2014/08/19

166) හොර දොස්තරද ? හොඳ දොස්තරද ?

“පණ එපා කියල දුවනව“ කිව්වත් , ඒ දුවන්නෙත් පණ බේර ගන්න නෙවැ. ඒ කියන්නේ ඕනම ජීවියෙක්ට වඩාත්ම වටින දේ තමන්ගෙ ජීවිතය. ඉතින් ඒ “පණ වගේ රැක ගන්න ජීවිතයේ “ සාමාන්‍ය රිද්මයට යම් අසාමාන්‍ය වෙනසක් වුනොත් , එතැන ලෙඩක්, කායික හෝ මානසිකව ඇතිවූ මේ ‘‘වෙනස“ රෝගයක් , දුබලතාවක් , සහලක්ෂණයක් ,...ඔය විදියට මොන මොන දේ කිව්වත් ඒක “ලෙඩක්“ !


රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් !

ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ ? කරන  දේවල් බොහොමයක් තියෙන්න පුළුවන් , නමුත් යම් අවස්ථාවකදී ,“රෝහල“ නැත්නම් “සායනය“ වෙත යාම සිදුවන්නට පුළුවන්. ලෙඩේ හොඳ කරගන්න යන මේ ගමනේ “රෝගියා “ පැමිණෙන්නෙ  “සෞඛ්‍ය ආයතනයකය “ , මේක රෝහලක් , නැත්නම් ඩිස්පැන්සරිය හෝ සායනය වෙන්නත් පුළුවන් . මේ කොතැනක වුනත් රෝගියාට අපේක්ෂීත ප්‍රතිකාරය , උපකාරය ලබා දෙන්නේ “සෞඛ්‍ය කණ්ඩායමක්“ එක්වීමෙන් . 

මේ සෞඛ්‍ය කණ්ඩායම තුලදි රෝගියාගේ රෝග තත්ත්වය නිර්ණය කිරීම ,ඖෂධ නියම කිරීම කියන මූලික කාරණය ඉටු කරන්නෙ වෛද්‍යවරයා. එහෙම නම් අද මේ ලිපියේ කතා නායකයා වෙන්නේ මෙන්න මේ වෛද්‍යවරයා . මම මෙතැනදි වෛද්‍යවරයා විදියට හඳුන්වන්නේ රජයේ රෝහලේ ඉන්න බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන “දොස්තර මහත්තයා“ විතරක් නොවෙයි , ආයුර්වේද බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයා , නැත්නම් හෝමියෝපති ප්‍රතිකාර කරන “දොස්තර මහත්තය“ ත් එයට එක් කරමින් තමයි මේ ලිපිය තුල කතා කෙරෙන්නේ.(මෙම සටහන තුල පාරම්පරික වෙද මහතුන් පිළිබඳ කිසිවක් කතා නොකරමි) 

හොර දොස් තරද ? හොඳ දොස්තරද ?

අද ලංකාවේ බොහෝ ප්‍රෙද්ශවල ඉහත කී ආකාරයේ යම් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර නිර්දේශ කරවා ගැනීමේ පහසුකම තිබෙනවා . ඒ රජයේ රෝහලකදි පමණක් නොවේ , බෙහෙත් ශාලාවකදි , සායනයකදි , නැත්නම් සහ බහුලවම පෞද්ගලික වෛද්‍ය ආයතන වලදිත් මෙලෙස වෛද්‍යවරයෙක් හමුවීමේ හැකියාව ලැබෙනවා. 

නමුත්  , අද දවසේ පුවත් පත් ඔස්සේ කියවන්නට ලැබෙන ආරංචි අනුව ලංකාව පුරා හොඳ වෛද්‍යවරුන් ( එ් කීවේ රජයේ නීති රීති අනුව , අදාල වෛද්‍ය සභා තුල ලියාපදිංචිය ලබා වෘත්තීය කිරීමට අනුමැතිය ලත්) වගේම “හොර වෛද්‍යවරුන්“ සෑහෙන ප්‍රමාණයක් ඉන්නා බව කියැවෙනවා . අද මේ ලිපිය ලියන්නට හේතු සාධකය වුනෙත් මේ “හොඳ වෙදුන් සහ හොඳ වෙදුන් ගැන කතාව“ 

හොඳ වෙදා සොයා ගැනීම

පිංතූරය www.affordablenursingschools.com 
දැන් ප්‍රශ්නේ මේකයි කොහොමද අපි “හරි දොස්තර මහත්තයයි“ , “හොර දොස්තර මහත්තයයි “ වෙන් කරගන්නේ ? මේක අපේ රටේ බොහොමයක් අයට තිබෙන ප්‍රශ්නයක් . ඒ නිසා අද ලිපිය තුලින් හුඟක් සංකීර්ණ කාරණා ගැන තැනිව මේ “පොඩි ප්‍රශ්නේ ගැන“ කතා කරමු.

