2016/03/30

200) කෙල්ලන්ට රිදවන ජීවිතේ බිඳවන PID

සෙනසුරාදාට දවස ගෙවන්නට 
“අය්යා වයිබරේට එන්න පුළුවන්ද ?“  ගම්  පළාතේ  “මල්ලී“ කෙනෙක්ගෙන් පණිවිඩයක්. සෙනසුරාදා දවසින් වැඩිවෙලාවක් , මගේ අතිජාත මිත්‍රයත් සහ තවත් මිතුරියක් එක්ක පාසල් කාළේ ගැන කතා කරල පරිගණකයෙන් මෑත් වුනා විතරයි.
කමක් නැහැ ,  ජපානේ පැත්තට වෙන්න තිබෙන රටක රැකියාව කරන්න මේ “මල්ලි“ එක්ක කාළෙකින් කතා කරන්න ලැබුණෙත් නැහැනේ.
ගියා වයිබරේට , ඒ වෙනකොටත් ඇමතුම එනවා. 
“හලෝ මහේෂ් අයියා , කොහොමද ? දැන් සීතලද ඔහෙට , මෙහේ නම් ගිණි රස්නෙයි අයියා“ කතාව පටන් ගත්තා ඔහුම.
“වරදක් නැහැ මල්ලි, පහුගිය දවස් වල නම් සීතලයි දැන් නම් ටිකක් සීතල අඩුයි , අද නමයක්ද කොහෙද ? ඔය පැත්තට ගිණී රස්නෙයි කිව්වේ? , මං හිතුවේ ඔය රටවලටත් දැන් සීතලඇති කියල “ 
“මොන රටද අයියා , මං දැන් ලංකාවේ මාස  දෙකක් වෙනව ඇවිත් , මෙහේ ඉන්න බෑ අයිය , ගිණිගන්න වගේ “
“ඇත්තද ? ඉතිං ඉතිං“ මුලින් තිබුණූ උනන්දුවේ හැටියට කතාවේ වැදගත් තැනක් ඇති කියල හිතාගෙන ඒ පැත්තට කතාව ගෙනියන්න මගේ උත්සාහය.
“අයියා , පොඩි අව්ලක් , ඔයාට මතකද මගේ “මැණික“ “ 
“මට මතකයි මූණුවර , ඒත් ඉතින්අපි එත්දි පොඩි කෙල්ල නේ , ඕලේවල් කළා විතරද කොහොද , ඉතින් මොකක්ද අවුල ?“ 

“නෑ මේකයි අයියා , මං ආවට පස්සේ , ගෙදරින් කතා කරල දැන් මැරි කරන්න තමා ඉන්නෙ , ගිය මාසේ අපි පොඩි ට්‍රිප් එකක් ගියා , දන්නැත්ද පොඩි පොඩි දේවල් ටිකක් වුනා . ... නෑ නෑ බය වෙන්න එපා , අර පෙති ගත්තා , එහෙම අවුලක් නැහැ “ මම  අහන්නත් ඉස්සර වෙලා විස්තරේ කියල ඉවරයි . 
“දැන් අවුල මේකයි , හැමදාම බඩේ කැක්කුමයි , පොඩ්ඩ පොඩ්ඩ බ්ලීඩ් වෙනවා . දැන් සතියක් විතර තිස්සෙ උණ වගේ දැනෙනවලු. මට කීවේ ඊ්යේ , ඊයේත් අපි ගියා තැනකට , එයාට හුඟක් රිදෙනවා අයියා.අනෙක එයා කියනවා  මොනවද අර “සුද යනව“ කියන්නෙ , දැන් හරි වැඩියිලු , ගඳත් එක්කලු. මොකක් හරි අවුලක්ද අයියා ? මට එහේ ඉත්දි මොකක්ද දැවිල්ලක් හැදිල බෙහෙත් ගත්ත . ඒක මෙයාට බෝවෙලාද දන්නෑ නේද ? කොහොමද අනේ  ඩොකේ ගාවට යන්නෙ? දන්න කවුරුත්  නැත්ද පොඩ්ඩක් ෂේප් එකේ පෙන්න ගන්න , අම්මල දැන ගත්තොත් මගුලත් ඉවරයි “ මගේ මිත්‍රය කියවගෙන ගියා ඔක්කොම කතාව .

