2012/12/05

127) “.....ගෑණිව“ හොඳ කරවන ART එක

“ට්‍රීං ට්‍රීං ....ට්‍රීං ට්‍රීං ....“
“ඔව් මහේෂ් කතා කරනවා“ ...
“මේ අංක .....නිවසද?...“
“ඔව් ...ඔබ කවුද ? “
“මම ....සංවිධානයෙන් ...ඔබේ දරුවන් දෙදෙනාට නත්තල් තෑගි පාර්සල් දෙකක් අපි ගෙනත් තියෙනවා , අපිට එන්නට අවසරද ?...“
“ඔව් , එන්න ...“.....
“බොහොම ස්තුතියි  ඔබටත් සුබ නත්තලක් වේවා ..“....



දෙසැම්බරය ලැබුව විතරයි , විවිධාකාර සංවිධාන , ආයතන මගින් දරුවන් වෙත තෑගි ලබා දෙන්නට පටන් අරගෙන ...අපේ දෙන්නත් බලාගෙන හිටිය දෙයක් තමා “නත්තල් සීයාගේ තෑගි “...දෙන්නටම සතුටුයි .....ලස්සනට සරසපු පෙට්ටි දෙකක් පුරවලා , තෑගි , දෙන්නගේ වයසට ගැලපෙන විදියටම , පොඩ්ඩිට හම්බවුනු තෑගි අස්සේ ලස්සන “බබාලා ගොඩක්“ ...කෙල්ලට නම් සතුටේ බැරුවා ..මොකද කෙල්ල “බෝනික්කන්ට“ හරිම ආසයි ..පොඩ්ඩි බබාල ඔක්කොම තුරුළු කරගෙන නලවන්න හදනවා ..ඇත්තම බබාල වගේම තමා ..මටත් ඒ දිහා බලාගෙන ඉන්න හිතුන ..කෝහේ නලවන්නද අත අස්සෙන් එක්කෙනා දෙන්න වැටෙනවා ...බලන් හිටපු අක්ක උඩ පැන පැන හිනා ...මෙයා මෙහෙම බබාල නැලෙව්වොත් අපිට හැමදාම ඉමර්ජන්සි යුනිට් එකේ තමා ඉන්න වෙන්නේ ...

එක වගේම මේ ප්ලාසිටික් බබාල දිහා බලාන හිටි මට මතක් වුනේ “වීදුරු බබාලා ...“ ..???????......

පොඩ්ඩක් ඉන්නකෝ ....මේ කතාව වෙන තැනට හරියටම කිලෝමීටර් 14155කට එහා , මීට අවුරුදු විස්සකට විතර වුනු කත බහකුත් මේ එක්ක එකතු කරන්න හිතුවා ....

“මද්දු ...පොඩ්ඩක් ඉන්න ....ගෙට ඇවිත් පොඩ්ඩක් වෙලා ඉඳල යන්න ...“
වඳ ගෑනී ...වද ගෑනී ! 
“ඇයි ...“
“ඇයි කියල අහන්නේ ..ඔය ඉස්සරහට එන්නේ කවුද ...? ..“ ...
“ ආ ..ඔය එන්නේ සුමන නැන්දනේ ..“ ...
“හ්ම් ...එයාව ඉස්සරහට හම්බවෙලා මේ වගේ ගමනක් යනවද ? ....“
“ඇයි පුංචි ... එයා පුංචිගෙත් යාළුවනේ ...“...
“යාළුව තමයි ..මහ මූසල ගෑනි ... දරුවෙක්වත් හදා ගන්න පිනක් නැති ...වඳ ....මුස්පේන්තු ගෑනි ...“ ...
මොකක්දෝ විභාගෙකට යන්න පුංචිලගේ ගෙදර ඉඳල උදේ පාන්දර ගාලු බස් නැවතුම් පලට යන්න පිටත් වෙන්න හදත්දි වෙච්ච කතාබහක් මේ ........

දැන් ඔබ අහවි මොකක්ද මේ කතා දෙකේ සම්බන්ධය කියලා ..

අර බෝනික්කන් එක්ක හිටපු වෙලාවේ මට ලියන්නට මාතෘකාවක් ආවා ...ඒ තමයි වීදුරු බබලා ...එහෙම නැත්නම් Tube baby ලා ගැන ..

එහෙම නම් පරණ කතා නවතා මොහොතක් ....අපි පටන් ගනිමු අළුතින් ලිපියක් ...! ..

