2018/06/10

220) හිත රිදවන නොකී රහසක-1


“නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා
ඔබෙ සුවඳ මට දැනෙනවා දැනෙනවා
රැයේ ඝණ'ඳුරනැගෙන තනියට
සඳක් සේ ඔබ පිපෙනවා පිපෙනවා
මං ආදරෙයි ...“

එඩ්වඩ් ජයකොඩි සංගිතවේදීයා ගායනා කරන මේ ගීතය සුන්දර හිතක් ඇති ආදරවන්තයෙකුගේ හිතට නැගෙන “ආදරණීය“ හැඟීම් ටිකක් කියලයි මට හිතුනේ. විපුල ධර්මප්‍රිය පද රචකයා , ඒ හැඟීම් ආලවන්ත විදියට ගලපල අපේ හිත් ඇතුලට ඇතුළු කරන්නේ අපටත් නොදැනෙන්නම.


මේ සුන්දර ගීතයෙන් ලිපිය ආරම්භ කළත් , මේ තුල කතා කරන්න හදන දේ ඒ තරම්ම සුන්දර නොවෙන්න පුළුවන් , නමුත් මේ කතාව හරියට අහගෙන හිටියොත් , දැනුමට යමක් ගත්තොත් ඒ ඔස්සේ අසුන්දර වූ ජීවිතයකට , සුන්දර එළියක් ලබා දෙන්නට ඔබට පුළුවන් වේවි.

හොඳයි , එහෙම නම් අපි පටන් ගනිමු අද කතාව , ඒ තමයි විශාදය (Depression) සහ සියදිවි නසාගැනීම (Suicide) ගැන. ඔව් , ඔබ සොඳුරු සුව අසපුවේ දිගු කාළීන පාඨක සහෘදයෙක් නම් මතක ඇති මේ මාතෘකා ගැන මීට පෙර ලියා ඇති වග. ඔබ හරි මානසික රෝග යටතේ “විශාදය සහ සියදිවි නසාගැනීම්“ ගැන පහත දැක්වෙන ලිපි මීට පෙර ඔබට ඉදිරිපත් කළා. ඒ තමයි ත

33වන ලිපිය - ඔබේ “ජීවිතය“ සොරා ගන්නා කම්මැලියා - Depression (විශාදය රෝගය පිළිබඳව) 
(ලිපි මල්ල ටැබ් එක ඔස්සේ හෝ http://www.nursinglk.com/2011/07/33-depression_17.html අදාල ලිපියට යන්නට පුළුවන්.)

145 වන ලිපිය - “දරු සුව“ විඳවන අම්මාවරුනේ .. (මව්වරුන්ට ඇතිවිය හැකි විශාදය තත්ත්වය පිළිබඳව)
http://www.nursinglk.com/2013/10/145-post-partum-depression.html

53) කළු සුදු ඇති අළු “මිනිස්සු“ හෙවත් Mr.Unknown මිශ්‍ර මානසික ගැටළු තත්ත්වයක් ගැන
http://www.nursinglk.com/2011/09/53-mrunknwon.html

70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා විශාදය සහ ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වය ගැන
http://www.nursinglk.com/2011/12/70.html


154 ලිපිය -  කළට පෙර පරව යන මල් කැකුළු රැක ගන්න (යොවුන් සිය දිවි නසාගැනීම් පිළිබඳව)
http://www.nursinglk.com/2014/02/153.html

156 වන ලිපිය - සැබෑ වනවා නම් හීනයක්!  සියදිවි නසා ගැනීම් පිළිබඳව කතාබහක් .
http://www.nursinglk.com/2014/02/l.html

මීට අමතරව  මානසික රෝග/ගැටළු  සම්බන්ධ තවත් ලිපි කිහිපයක මේ තත්ත්ව ගැන සාකච්ඡා කරල තිබෙනවා. ඒ නිසා මේ ලිපිය තුල ඉහත කී කරුණූ ගැන නැවත කතා කරමින් ඔබේ කාළය නාස්ති කරන්නට මම බලාපොරොත්තු වන්නේ නැහැ. ඒත් අද මේ කතා කරන්න හදන්නේ වෙනසක් ගැන.

