2016/03/06

තවත් එක් නිමාවකි ...පතමි සුබ උදාවක්.

 (මේ මීට හරියටම වසර පහකට පෙර ලියූ සටහනක් වන අතර , වසර පහකට පසු නැවත එම ලිපිය කියවීමේදී , දැනුනු සතුට මෙන්ම , මේ ලියූ , මේ කියූ දේ ඔස්සේ යමින් , අද ලොවට වැඩ ඇති දරුවන් පිරිසකගේ දියුණුව දකිමින් ලබන “අමිල සතුට“ නිසාවෙන්ම නැවත පළ කළත් , කියවන අයෙකුට යමක් ගන්නටත් හැකිවේවා යන්න මගේ පැතුමයි . )

උපුටා ගැනීම ආරම්භය -   සොඳුරු සුව අසපුවේ 29 වන ලිපිය

මෙම ලිපිය මගේ බ්ලොග් සටහනේ මූලික අරමුණු බිඳ නොදමනු ඇතියි විශ්වාස කරමි .. මෙම සටහනේ මූලික ඉලක්කය වනුයේ හෙට දිනයේ මගෙන්/අපෙන් වෙන්වන සිසු දරු පිරිසකි....නමුත් බ්ලොග් අවකාශයේ ඔබ සැමට මෙම සටහන විවෘතයි ..වෙසෙසින්ම මේ දරුවන්ට යම් උපදෙසක් දෙන්නට ඔබත් රිසිනම් ...