මේ වීදුරු බබාලගේ කතාවට දෙන්න සුදුසුම නම තමයි Assisted Reproductive Technology - ART කියන ජෛව විද්‍යාත්මක තාක්ෂණීක ක්‍රියාවලිය .අද අපේ කතා බව යොමුවෙන්නේ මේ අළුත් ..(අළුත් කීව්වට අළුත්ම නැති , එත් නිරන්තරයෙන් දියුණූ වන ) කටයුත්ත ගැනයි ..ඉතින් මේ වගේ boring කතාබහකට කැමති නැති මිතුරන්ට දැන් අවස්ථාව මෙයින් මිදිල වෙනත් බ්ලොග් පිටුවක් වෙත යොමු වන්නට ..මෙවන් දේ ගැන කතා කරන්නට , දැන ගන්නට , රසවිඳින්නට රිසි ඔබ පමණක් මෙතැනින් එහාට රැඳෙන බව මම දන්නවා ....


අද අපේ කතාව පටන් ගන්නට මුලින්ම මතක් කර ගන්නට වෙනවා , දරු පිළිසිඳගැනීමක් වෙන හැටි ....අපි මේ ගැන කතා කරල තියෙනවා , ඒත් අදත් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න වෙනවා.




ඔබ දැනටමත් දන්නවා , දරුවෙක් පිළීසිඳ ගැනීමේ ක්‍රියාවලියේ මුල්ම පියවර සක්‍රිය ස්ත්‍රී ජන්මාණූවක් සහ සක්‍රිය පුරුෂ ජන්මාණුවක් එක් වීම කියල ..මේ එක් වීමේ ක්‍රියාවලිය සාමාන්‍යෙයන් සිදුවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඉහළ තියෙන ෆැලෝපියන් නාල තුලදී , මේ එක් වීම වුනාට පස්සේ හැදෙන “අළුත් කෙනා“ ...අපි කියන්නේ යුක්තාණූව කියල ...Zygote කියන්නෙත් එයාටමයි ..දැන් ටිකක් බෙදිලා සෛල ගොනුවක් බවට පත්වෙලා ...මේ සෛල බෝලේ පෙරළිලා එනවා ගර්භාෂය තුලට ..එහෙම පෙරළිලා ඇවිත් ගර්භාෂ බිත්තියේ , ඒ වෙනුවෙන්ම හදපු සුව පහසු එන්ඩොමෙට්‍රියමේ රිංගල “තැන්පත්“ implantation  වුනාම තමයි ගර්භණීතවයක් Pregnancy ආරම්භ වෙන්නේ .. දැන් ඒ කිය්නනේ මේ කාන්තාව “අම්ම කෙනෙක්“ වෙන්නයි යන්නේ ...ඒත් ...මේ විදියට අම්ම කෙනෙක් වෙන්නට වරම් නැතිවන කාන්තාවන් කොතරම් ඉන්නවද ? ...විවාහයෙන් පස්සේ දරුවක් හදා ගන්නට බැරිව තැවෙන බිරින්දෑවරු , දරුවක් නැති වීමේ සෝකය විතරද හිතේ දරා ගන්නේ ...? නැහැ ..නැන්දම්මගෙන් ලැබෙන ඇනුම්පද , අල්ලපු ගෙවල් වල අක්කලාගෙන් ඇහෙන රහස් ( මොකද කසාද බැන්දම දරුවක් හැදෙනකම් බලාගෙනම ඉන්නෙ අල්ලපු ගෙවල් වල අයනේ ..) ඒ විතරද තවමත් සමාජයේ ඇටුවන් බැහැල තියෙන සමහර මත ....මේ හැමදේකින්ම විඳවන්න වෙන්නේ “ඇයට“ ...ඒත් “දරුවෙක් ලබන්නට නොහැකී වීමේ වරද“ ඇයටම පවරන එක සාධාරණද ? ....අපි කතාබහේ ඉදිරියට යත්දි මේ ගැන දැන ගන්නට පුළුවන් ..

එහෙම නම් දැන් අපිට කතා කරන්නට වෙනවා මොකක්ද මේ වඳභාවය කියන්නේ කියලා ..දැන් මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ ..මොකද මේ වචනෙම හරිම කටුකයි ..ඒ නිසා දැන් කියන්නේ “මද සරුභාවය“ ...එහෙම නැත්නම් Infertility ...අර්ථදැක්වීමේ හැටියටම කීවොත් ...“යුවලක් වසරක් තිස්සේ අනාරක්ෂිත ( ඒ කීවේ කොන්ඩම හෝ උපත්පාලන ක්‍රම නැතිව) ලෙස යෝනි - ශිෂ්ණ ලිංගික එක්වීම් (Peno-vaginal intercourse) වුනත් , දරු පිළිසිඳ ගැනීමක් වුනේ නැත්නම් “ ඒ තත්ත්වය මද සරුභාවය විදියටයි වෛද්‍ය විද්‍යාත්මකව දකින්නේ ...