වෙනසක් ගැන ! , ඔව්, කෙනෙක්ට මානසික අවපීඩනය/ විශාදය නැතන්ම ඩිප්‍රෙෂන් තියෙනවා කිව්වොත්,

 ඔබට හිතෙන දේ ඇත්තටම මොනවද ?

“එයාට පිස්සු“ 
“හැම තිස්සෙම අඳෝනාව , අඬාගත්තු ගමන්මයි“ 
“මළහෝන්තුවාව එළොවටත් නෑ මොළොවටත් නෑ , කරුමේ“

ඔබට පෙන්නේ කොයිවගේ කෙනෙක්ද? 

හිනාවක් නැති , කඳුළු පුරවගත්ත , වැඩි කතාබහක් නැති , තනිවෙලා ඉන්න , බලාගත්ත අත බලාගෙන ඉන්න සමහර විට ඇඳුම පැළදුම ගැන , කන බොන දේ ගැන වැඩි උනන්දුවක් නැති කෙනෙක්. 

නමුත්! 

ඔබ දන්නවද විශාදයේ/මානසික අවපීඩනයෙන් පෙළෙන සමහරුන් ඒ පොදු ලක්ෂණ නොවෙන්වා , ඊට ප්‍රතිවිරුද්ධ හැසීරීම් , ක්‍රම වලින් තමන්ගේ ගැටළුව වසා ගන්නට සමත් බව. තමන්ගේ හිත දුකින් ඉන්න බව කාටවත් නොපෙනෙන්න , එයා ව්‍යාජ “සතුටකින්“වසාගෙන ලෝකයා ඉදිරියේ තමන් සුන්දර , ජයග්‍රාහී ප්‍රබල කෙනෙක්බව පෙන්වන්නට. 

මේ පිංතූරයේ ඉන්න අය හඳුනනවද? ඕව වම් පැත්තෙන් ඉන්නේ බරක් ඔබාමා , දකුණු පසින් ඉන්නේ ? ...... අැන්තනි බෝර්ඩේන් , හෝටලයක පිඟන් සෝදන්නෙක් ලෙස තම වෘත්තීය ජීවතේ පටන් අරගෙන , ලෝක ප්‍රසිද්ධ කතුවරයෙක් , රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් (Parts Unknown ඔස්සේ ඔහු බටහිර රටවල වැඩි කතාබහකට ලක් නොවන රටවලට , සංස්කෘතීන් තුලට ඇතුළු වෙමින් ඒවායේ “රස“ පිළිබඳ ලොවට කියාදුන්නා)  ,
ඉහළ ධනවතෙක් වගේම ලෝකය පුරාම හැම වයසකම  ආදරය දිනාගත් දක්ෂ නිර්මාණශීල්පියෙක් කතුවරයෙක්. කථිකත්වය සහ විවිධ රටවල ආහාර පිළිබඳ ඔහුට තිබුණූ කුතුහලය සහ එය ඉදිරිපත් කළ විනෝදකාමී ශෛලිය  ඔස්සේ ජනාදරයටත් පත්වුනු මොහු , පහුගිය සිකුරාදා තම දිවි තොරකරගන්නවා , ඔහුගේ හෝටල් කාමය තුලදි. (මොහුගේ මරණය මා ඇතුළුව අපේ ගෙදර හැමෝගෙමත් හිත් සසල කළා , එයමයි මේ ලිපිය ලියන්නට හේතුව වුනෙත්. බෝර්ඩේන් ලංකාව තුලත් වැඩසටහන් කිහිපයක් කළා)



මේ රොබින් විලියම්ස් , හොලිවුඩයේ දක්ෂ නළුවෙක් , විශේෂයෙන්ම කවටකමින් නිතරම මුව සරසා ගත් විනෝදකාමී පුද්ගයෙක් , ඔහු සිය දිවි තොර කරගත්තා වසර කිහිපයකට පෙර, 


කේට් ස්පේඩ් , අමෙරිකානු මෝස්තර සැලසුම් ශිල්පිනියක් , ලොව ප්‍රසිද්ධ වෙළඳව්‍යාපාර සමූහයක හිමිකාරිනියක් , ඉහළ සමාජ තත්ත්වයක් සහ ධනවත්කමක් තිබූ කාන්තාවක්. රටින් රට සංචාරයට , විනෝදයට හුඟක් ලැදිව ජීවත් වුනු ඇයත් තම ජීවිතයට තිත තබනවා පහුගිය මාසයේදි. 

