2016/04/03

201) සැප ලබා සැප නසා ලබන්නේ සැපයක්ද ?

මේ ලිපියේ ටිකක් සංකීර්ණ සහ අපේ රටේ පසුබිමට අනුව ටිකක් ප්‍රසිද්ධීයේ සාකාච්ඡා කරන්නට නොපෙලඹෙන කරුණු කිහිපයක් , ඒ එක්කම ජීව විද්‍යාත්මක කරුණූ කිහිපයක් අන්තර්ගත වන්නට පුළුවන් නිසා හුඟක්ම පුංචිම දූ පුතාල මේ ලිපියට එක් නොකර ගන්නවා නම් හොඳයි , ඒත් අවුරුදු දහ හතරක පහලොවක පුතෙක් දුවෙක් මේක බැළුව කියල කිසිම වැරැදි දැනීමක් නොඑන්නට මේ සටහන කරන්නට උත්සාහ ගන්නවා , විශේෂයෙන්ම කියන්න ඕන , මේ ලිපිය තුල යම් ලිංගික කාරණා කිහිපයක් අන්තර්ගත වුනත් ඒ “සොඳුරු සුව අසපුවට“ ලාභ ජනප්‍රියත්වයක් ලබා ගන්නට නොවෙයි , අවශ්‍යම කාරණාවක් වන නිසයි.



එහෙම නම් අපි මුලින්ම ගබ්සාවට ඉස්සර වෙලා ඊට හේතු සාධකය බිහි කරන කළලය ඇති වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් කතා කරල ඉමු. ඔව් අපි දන්නව ස්ත්‍රියක සහ පුරුෂයෙක් අතර සිදුවන යෝනි මාර්ගය සහ ශිශ්නය උපයෝගයෙන් සිදුවන ලිංගික එක්වීමක එහි උච්චතම අවස්ථාවේදි පුරුෂයාගේ ශිෂ්ණයෙන් පුරුෂ ජන්මාණු නැත්නම් ශුක්‍රාණූ (Sperm) ලක්ෂ ගණනක් ඒවාට අවශ්‍ය හොඳ පෝෂණ දියරයක් සමඟින්ම කාන්තාවගේ යෝනි මාර්ගය තුලට මුදා හරිනවා . ඉන් පස්සේ අරඹන පිහිනුම් තරඟයේ දි දිනුම් කණූව වන ස්ත්‍රී ජන්මාණුව වන ඩිම්බය ළඟට මුලින්ම පිහිනා එන ශුක්‍රාණුවට ඊට ඇතුළු වීමට අවස්ථාව දෙනවා මේ ඩිම්බ සෛලය Ovum....එයාට විතරයි ...ඒ ඇතුළු වීමත් සමඟ හැදුනු යුක්තාණූය Zygote  කියල පද්ධතිය ඇතුලේ අම්මගේ තාත්තගේ ලක්ෂණ අරගෙන ආපු වර්ණ දේහ Chromosomes කියල කෙහෙවලු එහෙම පටලගෙන සුන්දර කැළඹිල්ලක් ඇරඹෙන්නේ . එතනදි ඇරඹෙන බෙදීමේ ප්‍රතිපලේ විදියට සෛල ගණනාවක පුංචි පැටිත්තෙක් හැදිල , ලෝකේ තියෙන සනීපම , සැපදායකම ඇඳේ ඒ කිව්වේ අම්මගේ ගර්භාෂයේ තැන්පත් වෙන මේ සෛල පැටිත්තා තමයි අපි හැමෝගෙම ආරම්භය ..

මේ විදියට ආරම්භය ගන්න පුංචිත්තා , ටික ටික ලොකු වෙලා , අවයව ඉන්ද්‍රියන් හැදිලා ටිකනේ ටික ලොකු වෙලා තමයි සති 36ක් නැත්නම් සති හතලිහක් විතර යත්දි “සුන්දර පුංචි පැටියෙක් විදියට“ ලෝකයට බිහිවෙන්නෙ. ඒ අතර ගමන් මග හරිම සංවේදි වගේම සුන්දර නිර්මාණ රැසක් තිබෙනවා , ඒ හැම අවස්ථාවකදිම මේ ඉපදෙන්න ඉන්න පැටිත්තාව හොඳින් රැක බලා ගන්න , පෝෂණය කරන්නට අම්මගේ ජීව පද්ධති සියල්ල උත්සාහ ගන්නවා. ඒ මේ පැටියා ලෝකෙට ඒතරම්ම වැදගත් නිසා . නමුත් අවාසනාව අද මේ විදියට අම්මගේ ගැබ තුල නිස්කලංකේ ඉන්න පැටවු කීදෙකේට මේ ලොකෙට එන්න තියෙන වරම අහිමි වෙනවාද , අහිම කරනවාද කියන එක. මම මෙතැනදි වරද කාගෙද කියන එකට වැඩිය , වරදින්නේ කාටද කියන එක ගැන කතා කරන්න තමයි කැමති .මොකද වරද කාගෙද කියල ඇහැව්වොත් ‘අපි කවුරුත් වැරදි නැහැනේ“ ...නේද ? ...