ඇත්තටම කවුද දොස්තර මහත්තයා ? 

ඉස්පිරිතාලේ බෙහෙත් දෙන මහත්තයා !
ඉස්පිරිතාලේදි සුදු පාට කෝට් එක දාගෙන ඉන්න කෙනා !
වෙද නලාව බෙල්ලෙ දාගෙන ඉන්න කෙනා !
හංදියේ ඩිස්පැන්සරියේ ඉන්න මහත්තයා !
අර ටීවී එකේ ඇවිත් බෙහෙත් ගැන කතා කරන මහත්තයා  !
මේ පත්තරේ ඇඩ් එකේ ඇඟ කෙට්ටු වෙන්න බෙහෙත් එවන මහත්තයා! 

ඔය වගේ නානාප්‍රකාර මහත්තුරු නෝනලා ඇති . ඒත් අපි කොහොමද හරියටම ඔබ හමුවන වෛද්‍යවරයා ලංකාවේ නීතීරීති වලට අනුකූලව වෘත්තිය කරන්නට සුදුසුකම් ලත් ඇත්තම “දොස්තර මහත්තයෙක්ද කියල “ හඳුනගන්නේ ?  

මේ හඳුනාගැනීමෙදි ඉස්පිරිතාලේ සිටීමවත් , සුදුකෝට් එකක් නැත්නම් වෙදනලාවක් පෙන්වීම හරි , ජනමාධ්‍යයකින් “වෛද්‍යවරයෙක්“ බව කීම පමණින්ම අදාල පුද්ගලයා අපට අවශ්‍ය “සුදුසුකම් ලත් වෛද්‍යවරයා“ කියන නිගමනයට එන්න බැහැ . 

“හරි දොස්තර“ සහ අංකය 

ලංකාවේ නිතිප්‍රකාරව ,“රෝගී ප්‍රතිකාරයට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ ලෙස නම් කෙරෙන්නෙ , මෙන්න මේ වෛද්‍ය සභාවන් තුල ලියාපදිංචිවී , එම ලියාපදිංචිය පවත්වා ගනිමින් යන වෛද්‍යවරයෙක්ට . එතැනදි ලංකාව තුල මූලිකව වෛද්‍ය සභා තුනක් ක්‍රියාත්මක වෙනවා. 

ඒ බටහිර වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව පුහුණූව ලත් වෛද්‍යවරුන්ට ලියාපදිංචි වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත්(http://www.srilankamedicalcouncil.org/index.php) , ආයුර්වේද වෛද්‍යවරුනට ලියාපදිංචියට ආයුර්වේද වෛද්‍ය සභාව (http://www.ayurvedicmedicoun.gov.lk/web/)  සහ හෝමියෝපති පුහුණුවලත් වෛද්‍යවරුනට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව . 

මෙන්න මේ ආයතන තුල ලියාපදිංචිවූ , නියමිත සුදුසුකම් සපුරාලූ වෛද්‍යවරුන්ට “වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි අංකයක් “ ලබා දෙනවා. මෙය තමයි අදාල පුද්ගලයා පිළිබඳ රජයෙ නීතිමය වගකීම ඇති කරවන බැඳීම.



එහෙම නම් තමන් ප්‍රතිකාර ගැනීමට යොමුවන වෛද්‍යවරයා “සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්“ බව හඳුනාගන්නට මහජනතාවට භාවිත කරන්නට පුළුවන් මෙන්න මේ අංකය , ඒ සඳහා අදාල වෛද්‍යවරයා තමාගේ නම සමඟින් මේ අංකයත් , අදාල වෛද්‍ය සභාව කුමක්ද යන්නත් තමාගේ සේවාලාභියාට ලබා දෙනවා.එය සමහර විට ඖෂධ පත්‍රිකාවේ මුද්‍රාවක් ලෙස , නැත්නම් නාමපුවරුරේ සටහනක් ලෙස වෙන්නට පුළුවන්. මීට  පස්සේ ගමේ ඩිස්පැන්සරියට යත්දි , පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා , උදාහරණයක් විදියට එහි දොස්තර මහත්තයගේ නමට පහළින් SLMC කියන අකුරු එක්ක අංකයක් ඇත්නම් එයින් කියැවෙන්නේ , අදාල නම සහිත වෛද්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුල ලියාපදිංචි බව.
අවදානම් කළාපය