“අනේ මල්ලි , දැන් අවුරුදු පහකට පස්සෙ මං දන්න ඩොක්ර්ස්ල  ඉන්නවද දන්නෙ නැහැ , මට විනාඩි පහක් දෙන්න මං xxxxxකේ සයිට් එකට ගිහින් බලන්නම්  ඩොක්ටර් xxxxx එනවද කියල එහෙම වුනොත් ලේසියි ,“ මේ වගේ අනුන්ගේ  ප්‍රශ්න  ගණනාවකදි උපකාර කළ මගේ ගුරුවරයෙක් වන නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා එන  වෛද්‍ය ආයතනයේ වෙබ් අඩවිය විමසීමෙදි , තවමත් අදාල වෛද්‍යවරයා එන බව දැන ගන්නට ලැබුණා. 
“ලොකු දෙයක් අයියා , මේ සර් අවුලක් නෑ නේද? මොකද මොනවා අහයිද දන්නෑනේ“ 
“නෑ බය වෙන්න එපා , ඔය සර් හරිම ෆ්‍රෙන්ඩ්ලි , ඕන දෙයක්  අහන්න පුළුවන් , උත්තරේ දෙයි කුණූහරුපෙකින්ම ඕනනම් “ 

කතාව තව ටිකක් ගියා , හිතෙන විදියට දෙන්නම යාවි අදලා වෛද්‍යවරයා හමුවන්නට මේ දින කිහිපය තුලම යාවි කියල හිතනවා. ඒ කෙසේ වෙතත් මගේ මිත්‍රයාගේ කතාව ඇතුළේ සැඟවුනු නොකී කතාවක් වගේම , අවදානමක් තිබෙන රෝග තත්ත්වයක් ගැනත් සැකයක් ආව. ඒ එක්කම මේ කියන රෝග තත්ත්වය පිළිබඳ අපට උගන්වමින් සිටි ඉහත කී වශේෂඥ වෛද්‍යවරයා ( එදා ඔහු වාට්ටුවේ ජේෂ්ඨ ලේඛකාධීකාරී වෛද්‍යවරයා - Senior Registrar  ) කී කතාවක් මතක් වුනා. “මෙහෙමනේ , කොල්ල ප්ල්ග් එක ගහනවා , කළකට පස්සෙ කෙල්ල වයලින් ගහනවා , අපේ ගාවට ආවොත් අපි ඇන්ටිබයෝටික් ගහනවා , කොහොමද ගැහිල්ල ආ“  එදා මුළු දේශන ශාලාවම හිනාවෙන් පිරියත්දි , අධීක්ෂණයට හිටි හෙද ආචාරිණිය අප දිහා රවල බැලුවේ තරු ගණින තරහකින්. හැබැයි හැමදාමත් , මොහුගේ දේශන වලදි කොයිතරම් හිනාගියත් , අදාල පාඩම රසට සහ කවදාවත් අමතක නොවෙන විදියට ලබා දෙන්නට තිබුණේ පුදුම හැකියාවක්. (මෙතුම කියපු තව කතාවක් කියන්නම් ලිපියේ අවසානයට , කොහොමත් මේක මාගලක් වගේ වෙනවනේ )

මේ කතාබහ ඔස්සේ අද එන්නට හදන්නෙ මෙතෙක් කතා නොකළ ( වැඩි විස්තර කතා නොකළ) මාතෘකාවකට . ඒ තමයි Pelvic Inflammatory Diseases නැත්නම් PID කියල කෙටියෙන් හඳුන්වන , කාන්තාවන්ගේ  ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කාළීන ආසාදන සහ ප්‍රදාහික තත්ත්වයක්. මුලින්ම කියල ඉන්නම්කෝ මේ PID වලදි බහුලවම දකින්නට ලැබෙන ලක්ෂණ මොනවද කියන එක .