මේ විදියට ලෝකෙට බිහිවෙන්න ඉන්න මිල කරන්න බැරි මේ සම්පත , සිනිඳු අහිංසක පැටිත්තාව එකවර මරළ , එහෙම නැත්නම් කෑළි කඩමින් ටිකෙන් ටික මරල අම්මගේ ගැබෙන් ඇදල එළීයට දාන , දාන්න උත්සාහ කරන “මිනිස්සු“ , තමන්ගේ අම්මත් මේ විදියට කළා නම් අද තමන් මෙතැන ඉන්නවද කියල හිතන්නට උත්සාහ නොකරන එක තමයි පුදුමේ...

දැන් වරදවා පටලා ගන්න එපා මම මේ කතා කරන්න හදන්නේ ස්වභාවිකවම වෙන Miscarriage නැත්නම් ස්වභාවික ගබ්සාවිම ගැන නොවෙයි , ඒ ගැන කතා කරන්න දෙයක් මේ වෙලාවේ නැති තරම් , පස්සේ දවසක ඒ ගැනත් ටිකක් කතා කරමු. මොකද Miscarriage වලට හේතු ගණනාවක් තිබුණත් ඉන් බොහොමයක් ස්වභාවිකයි , ඒ ජානමය ගැටළු , මවගේ වියපත් බව හෝ රෝගී තත්ත්වයක් නැත්නම් අර ආරම්භක සෛල ගොනුව ගර්භාෂය තුල හරියට තැන්පත් නොවීම වගේ දේවල් වෙන්න පුළුවන් . හැබැයි මෙතැනදි තාත්ත උරල පිටකන සිගරට් දුම ලොකු වගකීමක් දරන බව කියන්නම ඕන ..තාත්ත විතරක් නෙවි එහා ගෙදර සීය බොන සුරුට්ටුවේ දුම උනත් මේ සිඟිති පැටිත්තාව ඉළියට ඇදල දාන්න තරම් දරුණූ වෙන්න පුළුවන් , ඒ විතරක් නෙවි අම්මගේ කායික , මානසික තත්ත්වය , වෙනත් රෝග වගේ සාධක ගණනාවක් මීට බලපාන්න පුළුවන් .කොහොම වුනත් මේ ගබ්සා වීම Spontaneous  ඒ කිව්වේ ස්වභාවික සහ නිරායාසයෙන් වන්නක් .එය සමහර විට ස්වභාවිකවම හොඳම කෙනෙක් ලෝකෙට දෙන්න දරන ස්වභාව ධර්මයේම උත්සාහයක් වෙන්නත් පුළුවන් . නමුත් අපි මේ කතා කරන්න යන Induced abortion නම් හොඳම කෙනා ලෝකෙට දෙන්න යන ක්‍රමයක් නොවෙයි , හොඳම කෙනා වෙන්න යන අයගේ උපක්‍රමික ප්‍රයත්නයක් තමයි බොහෝ විට .

 තව එකක් ගබ්සා කිරීම කියන මාතෘකාව ගැන කතා කරන්න ඉස්සර වෙලා අපි ආයෙත් ටිකක් පිටි පස්සට ගිහින් මේ පුංචි පැටිත්තාව ටිකෙන් ටික ලොකු වෙන හැටි බලාගෙනම එමු. මොකද ගබ්සාවට ලක්වෙන , ලක්වෙන්න සූදානම් වෙන සමහරු , තමන්ගේ ගැලවිල්ලට කියා ගන්න කාරණයක් තමයි , අපෝ තාම “බබෙක් නෙවි , නිකං මස් කෑල්ලක් විතරයි , ඉතින් ඕක අයින් කරාම මොකද ..කියන එක ..අපි ඒ නිසාම මේ ගැන ටිකක් කතා කරමු . මොකද මේ පැටිත්තා නිකං මස් කෑල්ලක් නොවන , ඔබේ දරුව වගේම පුංචි පැටියෙක් , හැඟීම් දැනීම තියෙන , අම්ම කියන දේ අහගෙන ඉන්න , එහෙම ඉඳළ නොඇහෙන ඇඬුම් හඬන silent crying මල් පෙත්තක් වගේ සුසිනිඳු පැටියෙක්ම බව තේරුම් ගත්තම වත් එක පැටියෙක් හරි බේරෙන්න වාසනාව ලැබුනොත් ඒකම කොයි තරම් දෙයක්ද ? ...මේ වෙනකොට මටනම් ඒ වගේ පැටවු දෙතුන් දෙනෙක් බේරගන්න වාසනාව ලැබිල තියෙනවා ,  ඒ කරාපිටිය රොහලේ ඉන්න කාළෙ , මොකද ඒ දවස් වල වැඩ වරද්ද ගත්ත සමහර මිත්‍රෙයෝ මා ගාවට මේ වගේ ප්‍රශ්න වලට කෙටි උත්තර දෙන තැන් ගැන දැන ගන්න එනවා . ඒ ස්ථාන ගැන දැන සිටියත් , ඒ වායේ කෙරන දේ දැන සිටියත් කිසිවකුටත් ඒ අපායන් වලට නොයවන්නට වග බලා ගත්ත විතරක් නොවෙයි , එහෙම මා ළඟට ආ සමහර මිතුරන් අද ඒ දරුපැටිය ලොකු පුතා විදියට හදාගෙන තවත් දූල දෙන්නෙකුත් ඉන්න “වැඩිහිටි තාත්ත කෙනෙක්“ විදියට හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා ..සමහර විට ඒ මගේ මිත්‍රයත් මේ බ්ලොග් සටහන බලනවා නම් එදා මම කී දේ මේ විදියට අකුරු කරල තියෙන බව දැක්කම , සමහර විට ලොකු පුතාව බදාගෙන හඬන්නට සිතේවි කියල මට හිතුන .

