2011/06/24

21st Discussion- හඳුන්පත කීං ගාවන ලොකු හිල පොඩි වීම....හෙවත් C.H.D

ලස්සන චිත්‍රපටයක් .....
ඊයේ කාළෙකට පස්සේ හරිම ලස්සන film  එකක් බැලුවා .නම “ The Tree “ ,  Charlotte  Gainsbourge ගේ චිත්‍රපටයත් ..සුන්දර සංවේදි කතාවක් ...දරුවන් තිදෙනෙක් සහිත පවුලක් පියා හෘදයාබාධයකින් හදිසියේ මිය යනවා ..ලොකු ගහක් යටදි .....

මගේ ආදර “තාත්තාගේ“ උණුසුම
එත් මේ මරණය පවුලේ බාලම දුවට වටහා ගන්නට බැහැ ...අවමංගල්‍ය යේ කටයුතු අවසානයි ... ඒත් පුංචි දුවට තාත්තගේ මරණය ප්‍රශ්නයක් ....ඇය අර ගහ ගාවට යනවා ..ඇයට ඒ ගසේ තාත්තා සිටින බව දැනෙනවා ...තාත්ගේ හඬ ඇසෙනවා ..ඉතින් කොහොම නම් සිතන්ද තාත්තා මළ බව ....ඒ වටා ගෙතුනු ...ලස්සන ..ඇත්තටම ඇස් වලට කඳුළු නංවන සංවේදී චිත්‍රපටයක් ...




Film  එකත් බලලා නිදා ගන්න ගියා .අපේ චූටි මිතිලිගෙනුයි , දිනිති අක්කිගෙනුයි ප්‍රශ්න වැලයි ...“ඇයි තාත්ත මැරුණේ ?“  පොඩී අහනකොට , “හදිසියේ කොහොමද හෘදය නවතින්නේ ?“  ලොකූගෙන් තව එකක් ...ලෙඩක් නැතිව මැරෙන්න පුළුවන්ද ? ....මේ ප්‍රශ්න වලටත් ඉතින් උත්තර දෙන්න එපායැ ...

“තාත්තාගේ“ සෙවනේ
මට හිතුනා ඒකෙන් අද දවසේ මාතෘකාව ගොඩනංවන්න... මොකද දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානය W.H.O. කළ  පර්යේෂණයකින් සොයාගෙන තියෙනවා සමස්ථ ලෝකයේ සිදු වන මරණ වලින් වැඩිම ප්‍රමාණයක් මිය යන්නේ හෘදයාබාධ සසහ ඒ ආශ්‍රිත තත්ත්ව වලින් කියලා ..සිදුවන සියළුම මරණ වලින් 12.8%කටම කෙටියෙන් කිව්වොත් 1/8 ම  හේතු සාධකය මෙම හෘදය ආශ්‍රිත රෝගයන් ....ඉතින් එතරම් අනතුරක් ඇති මෙම රෝග සංකීර්ණය ගැන අපි දන්නා ප්‍රමාණය අද දවසට තරම්ද කියල විටෙක හිතෙනව ....


