2011/07/22

36) අමුඩ ලේන්සුවෙන් පිහදාන බඩේ හෙම්බිරිස්සාව


වැස්සට පස්සේ ....
අද උදේම වැස්ස පටන් අරගෙන . තද හුළඟකුත් එක්ක , “අද නම් බයික් එකේ යන්න බැරිවෙයි වගේ , වටේම කළු කරල, දවසම වහීද මන්ද ? “ මනෝජා එළියට බැහැල අහස දිහා බලාගෙන කියනවා , මම අපේ පැටවු දෙන්නගේ ඇඳුම් මදිනවා , ටිකක් අමාරු වැඩක් , මොකද මේ රැළි තියාගෙන මදින එකත් භාවනාවක් වගේ කරන්න ඕන , “ටිකක් බලල අඩු වෙන්නැත්නම් අපි අජිත්ට කතා කරමු , “ ඇඳුම් මදින ගමන්ම මම කීවා.



අජිත් කියන්නේ අපේ පවුලේ වගේම හරිම හිතවත් මහත්මයෙක් , ඔහු ස්වයං රැකියාවක් විදියට කරන්නේ කුළී ගමන් සඳහා ත්‍රිරෝද රථ පහසුකම් ලබා දීම , “ත්‍රීවීල්කාරය“ කියන පොදු ව්‍යවහාරික පදයෙන් බැහැරව ගිහින් හිතේ සැකයක් නැතිව “ත්‍රීවිල් මහත්තයෙක් “ කියල කතා කරන්න පුළුවන් චරිතයක් ඔහු .

හරිටම හයයි විසි පහවෙන කොට අජිත් අපේ ගේ ගාව , පොඩි දෙන්නත් හරිම කැමැත්තෙන් යන්න සූදානම , (මොකද වැස්සනේ , එදාට වෙනදට වැඩිය කැමැත්තෙන් පාසල් යනවා , දන්නවනේ හේතුව ) “කොහොම අජිත් ?..දවසම වහීවි වගේ නේද ? “ මම පොඩ්ඩො දෙන්නා ත්‍රීවීල් එක්ට ඇතුළු කරන ගමන් ඇහැවුවා , “ ඒකනේ නිශාන්ත මහත්තය , උදේ ඉඳළම ,..අද අනිත් ළමයි දෙන්නා යන්නේ නැහැළු , උදේම කොල් කළා , දෙන්නටම බඩේ ආමරුවක්ළු , දන්නැත්ද ඉතින් කොල්ලොනේ ? ....ඒකනෙවි නිශාන්ත මහත්තයත් යමු ඉස්කොලෙ ගාවට , වෙන කවරුත් නැහැනේ “ අජිත් ගෙන හොඳ යෝජනාවක් ආව .

මට හෙම්බිලිත්තාව .....
දැන් අපි යනවා ගාලු බලා , ගලගෙඩිය හන්දිය ,බෙලි ගහ හන්දිය , දැන් ජූල් ගහ හන්දිය , ඔක්කොම ගස් ගල් හංදි පහුකරගෙන අපි පරිස්සමට යනවා , ඒ අතරේ රටේ තොටේ දේවල් ප්‍රදේශයේ දේශපාලන තොරතුරු වගේ වැදගත් දේ ගැන අපි කතා කරනවා . “දැන් ඉතිං ලෙඩ කාළෙ නේද ? ඇයි හැම තිස්සේම වැහි පොද නේ , අපේ ගෙදරත් ඔක්කොමල හෙම්බිරිස්සාව හැදිල , “ අජිත් කියත්දි මට මතක් වුනා මේසේ උඩ තිබුණ ලේන්සු දෙක , “ලොකු ..ලේනසු දෙක දාගත්තද ? මේසේ උඩ තිබුණා ,“ ,
‘‘ඔව් තාත්තේ , දාගත්තා , “ ලොකූගේ උත්තරේ එන්නත් ඉස්සර “ නෑ මමයි දැම්මේ , මෙයාට අමතක වුනා , ඔන්න මමයි දැම්මේ “ පොඩ්ඩි දවසේ විනෝදබර ගින්න පටන් ගත්තා , “හරි හරි දෙන්නම ලේන්සු දාගත්තනේ , එච්චරයි , නැත්නම් ඉතින් හොටු බේර බේර තමයි ඉන්න වෙන්නේ “ අපේ පැටවු දෙන්නටත් හෙම්බරිස්සාව වගේ .

