2011/08/15

46) බබා ලැබෙන කං..... කරන ඒව දැං....



අළුත් එක ආවා....
දවස් දෙකකට පස්සේ ආයෙත් අළුත් සටහනකට එන්න ආවා , සාමාන්‍යයෙන් දින 2-3කට වතාවක් ලිපියක් සූදානම් කිරීම දැන් මගේ පුරුද්දක් වෙලා . වෙනද වගේ නොවෙයි මෙවර ලිපිය , මීට පෙර ලිපියත් එක්ක සම්බන්ධ , එහිම ඊළඟ කොටස වගේ . බය වෙන්න එපා මේක අර මෙගා ටෙලියක් වගේ “මොනව හරි කරමින් ඇද ගෙන යන්න “ හදන්නේ නැහැ. ඒත් මෙම කරුණු ගැන අපි දැනුවත් වීම අද ඉන්න අපිට වගේම හෙට දවස බාර ගන්න අපේ පැටවුන්ටත් යහපතක් ගෙන දෙන නිසා දරු උපත ආශ්‍රිත සියළු කරුණු ටිකෙන් ටික ඔබ ඉදිරියේ තබන්නට හිතුව , මොකද මේ කරුණු අපි බෙහොම දෙනෙක් “දන්නව වගේ“  ඉන්න , නොදන්න කරුණු “ .



හොඳම ගැටුම ....
හරි , වැඩි කතා නැතිව අපි දැන් වැඩේට බහිමු . මතකනේ අපේ පහුගිය ලිපියේ හිටපු යුවල Preconception health care plan එකක් භාවිත කරගෙන බොහොම නිවැරදි සහ සුන්දර විදියට දරු පැටියෙක් හදා ගන්න සැලසුමත් එක්ක “බැඳීමක් “ උනා කියලා.දැන් ඉතිං අපි හොයල බලමු ,ඉතිං ඊට පස්සේ  ....මොකද වෙන්නේ කියලා.


ඔව් එය උපත්පාලන ක්‍රමයක් රහිතව වූ බැඳිමක් නම් මෙහිදි මූලිකව වෙන්න පුළුවන් සිදුවිම් දෙකයි තියෙන්නේ , එකක් , ශුක්‍රාණුව හෙවත් sperm පීනල ගිහින් ඩිම්බය ovum සෛලයත් එක්ක එකතු වෙලා Zygote හෙවත් යුක්තාණුව කියන , අපේ පැටියගේ ආරම්භකම අවස්ථාව හදන්න පුළුවන් , එහෙම නොවුනොත් ඒ කිව්වේ අර “පිහිනුම් තරඟයේ“ තෑගි ලැබෙන ජයග්‍රාහකයෙක් නොහිටියොත් , දවස් දෙකකට පස්සේ එම සියළු සෛල මැරිල යනව. ඒ කියන්නේ පිළිසිද ගැනීමක වෙන්නේ නැහැ . නොවුනොත් මොකද කරන්න ඕන කියල අපි කිව්වවේ , try කරන්න , තව try කරන්න , එතකොට “බබා හම්බවෙයි“.


මෙන්න zygoteට ......
අපේ මාතෘකාවේ විදියට අපි හිතමු , ඔන්න වාසනාවන්ත ජයග්‍රාහක ශුක්‍රාණුව නට නට පිහිනල ගිහින් Ovumව එක්ක පෑහුනා කියල ,  ඊට පස්සේ හැදෙන යුක්තාණුව බෙදිලා , තරමක සෛල ගොණුවක් උනාට පස්සේ ටිකක් පහලට ගිහින් , අර ඇඳේ සැතපෙනවා , නැත්නම් තැන්පත් වෙනවා ටික කාළෙකට , (මතකද අපි කතා කළ ලෝකයේ සුපිරිම , සුවදායකම , පෝෂදායකම ඇඳක් ගැන , කියවූවේ නැත්නම් මෙතැනින් ගිහින් කියවලම එන්නකෝ) , ඔතන තැන්පත් වෙලා ඉන්න ගමන් තමයි කළලය fetus ටික ටික වර්ධනය වෙලා සති 40කදි විතර “අපේ සුන්දරම වස්තුව“ විදියට , අපේ ළඟට එන්නේ . මම ඔය කෙටියෙන් කිව්වට මේ අතරේ ජෛව විද්‍යාත්මක සිදුවීම් රාශියක් සිදු වෙනවා ,  ඒත් ඒ ඔක්කොම  මෙතන හලන්න ගියොත් ටිකක් boring වෙන්න පුළුවන් .