මේක වෙන්නේ කොහොමද ? .....මෙතැනදි අපිට දෙන්න ගැනම කතා කරන්නට වෙනවා , පිරිමියාගෙ පැත්තේන් , ප්‍රමාණවත් සක්‍රිය ශුක්‍රාණ නිපද නොවීම , නිපදවෙන ශුක්‍රාණුවල දුබලතා , නිපදවෙන ශුක්‍රාණූ නිසි ලෙසින් යෝනි මාර්ගය තුලට ගමන් කරවීමට නොහැකි වීම , (Erectile dysfunction , ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවන නහර ගැට ගැසීමේ තත්ත්ව Scrotal varicocele)  , මේ අතරින් ප්‍රධානයි ..

කාන්තාවකගේ බැලුවොත් ඩිම්බ මුදාහැරීමේ ගැටළු , (  හෝමෝන ගැටළු  ,  ඩිම්බකෝෂ වල රෝග තත්ත්ව) , ඊළඟට ෆැලෝපියන් නාලයේ අවහිරතා , එතැනින් ගියාම , ගර්භාෂයේ ගැටළු , විශේෂයෙන්ම ගර්භාෂ ඇතුළු බිත්තියේ ගැටළු ...සමහර විට යෝනි මාර්ගයේ පවතින සංයුතියේ වෙනස්කම් ..මේ වගේ හේතු සාධක ගණනාවක් නිසාවෙන් තමයි “මදසරුභාවයි“ ඇති වෙන්නේ ...

ඒත් අද කතාව මද සරුභාවය ගැන නොවෙයිනේ ..අද කතාව අර “වීදුරු බබාලා“ ගැන ...ඒ කියන්නේ “මදසරුභාවයෙන් “ පෙළෙන අයට දරු පැටියෙක් ලබා දෙන නවතම  ජෛව තාක්ෂණීක ක්‍රියාදාමය ගැන ..
අද වෛද්‍ය විද්‍යාවේ ඉක්මණින්ම දියුණූ වන , පර්යේෂණ සිදුවන මේ අළුත් තාක්ෂණය නම් කරන්නේ Assisted Reproductive Technology  නැත්නම් ART කියලා..

මේ “ආර්ට්“ එකේ ආකාර ගණනාවක් තිබෙනවා , අපි ඒ ඔක්කොම ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ , ඒත් දළ අදහසක් ගන්න එක හොඳයි , මොකද නව තාක්ෂණය ගැන වගේම වෛද්‍ය තාක්ෂණයේ අපූරු නැවුම් තතුත් දැන ගෙන ඉන්න එක වටින නිසා , 

Age And Success Of Assisted Reproductive Technology“ආර්ට් “ ක්‍රමයේ දී ප්‍රධාන වශයෙන් සිදු වන්නේ මවගේ “ඩිම්බ සෛලයක් “ සහ පියාගේ ශුක්‍රාණුවක් විද්‍යාගාර පරිසරයක් තුල එකතු කිරීම ..එහෙම එකතු කරලා ලැබෙන “යුක්තාණුව Zygote “ , හෝ කළලයේ මුල්ම අවස්ථාව නැත්නම් “පැටියගේ පුංචිම අවස්ථාව“ ආයෙත් පරිස්සමින් අම්මගේ ගර්භාෂය තුල තැන්පත් කරන එක ..මේක මෙහෙම පේලි දෙකකින් කීවට , බොහොම සංකීර්ණ , ඒ වගේම ලොකු විදයමක් යන වැඩක් , 




මේ ART එකේ ප්‍රධානතම ක්‍රමය තමයි in vitro fertilization-embryo transfer (IVF-ET)  කියන්නේ ..මෙතැනදි සිද්ධ වෙන්නේ , අදාල කාන්තාවට ඖෂධීයව හෝමෝන ලබා දීල , ඩිම්බ සෛල කිහිපයක් නිපදවගෙන , යෝනි මාර්ගය ඔස්සේ යවන පුංචි බටයකින් ඒ ඩිම්බ සෛල උරල අරගෙන , විශේෂීත පරිසරයකද , ඒ උරා ගත්ත ඩිම්බ සෛල වීදුරු දීසියකට දාල ඒකට හොඳ ශුක්‍රාණු සෛල එක් කරල , ඩිම්බ සෛල සහ ශුක්‍රාණූ වලට එක් වෙන්නට අවශ්‍ය පරිසරය කෘතිමව හදල දෙනවා , ( විතරක් නොවෙයි , මේ ඩිම්බ සෛලය තුලට ස්වභාවිකව ශුක්‍රාණුවට ඇතුළු වෙන්න දෙන්නේ නැත්නම් , ඉන්ජෙක්ෂන් එකක් ගහනව වගේ , ශුක්‍රාණුවක් , ඩිම්බ සෛලය තුලට විදින්නටත් දැන් පුළුවන්-Intracytoplasmic sperm injection