ඒ යන අතරේ මතක් වුනේ “නාහේ හෙම්බිරිස්සාවේ“ අනෙක් මිත්‍රයා “බඩේ හෙම්බිරිස්සාව“ ගැන ලියන්න ඕන කියල , මම මෙතැන බඩේ හෙම්බිරිස්සාව කිව්වට (ජාත්‍යන්තරවත් Stomach flu  කියලත් කියනවා )  ඇත්තටම අපි මේකට කියන්නේ “බඩේ අමාරුව “ එහෙම නැත්නම් “බඩේ රුදාව “ කියල , විද්‍යාත්මකව නම් Gastroenteritis (ඔන්න තව අයිටිස් එකක් , මතකද අයිටිස් ගැන පාඩම) 

මං , පස් වෙනියා
ඇත්තටම මොකක්ද මේ උදරාබාධය හෙවත් Gastroenteritis කියන්නේ , දැන් ඔබ හිතාවි අපෝ මේක ඔච්චර කියවන්න දෙයක්ද කියලා , ඔව් මේක ඔච්චර කියවන්න දෙයක් තමයි , මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අපේ වගේ රටවල මරණයට හේතු වන රෝග වලින් පස් වැනි තැන ඉන්නේ මෙයා ,

gastroenteritis හිදී සිදුවන්නේ වයිරස් , බැක්ටීරියා හෝ වෙනත් සාධකයක් නිසා ආහාර ජීර්ණ මාර්ගයේ ඇතුළු බිත්තියේ ඇතිවන ප්‍රදාහයක් , තුවාලවීමක් , ඉදිමීමක් වගේ තත්ත්වයක් . ප්‍රධාන වශයෙන්ම වෛරස මේ සඳහා දායක වන නිසා ඒ ගැන වැඩි වශයෙන් ලිව්වත් , ඊ.කෝලයි වගේ බැක්ටීරියා , ඇමීබාවන් වගේම බඩේ ඉන්න පණු විශේෂත් මේ තත්ත්වයට දායක වෙනවා .

කවුරු මොනව කළත් මෙහිදී සිදු වන්නේ ආහාර ජීරණ මාර්ගයේ , විශෙෂයෙන්ම බඩවැල් වල (intestine ) ඇතුලෙම , ඒක කිව්වේ ඒ බටේ කුහරය ආසන්නයේම තියෙන ස්ථරයට(Bowel mucosa)  අර මුලින් කී කාණ්ඩයක් විසින් පහර දීම , එතකොට මොකද වෙන්නේ , අපේ ආහාර දිරවිම සහ උරා ගැනීම කියන වැදගත්ම කාර්යයන් කරන Bowel mucosa එකත් සට්‍රයික් කරනවා , වැඩ නවත්වනවා , එතකොට තමයි බඩේ තියෙන කෑම දිරවන්නේ නැතිව , වතුර ඇඟට උරා ගන්නේ නැතිව , ඔක්කොම ටික නිකං  ටැප් එකක් ඇරිය වගේ එළියට යන්නේ , බඩ එළිය යන්නේ , ටිකක් වැදගත් විදියට කිව්වොත් Loose motion වෙන්නේ ,
බඩවැලේ ලෙඩේ  

අපි දැන් බලමු මේ තත්ත්වයේ මුලික රෝග ලක්ෂණ මොනවාද කියලා , පිළිවෙලකට කිව්වොත් බඩේ රිදුමක් , රිදුමක් කිව්වට බොහෝ වෙලාවට එන්නේ බඩ අඹරනවා වගේ තද කැක්කුමක් (abdominal cramps ) ඒ එක්කම තද හිසේ කැක්කුමක් එන්නත් පුළුවන් , (ඔබට මතක නම් කඩෙන් කාළ බඩේ අමාරුවක් හැදුන දවස , ඔය ඔළුවේ කැක්කුමයි , බඩ මැද එන කැක්කුමයි ඉවසන්න බැරි තරම් , ඒක බැක්ටීරියා මගින් ඇති කරන gastroenteritis එකක වශේෂ ලක්ෂණයක් , මට තාම මතකයි මීට අවුරුදු හයකට ඉස්සරවෙලා කටාර් රටේ සේවය කරන කාළෙදි මගේ සගය ගෙනාව මස් වගයක් කාළ අපේ set එකේ ඔක්කොම බඩවල් අල්ලගෙන දඟලපු හැටි) , ඒ එක්කම, ඉතින් කියන්න ඕන නැහැනේ දියරමය ලෙස මළපහ පිටවීමත් සිදු වෙනවා (Diarrhea) හුඟක් වෙලාවට මේ මළපහ දියමය ගතියක් විතරයි පෙන්වන්නේ , නොදිරවපු ආහාර කැබලි තියෙන්නත් පුළුවන් , හැබැයි මේ මළපහ එක්ක ලේ මිශ්‍රවූ බවක් (රතු හෝ කළු පැහැයට) හෝ සෙවල ගතියක් තිබේනම් මේක බැක්ටීරියාවකින් ඇති කළ ටිකක් අවදානම් තත්ත්වයක් වෙන්නත් පුළුවන් , තත්ත්වය මේකනම් වෙනත් අවස්ථාවලට වඩා ටිකක් වැඩි අවදානයෙන් ඉන්න , මේ එක්කම වමනය සහ ඔක්කාරය වගේ එන්නත් පුළුවන් , සමහර විට ෆැරන්හයිට් අංශක 101ක විතර උණක් ඇති වෙන්නත් පුළුවන් ,