බහුලවම දකින්නට පුළුවන් ලක්ෂණ වෙන්නේ , යෝනී මාර්ගයෙන් දුගඳක් සහිත ස්‍රාවයන් නිකුත් වීම . බොහෝ විම මේ ස්‍රාාවයන් කොළ- කහ පැහැයකට හුරුවයි පිටවන්නේ. ඒ එක්කම යටි බඩ ප්‍රෙද්ශයේ තීව්‍ර හෝ මද  වේදනාවක් දිග ගණනක් තිස්සෙ පවතින්න පුළුවන් .සමහර විට මේ වේදනාව බඩේ උඩ දකුණු පැත්තට වන්නටත් ඇති වන්න පුළුවන් (මේ ගැන අන්තිමට කියන්නම්)  මේ දවස් ටිකේම උණ ගතියක් , ඇඟ පතේ තද විඩාබර ගතියක් එක්ක වමනය ඔක්කාරය බවක් දැනෙනව. මුත්‍රා කරත්දි තව දැවිල්ලක් සහිත තීව්‍ර වේදනාවක් ඇති වෙනවා. තවත් ටිකක් සොයල බැලුවොත් දැනේවි , ආර්තවයට තව දින තියෙත්දිත් වරින් වර රැධීරය පිටවීමක් වන වග. ඔය අස්සෙම ඇය ලිංගික එක්වීමක් වුනොත් එය ඉතා අප්‍රසන්න සහ වේදනාකාරී අත්දැකීමක් වේවි. ( අප කළ එක්තරා ප්‍රජා සමික්ෂණ වැඩසටහනකදි මේ තත්ත්වයෙන් පෙළුනු කාන්තාවක් - මුදලට තම ඇඟ දන්දෙන කාන්කාවක් කී වචන වලින්ම කිව්වොත් මේ වේදනාව “ ඒ අමාරුව  හරියට කොයි වගේද දන්වද , පණ පිටින් ඉන්න මිනිහෙක්ගේ බඩ ඇතුලට පිහියක් දාල එහෙට මෙහෙට අඹරනව වගේ , දරා ගන්න බැහැ “ , තමන් දන්නා සීමාව තුල ඒ වේදනාව කොයි තරම්ද කියන එක ඇය විස්තර කළේ ඒ විදියට . කෙසේ වෙතත් මෙ අවස්ථාවේ ලිංගික එක්වීම ඉතා වේදනාකාරීයි. අමාරුකම් ගැන මේච්චර කීවට , මෙහි යම් අවස්ථාවක මේ කියන තරම් ලොකු රෝග ලක්ෂණ නොපෙන්වා , හැංගිලා ඉඳගෙන ලොකු හානියක් කරන්නට පුළුවන් බවත් කියන්නටම ඕන.ඒ මොනවද කියල ඉදිරියෙදි බලමු.

දැන් හිතා ගන්න පුළුවන්නේ මෙ අවස්ථාව කොයිතරම්ම අපහසුකාරී රෝග තත්ත්වයක්ද කියල. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා කොහොමද මේක හැදෙන්නෙ ? කෙටියෙන්ම කිව්වොත් මෙය ඇති වන්නෙ ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝග (STD - Sexually Transmitted Disease)  ඔස්සෙ . තවත් විස්තර කළොත් , ලිංගාශ්‍රිත රෝග තත්ත්වයකට මුල් අවස්ථාවේ නිසි ප්‍රතිකාර නොකොට කළ යැව්වොත් ඊළඟ අවස්ථාව PID වීමට හුඟක් ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගයේ  ඊළඟ ප්‍රහාරය මෙය. ඒ වගේම ක්ලැමීඩියා ආසාදනයත් ඊටම එකතුවෙනවා. කෙසේ වෙතත් , PID සඳහා ප්‍රධාන සාධකයන් මේ කියන ලිංගාර්‍ශිත රෝග නැත්නම් එම රෝග කාරක වුනත් , උපත්පාලන ක්‍රමයක් ලෙස භාවිත කරන Intra-Uterine Device (IUD) නිසාත් ( විශේෂයෙන්ම නිසි ආරක්ෂක ක්‍රම අනුගමනය නොකර මෙම උපකරණ ගර්භාෂය තුලට ඇතුළු කිරීම මඟින්) , ඊට වඩා බහුලව අනාරකෂිත ගබ්සාවන්ට ලක්වීමත් ප්‍රධාන හේතුවක් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම , අපෙ රට වල නීති විරෝධී ලෙස කෙරෙන බොහෝ ගබ්සා මධ්‍යස්ථාන වලදි  , “ගර්භාෂය තුල ජීවත්වන , දරු පැටියා විනාශ කිරීම සඳහා“ විවිධ උපකරණ යෝනි මාර්ගය ඔස්සේ ඇතුළු කෙරෙනවා. ඒවා නිසි ලෙස විෂබීජහරණයකට ලක් කර නැත්නම් ගබ්සාවෙන් ටික දිනකට පසු ඊළඟ අවදානම PID වන්නට පුළුවන්. මෙ සාහසික ගබ්සාවලදි ලොකු අවදානමක් ඇතිවා මෙන්ම , ස්වභාවික ගබ්සාවකදි මෙන්ම දරු උපතකට පසුව වුනත් PID ඇති වන්නට පුළුවන්. නමුත් ඒ ඉතා කළාතුරකින්. සාරාංශය වන්නේ යම් රෝග කාරක විෂබීජයක් , යෝනිමාර්ගය ඔස්සේ ප්‍රජනක පද්ධතියේ ඉහළට ගමන් කිරීම , ඇතුළු කිරිීම ඔස්සේ  තමන් මෙම අවදානමත් අවස්ථාවට කාන්තාවක මුහුණ පාන්නේ.