සාමාන්‍යෙය තත්ත්වය බැලුවොත් , රජයේ රෝහලක , සායනයකදි රෝගියෙක් “සුදුසුකම් නොලත් වෛද්‍යවරයෙක්“ මඟින් රෝග නිර්ණය කරගැනීමේ සහ ප්‍රතිකාර නියම කර ගැනීමේ  අවස්ථාව අඩුයි . හේතුව රජයේ සෞඛ්‍ය ආයතන වලට බඳවා ගැනීමේදි යම් නිශ්චිත සුදුසුකම් ගණනාවක් පිළීබඳව සොයාබලන නිසා. නමුත් පෞද්ගලික මට්ටමින් කරන සෞඛ්‍ය ආයතන තුලදි මෙම තත්ත්වයේ වෙනස්කම පවතින්නට පුළුවන්(පෞද්ගලික වෛද්‍ය ආයතන පනත ක්‍රියාත්මක වුවත්). ප්‍රධාන පෞද්ගලික රෝහල් වල මෙම තත්ත්වය , රජයේ රෝහලකට ආසන්න වගකීමක පැවතියත් , කුඩා මට්ටමමින් තැනින් තැන බිහිවන පෞද්ගලික සායන වල තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු ආයතන වගේම ප්‍රජාවත් අවධානය යොමු කළ යුතු වෙනවා. 

මෙහෙම කියන්නට හේතු සමහරක් මා පෞද්ගලිකවම දැක ඇති , විඳ ඇති සිදුවීම්. උදාහරණ කිහිපයක් ලෙස...

සමහර පෞද්ගලික රෝහල් වල ,  විශේෂීත සායනවල පවා  , අදාල සුදුසුකම්ලත් වෛද්‍යවරයා වෙනුවට , වෛද්‍ය සිසුන් රෝග ප්‍රතිකාර නියම කරන අවස්ථා , 

වෙනත් වෛද්‍ය සේවාවක පුහුණුව ලබා අදාල නොවන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථා ( උදාහරණයක්, ආයුර්වේද / හෝමියෝපති වෛද්‍යවරයෙක් , බටහිර ඖෂධ ප්‍රතිකාර ලබා දෙන අවස්ථා) , 

සමහර පෞද්ගලික වෛද්‍ය සායන වල නාම පුවරුවේ දැක්වෙන නම සඳහන් වෛද්‍යවරයා වෙනුවට , ඔහු/ඇය දැනුවත්ව ඔහුගේ / ඇයගේ දෙවැන්නා ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාරකරණයේ යෙදෙන වෛද්‍ය වෘත්තියේ නොවන වෙනත් පුද්ගලයන් , 

ඒ වගේම , කිසිඳු ශල්‍යාගාර තත්ත්වයක් , විෂබීජහරණය කළ පරිසරයක් නැති පෞද්ගලික සායන කාමරයක සමහර සැත්කම් කෙරෙන අවස්ථාවන් , 

හදිසි අවස්ථාවකට කිසිදු සූදානමක් (emergency tray ,Oxygen)  නැති පෞද්ගලික “කාමර“ තුල ළඳරුවන්ට නික්ෂේපණ ලබා දෙන (යම් ඖෂධයක් දේහ ගත කිරීමේදී , විශේෂයෙන්ම නික්ෂේපණ දේහ ගත කරන අවස්ථාවක ‘‘හදිසි අවස්ථාව අවශ්‍ය ඖෂධ / උපකරණ සුදානම්ව තිබිය යුතු වුවත්) වෛද්‍යවරුන් , වගේ සිදුවීම් සඳහන් කරන්නට පුළුවන්. මේ කියූ දේ අදටත් එම ස්ථාන වල සිදුවෙනවා ඇති . අපට මේ සියල්ල සොයන්නට බැරි වුනත් අඩුම තරමේ අපේ පරිස්සමට දැනගත යුතු කරුණූ කිහිපයක්වත් කතා කරමු දැන්.