කැඩිය යුතු දම් වැල
“කොහොමද මේ තත්ත්වය ඇති වන්නේ ?“ කියල ඔබ ඇහැවුවොත් කියන්න තියෙන්නේ මෙහෙමයි , මේ වයරස් හේතුවෙන් ඇති වන බඩේ අමාරුවනම් හුළඟ මගිනුත් බෝවෙන්න පුළුවන් , ඒත් අනෙක් සෑම අවස්ථාවක් වගේම අපිට ලැබෙන්නේ අපේ අතින් , ඒ කිව්වේ ප්‍රධානමත මාර්ගය තමයි Feco-oral method කියල එක , මෙතන Feco කියන්නේ “මළ“ , Oral කියන්නේ “කට“ , දැන් ඉතින් අපිට කියන්න පුළුවන් , මොකක්ද ප්‍රධාන ක්‍රමය ,“අනුන්ගේ  මළපහ කටේ දමා ගැනීම “ කියලා , ඔන්න දැං ඉතින් ඊඊඊඊයියා ගානවා ඇති , ඒත් ඇත්ත ඒකයි , මෙතැනදි ප්‍රධානතම ක්‍රමයක් තමයි අපේ “අපිරිසිදු වූ අත dirty hands“ , ආහාර පාන කෑමට සහ සූදානම් කිරීමට ඉස්සර වෙලා සබන් යොදා හොඳින් අත සෝදනවා නම් (ඒ ගැන කියවන්න)  අපිට පරිස්සම් වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා.අනිත් ක්‍රමේ තමයි අපේ ආහාර මැස්සන් සහ කෘමීන්ගෙන් දූෂණය වීම ,
අපි දෙන්නා එක්වීලා ........කෑම කාලා ලෙඩ වීලා ...
(ඔයාල දන්නවද ඔය මැස්සෙක් අපේ කෑම වලට වැහැව්වම එයාගේ පාද වල ඉන්න බැක්ටීරියාවන් දහස් ගණනක් අපේ කෑම එකට මිශ්‍ර වෙනවා , අනිත් රසවත්ම දේ ඔය මැස්සා දැන් මොකද කරන්නේ , එයා තමන්ගේ කෙළ සහ සෙම අපේ කෑම මතට , හළනවා , එහෙම කරන්නේ ඒක දිය කරගෙන උරාගන්න පහසු කර ගන්න, ඒත් ඒ සෙම සහ කෙළ එක්ක තවත් විෂබීජ දහස් ගණනක් අපේ කෑම එකට එකතු වෙනවා , හැබැයි වාසනාවට මේ හුඟක් විෂබීජ අපේ ආමාශයේ තියෙන ආම්ලික බවත් එක්ක මැරිළ යනවා  , එහෙම නොවෙන “චන්ඩි විෂබීජ“  නිසා තමයි අපිට බඩේ අමාරුව ඇති වෙන්නේ , තවත් මහා පොදු සාධකයක් තියෙනවා , ඒ තමයි අපිරිසිදු පානීය ජලය , දැන් ඉතින් ඔබ කියයි අපි නම් බොන්නේ filter කරපු වතුර , ටැප් වතුර , එහෙම නැත්නම් අපේ ලිඳේම වතුර කියල , මතක තියා ගන්න මේ වතුරේ අපිට නොපෙනෙන රෝග කාරකයන් බොහොමයක් ඉන්නවා , එයාලගේ බිත්තර තියෙනවා , ඒ විෂබීජ විනාශ කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි වතුර හොඳට  අඩුම තරමේ විනාඩි 5ක් වත් හොඳට නටවා  (ඒ කියන්නේ රත් කරලා නොවෙයි ) නිවා පානයට ගැනීම ,

ලස්සන ........බඩේ වයිරස් 
හැබැයි food allergy (තව කතාවක්) , සහ සමහර ඖෂධ නිසා ඇතිවන (සමහර ප්‍රතිජීවක ඖෂධ Antibiotics) බඩේ අමාරුව සහ මේ රෝග ලක්ෂණම ඇති වෙන්නත් පුළුවන් ,

