2011/07/25

37) ජීවිතේ ගියර් පොල්ල ලෙඩවීම - Backaches

අද මොකද නැත්තේ ................?????
අපේ සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ඊයේ දවසේ මේ පැත්තට ආවත් අළුත් සටහනක් තිබුණෙ නැහැ නේද ? සමහර විට ටිකක් අමනාපෙන් ආයෙත් හැරිල යන්නත් ඇති , සමාවෙන්න ඕන , මොකද ඊයේ සහ අද දවස වෙනදට වඩා කාර්ය බහුල දවසක් වුනා . ඉතින් අද උදේ පාන්දරම කොළඹ ගියා , දැන් දැන් ටිකකට ඉස්සර වෙලා තමයි ගෙට ගොඩවුනේ , හරිම අමාරුයි ඇඟට , දන්නවනේ ඉතිං පොඩි යුද්දයක් වගේ තමයි පැටවු දෙන්නයි බිරින්දෑයි එක්ක පැය දොළහක් විතර එහෙ මෙහේ ඇවිදින එකත් , ඊටත් වඩා අද යන්න හොඳ බස් එකක් හම්බ වුනේ නැහැ , සෙනග වැඩියිනේ , ඉතිං මාත් ජම්පිං ෂීට් එකේ වාඩි වෙලා “පිං  පිං ජම්පිං “ කිය කියා කොහොම හරි ගියා කියමුකෝ ,



පිටකොටුවෙන් බහින කොට කොන්ද නැහැ වගේ , හරිම වේදනවයි , මොකද මට අර ජම්පිං ෂීට් එකේ ඉන්න වුනේ හිටගෙන හිටපු තව තුන් හතර දෙනෙක්ගෙත් බර අරගෙන නේ , ඉතින් හරිම සනීපයි , සුඛෝපභොගී බස්නේ , මොනව කරන්නද ?

පච්ච පැත්තේ කැක්කුම..................
කොහොම හරි කොන්දේ වේදනාවත් එක්ක වැඩ ටිකත් ඔක්කොම කරගෙන ගෙදර ආව , ඇවිත් නාල කියල තේ එකක් හෙම බීලා සොඳුරු සුව අසපුවට ඇතුළු වුනාමයි දැක්කේ නිකං පාළුවෙලා ගිහින් වගේ අළුත් ලිපියක් නැතිව , එහෙම නම් අද අපි කතා කරමු මගේ අමාරුව ගැන , ඒ කියන්නේ කොන්දෙ කැක්කුම ගැන backache ගැන , ඔන්න මාතෘකාව දැක්ක ගමන් “අපෝ ඕක ද? “ කියල හිතන අයත් ඉන්න නිසා , පොඩි ඇමක් දාන්නම් “ඔය කොන්දෙ කැක්කුම හැදෙන්න පුළුවන් හරිම අනතුරු දායක පිළිකාවකදීත් , දන්නවද? “ ඔන්න , ඔන්න ඒපාර .....ඉන්න , මම කීව නේ ඒ ඇමක් කියලා , හැබැයි ඒක ඇත්ත , ඒත් අපි ඒ ගැන කතා කරන්නේ ටිකක් එහාට ගිහින් , ඒ නිසා ඔයාට සිද්ද වෙනවා මගේ කතාව මුල ඉඳලම අහගෙන ඉන්න  , කැමතියිද ?.................

 මේ backaches ගැන කතා කරන්න ඉස්සර වෙලා අපි , ඒ ප්‍රදේශය ගැන වට පිටාව ගැන ටිකක් කතා කරල ඉමුනේද ? මොකද ඒ ගැන ටිකක් හරි දැන ගත්තම අපිට ලෙඩේට හේතුව තේරුම් ගන්න පුළුවන් , ඒ විදියට හරියට දැනුවත් වුනොත් තමයි අපි හරියට පරිස්සම් වෙන්නේ , (ඒකනේ හැමදාමත් යකා නටවන්නේ නේද?) 

කොන්ද හැදෙන හැටි ....
මෙන්න අන්තර් කශේරුක මඩල කොට්ටය
ඔය කැක්කුම ඇතිවන කොන්ද කියන ගියර් පොල්ල  තැනිලා තියෙන්නේ කශේරුකා  ,එහෙම නැත්නම් vertebra ඇට කෑළි 24ක් (33ක්) එකට සම්බන්ධ වෙලා , ඒ  දණ්ඩ වටා එක් වුනු “රොටි“ වගේ පේෂි , “ටෙලිෆෝන් වයර් වගේ “ ස්නායු , අර ජම්පිං ෂීට් එකේ වගේ “කොට්ට“ , ඒ වගේ ජාති ගොඩාක් එකතු වෙලා තමයි මේ ‘කොන්ද  “ හැදෙන්නේ , ඒ වගේම මේ සියල්ල නියම විදියට එකතු වෙලා කටයුතු කළොත් තමයි අපේ කොන්ද නිරෝගී කොන්දක් වෙන්නේ , කොන්ද ලෙඩ වුනොත් අපේ මුළු ඇඟම ලෙඩ වෙනවා , ඒ විතරක් නොවෙයි අපේ පෙනුම , පෞරුෂය , ශක්තිමත් බව වගේ අපි නොහිතන සාධක ගණනාවකුත් මේ කොන්ද එක්ක තියෙනවා , ඒනිසා අපේ ජීවිතයේ ගියර් පොල්ල කිව්වත් වැරදි නැහැ , මොකද ගියර් පොල්ල ලෙඩ දුන්නොත් වාහනේම ලෙඩනේ.නේද ?