අපි මුලින්ම බලමු ...මොනවද මේ රෝග තත්ත්ව කියල කෙටියෙන් ... මුලින්ම congenital Heart disease කියන කාණ්ඩය ...මේ උපතින්ම හෘදයේ විවිධ ගැටළු..අසාමාන්‍ය සිදුරු ...කපාල දුර්වලවීම් ...බිත්ති ඝණවීම් ....ප්‍රධාන ලේ නහර වල වෙනස්කම ..වගේ ලොකු කතාවක් ..බොහෝවිට කුඩා කාළයේදී ම නිසි ප්‍රතිකාර කළ යුතු වෙනවා ..ඊට පස්සේ වියපත් වීමත් එක්කම ඇති වන කපාට පටුවීම් (Stenosis) , කපාට වල පිහිටිම් අක්‍රමවත්වීම් (valve prolapses ) වගේ තත්ත්ව ඊළඟට හෘදයේ ඇතුළේ තියෙන විදුලිමය ක්‍රියාව වෙනස්වීම නිසා ඇතිවන තත්ත්ව  (Sinus bradycardia , Tachycardia ) එච්චරද නෑ ..ලොකුම ප්‍රශ්න ඇති කරන හෘදයේ නාල පටුවිම් ....Coronary Artery Diseases )  වගේම හෘදයට යම් විෂබිජයන් ඇතුළුවීම නිසා ඇති වන Carditis වැනි තත්ත්ව (මමත් මීට මාස හතකට විතර ඉස්සර වෙලා ..මෙම කාඩයිටිස් තත්ත්වය නිසා “එළොව ගිහින් මෙළොව ආව“ )   ඒ විතරක් නොවෙයි .....කිව්වොත් තව පිටු ගණනාවක් ලියන්න ලෙඩ ඔය හදවත ආශ්‍රිතව ඇතිවෙනවා ....(ඔක්කොම මේ වෙලාවේ කිව්වොත් ඔයාගේ හදවතත් කළබල වේවි ......ඒ නිසා අපි ටික ටික දැන ගනිමු ) 


අද මම කතා කරන්න හිතාගෙන ඉන්නේ කොරොනරි ආටරි ඩිසීස් Coronary Heart Disease  ...එහෙම නැතිනම් හදවතේ ලේ නහර (Coronary arteries) පටුවීම නිසා ඇති වන රෝග තත්ත්වයන්  ගණනාවක් ගැන ...


අපි මුලින්ම බලමු මොනවද මේ Coronary Arteries කියන්නේ කියලා  ....


අපේ හෘත් පොම්පෙට ලේ කෑම බීම ගෙනයන්නෝ
එපේ හෘදය හැදිල තියෙන්නේ “හෘද් පටකය Cardiac tissue  “ අති විශේෂිත සෛල සමූහයකින් , මම මෙතැන “අතිවිශේෂ“ කිව්වේ වෙනත් පටක වගෙ නොවෙයි මෙයාට හුඟක් වැඩ කරන්න පුළුවන් මහන්සි නොවී ...අපේ අතක කකුලක පටක ගැන හිතුවොත් ටිකක් මහන්සි වුනාට පස්සේ වැඩ කරන්න බැහැ , රිදෙනවා , කෙණ්ඩ පෙරළෙනවා ...එක එක කතා ....ඒත් අනේ මේ හෘද පේෂිය කිසි මහන්සියක් නැහැ වගේ එක දිගට වැඩ ...(අපි උපදින්නටත් ඉස්සර වෙල පටන්ගන්න මේ හෘදය කියන මැෂිම , අපි මිය යන මොහොත දක්වාම එක දිගටම වැඩ....පඩි නෑ .නිවාඩු නෑ ...කෙණ්ඩ පෙරළිල නැහැ). අපේ හෘදය තමයි දේහය පුරාවට ලේ පොම්ප කරන්නේ ...හරියට වතුර පොම්පයක් වගේම ...අර වතුර පොම්පෙට කරන්ට් එක ඕන වගේම අපේ හදවත කියන පොම්පයටත් කෑම බීම  , ශක්තිය ඔක්සජින් ඕන ...ඒවා ගෙන එන්නේ ලේ ඔස්සේ ...ඒ කියන්නේ ලේ පොම්ප කරන මේ හදවත් පොම්පේ වැඩ කරන්නට හදවතේ පේෂි වලට ලේ සැපයීමක් ඕන.....ඒවා සපයන නහර වලට තමයි Coronary Artery කියල කියන්නේ ...
නාල අවහිර වීමෙන් හෘත් පේෂියේ පටක මිය යාම 