ඉතින් මේ බඩේ අමාරුව ඔය තරම් සීරියස් ද? මෙහෙමයි , මේ වයිරස් මගින් බෝවන බඩේ අමරුව ඒ  තරම් දරුණු ප්‍රතිපල දෙන්නේ නැහැ කියන්න පුළුවන් , හැබැයි පොඩි දරුවන්ට සහ වියපත් අයටත් ආහාර පාන ගැනීමේ අපහසුතා තිබෙන අයටත් මේ සුළු බඩේ අමාරුව මාරාන්තික වෙන්නත් පුළුවන් , අනෙක් අයටත් ඒ අවදානම නැතිව නොවෙයි , ඒ තමන්ගේ සජලන තත්ත්වය හොඳින් තබා නොගත්තොත් , ඔය බර වචනෙන් කිව්වේ ඇගේ තියෙන්න ඕන වතුර ප්‍රමාණය අඩුවුනොත් තමයි ඒ අනතුර ඇති වෙන්නේ , බඩේ අමාරුව හරි  වමනය හැදුනම හරි පිටවන ප්‍රමාණයට සමාන ප්‍රමාණයකවත් දියර වර්ග පානය කරනවා නම් ඒ තරම් බය වෙන්න එපා , හොඳින් මතක තියා ගන්න ඔබ ගර්භණී මවක් නම් මේ තත්ත්වයේදී ප්‍රමාණවත් තරම් දියර ප්‍රමාණයක් නොගත්තොත් ඔබට වැඩිය අනතුර බඩේ ඉන්න බබාට ,සමහර විට ඒ දරුවගේ වකුගඩු අප්‍රාණික වන්නට Renal failure වන්නටත් ඉඩ තියෙනවා , මේ විදයට බඩ යත්දි පුංචිම දරුවන්ටත් නිසි ලෙස O.R.S.Oral Rehydratio Solution හෙවත් ජීවනී ලබා නොදුන්නොත් ,දරුවට අපස්මාරය වගේ ගැස්මක් ඇතිවෙලා යම් අනතුරක් වෙන්නත් සමහර විට මරණයට පත් වන්නටත් පුළුවන් , ඒ නිසා වයසට අනුව “ජීවනී “ ද්‍රාවණය ලබා දීම හරිම වැදගත් , (දැන් විවිධ රස ජීවණී තියෙන නිසා අමාරුවක් නැතිව පැටියට පොවාගන්න පුළුවන් )

ඇති තරම් බොන්න .....
බැක්ටීරියා නිසා ඇතිවන ලේ සීදම් සහිත පාචනය එක්ක එන බඩේ අමාරුව සහ වමනය ගැන නම් ටිකක් සැලකිල්ලෙන් ඉන්න වෙනවා , පැය24-36 විතර යනු තුරුත්  රෝග ලක්ෂණ අඩු වෙන්නේ නැත්නම් , මළපහ එක්ක ලේ මිශ්‍ර වෙලානම් වඩා හොඳයි රෝහලකට යන එක , මොකද සමහර විට මේ “අතීසාරය“ තත්ත්වයක් වෙන්න පුළුවන් , එහෙම වුනොත් අතීසාරයට අමුඩෙ ගහ ගහ ඉඳල වැඩක් නැහැ , රෝහල් ගතවෙලා විශේෂ ප්‍රතිජීවක ඖෂධත් , සේලයින් වගේ සහයක ප්‍රතිකාරත් ලබා ගන්න ඕන මයි , විශේෂයෙන්ම  ආහාර විෂවීම ඇති කරන Clostridiun botulinum බැක්ටීරියාව ඇති කරන බඩේ අමාරුවට ඇතිවන පාචන තත්ත්වය සහ වමනය අඩු කරගන්න අමාරු නිසා වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න එක හොඳයි .

මේක සුළු දෙයක් කිව්වට මේ තත්ත්ව එක්කම ඔබේ තොල කට වේලිලා ගිහින් නම් , අඬන්න කඳුළු එන්නේ නැත්නම් ඔන්න අනතුරක් අත ළඟ , පැටියෙක්ගේ නම් ඇස් යටට ගිලිලා වගේ වෙන්නත් පුළුවන් , තව ටිකක් වෙලා දියර ජාති අවශය පමණට නොගෙන හිටියොත් මුත්‍රා නිශ්පාදයත් නවතීවි , ඒ කියන්නේ දැන් මගේ වකුගඩු වලටත් වැඩේ වී ගෙනයි එන්නේ , එක්මණට ජීවනී ටිකක් බොන්න , නැත්නම් ඔබේ වකුගඩු අප්‍රාණික වෙලා මහ කරදරයකට පත් වෙන්න පුළුවන් , හැබැයි ඒ ලක්ෂණ එක්ක ඔළුවේ බර ගතියක් ,කරකැවිල්ලක් , ඇවිද ගන්න අමාරු බවක් දැනෙනවනම් ගෙදර අයට කියන්න ඉක්මණට දොස්තර මහත්තය ගාවට එක්ක යන්න කියලා , මේ ඔබේ රැධිර පීඩනය අඩාල වන බවේ පෙර ලකුණු ,

