2013/04/08

130) දිවට සතුට දී හදවත රිද්දූ මාසෙට පඩි දුන් පොඩි සුද්දී ..... ????


අවුරුද්දත් ළඟ ළඟ එනවා, අපේ පුංචි කාළෙ නම් මේ දවස් වෙනකොට ගෙදර ඔක්කොම එකතු වෙලා , පොල් ගාගෙන කිරි හදාගෙන , ලොකු තාච්චියක දාගෙන දොදොල් පතු ගාන කාළෙ . ඒක බොහොම සුන්දර පුංචි යුද්දයක් වගේ තමා. හරියට පදමට පිටි , පැණී , කිරි එකතු කරලා , පදමට ලිපේ ගින්දරත් හසුරුවගෙන තාච්චිය පුරා දොදොල් පත්ත ගෙනියන එක ලොකු රාජකාරියක්. දොදොල ටික ටික හරියාගෙන එත්දි පතු ගාන එක තමා අමාරුම වැඩේ , ලොකු මහන්සියක් ගන්න ඕන , ලිපේ රස්නෙත් එක්ක ඒ මහන්සිය තවත් වැඩි වුනත් තව ටිකකින් අතට ලැබෙන රස කෑම මතක් වෙත්දි ඉබේ පතු ගෑවෙනවා මට තාමත් මතකයි . 



කළු නැති කළු දොදොල්
ඔය රාජකාරියේ ලොකුම කොටස බාර ගන්නේ අම්මා , ඔක්කොම කළමනා නිසි පදමට ඒදන්න “අතහුරුව“ තිබුණේ ඇයටමයි , මේ අතහුරුව “දොදොළට “ විතරක් නෙවි හැම බතකටම , එළවලුවකටම ඇයට තිබුණා, 
ගලේ අඹරපු තුනපහ ගුලිය , කළු පාට වෙච්ච ලුණූ පොලොත්ත ( මේ අපේ ගම් පළාතේ භාවිත වුනු වචනය , මෙවන් දේ ගැන කතා කරන්න මෙන්න මේ බ්ලොග් පිටුවටත් ගිහින් බලන්න) , අතේ හුරුවටම හැඩ ගැහුණු පොල් කටු හැන්ද එදා කුස්සියේ නිත්‍ය සාමාජිකයෝ වුනා , අද මේ බොහොමයක් ක්ෂණීක නාමයත් එක්ක පුංචි වෙලා , පැකට් වෙලා , කුඩු බවට පත් වුනත් මටනම් තවම දැනෙන්නේ එදා බතක මාළුවක දැනුනු රස අද නැත්ද කියලා. මේ අතරින් ලොකු වෙනසක් වුනු දෙයක් තමයි “ලුණූ“ ....එදා රුපියලක් වගේ මිලකට ගත්ත “කැට ලුණු“ පස්සේ කාළෙකදි “ලුණූ කුඩු“ වුනා , ඒ එක්කම ඒකට අයඩින් මිශ්‍රවුණා. ඒ එක්කම කුස්සියේ පදිංචි වෙලා හිටිය “ලුණූ පොලොත්ත“ නැත්නම් ලුණූ පොල්කට්ට අපටත් නොකියම යන්න ගියා ......

සිංහල අවුරුද්ද ළඟ එත්දි මේ මොකක් ගැන කතා කරන්න හදනවද කියල ඔබට කුකුසක් ඇති , ඔව් මොකද සොඳුරු සුව අසපුව රෝග සහ ඒවායෙන් ආරක්ෂා වන විදිය ගැන මූලිකව කතා කරන පිටුවක් නිසා. ලෙඩ වුනාම විතරක් හිතන  ලෙඩ ගැන ඊට ඉස්සර වෙලා කතා කරන එකේ වටිනකම හඳුගත්තු ඔබ නිසාම තමයි මේ පිටුව මෙතෙක් රැඳෙන්නේ , මොකද , කිසිදු වාණිජ අරමුණක් නැති , ඒ කීවේ මෙම බ්ලොග් පිටුව පෞද්ගලික වාණීජමය ප්‍රචාරණ මාධ්‍යයක් හෝ වෙළඳ ප්‍රචාරක කටයුත්තක යෙදෙමින් මුදල් උපයා ගැනීම අරමුණූ කරගෙන ලියැවෙන ලියැවිල්ලක් නොවන වග හිතමිතුරු ඔබ දන්නවා, එහෙම නම් සොඳුරු සුව අසපුව ඉදිරියට යන්නේ ඒ , ඔබේ හිතවන්ත බවේ පෙළඹවීම නිසාමයි. 