දැන් අපි හිතමු මේ Coronary Artery බට වල ඇතුලේ ලේ ගෙනියන්න තියෙන සිදුර තෙල් හරි කොළෙස්ටරෝල් හරි තැන්පත් වෙලා පටු වුනොත් මොකක් වේවිද ? එතකොට හෘදයේ පටකයට (බිත්තියට ) ලේ ගේන ප්‍රමාණය අඩු වෙනවා ...එත් බලන්නකෝ ....අනේ එහෙම අඩු වුනා කියලා හෘදය වැඩ නවත්වන්නේ නම් නැහැ ..කොහොම  හරි අමාරුවෙන් වැඩ කරනවා ...ඒත් ලැබෙන කැම බීම (ඇත්තටම කිව්වොත් ඔක්සිජන් ) අඩු නිසා හදවතට හරිම මහන්සියි ...ඒ මහන්සිය අපට හඟවනවා පපුව ඇතුළේ පුංචි කැක්කුමක් විදියට (Angina pectoris) ..හරියට පිච්චෙනවා වගේ ...එහෙම නැත්නම් දැවිල්ලක් වගේ .... තව එකක් එහෙම පොඩි වේදනාවක් (Ischemic pain) දීල හදවත අපට මෙහෙම කියනවා ...“අනේ මට කෑම බීම ඇති තරමට ලැබෙන්නෑ , ඒවා ගේන නහර පටු වෙලා ..ඉක්මණට මොනව හරි කරන්නකෝ ,..“  ඉතින් හදවත පුංචි වේදනාවක් විදියට කියන මේ පණිවිඩයට අපි සංවේදී නොවී තව ටික දවසක් ගියොත් ..තව තව මහන්සි වුනොත් මොකද වෙන්නේ ..හදවතේ පටක වලට කෑම බීම නැතිව එහි පටක කොටස් හෝ මුළු හෘදයම මැරෙන්න Myocardial infarction (Heart attack) , එහෙම නැතිනම් අක්‍රිය වෙන්න පුළුවන් ...වතුර පොම්පෙනම්  පොඩි කෑල්ලක් පිච්චුනොත්  අපිට හදා ගන්න පුළුවන්නේ , මොකද කෑළි ඕන තරම්  ...ඒ වුනාට හදවතේ පොඩි කෑල්ලක් අක්‍රිය වුනත් එය නැවත හදන්න බැහැ .... කරන්න පුළුවන් එකම දේ බෙහෙත් දදා කැඩිච්ච පොම්පෙන්ම වැඩ කරන එක තමයි මැරෙනකම් ...(මොකද හදවත ගැන මොන සුන්දර කතා  කිව්වත් මට තියෙන්නේ මගේ  හදවත විතරයිනේ )  


එහෙම වෙන්නෙ හෘදයේ පොඩි පටක කොටසක් අක්‍රිය වුනොත්නේ ....ටිකක් විශාල කොටසක් එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් අක්‍රිය වුනොත් මොකද වෙන්නේ ...? හදවත නතර වෙනා...ඒ කිව්වේ මැරෙනවා ...තේරෙනවද ..“හඳුන්පත කීං ගාන“ එකේ පණිවිඩය....


Figure A shows a normal artery with normal blood flow. Figure B shows an artery with plaque buildup.දැන් අපි පිළිවෙලකට කතාවට එමු නේද .... ඇත්තටම මොනවද මේ තත්ත්වය ඇති කරන්න පුළුවන් හේතු සාධක ... ප්‍රධාන කෙනා තමයි කොළෙස්ටරෝල් ...ටිකක් හිටියට කමක් නැහැ , එයා වැඩි වුනාම විශේෂයෙන්ම L.D.L. වැඩි වුනාම ලේ නහර ඇතුලේ මෙන්න මේ විදියට  තැන්පත් වෙනවා ...

ඊට අමතරව පාළනය නොකළ  දියවැඩියා තත්ත්වය වැනි හේතු නිසා රුධිරයේ සීනි වැඩිවීමත් , අධිරුධිර පීඩනයත් මෙම ගැටළුව ඇති කරන්නට හුඟක් දායක වෙනවා...ඒවුනාට ඉතින්  දුම්පානය  කියන්නේ නම් බලෙන් Coronary නහරෙ පටු කරගන්න වැඩක් ....(අපි පස්සේ දවසක ඒ ගැන ටිකක් කතා කරමු )

ආහ් මගේ පපුව........




