2011/06/12

13th Discussion - නොකෑවත් මහත්වෙනව(ද) අනේ...(P.C.O.S ගැන දැනගනිමු)

ඊයේ සවස අපේ ස්වාමින් වහන්සේගේ භූමදාන පිංකමට ගියා (මරණයට අදාල නීත්‍යානුකූල කටයුතු ඉදිරියටත් තිබෙන නිසා එම දේහය භූමදානය කිරීමට කටයුතු යොදා තිබුනේ)  , ගමේම පිරිස , විශේෂයෙන් තරුණ පිරිස හරිම සංවේගයෙන් ඒත් හරිම ගෞරවයෙන් එම කටයුතු වලට  දායක වෙලා තිබුණ ,  ..... හික්කඩුව නාරිගම ප්‍රදේශයේ සුන්දර බිම් කඩකදි උන් වහන්සේ අපට “සියලු දේ අනිත්‍ය“ බව නැවත පසක් කර දෙමින් වැලි තලාවක් යට නිසලව වැතිරුනා ......ගමේ පිරිස තවමත් එතැන .....දරා ගන්න අදහා ගන්න බැහැ කාටවත් සිදුවුනේ කුමකුදැයි ....





“මුලින්ම බෙහෙත් විද්දනම් බේර ගන්න තිබුණලු නේද ? ......“ වැලි තලාවක තැනුනු සොහොන් වල  මත කොන්ක්‍රීට් තට්ටුවක් දමන්නට වෙහෙසෙන තරුණ දරුවන් දිහා බලා ගෙන කල්පනාවෙ සිටි මගේ සිතුවිලි බිද දමමින් ...තරුණයෙක් මට කොදුරනවා දැනුනා , ... මට මතකයි මේ තරුණයා , හාමුදුරුවො රෝහලට ගෙනා වෙලාවෙ ඉදල හරියට මහන්සි වුනා ,

 “ඔව් , සතා කාපු  දවසෙම හොස්පිටල් එකට ආවනම් බෙහෙත් විදගන්න තිබුණා , ...මේ.......මේ මහත්තයත් හරියට මහන්සි වුවා මට මතකයි ......, “

“ඔව් මහත්තයා , මේ හමුදුරුවන්ට මෙයා පණ ......පන්සලේ මොකක්ද තියෙන්නේ නැහීගෙන වැඩ ..උදේද රෑද නෑ .......ඒවත් කරන් එපායෑ නේද .....“ මේ තරුණ මහත්මයාගේ බිරිද කතාවට එක් වුනා .....තරුණ මහත්මය දුක් පිරුණූ මුහුණට අහිංසක සිනාවක් නගල මාත් එක්ක හිනා වුනා ....

මේ තරුණ මහත්මයට වයස විසි පහක් විතර ඇති , ඒත්  බිරිද හුගක් වයසයි වගේ , හරිම තරබාරුයි , පෙනුමත් කතාවත් ටිකක් පිරිමියෙක්ගේ වගේ ..... මේ සිදුවීම් අතරේ මට පුංචි සැකයක් ආව .....මේ කාන්තාවට PCOS ද කියල ....ඒත් මට ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න බැහැ වගේම උපදෙස් දෙන්න තරම් වෙලාවකුත් නොවෙයිනේ ....ඒත් මම හිතාගත්ත ඊලග post එකට මේ මාතෘකාව ගන්න ඕන කියල .... මොකද මෙම ගැටලුව මම දන්න හුගක් අයට තිබෙන බව දැන ගන්න ලැබිල තියෙනවා ... විශේෂයෙන්ම මගේ බිරිදගේ කාර්ය මණ්ඩලය අතරෙත් ...පොතේ හැටියටම කිව්වොත් පරිනත කාන්තාවන්ගෙන් 10-20 අතරින් එක් අයෙක් මෙම රෝග තත්තවයෙන් පෙළෙනවා..
තරබාරුවේ තරම....