ඊට පස්සේ ඒ විදියට ඒක් වෙලා හැදුනු “පැටියගේ පුංචිම අවස්ථාව - යුක්තාණුව Zygote“  කිහිපයක් ආයෙත් පරිස්සමින් ඇයගේ ගර්භාෂයට ඇතුළු කරන එක ...මේ විදියට “පුංචි පැටිත්තන් “ කිහිප දෙනෙක් ඇයගේ ගර්භාෂයේ තැන්පත් කළාම ටික දවසකින්  “ අම්මගේ බඩේ පැටියෙක් “ , සමහර විට පැටවු දෙන්නෙක් විතර ඉන්නත් ඉඩ තියෙනවා ...තාක්ෂණයේ නිසි  ප්‍රතිපල ලැබුනොත් “කාටද සන්තෝසේ...“ 

මේ වගේම හැබැයි පොඩ්ඩක් වෙනස් ක්‍රම කිහිපයක් තියෙනවා කිව්වනේ ..ඒ එකකදි කෙරෙන්නේ මුලදි වගේම අම්මගේ ඩිම්බ සෛල කිහිපයක් එකවර නිපදවාගෙන , ඒ ඩිම්බ සෛල සහ තොරගත්තු ශුක්‍රාණූ සෛල ඇයගේ ෆැලෝපියන් නාල ඇතුලෙදිම එකතු කරවන එක , මුල ක්‍රමේට වඩා ලොකුම වෙනස , සෛල දෙවර්ගය එකතු වෙන්නේ අම්මගේ ෆැලෝපියන් නාල තුලම වීම ..ඒත් මුල එකට වඩා පොඩ්ඩක් අපහසුතා සහිතය මේ ක්‍රමයෙදි , ඒ වගේම කෙරෙන ප්‍රමාණයත් අඩුයි ...මේ ක්‍රමය නම් කරන්නේ නම් Gamete intrafallopian transfer (GIFT) කියල ...

අනෙක් ක්‍රමය මුල් ක්‍රමය වගේමයි , ඒත් අර සෛල දෙක ගානෙ එකතු කරල හදා ගත්ත “යුක්තාණව නැත්නම් පැටියගේ පුංචිම අවස්ථාව“ ...තැන්පත් කරන්නේ ගර්භාෂයේ නොවෙයි , ඊට ටිකක් ඉහලට අරන් ගිහින් ෆැලෝපියන් නාලය තුල තමයි තැන්පත් කරන්නේ ..ඒ නිසා මේ ක්‍රමයට කියනවා Zygote intrafallopian transfer (ZIFT) කියලා ... මේ විදියටම හදා ගන්න “යුක්තාණුව“ අම්මගේ ගර්භාෂයේ “හොඳම කාළේ එනකම් Freeze කරලා තියලා පස්සේ තැන්පත් කරන්නටත් දැන් පුළුවන් Frozen embryo transfer (FET) කියනනේ ඒ විදියට නියමිත අවස්ථාව එනකම්ම සීතලේ Freeze වෙලා ඉන්න “සෛල ගොණූව“ ගර්භාෂයේ තැන්පත් කරන ක්‍රියාවලිය ...

.............................ඇති වුනාද කියවගෙන ගිහින් ..... කොහොම වුනත් මේ කී කතා ඇත්තටම සිදුවන දේවල් . අපි ඉන්න කිට්ටුවත් ART ක්ලිනික් එකක් තියෙනවා , ඒ විදියේ කිල්නික් හැම නගරෙකම වගේ තිබෙනවා , ඒ තුල දිනකට සෑහෙන ප්‍රමාණයක් මේ ප්‍රතිකාර මගින් මවු-පියවරු බවට පත්වෙනව වුනත් , වියදම නම් වැඩි තමා , මේ පැත්තෙ නම් එක වතාවකට 11000ක් විතර යනවා , හැබැයි ඩොලර් වලින් , ලංකාවේ මේ කටයුත්ත කෙරෙනවද කියන එකත් යන වියදමත් මම හරියටම දන්නේ නැහැ , අපි එන්න කිට්ටුව පෞද්ගලික රෝහල් කිහිපයක “මදසරු සායන“ පටන් ගත්තත් ඒ මේ තාක්ෂණික කටයුත්තට නොවෙයි , කාන්තාවගේ සහ පුරුෂයාගේ මද සරුභාවයට හේතු හොයා බලන්නට සහ ඒවා ඖෂධීයව හෝ ප්‍රතිකර්ම මඟින් නිවැරදි කරමින් දරු පල ලබා ගන්නට උදව් කරන්නට . නමුත් intrauterine insemination කියන ක්‍රමය නම් ලංකාවේ කෙරෙනවා , ඒතැනදි කෙරෙන්නේ , පිරිමියාගේ ශ්‍රක්‍රාණූ වලින් හොඳම ටික තෝරල බේරල , පිරිසිදු කරල , පරිස්සමින් කාන්තාවගේ ගර්භාෂයට විදින එක , එමගිනුත් මද සරුභාවයට සහනයක් ලබා ගන්නට පුළුවන් . නමුත් ඒ ක්‍රමය අසාර්ථක වන තැන කරන්නට ඇති එකම දේ තමා ART.