ඔන්න දැන් කොන්දට එනවා ,...අපේ ඔළුවේ පතුලේ ඉඳල තමයි මේ කොන්ද හදන කශේරුව (vertebral column)  පටන් ගන්නේ   , එතැන ඉඳළ එකිනෙක හොඳින් සම්බන්ධ වුනු පුංචි අස්ථිකා (අපි ඒවට කියන්නේ vertebra එහෙම නැත්නම් කශේරුකා කියලා ) එක , එක සම්බන්ධ වෙනවා , හැබැයි මේ ඇට දෙකක් අතරේ හොඳ පුළුන් කොට්ටයකුත් තියෙනවා , මොකද ඇට කියන්නේ ඇත්තටම හුණූගල් වගේනේ , ඉතින් අපේ ඇඟ ඇතුලේ හුණු ගල් හැප්පෙන්න පටන් ගත්තාත් කොහොමද ? ඒත් එහෙම හැප්පෙන්න නොදී තියාගන්න තමයි අර කොට්ට(කාටිලේජ වලින් තැනුනු)  තියෙන්නේ , ඒවට කියන්නේ inter vertebral disk කියල , සිංහලෙන් කියන්න පුළුවන් ‘‘අන්තර් කශේරුක මඬළ‘‘ කියලත් , කොහොම හරි මේ විදියට මේ ඇට 24 එකට එක හොඳින් සම්බන්ධ වෙනවා , (මතක තියාගන්න , කොච්චර සම්බන්ධ උනත් එකට හැප්පෙන්න යන්නේ නැහැ ,)  ඔය අතරේ අපේ ඇඟේ පණිවිඩ ගෙනියන අර ටෙලිෆොන් වයර් වගේ “ස්නායු “ ඔය කොඳු ඇට අස්සෙන් බොහොම පරිස්සමෙන් රිංගලා ඇඟේ වෙනත් අවයව , ඉන්ද්‍රය වලට යනවා , එයාල තමයි මොළය සහ ඒ අවයව අතර පණිවිඩ ගෙනියන්නේ , ඒකට හොඳ රහස් උමඟකුත් තියෙනවා අර කොඳු ඇට ඇතුලේ , කශේරුවේ ඇතුලේ තියෙන සිදුර තුලින් තමයි අපේ මොළයේ වල්ගය වගේ තියෙන සුෂුම්නාව(spinal cord)  ගමන් කරන්නෙත් , ඒ සුෂුම්නාවයි අර පණිවිඩ ගෙනියන ස්නායුයි එකිනෙක සම්බන්ධ වෙලයි තියෙන්නේ , ඔන්න ඔය කශේරුව උදව් කරගෙනයි ඒඅවට තියෙන පේෂි රැඳෙන්නෙත්  , 

හපොයි , ජීව විද්‍යාව පාඩමක් කරා වගේ නේද ? ඔළුව කකියනවාද ? කොන්ද කකියනවද මේ ටික අහගෙන ඉඳළා? ....

කොන්ද .......කකියනවා.....
දැන් අපි බලමු මේ කොන්දේ කැක්කුම එන්න පුළුවන් අවස්ථා මොනවද කියලා ? හැබැයි මේකත් කියන්නම ඕන , සමහර වෙලාවට කොන්දේ කැක්කුමයි කිව්වට ඇත්තටම කොන්දෙ නොවෙන්න පුළුවන් කැක්කුමේ මූලය තියෙන්නේ , හොඳම උදාහරනය කාන්තාවන්නේ ආර්තවයත් එක්ක ඇති වන “කොන්දෙ කැක්කුම “ එතැනදි ඇත්තටම වෙන්නේ ගර්ෂාෂය ඇතුලේ යම් වෙනස්කමක් , ඒත් ඒක දැනෙන්නේ තද කොන්දෙ කැක්කුමක් විදියට ,විශේෂයෙන්ම ගර්භනීත්වයේදි (pregnancy) ගොඩාක් හේතු නිසා කොන්දේ කැක්කුම එන්න පුළුවන් , ඒ වගේම ගර්භාෂයේ හෝ ඩිම්බ කෝෂ වල (Uterus or Ovaries)  ඇති වන ගැටළුත් බොහෝ වෙලාවට පෙන්නන්නේ කොන්දේ කැක්කුමක් , ඒවගේම මුත්‍රාශය ආශ්‍රත රෝග , මුත්‍රා ගල් පැවතීම වගේමත් ඇපෙන්ඩිසියිටිස් appendicitis වගේ රෝග තත්තව වලත් පෙන්වන දේ මේකම වෙන්න පුළුවන් , 

ඊට ටිකක් වෙනස් සාධක බැළුවොත් කොඳු ඇට , vertebra වල තියෙන ශක්තිමත් බව අඩු වෙලා හැකිලීමක් වගේ වුනොත් ඇඟේ බර දරන කොන්දට ඒක ලොකු වේදනාවක් . ඒ කියන්නේ යම් හේතුවක් නිසා කොඳු ඇට වල විශේෂයෙන්ම තුනටිය හරියේ කොඳු ඇට වල ශක්තිමත් බව අඩු වුනොත් එතනදිත් ස්නායු කොන්දෙ කැක්කුමක් එනවා , ඔබට මතක ඇති අපේ ඔස්ටියෝපොරෝසිස් ගැන කතාව , එතැනදි අපි කිව්වමේ ගැන , (මෙතැනින් එතැනට පනින්න පුළුවන් , ) 

කොන්දේ කකුළුවෙක් (පිළිකාවක් ) වෙන්නත් පුළුවන් .........
ඒ වගේම Multiple myeloma කියන පිළිකා තත්ත්වයේදිත් මේ විදියට කොඳු ඇටවල තද ගතිය නැතිකරනවා , දුර්වල කරනවා , එක්තරා විදියකින් osteoporosis වලදා වගේම , එතකොටත් තුනටිය  ප්‍රදේශයේ  තද කැක්කුමක් එනවා , ( හැබැයි දැන් ඉතින් පොඩ්ඩක් කොන්ද කකියන්න ගත්ත ගමන් , හපොයි මට පිළිකාවක් කියල බය වෙන්න එපා , නමුත් දැන ගෙන ඉන්න , හැබැයි සැකයක් තියේනම් ඒ කිව්වේ මෙන්න මේ වගේ සාධක වයස 65ට වැඩිනම් , පවුලේ කෙනෙකුට පිළිකා ආශ්‍රිත තත්ත්වයක් තිබුණා නම් , විකිරණ හෝ පෙටෝලියම් ආශ්‍රිත රැකියාවක නියුතුව සිටියානම් , ළඟදි වරින් වර හේතුවක් නැතුව වගේ උණ ගැණුනනම් , බලාගෙන ඉත්දි වගේ කෙට්ටු වෙලා නම් , මේ කොන්දේ කැක්කුම මාස ගණනක් තියාගෙන ඉන්නේ නැතිව දොස්තර මහත්තයට පෙන්න ගන්න , එතකොට බොහොම සරළ මුත්‍රා පරීක්ෂණයක් (urine for B.J Protein) සහ රුධිර පරීක්ෂණයක් serum electrophoresis කරල , ඔබට නිවැරදි තත්ත්වය පහදා දේවි , හැබැයි මතක තියා ගන්න වයස් ගත වීමත් එක්ක බොහො දෙනෙකුට අස්ථි ඝණත්වය අඩුවීම , අර කාටිලේජ දුර්වල වීම වගේ හේතු එක්ක සාමාන්‍ය කොන්දෙ කැක්කුමක් හැදෙනවා) .