දැනටමත් තේරේනව ඇති නේ රෝග තත්ත්වයේ දරුණුකම , මේ තත්ත්වය තුල ඉක්මණින් නිසි ප්‍රතිකාරයකට යොමු නොවුනොත් මොකද වෙන්නෙ? දින ගණනක් පුරා ගර්භාෂය සහ ඊට සම්බන්ධ නාල ( ෆැලෝපීය නාල) දිගින් දිගටම ප්‍රදාහයට පත්වීම ඔස්සේ , එම ප්‍රෙද්ශයේ තිබිය යුතු මෘදු පටක ඝණ-දෘඩ වෙන්නට පටන් ගන්නවා . ( මෙම ප්‍රෙද්ශය තුල පටක කෙබඳුදැයි ලිපි අංක 38 කියෙව්වොත් දැන ගන්නට පුළුවන් ) ප්‍රතිපලය දරු ප්‍රසූතියට අවශ්‍යම සාධක ප්‍රධානම සෛලයක් වන ඩිම්බ සෛලය , අවශ්‍ය තැනට ගෙන එන මාර්ගය , ෆැලෝපියන් නාල දැඩිවෙලා , අවහිර වෙන එක. දැන් ප්‍රතිපලේ “අසරුබව“ නැත්නම් ටිකක් තද වචනෙකින් කිව්වොත් “වඳභාවය“ Infertility  . ඒ කියන්නේ දරුවෙක් ලැබීමේ හැකියාව සම්පුර්ණයෙන් නැතිව යාම , හෝ අවස්ථාව ඉතා අඩුවීම කියල කියන්න පුළුවන්. ඊට වඩා භයානක අවස්ථාව අර මුලින් කී ෆැලෝපියන් නල සම්පුර්ණයෙන්ම වැහෙන්න ඉස්සර වෙලා ඩිම්බ සෛලයක් ඊට ඇතුළු වුනොත් , සංසේචනයට නියමිත තැනට එයට එන්නට බැරිවෙනවා. මොකද දැන් ඩිම්බ සෛලය එන පාර බොහොම දරුණුවට කැඩිලා , ප්‍රතිපලේ ගමන ප්‍රමාදයි. ඔය වෙලාවෙම ශුක්‍රාණු කියල කළබලකාරයො ටිකක් ඇතුළු වුනොත් , ඒයාල බල බල ඉන්නෙ නැහැ “ඩිම්බ නඟා“ පෙරලිලා ළඟට එනකම්. ශුක්‍රාණූ ගර්භාෂය ඔස්සෙ ඉහළට පීනගෙන යනවා. ප්‍රතිපලේ ෆැලෝපියන් නාලය තුල දරු පැටියාගේ උපත ආරම්භවීම . සාමාන්‍යෙයන් ගර්භාෂය කියන ඉඩ තියෙන තැන ඇතිවිය යුතු කළලය , ඉඩ සීමාව අඩු “ෆැලෝපියන් බටය“ තුල ඇති වුනොත් එය විටෙක මවගේ ජීවිතයට පවා අවදානමක් වන්නට පුළුවන්. ඒ වගේම PID තත්ත්වය ගණන් නොගෙන මෙ විදියට ගර්භාශය , ඒ ආර්‍ශිත පටක විනාශවෙන්නට ඉඩ හැරියොත් , ඒ ඔස්සේ ඇති වන වේදනාව බොහෝ කළක් දරන්නට වේවි. විශේෂයෙන්ම ආර්තවය , සංසර්ගය වැනි අවස්ථාවල දැරිය නොහැකි වේදනාවක් විඳිමින් ජීවිතය “විඳවන්නට වේවි“ .

