2014/08/06

මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් !

 පෙර ලිපිය ලියා මාසයකට ආසන්න කාළයක් ගත වුනත් , තවත් ලිපියක් එක් කරන්නට අවසථාවන් ලැබුණත් , සුදානම් වුනත් එය මොහොතෙන් මොහොත කල් යවන්නට හිත පෙළඹවන්නට තරම් , මානසික පීඩාවක් ඇති කරවන්නට සමත් වූ , සිංහල බ්ලොග් පාඨකයෙකුගේ “සත්කාර්යය“ පිළිබඳවයි අද දවසේ කතාව.



පිංතූරය www.blacknbougie.com
කෙනෙකුට හරසුන් දෙයක් ලෙස හැඟෙන්නටත් පුළුවන් , නමුත් අවශ්‍ය තැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතු යැයි හැඟෙන නිසා මම සටහන ලියමි. සටහන  තුලින් කිසිවෙකුගේ සිත් රිදවීමක් අපේකෂා නොකරන අතර , අදාල “සත්කාර්යය“ කරන පාඨකයා මෙය කියවන නිසා ඔහුට හෝ ඇයට වටහා ගත හැකි තරමින් සරළව ලියන්නට උත්සාහ කරමි.

සත්කාර්යය කුමක්ද ?  පසුගිය දින කිහිපය පුරා දිනපතාම , සොඳුරු සුව අසපුව සහ ඊට සබැඳි බ්ලොග් පිටු වෙත ,  එකම අර්ථයක් ඇති ප්‍රකාශයක් යොමු වීම .

මොකක්ද මේ  අසාමන්‍ය ප්‍රකාශය ?

“Anonymous has left a new comment on your post

“දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ.වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්.ඒ වගෙම මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?“

බැලූ බැල්මට කිසිම වැදගත්කමක් නැති ප්‍රකාශයක් ලෙස පෙනුනත් , එය තුල සැඟවුනු යම් අරුතක් ඇති බව කියැවෙන නිසාවෙනි අද දවසේ ලිපිය මේ ගැන කතා කරන්නට අරමුණු කළේ.

දන්නවනේ , සොඳුරු සුව අසපුවේ ලිපි කෙටි කතා නොවන බව , එ් ආකරයෙන්ම , අදත් මුල ඉඳළම කතාව පටන් ගන්නයි දැන් මේ හදන්නේ .

මොනවද මේ බ්ලොග් ? 
අන්තර්ජාලය තුල සටහන් කෙරෙන , සටහන් පොතක් , දිනපොතක් හෙවත් Web log එකක් , බ්ලොග් එකක් බවයි සරළ හැඳින්වීම . එය වෙනකෙකුට කියවිය , ශ්‍රවණය  කළ නොහැකි අතිශ්‍ය පෞද්ගලික ලෙස පවත්වා ගෙන යන්නේ නම් ඇත්තටම එය දිනපොතක් , දිනපතා , නැත්නම් වරින් වර සටහන් එකතු වන විද්‍යුත් දිනපොතක් . නමුත්  , එය තවත් පාඨකයන්ට , ශ්‍රාවකයන්ට බෙදා ගත හැකි පරිදි විවෘතව පවතින්නේ නම් එය “දිනපොතක්“ කියන සංකල්පයට වඩා ඉදිරියට ගමන් කරනවා.  අද වන විට අන්තරාජාලය පුරා බිලියන ගණනක බ්ලොග් නිර්මාණය වී පවතිනවා .

කවුද මේව ලියන්නේ ? 
පෙර පාසල් වයසේ දරුවන්ගේ ඉඳළ ලෝකයේ ඉහළම මට්ටම් විද්‍යාඥයින් දක්වා සියලු මට්ටම් වල රසිකයින් මේ බ්ලොග් පරිසරය තුල බ්ලොග් ලියමින් සිටිනවා. හුදෙක් විනෝදය පමණක් නොවේ , වෙළඳ අරමුණු ඇති , විිවිධ දේශපාලනික මතවාද , කළාව , විද්‍යාව ගැන වගේම , විවිධ සමාජ පර්යේෂකයින් පවා මේ බ්ලොග් පිටු පවත්වාගෙන යනවා. මම මෙතැනදි කතා කරන්නේ සිංහල බ්ලොග් ගැන පමණක් නොවෙයි. ලොව පුරා සියළු භාෂා වලින් පවතින බ්ලොග් සටහන් පිළීබඳවයි.

ඇයි බ්ලොග් ලියන්නේ ? 
විවිධ අරමුණූ ඇතිව , අයෙක් තමන්ගේ පාළුව කාන්සිය මකා ගන්නට ලියනව වෙන්නත් පුළුවන් . තවත් අයෙක් , තවත් ප්‍රජාවකට පීඩාව්ක ඇති කිරීමේ අරමුණෙන් ලියන්නත් , වෙන අයෙක් තම නිර්මාණශිලීත්වය නිදහසේ ලොවට යොමු කරන්නටත් මේ මාධ්‍යය යොදා ගන්නවා ඇති. ඔය වගේ විවිධ අරමුණ , අපේක්ෂා මත ලොව පුරාම මේ බ්ලොග් බිලියන ගණනත් සක්‍රියව පවතිනවා අද වන විට.

එතකොට සොඳුරු සුව අසපුව කියන්නෙ ?
ඔව් , සොඳුරු සුව අසපුව කියන්නේ තවත් සිංහල බ්ලොග් පිටුවක් , සිංහල යුනිකේත හඳුන්වා දුන් ශ්‍රී ලාංකික තරුණ තාක්ෂණවේදීන්ට ස්තුති වන්නට , සිංහලෙන් අකුරු කෙරෙන තවත් බ්ලොග් පිටුවක්. මූලිකව සෞඛ්‍ය සහ ඒ සම්බන්ධ මාතෘකා ගැනත් , ඉන් අමතරව ලොවට සුන්දර වූ විවිධ මාතෘකා ගැන කතා කරන්නටත් නිදහසේ ලියන්නට  blogger ගෙන නොමිලේ ලැබෙන අන්තර්ජාල ඉඩහසර යෙදා ගත් සිංහල බ්ලොග් සටහනක් ,( අද වාර්ෂිකව මුදල් ගෙවමින් පවත්වාගෙන ගියත් ) . ඇත්තෙන්ම මෙහි මුල්ම අරමුණ වුනේ , මගෙන් දුරස්වන “මගේම සිසු දරුවන් පිරිසකට“ දුර ඈත රටක ඉඳගෙන හරි , තව දුරටත් යමක් කියා දීම වුනත් , පසුව ඒ අරමුණ ඊට වඩා ටිකක් පුළුල් කරන්නට හේතු වුනේ මා ප්‍රිය මිතුරු මිතුරිය ඔබගේ දිරි ගැන්වීම් නිසාමයි. මේ ගැන “මා ගැන “ පිටුවේ http://www.nursinglk.com/p/blog-page_19.html සටහන්ව ඇති නිසා නැවත ලියන්නට අවශ්‍යතාවයක් නොවන බව දනිමි.

එතකොට , මේ පිටුවට ලියන්නෙ “දොස්තර “ කෙනෙක්ද ?
නැහැ , මේ පිටුව තුල අඩංගු සියළුම ලිපි ලියැවුනේ , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල මාණ්ඩලික හෙද නිලධාරියෙක් ලෙස ලියාපදිංචිය , වෘත්තීමය නෛතික බැඳීමක් ඇති හෙද නිලධාරිවරයෙක්. මේ පිළිබඳව බොහොම විවෘතව “මා ගැන “ පිටුව තුල මෙන්ම , විවිධ ලිපිතුලද මා වරින් වර සටහන් තබා ඇති බව මතකයේ ඇත.