අපි දවසක් කතා කළානේ ...තරබාරුව ගැන ...මේ තරබාරුවත් මෙලෙස හෘදයේ ලේ නහර පටුකරන්නට හේතු වෙනවා ...ඒවගේම කාළ නිකම්ම ඉන්න ...අලස ජීවන රටාවක ඉන්න ඔබත් දැඩි අවදානමේ ...ඔය ඔෆිස් එකේ ලොකු පුටුවක වාඩි වෙලා ඉන්න “බොස් “ හරිම අවදානම් ...නැ නෑ බොස්ට හරිම අවදානම් ...මොකද එයා දවසේ වැඩි වෙලාවක්  එකතැන නේ ඉන්නේ ...ඒවගේම හිතේ නිතර නොසන්සුන් බවකින් නම් ඉන්නේ පරිස්සමින් ....වයසත් එක්ක අවදානම වැඩි වෙනවා ....එක පාරට බය වෙන්න එපා(ඒකත් භයානකයි ) පිරිමි කෙනෙක් නම් වයස අවුරුදු 45 සිටම මේ ගැන අවධානයෙන් ඉන්න ඕන ...ගැහැණු කෙනෙකුට නම් තව අවුරුදු 10ක් විතර හිත නිසකලංකේ ඉන්න පුළුවන් ...ඒ කියන්නේ අවුරුදු 55 සිට වගේ තමයි අවදානම වැඩි වෙන්නේ (ඒත් අර මුලින් කී සාධක වැඩි නම් මේ වයස එනකම්ම බලා ගෙන ඉන්න) , අර පවුල් බැඳීම මේකෙත් තියෙනවා ...ඒ කිව්වේ මේ තත්ත්වයත් ආරෙන් යාමේ හැකියාවක් හඳුනාගෙන තියෙනවා.

තව රහසක් කියන්නම් අපේ ලේ වල තියෙනවා C.R.P. C-Reactive Protein කියන ප්‍රෝටීනය .... අපේ ඇඟ ඇතුලේ ප්‍රදාහයක් , උණ වගේ තත්ත්වයක් දිගටම තිබුණොත් එය  වැඩි වෙනවා ..එළෙස කළක් තිස්සේ C.R.P. වැඩඩි වීමත් අපි මේ කියන Coronary Heart Disease  ඇති කරන්නට හේතු වෙනවා ..


G.T.N හෙවත් T.N.T පෙති 
අපිට මෙම CHD තත්ත්වය ඇති වුනොත් මොනවද ඇති වන ලක්ෂණ ...මතකද හඳුන්පත කීං ගෑම ගැන කතාව ...ඔව් පළමු සහ වැදගත්ම ලක්ෂණය තමයි ..පුපුවේ වේදනාව ...සමහර විට මේක “රිදෙන වේදනාවක් නොවී  හිර කරනවා වගේ පොඩි අපහසුතාවයක්“ වෙන්නත් පුළුවන් ..අපි ඒකට වෛද්‍ය විද්‍යාත්මකව කියනනේ Angina කියලා ..දැනටමත් ඔයාල දන්නවනේ මේ වේදනාවෙන් අපිට මොකක්ද කියනනේ කියලා....ඒ වේදනාව කොයි වගේද කිව්වොත් පපුව පිච්චෙනව වගේ , එහෙම නැත්නම් , පපුව අඬුවකින් තද කරනව වගේ මිරිකනව වගේ තමයි දැනෙන්නේ ...අනික වේදනාව පපුවේ මැද හරියේ....සමහර විට බඩේ උඩ කොටස හරියේ දැනෙන්නත් පුළුවන් (හෘද රෝග ඒකකයේ සේවය කරන කාළයේ මට හමුවුන බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි ..අනේ ඉතින් හැමදා ගැස්ට්‍රයිටිස් තියෙනවනේ ..අදත් මම හිතුවේ Gastritis වැඩි වෙලා කියලා...) අනෙක් විශේෂ ලක්ෂණය තමයි මේ වේදනවා දුවනවා ...අත දිගේ බෙල්ලට , කම්මුලට,උරහිස පැත්තට ..හුඟක් වෙලාවට වම් පැත්තේ ....