ටීවි දොස් තර 

නමුත් ප්‍රශ්නයක් එනවා , ඒ හැමදාම උදේට ටීවි එකෙන් ගෙදරට එන සමහර “දොස්තරවරු“ යැයි කියා ගන්නා පිරිස නිසා .මොවුන් “සුදුසුකම්ලත් වෛද්‍යවරුන්“ ද කියන එක ප්‍රෙක්ෂකයාට ප්‍රශ්නයක් , තම මාධ්‍ය ආයතනයේ වැඩසටහනින්  ඉදිරිපත් කරන පුද්ගලයා “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් බව නාමිකව පමණක් නැතිව අදාල ලියාපදිංචි අංකයත් සමඟ ප්‍රදර්ශනය කරන්නට පුළුවන් නම් “ , රැල්ලක් විදියට නැගී එන , ටීවී දොස්තරවරුන්ගෙන් විය හැකි කරදර අඩුකරගන්නට පූළුවන් වේවි. (මම මේ සටහන තුල ටීවි දොස්තර ලෙසින් හැදින්වුයේ වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කරන්නට සුදුසකම් නැති , නමුත් ජනමාධ්‍ය මඟින් වෛද්‍යවරයෙක් බව කියවා ගන්නා පිරිස පිළිබඳව පමණී , නමුත් මාධ්‍ය ඔස්සේ අතිවිශාල කාර්යයක් කළ මාහාචාර්යය නන්දදාස කෝදාගොඩ වැනි වෛද්‍යවරුන් මේ අතරම ගෞරව පූර්වකට සිහිපත් කළ යුතුවේ) 

නොම්මරෙන් අමතන්න .. 

අපේ රටේ මේ පිළිබඳව  ප්‍රාෙයා්ගික  ගැටළු ඇතත් , කෙනෙක්ට තමන්ගෙ “වෛද්‍යවරයා ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයා“ පිළිබඳ සැකයක් ඇත්නම්  ඒ පිළිබඳව විමසා දැන ගන්නටත් , නැත්නම් “සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් “ගෙන් සිදු නොවන යම් හානියක් වුනා නම් , අපහසුතාවක් වූවා නම් , මේ විශේෂිත අංකය , නම සමඟින් අදාල වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරිවරයා වෙත දැනුම් දෙන්නට පුළුවන්. එවිට එම පැමිණිල්ල පිළිබඳ විභාග කිරීමක් කෙරෙන්නට පුළුවන්. 


“වටලන්න නොව හඳුනන්න“ 

නමුත් මේ “හොර වෙද“  අනතුරු වලින් ප්‍රජාව ආරක්ෂා කරගන්නට  කළ හැකි උපක්‍රම ගනණාවක් තිබෙනවා . 

ඒ අතරේ පළමු කටයුත්ත , ප්‍රජාව පටලැවී තිබෙන  “වෛද්‍යවරයා යැයි කියා ගන්නා පුද්ගලයා “ සහ “ සුදුසුකම්ලත් වෛද්‍යවරයා“ කියන ආකාර දෙක පිළිබඳව දැනුවත් කිරීම මුලික තැනක් ගනීවි. 

දෙවැන්න , වෙනත් රටවල මෙන් , සියළුම වෛද්‍ය සභා , තමන් යටතේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන් පිළිබඳව , ඔවුන්ගේ සුදුසුකම් , ප්‍රවීණතා , සේවා සපයන ස්ථාන වැනි කරුණූ  පිළිබඳව සාමාන්‍ය ප්‍රජාවට තොරතුරු ලබා ගත හැකි ක්‍රමයක් සකසනවා නම් , රෝගියාට පුළුවන්  , දොස්තර මහත්තයාගේ නමින් , නැත්නම් අංකය ඔස්සේ  , ඔහු හෝ ඇය , ප්‍රතිකාර කිරීමට සුදුසුකම්ලත් අයෙක්දැ , කිනම් ක්ෂේත්‍ර සඳහා ඔහු/ඇය විශේෂඥතා දරයිද , කිනම් රෝහල් වලදි හමුවිය හැකිය වැනි රෝගියාට අත්‍යවශ්‍ය මූලික කරුණූ  විමසා දැනගන්නට.  