එළියට පැනපු කොට්ටයක් ?
දැන් අනෙක් සාධකය , ඒතමයි කශේරුව එක්ක යන ස්නායු , අපි අර කිව්ව ටෙලිෆෝන් වයර් , අන්න ඒව තද වෙලා ඒවයේ ගමනට බාධා වුනාම  ඇති වන කොන්දේ කැක්කුම , දන්නවනේ මේ දවස් වල වැස්සත් එක්ක හැමදාමත් ටෙලිෆෝන් වයර් උඩට පොල් අතු , ගස් වැටිලා , ඉතින් ගෙදර කට්ටියට කොල් එකක් ගන්න බැරිව දඟලනවා , ( හොඳ වෙලාවට අපේ ඔක්කොම ජංගම ඒවනේ  ) අන්න ඒවගේ තමයි අර ස්නායු මතටත් මොනව හරි කඩා වැටිල , තද වුනොත් හරියට දැනේනේ තද වේදනාවක් , ඉතින් ඔය විදියට කඩා වටෙන්න ගස් තියෙනවායැ අපේ ඇඟ ඇතුලේ නේද , එත් මේ කශේරුක ස්නායු spinal nerve මතට කඩා වැටෙන කෙනෙක් තමයි අර අන්තර් කශේරුක මඬල් , අපේ වැරදි ඉරියව් , බර එසවීමේ වැරදි ක්‍රම , සහ වැරදි ව්‍යායාම (මේ ගැන ඉදිරි ලිපියකදි විස්තරාත්මකව කතා කරන්න හිතාගෙන ඉන්නේ ) හේතුවෙන් තමයි මෙ විදියට Inter vertebral disk herniation තෙරපීමක් වෙන්නේ , 


මේකේ භයානක කම මේකයි , ඔය විදියට disk එකෙන් තෙරපෙන ස්නායුව තව දුරටත් තෙරපිලා ඇතිවෙන්නේ කැක්කුම විතරක් නොවෙයි , හිරි වැටීමක් හෝ අදාල අවයවය වැඩ නොකර යන්නත් ඉඩ තියෙනවා , ඒ විදියට වැඩ කරන්නේ නැතිව ගියොත් මොකද වෙන්නේ ? මෙච්චරයි වෙන්නේ අර ස්නායුවෙන් පණිවිඩ අරගෙන පාලනය වෙච්ච මුත්‍රාශය හරි මුත්‍රා මාර්ගයේ කොටස් හරි නිවැරදිව වැඩ කරන්නේ නැතිව යනවා , එතකොට  තමයි පාළනයකින් තොරව මුත්‍රා පිටවීමක් වෙන්නේ urine incontinence , හැබැයි මෙහෙම හිතමු , හෘදයට හරි පෙනහළු වලට හරි පණිවිඩ ගෙනියන ස්නායුවක් මේ හේතුව නිසා අඩපණ වුනා කියලා , මොකද වෙන්නේ , මැරෙන්නයි වෙන්නේ , ඔය විදියටම disk herniation නිසා කකුල් පණ නැතිව යන්නත් ඉඩක් තියෙනවා , ඔය කොන්දේ කැක්කුමත් එක්කම කකුල හිරවෙනව වගේ වේදනාවක් එන්නේ sciatica කියන තත්ත්වයේදි , එතැනදි වෙන්නේ කකුලට යන ස්නායුව අර කිව් විදියට හිර වෙන එක  , ඒ නිසා ඔය බර උස්සන කොට , වගේම අපේ ඉරියව් නිවැරදිව  තියාගන්න උත්සාහ ගන්න , 

ඊට අමතරව ආතරයිටිස් තත්ත්වය වගේම උපතේ සිටම කශේරැවේ පවතින යම් යම් ආබාධ හැඩයේ වෙනස්කම් නිසාත් මේ කොන්දේ කැක්කුම ඇති වෙන්න පුළුවන් , ඒවගේම පොඩි තැලීමක් , පේෂි ඉරීමක් වගේ දේකිනුත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් , ඒවගේම අස්ථිවල ඇතිවන Osteomylitis කියන තරමක් කරදරකාරී ආසාදනය නිසාත් මේ වගේ කැක්කුමක් එන්න පුළුවන් , කොහොම වුනත් මේ කැක්කුම තදින්ම තියෙන්නේ දින කිහිපයක් විතරයි , හැබැයි මාස තුනකට වැඩිය මේ කැක්කුම තිබුණොත් අපි ඒකට කියනවා chronic backache එකක් කියලා , 

දැන් නම් මේක ටයිප් කරලා තිබුණු කොන්දේ කැක්කුම තව ටිකක් වැඩියි වගේ , කමක් නෑ පොඩි රෙස්ට් එකක් අරගෙන ඇවිත් ඉතිරි ටික ලියන්නම් , 

rest එකක් ගන්න ...
දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ ? මොකක්ද , “අපිට මේ තියෙන කොන්දෙ කැක්කුං වල හිටියට ඔය කියන විදියට හැමදාම hospital එකේනෙ ඉන්න වෙන්නේ “ කියලා  , මෙහෙමයි , ඔය කොන්දේ , තුනටියේ කැක්කුමක් හැඳුන ගමන්ම දුවන්න එපා (කොහොමත් දුවන්න නම් එපා) ඉස්පිරිතාලෙට, 

