයට පිවිසුනාම මේ “දුෂ්කර ක්‍රියාවට මුහුණ දෙන්න වේවි .“ ...

      ස්තුතියි සබිත් ඔබේ පැමිණිම සතුටක්

      Delete
  7. දුම් බොන අය බිව්වාට කම් නැත. ඒත් ඒ දුම පිට කරන එකනේ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ....

      ස්තුතියි ඔබට අදහසක් දක්වන්නට එක් වූවාට

      Delete
  8. වෙනදා වගේම වටිනා ලිපියක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලයාන් , ඔබේ පැමිණිම සතුටක්

      Delete
  9. අපේ මහත්තයට මේක පෙන්නුවා.. වැඩක් නෑ .... හරි හරි නවතත්නවා කියලා ගියා.. අවුරුදු 11ක් තිස්‌ෙස් එයා ඕක නවත්තනවා... මට නං කියලම එපා වෙලා දැං....

    ඔය නිකොටින් චුයිංගම් ලංකාවේ තියෙනවද අයියේ... ඒවටත් ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනෙද දන් නෑ නේ... මම අපේ ඩොක්ටගෙන් අහන්න කියලා හිතුවේ... ඒත් එයා නැන්දම්මලත් එක්ක ෆිට් එක වැඩිකමට නිකමට හරි ඕක කිව්වොත් එහෙම අපේ මහත්තයා මාව හමගහනවා.. ඒක නිසා ඇහුවෙ නෑ....

    ReplyDelete
    Replies
    1. උත්සාහය අතහරින්න එපා ..තව ටිකක් ආදරෙන් “ආදරණීය ඉල්ලීමක්“ කරල බලන්න ..

      මම දන්න විදියට ලංකාවේ පෞද්ගලික ෆාමසිවල තිබෙනවා , නමුත් මෑතදී ඒ ගැන දැන ගන්නට ක්‍රමයක් ලැබුණෙ නැති නිසා පොඩ්ඩක් විමසීමක් කළොත් හොඳයි ....තිබේනම් ප්‍රෙස්ක්‍රිප්ෂන් අවශ්‍ය නැහැ ..

      ස්තුතියි ඔබේ පැමිණීම සතුටක්

      Delete
  10. හොඳ ලිපියක්!
    ජයෙන් ජය සහෝ!

    ReplyDelete
    Replies
    1. මේ වගේ ලිපි ටිකක් වියාප්ත කළා නම් ගොඩක් අයට වැදගත් වේවි..

      Delete
    2. ඇත්තෙන්ම මේ ගැන වැඩි පිරිසක් දැනුවත් වෙනවා නම් හොඳයි .. ඒත් මට කළ හැක්කේ මේ සටහනේ අකුරු කරන එක පමණයිනේ ....ඔබ සැමගේ උදව්වෙන් තමයි එය පතුරුවා හරින්නට පුළුවන් වෙන්නේ ...ඔබේ දිරි ගැන්වීමට තුති ..

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)