2011/06/14

14th Discussion -“ සුන්දර කකුලට ගින්දර දෙන්න එපා“

මේ සුවය  ගතට වගේම සිතටත්....
අද මගේ විවේක දවස ....බිරිදත් මේ දවස් ටිකේ නිවාඩු....ඔක්කොම කට්ටිය මගේ සුන්දරතම වාහනේට නැංගේ පොඩි රවුමක් දාල එන්න හිතා ගෙන .....“කොහෙද යන්නේ කොටුව පැත්තෙද .....Beach එකටද .....Town ද ....“ මේ වගේ දවසක හැමදාම මගේ ප්‍රශ්නනය යොමු වුනා .... “ අපි Town  එක පැත්තෙන් යමු ...මොකද ලොකූටයි .පොඩීටයි දෙන්නටම ඉස්කොලෙට බඩු වගයක් ගන්න තියෙනවා “ ...හැමදාමත් අරපරිස්සම ගැන හිතන ඒ වගේම පවුලේ රාජකාරි වලදි ලොකු බරක් ගන්න මගේ බිරිදගේ උත්තරය වුනා.....“O.K එහෙනම් Town  එක පැත්තෙන්  කොටුව පැත්තේ රවුමක් දාලම එමු “ ....... කවුරුත් එකගයි....පොඩී ඉස්සරහම , ඊළගට ලොකූ ...පරිස්සමින් යන්න පටන් ගත්ත ....මොනව කරන්නද දුප්පත් අපේ සුන්දර වාහනේ නේද ?.....





බෙළිගහ හන්දියට කිට්ටුව ....අපිට ඉස්සරහින් 49cc යතුරු පැදියක් ....ගමේ වචනෙන් කිව්වොත් මදුරු බයික් එකක් ,
“තාත්තේ අර බලන්නකෝ අර බයික් එකේ දුම දාන්නේ ඉස්සරහින් ....දැක්කද ? “ නැවේ කැප්ටන් වගේ බයික් එකේ ඉස්සරහින්ම ඉන්න චූටි දුව කෑගහනවා.....හැමෝටම හිනා.... ඇත්තමයි ....යතුරු පැදියෙන් නම් දුමක් පිටවෙන්නෑ....ඒත් පදවන මහත්මයගේ දුම් වැටියෙන් දුමක් පිටවෙනවා...... වයස හතලිස් පහක , පනහක විතර අපිළිවෙළකට ඇදුම් ඇදලා ගත්ත මහත්මයෙක් ...සෙරෙප්පුවක් වත් නැති කකුලේ මඩ තවරුණු බැන්ඩේජ් පටියක් ඔතාගෙන ......දුම දාගෙන....පැද්දි පැද්දී යනවා ....මට හිතෙන්නේ දුම විතරක්ම වෙන්න බෑ ඇගේ තියෙන්නේ ...

සුන්දර පා යුගල ජීවිතයට අනතුරක් දේද ?
කොහොම වුනත් මේක මට හොද අවස්ථාවක් වුනා  තවත් නොදකින අනතුරක් ගැන ඔබව දැනුවත් කරන්නට......ඒ දුම්පානය ගැනවත් ...මත්පැන් ගැනවත් නොවෙයි....ඒ දෙකම කාළයක් තිස්සේ එකතුවුනාම ඇති වන දියවැඩියාව සහිත  රෝගියෙක්ගේ ජීවිතය රැක දෙන පාද සාත්තුව ගැන...අපි හැමෝම දැන ගෙන ඉන්න ඕන , විශේෂයෙන් පවුලේ දියවැඩියා සාමාජිකයෙක් සිටන ඔබ අනිවාර්යයෙන්ම දැන ගත යුතු කරුණක් ගැන ...මොකද දන්නවද දියවැඩියාවේ නරක සිදුවිමක් තමයි , කකුලක් එ‍හෙම නැත්නම් කකුලක ඇගිල්ලක් කපා දමන්න වෙන එක ....සමහර වෙලාවට මේ තුවාල ඔඩුදිවීම නිසා ජීවිතය පවා නැති වෙන්න අවදානමක් තියෙනවා ...