 අද අස්සක් මුල්ලක්ම නෑර අන්තර්ජාල පහසුකම් , හෝ ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අවස්ථාවක , අදාල වෛද්‍ය සභා ඉහත කී තොරතුරු වෙබ් පිටුවකට එකතු කෙරෙනවා නම් , හොර වෙදුන් , හොඳ වෙදුන් සොයා ගැනීම පහසුවක් වේවි. 

වෙන රටවල තත්ත්වේ 

මෙ සංකල්පය ලංකාවෙ කෙසේ වුවත් , මෙම රටවල නම් බොහොම හොඳින්  ක්‍රියාත්මක වෙනවා . වෛද්‍යවරුන්ට පමණක් නොවේ , හෙදියන් , ඖෂධවේදීන් , ආදී  සෞඛ්‍ය වෘත්තිකයන් සියල්ලන් ලියාපදිංචිවන ආයතන , නම සාමාජිකයන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මහජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි , සරළව තොරතුරු සොයා ගත හැකි තත්ත්වයට පත්කෙරෙනවා. 

උදාහරණයක් විදියට 
මේ පළාතේ වෛද්‍යවරයෙක් පිළිබඳ සොයනවා නම්  http://www.cpso.on.ca/Public-Register/All-Doctors-Search

නිකමට වගේ මේ ලිංක් එකට ගිහින් අහඹු නමක් දීල බලන්න .

ඊළඟ පිටුවේ ඔබට ලැබේවි , වෛද්‍යවරයාගේ නම , ගම , මූලික පුද්ගලික තොරතුරු , අධ්‍යාපන සුදුසුකම් , වෛද්‍ය අධ්‍යාපනය , විශේෂඥ පුහුණූ , කළ හැකි දේ (Dr..... shall prescribe drugs only for in-patients or out-patients of a clinical teaching unit that is formally affiliated with the department where...) ප්‍රතිකාර සදහා මුදල් අය කළ හැකි ද නොහැකිද යන්න (Dr. ......... shall not charge a fee for medical services) වැනි රෝගියා දැනගත යුතුම කරුණූ . 

ටිකක් හිතල බැලුවොත් , මේ කටයුත්ත කරන්න රුපියල් මිලියන ගණනක් මූලිකව යන  එකක් නැහැ . නමුත් වාසිය රෝගියාට , මක්නිසාද ඔහුට /ඇයට පුළුවන් තමන් යොමුවන වෛද්‍යවරයා පිළිබඳ වැටහීමක් , අවබෝධයක් සහ එතුලින් විශ්වාසයක් සමඟ ප්‍රතිකාරය සඳහා යොමු වන්නට. එමෙන්ම , වෛද්‍යනිලධාරින්ගේත් වෘත්තීය ගරුත්වය මෙන්ම වගකීම් පිළිබඳ ප්‍රජාව තුල විශ්වාසනීයත්වයක් පවත්වා ගන්නටත් , විශේෂයෙන්ම “දොස් තර“ ලෙස පෙනී සිටින සොරුන්ගෙන් මහජනතාව රැක ගන්නත් මෙය උපකාරයක් වේවි.


හෙදියක් ගැන නීතිමය බැඳීම  පිළිබඳ සොයනවා නම් https://flo.cno.org/Register/


මීට අමතරව , මෙම රටවල නම් වෛද්‍යවරයා සේවය කරන සායනය හෝ එ්කකය තුල , වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට තමන් ඇති නෛතික වගකීම මෙන්ම , පුහුණු සහ විශේෂඥතා පිළිබඳ සහතික පවා රෝගීනට පහසුවෙන් බලාගන්නට පුළුවන් අයුරින් ප්‍රදර්ශනය  කෙරෙනවා. එමඟින් රෝගියා සහ සෞඛ්‍ය කණ්ඩායම අතර විශ්වාසවන්භාවය ඉහළ නංවා ගන්නට කටයුතු කරනවා . (මේ රටවල නම්  , රෝගියෙක්ට වෛද්‍යවරයෙක්ගෙන් හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයෙක්ගෙන් අවැඩක් සිදුවුනොත් , රක්ෂණ වන්දි ලෙස ඩොලර් දහස්ගණනක් ගෙවන්නට සිදුවෙනවා , ඒ නිසා  මේ දැනුවත් කිරීම් බොහොම වගකීමකින් සිදුකරන්න කවුරුත් උත්සාහ කරන්නේ .)