අපි කිව්වනේ Sperm සහ Ovum දෙන්න එකතු වෙන වග .එතැන තමයි ජීවයක සැලසුමගත ආරම්භය , මෙතැන ඉඳන් මේ යුක්තාණුව හැම දෙයක්ම කරන්නේ බොහොම සැළසුමගත , සංකීරණ මිනිස් ජීවියෙක් හදන්නට අවශ්‍ය කරන කරුණු කාරණාම විතරයි .

දැන් මේ යුක්තාණුව සයිගොට් එක , සෛල බෙදෙමින් ටිකෙන් ටික  ලොකු වෙනවා .සාමාන්‍යෙයන් පැය 72ක් විතර ගියාම මෙයා බෝලයක් වගේ පෙරලිලා ඇවිත් ගර්භාෂයේ එයාට තැන්පත් වෙලා ටික දවසක් නිදාගන්න පුළුවන් තැනකට එනවා. ඇවිත් මුල් සති දෙක අතරෙදි දවසක ගර්භාෂයේ හොඳම තැනක රිංගලා ටික දවසක් හොඳට නිදාගන්නයි හදන්නේ .නිදා ගන්නව කිව්වට අපි වගේ නිදාගන්නෙම නැහැ , ඒ කාළෙත් ටිකේන ටික පැටියව ලොකු වෙනවා , පටක හැදෙනවා ..

තුන් වන සතිය විතර වෙන කොට මිලි මීටර් දෙක තුනක් ලොකු පණ ඇති මේ පැටියගේ හෘදය , ලේ නහර , මොළය , කොඳු ඇට පෙළ , ආහාර මාර්ගය විතරක් නෙවි ,අත් පා එහෙමත් පුංචි මල් පොහොට්ටු වගේ නෙරන්නට , සැකසෙන්නට පටන් ගන්නවා .

සති හතර වෙත්දි පැටියට තමන්ගෙම “හදවතක් “ තියෙන බව දන්නවද ? ඔව් එයාට පුළුවන් තමන්ගේම හෘදයෙන් ලේ පොම්ප කරන්නත් , අත පය හොඳට අදුන ගන්න පුළුවන් තරම් , අනෙක් ඉන්ද්‍රියනුත් දැන් ටික ටික සම්පුර්ණ වෙන්න පටන් ගන්නවා.

පස් වන සතිය වෙත්දි ඇස් කන් එහෙම සැකසෙන්න පටන් ගන්නවා , ඒ කිව්වේ දැන් බොහොමයක් අවයව පද්ධති සැකසෙන්න , වර්ධනය වෙන්න , සම්පුර්ණ වෙන්න හදන්නේ .

හයවන සතිය වෙත්දි “හොඳ මොළයක්“ තියෙන පැටියෙක් . දැන් එයාටම කියල රතු රුධීරාණු පවා හදාගන්න පුළුවන් පොඩි ලොක්කෙක් මෙයි , තාමත් හැංගිලා වගේ ඉන්න නිසා කටනං තවමත් හැදෙනවා ..

සති හත කියන්නේ දැන් මෙයා ලොකු පොඩ්ඩෙක්ම කියල තමයි . ඔන්න දඟලන්න පටන් ගන්නවා , ඒ කිව්වේ අම්මගේ බංඩියට දැනේනන් නෙවි , දැන් එයාට තමන්ගේ පුංචි කකුල් පොඩිති එහෙට මෙහෙට හොලවන්න පුළුවන් . අතත් කට ගාවට අරගෙන බලාගෙන ඉන්නවා , අම්ම මොකද කරන්න හදන්නේ කියලා !

ඔන්න දැං සති අටයි , ඒ කියනනේ මේ තමයි පුංචි බබා . ප්‍රමාණෙ නම් සෙන්ටි මීටර් තුනක් විතර ඒ වුනාට කපාපු පළුව කියන්න තරමටම හැඩකාර පොඩිත්තෙක් කියන්න බැරි උනාට ඕන කරන ඔක්කොම අංගෝපාංග තියෙන , මිනිස් පැටියෙක්.

මෙතැන ඉඳන් සති දොළහක් විතර වෙනකම් බොහොම ඉක්මණට ඇඟ වැඩෙනවා , ඇඟිලි , ස්වර තන්ත්‍ර වගේ සියුම් කොටස් පවා සංවර්ධනය වෙමින් සෙන්ටි මීටර් 5-6ක් විතර දිග බබා පැටියෙක්  බවට හැදෙන්නේ මෙන්න මේ කාළෙදි තමයි .