මේ මම කියාගෙන ගියේ ලෝක ප්‍රසිද්ධියට පත් කිහිපදෙනෙක් ගැන විතරයි . නමුත් ලොව පුරා දිනකට සියගණනක් තව ජීවිතයට තිත තබා ගන්නවා මේ විශාදය ආශ්‍රිත තත්ත්වයන් නිසා. ඒ හේතු කිහිපයක් ,

1) තමන්ට මානසික අවපීඩනය/ විශාදය ඇති බව නොදැන ජීවිත් වීම ( ඒක තමන්ගේ කරුමේ නැත්නම් ලබා උපන් හැටි විදියට සිතමින්) 

2)තමන්ට “මානසිකව වද දෙන ගැටළුවක්“ ඇතිබව දැනුනත් , එයට උපකාරයක් ලබා ගන්නට නොපෙලඹීම ( එය “ලෙඩක් “ නොවයි කියන හැඟීම හෝ සමාජය තුල තමාට කැළලක් ඇතිවේය යන බිය නිසා)

3) තමන්ට මානසික පීඩාවක් තිබෙන බව දැන ගෙන ,නිසි ප්‍රතිකාර නොගෙන  එය වසාගන්නට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි  විවිධ කෙටි ක්‍රම  යොදා ගැනීම.

4) තමන්ට කාළීනය මානසික අවපීඩනය/විශාදය තිබෙන බව දැන , සමාජයෙන් එය වසා ගන්නට , නැත්නම් තමන්ගේ තත්ත්වය පවත්වා ගන්නට , ඊට ප්‍රතිවිද්ධ චර්යාවන් , උපක්‍රම යොදා ගනිමින් වසා ගන්නට “දක්ෂතාවක්“  දැක්වීම.

5) මීට අමතරව , තවත් මානසික රෝග සමඟ මිශ්‍රවී විශාදය පැවතීම , නිසි උපකාර/ ප්‍රතිකාර ලබා ගන්නට ක්‍රම නොතිබීම , වෙනත් ආර්ථීක සමාජයීය ගැටළු වගේ තත්ත්ව සමගින් එක්වීම නිසා මෙවන් අවාසනාවන්ත මරණ සිදුවෙනවා.


අපි නොම්මර එකේ රටක්! 

කෙසේ වෙතත් , මා දකින විදියට මේ පළමු කාරණා හතර මේ බටහිර රටවලට විතරක් නොවෙයි අපෙ රටවලටත් පොදුයි , ඊට අමතරව අපේ වගේ දියුණ වෙමින් පවතින රටවල මෙවන් ගැටළු හඳුනාගැනීමට සහ සහය වීට ඇති ක්‍රම මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ප්‍රමාණවත් නොවීමත් තත්ත්වය වඩා දරුණු කරනවා. මේ හේතු නිසා සියදිව නසා ගැනීමේ සංඛ්‍යා දත්ත  අනුව අපේ රට ඉහළම තැනක ඉන්නවා. ඒ කිව්වේ ලෝකයේ සියදිවි නසා ගන්නා ප්‍රමාණය වැඩිම රටවල් අතරිනුත් ඉහළින්ම. මේ නිසාම විශාදය සහ සිය දිවි නසා ගැනීම් ගැන කතා කරන එක , දැනුවත් වීම , දැනුම අළුත් කරගැනීම සහ ලබා ගත් දැනුම ක්‍රියාත්මක කරමින් තමනුත් , තමන්ගේ මිතුරාත් පවුලේ සාමාජිකයාත් රැක ගැනීම ඔබ අප හැමගේ යුතුකමක්.