දැන් මම මෙම රටවල සෞඛ්‍ය සේවය සහ ලංකාව අතර සසඳන්න යන්නේ නැහැ , නමුත් ලොකු වියදමක් නොවී , දැනට පවතින මේ “හොර වෙද“ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ගන්නට පුළුවන් වෙනත් රටවල භාවිත වන අපේ රටේ යොදාගත හැකි එක් උපක්‍රමයක් ගැන පමණයි මේ සඳහන් කළේ.

මේ සටහන මෙතැනින් නිමා කරනවා , ඔබේ අදහස්  එකතු කරන්නට ඉඩ හරිමින් . 
ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

17 comments:

  1. ගොඩක් වැදගත්, කාලීන සටහනක්! ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීම වෙනුවෙන්!

      Delete
  2. වෛද්‍යවරයා පමනක් නෙවෙයි වෙන රටවල බෙහෙත් තුන්ඩුවත් එය ලබා දෙන ඕෂධ වේදියාවත් පරිගණක පද්ධතිවලට ඇතුලත් වෙනවා...එවන් ක්‍රම මගින් හොර වෙද්දුන්ට වැට බැදෙන ගමන්ම හොර ෆාමසි වලටත් වැට බැදෙනවා...

    මෙවන් පරිගණක ගත පද්ධති ලංකාවට කවදා නම් එයිද කියා සිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් වෛද්‍යවරයා , ඇතුළු සියළුම සෞඛ්‍ය වෘත්තිකයන් , රෝගියාගේ කටයුතු සියල්ල එකම පරිගණක පද්ධතියක් ඕස්සේ තමා සිදු කරන්නේ. එය රෝගියාට වගේම අදාල වෘත්තිකයාටත් ආරක්ෂෘවක් සහ පහසුවක්.

      ඇත්තම කීවොත් , දැනට මේ රටවල සමහර ස්ථාන වල භාවිත කරන පරිගණක වලටත් වඩා දියුණූ පරිගණක පද්ධති , සහිත පරිගණක ජාල පසුගිය කාළේ ලංකාවේ රෝහල් වලට ලැබුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් , අරමුණ වුනේ සෞඛ්‍ය දත්ත එක් රැස් කිරීම . නමුත් අවසානයේ සිදුවුනේ , සෞඛ්‍ය දත්ත පැත්තක තබා , බොහෝ පරිගණක ගේම් ගහන ගේම් මැෂීන් බවට පත්වීම. හේතුව එම පද්ධතිය නඩත්තුවට දැනුවත් අයෙක් නොවීම (බොහෝ ස්ථාන වල ) .
      නමුත් කෝට් ගණන් “සිල්ලරේට“ විසිකරන අපේ රජයට පුළුවන් වුනා නම් , මේ පරිත්‍යාගය සමඟ එම පද්ධති මෙහෙයුම් කිරීමට සුදුසුකම් ඇති තරුණ පරිගණකවේදීන් කිහිපදෙනෙක්වත් බඳවා ගන්නට , ලංකාවේ සෞඛ්‍ය ආයතන අතර පරිගණක ජාලයේ ආරම්භය එය වන්නට තිබුණා .

      නමුත් එය සිදුවුනේ නැහැ , 
      ස්තුතියි සරු කරුණක් එක් කළාට

      Delete
  3. "සමහර පෞද්ගලික රෝහල් වල , විශේෂීත සායනවල පවා , අදාල සුදුසුකම්ලත් වෛද්‍යවරයා වෙනුවට , වෛද්‍ය සිසුන් රෝග ප්‍රතිකාර නියම කරන අවස්ථා "
    රෝගීන්ගෙ විතරක් නෙමේ, ඒ වෛද්‍ය සිසුන්ගෙත් විනාශයේ මුල මේක.....