වෛද්‍යවරයෙක්ට  හැර වෙන අයට අයිතියක් තියෙනවද “ලෙඩ රෝග“ ගැන ලියන්න.?
බ්ලොග් කියන්නෙ බොහොම විවෘත මාධ්‍යයක් , ඕනම කෙනෙක්ට ඕනම මාතෘකාවක් ගැන ලියන්න පුළුවන්. ඒත් යම් විෂයානුබද්ධ මාතෘකාවක් ගැන ලියැවෙනවා නම් , ඊට අදාල විෂයානුබද්ධ සහ ප්‍රායෝගික දැනුම ඇති අයෙක් එය ලියනවා නම් එහි සාර්ථක බව සහ පරිණත බව වැඩියි. විශේෂයෙන්ම සෞඛ්‍ය හා සම්බන්ධ මාතෘකාවක් ගැන කතා කරත්දි මේ තත්ත්වය හුඟක් වැදගත්. නමුත් එයින් කියැවෙන්නේ නැහැ , “සෞඛ්‍ය ගැන “ ලිපි/ බ්ලොග් ලිවිය හැක්කේ /යුත්තේ වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක්ම පමණක් බව. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ඕනෑම වෘත්තිකයෙකුට ( නියමිත සිද්ධාන්ත / ප්‍රාෙයා්ගික පුහුණූව සම්පුර්ණ කළ සහ විෂයානුබද්ධ අත්දැකීම් ඇති) සෞඛ්‍ය ගැන ලෙඩ රෝග ගැන කතා කරන්න , ප්‍රජාව දැනුවත් කරන්නට ආචාරධර්මානුකූල වගේම නෛතික අයිතියකුත් , ඊට වඩා වගකීමකුත් තිබෙනවා. උදහරණයක් විදියට ඖෂධවේදීයෙක් , යම් ඖෂධයක් ශරීරය පුරා ක්‍රියාත්මක වන ආකාරය, රෝග තතත්වය සුව කරගන්නට උපකාර කරන විදිය වගේම , සිදුකරන අහිත කර ප්‍රතිපල ගැනත් ප්‍රජාව දැනුවත් කළ යුතු වෙනවා. වෘත්තීය චිකිත්සකවරයාට පුළුවන් , අදාල වූ රෝග තත්ත්ව , පවතින ප්‍රතිකාර සහ ඊට අදාල කරුණූ ගැන දැනුවත් කරන්නට. (බ්ලොග් පැත්තෙන් උදාහරණ ලෙස කිහිපයක්  http://thesportsphysio.wordpress.com/ , http://atyourcervix.blogspot.ca/)

අවාසනාවකට අපේ රට තුල “සියල්ල බදාගත්“ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුනත් , සෞඛ්‍ය අතින් ඉහළ මට්ටමේ ඇති රට වල “සෞඛ්‍ය සේවාව “  කියන්නේ “බදාගත් සේවයක්“ නොවෙයි , එය වෘත්තීන් කිහිපයක් අතරේ බෙදා ගත් සේවාවක්, ඒ සියල්ල නිසි ලෙස එක්වී team work එකක් විදියටයි රෝගියාට ප්‍රතිලාභ ලබා දෙන්නේ. අන්න ඒ කණ්ඩායම් සංකල්පය තුල මේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීමේ කර්තව්‍ය අදාල සියළු වෘත්තිකයන්ට පැවරෙන වගකීමක්. 

සොඳුරු සුව අසපුව ලියන මම , රජයේ හෙද විදුහලක , වසර තුනක කාළයක් සිද්ධාන්තමය සහ ප්‍රාෙයා්ගික විෂයයන් තිහකට වඩා අධ්‍යයන කර , අදාල පරික්ෂණ සමත්ව , ඊට පසුව ලංකාවේ පවතින ක්‍රමවේදය මත “ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල“ ලියාපදිංචිය ලබන්නේ . ඊට අමතරව , වසර දොළහකට වඩා වැඩි සේවා කාළය තුල  , දේශීය වගේම විදේශීය වශයෙනුත් ලබා ඇති පුහුණු ඔස්සේ ලැබුණූ දැනුම සහ පන්නරය මත , සෞඛ්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ඇති බව මගේ විශ්වාසයයි. කැනඩා දේශය තුලදී මා ලද පාඨමාලාවන් නිසා  , නවතම සෞඛ්‍ය දැනුම එකරැස් කරගන්නට ලැබීම වාසනාවක් ලෙස දකින්නට කැමැත්තෙමි. සොඳුරු සුව අසපුව තුල ලියවෙන ලිපි තුල , සාම්ප්‍රදායික දැනුම මෙන්ම , ඒ නවතම සෞඛ්‍ය දැනුමද මුසු කරලන්නට මම හැම විටම උත්සාහ කළෙමි.

දිගු ලිපියක් ලියන්නට පෙරවදන් දුන් “ප්‍රකාශනයට“ පිළිතුරු ලියන්නට පෙර එකක් කිව යුතුය . එනම් “සෞඛ්‍යය , ලෙඩ , බෙහෙත් “ යන මාතෘකා , එක් බමුණු කුළයකට පමණක් අයිති වන ලෙස බ්‍රහ්මයා මවා දුන් දේ නොවේ , එය සියල්ලට අදාල මාතෘකා වන අතරේ ඒ ගැන දැනුවත් කිරීමේ මූලික වගකීම රටක සෞඛ්‍ය වෘත්තීක කණ්ඩායමට භාරවේ . හෙද නිලධාරිවරයෙක් ලෙස මගේ වෘත්තිය දිශාවෙන් ඇති වගකීම , ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ Internatioanl Nurses Council අර්ථදැක්වීම ඔස්සේ ගෙනහැර පාන්නට කැමැත්තෙමි.

DEFINITION OF NURSING
Nursing encompasses autonomous and collaborative care of individuals of all ages, families, groups and communities, sick or well and in all settings. Nursing includes the promotion of health (සෞඛ්‍ය ප්‍රවර්ධනය) , prevention of illness (රෝග වලක්වා ගැනීම), and the care of ill(රෝග සත්කාරය), disabled and dying people. Advocacy (උපදෙස් ලබා දීම) , promotion of a safe environment(ආරකෂිත පරිසරයක් ලබා දීම) , research (පර්යේෂණ) , participation in shaping health policy (සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමට දායකවීම) and in patient and health systems management (සෞඛ්‍ය පද්ධති කළමණාකරණය , and education (සෞඛ්‍ය අධ්‍යාපනය ) are also key nursing roles.
(http://www.icn.ch/about-icn/icn-definition-of-nursing/)