අද ලිපිය මෙතෙකින් නිමා කරන්නේ , තවත් ලියන්න කරුණූ ගොඩික් හිතේ රඳවගෙන. මොකද මේ ක තවත් දිග මාගලක් වුනොත් කියවන්න කැමැත්තක් නැති වෙන්නට පුළුවන් නිසා.

ඔව් කතාව ඉවර නැහැ, ඊළඟ ලිපියෙන් අපි බලමු ඔබත්

1) ඔබට නොදැන මානසික අවපීඩනයෙන් විඳවන්නෙක්ද ?

2)ඔබට තිබෙන මානසික පීඩනය ප්‍රතිකාර ගත යුතු මට්ටමේද ?

3)ඔබේ ඔළුවට දැනෙන මේ විඳවිල්ල,  මැරෙන්න හිතෙන එක කරුමෙමද ? 

4)“දක්ෂයෙක්“ , “විනෝදකාමියෙක්“ , “ජනප්‍රිය කෙනෙක්“ , “හොඳමනුස්සයෙක්“ විදියට ඔබ බලෙන් ආවාරණය කරගෙන ඉන්න කවරයෙන් ඇතුළෙ ඉන්න “විශාදය“ ඔබව කවද හරි ජීවිත අවදානමකට ගෙන යාවිද ?

එහෙම නම් කාටවත් නොකී රහසක් , ඔබේ හිත දවනවාදැයි කතා කරන්නට එන්න මීළඟ ලිපියටත්.

(නිළියක යැයි කියා ගන්නා කෙනෙක්ගේ යට ඇඳුම පේන පිංතූර තියෙන ගොසිප් ලිපි හෝ අර ආගමට මේ පක්ෂයට වහල් වීරත්වය දරන පෝස්ට් , එහෙම නැත්නම් තත්පර පහෙන් ෂෙයා කළාම සියළු සම්පත් දෙන කිසිදා නොදුටු “දේව රූප“ යැයි කියන හිතලු රූප රසකරමින් බෙදා ගන්නා රටක , මෙවන් ලිපි බෙදා ගනීවි යැයි අපේක්ෂා කරන්නේ නැහැ. ඒත් අද දවසේ “විය යුතු දේ“ ගැන දැනුමක් ඇති එක් අයෙක් හරි මේ ලිපි කියවල යමක් අරගෙන ඒ දැනුම බෙදා ගන්නවා නම් , උපකාරයක් කරගන්නවා නම් එයම ඇති මට. තවත් ලිපියක් ලියන්නට.)

2 comments:

  1. බෝර්ඩේන් වගේ මනුස්සයෙක් මැරෙන්න හිතන්නේ ඇයි කියන එකත් පුදුමයක්. ප්‍රශං හංගා ගෙන ජීවත්වීම එක හේතුවක් වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ දැන් එන්න එන්නම අපට යහළුවෝ අඩුවෙනවා එහම් දෙයක් ගැන කතා කරන්නවත්. එනිසා තනිකමත් ඕකට බලපානවා ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්, ඔව් ඇත්තටම ඒක හිතාගන්න බැරි නිසාමයි මෙ පෝස්ට් එක ලියන්න හිතුවේ , මොකද මේ කියන්න හදන තත්තවේ ඉන්න “රෝ්ගියෙක්“ , කිසිම ලක්ෂණයක් නොපෙන්වා ඉන්නට සමත්, බෝරඩේන කියනවා ඔහු ලෝකයේ කොයිතරම් ජනප්‍රිය වුනත් , යාළුවෝ බොහොමයක් සතියක දෙකකට සීමා වෙනවා කියලා , ඒ ඔහුගේ වෘත්තියත් එක්ක, ඔබ කියන දේ හරි ඇත්තටම ඔහු “තනිවෙලා“ ලෝකයම ඔහුට ආදරය කළත් .
      නැවතත් ස්තුතියි ඔබේ අදහසට.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)