මෙන්න මෙතැන ඉඳන් සති 16 වෙනකම් කාය හරිම වේගවත් වර්ධනයක් තමයි වෙන්නේ . හොඳට මතක තියා ගන්න දැන් මේ පුංචි පැටිත්තාට හොඳට දැනෙනවා , විශේෂයෙන්ම දරුවට වේදනාව කියන හැඟීම , සංවේදනය දැන් දැනෙනවා . ඒ විතරක් නෙවි පීඩනය වගේ සංවේදන පවා හැදින ගන්න පුළුවන් මෙයා වැඩිය කැමති කටේ ඇඟිල්ලක් දාගෙන කකුළ පද්ද පද්ද ඉන්නම තමයි . මතක තියා ගන්න දැන් අම්ම හිතන , කරන , හැම දේම මේ පොඩිත්තා අඳුන ගන්නබව , දැනෙන බව .

සති 17 - 20 විතර කාළෙ ඉතින් වෙන වැඩක් නැති නිසා හොඳ නිදා ගන්නවා , වැඩේම ඉතින් නිදාගන්න , ඇහැරෙන ආයෙත් ටිකක් දඟලල නිදාගන්න එකම තමයි . මොකද දැන් පැටියගේ ඉන්ද්‍රියයන් , අවයව වල සූක්ෂම ක්‍රියාකාරීත්වයන් ටිකෙන් ටික වැඩෙන්නට පටන් ගන්නවා . පොඩ්ඩ ටික ටික ලොකු වෙනවා ...හැබැයි තාමත් සෙන්ටිමීටර් 20ක් වගේ තමයි දිඟ නම් ..

සති 20 -24 අතර කාළෙ අම්ම කියන  දේ හොඳට අහගෙන ඉන්නේ. නිකං ඉන්න වෙලාවට අත් කකුල් අල්ල අල්ල ඉන්නමයි කැමැත්ත , රිදෙනවා ඇති , දිගටම ඇඳේමනේ හිටියේ ..දැන් මෙයා සෙන්ටිමීටර් 24ක් විතර දිග පොඩ්ඩෙක් , හදිසි තත්ත්වයකදි වෛද්‍ය පහසුකම් යටතේ අම්මගෙන් ඉවතට ගත්තත් , අවශ්‍ය පහසුකම් ලැබුනොත් කරදරයක් නැතිව ජීවත්වෙන්න පුළුවන් තරම් “ලොක්කෙක් මෙයා ..“ ...අනෙක ලොකු සද්දයක් එහෙම ඇහිලා “බය වුනාම“ කෑගහන්නේ නැතිව අඬන්නත් මෙයා දන්නවා .

තව සති කිහිපයක් ගියාම එහෙට මෙහෙට හැරිලා , එළියට එන්න සූදානම් වෙලා කටේ ඇඟිල්ලකුත් ගහගෙන විවේක පාඩුවෙ ඉන්නයි දැන්නම් කැමැත්ත . ඒ වුනාම පොඩ්ඩක් කකුලෙන් කික් එකක් දීලා ..“අම්මේ කතාවක් කියන්නකෝ කියල “ පෙරැත්ත කරන්නත් පොඩිත්ත කැමතියිළු ..

මෙතැනින් එහාට මේ කතාව ගෙනියන්න ඕන නැහැ .එහෙම වුනොත් අපේ මාතෘකාවෙන් පිටටම යන්න වෙන නිසා , අනෙක “බබා ලැබෙන කම් “ ලිපි පෙළින් මේ හැමදෙයක් ගැනම වගේ කතා කළ නිසාත්. ඒ නිසා ඔන්න දැන් අයෙත් Abortion ගැනයි පටන් ගන්න හදන්නේ.

මොකක්ද මේ ගබ්සා කිරීම කියල හඳුන්වන්නේ ? ...කෙටියෙන්ම කිව්වොත් ගර්භනීත්වයක් නැති කිරීම තමයි ගබ්සා කිරීමක් විදියට හදුන්වන්නේ . තවත් විදියකින් කිව්වොත් සංසේචනයක ප්‍රතිපලයක් විදියට ඇතිවුනු කළලයක් , embryo or fetus  , පරිසරයේ ස්වභාවිකය ජීවත්වීමට නොහැකි මට්ටමේදී , ගර්භාෂයෙන් ඉවත් විම හෝ කිරීම .....දිග වැඩි මන්දා, The ending of pregnancy and expulsion of the embryo or fetus,generally before the embryo or fetus is capable of surviving on its own. මේ ගබ්සාවන් අවස්ථා දෙකක් මුලිකව තිබෙනවා , ඒ අපි මුලින් ටිකක් කතා කළ Spontaneous abortion නැත්නම් ස්වභාවික ගබ්සාව සහ Induced abortion නැත්නම් බලෙන් , ඒ කිව්වේ සැළසුමක් අරමුණක් ඇතිව ඕනෑ කමින් කරන , කරවගන්න ගබ්සාව . මේ Induced abortion ගැන තමයි අපි වැඩි පුර කතා කරන්නට වෙන්නේ මෙතැනදි , මෙයත් අපිට අවස්ථා කිහිපයකට බෙදන්න පුළුවන් , ඒ තමයි සමහර රට වල නීත්‍යානුකූල බවක් ඇතිව කෙරෙන , Legal abortions නැත්නම් යම්  සාධාරණ තත්ත්වයක් යටතේ සිදුකෙරෙන , ඒ කිව්වේ මවගේ ජීවිතය බේරා ගැනීම , සමහර අවස්ථා වල සුව නොකළ හැකි මාරාන්තික රෝග තත්ත්වයකින් ඉපදෙන්නට ඉන්නා දරුවා පෙළීම වැනි  අවස්ථා වල කෙරෙන (Therapeutic abortions) ,   සහ අනෙක නීති විරෝධී අයුරින් , පිළිගන්නා සාධක රහිතව සිදු කෙරෙන Criminal abortions. ඔව් අපිට කතා කරන්නට ඇත්තේ Criminal abortion .ගැන වුනත් මෙහි ලෝකයේ යම් පිළිගැනීමක් , නිශ්චිත ක්‍රමයක් සහිත ක්‍රමය ගැන අපි මුලින්ම කතා කරලමු .