දැන් අදාල නිර්ණාමික ප්‍රකාශය වෙත කරුණූ දක්වන්නට කැමැත්තෙමි.
  • දැන් හෙද නිලධාරීන්ද එතකොට මිනිස්සුන්ගෙ රෝග විනිශ්චය කරන්නෙ?
රෝග විනිශ්චය යනු , සංකීර්ණ පියවර රැසක ප්‍රතිපලයකි, පුද්ගලයෙක්ගේ සායනික /කායික හෝ මානසිකව පවතින අසාමාන්‍යතාවන් , සහ ප්‍රමාණයන් පිළිබඳ තක්සේරු කොට යම් තීරණයක් ලබා දීම ලෙස ඉතා මතු පිටින් එය හඳුන්වා දිය හැකි අතර සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක මේ කාරණා සම්පුර්ණ කර “රෝග විනිශ්චයන්“ ලබා දී නැත . මා කර ඇත්තේ යම් රෝග තත්ත්වයක් පිළිබඳව විස්තරාත්මක සහ සාමාන්‍ය ප්‍රජාවට දැනගත යුතු සහ තේරුම් ගත හැකි මට්ටමේ පැහැදිලි කිරීම් පමණි.
  • හෙද නිලධාරියා කියන්නෙ රෝගියාට හෙදකම සපයන කෙනා මිස වෙදකම සපයන කෙනා නෙමෙයි නේ
එසේය , හෙද නිලධාරියා කරන්නේ හෙදකම සැපයීමයි , නමුත් හෙදකම සැපයීම යනු හුදෙක් බෙහෙත් පෙත්තක් කටට දැමීම හෝ තුවාලයකට බෙහෙත් දැමීමක් පමණක් නොවන , ඊට වඩා සංකීර්ණ ක්‍රියාදාමයකි. අවාසනාවකට අපේ රටේ ඇති හෙද හිගය සහ තවත් හේතු නිසා ඒ සංකීර්ණ හෙද ක්‍රියාදාමය (Nursing Process) සාමාන්‍ය ප්‍රජාවට හඳුනාගැනීමට අවස්ථාවක් නැති වීම මෙන්ම ඒ පිළිබඳව ප්‍රජාව තුලට අවබෝධයක් ඇති කරවන්නට පෙළඹවීමක් හෙද වෘත්තිකයන් තුලද පෙනෙන්නට නොවීම “බදාගත් සෞඛ්‍ය සේවයක්“ බිහිවීමට හේතු ලෙස මම දකිමි. ඉහත දක්වා ඇති සියළු කාර්යයන් හෙදිය සතු වගකීම් වන නිසා නැවත ඒ ගැන ලියන්නට උත්සාහ නොකරමි.

  • වෛද්‍ය පොත් පත් වලින් බල බල වෛද්‍ය කරුනු කියන එක කොයිතරම් සදාචාරවත්ද?
වෛද්‍ය විද්‍යාව යනු දිනපතා දියුණූ වන , පර්යේෂණ කෙරෙන විෂය ක්ෂේත්‍රයකි. ඒ නිසා යම් රෝග තත්ත්වයක් පිළිබඳව අද ලියන දේ හෙට වන විට වෙනස්වී තිබෙන්නට පුළුවන්. ඒ නිසාම ලෙඩ රෝග ගැන ප්‍රජාව දැනුවත් කිරීමේදි , අදාල අළුත් දැනුම ලබා දිම වඩා ඵලදායී වේ. ඒ නිසාම නොව , ඕනෑම රෝග තත්ත්වයක් ගැන සටහනක් , පොතක් ලිවීමේදි සියල්ලන් ආශ්‍රිත ග්‍රන්ථ ඇසුරු කිරීම ,නව පර්යේෂණ පිළිබඳව පුදුමයක් නොවේ , , එසේ නොමැතිව සාස්තර කියන්නා සේ ලෙඩ රෝග ගැන දැනුවත් කිරීම , වගකීමක් ඇති සෞඛ්‍ය වෘත්තිකයෙක් කරන්නේ නැත. 

මේ සටහන ලිවීමේදී මාද පර්යේෂණ ග්‍රන්ථ ඇසුරු කරමි (එ් පොත්පත් , වෙබ් අඩවි පිළිබඳව “මා ගැන පිටුවේ සඳහන් කර ඇත) , අදාල රෝග තත්ත්වය පිළිබඳ , ඊට අදාල ඖෂධ වල නවතම පර්යේෂණ වල අළුත්ම තොරතුරු විමසා බලමි . ( විශේෂයෙන්ම සායනික පර්යේෂණ ක්ෂේත්‍රය තුල වෘත්තියේ යෙදෙන මගේ බිරිඳගෙන් ඊට ලැබෙන සහය මා නිබඳ අගය කරමි) . සොඳුරු සුව අසපුව තුලට ලිපියක් එන්නේ මේ සියල්ලම එක්වූ පසුවයි , එසේ නොමැතිව හෙද විදුහල තුල විශේෂඥ වෛද්‍යවරයා කියා දුන් කරුණූ , නැත්නම් හෙද ආචාර්යවරයා ලබා දුන් සටහන් පමණක් මේ සඳහා පාදක කරගන්න්ට තරම් නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය නොකිරීම මගේ ආකෘතියයි. ඒ නිසා නවතම විෂය කරුණු , ප්‍රාෙයා්ගික සේවය තුල ලබා ගත් දැනුම සියල්ල මුසු කිරීමෙන් ලියැවෙන ලිපියකි සොඳුරු සුව අසපුවට එකවන්නේ.

  • මෙම කරුනු වල නිවැරදි කම පිලිබඳ විශ්වාශ කරන්නේ කෙසේද?
සොඳුරු සුව අසපුවේ කිසිදු ලිපියක , මේ සියළු කරුණු හිස්මුදුනින් පිළීගත යුතුයැයි සඳහන් කොට නොමැත්තෙමැයි . මා දැනගත් කරුණූ , අකුරු ගොඩක් කොට ලිපියකට එක් කළත් එය විවෘතය. එහි නිවැරදිභාවය සොයා ගන්නට ක්‍රම කෙතරම් ඇත්ද ? ලියැවි ඇති රෝග තත්ත්වය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඔබෙ පවුලේ වෛද්‍යවරයා හමු වූ විටෙක එය ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව ඇත. ඊට අමතරව පුස්තකාළය වෙතින් ලබා ගත් වෛද්‍යාත්මක කරුණූ අඩංගු පොතක් කියවන්න ඉඩක් වෙන් කරගන්නට පුළුවනි. එසේත් නැති නම් ලෙඩරෝග ගැන ජාත්‍යත්තරව පිළිගත් වෙබ් අඩවි ගණනාවක් ඇත . එවන් ලොව පිළිගත් වෙබ් පිටුවක් ඔස්සේ පැන නැගි ගැටළුව විසඳා ගන්නට අද ඔබට අවස්ථාව පවතී.
  • මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක්
  • මේ ප්‍රකාශය පිළිබඳව මම තීරණය කරන්නට උත්සාහ නොකරමි . ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙමි . සොඳුරු සුව අසපුව ඔස්සේ වසර තුනකට වඩා වැඩි කාළයක් ඔබ සමඟ කළ කතා බහ නිසරු යැයි ඔබට හැඟේ නම් පවසන්න , නිසරු වෙනම් , තවත් කාළය කා දමමින් දරු පැටවුන් සමඟ සතුටින් ගත කළ යුතු කාළය අන්තර්ජාලය ඉදිරියේ සිංහල අකුරු අමුණන්නට තවත් උත්සාහ කිරීමට අවශ්‍ය නොවේ යැයි සිතමි. 
    එසේ නිමා කළත් මම සතුටින් මේ සටහන නිමා කරමි , ඒ සතුටට හේතුව නම් , සිරි ලංකාවේ කම්කරුවාගේ සිට මිිලියනපතියා දක්වා එක්වී , නිදහස් අධ්‍යාපනය ලෙස මට ලබා දුන් වටිනාකම , උපන්  දේශය තුල මගේ වෘත්තිය කරන කාළ සීමාවේ දී හැකි පමණ සාධාරණව කරමින් ප්‍රතිලාභ ලබා දෙන්නට උත්සාහ කළෙමි , ඒ පිළිබඳව මම සතුටු වෙමි. වෘත්තිය අරගල කෙතරම් තිබුණත් , එදා මට මගේ ඒකකය , රෝගීන් වෘත්තීය අරගල වෙනුවනේ බිල්ලට ගන්නට සිත නොනැමිණි , එය සතුට හැඟිමකි. සනීපාරක්ෂක කම්කරුවාගේ සිට , විශේෂඥ වෛද්‍යවරයා දක්වා සියළු කණෟඩායම් සමඟ වෘත්තීය බැඳිමෙන් , මිත්‍රත්වයෙන් , රජයේ නීති රීති වලට අදාල කාළ සීමාව තුල සේවය කරන්නට හැකිවීමම සතුටක් ලෙස විඳිමි.
    ලෙඩ රෝග වලට , ජීවිත වලට හොඳ “මිලක්“  නියම කරන අද දවසේ , උපන් රටින් එපිට සිට උපන් රටේ බසින් ලෙඩරෝග ගැන කතා කරන්නට කළ උත්සාහය පිළිබඳ මෙතෙක් ආ දුර පිළිබඳ සතුටු වෙමි . ඒ වෙනුවෙන් මා සමඟ එකවූ , දිරිමත් කළ ඔබ සැමගේ මිත්‍රත්වය පිළිබඳ සතුටු වෙමි.
අවසානය , ඊරිෂ්‍යාව පොදු මිනිස් ලක්ෂණයකි, එය පාළනය කර ගන්නට තරම් උසස් හැකියාවක් නැති , නිර්නාමිකයෙකු ලෙස මේ ප්‍රකාශය යොමු කළ මිතුරා හෝ මිතුරිය වෙත යමක් පවසමි. මේ වැඩේ වැරැද්දක් ඇත්නම් , මට අයිති දෙයක් නොවේ නම් , මේ පිළිබඳව නිර්ණාමික ඔබට පෙර අදහස් දක්වන්නේ , සොඳුරු සුව අසපුව සටහන සමඟ නිරන්තරයෙන් එක්වන හිතමිතුරු , වෛද්‍ය නිළධාරින්ය වෛද්‍ය සිසුන්ය . නමුත් මේ වසර තුන පුරාවට මා දිරි ගැන්වීමක් මිස , බාධාවක් කරන්නට ඔවුන් නම් පෙළඹූනේ නැත. 