පෙරහැර යන මග
දැන් අපි අපේ ආදරණීය යුවලේ , “ඇය“ ගාවට යමු . මොකද එක්වීමෙන් පස්සේ ඇගේ ඊළඟ “ආසාව“ කවද්ද දැන ගන්නේ “මං අම්ම කෙනෙක් වුනා“ කියල කියන දේ. සාමාන්‍යෙයන් “සරු ලිංගික බැඳිමක් “ වුනා නම් එයින් දින කිහිපයක ඉඳලම පොඩි පොඩි ලකුණූ පහල වෙනවා , ඇගේ රස්නේ ටිකක් අඩු වුනා වගේ එහෙම නැත්නම් පොඩි සීතලක් වගේ දැනෙන්නට ඉඩ තිබෙනවා , දේහ උශ්නත්වය ගැන ඔබ අවදානයෙන් හිටියනම් ඩිම්බය නිකුත් වන දවසේ පොඩි උශ්නත්ව නැගීමක් වෙනවා, ඉන් දවස් කිහිපයකට පස්සේ සිදුවන මේ සුළු උශ්නත්ව අඩුව implantation dip ලෙසින් නම් කරන්වා , ඔන්න ඔය දවසේ තමයි පැටිය අර එන්ඩොමෙට්‍රියම් ඇඳෙට ඇතුළු වෙන්නේ . 


සති හතලිහේ පෙරහැර ...
ඒ දවසේ හරි ඊට දවසකට විතර පස්සේ හරි යෝනි මාර්ගයෙන් රෝස , දුඹුරු පාටට හුරු දියර පොඩිත්තක් යන්නත් පුළුවන් , ඒ අර “අපේ පැටියා“ ගර්භාෂයේ ඇතුළු බිත්තියට හයි වෙන අවස්ථාවේ වන  සිදුවීමක් නිසා. දැන් ඉතිං කළබල වෙලා පරික්ෂණ කරන්න දුවලා වැඩක් නැහැ . මොකද මේ අවස්ථාවේ සාමාන්‍ය රැධීර හෝ මුත්‍රා පරීක්ෂණ කළා කියල , හරියටම හොයා ගන්න බැහැ “ගර්භණීද , නැත්ද “ කියල , ටිකක් ඉන්න අඩුම තරමේ තව දවස් හතර පහකින් ඒ පරීක්ෂණ කරමු . 


හැබැයි ඔය ගර්භණීත්වය හඳුනාගැනීමට බහුලව භාවිත වන urine h.C.G.  කියන මුත්‍රා පරීක්ෂණයට හොඳම කාළෙ තමයි ඊළඟ ආර්තවය සිදුනොවුනා නම් ඊට දවස් දහයක් විතර ගියාට පස්සේ .ඒ කිව්වේ ඊළඟ ආර්තවය මුල් දිනය හෝ දෙක තුල සිදු නොවුනා නම් ඔන්න ටිකක් සතුටුදායක සැකයක් තියා ගන්න , ඉන් දවස් 10කට පස්සේ Urine h.C.G එකක් හරි Blood h.C.G. එකක් හරි කර ගන්න පුළුවන් . විශේෂයෙන් urine h.C.G. පරීක්ෂණය සඳහා වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යම නැහැ ,ඔබට පෞද්ගලිකව වෛද්‍ය රසායනාගාරයකින් එය කරවා ගන්න පුළුවන් , ඒ වගේම ගෙදරදීම එම පරීක්ෂණය කළ හැකි බොහාම සරළ උපකරණත් (home Pregnancy Test) ඖෂධ වෙළඳපොලේ තිබෙනවා, හැබැයි එක් කරුනක් කියන්න ඕන , ඉතාමත් සුළු අවස්ථාවන් වලදි h.C.G  positive වුනත් එය ගර්භණීත්වයක් නොවෙන්නත් පුළුවන් . ආයෙත් කියනවා එම අවස්ථා ඉතාමත් සීමිතයි , කළාතුරකින් වන දේවල්.