මුලින්ම Legal abortion හෝ Therapeutic abortions වලදි යොදා ගන්නා ක්‍රම ගැන ටිකක් කතා කරමු . විශේෂයෙන්ම මෙ සටහනේදි කිසිදු ඖෂධ නාමයක් භාවිත නොකරන්නේ ඇයි කියල මම  කියන්නට ඕන වෙන එකක් නැහැ. මේක  Therapeutic abortion නැත්නම් චිකිත්සීය ගබ්සාවක් නිසා  එය කර යුත්තේ නිසි වෛද්‍ය පහසුකම්, යටතේ , ඊට අදාල පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මඟින් පමණයි . එය තීරණය කරන්නටත් මේ පිළිබඳව ක්ෂේත්‍රෙය් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු මූලික වෛද්‍ය කණ්ඩායමක් රෝහල් පාර්ශවයෙනුත් , ගර්භනී මව සහ පියා  මූලික තොරතුරු හුවමාරුවක් සහ , මව වෙත ලබා දෙන විශේෂ උපදේශනයකින් Abortion counseling  පස්සේ තමයි මේ කටයුත්ත කෙරෙන්නෙත්.

ඒ ක්‍රමය (දණ්‌ඩ නීති සංග්‍රහයේ 303 වගන්තියට අනුව යම් ස්‌ත්‍රියකගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා සද්භාවයෙන් කරන ගබ්සා කිරීමක්‌ නීති විරෝධී නොවන බව දැක්‌වේ) හැරෙන්නට ලංකාව තුල සිදු කෙරෙන අනෙක් සියළු ගබ්සා කිරීම් 1833 ගබ්සා නීතියට අනුව සම්පුරුණයෙන්ම නීති විරෝධී කටයුත්තක් වුවත් ලංකාවේ අද දිනකට නීතිවිරෝධී ගබ්සාවන් 700-1000ක් අතර ප්‍රමාණයක් සිදුවන බවත් ඒ සඳහාම සූදානම් වූ නිති විරෝධී ගබ්සා මධ්‍යස්ථාව 30000කට වඩා ලංකාව පුරාම පැතිර තිබෙන බවත් ඔබ දන්නවාද ? . ඒත් මේ ගැන දන්න සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තීකයන් වගේම කිසිදු වෛද්‍ය දැනුමක් නැති පුද්ගලයනුත් මේ කාර්යය බොහොම සරුවට කරගෙන යන රැකියාවක් බවට අද පත්වෙලා.

මේ චිකිත්සීය ගබ්සා කිරීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිත කෙරෙනවා . ඒ Medical abortion method සහ Surgical abortion method කියන . මෙයින් පළමු ක්‍රමයෙදි කෙරෙන්නේ , විශේෂීත ඖෂධයක් , නැත්නම් ඖෂධ කිහිපයක් දේහ ගත කිරීම මගින් හෝ , පැටියාට විස වන  රසායනිකයක් කළලය වටා ඇති තරළය තුලට ඇතුළු කර  හෝ යම් අවස්ථාවක , පුංචි පැටියගේ ගැහෙන හදවත තුලට ඇතුළු කරන ඉන්ජෙක්ෂන් කටුවකින් හදවතට විදින රසායනිකයක් Inter-cardiac injections මගින් එය නැවැත්වීම මගින් වැනි ක්‍රම යොදා ගනිමින් තමයි මේ කළලය මරා ඉවත් කරවන්නේ. නමුත් මේ අවස්ථාවට වෛද්‍ය විද්‍යානූකූලව යම් සාධාරණයක් පවතින්නේ , එසේ නොකළහොත් මවගේ ජීවිතය නැතිවීමට ඇති අවදානම ගැන සලකා බලත්දි ,

මෙහි Surgical abortion methods වලදි කෙරෙන්නේ  ශල්‍ය කර්මයක් හෝ ශල්‍ය උපකරණ භාවිත කරමින් කළලය ඉවත් කිරීම එය සාමාන්‍ය සීසේරියන් ශල්‍ය කර්මයක් කෙරෙන ආකාරයේ සිට , යෝනී මාර්ගය තුලින් ඇතුලු කරන උපකරණයක් මගින් කෙරෙන කළලය සහ අදාල පටක උරා ගැනීමේ Suction method මෙන්ම , අඩු ආදිය භාවිත කරමින් , පැටියාගේ හිස , මොළය වැනි පටක කොටසෙන් කොටස කඩා ඉවත් කරමින් සිදු කරනා Partial birth abortion වැනි ක්‍රමත් අනුගමනය කරන්නට වෙනවා. ඒ අදාල ගර්භණී කාළය සහ මවගේ තත්ත්වය වැනි සාධක වලට අනුව.