එමෙන්ම, මෙය වැරැද්දක් නම් ඒ  පිළිබඳව පැමිණිලි කරන්නට නීත්‍යානූකූල ආයතන රට තුල පවතී ශ්‍රී ලංකා හෙද සභාව , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒ ආයතනයි . ඔබට මෙන් මට සැඟවෙන්නට අවශ්‍යතාවක් නැත. මගේ තොරතුරු සියල්ල විවෘතව “මා ගැන “ පිටුවේ සටහන් තබා ඇත. ඔබ  , ඔබට හැකි දේ කරන්න ,මා මගේ හැකියාවේ තරමට යමක් කළෙමි , නමුත් සොඳුරු සුව අසපුව බ්ලොග් සටහනනේ කිිසිඳු තැනෙක ලෙඩ රෝග විකුණාගෙන කෑමේ  හෝ වෙනත් වාණිජ පරමාර්ථ නොතිබිණු අතර එවන් ආයතන / පුද්ගලයන් වෙත පහර ගසන්නටද උත්සාහ නොකළෙමි. මෙය හුදෙක් නිරාමිස සතුටක් වෙනුවෙන් ලියැවුනු තවත් එක් සටහනක් පමණි.

සොඳුරු සුව අසපුව කියවන , කියවු බුද්ධිමත් පාඨක ඔබ වෙත නැවත ඔහුගේ / ඇයගේ ප්‍රකාශය යොමු කරමි , “ මේ වැඩේ වැරදියි. ඔබට අයිති නැති දෙයක් “  මේ පිළිබඳව ඔබේ අදහස සටහන් කරන්නට ඔබට යෝජනා කරමි , මෙතෙක් කිසිදා කොමෙන්ට් කරන්නට ඉල්ලීම් නොකළත් , අද ඒ සඳහා ඔබට ආරාධනා කරමි . 

සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !

56 comments:

  1. අනේ උන්ට බම්බු ගහගන්ඩ කියන්ඩ

    ඔයා ඔය කාරනාගැන දැනුම දුන්නට අපිට බෙහෙත් කරන්ඩ එනවයැ

    අපි කොච්චර දැනුවත් වෙනවද මේ ලිපි වලින්

    මොකද එක දොස්තරයෙක් මෙහෙම ඒවා සිංහලෙන් ලියල තියනවද

    ඔව්වා ඉරිසියාවට කියන කතන්දර

    ඔයා මෙහෙම ලිපියක් ලියපු එකත් වැඩකට නැති වැඩක්

    බල්ලො උඩු බිරුවට යන ගමන නවත්තන්නේ කවුද

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ,, ඔය කුහක මිනිස්සු කියන ඒවා සතේකට ගණන් ගන්න එපා, ඔයා මේ ලිපියෙන් පැහැදිළි කරලා තියෙන දේවල් කියෙවුවොත් ඔය අනෝටම තේරෙයි එයාගේ මෝඩ ප්‍රකාශය කොච්චර නරකද කියලා,
      මේ බ්ලොග් එකෙන් මං නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා, ඉස්සරහටත් ලියන්න අපි වෙනුවෙන්,, අටම් අයියා කිව හැමදෙයක් එක්කම මාත් එකගයි,,

      බල්ලෝ බුරන්නේ තමන් බය දේවල් වලට,, ඒක මතක තියාගන්න අයියේ, ජය වේවා

      Delete
    2. මෙන්න උඹට මල් මිටක්!!

      Delete
    3. හරියට හරි..
      හැරිලා බලලා විතරක් යන්නැතුව "ඔයා මෙහෙම ලිපියක් ලියපු එකත් වැඩකට නැති වැඩක් "

      Delete
    4. ස්තුතියි අටම් මලේ , කුෂාන් මල්ලී , නිශාන්ත මල්ලී සහ අපුර්වී නඟාට ! ඔබ සැමගේ හෘදයාංගම අදහස් මට හුඟක් වටිනවා , 

      Delete
    5. අටං අයියා කියපු හැම දෙයක්ම හරියටම හරියටම හරි!! කියන්න දෙයක් නෑ, බල්ලෝ බුරන්නෙ බය දේවල් වලට!!