අපි දැන් කතා කරමු මෙම රෝග තත්ත්වය ගැන ........ මොකක්ද මේ P.C.O.S  කියන්නේ ?

....කෙටියෙන් කිව්වොත් ....කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වන ගෙඩිති විශේෂයක් නිසා ඇති වන අසාමාන්‍ය රෝග ගණනාවක එකතුවක් .......සාමාන්‍යයෙන් මෙවැනි ගෙඩිති cyst ඩිම්බ කෝෂ වල තිබුනත් මෙහිදී ඒවා සංඛ්‍යාවෙන් වගේම ප්‍රමාණයෙනුත් අසාමාන්‍ය වෙනවා.

මේ අය හරිම මහතයි තරබාරුයි ..... B.M.I. දර්ශකය මතක නම් එහි අගය 28-30 වගේ තත්ත්වයකට පත් වෙනවා ....ඒත් මේ අය කියන දෙයක් තමයි “අනේ මම ගොඩාක් කන්නෙත් නැහැ ...එත් මහත් වෙනව අනේ ....“ , ඒ විතරක් නොවෙයි මුහුණ පුරාම කුරුළෑ එනව ...කළුපාට ලප හැදෙන්නත් පටන් ගන්නවා ....බෙල්ල , අත් යට උදරයේ එල්ලා වැටෙන මස් රැළිති ඇතිවෙනව .......එක්තරා විදියකට කිව්වොත් රූප ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා

.....තව තව කරදර ගොඩයි ...ඔවුන්ගේ මාසික ආර්තවය කිසිදු පිළිවෙලක් නැහැ ....එක් වතාවක දින 28කින් සිදුවන ආර්තවය ඊළග වතාවේ දින 20කින් එහෙම නැත්නම් සිදුවන්නේම නැහැ ...ඔය වගේ ආර්තවය චක්‍රය සම්පූර්ණයෙන් අවිධිමත් වෙනවා ....එහි අනතුරක් තියෙනවා ....මෙම කාන්තාවන්ගේ  දරුවන් පිළිසිද ගැනීමේ හැකියාව අඩුවෙනවා ....ඒ කියන්නෙ එක්තරා විදියක ඌන සපලතාව සහිත කාන්තාවක් වීමේ අවදානමක් තියෙනවා....

අපි මේ අයත් එක්ක කතා කළොත් කියන තව වැදගත් දෙයක් තමයි “වරින් වර තද කොන්දේ කැක්කුමක් එනවා ...ඒ වගේම හරියට තරහ යනවා .....කේන්තිය පාලනය කරගන්න බැහැ වගේ දැනෙනවා කියන එක “  , ඒ වගේම ටිකක් පිරිමි ගති ලක්ෂණත් එනවා ..ඒකියන්නේ පපුවේ , මුහුණේ වගේ තැන් වල රෝම , කෙස් හැදෙන්න පටන් ගන්නවා , ඒ එක්කම කොන්ඩෙ යන එක වැඩි වෙලා තට්ටය පෑදෙන්න වගේ එනවා ....

ස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ (පහළ - රෝගය සහිත ඩිම්බ කෝෂය)
ගොඩාක් කතා කළා ...අපි දැන් මීට අදාල ජෛව විද්‍යාත්මක රූප සටහන් ටිකක් බලමු....


මෙහෙම වෙන්න නිශ්චිතම හේතුවක් තවම සොයාගෙන නැතත් පරම්පරාවෙන් යන එහෙම නැතිනම් ජානමය  වශයෙන් ගමන් කරන තත්ත්වයක් කියල සැක කරනවා , මේකෙදි වන්නේ අර විදියට කුඩා ගෙඩිති විශාල සංඛ්‍යාවක් හැදෙන ඩිම්බ කෝෂයෙන් සාමාන්‍යයෙන්  දේහයට අවශ්‍ය තරමට වඩා “ඇන්ඩ්‍රජන්“ කියන හෝමෝනය හදනවා , ඒකෙන් තමයි අර පිරිමි ලක්ෂණ එහෙම ඇති කරන්නේ ...ඒ වගේම ආර්තවය වෙනස් කරන්නෙත් දරුවෙක් පිළිසිද ගැනීමේ හැකියාව අඩු කරන්නෙත් ඒ “ඇන්ඩ්‍රජන් හෝමෝනය“....ඊට අමතරව අපි කවුරුත් දන්න “ඉන්සියුලින් හෝමෝනයත් “ මෙම ලක්ෂණවලට දායක වෙනවා...