වෙන ගැටළුවක් ඒ කිව්වේ හිරි වැටීමක් ,කකුළෙ පණ නැතිවීමක් , කටු අනිනවා වගේ සංවේදනයක් , එහෙම නැත්නම් තෙරෙන්නෙ නැතිවම මුත්‍රා පිටවෙන්න වගේ වුනොත් නම් වැඩිය කළබල  නැතිව පරිස්සමින් ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙන්න , හැබැයි රිය අනතුරකට ලක් වෙලා හරි උඩකින් වැටිල හරි කොන්දේ කැක්කුමක් , හිරි වැටීමක් වගේ තියෙනවනම් කිසි වෙලාවක ඇවිද ගෙන යන්න , කළබල කරන්න එපා , මොකද මේ වෙලාවේ කොඳු ඇට බිඳිල තිබුණොත් ලොකු අනතුරකට සමහර විට කළබල වීම නිසා මරණයට වුනත් පත්වෙන්න පුළුවන් , ඒ වෙලාවට උදව්වට ඉන්න අය කරන්න ඕන , ලෑල්ලක් හරි ශක්තිමත් තහඩුවක් හරි මතට මේ රෝගියා පරිස්සමින් “කිහිපදෙනෙක් එකතු වෙලා කොටයක් වගේ මුළු ඇඟම එක පාරට හරවල අරගෙන  “ (මෙතනින් බලා ගන්න ඒ කොටයක් වගේ හරවන හැටි )  වැඩිය කළබල කරන්නෙ වට්ටන්නේ නැතිව රෝහලකට ගේන ඒකයි ,

lieing position for back
හරියට නිදා ගන්න ..
හැබැයි අපිට හුඟක් වෙලාවට ඇති වන්නේ මේ වගේම අනතුරුදායක තත්ත්ව නොවෙයි , ඔය සාමාන්‍ය කොන්දේ කැක්කුමට කරන්න තියෙන්නේ ටිකක් විවේක ගන්න එකයි , වඩාත් හොඳයි ඇඳක හාන්සි වෙලා පැය දෙක තුනක් ඉන්න පුළුවන්නම් ,ඒ ඇඳේ මේට්ටේ හුඟාක්ම මෘදුනම් , නැත්නම් ගිලා බැහැල වගේ නම් ඒ ඇඳේ නිදාගන්නවට වඩා හොඳයි ටිකක් ඝණ ඇතිරිල්ලක් හරි රෙදි ටිකක් හරි බිමට දාල බිම නිදා ගන්න එක , ඒවෙලාවට කකුළෙ දණහිසට යටින් පුංචි කොට්ටයක් තියාගන්න , ටිකක් වේනාව අඩු වෙනවා ,  Paracetamol වැනි සරළ වේදනානාශකයක් වයසට අනුකූලව ගන්න(ඒ ගැන කතාව දන්නවනේ ) , ඒවගේම වේදනානාශක බාම් ටිකක් මෘදුව ආලේප කරා කමක් නැහැ , හැබැයි කොන්ද උඩ නැගගෙන කොන්දට උරන්නම කියල බාම් දාල තලන්න එපා , අමාරුව තවත් වැඩි වෙයි , 

හැබැයි පැය 48 ක් විතර ගිහිල්ලත් වේදනාව අඩු නැත්නම් , නැත්නම් වේදනාව ටිකෙන් ටික වැඩි වෙනවානම් රෝහලකට යන්න , නැත්නම් ළඟම ඉන්න වෛද්‍යවරයාගෙන් උපදෙසක් , ප්‍රතිකාරයක් ගන්න , එහිදී ඔබේ වේදනාවේ ස්වභාවය , ඇති වුනු අවස්ථාව , තද වේදනාවක් පැවතුණු කාළය වගේ තොරතුරු විමසාවි ,  මුත්‍රා , රැධීර පරීක්ෂණත් කරන්නට ඉඩතියෙනවා , බොහෝ වෙලාවට X ray හෝ CT scan එකක් වුනත් කරන්න ඉඩ තියෙනවා , සමහර විට මේ අවස්ථා සියල්ලත් ප්‍රමාණවත් නොවුන හොත් කොඳු ඇට අතර අවකාශයට යම් ඩයි වර්ගයක් විදල කරන Myelogram කියන පරීක්ෂණය වුනත් කරන්නට වේවි , බයවෙන්න එපා මේ සියළු පරීක්ෂණ අද බොහෝ රජයේ රෝහල් වල නොමිලේම කරනවා ,  

මේ පරීක්ෂණ වලින් රෝගය හඳුනාගත්තට පස්සේ ඔබට වේදනානාශක වර්ග ගණනාවක් ලබා දේවි , විවිධ මට්ටම් වල වේදනානාශක , එයින් සමහර ඖෂධ නිසා ඔබට Gastritis තත්ත්වය ඇති වන්නට හෝ උග්‍රවන්නට පුළුවන් , ඒ නිසා මේ ගැනත් ඔබේ වෛද්‍යවරයාට දන්වන්න , ඒවගේම සමහර ප්‍රබල වේදනානාශක (Opioid ගණයේ) නිසා ඔබේ මළ පහ රටාව වෙනස් වෙලා මළබද්ධය constipation වගේ ඇති වන්න පුළුවන් ,  ඒ නිසා බොන්න , වැඩි පුර වතුර බොන්න , හොඳට එළවල එක්ක බතුත් කන්න , ටිකක් විවේක ගන්න , 

මේ ඖෂධ ප්‍රතිකාර වලට අමතරව සමහරවිට ඔබට භෞත චිකිත්සක ප්‍රතිකාර  Physiotherapy සඳහාත් පසුව යොමු කරන්නට පුළුවන් , එහිදි යම් ව්‍යායාම , කිරණ මඟින් උණූසුම් තැවීම් සිදු කිරීම වගේ දේවල් විශේෂ පුහුණු කණ්ඩායමක් විසින් සිදු කරාවි ,  සමහර විට කොන්දට සහය දෙන විශේෂිත පලදනාවක් පැළඳගෙනම ඉන්න වෙන්නත් පුළුවන් , තත්ත්වය වඩාත් උග්‍ර නම් ශල්‍යකර්ම සඳහාත් යොමු කරන්නට ඉඩ තියෙනවා , 

බඩේ බර ....කොන්දේ කැක්කුම
පේනවනේද කොන්දෙ කැක්කුම කියන්නේ නිකං පොඩි කැක්කුමක් විතරක් නෙවෙයි කියලා , හොදම දේ තමයි මේ ගැටළුව ඇති කරන සාධක වලින් (වැරදි විදියට බර එසවීම , වැරදි විදියට ව්‍යායාම කිරීම , දේහ බර වැඩිවීම ) වගේ සාධක වලින් මිදෙන එක , ඒත් ඉතින් වයසට ගියාම ඇතිවන කැක්කුම වගේම කාන්තාවක් නම් මාසිකව ඇති වන කොන්දෙ කැක්කුමත් වගේ තත්ත්ව වලින් සම්පුර්ණයෙන්ම මිදෙන්න අමාරුවේවි , එතකොට බෙහෙත් ටිකක් ගන්න , ඒත් මට ආපු ජම්පිං ෂීට් කොන්දෙ කැක්කුමට නම් .....?????????????