මගේ ආදරණීය දරුවනේ
මගේ ආදරණීය දරුවනේ ....හෙට දිනේ මමත් මගේ බිරිඳත් ඔබ සැමගෙන් වෙන් වුනත් ඔබ වෙනුවෙන් වූ අපගේ ආදරය,  ජිවිතය පුරාවට රැඳේවි ...මක් නිසාද යත් අපේ ජිවිතයේ හමුවූ සුන්දරතම මිනිසුන් අතර ඔබද එක් වැදගත්ම පිරිසකි... ..
ඔබෙන් ලද දේ 
මගේ අරමුණු කරා යත්දි ඔබ සැම මට මගේ බිරිඳට මෙන්ම මගේ පැටවුන්ටද දිරි දුන් අවස්ථා බොහෝමයි ...මගේ ජීවිතයම සතුටින් පිරී ඇත්තකි ,ඒ මගේ බිරිඳ , මගේ පැටවුන්ගේ සෙනෙහස , ආදරය මෙන්ම ඔබ සැමගෙන්ද ලද  ආදරයද නිසාවෙනි ..නමුදු විටෙක මම විඳවීමි .....වැටුනෙමි ...ඒත් ඒ හැම විට මගේ ආදර බිරිඳ සහ පැටවුන්ගෙන් යම් පෙළඹවීමක්දිරි ගැන්මක්  ලැබුනේද ...ඔබ සැමගෙන්ද මම ඒ භාග්‍යය ලදිමි , ඒ ඔබේ සුන්දර සිනාවෙනි , හෘදයාංගම වූ බැඳීමෙනි .... 
විටෙක මරණයේ ඡායාවන් මා ඉදිරියේ මැවී පෙනෙත්දි ..බිරිඳගේ සුරතේ උණුසුම මට දැනෙත්දී දැඩි සත්කාර ඒකකයේ දොරටුවෙන් බලා සිටිමින් ...මමත් නොදන්නා පුද පූජා කරමින් සෙත් පැතුවා ඔබ මට ...මගේ බිරිඳට සිදු කළ සැත්කමේ බරපතල තතත්වය නොහඳුනා ගත්තද ඒ හැමකෙකදී ඔබ කළ බෝධි පුජාව ...ඔබ කළ දේව මෙහෙය මට අපට නොපෙනෙන යහපත් බලපෑමක් කළේමැයි ...
අපේ  සතුට
ආදර දුවේ පුතේ ගුරුවරයෙක් ලබන සතුට නම් තම සිසුවා යහමඟ යනු දැකීමයි ..තම සිසුවා යමක් උගනී යන හැඟිමයි ...ඒ සතුට අමිලය ..ඉතින් ඒ අමිල සතුට නොමසුරුව මට , අපට දුන් ඔබ අපේ ජීවිතයේ සොඳුරුතම පිරිසයි මා කිව යුතුමයි ... තවෙකක් කියමි ....ලොව කොතැන විසූවත් ඔබ මගේ සිසු දරුවෙක්ය ..ඉතින් හෙට දවසේ ඔබ ලබන ජය මගේ  , අපේ සතුටක් වන බවයි ඒ ..එතෙක් අප ඇස් දල්වා ඔබ ගැන බලා සිටිමු...
ජීවිතය සැලසුම් කර ගන්න 
දරුවනේ ඔබේ ජීවිතය සැලසුම් කර ගන්න , එය අයාලේ යන්නක් වුවොතින් හෙට දවසේ විඳවනුයේ ඔබ පමණක්ම නොවේ ...යථාර්තවාදී සිහිනයක් , ජීවන අරමුණක් ගොඩ නගා ගන්න සැලසුම් කරගන්න , එයට පැමිණෙන මාවත් කිහිපයක් ...එයට එන්න ඒ ඔස්සේ ඉදිරියට එන්න ...බාධා හමුවේවි ..කඳුලු එක් වේවි , ඒ බව දැනගෙනම ඉදිරියට යන්න ...හොඳින සිතට ගන්න .ඔබට , ඔබ සිටිය යුතු බව ...හඳුනාගන්න ඔබේ සැඟවුනු ශක්තිය ....පුබුදන්න ඒ ජීවන ශක්තිය ...එවිට ඔය කඳුළු වියලේවි ...කඳුලේ බර දරන්නට හැකි වේවි ...එන්න ඉදිරියට...මතකයේ තබා ගන්න හැම විටම සියල්ලම ඔබට අවැසි ලෙසින්ම සිදු නොවිය හැකි බව ...එතැනදී දිරි ගන්න යථාර්ථවාදී සිහිනයේ උණුසුමින් ...
ඔබේ සේවය ලොවට දෙන්න
ඔබට කරන්නට බොහෝ දේ ඇත...මිනිසෙක් වූ ඔබ ලොවට යහපත් යමක් කළ යුතුම යැයි මගේ හැඟීමයි ...එතැනදී මුදල , වැටුප , පරයමින් ඔබේ සේවය ලොවට දෙන්න ...එවිට ඔබ ලෝකයට ඕනෑ කරන පුද්ගලයෙක් වේවි ...එතැනයි ඔබේ වාසනාවයි ...මතක තබා ගන්න වටෙක ඔබටම ගැරහුම් ලැබේවි ..ඒත් නිවැරදිදේම කරන්න ..යම් දිනෙක ඔබට ගැරහූවන්ම ඔබට ගෞරව කරාවි ..
දැනගන්න ...හැම දේම
දැනගන්න ...හැම දේම දැනගන්න ..බතක් උයන හැටි ..පොතක් බඳින හැටි ...පිඩැලි කපන හැටි ..හැම දෙයක්ම හැකි තරමින් දැන ගන්න ... .ඒත් එක් දෙයක් පිළිබඳ විශිෂ්ඨයෙක් වෙන්න ..ඒ එක් දෙය වටා ඔබේ ජීවන වෘත්තිය ගොඩනගා ගන්න ..එතැනදීත් ඔබේ දන්නාකම් පෙන්වන්න ...නොකියවා පෙන්වන්න ..ඉදිරි මග පැහැදිලි වේවි ..හැමදාම ඉගෙන ගන්න ...නිමා කරන්නට එපා එය මියෙන තුරු ...පොත පත පමණක්ම නොවේ මිනිසා මෙන්ම සමාජයද හොඳ ඉගෙනුම් උපකාරකයන් යනු මගේ හැඟීමයි  .
ඉතිරි කරගන්න ...
ඉතිරි කරගන්න ...මුදල වටිනා නිසා යම් පමණක් ඉතිරි කරගන්න ..ලැබුණ සියල්ල දියකර හැරියහොත් ඔබට විඳින්නට වෙනවා මයි ...ඒත් ඒ මුදල පිරිසිදුව උපයන්න ...එවිටයි නිදහසේ නින්දට යන්නට හැකි වන්නේ ..ඔබ වැරදි අයුරින් යමක් කළේද ඔබ නිඳන විට හා යම් දිනෙක් ඔබ මියෙන විට එය සිහිවෙනවාමයි ...ඔබට සිතින් විඳින්නට වනවාමයි ....ඉතින් සැනසිල්ලේ නිදන්නට ..හිඳින්නට මියෙන්නට ඔබේ ජීවිතය සැලසුම් කර ගන්න ...
සිනහසෙන්න 
සිනහසෙන්න ..තවෙකෙක් සමඟ.... සොඳුරු සිනහවකින් ඔබේ වත සරසා ගන්න ...මෙපමණම ලස්සනට සිනහසෙන්නට හැක්කේ අපටම පමණි ..එ සොඳුරු හැකියාවෙන් ඔබේ ජීවිතය එළිය කරගන්න ...අඳුරු කරන නොසතුට , තරහව වැනි හැඟීම් හැකි තරමින් එළවා දමන්න ...ඔබට නිදහස දැනේවි ...
පරිස්සම් වන්න 
පරිස්සම් වන්න ...ඔබෙන් වදනක් , තීරණයක් පිටවන්නට පෙර හොඳින් නැවත සිතන්න ...වදනකට , තීරණයකට ඔබ නොදැනුවත්ව ඔබෙන් ඉවතට නොයන්නට දීමයි ඔබේ සතුටේ මග ... එත් වරදක්වූ තැන සමාවන්නට කියන්නට ...ඔබට යහපතක් වූ තැන බොහොම ස්තුතියි කියන්නට , ඔබේ ඉල්ලීමකදි කරුණාකරලා කියන්නට ඒ පරිස්සම නොවුනාට කමක් නැහැ ...