අද කතා කළේ මේ “විදුරු බබාල“ හදන වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය ගැන ..හැබැයි මේ තාක්ෂණය නිසාම අද වෛද්‍ය විද්‍යාව තුලට අළුත් ජෛව ආචාර ධර්ම පද්ධතියක් Bioethics එක් කරන්නටත් වෙලා හිතන්න පුළුවන්ද මොකක්ද හේතුව කියලා ...දැන් බලන්න ART එකත් එක්ක ඩිම්බ සෛලයකුයි , ශුක්‍රාණුවකුයි තිබුණොත් “පැටියෙක් “ හදාගන්නට පුළුවන් . ඒක මේ විදියට කෙරෙන්නත් පුළුවන් , ...

අපි මේ විදියේ කතාවක් කියවමු , අපේ පළමු යුවලේ කාන්තාවට ඩිම්බ සෛල නිපදවන්නට බැරි තත්ත්වයක් , නැත්නම් අනතුරක් තියෙනවා ...ඒත් ඒ යුවලට දරුවෙක් හදා ගන්න ආසාවත් තියෙනවා ...දැන් මොකද කරන්නේ ...කරන්න තියෙන එකම දේ වෙන කාගෙන් හරි ඩිම්බ සෛලයක් ඉල්ල ගන්න එක ...ඒක පවුලේ වෙන නංගි කෙනෙක් ගෙන් හරි වෙනත් “පරිත්‍යාගශිලී කාන්තාවගෙන්“ හරි වෙන්න පුළුවන් ..දැන් යුවලේ මහත්තයගේ ශුක්‍රාණුවක්,  මේ ඩිම්බ සෛලය එක්ක එකතු කරනවා විදුරු තැටියකදි ..හැදෙන “ පුංචි පැටියා, අපේ  යුවලේ කාන්තාවගේ ගර්භාෂය “ ඇතුලේ තැන්පත් කරන්න පුළුවන් ..දැන් එයා අම්ම කෙනෙක් ..ඒත් “පැටියගේ ඇත්තම අම්ම එයාමද?....“...

ඕකේ අනිත් පැත්ත , මහ්තයගේ ශුක්‍රාණූ වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ , නෝනගේ ඩිම්බ සෛල හොඳ වැඩ ..දැන් මොකද කරන්නේ , එක්කෝ “පරිත්‍යාගශීලී මහත්තයෙක්ගෙන් හරි ශුක්‍රාණූ බැංකුවකින් “ ශුක්‍රාණූ ඉල්ලගෙන අර විදියටම එකතු කරල ඇයගේ ගර්භාෂයේ තැන්පත් කරගෙන “අම්ම “කෙනෙක් වෙන්න පුළුවන් ...ඒත් මෙතැනදි “දරුවගේ තාත්ත වෙන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් ....

මෙන්න මේ තත්ත්වයත් එක්ක Genetic parents නැත්නම් ජානමය බැඳිම ඇති මව හෝ පිය සහ  Social parents සමාජමය වශයෙන් බැඳිම් ඇති මවක සහ පියෙක් කියන අළුත් “තනතුරු “ හැදිලා අවසන් ...

ඒ විතරද ..මේ ජන්මාණු සෛල “බැංකු වල“ දාල ( මේ වෙනුවෙන් විශේෂීත ජනමාණූ බැංකු අද තියෙනවා , යම් විශේෂීත තත්ත්වයකදි තමන්ගේ , නැත්නම් තමන්ගේ සැමියාගේ ජන්මාණූ සුරක්ෂිත කරලා තියා ගන්න පුළුවන් මේ තැන්වල) ...තියාගෙන කාළෙකට පස්සේ අරගෙන පැටියෙක් හදා ගන්නත් පුළුවන් ...හිතමුකෝ “මහචාර්ය සීය “ බැංකුවේ තැන්පත් කරල තියෙන ශුක්‍රාණූ අරගෙන තුන්වන පරම්පරාවි මිනිපිරියක් , කසාද බදින්නෙත් නැතිවම ART එකක් කර ගත්තොත් ...මේ වගේ අළුත් ප්‍රශ්න ගණනාවක් අද මතු වෙනවා , මෙතැනදි ජීව විද්‍යාත්මක වගේම සමාජයීය , නීතිය අනුකූල ගැටළු ඇති වෙනවා . 