එහෙම නම් දැන් මම කියන්නම් අද කතා කරන්න හදන දේ ගැන .............ඒ තමයි දිවට රස දෙන ලුණු ....

ලුණූ ...එහෙම නැත්නම් විද්‍යාත්මකව කිව්වොත් “සෝඩියම් ක්ලෝරයිඩ්“ ස්වභාවික රසකාරකයක් විදියට යොදා ගන්නේ මීට අවුරුදු පන්දහසකටත් පෙර සිට , ඒ චීන ජාතිකයන් විසින් , ඔවුන් මාළු වලට රසකාරකයක් ලෙසින් “ලුණූ“ එක් කරන්නටත් යම් ඖෂධීය නිශ්පාදනයන්ට එක් කරගන්නටත් ඔවුන්  හුරුවී සිටි බව හඳුනාගෙන තිබෙනව. ඒ විතරක්ද අද අපි ගන්න “පඩිය,“ වැටුප , වේතනය කියන ඉංගිරිසි පදය Salary හැදෙන්නත් මේ ලුණූ පසුබිම් වෙලා තියවලු. තව දෙයක් , දැන් ඔය රසකර කර කන Salad එකේ නමටත් මේ ලුණූ හේතු වුනු බව ලුණූ ගැන ඉතිහාසය සොයත්දි දැන් ගන්නට ලැබේවි .

හරි , ඉතිහාසේ කොහොම වුනත් අපට අද කතා කරන්න වෙලා තියෙන්නේ වර්තමානයේ මේ ලුණූ , මිනිසාගේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියන එක , ඒ නිසා අපි දැන් අපේ කතාව හරි පාරට ගන්නයි හදන්නේ.

මෙතුවක් වෙලා , ලුණූ , ලුණූ කියමින් ආ චවනේ දැන් පොඩ්ඩක් එහා මෙහා කරන්නයි හදන්නේ , මොකද දන්නවද අපේ සෞඛ්‍යට ලුණු වල බලපෑම ගැන කතා කරත්දි මේ ලුණූ වල ඉන්න “සෝඩියම්“ කියන කෙනා ගැන තමයි වැඩිපුර කතා කරන්න වෙන්නේ. ඒ නිසා මෙතැනින් එහාට “ලුණු“ කියල කිව්වට ඇත්තටම කතා කෙරෙන්නේ “ලුණූ“ ඇතුලේ ඉන්න “සෝඩියම්“ කියන කෙනා ගැනමයි .

ඉතින් මේ කියන “සෝඩියම්“  Sodium කොහොමද අපට ලෙඩ දාන්නේ ? ....මේක ටිකක් දිග සංකීර්ණ කතාවක් නොවෙන්න සිද්ධවෙනදේ ටිකක් කෙටියෙන් කියන්නනම් , 