දරුවනේ දිරි ගන්න ජය ගන්න ...ඔබෙයි ජීවිතය ..


සුබ පතන්නේ ඔබට ....නිශාන්ත සමඟින් තරංගනී 

- උපුටා ගැනීම නිමාව ----

මේ දිනවල සිරි ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ මතුවන “විනෝද සමයේ“ කථා වලටම සබැඳිව ලෙඩ රෝග ගැන ලියන්නට හිත පෙළඹුනත් , මේ වන විටත් එවන් ලිපි දෙකක් එක් කළ නිසාත් අළුත් මාතෘකාවකට අවස්ථාවක් එන තුරු සමුගන්නවා , එතෙක් ඔබට සුව සතුට පිරි දිනයක් ! 

මේ අදාල ලිපි දෙක 

මැකුවොත් හිරේ දමන “අපේ මිනිස්සු“  http://www.nursinglk.com/2016/02/198.html

12 comments:

  1. subha pathum. vasara pahakata pasu obata ketharam sathutak danenavada?

    ReplyDelete
    Replies
    1. වසර පහකට පස්සේ ඒ දරුවන්ගේ දියුණුව දැකළ “හිත පිරෙන“ සතුටක් දැනෙනවා :D
      ස්තුතියි ඔබට

      Delete
    2. මේ පොස්ට් එකට අදාළ කොමෙන්ට් එකක් නම් නෙවෙයි මේක.
      එත් "සොදුරු සුව අසපුව" කියවන හෙද හෙදියනුත්", ලියන මහේෂ් අයියාටත් මේකත් ලින්ක් එකට ඇවිත් එකතුවෙන්න කියලා ආරාධනා කරනවා

      https://www.facebook.com/groups/1569855750006943/

      මෙය නොමිලයේ පවත්වාගෙන යන අතර කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධකමක් නොමැත.

      Delete
    3. ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව , ඒ වගේම සතුටක් හඳුුනාගන්න ලැබීම ඔබ සැම .

      Delete
  2. ඔබේ මේ මහඟු බ්ලොග් අඩවිය අතිශයින් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අගය කිරීම පිළිබඳව විචාරක මහත්මයා.

      Delete
  3. ඔබේ බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්..... තව තවත් වසර ගණනාවකට අපිට මේ ඇසුර ලැබේවා....... ජය

    ReplyDelete
  4. නිතර පොස්ට් කියෙව්වත් ප්‍රතිචාර දක්වන්න අවස්තාව ලැබෙනවා අඩුයි.
    කොහොම උනත් පස් වසරකට සුභ පැතුම් තවත් පස් වසරක් වැජබෙන්නට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරි ගැන්වීම වෙනුවෙන් !

      Delete
  5. මම හිතන්නේ මාත් ඒ වසර පහ පුරාම ඔබේ බ්ලොග් එකත් එක්ක සිටියා කියලා. ඔබ දුන් දැනුම මිල කල නොහැකියි. සැබැවටම ඔබ වටිනා කෙනෙක් .ඔබ වැනි අය අද දුර්ලභයි මේ සමාජයේ. සුභ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි ,මේ ලියවිල්ල ආරම්භ කරන්න හේතු වුනේ අර දරුවන් පිරිසගෙන් දුරස් වීමේ වේදනාව අඩු කරගන්නට හුඟක් ලොකු දේවල් නොකරත් , දන්න දේ දන්න විදියට මෙතැන අකුරු කළා විතරයි , ඉන් කවුරු හරි යමක් ගත්තා නම් සතුටක්. ඔව් ඔබ මේ බ්ලොග් සටහනේ ආරම්භයේ සිටම සිටියා , දිරිමත් කළා , අදහස් උදහස් ලබා දුන්නා. ඒ සැමදේටමත් ස්තුතියි .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)