දැන් උදේ එකයි , හොඳ වැස්සකුත් වැටෙනවා , සැපට නිදා ගන්න ඕන ...සැප ..?....කොන්දෙ කැක්කුම ...!!! ... නිදා ගත්තම අඩුවේවි නේද ?

31 comments:

  1. බොහොම ස්තුතියි....
    කොන්දෙ අමාරුගැන මාත් වැඩියම දන්නේනම් නෑ. ඒත් ඇතැම් අය
    දැඩි ලෙස මේ රෝගයෙන් පීඩා විදිනවා අසා තියනවා.
    මේ කොදු අතර තියන කාටිලේජ් පසු වෙනකොට ක්ශය වෙලාත් රෝගී වෙනවලු නේද?

    හොද ලිපියක් කාට හෝ ප්‍රයෝජනවත් වේයි.

    ReplyDelete
  2. ඔව් වයස් ගත වීමේදි මේ තත්ත්වය ඇතිවීමේ යම් අවදානමක් තියෙනවා ,
    ස්තුතියි ගිම්හානි ,

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක් අයියා.
    නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුලුවන් උනා.
    අම්මෝ කොන්දේ අමාරු නම් කියලා වැඩක් නෑ. ඉස්සර අපි හොස්ටල් ඉන්න දවස්වල තිබ්බෙම වල ගොඩැලි තියෙන මෙට්ට. ඒවායේ නිදාගත්තම ටික දවසක් යනකොට කොන්ද රිදෙන්න ගන්නවා.
    ඒකට ශාලා පරිපාලනයෙන් කිසිම දෙයක් කරන්නේ නෑනේ. අඩුම තරමේ අවුරුදු 10කට වතාවක් වත් අලුත් මෙට්ට ගෙනත් දැම්මනම් ඉවරයි. ඒත් නෑ.
    කොහෙද ඉතින් එයාලා මේ රූම් වල ඉන්නවැයි. අපිනේ ඉන්න ඕනේ. අපේ අම්ම නම් කියන්නේ ඒකට බිම නිදා ගත්තම හරි ලු.

    ඒත් නුවර තියෙන සීතලට බිම නිදාගත්තම මට වීසින් එනවා. ඒඉනිසා ඒක කරන්න වෙන්නේ නෑ.

    පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද ? අර කොන්දෙන් වතුර ගන්නවාය කියලා කට්ටිය හරි ආඩම්බරයෙන් කියන්නේ මොකද්ද ? ඇත්තටම කොන්දෙන් වතුර ගන්නේ කෝමද ?

    ReplyDelete
  4. ස්තුතියි මධුරංග ,

    අර මෙට්ට ප්‍රශ්නෙට නම් මොකක් හරි ප්‍රායෝගික විසඳුමක් ගන්න , ඔන්න දැන් තියෙනවා අකුලන්න පුළුවන් පොඩි මෙට්ට වර්ගයක් , බිමට දාගෙන නිදා ගන්න පුළුවන් , උදේට අකුළල දාන්න පුළුවන් ,

    ඔය කොන්දෙන් වතුර ගන්නවා කියන්නේ මෙහෙම දෙයක් , අපේ කොන්දේ vertebral column මැදින් තියෙන නාලාකාර කුහරය තුලින් තමයි සුෂුම්නව(spinal cord) මොළයේ ඉඳළ පහළට ගමන් කරන්නේ , ඒ වටාත් මොළයේ ආවරණය කරන පටල (meninges) සහ දියර Cerebro spinal fluid -C.S.F) අඛණ්ඩව තිබෙනවා , ඔය මොළයේ උණ හරි යම් ආසාදනයක් ඇත්ද කියල සැකයක් ඇතිවූ අවස්ථාවක ඔය විදියට කොන්දේ පහල පිහිටන කශේරුකා දෙකක් අතරින් අර spinal cord එකේ බාහිර ආවාරණය සිදුරු කරල වටා තිබෙන දියරය C.S.F ටිකක් අරගෙන පරීක්ෂා කිරීම තමයි ඔය කොන්දෙන් වතුර ගන්නවා කියන්නේ , ඕක ආඩම්බරෙන් කිව්වට ටිකක් අප්‍රසන්න වේදනාකාරී නමුත් අතිශ්‍ය වැදගත් පරීක්ෂණයක්

    ReplyDelete
  5. බොහොම ස්තූතියි...!
    උණ ටිකක් වැඩී කියලා මගේ දරුවෙකුට ඔය පන්නිපිටිය පිටිය පැත්තේ තියන සාත්තු නිවසයක වෛද්‍යවරියක් Lumber Punch එකක් කරන්න වේවි කියා යෝජනා කලා... දරුවට අවුරුදු 5ක් විතර ඇති එතකොට... මගේ ඒ හැටි මනාපයක් තිවුණේ නෑ ඒකට.. කෙසේ හෝ ඒක කරන්න වුණෙ නෑ..
    වෙලාව ඇතිනම් ඒ ගැනත් අපව දැනුවත් කරන්න...

    මේ ලියමන් වයස් පරතරයක් නැතිව කාටත් වැදගත්...
    මහන්සි වෙලා රූපත් සොයාන දාන එකේ පසුව පොතක් වසයෙන් ප්‍රකාශනයටත් පත් කරන්නත් පුලුවන් වේවි නේ...?
    දිනපතා ලියන ලිපි pdf කරලා එකතු කලානම් ලේසියි පසුවට නේද..

    ReplyDelete
  6. දකුණුලකේ අගනගරේ ගාලුපුරේ
    සිරියාව තවත් වැඩිවේ ඔබෙන්
    පතමි දීර්ගායු ඔබ පවුලටම
    රටක් නොව ලොවක් සුවපත් කරන්නට.....