මෙන්න මේ නිසා , වඩාත්ම වැදගත් මේ PID තත්ත්වය ඇතිවන ක්‍රම වලක්වා ගන්න එක , මොනවද ඒ ?

  • ලිංගික ක්‍රියාවලියෙදි ආරක්ෂාකාරීවන්න
    • තමන්ගේ වගේම තමන් සමඟ එක්වන්නාගේත් ශාරීරික පවිත්‍රතාව , පිරිසිදුකම ගැන සැළකිළිමත්වන්න.
    • තමන්සේම තමන් සමඟ එක්වන්නාත් , ලිංගාශිතව සම්ප්‍රේෂණය වන රෝග වලින් තොරදැයි දැගන්න.
    • යම් සැක සහිත තත්ත්වයක් ඇත්නම් , කොන්ඩම වැනි ආරක්ෂක උපක්‍රමයක් භාවිත කරමින් ලිංගිකකාර්යයේ යෙදෙන්න.ඒක දෙන්නගෙම පරිස්සමට හොඳයි.
    • හැකිනම් ලිංගික කාර්යය විශ්වාසවන්ත එක් සහකරුවෙක්ට, සහකාරියකට සීමාකරන්න.
  • උපත්පාලන ක්‍රම ලෙස පෙති ,ඉන්ජෙක්ෂන් හෝ හෝමෝන ලබා ගන්තත් , කොන්ඩම සහ ඩයෆ්‍රම් වැනි “බාධක උපක්‍රම“ නිසි ලෙස භාවිත කරමින් ලිංගික කාර්යය කරන්න. ගර්භාෂයට ඇතුළු කරන උපත්පාලන උපකරණ වලින් ඉවත්වන්නට පුළුවන් නම් හොඳයි කියන එක තමයි මේ රෝග තත්ත්වය පිළිබඳව විමර්ෂණය කරන පර්යේෂකයන් පවසන්නෙ. 
  • සැක සහිත ලිංගික එක්වීමකින් පසුව මුලින් කී ලක්ෂණ කිහිපයක් පවතී නම් පමා නොකර නිසි ප්‍රතිකාර සඳහා යොමු වන්න. වැදගත්ම දේ ප්‍රතිකාරය නියම කළ අයුරින්ම අදාල කාළ සීමාව තුල ලබා ගැනීම . මක් නිසාද PID තත්ත්වය නැවත නැවත ඇති වන්නට පටන් ගත්තොත් එය ලොකු අවදානම් අවස්ථාවක් බවට පත්වෙන නිසා.
මේ ක්‍රම අනුගමනය කළොත් PID ඇතිවීමේ අවදානම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. වැදගත්ම දේ මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර තිබෙනවා . නිසි අවස්ථාවේ (රෝග ලක්ෂණ මතුවූ මුල්ම අවස්ථාවේ , සැක සහිත ලිංගික එක්වීමකට පසු හැකි ඉක්මණින්) සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වුනොත් , මූලික දේහ පරීක්ෂණයක් , රැධීර පරික්ෂණ කිහිපයක් , යෝනි මාර්ගයෙන් ලබා ගන්නා තරළ මඟින් අදාල රෝග කාරකය හඳුනාගන්නට කරන පරික්ෂාවන් කිහිපයකින් තත්ත්වය හඳුනාගන්නටත්  , ප්‍රතිකාර ආරම්භ කරන්නටත් පුළුවන් වේවි. තව්ත වැඩිදුර විමසීම්  අවශ්‍යනම් යෝනි මාර්ගය ඔස්සේ , උදරයේ කුඩා කැපුමක් ඔස්සෙ යවන කැමරාවක් සහිත එන්ඩොස්කෝප් උපකරණයක් මඟින් සිදුවී ඇති පටක වෙනස්කම් විමර්ශනය කරන්නට පුළුවන්. ඒ එක්කම , ස්කෑනින් පරික්ෂණ කිහිපයකටත් ඉදිරිපත් වන්නට ඉඩක් තිබෙනවා. මේ සියල්ල අවසානයේ PID හි තත්ත්වය , සහ සිදුවී ඇති හානිය හඳුනාගන්නට පුළුවන්. වැදගත්ම දේ , මෙ මොනවා කළත් , අදාල මෘදු පටක වලට දැඩි හානියක් වී , කැළැල් පටක තැනී ඇත්නම් එය නැවත යථාතත්ත්වයට පත් කරන්නට ඇති ඉඩ නම් ඉතාමත් අඩුයි. ඒ නිසාමයි පමා නොවී ප්‍රතිකාර ලබා ගැනීම වඩා වැදගත් වන්නේ.