අපේ අඟේ සාමාන්‍ය ජීව ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නට ඕන කරන දේවල් අතරේ අප මේ කතා කරන සෝඩියම් , තව කැල්සියම්, පොටෑසියම් වගේ අය වැදගත් වෙනවා.  ඒත් ඒ වැදගත්කම රැකෙන්නේ ඒ අය නිසි පමණට , සමතුලිත මට්ටකමක හිටියොත් විතරයි , මේ එක්කෙනෙක් හරි වැඩි වුනොත් ඒ අය අතරේ තියෙන සමගිය බිඳ වැටෙනවා  , ප්‍රතිපලේ මොකක් හරි අසාමාන්‍යතාවයක් , සමහර විට ලෙඩක් . ඉතින් ඔන්න ඔය වගේ යම් සමතුලිත මට්ටමක තියෙන්නේ ඕන සෝඩියම් වැඩි කරගත්තොත් වෙන්නේ මේ වගේ දෙයක් , දන්නවනේ ඉස්සර අර ලුණූ පොල්කට්ට මතක් වෙත්දි අපට ලුණූ කැට එක්කම “ලුණූ+වතුර“  නොවැ මතක් වෙන්නේ , ඒ කියන්නේ මේ සෝඩියම් සහ වතුර හොඳ යාළුවෝ කියල කියමු , දැන් අපේ කෑම වල ලුණු වැඩිපුර දාගත්තම බඩට වැටෙන ලුණූ අපේ ලේවලට ඇතුල් වෙන්නේ “මේං ආව සෝඩියම් ...කියාගෙනම ...“ ලේ වල සෝඩියම් වැඩි වුනු ගමන් ඒකටම හරියන්න ඇඟ ඇතුලේ වතුර එක් රැස්වෙන්න පටන් ගන්නවා.Water retention . 
දැන් ඉතින් ලේවල සෝඩියම් වැඩිපුර තියෙන කම් වැඩිපුර වතුර ...එතකොට මොකද වෙන්නේ ඇඟඇතුලේ දුවන ලේ පරිමාව වැඩි වෙනවා , ඒ කියන්නේ ලේ පොම්ප කරන  පොම්පෙට වැඩ වැඩි වෙනවා , ඒ කීවේ හෘදයට වැඩ වැඩියි , ලේ නහර වලට වැඩ වැඩියි , ඔය අස්සේ ලේ නහර වල බිත්තියේ තියෙන සෛල ඇතුලට රිංගන සෝඩියම් නිසා (සහ එයාගේ යාළු කැල්සියම් නිසා)  ලේ නහර පටු වෙන්නත් පටන් ගන්නවා . දැන් මොකද තත්ත්වේ , ඇතුලේ “ලේ වැඩියි“ , හාර්ට් එකේ තෙරපුම වැඩියි , ඔය අස්සේ ලේ නහර හීන් වෙලා , ඔන්න දැන් තමයි අපේ රැධිර පීඩනය ඉහළ යන්නේ , සාමාන්‍ය වැඩිහිටියෙක්ගේ 120/80 කියල ලියන බ්ලඩ් ප්‍රෙෂර් දැන් ඉතින් 140/90 වගේ ගණනකට එන්න පුළුවන් , සමහර විට ඊටත් වැඩිය . 

ඒත් වැඩේ කියන්නේ ඔය ඉල්ලක්කම් වලින් දැන ගන්නනම් ඕක ඉතින් දොස්තර මහත්තයට කියල මන්නව ගන්නම එපායැ . එහෙම දැන ගන්නකම් අපට මේ රැධීර පීඩනය වැඩිවීම “ඇඟට දැනෙන්නේ නැහැ “ , ඒ නිසානේ මේ අධී රුධීර පීඩනයට “නිහඬ මාරයා“ කියල කියන්නේ . කෙසේ වෙතතත් මේ සිදුවීම ටික කළක් අප නොදැනුවත්ව තිබෙන විට තමයි ඊළඟ නරක දේවල් ටික වෙන්නේ , මේ පාළනය නොවන අධිරුධීර පීඩනය දරා ගන්න හදවතේ බිත්ති ඝණ වෙන්න පටන් ගන්නව ( මේ විදියට හදවතේ බිත්ති ඝණ වීම කළකදි මරණයට හේතුවක් වෙන්න පුළුවන්) , වකුගඩු , අක්මාව වගේ ඉන්ද්‍රියයන් ලෙඩ දෙන්න පටන් ගන්නවා, ඒ විතරද මොළයට හානි කරන්නට පුළුවන් . අවාසනාව කියන්නේ මේ හුඟක් කරදර අපට “දැනෙන තරමට“ එත්දි ලොකු විනාසයක් වෙලා ඉවරයි , ඒ නිසා වැදගත්ම දේ තමයි මේ අවාසනාවන්ත “තදබදය“ ඇති නොකරගෙන ඉන්න එක , 

ඉතින් ඒකට කරන්න ඕන වැදගත්ම දෙයක් විදියට අද ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පර්යේෂකයන් කියන්නේ “සෝඩියම් සීමා කිරීම“ කියන දේ . දන්න සුද්ද සිංහලෙන් කීවොත් , ලුණූ , සහ ලුණු ආශ්‍රිත රසකාරක , ඒ වගේම සෝඩියම් අඩංගු  XXXමොටෝ (Monosodium glutamate) වැනි කෘතිම රසකාරක භාවිතය අතිශ්‍යය සීමා කරන්නට ඕන . 