      Delete
    6. ස්තුතියි පිරේ මිත්‍රයා ,

      Delete
  2. ගණන් ගන්න එපා..ඇහුනේ නැහැ වගේ ඉන්න,දැන් ද කොහෙද දැකල තියෙන්න ..මගේ හිතේ..ලංකාවේ කොහොමත් ඔය වගේ දෙයක් නොකීවොත් තමා පුදුමේ...ජයවේවා නිශාන්ත අයියා

    ReplyDelete
    Replies
    1. ස්තුතිියි king Ramsis මලේ ! “ලංකාවේ කොහොමත් ඔය වගේ දෙයක් නොකීවොත් තමා පුදුමේ“ ඒකන්ම අැත්ත

      Delete
  3. අයියේ මෙහෙමයි... ඔයා ඔය වෛද්‍ය උපදෙස් මේකේ දාන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් වත් මුදල් හොයන්න වත් නෙමෙයි නේ.. ඔයා මේකේ දාන උපදෙස් වලින් කාට හරි යහපතක් බලාපොරොත්තුවෙන් නේ.. ඉතිං කැමති අය බලලා පිළිපැදපුවාවේ.. නැති එවුන් නිකන් ඉඳපුවාවේ..අර මැසේජ් එක දාපු දොස්තර මාත්තයට බිස්නස් අඩු වෙන්න ඇති.. ඔයා ඔයාගේ වැඩේ කරන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂාන් මල්ලී , කාටවත් කරදරයක් කරන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ , ඒ නිසා වෙනද වගේම ලියාගෙන යනවා කාටවත්ම කරදරයක් , පීඩාවක් නොවේවා කියල හිතාගෙන .

      Delete
  4. ඔනෙම හොද දෙයක් කරනකොට එක්කෙනෙක් හරි ඉන්නවා මේ වගේ.ගනන් ගත යුතු නැහැ.බොහෝ පිරිසක් ඉන්නවා ඔබ පිටුපස. වෙනද වගේම ලියන්න.ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , හැමදාමත් වගේ සොඳුරු සුව අසපුව වෙනුවෙන් ඔබ දක්වන හෘදයාංගම බව මට සතුටක් !

      Delete
  5. Do not worry about people like them and their comments.
    Your work is very great. I learnt very important things about human body and ailments from your blog and every day I am entering to your useful world of ‘soduru suwa asapuwa’ to search if there’s any new article which will me more knowledge. Please carryon your great work.
    Wish you success thankfully.

    ReplyDelete
  6. Do not worry about people like them and their comments.
    Your work is very great. I learnt very important things about human body and ailments from your blog and every day I am entering to your useful world of ‘soduru suwa asapuwa’ to search if there’s any new article which will give me more knowledge. Please carry-on your great work.
    Wish you success thankfully.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඒ වගේම සතුටක් යමෙක් සොඳුරු සුව අසපුව තුලින් සරු යමක් උකහා ගන්නවා දැකීම ග

      Delete
  7. පත්තරවල බෙහෙත් දෙන දෙව්ලොවින් ආ ඉසිවරයොයි, නයිටීඇන් එකේ බෙහෙත් කියන මන්තර කාරයොයි, සියළු ලෙඩ සුව කරන සෝමවාහිනී වෙද්දුයි, සියළු සතට පිහිට දෙන ගාලෙ තැන්නෙ කපුවයි, මැණිඛින්නෙ රොඩී කුප්පායමයි , ආශ්චර්යෙන් ඇස් පෙනීම දෙන පාදිලියොයි, තව මෙකී නොකී මිත්‍යාව සහ බොරුව මගින් මිනිස්සු අමාරුවෙ දාන රටක ඒ සියල්ල නෑසු කන්ව ඉඳල යම් යම් ලෙඩ රෝග ගැන "තාක්ෂනික" දැණුමක් නොමිලේ බෙදන එකාටම කෙලින්න හදන්නෙ තමන්ගෙ "දොස්තර" කබාය මුවවෙන් දැණුවත් මිනුස්සුන්ගෙ සාක්කුවට විදින බැරිවෙන බව දන්න කාලකන්නි ඉල්ලංකා නළාපපප්ල. ඉතින් ඕකුන්ට භයේ මහෙෂ් අකුලගන්න එපා. නිතර ක්මෙන්ට් නොකලට ඔබේ මේ ලිපි කියවන පිරිසක් ඉන්නව. ඒ වගේම මේව ජාලෙ සිංහලෙන් තියෙන එක "කවදා, කොතනකදි, කාට හෝ" වැදගත් වෙනවමයි. ඒ නිසා ඔබ ඔහොමම යන්න, මුන්ට බුරන්න බැරිනං අර කෙන්ජි කියන එක කරගන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික ! ඔබෙ අදහසට මම ඉහළින්ම එකඟයි , පාළනය කරනවා නම් , සීමා මායිම් හදනවා නම් මොන තරම් “ප්‍රසිද්ධ අපරාධ“ වෙනවද ?

      Delete
  8. Thamunta haki pamana eka pahanak ho dalweemen andurata erehiwa yamak kala haka.

    - Investi ano.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ! ඇත්තේන්ම අපි අපට හැකි පමණීන් යහපත් දේ ලොවට දෙන්නට උත්සාහ කරමු !

      Delete
  9. අයියේ,
    මේ සැරේ ලිපිය කියෙව්වම නම් කුණු හරුප එනවා කට පිරෙන්න.එත් ඉතින් මේක බලන්නේ මේ ලිපිය ලියන්න මුලික උන හැංගිලා බුරන සත්තු විතරක් නෙමෙයි නේ... මෙතුවක් කාලෙකට මේ බ්ලොග් එකට ඔහොම ගොම කොමෙන්ට් එකක් ආවාමයි මම හිතන්නේ...අනේ මන්දා මෙහෙමත් කුහක මිනිස්සුත් ඉන්නවා නේද කියලා හිතෙද්දි දුකයි.මේක ලියපු කෙනාගේ අරමුණ "ඔයාට මෙහෙම දෙයක් කරන්න අයිතියක් නැහැ කියලා " ලිපි ලියන එක නවත්තන්නද.?එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලික පලිගැනිමකටද දන්නේ නැහැ.හැබැයි මට නම් හිතෙන්නේ තමන්ට කරන්න බැරි දෙයක් වෙන කෙනෙක් කරද්දී බලන් ඉන්න බැරි කමට කියපු කතාවක් වගේ.
    ඇනෝ පිස්සොන්ට සැලෙන්නෙපා අයියේ.හැංගිලා බුරන්නේ ඉස්සරහට එන්න බය එවුන්නේ.උන්ට කවදත් හැන්ගිලම තමයි ඉන්න වෙන්නේ.
    අපි කවදත් ඔයාගේ ලිපි කියවනවා.අවශ්‍ය උනාම යාලුවත් අතර බෙදා ගන්නවා.එතැනදී එකිනෙකා අතර බෙදිලා යන දැනුම වෙනුවෙන් අපි හැමෝම ඔයාට ණය ගැතියි.ඔයා දිගටම ලියන්න.යහපත් අරමුණක් වෙනුවෙන් කරන කැප කිරීමට ඔබට බොහොම ස්තුතියි...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්ත මල්ලී ,
      මම දන්නව මේ වගේ අවස්ථාවක හෘදයාංගම බැඳිම් එක්ක සිතට එන්නෙ ආවේගයක් , මට අවශ්‍ය වුනේ ගැටළු ඇති කෙනටෙ පිළිතුරු ලබා දෙන්නට. ඒ වගේම මගේ පාර්ශවයෙන් වගේම කියවන ඔබ සැමගේ අදහසුත් ඔහුට ලබා දෙන්නට . එය සාර්ථක වුනා යැයි සිතනවා , නැවත ඔහුට /ඇයට ගැටළු මතු නොවේවි , මතුවුනත් පිළිතුරු දෙන්නට මෙවන් පිටු වෙන් නොවේවි !

      Delete
  10. හැංගිලා ලියන නිර්ණාමිකයෙකුගේ සටහනකට සැලෙන්න උවමනා නැහැ. මෙතැනින් ඉටුවෙන්නේ අනගි සේවයක්, ඉදිරියටත් එය බලාපොරත්තු වෙනවා.