මේ තත්ත්වය උග්‍ර වෙන්නට අද ART එකට තව කට්ටියක් එකතු වෙනවා , ඒ ගර්භාෂය කුළියට දෙන Surrogates ලා ..එයාල තමන්ගේ ගර්භාෂය කුළියට දෙනවා , සමහර විට අනුන්ගේම ඩිමබ-ශුක්‍රාණූ එක් කරල හදපු පැටිය බිහිවෙනකම් ගර්භාෂයේ තියාගෙන පරිස්සම් කරලා පැටිය බිහි වුනු ගමන් “අයිතිකාරයන්ට ලබා දෙන එක “ Gestational Surrogacy ... , නැන්නම් තමන්ගේ ඩිම්බයක් , වෙන කෙනෙක්ගේ ශුක්‍රාණුවක් එක්ක එකතු කරල පැටිය  හදලා බිහිවුනාට පස්සේ ඒ ශුක්‍රාණූව අයිති කෙනාගෙ පවුලට ලබා දෙන එකTraditional Surrogacy ... මේ විදියට බලාගෙන ගියොත් වැඩේ හරිම සංකීර්ණයි ...ART එකත් ලේසි නැහැනේ ....විශේෂයෙන්ම Surrogacy mother ගේ දරු හිමිකම ගැටළුවක් ...මේ නිසාම ලෝකය පුරා ජනප්‍රිය නමක් වට පත්වුනු Baby M ගේ කතාව ඔබ දන්නව ඇති ...හරියට හුණූවටයේ කතාව වගේම සංවේදී කතාවක් ...මේක ඇත්ත කතාවක් ..පසුව චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වුනා ...මේ ගැන හොයත්දි යූටියිබ් තුලින් මට හමුවුනේ මෙන්න මේ කොටස ..පුළුවන් නම් ඒ ඔස්සේ ගිහින් චිත්‍රපටය බලන්න ..මුළු චිත්‍රපටයම ගන්න පුළුවන් ලිංක් එකක් දන්නව නම් අපි කා අතරත් බෙදා ගන්න මේ අවස්ථාව ..


එහෙම නම් අදත් සටහන නිමා කරන්නටයි හදන්නේ ...මේ සටහන සමහර විට රසවත් ඇති , සමහරෙකුට එසේ නොවන්නටත් ඇති ...කෙසේ වුනත් මේ සටහනත් සොඳුරු සුව අසපුවේ රැඳිලා තියේවි ....ඒ වගේම මේ ලිපි තවත් අයෙකුට ප්‍රයෝජනවත් වේයැයි කියල හිතෙනවා නම් ඔබේ බ්ලොග් සටහනේ , නැත්නම් ෆේස්බුක් පිටුවේ පොඩි ඉඩක් ලබා දීලා “සොඳුරු සුව අසපුව“  තුලින් ඔබේ සෞඛ්‍යයට යමක් බෙදා දෙන්නට එකතු වෙන්න ... නමුත් “සොඳුරු සුව අසපුව“ කිසිම අයුරකින් වාණිජ අරමුණක් නොදරන නිසා මෙය තවත් පැතිරුණත් නැතත් පුළුවන් වෙලාවට සටහනක් එකතු කිරීමේ අරමුණ තවමත් තිබෙනවා ...

ඒ වගේම මේ දවස් ටිකේ විභාග , මෙන්ම රාජකාරිමය කටයුතු ටිකක් වැඩිවීම නිසා මේ පෝස්ට් එකත් එකතු වුනේ හුඟක් ප්‍රමාද වෙලා ..සමහර විට ඉදිරියේදිත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන් ..ඒත් මුලින් කීව වගේ ..ලැබෙන විවේකය “සොඳුරු සුව අසපුවට“ අළුත් පිටුවක් එක් කරනවාමයි ..තව දෙයක් ඔබ දන්නවද මේ පෝස්ට් එක තුලදි සොඳුරු සුව අසපුවේ පෙරළුනු පිටු ගණන ලක්ෂය පනින වග ..ඒක සතුටක් ...ඒ සතුටේ හිමිකරු මා පමණක් නොවේ . , ඔබත් එහි කොටස් කරුවෙක් ලෙසින් සතුටු වනවා නම් එයම සතුටක් මට ..


සුව සතුට පිරි දවසක් ඔබ සැමට ...

යන්න ඉස්සර වෙලා කැමති නම් මේ වීඩියෝ ටික බලන්න ..