ඔබේ වෛද්‍යවරයා හමුවන්න
දැන් ඔබටත් හිතේ පුංචි බයක් ඇති වුනාද මන්ද? .... මේ වගේ ලක්ෂණ තිබුණු පමණින්ම ඒ P.C.O.S කියල කියන්නම බැහැ , හැබැයි සැක කරන්න පුලුවන්  ....දැන් ඔබ කළයුතු දේ තමයි ඔබේ වෛද්‍යවරයා හමුවීම ....සාමාන්‍ය යෙන් පවුලේ වෛද්‍යවරයා තමයි වඩාත්ම හොද  , ඒත් ලංකාවේ අපට විශේෂඥ වෛද්‍යවරයා වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව තියෙන නිසා උපදෙසක් විදියට මෙහෙම කියන්නම් ...“මේ වගේ රෝග ලක්ෂණ තියෙනව නම් ප්‍රමාද කරන්නේ නැතිව විශේෂඥ නාරිවේද Consultant Gynecologist  කෙනෙක් හමුවෙලා උපදෙස් , ප්‍රතිකාර ගන්න , ඔහු ඔබගේ උස , බර , සාමාන්‍ය දේහ පරීක්ෂාවක් කරල ....සැක සහිත නම් scanning  පරීක්ෂණයක් කරාවි ....එහිදි ඩිම්බ කෝෂ වල ස්වභාවය ....ගෙඩිති වල තත්ත්වය හදුනාගන්න පුලුවන් .....රැධිර පරීක්ෂණ කිහිපයකුත් කරාවි ( මේවා හෝමෝන පරීක්ෂාවන් නම් ටිකක් මිළ අධික පරීක්ෂාවන් බවත් කියන්න ඕන)

ඔබේ රෝග තත්ත්වය  මේ යැයි සනාථ වුනොත් වෛද්‍යවරයා ඔබට ඖෂධ ප්‍රතිකාර , විශේෂයෙන්ම හෝමෝනමය “උපත් පාලන පෙති “ විශේෂයක් ලබා දේවි ...දැන් ඔබ බලාවි ඇයි මේ උපත් පාලන පෙති කියලා .....එමගින් තමයි අර අක්‍රමවත් වූ ආර්තවය චක්‍රය නැවත නිසි ක්‍රියාකාරීත්වයට ගන්නේ....ඊට අමතරව ඔබේ බර අඩු කරගන්නට උපදෙස් සහ ආහාර පාලනය ගැනත් කියල දෙනවා , ආර්තවය සම්බන්ධ ගැටලු හොදින් සමථයකට පත්වෙන්න නම් ඔබේ බරින් 10%ක්වත් අඩු කළ යුතු වෙනවා ...සමහර විට දියවැඩියාවට දෙන “මෙට්ෆොමින් “ පෙතිත් දෙනවා ...බය වෙන්න එපා ඒ ඔබට “දියවැඩියාව“ නිසා නොවෙයි ....සමහර විට ඒ වගේම තත්ත්වය තරමක් උග්‍රනම් ඔබට ශල්‍යකර්මයක් වුනත් කරන්නට ඉඩ තිබෙනවා , බය වෙන්න එපා ....ඒක බොහෝවිට උදරයේ පුංචි කැපුමක් හරහා කරන Laparoscopic surgery එකක් ....ඒ කියන්නේ විශේෂිත උපකරණයක් දේහය තුලට ඇතුලු කරලා අර ඩිම්බ කෝෂයේ වෙනසක් කිරීමක් කරනවා.....