ඔය විදියේ තත්ත්වයකට රෝහලට යන කොට Stool full report එකක් (මළ පරීක්ෂාවක්) කරගෙන ගියොත් වැඩේ පහසුයි , ඒ එක්කම ඔබේ රෝග නිර්ණ කාඩ්පත් හෝ වෙනත් ප්‍රතිකාර  සටහන් තිබේ නම් ඒවත් අරගෙගන යන්න , මොකද බඩේ අමාරුව කියන්නේ වෙනත් රෝගයක් පූර්ව ලක්ෂණයක් වන අවස්ථාත් තියෙනවා ,

මේ හැම අවස්ථාවෙම රෝහල් ගත කරන්න ඕන නැහැ ,ජීවනී ද්‍රාවණය කියන ඉටු දෙයියා ඉන්න කම් , ඒ එක්කම වෙනත් දියර වර්ගත් (මධ්‍යසාර නොවන) දෙන්න , ලිස්ට් එකක් වගේ කියන්න ඕන නැහැනේ , මධ්‍යසාර වර්ග , පළතුරු යුෂ, කිරි ආහාර , එළකිරි වගේ දේවළුත් කෝපි , අධික සීනි සානද්‍රණයක් සහිත පළතුරු යුෂ වර්ග  , අධිකව තුනපහ මිශ්‍රකළ ආහාර පාන ලබා නොදීම වැදගත් , මක් නිසාද ඒවා මගින් පාචනය තත්ත්වය තවත් උග්‍ර කරන්නට පුළුවන් , (හැබැයි මව් කිරි බොන වයසේ දරුවෙක්ට නම් “මව් කිරි දීම“ අනිවාර්යයි , -මව් කිරි වල තිබෙන සිනි වර්ගයකට අසාත්මික වෙලා ඇති වන lactose Intolerance නම් විශේෂ අවස්ථාව හැර)

ටික දවසකට ඔයා එපා ......
මේ තත්ත්වයෙන් පස්සේ සාමාන්‍ය ආහාරයට එන්න ඉස්සර වෙලා ගන්න සුදුසු හොඳම ආහාරය BRAT diet කියලයි නම් කරන්නේ , ඒ Banana කෙසෙල්  , Rice බත් , කැඳ ,Apple , toast (කර කළ පාන් වැනි) කියන ආහාර  , මේ එක්කම වතුර , පාන වර්ග ප්‍රමාණවත්ව  දෙන්න(පිටවන ප්‍රමාණයට සමාන පරිමාවක් ) , පොඩි දරුවෙක්ට නම් මේ දියර දෙන්න ඕන මැනලා ,  උපදෙස් පරිදි , ජීවනී පැකට් එකේ එය ලබා දිය යුතු වාර ගණන ප්‍රමාණය ගැන සටහන් කරලා තිබෙනවා ,

පරිස්සම් වෙන්න බඩේ අමාරුව නිකං අතාරින්න එපා , වැඩේ වැරදුනොත් මොළේ උණ meningitis , පපුවේ මරණිය ආසාදන වගේ තත්ත්ව වලට යන්නත් පුළුවන් , ......ඔන්න අන්තිමට යකා නැටෙව්ව නේද ?

“මහේෂ් තේ එක බොන්න , දැන් නිවිලත් ඇති ...“ අදත් වෙනද වගේම තේ එක අමතක වුනානේ ..හරි දැන් මගේ සජලන තත්ත්වය වෙනුවෙන් හොඳට නිවුනු තේ එකක් බොන්නයි ලැහැස්තිය , ඔයාලත් හොඳට බොන්න (අර සැර ඒවා නෙවී)

24 comments:

  1. නියම ලිපියක්. ඔය ගෑස්ටයිටීස් වැඩි උනාම එක්ස්‍රේ ගන්නකොට බේරියම් සල්පේට් එහෙම දෙනවා කියලා මම එක වෛද්‍ය ප්‍රදර්ශනයකදී අහලා තියෙනවා. ඒක බොන්න අමාරුයි ලූ.තිත්තයි ලු. ඒ නිසා ඒකට රසයක් කලවම් කරලා තියෙන්නේ.

    ගොඩක් වටින කරුණු ටිකක්. මේ දේවල් ගොඩක්ම වටිනවා. මගේ දනිහේ තියෙන අමාරුවටත් මේ දවස්වල වතුර බොන්න කිව්වා. මම් ලොකු මෙගා බෝතලයකට වතුර දාගෙන බොනවා. :)

    ReplyDelete
  2. ඇත්තෙන්ම මධුරංග වතුර ඇති වෙන්න බොනවනම් ලෙඩ ගොඩක් අඩුයි ..
    ස්තුතියි එක්වුනාට

    ReplyDelete
  3. වතුර බීම ගැන කියනව නං. . . . . මේ දවස් වල ඉතාම අඩුයි . . . . රස්සාව කරන්නෙ කූල් රූම් ඇතුලෙනෙ . . . . වතුර ටිකක් බොන්න එලියට එන්නම හෙනම අදියර ගනනාවක් පහු කරන්න වෙනව . . . . ඉතිං පහසුම දේ තමයි වතුර අමතක කරල දාන එක.