මේ තියෙන්නෙ අක්මාවයි - උදර බිත්තියයි අතරේ හැදෙන “කෙඳි“ 
PID ගැන කියන්න සහ දැනගත යුතු ( සාමාන්‍ය ප්‍රජාව ලෙස ) මූලික දේ කතා කරල අවසන් කියල හිතෙනවා. ඔබට මතකද අර අපේ ගුරුතුමා කී කතාව “කොල්ල ප්ලග් එක ගහනවා ...“ .... එතැන “කෙල්ල වයලීන් ගහනවා කීවේ ඇයි කියල දන්නවද ? මේ කියන PID තත්ත්වයට නිිසි ප්‍රතිකාර නොගෙන හිටියොත් , කළක් යත්දි ඒක ප්‍රජානක පද්ධතියෙන් , දේහ කුහරය ඇතුලට ගිහින් තවත් කරදර කරන්න පටන් ගන්නවා . ඉන් එක් අවස්ථාවකදි අක්මාවේ එළීයේ තියෙන “කවරයයි ‍, උදර කුහරයේ බිත්තියයි “ අතරේ නූල් වගේ වියමනක් බැඳෙනවා , දැන් හුස්ම ගනිත්දි , කහිත්දි , දරාගන්න බැරි තරම් වේදනාවක් බඩේ ඉහළ දකුණූ පැත්තට වන්නට එනවා. ඒ විතරක් නොවෙයි ඒ එක්ක උණ , වමණය වගේ අප්‍රසන්නකර ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ප්‍රතිකාර කරන්න පුළුවන් නමුත් ,ටිකක් විතර සංකීර්ණ කටයුත්තක් . ප්‍රතිජීවක , වේදනානාශක වගේම , උදර බිත්තිය ඔස්සෙ ඇතුළු කරන උපකරණයක් මඟින් අර අක්මාවයි , උදර බිත්තියයි ගැට ගහන කෙඳි , නැත්නම් නූල් ( වෛද්‍ය විද්‍යාෙවදි හඳුන්වන්නෙ “වයලීන් තත් සංලග්නයන්“ Violin-String Adhesion)  කපන්නට වෙනවා. ඔය කතාව මතක් වෙන්න තමයි කීවේ “ කෙල්ල වයලීන් ගහනවා“ කියල . මේ අවස්ථාවට කියන්නෙ ටිකක් දිග නමක් Fitz Hugh Curtis Syndrome . නම ඕන නැහැ දැනුමයි , පරිස්සමයි , නියමිත වෙලාවට ප්‍රතිකාරයයි ගත්ත නම් ලොකු කරදරයක් නැහැ.