    පල ඇති රුකටයි ගල් මුල් කවදත් වටහා ගන්නේ

    දිගු ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මිතුර ! මිනිසුන් ලෙස උපන් අපෙන් ලොවට යහපත් දෙයක් දෙන්නට නිරන්තරයෙන් අපි උත්සාහ කරමු.

      Delete
  11. හරි සිම්පල්නෙ...

    මේක හොඳ වැඩක්... වැරදි වැඩක් නෙවෙයි...

    හොඳ වැඩක් වෙන්නෙ මේකයි...

    මේ ලංකාවෙ ඉන්න අපි හැමෝම ලෙඩ රෝග ගැන පරතෙරට ගිය දැනුමක් ඇති අය නෙවෙයි... සමහර ලෙඩ රෝග ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ වැඩේ අන්තිම තිතට ගිහින් අසාධ්‍ය වෙනකං... එහෙමත් නැත්තං දොස්තර කෙනෙක් ළඟට ගිහින් උපදෙසක් ගන්න , ලැජ්ජාවට, සල්ලි නැතිකමට, කම්මැලි කමට, වෙලාවක් නැති කමට, ලෙඩක් කියල හිතන්නෙ නැති කමට ඔහෙ ඉන්නව... එහෙම වෙලාවට සීයට බොහොම අඩු ගානයි ගූගල් දෙයියගෙන් උදවු ගන්නෙ... ඉන්ටනෙටි තියෙන්නෙ වැල බලාන්ට විතරනෙ.. හි හි...

    එහෙම වෙලාවට මේ ලිපි මේල් මඟින් යවලා මාත් කීප දෙනෙක්ට උදවු කරලා තියෙනව... ඒ “මේ තියෙන්නෙ ලෙඩක්... ඉක්මණට ඩොක්ට කෙනෙක් ළඟට ගිහින් චෙක් කරගන්නව .. “ කියල .. එහෙමත් නැත්තං අර ලෙඩේ මේ ලෙඩේ කියල සැක කර කර දොස්තර දෙන බෙහෙත් ටික බිබී ඉන්න අයට, තේරෙන සිංහලෙන් තියෙන මේ ලිපි කියෙව්වම ලෙඩේ ගැන දොස්තර කියල දුන්න උපදෙස් ටිකෙත් අගමුල තේරෙනව...

    බොහෝ දෙනා තමන් දන්න දෙයක් තවත් අය අතරෙ බෙදා ගන්න කැමති නෑ... එක එක හේතු නිසා.. ගුරුවරු උනත් කරන්නෙ රස්සාවක් නෙ... ඒත් මේ වගේ තමන් මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ, තමන්ගෙ අත්දැකීම්, පලපුරුද්දෙන් තමන් ඉගෙන ගත්ත දේ, වෙන ලාබ ප්‍රයෝජන බලන්නෙ නැතුව බෙදාගන්න මිනිස්සුන්ට තමයි ඇත්තටම ගුරුවරු කියන්නෙ...

    ඔය කමෙන්ට් එක දැම්ම කෙනා එක්කො මේ ටික තේරුම් ගන්න බැරි කෙනෙක්.. එහෙම නැත්තං ඔය මං කිව්ව ජාතියෙ කුහකයෙක්... වෙන යටි අරමුණක් ඇති කියල හිතන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු ,
      මමත් මෙහි ලොකු යටි අරමුණක් දකින්නේ නැහැ , යම් මානසික ගැටළුවක් හෝ නොදැනුවත්කමක් මීට හේතු වෙන්න ඇති , කෙසේ වෙතත් මගේ පාර්ශවයෙන් සහ ඔබ සැමගේ අදහස් වලින් ඔහුට හෝ ඇයට අවශ්‍ය පිළිතුරු ලැබී ඇති බව මේ වන විට දැනෙනවා , මොකද මේ පෝස්ට් එකේන පස්සෙ මේ එකම ප්‍රශ්නේ ආයෙත් යොමු වෙලා නැහැ වගේ .

      Delete
  12. මහේෂ් ඕකත් මේ වගේ .............

    පාන් කිරිත්තා තක්කිට තරිකිට
    උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන
    කර බාගෙන වයතෙයි...
    උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
    දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක්
    කීචි බීචි කියතෙයි...

    පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
    නැටුම පටන්ගත්තේ
    අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
    හිරිහැරයක් නැත්තේ...
    කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
    වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාධා කරමින්
    ගීය පටන්ගත්තෙ...

    පාන් කිරිත්තා නැටුම නවත්තා
    කේන්තියෙන් ආවා
    කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
    අල්ලා සෙලවූවා...
    ඊට පස්සෙ ඌ සට සට ගාලා
    මොන මොනවද කීවා
    ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
    ඊට සවන් පෑවා...

    අනුන්ගෙ වැඩ ගැන විවේචනය
    කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන්
    කියලා කීය හඬා......


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. අගේ ඇති අදහස මිතුර ! විශේෂයෙන්ම මෙව්න අවස්ථාවක හිතට සැහැල්ලුවක් ඇති කරන බොහොම සුන්දර අදහස් දැක්වීමක් ! ස්තුතියි ඔබටත්

      අපේ ලිපියට මූලික වුනු මිත්‍රයාටත් කියන්නට තිබෙන්නේ “අනුන්ගෙ වැඩ ගැන විවේචනය
      කර කර ඉන්නවට වඩා
      තමන් දන්න දේ හරියට කරපන්
      කියලා කීය හඬා.....“

      Delete
  13. ඔය ප්‍රශ්නේ සාධාරණ නම්, දේශපාලනය ගැන කතා කරන්නේ දේශපාලන විද්‍යාව හදාරලා තියන අය විතරද?, තාක්ෂණය ගැන කතා කරන්නේ ඒ පිළිබඳ උපාධි තියන අය විතරද? ගීත, නාට්‍ය චිත්‍රපට ගැන කතා කරන්නේ කලාකාරයෝ විතරද? කියලත් අහන්න වෙනවා. ඉරිසියා හිතිච්ච දොස්තරයෙක් වෙන්න ඇති.

    මහේෂ් තොරතුරු ලබාදෙන ආකාරය ඉතාම සුදුසුයි. මූලාශ්‍ර තියනවා, බල කිරීමක් නැහැ. පෞද්ගලික වාසියක් නෑ. ඔය වගේ දේවල් වලට උත්තර දෙන්නවත් වෙලාව නාස්ති කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර , මගේ අපේකෂෘව වුනේ තවත් “ප්‍රශ්නයක් ඇති කෙනෙක්ට පිළිතුරු දෙන්නට“ , ඒ සඳහා ඔබ සැමත් එකතු කරගන්නට :)  , මට හිතෙන විදියට ඔහුට /ඇයට අවශ්‍ය පිළිතුරු ලැබෙන්නට ඇති කියල හිතෙනවා , ඒ නිසා නැවත මෙවන් ලිපියක් සොඳුරු සුව අසපුවට එක් නොවෙිවි , වෙනද වගේම සොඳුරු සුව අසපුව ඔබ සැම සමඟින් එක්ව ඉදිරියට ගමන් කරාවි .