දැන් මේ දිග ලිපිය කියනව ඔබ මගෙන් අසාවි ...මෙයට ප්‍රතිකාර ගන්නම ඕනද කියලා ? ඔව් ප්‍රතිකාර ගත යුතුමයි ....මක්නිසාද නැතිනම් ඔබේ රුව , බර වගේම හිතේ ස්වභාවයත් හරිම කරදරකාරී විදියට වෙනස් වෙනවා ... ඒ විතරක් නොවෙයි අනාගතයෙදි ඔබට දියවැඩියාව , අධීරුධීර පීඩනය  වගේම හෘදයාබාධත් ඇති වෙන්න ලොකූ අවදානමක් තිබෙනවා....ඒ වගේද කාන්තාවකට මෙලොව තියෙන සුන්දරතම බලාපොරොත්තුව “සුන්දර දරු පැටියෙක් “බිහි කර අම්මා කෙනෙක් වීමේ බලා පොරොත්තුවත් යම් අවදානමකට ලක් වෙනවා ...දරුවෙක් බිහිවුනත් එම දරුවා නිරෝගි දරුවෙක් විදියට බිහිවීමේ අවස්ථාව අඩුයි

...එසේ නම් මෙම P.C.O.S හෙවත් Poly Cystic Ovary Syndrome ගැන මගේ කතාව මෙතෙකින් අවසන් කරනවා ....කියවූ ඔබ සැමට ස්තුතියි.....



මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........

22 comments:

  1. අගනා ලිපියක්.. වටිනාකම විස්තර කරන්න වචන නෑ.. දිගටම අපිව දැනුවත් කරන්න

    ReplyDelete
  2. ස්තුතියි ඔබට මා තවත් දිරි ගැන්වූවාට...

    ReplyDelete
  3. මේ බ්ලොග් වලින් ඔබලා කරන සේවය හරිම වටිනවා.
    පොතක් කියවනවට වඩා මතකේ රැඳෙනවා.මම මේ දැනුම හිතවතුන් අතරේ බෙදා ගන්නවා.
    ඡය!

    ReplyDelete
  4. හරිම සතුටුයි ... මේ තමයි අපේ අපේක්ෂාව ...ඔබේ දිරි ගැන්විම තවත් ලිපියකට පදනමක් ගෙන දේවි ...

    ReplyDelete
  5. ගොඩක් ම හොද ලිපියක්. ඒත් අනේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න අපේ අය බය තරමක්...!!!! ඒ අතරෙ මමත් එක්කෙනෙක්..... වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න මම තරම් බය වෙන කෙනෙක් නැතුව ඇති.

    ReplyDelete
  6. ඒ නිසා තමයි පවුලේ වෛද්‍යවරයා කියන සංකල්පය තියෙන්නේ ,ඔහු පවුලේ හිතවතෙක් විය යුතුයි...අපේ රටේ මෙය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවත් විදේස් රටකදී මුලින්ම අපි අපේ G.P -General Practitioner ළගට යන්නම ඕන ...එතැනදි ඔබේ ගැටලුව ඇති වන්නේ නැහැ ....කොහොම වෙතත් ඔබට බොහෝම ස්තුතියි අප හා රැදෙනවාට...

    ReplyDelete
  7. මේ ලිපියත් අපේ කාන්තාවෝ බොහෝ අයට ප්‍රයෝජනවත් වෙයි.

    කාන්තාවන්ට විතරක් නෙමෙයි ඔවුන්ගේ සැමියන්ටත් ප්‍රයෝජනවත් වෙයි.

    මේ ලිපි ලියන ශෛලියත් කියවන්න පහසු නියම ශෛලියක් . .

    බොහොම වටින බ්ලොග් අඩවියක්.

    මගේ බ්ලොග් රෝල් එකට දාන්වා ඔන්න.

    මූනු පොතෙත් ශෙයා කරනවා.

    අවසර ඕන නෑනේ . . .

    වැඩි දෙනෙක් අතරට මේ වටින දැන්ම් සම්භාරය ගෙන යන්න නේ ඕන කරන්නේ.