ලෙඩ කතාව ඉවරයි දැන් , මේක කතාවක් , ටිකක් “කැත“ කතාවක් කියල හිතේද මන්ද ? අපටත් කිව්වේ මුලින් තී දොස්තර මහත්තයම තමා , දේශනයක් අතරේදි . ඔන්න දවසක් අවුරුදු හතලිස් පහක විතර පිරිමි කෙනෙක් රෝහල් ගත වෙනවා මුත්‍රා අඩස්සියකට. දොස්තර මහත්තය ලෙඩාව බලනවා. තීරණය කළා මුත්‍රා බටයක් දාන්න. 
“මිසී , ඔය ලෙඩාට කැතිටරයක් දාන්න“ දොස්තර මහත්තයා ළඟ හිටිය වාට්ටුවේ සීනියර්ම මිස්ට උපදෙස දීල යන්න ගියා. පැන්ෂන් යන්න ලඟ අපේ “ලොකු මිස්“ උපකරණ ලේස්ති කරගෙන රෝගියා ගාවට ගිහින් විස්තරේ කියල , මුත්‍රා බටේ  දාන්න හදනවා. ටිකක් අමාරුයි දාන්න. දෙපාරක් විතර උත්සාහ කරත් බැරි වුනා. හැබැයි ඔය  අතරේ “ලොකු මිසී දකිනවා අමුත්තක් , මේ ලෙඩාගේ ශිෂ්ණයේ පච්චයක් කොටලා , ටිකක් අසාමාන්‍යයිනේ , “මසින්“ කියල තමයි කොටල තියෙන්නෙ.  අනේ් මන්ද විකාර කියල හිතගෙන ලොකු මිස් , වාට්ටුවේ ඉන්න පොඩි මිස් කෙනෙක් ගාවට ගියා . එයා  ටිකක් දඟකාර හැඩකාර ,වගේම කටකාරයි , ඒ වගේම හොඳ වැඩකාරයා.
“පොඩි මිස් අරයට කැතීටරයක් දාන්න , මං ට්‍රයි කළා අනේ ටිකක් අමාරුයි මට“ 
පොඩි මිස් ගියා , බඩු ටිකත් අරගෙන, ටික  වෙලාවයි ගියේ මෙන්න එනව ලොක්කි වගේ .
“දැම්මද “ ලොකු මිස් අහනවා 
“හ්ම් එච්චර අමාරු වුනේ නැහැ, “ පොඩි මිස් උත්තර දුන්නා.
“මේ අනේ ඔය දැක්කද එයාගේ පච්චේ ? මොකක්ද අනේ “මසින්“ කියන්නේ“ ලොකු මිස් , පොඩි මිසීගේ කණට කරල ඇහුව.
“ලොකු මිස් අහන්නෙ අර පෙනිස් එකේ කොටල තිබුණ එකද ? ආ , එතන තිබුණේ “මල්දෙනියේ සිමියොන්“ කියලනේ , එයාගේ කාගෙ හරි නම වෙන්න ඇති “ පොඩි මිස් ගාණකට වත් නොගෙන කියාගෙන ගියා.
“මල්දෙනියේ සිමියෝන් ....? මං කැතීටරේ දාත්දි තිබුණේ “ මසින්“ කියලනේ , කොහොමද ඒ විගහට “මල්දෙනියේ සිමියොන්“ වුනේ“ ලොකු මිස් කම්මුලේ අත තියාගෙන තවමත් කල්පනා කරනවලු .
හිතාගන්න පුළුවන්නේ වෙච්ච දේ? 

තවත් දවසක “දිග ලිපියකින් “ හමුවනතුරු , ඔබ සැමගේ ජීවිත සුවෙන් සතුටින් පිරේවායි පතමි. (විශේෂ අවස්ථාවක් , 200 වන ලිපිය ! ,  මෙපමණ කළක් “සොඳුරු සුව අසපුව“ රැගෙන එන්නට හැකි වීම පිළිබඳව , සතුට මම තබා ගන්නා අතරේ , එහි ගෞරවය ඔබටම පුදන්නම් !


සබැඳි ලිපි - සිෆිලිස්  http://www.nursinglk.com/2011/07/34-syphilis.html
ගොනෝරියාව http://www.nursinglk.com/2012/05/101.html
උපත්පාලන ක්‍රම http://www.nursinglk.com/2012/08/116.html
සුපර් ගොනෝරියාව http://www.nursinglk.com/2016/01/182.html

16 comments:

  1. මෙවැනි ලිපි ගැන අපිට කියවන්න ලැබෙන්නෙ සොදුරුසුව අසපුවෙන් පමණයි.ඒ නිසා මේ ලිපි හරිම වටිනවා අපිට.
    තවත් මෙවැනි වටිනා ලිපි ලිවීමට ඔබට දිරිය ලැබේවා !!ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , මේ වසර පහ පුරාවටම ඔබ සොඳුරු සුව අසපුව සමඟ රැඳී සිටිමින් ලබා දෙන සහයෝගය වෙනුවෙන් නැවතත් ස්තුතියි

      Delete
  2. හැක්.. මසින් කේස් එකනං මරු වැඩේ.
    ඒ වගේම ලිපියත් සෑහෙන්න වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න , “මසින්“ ටවඩා දිග එකක් ගැන පල්ලෙහා විචාරක මහත්තයා කියල තියෙනවා :D