    ReplyDelete
  7. තිස්ස දොඩන්ගොඩ ,
    බොහොම ස්තුතියි තිස්ස , පොතක් වශයෙන් මේ කරුණු එළිදක්වන්න කියන ඉල්ලීම කිහිපදෙනෙක්ගෙන්ම ලැබුණ , අපි බලමු ඉදිරියට යමක් කරන්න ,

    ඔව් ඔය Lumbar puncture කියනනේ කොඳු ඇට අතරින් පොඩි කටුවක් යවලා , C.S.F (මධුරංගg දුන් පිළිතුරේ මේ ගැන සඳහන්) තරලය ටිකක් අරගෙන පරීක්ෂා කරන එක , මේක කරන්න වෙන්නේ මොළයේ උණ වගේ තත්ත්වයක් තහවුරු කර ගන්නත් ඒ සඳහා සාධකවූ බැක්ටීරියාවන් හෝ රෝග කාරකයන් කවුරුන්දැයි හරියටම හඳුනාගන්නත් , සමහර වෙලාවට මොළය ඇතුළේ පීඩනය වැඩිවීමක් පිළිබඳ සැක කරන අවස්ථාවකදීත් එම පීඩනය වෙනස් වීම පිළිබඳ වැඩි දුර සොයාබලන්නට මෙම lumbar puncture පරීක්ෂණය කරනවා ,ඒ වගේම පිළිකානාශක ඖෂධ කොන්ද ඇතුලට මොළයේ ආවරණ තුලට ඇතුළු කිරීමටත් මේ L.P.එක කරනවා ,
    ඇත්තටම මේක හරිම වැදගත් පරීක්ෂණයක් මොකද මේකෙන් මොළය ඇතුලේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් වෛද්‍යවරයාට ලබා ගන්න පුළුවන් , ටිකක් වේදනාකාරීයි නමුත් අද දවසේ පුළුවන් සෑහෙන දුරට ඒ වේදනාව අඩු කරල මෙය කරන්නට ,

    ReplyDelete
  8. ගොඩක් වැදගත් ලිපියක්.මටත් පොඩි ගැටලුවක් තියනව,ටික දවසක ඉදල උදේ නින්දෙන් අවදිවෙද්දි කොන්දෙ වේදනාවක් එනව.පැයක්-එකහමාරක් යද්දි අඩුවෙලා යනව,මොනවගේ තත්වයක් ද?

    ReplyDelete
  9. Chiran ,
    බොහොම ස්තුතියි චිරාන් , ඔව් අපි යමක් කරමු නේද ?

    ReplyDelete
  10. ඕ හරි හරි... ස්තූතියි...
    මම පාවිච්චි කරාපු ඉංග්‍රීසි වචනයත් වැරදියි නේ...?
    lumber = X
    Lumbar = √

    ReplyDelete
  11. එදිරි ,
    මේ ගැන කියන්නට තියෙන්නේ මුලින්ම වරද කොතැනදැයි සොයන්න , ඔබේ රාජකාරි බහුල නිසා නින්දට යාම ප්‍රමාද වෙනව? වෙනද වගේ හොඳට නින්ද යන්නේ නැත්ද , එහෙට මෙහෙට පෙරළි පෙරළි ඉඳල උදේට ඇහැරෙනවාද ? ඒවත් මේ ගැටළුවට සාධක වෙන්න පුළුවන් , ඊළඟට හොයල බලන්න , අඳේ තත්ත්වය මෙට්ටය ගිලා බැහැළද හුඟාක්ම මෘදු මෙට්ටයක්චද ? කියන එකත් , ඒ වගේම ඔබේ වයස ගැනත් මොකද menopause එකත් එක්ක ඇති වන අස්ථිවල ඝණත්වය අඩුවීමෙනුත් මේ වගේ ඇති වෙන්න පුළුවන් , ඒ වගේම මුත්‍රා පිටවීමේ අඩුවක් හරි වෙනසක් හරි තිබේ නම් ඒ ගැනත් සොයල බලන්න , මොකද මුත්‍රාශය ආශ්‍රිත ගැටළු වලදිත් එන්න පුළුවන් නිසා , අනෙක් සන්ධිවලත් මේවගේ වේදනාවන් තිබේදැයි කියලත් බලන්න , මුලින්ම මේ තත්ත්ව ගැන තමන්ම හොයල බලල , වෙනස් කන්නට පුළුවන් තත්ත්ව තිබේනම් නිවැරදි කරගෙන බලන්න , නැත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක තමයි වඩාත් සුදුසු ,

    ReplyDelete
  12. තිස්ස දොඩන්ගොඩ,
    ඔව් තිස්ස , ඔබ තව දෙයක් දැන ගත්තානේ , සතුටුයි සක්‍රියව එක්වුනාට

    ReplyDelete
  13. ඕකනෙ කියන්නෙ . . . . නොකියම කොලඹ ඇවිත් යනව කියල . . . . . ඇයි කොලඹ එනව කියල කලිං කීව නං . . . අපිව හම්බවෙයි කියල බයයිද . . . . ????

    ReplyDelete
  14. ඕනයා ,
    අනේ නැහැ මල්ලී , මගේ medical එකේ papers ටික අතට හම්බ වුනේ ඉරිදා රෑ , එතකොටත් දවස් දෙකක් පහුවෙලා , දන්නැත්ද අමාරුම වැඩ ටික කරල කරලා මේ වඩේ upset ගියොත් කොහොමද ? ඉතිං උදේ පාන්දරම කොහුවල ඇවිත් Medical examination කරල ඔක්කොම ටික embassy එකටත් බාර දීල ආයි අනිත් පැත්තට හැරුනා . ආයේත් දවසක එනකොට මල්ලිට වෙලාසන කියල එන්නම් ටිකක් කතා කරල යන්නත් එක්ක , අපේ පැටවුනුත් හරි ආසයි “ඕනයා“ කවුද කියල දැනගන්නත් ,ගොඩාක් ස්තුතියි දැක්වූ සහෘදත්වයට ,

    ReplyDelete
  15. ගොඩක් ස්තුතියි මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට. මට ඕක මතක් උනේ අපේ ගෙවල් ලඟ මනුස්සයෙක් හරි ආඩම්බරෙන් කියනවා එයාගේ කොන්දෙන් වතුර බෝතල් දෙකක් ම ගත්තා කියලා.
    මම් හිතන් හිටියේ ඒක ලේසි වැඩක් ය කියලා. බැලින්නම් මාර දරුණු වැඩක් නේ.