    ReplyDelete
  8. නොදැන සිටි දෙයක් දැන ගන්න ලැබුනා..
    බොහෝම ස්තූතියි..!!

    ReplyDelete
  9. වටිනා ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  10. ඩොක්ටර් මමත් PCOS වලින් පීඩා විදින කෙනෙක්. ඉස්කෝලෙ යන දවස් වල මාසික ඔසප් වීම නැවතිලා තමයි ප්‍රතිකාර සඳහා යොමු වුණේ.එහිදී මට හෝර්මෝන ප්‍රතිකාර සමග මෙට්ෆොර්මින් ලබා දුන්නා.එහිදී හොර්මෝන ප්‍රතිකාරය දවස් කිහිපයක් නොකඩවා පිළිවෙලට ලබා ගත්තාට පසුව තමා මෙට්ෆෝර්මින් ගන්නය කියා කිව්වෙ.නමුත් පසුව මම විදේශගත වුණු නිසා මෙට්ෆෝර්මින් ප්‍රතිකාරය මග හැරී ගියා.කාලයක් යන තුරු ඔසප් වීමත් සාමාන්‍ය ලෙස සිදු වුණු නිසා එය ගැටලුවක් ලෙස දැනුනෙත් නෑ.දැන් යළිත් වරක් මා මහත් වී ඔසප් වීම නතරවෙලා.ඒ නිසා මට නැවත ප්‍රතිකාර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා.ඒත් මා ලඟ තිබෙන්නෙ මෙට්ෆොර්මින් පමණයි.මට දැනගන්න වුවමණා අර හොර්මෝන ප්‍රතිකාරයෙන් තොරව මෙට්ෆොර්මින් ලබාගැනීම පටන් ගත්තාට ගැටළුවක් නොවේද යන්නයි... ඔබතුමාට කරදරයක් නොවේනම් මට උපදෙසක් ලබාදෙනු මැනවි.

    ReplyDelete
  11. බොහොම ස්තුතියි මගේ සොදුරු සුව පියසට ආවාට , පළමුව නිවැරදි කිරීමක් කරන්නට ඕන , මම වෛද්‍යවරයෙක් නොවෙයි , මම රජයේ ලියාපදිංචි හෙද නිලධාරිවරයෙක් , මට ප්‍රතිකාර නියම කිරීමේ නීත්‍යානුකූල හිමි කම නැතත් , ඔබට උපදෙසක් ලබා දෙන්නට පුලුවන් ,
    නැවත ඔසප් විම අක්‍රමවත් වීම සහ තරබාරුව අතර සෘජු සම්බන්ධතාවයක් පවතිනවා ., එය නිවැරදි කිරීමට නම් ඔබේ උස , බර සහ අනෙක් තත්ත්ව පිළිබද නිසි අගැයුමක් සිදු කළ යුතුම වෙනවා , එහිදි ඔබේ බර අඩු කර ගැනීමේ පළමු වගකීම ඔබ තබා ගන්නට ඕන. බර අඩු කර ගැනීමකින් තොරව මෙම තත්ත්වයෙන් නිසි අස්වැසිල්ලක් ලබා ගන්නට අමාරුයි , ඒ නිසා ඔබේ වයසට බරට අනුකූලව මෙට්ෆොමින් ප්‍රමාණය පවා වෙනස් කිරීමට සිදුවේවි , මෙම තත්ත්වයේදි මෙට්ෆොමින් ගත්තාට වරදක් නොවෙතත් ඉක්මණින් නිසි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වීම වඩාත් සුදුසු වන අතරේ එහිදී පෙර ප්‍රතිකාර පිළිබද වාර්තා සහ රෝග විනිශ්චය පත් ඉදිරිපත් කිරිම වැදගත් වේවි,

    ReplyDelete
  12. @දුකා, ඔබට බොහොම ස්තුතියි , මගේ සොදුරු සුව අසපුවට ආවාට , රසවින්දාට ඒ වගේම ඔබේ මිතුරනුත් මේ ගැන දැනුවත් කළාට ...අනේ කිසිම අවසරයක් අවශ්‍ය නැහැ .... යහපතක් කරන්නට ඔබ ගන්නා වෙහෙසට මමද ගරු කරමි....

