2016/03/05

වචන දහසකට වඩා වටිනාකමක් ඇති තත්පර 43ක්


චවන දහසකින් , දේශන සිය ගණනකින්, සෞඛ්‍ය අධ්‍යාපන පත්‍රිකා දහස්  ගණනකින්  “දැනෙන්නට“ ලබා දිය නොහැකි “යමක්“ දැනෙන්නට ලබා දුන් මේ තත්ත්පර 43 සොඳුරු සුව අසපුව තුලට  එක් කරන්නෙ , යම් සුන්දර දසුනක් ලෙසම පමණි. කිසිදු දේශපාලනික මතවාද පිළිබඳව මට අගයක් නැතත්, කොන් වෙමින් තිබු “සුන්දර ළමාවියක“ , එලෙස කොන්කළ යුතු දැයි නැවත විමසා , සිතන්නට මේ තත්ත්පර 43ම ප්‍රමාණවත්යැයි සිතමි , මනසක් , මිනිසත්බවක් පමණක්ම ඇත්නම්. 

නොදැනුවත්කමේ අඳුරින් වැසුනු , තවත් අහිංසකයන් පිරිසක් , තම දරුවන් රැක ගන්නටයැ කියමින් , වරදක් නොකළ , වරදක් නැති මේ අහිංසක දරුවා පෙළන්නට තවත් උත්සාහ නොකරනු ඇතැයි අපේකෂා කළත් , මිනිසත්බව ලත් , අවස්ථාවාදීන්ගේ සිත් කෙසේ හැසිරෙත්දැයි කාට කිව හැකිවේද ? 

මේ දරුවා වෙත සහ එම මව වෙත මිනිසුන් ලෙස ලොවට මුසුවිය හැකි , ආර්ථික , මානසික  උපදේශනමය සහ සමාජීය උපකාරයන් නිසි සංවිධානය වූ ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරි දිනෙක ඇරඹෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ, එවන් අවස්ථාවක් වෙනුවන් කළහැකි උපකාරයක් කරන්නට සිත් දරාගෙනයි.

මගේ දරුවන් සමඟ සිටිනා , අනෙක් දරුවන් කිනම් රෝග වලින් පෙළේදැයි මම නොදනිමි , ඒඩ්ස් , හෙපටයිටිස් බී හෝ ඊටත් වඩා දරුණු අවස්ථාවක් වුව ද මිතුරා , මිතුරාමය. එය පැතිරෙන ආකාරය , එයින් ආරක්ෂා විය යුතු ආකාරයන් පිළිබඳ දැනුවත් කරන්නට නිබඳ උත්සාහ කරමි ,එමඟින් “මිතුර දම පළුදු නොකර“ , තම සෞඛ්‍ය තත්ත්වයත් රැක ගෙන ළමාවිය සුන්දරත්වය විඳින්නට අවස්ථාව ලබා දීම , මා සතුටයි.

පසුගිය දින කිහිපය පුරා ,මේ දරුවා මුහුණ දෙන , මේ මව මුහුණ දෙන “දැරිය හැකි යැයි හිතාගන්නටත්“ නොහැකි වේදනාවන් පිළිබඳ පුවත් , ලිපි වලින් හිත පුරවා සිටි අවස්ථාවක ,  අමාත්‍ය රංජන රාමනායක මහතා මේ සඳහා මැදිහත්වූ ආකාරය පිළිබඳ වීඩියෝවේ , මා සිත් රැඳුනු තත්ත්පර හතලිස් තුන සොඳුරු සුව අසපුවට එක්කළේ කිසිදු දේශපාලන මතයක් නිසා නොව එය මට සංවේදීව දැනුනු නිසාවෙන් පමණි. ( වීඩියෝව ලබා ගත්තේ අන්තර්ජාලය ඔස්සේ , ස්තුතියි අදාල කැමරා ශිල්පියාටත් අදාල කණ්ඩායමටත්) 

ස්තුතියි ඔබට , වෙනදා මෙන් තවත් ලිපියකින් ඉක්මණින්ම හමුවෙමු. 

8 comments:

  1. True. It's emotional and RR is trying to convey a great message. Hope the adversity finally brings a good outcome for the innocent kid.

    ReplyDelete
  2. http://nihandasiththaraawi.blogspot.com/
    oya gAnamay enna balanna
    අඬන්නට කඳුළක්
    සුසුමකට මොහොතක්
    කියන්නට අකුරක්
    හිමි නැත්තෙ ඇයි මට විතරක්?