    ReplyDelete
  16. මධුරංග ඒකනම් කොහෙත්ම වෙන්න බැහැ , මොකද සාමාන්‍යයෙන් මිනිසෙක්ගේ C.S.F තියෙන්නේ 200-250ml විතර , බෝතල් දෙකක් අයින් කළා කියල කියන්නේ , රෝහලේදි පුංචි කුප්පි දෙකකට C.S.F.බිංදු දෙක ගානේ ගන්න එක වෙන්න ඕන , පේනවනේ ඒ ආඩම්බරකාර මනුස්සයගේ කාකු පිහාටු කතාවක් නේද ?

    ReplyDelete
  17. ගොඩක් ස්තුතියි මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට.ඉක්මනින් ම පියවරක් ගන්න ඕන.

    ReplyDelete
  18. සර් දැන් කොන්ද කැක්කුම හොදයිද? මව් පදවිය ලැබුවට පස්සේ ඇයි කොන්ද කැක්කුම හැදෙන්නේ? ගැස්ටයිටිස් වලදි කොන්ද කැක්කුම හැදෙන්නේ ඇයි? සර් මේ ලිපි ලියන ආකරයට ඒක කියවත්දි තදින් හිතට කා වදිනවා එතකොට මගේ දැනුමත් වැඩි වෙනවා. ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  19. nadeesha,
    මේකට සාධක ගණනාවක් හේතු වෙනවා , විශේෂයෙන්ම ගර්භණීත්වයේදි ඇති වන දේහයේ බර බෙදීයාමේ වෙනසත් එක්ක කොන්ද යම් තරමකට ඉදිරියට ඇදීමක් එනවා , විශේෂයෙන්ම ගර්භණීත්වයේ අවසන් මාස කිහිපය තුල , ඒ වගේම ඒ කාළ සීමාවෙදි ඇයගේ calcium අවශ්‍යතාව වැඩි වෙනවා , පැටියටත් එක්ක ගන්න ඕන නේ , ඒ වගේම කිරි දෙන අවධියෙදිත් ඒ අවශ්‍යතාව ඉහළයි , නමුත් ඒ අවශ්‍යතාවයේ තරමටම කැල්සියම් නොලැබුනොත් සිද්ධ වන්නේ මවගේ අස්ථි වල තියෙන කැල්සියම් ලේ වලට උරා ගැනීම , එතකොට කශේරුකා වල අස්ථි ගණත්වය අඩු වීමෙන් මේ ලිපිය් විදියටම කොන්දේ කැක්කුම ඇති වෙන්න පුළුවන් , මේ සෞඛ්‍ය හේතුත් එක්ක අළුත් දරුවා බිහිවීමේදී සිදුවන සමාජමය හේතු , ඒ කිව්වේ දරුවා නැලවීමේදී , කාර්ය බහුල වීම වගේම කිරි ලබා දීමේදී නිසි ස්ථාපිත පවත්වා නොගැනිම නිසත් මේ තත්ත්වය ඇති වන්නට පුළුවන් , ඒත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් දරුවකු බිහිවුණ පමනින් කොන්දෙ කැක්කුම එනවාමයි කියනත් බැහැ , ස්තුතියි දුවේ , මට ආයෙත් ඔබේ විදුහලේ දේශනාගාරයේ stage එකේ ඉන්නව වගේ දැනෙනවා, ගොඩාක් ස්තුතියි දුව ..

    ReplyDelete
  20. ඔබතුමා කියන විදියට ගර්බනී සමයේදී අනිවාර්යෙන්ම
    කැල්සියම් ගත යුතුයි නේද??

    ReplyDelete
  21. ඔව් ගිම්හානි , මක් නිසාද ඒ අවස්ථාවේ දරුවාගේ අස්ථි සහ පටක නිර්මාණය වීම සඳහා අවශ්‍ය කැල්සියම් fetus( කළලය )විසින් මවගෙන් උරාගන්නවා ,මව කෘතිමව කැල්සියම් නොගත්තත් මවගේ අස්ථි දිය කරමින් ඒ අවශ්‍යතාව ඉටු කරන්නටයි ස්වභාය ධර්මයා සූදානම්ව සිටින්නේ , ප්‍රථිපලය මවගේ රැධිරයේ , අස්ථීවල කැල්සියම් ප්‍රමාණය අඩුවීම , එසේ වුව හොත් , එය මවගේ ජීවිතයට , අස්ථිවලට සහ දරුවාගේ වර්ධනයටද බලපානවා , ඒ නිසා ගර්භණී සමයේදී වෛද්‍ය උපදෙස් මත අමතර කැල්සියම් ලබා ගැනීම වඩා සුදුසු බව , Journal of the American Medical Association, විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තා 14කින්ම සනාථ කර තිබෙනවා , සාමාන්‍යෙයන් අපේ රටේදිත් ගර්භණී මවකට අනිවාර්යයෙන්ම අමතර කැල්සියම් නියම කරනවා ,

    ReplyDelete
  22. නිශාන්ත මයත්මයා, මේ සටහන ඔබේ දරුවන් වෙනුවෙන්..
    හරිම සතුටුයි කියන්න අපිට පේනවා ඒ දරුවන් දැන්
    බොහෝම ලස්සනට කවි ලියනවා. අද කවියෙන් ඒක හරි
    අපූරුවට පේනවා. හරිම සතුටුයි. පොඩි කමට හොද නිර්මාන.

    සුබ පතනවා!!