Criminal abortion වෙන්නේ මේ නීතීමය රාමුවට පිටින් කෙරෙන ගබ්සාවන් , එතැනදිත් මේ මරා දැමීමේ කාර්යය බොහොම සාර්ථක සහ හොඳ වෛද්‍ය තාක්ෂණික පහසුකම් යටතේ , වෛද්‍ය නිලධාරින් අතින්ම පිළිගත් පෞද්ගලික රෝහල් වලදි සිදුවන අවස්ථා නැතිව නොවේ. අද මේ බැලුම්ගල වැඩසටහනෙන් කියවෙන්නේත් එවන් තැනක් ගැනනේ . එහිදි නීත්‍යානූකූලව මේ වරදක් වුනත් , ගබ්සාව නිසා මවට විය හැකි අතුරු හානිය ටිකක් සීමා කරගන්නට පුළුවන් , මොකද මේ කටයුත්ත කෙරෙන්නෙ විෂබීර රහිත , ශල්‍ය පරිසරයක නිසා .


නමුත් අද බොහොම අඩු මිලකට ගබ්සාවක් කරන්න බොහෝ දෙනෙක් යන්නේ , තමන්ගේ මිතුරන්ගෙන් ලැබුණු උපදෙස් මත ගබ්සා මධ්‍යස්ථාන වලට ,මේ ස්ථාන වල කටයුතු කරන්නේ ගබ්සාව තබා සෞඛ්‍යය ගැනවත් නිසි අවබෝධයක් නැති පිරිසක් , එතැනදි ගර්භනී මවගේ ගර්භාෂය තුලට විවිධ උපකරණ , කැපුම් තල වැනි දේ පවා ඇතුළු කරමින් කළලය විනාශ කරන්නට කටයුතු කළත් එතැනදි වන හානිය බොහෝ විට මවට මරණය ගෙන දෙන්නට පවා හේතු වෙනවා .මොකද මේ කටයුත්තෙදි යොදා ගන්නා උපකරණ විෂබීජ වලින් තොර ඒවා නොවෙයි , සමහර විට එකම උපකරණය නිසි ලෙසින් ජීවානුහරණයකට ලක් නොකෙරෙන නිසා , ගබ්සාවෙන් පසු මවට AIDS වැනි රෝග තත්ත්ව පවා ඇති වන්නට අවස්ථාවක් නැතිව නොවේ ,බොහෝ අවස්ථා වලදි මෙබදු සාපරාධී ගබ්සා කිරීම වලින් දින කිහිපයකට පස්සේ මවට රෝහල් ගත වෙන්නට වෙන්නේ විෂබීජ ආසාදනයක් එක්ක Septic abortion කියන මාරාන්තික විය හැකි තත්ත්වයත් සමඟ (සමහර විට Miscarriage අවස්ථාවට පස්සෙත් මෙහෙම වෙන්න ඉඩක් තිබෙනවා)  . එතැනදි වෙන්නේ මිය ගිය පැටියගේ දේහයේ සමහර කොටස් මවගෙන් ඉවත් වුනත් තවත් දේහ කොටස් මවගේ ගර්භාෂය තුල රිංගල තිබෙනවා , ටික දවසක් ගියාම මෙන්න මේ කොටස් කුණු වෙලා සැරව තනමින් මවට අධීක උණ ,ලේ වහනය එක්ක අසාධ්‍ය තත්ත්වයකට පත් කරනවා , මේ අවස්ථාවේ නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් මවගේ මරණය වලක්වන්නට අමාරුයි .

නිසි වෛද්‍ය අධීකක්ෂණයක් යටතේ සිදු කෙරෙන ගබ්සාවකට පස්සේ යෝනී මාර්ගයෙන් වරින් වර ලේ වහනය විම , මද උණ , යට බඩ ප්‍රෙද්ශයේ ඇතිවන මිරිකන සුළු තද වේදනාවන් වැනි තත්ත්ව කායිකව ඇති වන්නට පුළුවන් වගේම මානසිකව යම් අවපීඩන තත්ත්වයකට පත්වෙන්නත් පුළුවන් , ඒ නිසා ගබ්සාවෙන් පසු නියමිත සායන මගින් පසු විපරමකට ලක්විම හරිම වැදගත් . ඒත් ගබ්සාව සිදු කරගත්තේ නීති විරෝධී ක්‍රමයකින් වුනත් මෙවන් ලක්ෂණ හෝ තද උණත් සමඟ මේ ලක්ෂණ කිහිපයක් ඇති වුනොත් , නඩු ගැන බල බල ඉන්නේ නැතිව පුළුවන් ඉක්මණින් ළඟම තියෙන රජයේ රෝහලට යන්න , නැත්නම් මවගේ ජීවිතයත් අනතුරේ .

1988 පස්සේ කැනඩාව තුල නම් ගබ්සාව යම් කාරණා සම්මත කිහිපයක් මත පදනම් කර ගනිමින් නීතිගත කරලයි තිබෙන්නේ .On January 28, 1988, the Supreme Court of Canada struck down all legal restrictions on abortion. That means that abortion is allowed throughout all nine months of pregnancy. There are provincial guidelines throughout the country on how and when abortions may be performed, but they do not have the force of law. .