    ReplyDelete
  4. මේ Stomach flu අපේ රටට වඩා පිටරටවල බොහෝ ඉක්මනට වය්‍යාප්ත වෙලා යනවා නේද? වසරේ යම් කාලයකදී මේ රෝගයට ගොදුරුවෙන බව අසා තියනවා.
    ස්තූතියි දැනුවත් කලාට.

    ReplyDelete
  5. ඕනයා,
    ඒත් දවසකට අඩුම තරමේ වතුර ලීටර් 1.5-2ක්වත් නොබිවුවොත් අදට නැතත් හෙට දවසේ ප්‍රශ්න ඇති වන්න පුළුවන් , ඒනියා ඕනයානනි තිබහ ආවත් නැතත් අඩුම තරහේ ඒ තරමේ වතුර ටිකක් හරි බොන්න , එන්ජිමට පෙට්‍රල් වගේ අපේ වකුගඩු වලට වතුර ඕනමයි , නැත්නම් නවතිනවා , ස්තුතියි පැමිණියාට

    ReplyDelete
  6. ඔව් ගිම්හානි , ඒවායේ පවතින කාළගුණ තත්ත්ව එක්ක stomach flu තත්ත්වයනම් පැතිරෙන කාළ කළාප තිබෙනවා , ඒත් ඒ තත්ත්වය ලංකාවෙදි මේ කාළසීමාවේ පවතිනවා , පොදුවේ මේ තතත්වය හඳුන්වන්නේ viral gastroenteritis කියලා ,

    ReplyDelete
  7. සර් බඩේ තුවාල නිසා ඇතිවන දැවිල්ල තිබියදි Diarrhea ඇතිවුනොත් හුගක් අමාරැ වෙනවද? මළ කොළ පාට වෙන්නේ පිත්තාෂයේ ගැටලුවක් නිසාද? අපේ සර් ට තව බෝහෝ දේ කිරිමට වාසනාව ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  8. මමනම් දිනකට වතුර ltr 3 බොනවා අනිවාර්යෙන්ම .
    මා කුඩා කාලයේ වකුගඩු රෝගයකට ගොදුරු උන අයෙක්.
    එහිදී මගේ ජීවිතේ බේරගත්තේ ආයුර්වේද ප්‍රතිකර්ම මගින්.අදටත් මම ආයුර්වේදයට ගරු කරන්නේ ඒ නිසයි. පුලුවන් තරම් වතුර බොන්න කියා වෛද්‍යවරිය මට නියම කලා. ඒක මම අකුරටම පිලිපදිනවා. මගේ නිරෝගි කමේ රහස ඒකයි.

    ReplyDelete
  9. බොහොම ස්තුතියි නදීශා දුවේ , බඩේ තුවාල සහිතව දැවිල්ල තත්ත්වයක් තිබෙත්දී Diarrhea ඇති වන්න පුළුවන් හේතු කිහිපයක් මත එකක් මේ වගේ බාහිරින් ආ ආසාදනයක් , නැතිනම් අර තුවාල නිසාම වෙන්නත් පුළුවන් ,Crohn disease වලදි වන්නේ ඒ වගේ දෙයක් , ඔව් කොළ - කහ පැහැයක් දෙන්නේ Bile නිසයි , එය සාමාන්‍යයි , ඒත් එහි අධික කොළ -කහ පැහැයක් තිබේනම් පිත්තාශය ආශ්‍රිත වගේම රැධිරය ආශ්‍රිත ගැටළුවක් වෙන්නත් පුළුවන් , මොකද රතු රුධිරාණු බිඳ හෙළීම වැඩිවීමක් වගේ තත්ත්වයකදිත් මේහෙම වෙන්න පුළුවන් ,හොඳම දේ මේ අසාමාන්‍යතාව ගැන නිසි වෛද්‍ය උපදෙසක් ගන්න එක , Stool full reprt එකක් සහ urine bile test එකකුත් කරගෙනම ගියා නම් වඩාත් පහසුවේවි

    ReplyDelete
  10. ඔව් ගිම්හානි , ඔබ කීවේ කාටත් ප්‍රසිද්ධියේම කියන්න ඕන “රහසක්“ , ස්තුතියි ඔබේ සරු අදහසට

    ReplyDelete
  11. ‍බො‍හොම වැදගත් ලිපි ‍පෙලක්. අහම්‍ ‍බෙන් පාර ‍පෙන්නුව නිසා ආ‍වේ. ‍වෙලාවක් අර‍ගෙන සියළු ලිපි කියවන්න ඕනි.