ඇයි මේ කකුල ගැනම කතා කරනනේ ....දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක් ගේ ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා ......එහි බලපෑම වැඩියෙන්ම දැනෙන තැනක් තමයි කකුල ....ඒ වගේම නිතර අනතුරුවලට ලක් වීමේ අවදානම වැඩියි...ඉතින් ස්නායු ක්‍රියාකාරීත්වය අඩුනිසා එම ප්‍රදේශයේ තුවාලයක් , සීරීමක් වුනාට දැනෙනනේ නැහැ ..දැනෙනවනම්නේ අපි තුවාලය පිරිසිදු කරගන්න , බෙහෙත් දාගන්න පෙළඹෙන්නේ ....ඉතින් දියවැඩියා රෝගීන් තමත්ගේ පාදයේ සිදුවන තුවාල වල විෂබීජ වර්ධනය වෙලා ඔඩු දුවන තත්ත්වයට පත් වෙනකම් නිසි ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ ,අවසාන ප්‍රතිඵලය වෛද්‍යවරයාට සිදු වනවා ඒ පාදය ශල්‍යකර්මයකින් ඉවත් කරන්නට .....

ඒ තතත්වයට තවත් හේතු කිහිපයක් තියෙනවා ....ඒ දියවැඩියා රෝගීන්ගේ දේහයේ ප්‍රතිශක්තිකරණ හැකියාව එහෙම නැතිනම් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා , ප්‍රතිපලය ඇගට විෂබිජයක් ඇතුලු වුනොත් එය හරි ඉක්මණට පැතිරිලා ජීවිත අවදානමකට ලක් කරනවා ....අනෙක් හේතුව තමයි දියවැඩියාවෙන් රුධිර වාහිනි , ලේ නහර පටු වෙනවා ....ඒ කියන්නේ  ලේ නහර දිගේ ගලන ලේ ප්‍රමාණය අඩු වෙනවා එයත් තුවාලය සුව නොවී , නරක තත්ත්වයට පත් කිරීමට හේතුවෙනවා ....
ඒකියන්නේ දියවැඩියාවේ අතුරු පල විදියට ස්නායු දුර්වල වීම , ප්‍රතිශක්තිය අඩුවීම ,සහ ලේ නහර පටුවීම කියන සිදුවීම් තුන නිසා රෝගියාගේ පාදය “ඉතා අවදානම් කළාපයක් “ බවට පත් වෙනවා ... අපි මේ කරන්න හදන්නේ ඒ අවදානම් කළාපය පරිස්සමින් පරිහරණය කරන හැටි හදුනාගන්න ......
මරණයේ සෙවනැලි ...ද මේ.......

ඒ අවදානම් කළාපය නිසි ලෙස පරිස්සම් කර නොගත්තොත් සිදු වන්නේ එක්කො පාදය නැති ජීවත් වන්නට එහෙම නැතිනම් ජීවිතයම නැති කර ගන්නට......

මම දැන් දියවැඩියා පාද සාත්තුව හෙවත් Diabetic Foot care  ගැන කෙටියෙන් කියන්නම් .....

පළමු වැදගත්ම දේ තමයි දියවැඩියා රෝගියා මෙම අවදානම ගැන දැනුවත් කිරීම , එහිදි අනතුරු වියහැකි විදිය , ඒ පිළිබද තමන්ට නොදැනෙන බව පැහැදිලි කරන්නම ඕන ,...එහිදී දිනපතා විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර පාද පිළිබද හොදින් “බලන්න“ කියල කියා දෙන්න ... පාද දෙක මද උණුසුම් වතුරෙන් හොදට හෝදල වියලල ....හරිම වැදගත් වියලීම ...විශේෂයෙන්ම ඇගිලි අතර නිසි ආකාරයෙන් වියලුනේ නැත්නම් ...දිලීර වර්ධනය වෙන්න ඉඩ තියෙනවා ...එවිට කැසීම මගින් අපි තුවාල ඇති කරගන්නවාමයි .....එත් ස්වභාවයෙන්ම පාද වියලි සමක් සහිතව සිටින අයට පුලුවන් පාද සෝදල හොදට වියලලා ...මෘදු තෙත්කාරක ක්‍රීම් වර්ගයක් (Moisturize)  ආලේප කරන්නට පුලුවන් ..ඒත් කිසිම වෙලාවක පාදයේ ඇගිලි අතරේ එය ආලේප කරන්න එපා....හරි දැන් ඔය විදියට පිරිසිදු කර ගත්ත පාදය දිහා හොදට බලන්න කියන්න ......