අනික මේ වෙලාවට අපි තව මහන්සි වුනොත් , කළබළ වුනොත් වේදනාව තව වැඩි වෙනවා ..හැබැයි ටිකක් වාඩි වෙලා විවේක ගත්තතොත් විනාඩි පහකින් විතර අඩු වෙලා යනවා, ඔබ දැනටත් මේ සඳහා බෙහෙත් ගන්න කෙනෙක් නම් දිවයට තියන T.N.T පෙත්තක් දිවට යටින් තියාගන්න ඒක ඔබේ පරිස්සමට හොඳයි( හොඳට මතක තියාගන්න මේ පෙත්ත දිව යටයි තියාගන්න ඕන , මේක ගිල්ලට ඉක්මණ් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ)   ...හැබැයි කැක්කුම අඩුවුනාම  හිතන්න එපා ලෙඩේ ඉවරයි කියලා...නෑ මෙහෙම වේදනාව අඩු වුනාට නැවත ඇති වෙන්න පුළුවන් මහන්සි වීම හෝ හිත කළබල විමත් එක්ක ..ඒ නිසා පරිස්සම් වෙන්න ... හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන් , සමහර විට වමනෙ යන්න වගේ එන්නත් , කළන්තය ගතියක් ඇති වෙන්නත් පුළුවන් , ඒ වගේම වේදනාව විනාඩි පහකින් විතර අඩු නොවෙනවනම් වඩාත්ම හොඳ දේ තමයි ළඟම තියෙන රෝහළකට ඇතුළු වෙන එක. දැන් වෛද්‍ය ප්‍රතිකාරය අවශ්‍යමයි ...මොකද මේ තරමක් භයානක විය හැකි අවස්ථාවක් වෙන්න පුළුවන් ...හැබැයි හොඳටම මතක තියා ගන්න ඕන දේ තමයි මේ වෙලාවේ කළබල වීමෙන් , කළබල කිරීමෙන් වෙන්නේ වේදනාව තවත් වැඩිවීම ...එක්කම හෘදයට විය හැකි හානියත් වැඩි වීම ....

මතක තියාගන්න සමහර රෝගීන්ට ...එක පාරටම දරුණු Heart attack (ඒ කියන්නේ අර මුලින් කී Coronary artery තුල ලේ කැටියක් හරි තෙල් ගුළියක් හරි හිරවෙලා  හදවතේ පේෂියට ලේ සැපයීම මුළුමනින්ම අඩාල වීම නිසා ඇති වන ඉතාමත්ම අවදානම් අවස්ථාව)   තතත්වයකට පත් වෙනකම්ම මේ මූලික ලක්ෂණ ඇති වෙන්නෙම නැහැ ..ඒ තත්ත්වයට අපි කියනවා Silent CHD කියලා ...හරිම භයානක තත්ත්වයක් ඒක ...
කොහොම හරි නිවැරදි වෙලාවට රෝහල් ගත වුනොත් වෛද්‍යවරයා  E.C.G , Blood test කිහිපයක්ම සිදු කරාවි ..එවිට තමන්ට ඇති වුනු හෘදයාබාදයේ ස්වභාවය , තත්ත්වය ගැන දැනගන්න පුළුවන් ..
දැන් ප්‍රතිකාරය ගැන ..මේ ප්‍රතිකාරයේ මුලික අරමුණු කිහිපයක් තියෙනවා ....ඒ තමයි වේදනාව අඩු කිරීම ...හෘදයේ ලේ ගමනාගමනය හැකි තරම් යථා තත්ත්වයට පත් කිරීම ...තවදුටත් හෘදයට විය හැකි අනතුරු අඩු කිරීම ...වගේ දේවල් ..