    ReplyDelete
  13. @nimanthi
    ඔබටත් බොහොම ස්තුතියි , ඔබ යම් දැනුමක් ලැබුවානම් ඔබේ මිතුරු මිතුරියනුත් දැනුවත් කරන්න ..එයින් සමාජයට ඔබේ වටිනාකම තවත් වැඩි වෙනවා

    ReplyDelete
  14. @අකුරු සිත්තරානෙනි , ගොඩාක් ස්තුතියි ...මෙම කරුණු පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ සත්කාර්යය ඔබටත් ඉටු කරන්න හැකි වේවි

    ReplyDelete
  15. හරිම සතුටුයි ... මේ තමයි අපේ අපේක්ෂාව ...ඔබේ දිරි ගැන්විම තවත් ලිපියකට පදනමක් ගෙන දේවි ...

    ReplyDelete
  16. හරිම අගනා ලිපියක්
    අය්යට ගොඩක් පින් මේ කරන ලොකු සමාජ මහෙවරට
    (Dilshan Alahakoon)

    ReplyDelete
  17. Dilshan Alahakoon,
    බොහොම ස්තුතියි දිල්ශාන් , එන්න දැනුවත් වෙන්න , ඒ දැනුම බෙදා දෙන්න , ඒ දැනෙන නිරාමිස සතුට ලබන්න , එයයි සතුට ..

    ReplyDelete
  18. සම්පූර්ණයෙන් ලිපිය කියෙව්වා,මට හිතෙනව කියල තියන දේවල් වලට අනුව මටත් මේ රෝගය තියනවද කියල.මගෙ නිකටේත් කෙස්ගස් කීපයක් ඇවිත් හරියට රෑවුල වගේ,බ‍රත් වැඩිවෙලා,ඉදලා හිටලා කොන්දෙ අමාරුවත් එනව.මාසික ඔසප් වීම ලගකදී ඉදන් මාස 4ක් 5ක් ප්‍රමාද වෙනව.තාම කිසිම වෙදයවරයෙක් වෙත යොමූවුනේ නෑ.

    ReplyDelete
  19. Anonymous ,
    දැනුවත් කළාට ස්තුතියි , ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම වඩාත් සුදුසුයි .

    ReplyDelete
  20. මමත් මේ රෝගී තත්වයෙන් පෙලෙනවා, ප්‍රතිකාරත් ලබා ගන්නවා...
    ඔබ පවසු "“සුන්දර දරු පැටියෙක් “බිහි කර අම්මා කෙනෙක් වීමේ බලා පොරොත්තුවත් යම් අවදානමකට ලක් වෙනවා ...දරුවෙක් බිහිවුනත් එම දරුවා නිරෝගි දරුවෙක් විදියට බිහිවීමේ අවස්ථාව අඩුයි" යම් බියක් මා තුල පවතී ...

    ReplyDelete
  21. -Anonymous ,
    ඔබ දැනටමත් නිසි ප්‍රතිකාර මත නම් සිටින්නේ බය වෙන්න එපා. නිවැරදි ප්‍රතිකාර අඛන්ඩව ගන්න , ඒ වගේම දරු පිළිසිද ගැනීමකට පසු සුදුසු විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න . නැවතත් කියන්නට ඇත්තේ මෙහි වඩාත් අනතුර ඇත්තේ නිසි ප්‍රතිකාර මත රැඳී නොසිටන්නන්ට ..ඔබ අනවශ්‍ය බයක් ඇති කරගත යුතු යැයි මම සිතන්නේ නැහැ.
    ස්තුතියි

    ReplyDelete
  22. හොද දැනුවත් කිරීමක් ඉදිරියටත් මෙවැනි ලිපි පල කරන්නන

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)