එතැනදි පවා මෙම කාන්තාවන් ගබ්සාව සඳහා දක්වන හේතු සළකා බලත්දි ලංකාවේ නීති සංශෝධනය විය යුතුද නැත්ද කියන කාරණාවත් , ස්ත්‍රී දුෂණ , දුප්පත් කම වැනි සාධක වලදි දරුවන් මරා දමනවාට වඩා බිහි වන දරුවන් රැක බලා ගන්නට ක්‍රම වේදයක් සැකසෙනවා නම් කෙතරම් වටී දැන් සිතන්නට කාළය මේ.

බලන්න ඔවුන් කියා ඇතිදේ .


Inadequate Finances ආර්ථික අපහසුතා 21%


Not ready for responsibility වගකීම් දරන්නට සුදානම් නැති කම 21%
Woman’s life would be changed too much ජීවන රාට වෙනස් වනවාට නොකැමැත්ත 16%

Problems with relationship; unmarried අවිවාහකබව 12%

Too young; not mature enough අඩුවිය 11%

මෙයින් බොහොමයක් කාරණා අපේ රටේ ගබ්සාවන්ට ලක්වන කාන්තාවන්ටත් පොදුයි . නමුත් පසුගිය කාළයේ ලංකාවේ කළ සමාජ විද්‍යාත්මක පර්යේෂණයකදි වැඩි වශයෙන්ම ගබ්සාවන් සඳහා පෙළඹිලා ඉන්නේ විවාහක කාන්තාවන් බව සොයාගෙන තිබුණා , ඊට අමතරව ආරක්ෂීත ලිංගික එක්විම ගැන නොසලකා හැරීමත් , නිසි කළට පෙර ලිංගික අත්දැකිම් ලබා ගැනීමට පෙළඹීමත් , පෙළඹවීමත් , ඒවගේම නිසි ප්‍රජනන සෞඛ්‍ය දැනුමක් දරුවන් වෙත වගේම වැඩිහිටියන් වෙත ලඟා නොවීමත් වගේ කාරණා ලංකාව තුල ගබ්සාවන් ඉහළ නංවන්නට හේතු සාධක වන බව හඳුනාගන්නට පුළුවන්. (මේ කරුණූ ගැන තවත් විස්තර සොඳුරු සුව අසපුවේ 7 , 8 ලිපි වලිනුත් කතා කළා)  
දාන්න ලැජ්ජ තොප්පිය ..
පුදුමේ කියන්නේ කොන්ඩම් එකක් කඩෙන් ඉල්ලන්නට ලැජ්ජ හිතෙන නෝනලට මහත්වරුන්ට  , ගබ්සා මධ්‍යස්ථානෙට ගිහින් මේ පැටියාව මරාදාන්න ලැජ්ජාවක් නොහිතෙන එක තමයි ....





වෙනද තරම් වැඩි කතා වලට යන්න තරම් හිත කීකරු නොවෙන මාතෘකාවක් නිසා බොහොම රළු විදියට තමයි ලියවෙන්නට ඇත්තේ , ඒ ගැන සමාවන්න , අනෙක මේ සටහනට පිංතූර එක් කරන එක හරිම අපහසු කටයුත්තක් නිසා , හැකි සිමාවේ ඡායාරූප කිහිපයක් පමණක් එක් කළා . මට මේ සටහන පුරාවටම කියන්න ඕන වුනේ , අම්මගේ ජීවිතේට අවදානමක් ඇති අවස්ථාවක හැරෙන්න , මේ පුංචි පැටියව “මරල“ දාන්න එපා කියන එක . නමුත් එතැනින් එහාට ඇතිවන ආර්ථීක සමාජ , ප්‍රශ්න වලට නිසි පිලිතුරක් නොමැතිව එහෙම කියන්නත් පුළුවන්ද කියල කෙනෙක් අහවි . ඒත් ඔය නැති කරන්න හදන පැටියට ජීවිතයක් ලැබුණා , ඒ ඔබ දෙදෙනාගේ ජන්මාණු එක්වුනු දවසේ , ...අනෙක ඔය පැංචට දුක වේදනාව දැනෙනවා , ඒ පැටියටත්  ඇඩෙනවා ඔය කරන රිදවුම්වලදි ඔබට වගේම ., ඔය දමන අඩුවෙන් , කතුරෙන් ගැලවෙන්නට , ජීවිතේ බේරන්නට ඒ පුංචි පැටියත් දඟළනවා , ඒත් අම්මගේ කුස ඇතුළේ තිබුණු රැකවරණය නිසාම උණුහුමට උන් පැටියව ඉන් ගැලවෙන්නට බැරිව කීතු කීතු බවට පත්කරලා මරන්නට හිත හදාගන්න පුළුවන්ද .....

ඉතා සංවේදි සිත් ඇත්තනම් මේ වීඩියෝව නොබැලුවාට කමක් නැත. 