      Delete
  14. මේම ලිපි මගෙන් ඔබ කරන සේව්‍ය ඉතා අගය කරනවා.නොනවත්වා සමාජය දැනුවත් කරන්න.ඔබ‍ට තෙරුවන් සරණයි

    ReplyDelete
  15. මහේෂ්ගේ ලිපි සියල්ලම, මුල ඉඳලම කියවලා මට ගැලපෙන ඒවා නැවතත් වෛද්‍යවරයා සමඟ සාකච්ජා කරලා සමහර රෝග නීර්ණවලට උදව් කරගත්ත, වටිනා ඒවා. මේ බ්ලොග් පිටු මම මිතුරු මිතුරියන් කී දෙනෙක් එක්ක බෙදාගෙන ඇතිද? ඔබ ගේ මේ සත්කාර්යය ඔබ නොදැනුවත්ව කී දෙනෙකුට උදව් වෙන්න ඇතිද?
    මම හිතන්නේ මෙවන් එක කමෙන්ටුවකින් ඒ සත්කාර්යය නවත්වන්න හේතු විය යුුතු නැහැ. ඒ ඇරෙන්නට මේ ලියන සියළු දේ අන්තර්ජාලයේ කොහේ හෝ තැනක සටහන් වී තිබෙන දේ. මහේෂ්ගේ වටිනා උත්සාහය නිසා ඒවා අපට ගැලපෙන්න ලස්සනට ගොනු කෙරුනු ලිිපි බවට පත්වෙනවා.

    මේවායේ ලිපි වල වරදක් ඇතොත් පෙන්වා දෙනවා මිසක් මෙවන් සේවයක් නවත්වන්න මේ කියනා ඇනෝට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි මට හිතෙන්නේ.
    අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා වෛද්‍යවරු නිර්දේශ කරන බෙහෙත් ගැන ආයෙත් හොයලා තමයි පාවිච්චි කරන්නේ. ලෙඩකට බෙහෙත් ගන්න ගිය හැම වෙලේම වෛද්‍යවරයා මගේ රෝගයට ආදාල විස්තර පොතකින් පරිගණකයෙන් පෙන්වනවා නම් කොච්චර හොඳද කියලා මට හැම වෙලේම හිතිලා තියනවා..

    කාලෙක ඉඳන් සොඳුරු සුව අසපුවේ සුව විඳින පාඨකයෙක් ලෙස මේ සටහන ඔබට උත්තේජකයක් වේ යැයි සිතනවා..

    ReplyDelete
    Replies
    1. ඔබ නැවැරදියි රූ , කළ යුතුව ඇත්තෙත් එයමයි . මේ උත්සාහය සමස්ථ ප්‍රජාවම “වෛද්‍ය විද්‍යාෙවේ ප්‍රවීණයන් කිරීම“ නොවෙයි , ලෙඩ රෝග ගැන අපි දැන සිටිය යුතු කරුණු කාරණා ටිකක් තේරුම් ගන්නට පුළුවන් විදියට අන්තර්ජාලයට සිංලෙන් මුදා හැරිම .

      ඔබ කියන දෙවන කාරණේ මේ රටවල නම් සිදුවෙනවා ,අප යම් රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගන්න ගියාම , වෛද්‍යවරයා , දෘශ්‍ය උපක්‍රම , පරිගණක, වීඩියෝ භාවිත කරමින් රෝගයේ ත්ත්තවය ස්වභාවය පල-අපල පැහැදිලි කරලා දෙනවා , එතැනින් නොනැවතී අනේක සියළුම වෘත්තිය කණෟඩායම රෝගියා සමඟ තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්නට පෙර නැවත , නැවතත් මේ දැනුවත් කිරීම කරනවා , එයත් මේ රටවල සෞඛ්‍ය තත්ත්වය ඉහළින් තිබෙන්නට හේතුවක් !
      ස්තුතියි රූ , ඔබ හැමදාමත් සොඳුරු සුව අසපුව වෙනුවෙන් දක්වන හෘදයාංගම බවට

      Delete
  16. කොටින්ම කියනවනං ඔයැයි ට කියන්න තියෙන්නෙ ඔයැයි ඇවිල්ල පිස්සු *කෙක් (සොරි වෙන්ට ඕනෙ.. එහෙම නොකිය බෑ..) මේ කොහෙවත් යන සිඟිති ආතල් පස්සෙ දුවන්නෙ...මට හිතෙන්නෙ ඕක ඩොකෙක් වෙන්න ඕනෙ.... මිනිස්සු නොදැනුවත් කමේ තියන්න තමයි උන්ට ඕන.. එතකොට නිකං බුවාල වගේ ඉඳගෙන ලෙඩ්ඩු අන්ඳගෙන ගාන කඩා ගත හැකිනෙ. ..වැඩවසම් පසුගාමී කුහක හැත්ත..... උං හිතං ඉන්නෙ ඩොකාල කියන්නෙ මා....ර පොරවල් කියල...උයා ඕව ගනං ගන්න එපා අනේ.... ඔයාගෙ වැඩේ ඔයා කරං යන්න... ඔයා ඔය කරන දේ සෑහෙන වටිනව. ඔයාට පුලුවන්නං ලංකාවෙ පත්තර වලටත් ලියන්න ඒක ලොකු සමාජ මෙහෙවරක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර මේ “අමු අවංක වචන ටිකට“ , ඒ වගේම සතුටක් ඔබේ එක්වීම .

      Delete
  17. ************* ස්තුතියි ඔබ සැමගේ අදහස් , දිරි ගැන්වීම් සහ විශේෂයෙන්ම දැක්වූ හෘදයාංගම බවට. මේ හෘදයාංගම බැඳීම් ඇතිතාක් සොඳුරු සුව අසපුව අළුත් වෙමින් ඉදිරියට යාවි.

    ඇත්තෙන්ම මෙය ඒතරම් උනන්දු නොවිය යුතු කරුණක් වුනත් පසුගිය දින කිහිපය පුරාම දිනපතාම මේ ගැටළු නිර්ණාමිකය මාවෙත යොමුවූ නිසා , ඔහුට හෝ ඇයට අවශ්‍ය පිළිතුරු ලබා දීමට සුදුසුම ක්‍රමය ලෙස “ සොඳුරු සුව අසපුවේ ලිපියක් “ තෝරා ගත්තේ.

    ඔහු හෝ ඇය අපේකෂිත පිළිතුර ලැබෙන්නට ඇති බව හැඟෙන නිසා නැවත මෙවන් ලිපියක් එක් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතන අතර , සාමාන්‍ය පරිදි ලිපි එක් කිරීමට කටයුතු කරමි .

    ***************** නැවත නැවතත් ස්තුතියි ඔබට මා මිතුර මිතුරිය ඔබට !

    ReplyDelete
  18. ලෝකෙට හොඳක් වෙන දේවල් පටන් ගන්නයි. ඒව පවත්වගෙන යන්නයි හරි අමාරුයි. ඒ ගැන මට වැඩිය ගොඩක් දැනුම් තේරුම්, අත්දැකීම් ඔබ තුමාට ඇති. තමන් තමන්ගෙ හදවතට එකඟව හරි දේ කරනවනං සහ ඒ දෙයින් අනිත් අයට හොඳක් වෙනවනම් එක්කෙනෙක් දෙන්නෙක්ගෙ පටු ආකල්ප එක්ක ඔට්ටු වෙන්න යන්න ඕනි නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මිතුර ! , ඒ වගේම සතුටක් ඔබේ මේ සරු අදහස් . ස්තුතියි ඔබට

      Delete
  19. සිංහල මිනිස්සුන්ගෙ සිස්ටම් එක තමයි මොකක් හරි හොඳ වැඩක් කරගෙන යනකොට ඒක හොඳයි කියල පේනකොට ඒකට මොකක්හරි අඩුවක් හෝ වැරැද්දක් පෙන්නල ඒවැඩේ අතරමග නතර කරන එක.