සීමා කරන්න කීවම , මොකක් හරි සීමාවක් තියෙන්න එපාය නේද ? ....දැන් නම් කියන්නේ ලුණූ සහ ලුණූ ආශ්‍රිත රසකාරක එක් කරන්න එපා කියන එක ,මොකද මේ සෝඩියම් ඇඟට ඕන වුනාට , කෑම වලට ලුණූ දැම්මේ නැහැ කියල ලොකු හානියක් වෙන්නේ නැහැ , මොකද අප කන අනෙක් හැම එළවලුවකම , පළතුරකම , සෝඩියම් අවශ්‍ය ප්‍රමාණය තිබෙනවා , ඒ නිසා අමතරව ලුණූ නොදැම්මට වෙන අහිතක් නැහැ. අපි ගන්න කෑම වල 77%ක්ම තියෙන්නේ ඒවා සැකසීමෙදි එක් කරන ලුණු , ඊට අමතරව 11%ක් උයත්දි කුස්සියෙන් එකතුවෙන ලුණූ , ඉතින් ඉතිරි 12% ස්වභාවිකව එම ආහාරය තුල තිබෙනවා, එයම ප්‍රමාණවත් නිරෝගී ජීවිතයකට .

කෝ තවම ඉතින් අර සීමාව කීවේ නැහැනේ ..පොඩ්ඩක් ඉන්න මෙන්න මේ වගුවෙ තියෙන්නේ ඒ තොරතුරු ටික .


Recommended Daily Sodium Intake
Age                                                                                  (AI)                        (UL)
Children aged 1-3 years                                            1,000 mg             1,500 mg
Children aged 4-8 years                                            1,200 mg             1,900 mg
Teens 9-13 years                                                      1,500 mg              2,200 mg
Adults 14-50 years                                                    1,500 mg             2,300 mg
Older adults aged 51-70 years                                  1,300 mg              2,300 mg
Older adults over 70 years                                        1,200 mg              2,300 mg


ඔතන AI කියන පෙන්වන්නේ දවසකට ගන්න සෞඛ්‍යානුකූලව සුදුසු සෝඩියම් ප්‍රමාණය (Adequate Daily Sodium Intake) ඊට එහා පැත්තේ රතු පාට තීරුවේ UL කියල පෙන්වන්නේ ගත හැකි උපරිම සීමාව ,ඒ කියන්නේ ඊට වඩා ගන්න එක හානි කරයි කියන එක(Upper Daily Sodium Limit) . හොඳම දේ තමා නිල් පාට තීරුවෙ සීමාවෙ හෝ ඊට පහලින් ඉන්න එක , විශේෂයෙන්ම දැන් අවුරුද්දට අඩු දරුවන්ගේ ආහාර වලට අමතරව ලුණූ එක් කරන්න එපා කියන (Salt should never be added to food for children under the age of 1 year) එක තමයි පිළිගැනීම, එයට හේතුව “දිවට ලුණු රස හුරු වීම“ අනාගතයේ මේ විදියට අමතර සෝඩියම් ඇඟට දාගන්න හේතුවක් වෙන එක. 

දැන් ඉතින් අහන්න හදන්නේ මොකක්ද කියල මම දන්නව .... හරි මේ මිලිග්‍රෑම් ගණන් කීව්වට කුස්සියේ ඉන්න අපි කොහොමද ඔය ගණන් හදන්නේ ? ....ඕකනේ ප්‍රශ්නේ .....ඉන්න මම කියන්නම් හරිම සිම්පල් ප්ලෑන් එකක් ...මෙන්න මෙහෙම කරන්න ...

අපි කෑමට එක් කරන ලුණු ...තේ හැන්දක සෝඩියම් මිලිග්‍රෑම් 2300ක් ....ඒ කියෙන්නේ ඔය උඩ තියෙන චාර්ට් එකේ ඉහළම අගය , තව  විදියකින් කීවොත් මනුස්සයෙකුට දවසකට ගන්න ඕන උපරිම සෝඩියම් ප්‍රමාණය ඔය ලුණු තේ හැන්දේ තියෙනවා

ඔතනින්ම හිතා ගන්න පුළුවන් නේ අපට කොච්චර ලුණු හැදි ඕනද කියන එක ....දැන් ඉතින් ඔය හැන්දෙන් දාන ලුණූ ගැන විතරක් හිතල මදි , ඔය ගෙනාපු පැකට් එකේ , ටින් එකේ , සුප්කැටේ දවටනය බලන්න , ඒ දවටනයේ තියෙන පෝෂණ සටහනේ තියෙනවා කොයිතරම් සෝඩියම් අන්තර්ගතද කියන එක  , පුළුවන්කමක් තිබේනවා නම් පැකට්  , ටින් කෑම ගනිත්දි Low sodium හෝ No added sodium සටහන පිළබඳ සැකිළිමත්වෙන්න ....