සබැඳි ලිපි 
Miscarriege - http://www.nursinglk.com/2013/08/141miscarriage.html
(මෙම මීට පෙර සොඳුරු සුව අසපුවේම පළ කළ ලිපියක් වුවත් , නැවත නැවතත් මතක් කිරීම සහ දැනුවත්වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන අවධියක අළුත් ලිපියකට වඩා මේ “පරණ “ ලිපිය වැදගත් යැයි මට හැඟේ)   

7 comments:

  1. මේ ළඟදි මට හරි අත්දැකීමක් හම්බුනා... ඉස්පිරිතාලෙක ප්‍රසව හා නාරී වේද වාට්ටුවක සාමාන්‍යයෙන් වැඩිපුර ඉන්නෙ සංකූලතා ඇති අම්මලනෙ... ඔතනදි ගොඩක් වෙලාවට Miscarriages වෙනව... සමහර අයට ස්වාභාවිකවම ඔක්කොම අයින් උනත් සමහර අයට හෙල්ප් එකක් දීලා වොෂ් කරන්නත් වෙනව... එක අම්මා කෙනෙක්, මාස දෙකකදි වගේ heart beat එක නැතිවෙලා.. ඉතිං අර “හෙල්ප්” එක දෙන්න යනකොට අම්මල ආච්චි අම්මල කලබල උනා... අන්තිමට දොස්තරට සිද්ධ උනා ආයිත් ස්කෑන් එකක් කරල පෙන්නල, කට්ටියට තේරෙන සිංහලෙන් කියල දෙන්න “ බබා මැරිලා” කියලා...

    ReplyDelete
    Replies
    1. Heart beat නැති වෙලා කියල තමයි මට තේරුන විදියට ඒ ඩොක්ට කිව්වෙ...

      Delete
    2. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සේවය කරන වෘත්තිකයන්ට අත්දකින්නට අමිහිමි අත්දැකීම් කිහිපයක් තමයි , තමාගේ දරුවා සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන බව , නැත්නම් ජීවිතය බේරා ගැනීමට නොහැකි බව , නැත්නම මිය ගිය බව එම දෙමාපියන්ට දැනුම් දීම. ඔබ කී අවස්ථාව නොවෙතත්, අනෙක් අමිහිරි අවස්ථාවන් පිළිබඳව දෙමාපියන් දැනුවත් කරන්නට මගේ සේවා කාළය තුලත් සෑහෙන අවස්ථා ගණනකදි සිදුවුනා. හරිම චිත්තවේගීයව සංකීර්ණ , අපහසු සහ විටෙක අවදානම් අවස්ථාවන්ට පවා මුහුණ දෙන්නට වෙන තත්ත්වයක්. ස්තුතියි ඔබට දකින්නට ලැබුණූ ඒ අවස්ථාව පිළිබඳව අප දැනුවත් කළාට.

      Delete
  2. පහුගිය අවුරුද්දක විතර ඉඳලා ඔය උඩින් විස්තර කරපු අවස්ථා ඔක්කොම විඳිනවා තුන් වෙනි වතාවට :) දැන් පොඩ්ඩට මාස එක හමාරකට කිට්ටුයි.. අපේ තුන්දෙනාම හිටියේ හරහට. ඒක නිසා තුන් දෙනාම සීසර්ලා. පොඩ්ඩා හිටපු විදියට කියන්නේ 'තට්ටමෙන් ඉන්නවා' කියලලු. මාස එකහමාරෙන් ඇවිත් ස්කෑන් කරන්න කියුවා. ඊයේ පෙරේදා එක්කගෙන ගිහින් ස්කෑන් කරාම තට්ටමේ උකුල් ඇටේ එක පැත්තක සිදුරක් වගේ මොකක්ද පේනවා කියුවලු. ලොකු වෙනකොට ඇරිලා යයි කියුවලු. නමුත් ක්ලිනික් එකටත් දාලා. අවුලක් වෙන එකක් නෑ නේද? අදහසක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර  , මුහුණූ පොත ඔස්සේ ඔබට මේ පිළිබදව කතා කළ නිසා මෙතැන නැවත එය සටහන් කරන්නට යන්නෙ නැහැ. ස්තුතියි නැවතත් ඔබේ පැමිණීමම සතුටක්

      Delete
  3. අකාලයේ ගැබ් ගැනීම් ලංකාවෙ වැඩිවෙන්න හේතුව හරි ලිංගික අධ්‍යාපනයක් ළමයින්ට නොදෙන එක කියලයි මට හිතෙන්නෙ. ඔය අතරින් බොහොමයක් අඩු වයසෙන් පාසල් හැරගිය ගම්වල ජීවත්වෙන මිනිස්සු. තමංගෙ ජීවිතේ අවදානමේ බව නොදැන වෙන්නැති බොහෝ දෙනෙක් නීති විරෝධී ගබ්සා කරන්න පෙළඹෙන්නෙ.

    මොනව උනත් මේ ගැන රජයේ අවධානය යොමු කරල නැතිවෙන අහිංසක බිළිඳුන්ගෙ ජීවිත වගේම අහිංසක අම්මලගෙ ජීවිතත් බේරගන්න වැඩපිළිවෙලක් යෙදුවොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි ප්‍රසන්න , මේ නොදන්නාකම නිසා සහ නොසැලකිලිමත්කම නිසාමයි අපේ රටේ සිදුවන මෙවන් අවාසනාවන්ත සිදුවීම් වන්නේ.
      දැනුවත් කිරීම වගේම , මේ අවස්ථාවන් ඇතිවීමට “හේතු සාධක“ වන ගැටළු වලටත් පිළීයම් යෙදනෙවා නම් ලොකු දෙයක් .
      ස්තුතියි ඔබට නැවතත්

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)