    මාත් ඉස්සර නම් ‍බො‍හොම අඩු‍වෙන් වතුර බිව් ‍වේ. ඒත් දැන් නම් නි‍යෝග පිට වතුර දිනකට ලීටර 3කට ආසන්නව ‍බොනවා. :)

    ReplyDelete
  12. හා පැටික්කි (MS) , බොහොම ස්තුතියි , ඔබට , කියවන්න , දැනගක්ක දැන ගත්තදේ බෙදා දෙන්න , ඒ සතුට නිමක් නැහැ

    ReplyDelete
  13. මමත් ඉස්සරනම් අඩුවෙන් වතුර බිව්ව කෙනෙක් එත් දැන් නම් රටේ තොටේ වෙන දේවල් දැකලා අහලා දවල් කාලයට කොහොමහරි වතුර ලීටරයක් බොන්න පුරුදු වුනා. තව වැඩි කරගන්න බැරිකමක් නෑ එත් office ගියාම නිතර toilet යන්න වුනොත් ලොක්කාගෙන් බැනුම් අහන්න වෙනවනේ. දෙපැත්තම බලන්චේ කරගෙන ඉන්න වෙලානේ තියෙන්නේ.

    ReplyDelete
  14. All in one,
    ස්තුතියි පැමිණියාට, කොහොම හරි දවස තුල ලීටර් 2-2.5ක් විතර බොන්න උත්සාහ ගන්න, නැත්නම් සමහර ප්‍රශ්න ආවාම නිවාඩු දාලම බොස් ලොක්කගෙන් බැණුම් අහන්න වෙයි , බෙහොම ස්තුතියි සොඳුරු සුව අසපුව එක්ක එක් වුවාට

    ReplyDelete
  15. මමත් ඉස්සර නම් හුගක් අඩුවෙන් වතුර බ්ව්වේ.
    ඒත් දැන් නම් පුලුවන් හැම වෙලේම උගුරක් 2ක් හරි බොනවා.
    මගේ යහලුවෙක් වෙනුවෙන් අයියාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.

    එයා කියනවා, එයාගේ උදර ප්‍රදේශයේ වම් පැත්ත, දකුනු පැත්තට වඩා කරමක් විශාලයි කියලා.කලිසම ඇදන්, ආහාර ගන්න කොට ඒ පැත්ත කලිසමට තද වෙලාල අපහසුතාවයක් ඇති වෙනවා කියලා. ඒක රිදීමක් නෙවෙයි කියලා එයා කියනවා.කලිසම බුරැල් කර ගත්තම ඒ අපහසුතාව නැති වෙනවලු.

    ටික කලක ඉදන් එයාගේ වම් පාදයේ උකුල් ඇටයේ ඉදන් පහලට කැක්කුමක් තියෙනවා. දැන් කකුල බිම තියෙන කොට වලුඹ හොදටම රිදෙනවලු.
    බෙහෙත් ගත්තත් අඩු උනේ නෑලු.

    මේ අසනිප 2ක අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙද...
    මේ..... ගැන ඔයාට, මොනාද අයියේ කියන්න තියෙන්නේ..???

    ReplyDelete
  16. ස්තුතියි නිල් අහස ,
    මේ ප්‍රශ්නයෙදි තවත් කරුණු කිහිපයක් ගැන හිතන්න වෙනවා , එයා සාමාන්‍යෙයන් හිටගෙන ඉන්න ස්ථිපිතය , ඉරියව්ව පවා මේ වගේ වේදනාවන් සඳහා හේතු වෙනවා , ඒ වගේම sciatica කියන පාදයේ ස්නායු තෙරපිමක් නිසා වන්නටත් පුළුවන් , මේ ගැටළු දෙකම වම් පැත්තේ තියෙන නිසා සමහර විට උදර බිත්තිට ආශ්‍රිත ගැටළුවක් වන්නටත් පුළුවන් , එමඟින් ස්නායු තෙරපීමක් වන්නට යම් ඉඩක් තිබෙනවා ,
    වඩාත් සුදුසුයි ශල්‍ය වෛද්‍ය උපදෙසක් ලබා ගන්නට පුළුවන් ,
    යම් වෛද්‍ය පරීක්ෂණ වාර්තා තිබේ නම් තව දුරටත් අදහසක් දක්වන්නට පුළුවන් , ස්තුතියි නිල් අහස මේ සටහන සාකච්ඡාවක් කරන්නට එක් වූවාට

    ReplyDelete
  17. ඉක්මනින් පිලිතුරු දුන්නට ස්තුතියි..අයියා.
    එයා කරන රැකියාව අනුව නම්.. දවසෙ පැය 3ක් 4ක් විතර වරින් වර හිටගෙන තමයි ඉන්නේ.
    ආන්ත්‍රයික විශේෂහණ වෛදවරයෙක්ගේ උපදෙස් අනුව blood & urine full reports අරගෙන තියෙනවා.ඒවා නම් නෝර්මල් ලු.
    ඒවගේම ultra sound scan එකක් කරාලු.ඒකත් නොර්මල් කියලා.