    වැදගත් ලිපියක් අයියෙ

    ReplyDelete
    Replies
    1. ඔව් සිඳූ , වෛද්‍ය සිසුවෙක් කියන්නේ අතිශ්‍ය දුෂ්කර පාඨමාලාවක් සමඟින් තරඟ වදින්නෙක් , නමුත් අද සමහරෙක් ඒ තරඟය පසෙක දමා “මුදල් තරඟටය“ එක්වූ අවස්ථා බොහොමයි . එය ඔවුනට වාසිදායක වේවි , ආර්ථීක තත්ත්වයෙන් ( සහ සමහර විට අත්දැකීම් වලිනුත්) නමුත් නිත්‍යානූකූලව වගේම රෝගියාගේ පාර්ශවයෙන් බැලුවත් එය අසාධාරණයක් , මක නිසාද “ජීවිතයකට“ පුරුදු වන්නට වැරදි තීන්දුවක් දුන්නොත් එය “ජීවිතයේ“ අවසානය වන්නටත් පුළුවන් නිසා .
      රජයේ රෝහල් තුල වෛද්‍ය සිසුන් පුහුණුව ලබත්දී විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ රෝගීන් පරික්ෂා කළත් , රෝග තත්ත්ව පිළිබඳ විමසීම් කළත් , රෝග විනිශ්චය කිරීම කෙරෙන්නේ “සුදුසුකම්ලත් වෛද්‍යවරයා විසින්“
      ස්තුතියි ඔබට ,ඔබේ අදහසට

      Delete
  4. හොද ලිපියක් අයියේ,, මේ රටේ ස්වුක්ක්ය අංශය ගැනත් මට දැනෙන තරමින් ලිපියක් ලියන්න ඕනේ කියලා හිතුණා, ගොඩක් දේවල් දැනගත්තා ස්තුති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපුර්වි, ලියන්න , සිංහල බ්ලොග් තුලදි වත් මේ ගැන කතා කරන එක හුඟක් වටිනවා. මොකද එළීයේ මේ ගැන ඒතරම් කතා නොකරන තරම් ‍( විවිධ බලපෑම් නිසා) .
      නැවතත් ස්තුතියි ඔබට

      Delete
  5. අම්මපා මේ සමහර ටී වී 'දොස් තර' ලා (දොස්තර නොවේ) කියන කරන දේවල් බැලුවම, අපිටත් පුළුවන් වෙදකම් කරන්න. ඒ වගේම තමයි අපේ රටේ තියන භයානක පුරුද්දක් තමයි, අපි අපේ නෑ දෑ හිතවතුන්ට බෙහෙත් කියන එක සහ වෛද්‍යවරුන් නිර්දේශ කරන එක. ඔය ලෙඩේට මේ බේත හොඳයි, අර දොස්තර හොඳයි කියලා කියන එක, අනියම් මිනීමැරුමක් හා සමානයි කියන එකයි මමනම් හිතන්නේ. මම සෑමවිටම කියන්නේ රජයේ රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද නැද්ද කියලා එහිදී අහලා බලන්න කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මා ඔබේ අදහසට එකඟ වෙනවා. ඔබ දන්නවද ඔබ කී කාරනාව නිසා , පිළිකාශල්‍ය විශේෂඥවරයා වෙත යොමු විය යුතු රෝගීන් ගනනාවක් ඥාතින්ගේ යොමු කිරීම් මත , “ප්‍රසිද්ධ සාමාන්‍ය ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත“ යොමු වීම නිසා තම ජීවිත වලින්ම ඒ වරදට වන්දි ගෙවන්නට සිදුවූ බව , මම මේ කියන්නේ වසර හය හතකට පෙර අතීතයේ මා සේවය කළ ස්ථානයේදිම ලැබූ අත්දැකීම් මත. තවමත් එය නිවැරදි වී අැතැයි මා නොසිතන්නේ , අපේ රටේ බහුතරයක් , මිනිස්සු “ලෙඩ“ ගැන හොයන්නේ “ලෙඩ වුනාම පමණයි“ කියන සංකල්පයේ ඉන්න නිසා .
      ස්තුතියි ඔබතුමාට සරු කරුණක් එක් කළාට

      Delete
  6. ලංකාවේ බොහොමයක් තැන් වල ඔය ඩිස්පැන්සරි කාරයෝ එහෙම හොරු තමයි.. හරි ක්‍රමවත් සොයා බැලිමක් නැති හන්දයි දේශපාලන සහයයි එක්ක ඒවා හොදට කෙරෙනවා.. පිටරට වලට වැඩිය ලංකාවේ වෙනස ඒක තමයි.. හොද සටහනක් අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඇත්තෙන්ම ක්‍රමවත් සොයා බැලීමක් අවශ්‍යම ක්ෂේත්‍රයක්  අයාලේ යන්නට දීමේ“ වරද කාගෙදැයි නොදනිමි.