    මේව ඉවසලා ඉන්න බැරි අය ඇති ඒක ලෝකෙ ස්වභාවය. ගනන් ගත යුතු දේවල් නෙවේ. හදන්න පුලුවන් මිනිස්සුත් නෙවේ. අපි අපේගමන ඉස්සරහට යමු. මේ විදියටම. බාධක එනකොටඒ ගමනෙත් පොඩි හැඩයත් ලස්සනක් තියෙනවා.

    ගනන් ගන්න එපා මහේෂ්... මේව සැළකිය යුතු දේවල් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබේ ඒක නම් ඇත්ත , ඔය අත්දැකීම නම් ඕන තරම් ලැබිලා තියෙනවා  , ඒත් මේ අහපු කෙනාගේ නොදැනුවත්කමට සහ “ සාධාරණ ප්‍රශ්නයට “, දැනුවත් කිරීමක් කරන්නට අවශයි කියල හිතුන , මොකද නැත්නම් ඒ පුද්ගලයා නිරපරාදේ කළබල වෙනවා . මේ ලිපිය ඒ ප්‍රශ්න වලට ඔබ හැම සමඟින් කළ පිළිතුරු සැපයීමක් පමණයි ,
      නැවතත් ස්තුතියි ඔබට , ඔබ සැමගේ දිරි ගැන්වීම සොඳුරු සුව අසපුවවට සවියක් !

      Delete
  20. obathumage blog eken apa labaganna denuma kiyala nima karanna be. eka me blog eke kattiyama piliganna deyak.a nisa kenek mehema deyak kiyu nisa aluth blog pala nokara inna eka harima aparadayak.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට සහ දිරි ගැන්වීමට . මේ නිසාවෙන් අළුත් පෝස්ට් එකතු නොකර ඉන්නවා නොවෙයි . මේ දවස් ටිකේ අළුත් ලිපියක් ලියන්නට ප්‍රමාණවත් විවේකයක් නොලැබුණු තරම් , පොඩ්ඩන්ගෙ නිවාඩු කාළේ නිසා ටිකක් වැඩිපුර පෝස්ට් ලියන්න හිතුවත් , මේ කාළේ තමයි කිසිම දෙයක් ලියා ගන්න බැරි තරම්ම “සුන්දර අවිවේකයක්“ ලබන කාළේ. නමුත් පුළුවන් ඉක්මණින් අළුත් පෝස්ට් එකක් එකතු වෙනවා . එතෙක් සොඳුරු සුව අසපුව සමඟින් රැඳි සිටින ඔබට ස්තුතියි නැවතත්

      Delete
  21. ගනං ගන්න එපා. මේවට උත්තර දෙන්න වෙනම කාලය නාස්ති කරන්නත් එපා. මේක බොහොම හොඳ අඩවියක්. එච්චරයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් , දිගි්න දිගටම ප්‍රශනේ අහන නිසා එකවරක් උත්තර දෙන්නයි උත්සාහ කළේ. මම හිතනවා ඔහුට / ඇයට අවශ්‍ය පිළිතුර ලැබෙන්න ඇතැයි . එ් වගෙම දිරි ගැන්වූ ඔබටත් ස්තුතියි

      Delete
  22. ඔබේ සියළුම ලිපි කියවා ඇත්තෙමි. බොහෝ රෝගී තත්වයන් පිළිබද අවබෝධය ලැබුවේ ඔබේ ලිපි වලිනි. බුරන අය වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන් ලියන්න... - ශ්‍රී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශ්‍රී , ඔබගේ අදහස් මට හුඟක් වටිනවා , අනිවාර්යයෙන්ම සොඳුරු සුව අසපුව තුලට අළුත් ලිපි එක් වෙනවා , මේ දිනවල නම් විවේකය පිලිබඳ ගැටළුව නිසා තරමක් පමා වන්නට පුළුවන් වුනත් , හැකි ඉක්මණින් සාමාන්‍ය ආකාරයටම ලියන්නට උත්සාහ කරනවා . නැවතත් ස්තුතියි ඔබට

      Delete
  23. Apo mun wge mati moda thakathiru...... (mehi shudda sinhala wachana athulathwa atha) ...... minissu ammapa..... Api godak dewl gna dana gnne me wge blog kiyawala.... Mko hama lede ganama dosthragen ahannada..... Dosthara hambawenna eka parakata 250i......lede gana wadi wisthara ahnna ba... Ilaga leda...... Blog ekak kiyawanna mb 3i 4i.......serama dewal aga idala mulata danagnna puluwn........ Me karana sewayata mal thiynna ona.... Jaya wewa...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස තුල හුඟක් වැදගත් කරුණූ තිබෙනවා සිතන්නට. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් !

      Delete
  24. ෆීඩ්ස් අවුලක් හින්දා ඔබේ බ්ලොගය අප්ඩේට් වෙලා නෑ මගේ රීඩර් එකට. මේ ලිපිය දකින්නේ මේ මොහොතේ.

    සිංහලෙන් මෙතෙක් ලියවුන සෞඛ්‍යය විද්‍යාව ගැන හොඳම සටහන් ලියවෙන්නේ ඕබෙන්. ඒක දෙකක් නෑ. අනික ඔබ ඒකට කරන පරමාර්ථයත් බොහොම ඉහලයි.
    මේ එක එක අය කියන ඒවා හින්දා මේ සටහන් නොලියා ඉන්න එපා. ඔබ කරන්නේ සේවයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීම වෙනුවෙන් !

      Delete
  25. අද තමයි ඔබේ අඩවිය හමු උනේ...... මගේ අඩවියට ගොඩ වැදුණු පසු...... වෙනත් ආරක blog එකක් ..... ඔබේ ගමන ඔබ යන්න..... ඔබට එකග වන අය ඔබ එක්ක හිදිවී...... අනවශ්‍ය අය ඉබේ හැලේවි..... විවේචනත් අවශ්‍යයි....... අපිව ඉස්සරහරට තල්ලු වෙන්නේ එවයින් ......

    ReplyDelete
    Replies
    1. ස‍්තුතියි ඔබට , ඔව් විවේචන අවශයි නමුත් ඒ “මාතෘකාව හෝ කටයුත්ත පිළිබඳ දැනුමක් ඇති විවේචන“ , එසේ නොවන විවේචන හුදෙක් කාළය කා දැමීමක් විතරයි , ඇත්තෙන්ම මේ ලිපිය “නොදන්නා අයෙක්ගේ “ අපැහැදිලි ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමක් විතරයි . නැවතත් ස්තුතියි ඔබට

      Delete
  26. sir oya me karana deta man godak garu karanawa. medicine giyama samahara padiyo yanne adi ganan udin. ewa maha manasika leda udagu kamata dana moda part. anika me loke methek bihi una great scientistla nathnam doctorslata ochchara weda pennanna be kawadawath eyala thanikarama karanne pudumakara kepa kirim karala mari mari ipadena tharam duk widala scientistsla hoya gaththa waidawidyawa wikuna gena kala jiwath wena akai. sir me karana sewayata kauru hari apahasa kala nam mama tharaye kiya sitinawa kisima doctor kenekutath edeya karanna be kiyala, mokada owuna prayogana ganne paryeshakayin widyagnain puduma mahansiyak dara me loketa heli daraw karana dewal walin misaka owun soyagena oppu kara penwu dewal walin nowe

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)