(ART එකේ සුවය ලබන “මවක්)








20 comments:

  1. මම අයියගේ පෝස්ට් වල කැමතිම දේ තමයි මේ කතාවක් විදියට ගොඩනගලා හිමීට, සරළව, කරුණු එකතු කරන එක... දාන උපමා හින්දා හිනාවක් එක්කම කතාව කියවගෙන යන්න පුළුවන්.... ඔය අපේ “ ලිංගික අධ්‍යාපනය කොහොමද පොඩි අයට දෙන්නේ ” කියලා උඩ පනින අයට මේවා කියෙව්වොත් ඒ කො‌ෙහාමද කියන එක තේරුම් ගන්න අපහසුවක් නෑ... ඒත් ඉතිං උන්දැලා මේවා බලන්නේ නැති හින්දානේ මේ ප්‍රශ්න ඔක්කොම...

    intrauterine insemination කියන්නේ IUI කියන එකද... ඒක නම් ලංකාවේ කෙරෙනවා මං දන්න විදියට.. අනිත් ඒවා නම් ලංකාවේ කෙරෙන්න තව කාලාන්තරයක් යයි.. අර පුංචි වගේ මෝඩ ගෑණු ඉන්න ලංකාවට තමයි මේ තාක්ෂණය වැඩිපුරම ඕනේ...

    //මොකද කසාද බැන්දම දරුවක් හැදෙනකම් බලාගෙනම ඉන්නෙ අල්ලපු ගෙවල් වල අයනේ ..///

    මේක නම් මහ පුදුම වදයක් අයියේ... එහෙන් අහල පහල උන් අපේ අම්මලගේ ඔලුවට එක එක ඒවා දානවා.. ඉතිං අපේ අම්මලා මගේ ඔලුව කන්න යනවා... ළමයෙක් හදා ගන්නේ නැතුව හැමදාම ඔහොම ඉන්නද හදන්නේ, අපි මිනිස්සුන්ට මූණ දෙන්නේ කො‌ෙහාමද අරකද මේකද කියලා... මට ඌරු ජුවල් ඉතිං... උන් එනවද ළමයි හැදුවම උන්ට කන්න දෙන්න කියලා මං අහනවා.. මේ දවස්වල මම ගෙදරට කතා කරන්නෙත් අඩුවෙන්.. කතා කළොත් ඔය කතාව.. දැං මට කියලා කියලා එපා වෙලා... ඒ අතින් බැලුවම අපේ මහත්තයගේ අම්මලා හොඳයි.. අපිට ඕනේ විදියට ඒවා කරගන්න ඇරලා පාඩුවේ ඉන්නවා.. හි හි...

    සොඳුරු සුව අසපුව මම කීප දෙනෙක්ටම කියවන්න කියලා ලින්ක් යැවුවා.. තමන්ට ලෙඩක් තියෙනව, ඒකට බේත් තියෙනවා කියලා තේරුම් ගන්න එපැයි දොස්තර කෙනෙක් ළඟට යන්න හරි.. මේක කියෙව්වම වත් තේරුම් ගනී කියලා හිතලා... හි හි..

    මේක හරි වටින වැඩක්...

    සොඳුරු සුව අසපුවට සුභ පතනවා... ඒ වගේම අයියගේ වැඩ වලටත්, විභාග වලටත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ ...ඔබේ අගය කිරීම් මෙන්න සිංහල බ්ලොග් පරිශ්‍රය තුල ඔබේ සක්‍රිය බවත් අගය කරනවා ..

      Delete
  2. ඔබ මේ කියා ඇති ක්‍රමය ලංකාවේ දැනටත් තියනවා . මේ සඳහා ලොකු වියදමක් දරන්න වෙනවා . නමුත් ගොඩක් සාර්ථක ක්‍රමයක් . මේ සම්බන්ධ රෝහලකට මාත් ටික කලක් භාහිරව සම්බන්ධ වෙලා හිටියා .. ඒ නිසා දන්නවා දරුවන් නැතිව විඳින දුක . අද මේ මදසරුබාවයෙන් පෙලෙන අයගේ ප්‍රතිශතය බොහෝ වැඩි වෙලා තියනව කියල හිතෙනවා පෙරට වඩා .
    …වෙනද වගේම ඉතාමත් වටිනා ලිපියක් . බොහොම ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි , සංඛ්‍යාලේඛණ දත්ත නැතත් , ප්‍රායෝගිකව ලැබෙන තොරතුරු එක්ක ඔබේ කතාව ඇත්ත බව මටත් හැඟෙනවා ..
      ස්තුතියි හැමදාමත් දිරි ගැන්වීම් කරනවාට

      Delete
  3. මග හොඳට තිබේනම්
    යන්ට දෑසත් පෙනේනම්
    කීම බැදිවල යන්නේ
    මංමුලාවූ අයකු සේ

    ඇත්තටම මේ තරම් පැහැදිළිව මේ ප්‍රශ්නය විසඳාගත හැකිව තිබියදීත් සමහරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පසුපස පමණක් යන්නේ ඇයි?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , මේ බොහොමයක් සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවා . නමුත් සමහර ඒවාට යන වියදම තමා ටිකක් සැර ..ඒත් දරු පැටියෙක් වෙනුවෙන් එය කරන්නට හැකියාවක් ඇති ඕනම කෙනෙක් පෙළඹෙනවා ..
      ස්තුතියි ඔබටත්