පාදයේ යටි පතුල කණ්නාඩියක් භාවිතයෙන් ...
එහිදි මුහුණු බලන කණ්නාඩියක් උදව් කරගන්නවා නම් පාදයේ යටි පතුලත් හොදින් නිරික්ෂණය කරන්න පුලුවන් ....හැබැයි මේ හැම දේම කරන්න ඕන හොදට එළිය තියෙන තැනකදි ....මොකද අපි උත්සාහ කරන්න ඕන ....පාදයේ පුංචි හරි සීරීම්ක්වත්  තිබේද කියල හදුනගන්න...එහෙම හදුනගත්තොත් ඉක්මණින්ම එය පිරිසිදු ඖෂධීය ප්ලාස්ටර් කැබැල්ලකින් ආවරණය කරල ...නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙනවා ...තුවාල විතරක් නොවෙයි ...හමේ පාට වෙනස්වීමක් ...ඒ කියන්නේ , පාට , කලු පාට හෝ සාමාන්‍ය පාටට වඩා තද වර්ණයක් වෙලාද කියල බලන්න..එහෙම වෙලා නම් පාදයේ එම ප්‍ර දේශයට එම ලේ ප්‍රමාණය අඩුවෙලා වෙන්න පුලුවන් ...එය  අවදානමක් ..... .

ඊට පස්සේ ....පුලුන් කෑල්ලක් අරගෙන පාදයේ ඇගිලි වල ඉදල ඉහලට තැනින් තැන ස්පර්ශ කරල බලන්න ...එම ස්පර්ශය හොදින් දැනෙන්නේ නැත්නම් ...මෙන්න අවදානම් අවස්ථාවක් ...මේබව ඔබේ වෛද්‍යවරයට දන්වන්න.....

පාදයේ නියපොතු කැපීම ගැනත් හොද අවධානයක් තියෙන්න ඕන ... තරමක් කොටට හරස් අතට නිය කැපුවාම ප්‍රමාණවත් ..... වැඩි හොදට නිය හුගක්ම කෙටි කරන්න ගියොත් වෙන්නේ අපිම තුවාල ඇති කරගන්න එක ..අපිට හමු වන බොහොමයක් රෝගීන් එන්නේ “නිය කන්න පැසවලා ...ඊට පස්සේ තුවාලේ ඔඩු දිව්වනේ ...“ කියාගෙන . ඒ එක්කම කියන්න ඕන කිසිම වෙලාවක “ගල් තැලෙම්බු“ එහෙම නැතිනම් පාදයේ තියෙන ගැටිති ගෙදරදි බ්ලේඩ් එකකින් කපන්න උත්සාහ කරන්නවත් එපා.....

 දිවා කාළයේදි ඇවිදින කොට පාදය හොදින් ආවරණය වන විදියට පාවහන් පලදින එක හොද ආක්ෂක උපක්‍රමයක් , හැබයි එම පාවහන් පාදයට හුගක් තද නැති මෘදු ඒවා නම් තමා වඩාත්ම හොද ....පාවහන් පලදින්නේ නැතිව ඇවිදින්න එපා .....එතකොට අපට නොදැනෙන පුංචි තුවාල ඇති වෙනවා ....ඒවා හොදටම ප්‍රමාණවත් මහා අනතුරක් ඇති කරන්නට තවත් දෙයක් මේ පාද වලට තද උණුසුම හරිම භයානකයි ...

.ඒවගේම පුටුවක වාඩිවෙන විදිය පවා හරිම වැදගත් ...කිසිම වෙලාවක් පාදයේ පහලට ලේ ගමන් කිරිමට බාධාවන විදියට පාදයක් පිට පාදයක් හරස් අතට තියාගෙන ඉන්න එපා...හුග වෙලාවක් වාඩි වෙලා ඉන්න සිද්ධවෙනව නම් ...වරින් වර පාදය සොලවන්න ..පා ඇගිලි දිග හරින්න ....එතකොට ඒ ප්‍රදේශයට ලේ සැපයුම යථා තත්ත්වයට පත් වෙනවා.....