      Delete
  3. තාම ලැජ්ජාවෙ ලෙඩ හංගගෙන ඉන්න පිරිස වැඩි නිසා කී දෙනෙක් අපහසුතාවයෙන් ඇද්ද කියල ගස්ලබ්බට හිතුනෙ.ඒ නිසා මේ ආකාරයේ දැනුවත්කිරීම් ඉතා වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟයි ඉහළින්ම. විශේෂයෙන්ම , ලිංගාශ්‍රීතව බෝවන රෝග , මානසික රෝග “හංගගෙන“ ඉන්න දරන උත්සාහය නිසා නිරපරාදේ ජීවිත කොයිතරම් නම් විනාශවද ?
      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන්.

      Delete
  4. පැපෝගේ( ගස් ලබ්බ )අදහසත් සමඟ එකඟයි. ලැජ්ජාව හෝ බිය නිසා ලෙඩ හංගගෙන ( විශේෂයෙන් ලිංගාශ්‍රිත රෝග ) විඳවන පිරිසකුත් ඉන්නවා. මේ ලිපිය පමණක් නෙමෙයි සමස්ත බ්ලොග් අඩවියම විශාල දැනුම් සම්භාරයක්. අපි යම් රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර / උපදෙස් ලබාගතහොත් ඒ පිළිබඳව සීමිත දැනුවත් කිරීමක් පමණක් අපිට ලැබෙනවා. මේ අඩවියේ ඇති සියළුම ලිපි පොදුවේ හැමෝටම වටිනවා. දැනුවත් වෙන්න , ප්‍රවේශම් වෙන්න වගේම නිවැරදි ප්‍රතිකාර ( ගොඩ වෙදකම් වෙනුවට ) සඳහා යොමුවෙන්නත් .... ඔබතුමා කරන මේ උතුම් ක්‍රියාව ඉතා ප්‍රශංසනීයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳරු ඔබේ අගය කිරීම සහ අදහස වෙනුවෙන්. එන්න ඉඩ ඇති විටෙක , කතා කරන්න “ වැඩිය කතා නොකරන දේ ගැන“

      Delete
  5. ගොඩක් වෙලාවට වෙන්නේ මේ ගැන ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් හොයාගන්න දන්නැති එක..
    ස්තුතියි ලිපියට මහේෂ්..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රූ , ඒනිසාව “ගොඩ වෙද්දු“ මඟින් “තුවාලේ වණ“ කරගන්න අවස්ථා බහුලයි.
      ස්තුතියි ඔබට

      Delete
  6. ඉතා වටිනා දැනුවත් කිරීමක්. අපි නොහිතන, බුද්ධිමත් කියල හිතන අයත්, මේ වගේ දේවල් කරගන්නවා.

    අර දෙවෙනි කතාවේ 'මසින්' එකට පස්සේ තව එකක් ආවා. වාක්‍යය තවත් දිගයි. 'සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා' :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහත්තයා , දෙවැනි කතාවේ ඔය වර්ශන් එක් නම් අහල තිබුණේ නෑ .

      Delete
  7. වැදගත් ලිපියක්... බොහොමත්ම ස්තුතියි මේ දේවල් සාමාන්‍ය ජනතාවට කියල දෙනවට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර ඔබටත් , අපෙ රටේ ප්‍රධාන මාධ්‍ය වලින් මෙවන් දේ ගැන කතා කරන ප්‍රමාණය සහ විටෙක ඒවායේ නිරවද්‍යතාව මටනම් හිතෙන්නෙ මදියි කියල. විශේෂයෙන්ම සමහර මාධ්‍ය වල “වෛද්‍යවරු “ යැයි හඳුන්වාගෙන , කරන වෙළඳ ප්‍රචාරණමය “සෞඛ්‍ය සාකච්ඡා“ අහත්දි , එවන් දේ පිළිගන්න මිනිසුන් තවමත් අපේ රටේ ඉන්නවදෝ කියලත් හිතෙනවා.
      ස්තුතියි ඔබට , සතුටක් එකම ගම් පළාතක කෙනෙක් තවත් රටකදි මෙළෙස හෝ හමුවීම.

      Delete
  8. ගොඩක් වැදගත් ලිපියක්. ස්තුතියි...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)