      Delete
  4. මෙඩිකල් කොලෙජ් එකේ පොරවල් හරියට අර ශුක්‍ර බැංකුවට තමන්ගේ ඒවා දෙනවයි කියලා අහලා තිව්වට මං එක විශ්වාස කලේ නෑ , ඒත් මගේ හොදම යළුවෙක් එක නිවැරදියි කියලා ඉව්ව...වෙල් රීසර්ච්ඩ් පෝස්ට්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මතක විදියට ඔබේ පළමු පැමිණිම ..එන්න හැකි විටෙක ආයෙත්

      Delete
  5. මේකනම් පින් අතේ වැඩක් දොස්තර මහත්තයෝ,

    තමන්ට දරු සම්පත් ලැබීමට වාසනාව නැතිනම්, ඔතරම් සංකීර්ණ ක්‍රම වලට නොයා, ස්වාමියාට, වෙනත් ගැහැණියක් සමග හෝ, බිරිදට වෙනත් පිරිමියකු සමග හෝ ලිංගිකව එකතු වී ඔය වැඩෙ ඔය විදිහටම කර ගන්න පුළුවන් නේද.

    හැබැයි එතකොට බිරිදගේ නම් අවුල, වෙනත් ගර්භාෂයක් කුලියට ගන්න වෙනවා.

    අදහසක් විතරයි, හැබැය් මෙහෙම දේ සිදු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. එක ඉතිං පරණම ක්‍රමේනේ.. හි හි.. ඉස්සර අපේ රටේ ගම් වලත් උනා...
      ඕක කචල් වැඩි ක්‍රමයක්... ලිංගිකව වෙනත් කෙනෙක් ඇසුරු කරනවට සහකාරිය හෝ සහකරුවා කැමති වෙන්නෙ නැ.. අනිත් එක එහෙම ලැබෙන දරුවෙක්ට නියමම විදියට ආදරය ලැබෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට... ඊට වැඩිය ගොඩක් අය කැමතියි දරුවෙක් අරන් හදා ගන්න..

      Delete
    2. ඒක තමයි අවුල,
      ඒක නිසා නොදැකපු පිරිමයකුගේ ශුක්‍රාණු, හෝ නොදැකපු ගැහැණියකුගේ ඩිම්බ අරගෙන වැඩේ කර ගත්තම වැඩේ ෂේප්,

      එතකොට කියන්න වෙන්නේ
      "පියා කොහේදැයි මවගෙන් අසනු එපා" කියලා

      Delete
    3. අහපු ප්‍රශ්නෙට උත්තර ලැබිල තියෙන නිසාත් ඔබ කියනා දේ නීතියට පටහැනිව තවමත් සිදුවන නිසාත් කියන්නට දෙයක් නැහැ ,

      ස්තුතියි හැමදාමත් ඇවිත් දිරි ගැන්වීම් කරනවාට

      Delete
  6. ම්..ස්තුතියි මහේෂ් වෙනදා වගේම..
    ගොඩක් වැදගත් ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ ..ඔබේ දිරි ගැන්වීම් මට සතුටක් ..

      Delete
  7. ඔය මාතෘකාව කතා කරද්දි මගෙ මතකයට එන නමක් තමා දොස්තර සරත් විජේමාන්න. එතුමාට නිවන්සුව පතනව

    ReplyDelete
    Replies
    1. එතුමාට නිවන් සුප පතන ගමන් ඔබට ස්තුතියි පුදනවා එතුමන් ගැන සටහනක් තැබුවාට ..කාළෙකට පස්සේ හරි මේ පැත්තේ ආවාට “ඕන මල්ලීට“ ස්තුතියි

      Delete
  8. ඇත්තටම විවෘතව කතා නොකරන තවත් එක මාතෘකිවක් ඒවගේම දරුවන් නැති විවාහක ඇතැම් විට ඒ හේතුවෙන්ම දික්කසාදය ලබාගන්නා අවස්ථාවන් තියෙනවා. ඒවාට හොඳම විසඳුම මෙනැනි නිසි විද්‍යාත්මක ලිංගික දැනුමක් ලබා දිමයි. මේවා සමාජය ඉදිරියට නොබියව ගෙන යායුතු දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසි දැනුම නිසි කළට නිසි අයුරින් ලැබෙනවා නම් සිදුවන කරදර ගොඩක් අඩු කරගන්නට පුළුවන් මටත් හිතෙන විදියට ..
      ස්තුතියි ඔබටත්

      Delete
  9. සාඩම්බර ශ්‍රී ලාංකිකයෝ වෙන්න පුළුවන් මේ විදියට මේ දේවල් ගැන කතා කරන්නට පටන් ගත්තම! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණිම සතුටක් ..ස්තුතියි

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)