හුගක් වෙලා මෙහෙම ඉන්න එපා......
මේ අතරේ තමාගේ දියවැඩියාව පාලනයට අදාල ඖෂධ , ආහාර සහ ව්‍යායාම ගැන අවධානය තබා ගත යුතුම වෙනවා ....ඒවගේම දුම්පානය නොකිරීම හරිද වැදගත් ...ඇයිද දන්නවාද ...දුම්පානය මගින් ලේ නාල , විශේෂයෙන්ම පාද වල රුධිර වාහිනී වල රෝග තත්ත්ව ඇති වෙලා ...පාදයේ නිරෝගී බව අඩු කරන්නට පුලුවන් ....


මගේ ඉදිරියෙන් පැද්දි පැද්දී තම රථය අමාරුවෙන් හසුරුවන මේ “දුම් මැෂිම“ දියවැඩියා රෝගියෙක් නම් .......කෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේද කියන කණගාටුව මගේ සිතේ රැදුනා......

මගේ අනෙක් ලිපි සඳහා මෙතැනින් යන්න...


මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........

9 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්.. ඔන්න මමත් මේ බ්ලොග් එක follow කරනවා.

    ReplyDelete
  2. බ්ලොග් කළාවේ නියමුවෙක් මගේ බ්ලොග් සටහනක් follow කිරීම ගැන මට හරිම සතුටුයි ... ඔබේ අදහසට ගරු කරමි.

    ReplyDelete
  3. මා දන්නා දියවැඩියා රෝගියෙල් ඉන්නවා ඇය මවක්.
    නමුත් නිසියාකර ප්‍රතිකාර ගන්නෙ නෑ. මා මේ ලිපිය ඈයට
    යොමුකරනවා. මෙහි ඇති බයානකකම වටහා ගනීවි.

    බොහෝ දියවැඩියා රෝගීන්ගේ ඇස් පෙනීමත් දුර්වලයි නේද?
    වටිනා ලිපියක්.

    ස්තූතියි

    ReplyDelete
  4. ඇත්තටම කළ හැකි නම් එය පිංකමක් ...ඔව් මොකද දියවැඩියා රෝගීන්ගේ ස්නායු දුර්වල වීමක් Neuropathy වෙනවා එවිටයි ඇස් පෙනීම අඩු වෙන්නේ...ඔබට බොහොම ස්තුතියි දක්වන සක්‍රිය සහයෝගයට ...

    ReplyDelete
  5. බොහොම වටින ලිපියක්.

    අද අහම්බෙන් මේ අඩවිය දැක්කේ.

    අනිත් ලිපි ටිකත් ඔක්කෝම හෙමීට කියවන්න ඕන.

    මාතෘකා ටික දැක්කාම හිතුනේ ඒ ලිපිත් මේ ලිපිය වගේම බොහෝම වටිනා ඒවා වෙන්න ඕන කියලා.

    ගොඩක් ස්තූතියි මේ වගේ ලිපි වලින් අපිව දැනුවත් කරන එක ගැන.

    දිගටම ලියන්න . .

    ජය

    ReplyDelete
  6. ඔබට බොහොම ස්තුතියි මා දිරි ගැන්වූවාට , ඔව් ඉදිරියෙදිත් මෙවන් ලිපි ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  7. හොඳ ලිපියක් . වටිනා දෙයක් සිත් ඇදගන්න විදියට ලියන කෙනෙක් ඔබ,,, . දැනුමයි කලාවයි දෙකම ඇති .

    ReplyDelete
  8. @Bindi, බොහොම ස්තුතියි...මෙහි යම් සතුටක් වේනම් එහි අයිතිය ඔබ හැමටයි ...ඔබේ දිරි ගැන්වීමටයි ....

    ReplyDelete
  9. mewa Facebook share karanna puluwannam godak watinawa..ath ahema karanna idak nehene..

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)