    සුදෝ සුදු ඇඳුමක්
    ඇඳන් ඉන්නා එකත් සතුටක්
    අලුත් පොත් ගොඩකුත්
    කියවන්න බැරි ඇයි මට විතරක්?

    පිට්ටනියේ පුරාවට
    මටත් ආසයි දුවන් යන්නට
    අතින් අත අල්ලගෙන
    යන්න කෝ අනෙ යාලුවෙක් මට?

    රෑ තිස්සෙ ඉකි ගසන
    අම්මගෙ කෙඳිරිය
    දෙය්යොවත් නැහැ අහන් ඉන්නේ
    අපිම විතරද පව්ම කෙරුවේ?

    තිබහකට වතුර ඩිංගක්
    බත් කන්න හාල් චුට්ටක්
    ලියන්නට මටත් පෑනක්
    නැතිද "දානය" මටත් උරුමේ?

    ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
    නැන්දලා අනෙ කියනවද මට
    අප්පච්චි මගෙ ලොකුම වීරයා
    මාත් මැරුණේ නැත්තේ කොහොමද?

    " මගේ එකෙක් නම් දන්නවා මං
    කරන දේ මම හෙමින් ඕකට"
    අනේ නැන්දේ කීයන්නේ ඇයි
    මැරෙන්නද අපිටත් කියන්නේ?

    බුදුන් වැඩි මේ සිහල දේශයේ
    පෑ දයාවට ඉඩක් නැතිමය
    කර වටක් පන පිටින් වළලා
    ගල් ගසා මැරුවත් සැපක්නෙ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පදවැල වෙනුවෙන්.

      Delete
  3. රංජන් කියන්නෙ අසාර්තක නලුවෙක්.. දේශපාලනය තුල ඔහුගේ රගපෑම් බොහොමයක් අසාර්ථකයි.. නමුත් ඔහුගේ ඇතැම් ක්‍රියාවන් ඉදිරිගාමීයි සෘජුයි.. ඔහුට තේරෙන ඔහුට හැකි පමණින් ඇතැම් දේවලට ඔහුගේ දායකත්වය සැපයීම පුදුමාකාරයි.. ඇත්තටම රංජන් ඔහුගේ මට්ටමට වඩා ඉදිරියෙන් සිටින මනුෂ්‍යයෙක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමිල , මමත් මෙතැන දැක්ක සුන්දර දේ , “මනුස්සයෙක් විදියට , මේ අහිංසක දරුවාට දැනෙන විදියට ආදරය දෙමින් “ , ඒඔස්සේ “අන්ධ සමාජයට දුන් පහරයි“ . ඒ නිසා ඔහු දැක්වූ ඒ මනුස්සකමේ සුවඳ මම අගය කරමි . ස්තුතියි මිතුර ඔබට .

      Delete
  4. අපේ හිත්වල මෛත්‍රිය අඩුවෙනකොට මෙවැනි දේවල් සමාජයේ බහුලව සිදුවෙනව. ‘‘මිත්තස්ස භාවෝ මෙත්තා“ සියලු සත්වයෝ සුවපත් වේවා කියා සිතුවාටම පලක් නැ. ඒක ක්‍රියාවේත් තිබුනොත් ලෝකෙටම සැනසීමක්. මෛත්‍රිය තියනව නම් හිතේ හැමකෙනෙක්ම මිතුරෙක්.
    පෝස්ට් එකේ හිතට දැනුණු කොටස “අනෙක් දරුවන් කිනම් රෝග වලින් පෙළේදැයි මම නොදනිමි , ඒඩ්ස් , හෙපටයිටිස් බී හෝ ඊටත් වඩා දරුණු අවස්ථාවක් වුව ද මිතුරා , මිතුරාමය.“ අැත්තටම ඒක තමයි නියම මෛත්‍රිය.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේ ගේ අදහස මම ඉතා ගරු කොට සළකනවා. ඇත්ත හාමුදුරුවනේ , අද “මෛත්‍රිය“ කියන සිසිල් හැඟීම බොහොමයක් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ නැහැ , ඒව එළියට දාල , කැකෑරෙන “ගිනි හැඟීම් “ වලින් හිත් පුරෝගෙන , අද “මෛත්‍රිය , කරුණාව “ වගේ වචන “මිලට ගැනීමට“ පමණක් තිබුණත් , ඒ හැඟීම් දැනෙන්ට ඉඩක් , කාළයක් , “ඕන කමක්“ නැහැ වගේ හාමුදුරුවනේ.
      බොහොමත් පිං ඔබ වහන්සේට !

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)