අප ගන්න කෑම බීම වල තියෙන සෝඩියම් ප්‍රමාණය ගැන දැන ගන්න තව දුරටත් කැමැත්තක් තිබෙනවා නම් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් ඒ තොරතුරු සොයා ගන්න පුළුවන් .

http://nutritiondata.self.com/

මේ විදියට සෝඩියම් ප්‍රමා‍ණෙ දැනගත්තම අපට අපේ සීමාව හඳුන ගන්න පුළුවන් , කොහොම වෙතත් , ආහාර පිසීමෙදි එක් කරන ලුණූ , කෘතිම රසකාරක , මොටෝ වර්ග අඩු කිරීම , නතර කිරීම පළමු හොඳ උත්සාහයක් ‍වේවි , 

ඒ එක්කම අළුත් එළවළු පළතුරු ආහාරයට එක් කර ගැනීමත් ටින් කළ හෝ කෘතිමව කල් තබා ගැනිම් කළ ආහාර හැකි තරම් සීමා කීරිමත් වැදගත් . ඒ වගේම මාළු , කරවල වගේ දේ හදත්දි අමතරව ලුණු එක් නොකර , දෙහි හෝ ලෙමන් ටිකක් එකතු කර ගැනීම සෝඩියම් වැඩි කමට පාළකයෙක් වේවි ( හේතුව දෙහි , ලෙමන් දොඩම් වල තිබෙන පොටෑසියම් , අපේ සෝඩියම් එක්ක ටිකක් තරහ නිසා) .....


ඒ වගේම තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ගෙදරින්ම කෑම කන්න ...වැඩට යනව නම් කැන්ටිමෙන් කනවට වඩා සෞඛ්‍යට සුදුසුයි ගෙදර හදන කෑම එක . කොහොමත් ඉතින් පිටින් කනවට වඩා එක එක රසට ගෙදරින් කෑම කන එකනේ හොඳ :) .....

හරි ..දැන් මේ කියන විදියටම කෑම ගත්තම සෝඩියම් සීමා කරාම , අධිරුධීර පීඩනය හැදෙන්නේ නැත්ද ? ....මම කොතනකවත් එහෙම කීවද ...මට මතක නෑනේ ..... :) ... මේකයි කතාව ...අපි මේ කතා කළේ සෝඩියම් වැඩි පුර ගැනීම අධිරුධිර පීඩනයට හේතුවක් , සහ අපටම පාළනය කර ගත හැකි ප්‍රධාන හේතුවක් බව විතරයිනේ ...අධීරුධීර පීඩනය කියන ලෙඩේ ගැන කතා කරන්න අපට වෙනම දවසක් ඕන වේවි , මේ එක්කම ඒකත් කතා කළොත් ‘‘ලුණු වැඩි වෙන්න “ පුළුවන් නිසා ..අදට මෙතෙකින් නවතින්නනයි කල්පනාව . 

ඔන්න අන්තිමටත් කියන්නේ “ හැන්ද පන්නන්න එපා ....“ ?????????????????  ඒ කීවේ වැඩිහිටියෙක්ගේ දවසේ උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රැම් 2300 ( තේ හැන්දක ලුණූ ප්‍රමාණය)ට වඩා ගන්න එපා  ....ඒක අනාගතයේ ඔබේ ජීවිතයේ සුවයට බාධාවක් වෙන්න ලොකු ඉඩක් තිබෙනවා .....

එහෙම නම් අදට සමුගන්නවා .ඊට ඉස්සර වෙලා ඔබේ පුංචි ඉල්ලීමක් කරන්න හිතුනා , සොඳුරු සුව අසපුවේ හිතමිතුරු ඔබේ අදහස් උදහස් ලබා ගන්නට , එ මඟින් ඉදිරියෙදි විය යුතු වෙනස්කම් , සාර්ථක අසාර්ථක බව ගැන පොඩි වැටහීමක් ලබා ගන්නට පොඩි සමීක්ෂණයක් කෙරෙනවා . මේ පහත තියෙන සරළ ප්‍රශ්න ටිකට උත්තර දීලා Submit කරන්නට තරම් ඔබට විවේකයක් ඇතැයි සිතනවා . ඒ මොහොත සොඳුරු සුව අසපුව වෙනුවෙන් වැය කරන්නට කළගුණ දත් අප ශ්‍රී ලාංකීය ඔබ නිතැතින් යොමු වන බව මගේ විශ්වාසයයි .

සුව සතුට වැඩෙන දිනයක් ඔබ සැමට !