    ReplyDelete
  23. ස්තුතියි , ඔවුන් යම් දියුණුවක් ලබා ඇත්නම් එහි සතුට විඳින අතරේ එම සතුට ඔබ සැම අතරේද බෙදාහරින්නට මට සිතෙන්නේ , ඒ දියුණුවේ උත්තේජකයන් ඔබ සැම බැවිනි. ලියන ලියන හැම කවකටම , ලියන හැම වදනකටම සොඳුරු අදහස් දෙමින් දිරිගන්වමින් ඔබ , ඔබ සැම දුන් පෙළඹවුම් ඔවුන් විසින් නිසි ලෙස හිතට ගෙන ඇති බව හැගෙන්නේ ඔබ කියන්නාසේම දියුණුවේ සතුට දකින විටයි , බොහොම ස්තුතියි , මේ පිළිබඳව ඔබේ අදහසක් ඔවුන්ගේ INBOX තුල තිබෙන බව දුටුවත් මා එය PUBLISH නොකළේ , එම අදහස් පැටවුන් දෙන්නාම විසින් රස විඳිය යුතු නිසයි , දැන්නම් නිදි , හෙට ඔවුන්ගේ අදහසත් එහි ලියා තබාවි .
    විශේෂයෙන්ම ඔබ සිංහල බ්ලොග් අවකාශය පුරා යමින් නවකයන්ට ලබා දෙන දිරිය හිතවන්න බව අතිශ්‍යයින් අගය කළ යුතු යැයි මට සිතේ .

    ReplyDelete
  24. සෑහෙන වැදගත් ලිපියක්... බ්ලොග් එක හරහම වෛද්‍ය උපදෙස් ගන්නයි හදන්නෙ... සාමාන්‍යයෙන් කම්පුයුටරේට වාඩිවෙලා ඉඳීම හින්ද හැදෙන කොන්දෙ කැක්කුම ගැනත් කියන්න පුළුවන්ද?... දවසකට සාමාන්‍යයෙන් පැය 16ක් වත් මෙහෙම වාඩි වෙලා ඉන්නව... මට නැතත් අඳුරන අයිය කෙනෙක්ට හැඳුන හින්ද දැන් ටිකක් බයයි බයයි වගේ මනුස්සය විඳින දුක දැක්කහම...

    ReplyDelete
  25. සාතන් ,
    ඔව් මේක අද තාක්ෂණයත් එක්ක වැඩි වන රෝග තත්ත්වයක් , එය නම් කරන්නේ Crossed Postural Syndrome නමින් , මෙහිදී සිදුවන්නේ දිගු කාළීනව වැඩි වෙලාවක් වාඩිවී හෝ සිටගෙනම සිටීම ඇති වන රෝග සංකීර්ණයක් , දැනට කළ පර්යේෂණ අනුව සතියට පැය 40කට වඩා පරිගණක ඉදිරියේ වැඩි වේලාවක් වාඩිවී සිටින්නන්ට මෙම තත්ත්වය ඇති වීමේ අවදානම ඉහළයි ,මෙම තත්ත්වයේ ආකාර දෙකක් තිබෙනවා , කොන්දේ ඉහළ ප්‍රදේශයේ(බෙල්ල , ඇස් , ඔළුව) ඇති වන රෝග සහ පහළ ඇති(තුනටිය , පාද ) වන රෝග කියල (Upper Crossed Postural Syndrome,Lower Crossed Postural Syndrome )

    මේ සඳහා විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වුවත් වලක්වා ගැනීම සඳහා “ පොඩ්ඩක් මගහරින්න “ කියන ක්‍රමය හොඳයි , ඒ කිව්වේ පැය කිහිපයක් එක දිගට වැඩ කළාට පස්සේ ටිකක් නැගිටින්න , position change කරන්න , අත් ඇඟිළ කිහිප වර් දිග හරින්න , එහා මෙහා ටිකක් ඇවිදින්න , වතුර ටිකක් බොන්න , කරන වැඩෙන් ටික වෙලාවකට මිදිල බිත්තියේ තියෙන රෑපයක් දිහා හරි , අවට පේනවානම් එළීයේ ගහක් කොළයක් දිහා හරි බලාගෙන ටික වෙලාවක් සැනසිල්ලේ ඉන්න , හැබැයි office එක වහනකම් නොවෙයි හොඳේ ....ස්තුතියි මේ සටහන තවත් සරු කළාට ..

    ReplyDelete
  26. ගොඩක් වටිනා ලිපියක් .ඔබට බොහොමත් ස්තුතියි

    ReplyDelete
  27. gayani ,
    බොහොම ස්තුතියි , එක්ව එන්න සොඳුරු සුව අසපුව සමඟ.

    ReplyDelete
  28. ‍බොහොම ස්තූතී පිළිතුරට...

    ReplyDelete
  29. මේ ලිපිය දැක්කාම මටත් දෙයක් අහන්න හිතුනා.. මටත් තියෙනවා ඔය වගේ කොන්දේ අමාරුවක් නමුත් ඒක තියෙන්නේ කොන්දේ නෙමෙයි හරියටම පිට මැද.... වේදනාව ආවම හුස්ම ගන්නත් ටිකක් අමාරුයි.. මම ඉන්න විදහත් මාරු කරල බැලුවා ගෙදර අයනම් කිවේ ඉදගෙන ඉන්න විදහ නිසා වෙන්න ඇති කියල... නමුත් ඒක වරින් වර එනවා.. ඔබතුමා දන්නවා නම් ඒ ඇයි කියල......

    ReplyDelete
  30. chamari,
    චමරි මේ වගේ ගැටළුවක් ගැන පහසු උත්තර දෙන එක වැරදියි , විය හැකි හේතු ගණනාවක් තිබෙනවා ,ඔබේ වයස , උස , ඔබ පළඳින පාවහන් , ඔබ ඇවිදින , වාඩිවී සිටින ස්ථාපිත positions ඒ වගේම වාඩිවී සිටින කාළ සීමාවත් හේතු වෙනවා , ඔබ වැඩි වෙලාවක් වාඩිවී සිටින්නියක් නම් Crossed Postural Syndrome වෙන්නත් පුළුවන් , කොහොම උනත් හුස්ම ගන්න අමාරු වෙනවා කියන්නේ , බොහොදුරට එම පේෂි වල යම් අවහිරතාවයක් ඇති වෙනවා කියන එක . ස්නායු තෙරපීමක් වෙන්නත් පුළුවන් , දැනට ඔබට තෙරෙන විදියට ස්ථාපිත වල යම් වරදක් ඇත්නම් හදාගෙන බලන්න.නැත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන එක සුදුසුයි , හරියටම හේතුව හඳුනගන්න.
    ස්තුතියි

    ReplyDelete
  31. ගොඩක් ස්තුතිය සර්.......

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)