    දැනට බේත් වගයක් දීලා තියෙනවා. ඊට පස්සේ අධෝ මාර්ගයෙන් කැමර් එකක් දාලා පරීත්ෂණයක් කරමු කිව්වලු.
    ඒ අයියා ඒකට බයෙන් ඉන්නේ.

    ඒ ගැන යම් දෙයක් දැන ගන්නයි ..නිශාන්ත අයියට මම මේ ටික කියන්න හිතුවේ.

    ReplyDelete
  18. ස්තුතියි -නිල් අහස-,
    වෛද්‍යවරයා සැක කරන්නේ මහාත්ත්‍රය කෙළවර ඉදිමීමක් හෝ ඇඹරීමක් හෝ තුවාලයක් වැනි තත්ත්වයක් ඇතිදැයි කියා , එය තහවුරු කරගන්නට එම ප්‍රදේශය ඇසින් නිරීක්ෂණය කරන්නට ඕන , එ සඳහා තමයි මේ Proctoscope හෝ Colonoscope කියන endoscopic අභ්‍යත්තර කුහර පියවි ඇසින් බැළිමට කැමරාවක් සහිත හෝ රහිත උපකාරණයක් ඇතුළු කිරීම කරන්නේ , මෙම තත්ත්වය තහවුරු කර ගැනීමට මේ නිරීක්ෂණය අත්‍යවශ්‍යයි ,
    මෙය ඒ තරම් තද වේදනාවක් ඇති වන්නක් නොවෙයි , හිරි වැට්ටවීමක් සහිතව සිදු කරන්නේ , ශල්‍ය වෛද්‍ය ඒකක වලදී මෙම පරීක්ෂණය ඉතාමත් සාමාන්‍ය සිදුවීමක් , බය වෙන්න එපා කියන්න , පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන්න , විය හැකි ඉතා සුළු අපහසුතා අවම කරන්නට එම සෞඛ්‍ය කණ්ඩායම යත්න දරාවි , මෙය තහවුරු කර ගැනීම හරිම වැදගත් , සමහර විට ගෙඩියක් වගේ තත්ත්වයක් වන්නටත් පුළුවන් , ඒ නිසා ප්‍රමාද නොකර එය කරගන්න උනන්දු කරවන්න ,ස්තුතියි ඔබටත්

    ReplyDelete
  19. රජෙක් උනත්..ලෙඩෙක් උනොත්...කුමකටද...???

    ඉතිං..අයියේ..ඒ වගේ අසරණ වුන කෙනෙක්ගේ හිත සුව පිණිස අයියා මේ වෙන් කරපු කාලයට...බෙහෙවින්ම ස්තුතියි.

    ඔබ වැනි අය..සෙෘඛ්‍යය ක්ෂේත්‍රයට...වාසනාවන්..!!!
    දීර්ඝායු පතමි.

    ReplyDelete
  20. ස්තුතියි -නිල් අහස-
    එය , රජයේ සේවකයෙක් ලෙස ඔබේ මුදලින් ද වැටුප් ලබන මම කළ යුතු මගේ යුතුකමක් සේ සිතන හෙයින් එය මගේ සතුයි, ඔබට ස්තුතියි පුදමි .

    ReplyDelete
  21. බොහොම වටිනා ලිපියක්.ඉස්තුති වේවා ඔබට.

    ReplyDelete
  22. Anonymous
    ගොඩාක් ස්තුතියි ..

    ReplyDelete
  23. a timely article. well written හොඳින් විස්තර කිරීමේ හැකියාවද පෙළගැස්වීමේ සහ ඉදිරිපත්කිරීමේ නිර්මාණ්ශීලී බවින්ද පරිපූර්ණ මෙවැනි ලියවීම් ඉතා අගනේය.බඩ එළියේ යෑම/diarrhea පටන් ගත් විගස සමහර විට ඇන්ටිබයොටික් පටන් ගන්නවා. ඒකත් වැරදියි. වාට්ටුවලනම් අපි හැකි තරම් ors මගින්ම තත්වය පාලනය කරගන්නවා. මගේ ස්තූතිය !

    ReplyDelete
  24. ස්තුතියි Anithkona ,
    වෛද්‍ය නිලධාරිවරයෙක් ලෙස ඔබේ අදහස් මගින් මගේ ලිපිය තවත් සරු කිරීම පිළිබද නැවතත් ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)