ගන්න Rest
ඔබට ඖෂධ මගින් ලබා දෙන ප්‍රතිකාර වගේම ඔබේ ජීවන රටාව  සහ  ආහාර රටාව යහපත් සෞඛ්‍යයකට ගැලපෙන  අයුරින් වෙනස් කර ගැනීම , විශේෂයෙනම් මානසික පීඩනයන් අවම කරගැනීම  , හොඳ දේහ බරක් පවත්වා ගැනීම , දුම් පානයෙන් මිදීම වගේ වගකීම් රාශියකුත් ලබා දෙනවා ..අර බෙහෙත් ටික ගිලිනව වගේම මේ වගකීම් ටිකත් නිසි ලෙස ආරක්ෂා කළොත් මෙයින් විය හැකි අනතරු අඩු කර ගන්නට පුළුවන් ....
සමහර විට Coronary artery  හොඳටම නරක් වෙලා අවහිර වෙලානම් ශල්‍ය කර්මයක් කළ යුතු බවත් දන්වන්නට ඉඩ තිබෙනවා ....බය වෙන්න  එපා ..අද බොහෝ රෝහල් වල මේ සඳහා නිසි පහසුකම් , විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා ...කොළඹ , නුවර , කරාපිටිය වගේ රජයේ රෝහල් වල දවසකට මේ වගේ ශල්‍යකර්ම ගණනාවක් කරනවා ....

මෙම රෝග කාණ්ඩය ලෝකයේ පළමු තැන සිටීමේ සතුට ....නැහැ නැහැ ..දුක අපි දරා ගන්න ගමන් අපි , අපි ගැනම ටිකක් හිතල බලන්න ...තමන් මේ අවදානමේ හරි අවදානමට ලංව හරි ඉන්න කෙනෙක්ද කියලා ....සැකයක් තිබේ නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන්න ...මොකද සමහර විට සැකය , මරණය වන්නටත් බැරි නැහැ ....(මීළඟ වසර දහය ඇතුලත ඔබට හෘදයාබාධයක් අවදානමක් ඇත්ද කියන forecast එකක් , සාස්තරයක් බලාගන්න පුළුවන් මෙතැනින් , මමත් check කළා මට නම් 1% ක අගය ආවා ...ඒ වුනාට පරිස්සම හොඳයිනේ )  

අර අපි මුලින්ම කතා කළ Film එකේ අවසානයට ලොකු හුළඟක් ඇවිත් , පුංචි දුවගේ තාත්ත (ගස) කඩා වැටෙනවා ..මට දැනුනේ ඒ දුවගේ හිත කඩා වැටුන වගේ .    හරිම වේදනාත්මක , සංවේදී අවස්ථාවක් ....ඒ එක්කම මට මතක් වුනේ මටත් දූල දෙන්නෙක් ඉන්නවා ....අපි පරිස්සම් වෙන්න ඕන ...අපි ගැනම විතරක් නොවෙයි ...අපේ වගකීම් ගැනත් හිතල .....

අදට සමුගන්නම් .... හෙටත් හමු වෙන අපේක්ෂාවෙන් ....... 
අම්මයි , “තාත්තයි“ ඉන්නවනේ .....

6 comments:

  1. නිශාන්ත මහත්මයාගේ ලියුම් නම් වරදින්නේ නැතිවම කියවන්න පස්සෙන් එනවා.

    ReplyDelete
  2. ඉතා හොඳ ලිපියක්.
    මා අසා තිබුනා හෘද රෝගීන්ට ඇතිවෙන පපුවේ දැවිල්ල ගැන.නමුත් අද තමා හේතුව දැනගත්තේ.ස්තූතියි.

    ReplyDelete
  3. Very valuable article. So is the film.I too want to share the experience of the film.

    ReplyDelete
  4. ස්තුතියි ...ඔබේ දිරිමත් කිරීමට ....

    ReplyDelete
  5. @Gimhani , ඔබ දැන ගත් දේ තවෙකෙක් දැනුවත් කළ හැකි නම් සමහර විට එය ජීවිතයක් බේරාගැනීමක් වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  6. @Sujeewaariyananda...Thank you for your comment , OK I will give you this film , It is really nice...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)