      Delete
  7. හරි දොස්තර හොර දොස්තර කවුද කියලා දැන් එක්වර හදුනගන්නත් අපහසු තරම්. නිතියක් හරියට ක්‍රියාවේ යෙදවෙන්නේ නැති කමයි වෘත්තිය වෙනුවෙන් නිපුනයෝ අය කරන මිලගනන් දරන්න බැරිවීමයි දෙකම මේ හොරු බිහිවෙන්න බලපානවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලින් , නමුත් මේ ලිපියේ සඳහන් ක්‍රමය , ප්‍රජාව අතරට මීට වඩා යනවා නම් එක ප්‍රශ්නයක් වත් අඩු කරගන්න පුළුවන්.
      ස්තුතියි නලින් !

      Delete
  8. සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නට ගොස් ලෙඩේ තවත් උග්‍ර වි රෝහල් වලට ඇතුළුවන රොගීන් කොතෙකුත් හමුවෙනවා. මාධ්‍ය වලිනුත් පසුගියකාලේ නිතරම අසන්නට ලැබුණා. ඒ නිසා මෙය කාලින වශයෙන් ඉතාමත් වටින ලිපියක්..

    ග්‍රීලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ විස්තර අඩංගු පෙර කී මාදිලියේ අන්තර්ජාල රෙජිස්ට්‍රියක් දැනටත් ශ්‍රීලංකා වෛද්‍ය සභාව පවත්වාගෙන යනවා. http://www.srilankamedicalcouncil.org/registry.php ඉහත ලින්ක් එකට ගොස් Registry යටතේ Sec 29 තෝරාගෙන Reg No යටතට ලිපියේ ඇති පරිදි අදාල වෛද්‍යවරයාගේ වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි අංකය යොදා search යන්න ක්ලික් කිරීමෙන් ඔහු/ඇය සැබෑ ලෙසම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ද යන්න සවිස්තරව බලා ගන්න පුළුවන්. අවාසනාවකට සමාජයේ බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නැහැ....

    ReplyDelete
    Replies
    1. මම කියපු රෙජිස්ට්‍රිය ගැන තවත් පොඩි දෙයක් නොකිව්වොත් අඩුවක් කියල හිතුණා. යම් වෛද්‍යවරයෙක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුවත් කලින් කිව්ව අන්තර්ජාල රෙජිස්ට්‍රියේ නම යාවත්කාලීන වෙන්න මාස කීපයක් යනවා. (මෙවැනි දේ අපේ රටේ සාමාන්‍ය දෙයක් නෙ) ඒ නිසා අළුතින්ම ලියාපදිංචිය ගත් වෛද්‍යවරයෙක්ගේ නම හැරුණු කොට අනිත් අයගේ නම් මෙහි තියෙනවා.
      බොහෝමත් ස්තූතියි අයියෙ මෙවන් ලිපියක් අප හමුවේ තැබුවාට

      Delete
    2. බොහොම ස්තුතියි මළනුවනි මේ ලිපියට වැදගත් කරුණක් එක් කළාට , ඇත්තෙනම් විය යුතු දේ මෙය තමයි  , ඔබ සඳහන් කළ ලිංක් එක් ඔස්සෙ “හොඳ දොස්තර “ කවුදැයි සොයා ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා නම් එක් පාර්ශවයකින් හෝ පැහැදිලි වීමක් රෝගියාට ලැබෙනවා , ඒ වගේම මෙම සෙවුම් වෙබ් පිටුව සාමාන්‍ය ජනතාවට භාවිත කළ හැකි ආකාරයට ඔබ කළ සරළ විස්තර කිරීමක් සහිතවම යාවත්කාළීව වනවා නම් ඉතා අගේ .


      ඒ වගේම “වෛද්‍ය කියන නම භාවිත කරන සියළුම ආයතන“ මෙවන් ආකාරයෙන් තම “වෛද්‍යවරයා කවුදැයි“ සොයා ගන්නට නවීන තාක්ෂණය භාවිත කරනවා නම් , එය සාමාන්‍ය මහජනතාවට ලංකරනවා නම් මේ සිදුවන “හොර දොස්තර“ අපරාධ සෑහෙන අඩු කරගන්නට පුළුවන් වෙනවා ,

      නැවතත් ඔබට අතිශ්‍යයින් ස්තුති වන්ත වනවා සරු කරුණක් එක් කළාට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)