ක්ලිනික් යනවා ..සපත්තු අතේ ...
ඔව් දැන් ඔබ ගර්භණී කියල හඳුනගත්තනම් , දැන් ඉතිං මහත්තයට කියන්න “අපි ඉක්මණටම ගිහින් clinic එකේ register වෙමු “ කියල , මොකද මේ වන විට ප්‍රෙදේශයේ පවුල් සෞඛ්‍ය සායනයේ ලියාපදිංචිවීම හරිම වැදගත් .( ඒ ඔය ඉස්කොලෙට බබා දාගන්න තව කොළයක් හදා ගන්න විතරක් නොවෙයි) මෙතැනදි ඔබට ගර්භණි කාළයේ ඔබ කළ යුතු නොකළ යුතු දෑ ගැන , පෝෂණය පවත්වා ගන්න ඕන විදිය  වගේ හරිම වැදගත් දැනුවත් කිරීම් සිදු කරනවා.ඊට අමතරව ඔබට නොමිලේම “ත්‍රිපෝෂ“ වගේ දේ ලබා ගන්නත් පුළුවන් , අනෙක ඔබේ මුත්‍රා , බර , රුධිර පීඩනය වගේ දේ පරීක්ෂා කරමින් ඔබෙත් ඔබේ පැටියාගෙත් සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් ඉන්න මේ සායනය හරිම වැදගත්.මෙතනදි තමයි ඔබට අවශය විටමින් , එන්නත් වර්ග ලබා දීම කෙරෙන්නෙත් , සමහර අය කියනවා මේ විටමින් මල්ල බොන්න බැහැ කියල , මොකද මේ දවස් වල තියෙන අපහසුතා එක්ක , බෙහෙත් මල්ල ලං කළ ගමන් වමනෙට එනව වගේ කියල , ඒ වගේ අවස්ථාවක ඔබේ වෛද්‍යවරයා මගින් , මෙම විටමින් සහ පෝෂක සංඝටක අඩංගු බෙහෙත් මල්ල වෙනුවට , ඒ සියල්ල මිශ්‍රකර තැනූ “බෙහෙත් කරළක්“ නියම කරගන්න පුළුවන් වේවි. 


ගර්භණිත්වය හඳුනගන්න සරළම ක්‍රමය මොකක්ද කියල ඇහැවුවොත් ඔබ මගෙන් අහවි , “ඕකවත් දන්නේ නැත්ද අනේ  menses නවතිනවනේ “ කියල  ඔව් මේ තමයි ඊළඟ අවස්ථාව , නිවැරදිව ගර්භණීවුනා නම් ඊළඟ ආර්තවය නවතිනවා , අර ඇඳේ කතාවෙදි අපි කිව්වේ amenorrhea කියලා.මේ ආර්තවය නැවතීමත් එක්කම සමහර විට ඔබට හඳුනගන්න පුළුවන් වේවි , ඇඟේ රස්නේ ටිකක් වැඩි වෙලා වගේ . ඔන්න දැන් පිළිසිඳ ගැනීමක් වුන බවට “හොඳ හොඳ සෙල්ල පෙන්නන්න“  පටන් ගන්නවා . මොනවද ඒ සෙල්ලං.......




ඇ(උ) +ඳේ   අමාරුව ....
පිළිසිඳ ගැනීමෙන් මාසයක් විතර යත්දි සමහර විට සති දෙකකින් විතරත් උදේට හරිම අමාරුයි , ඔක්කාරෙට එනවා , උගුරට එනවා හරිම අප්‍රසන්න අත්දැකීමක් . ඒ වගේම ‘මහත්තයෝ “ ඔයාගේ ආදරේ හුඟක්ම ඕන අවස්ථාවක් , ඇගේ රුධීරයේ h.C.G. ප්‍රමාණය වැඩිවීමත් එක්ක මේ morning sickness ඇතිවෙන්නේ. “ඕක ඉතිං හැමෝටම වෙනදේ නේ " කියල නොඉඳ , ආදරෙන් ලංවෙන්න , උදව් වෙන්න ඇයට , මේ “සුන්දර දුක“ විඳින්නේ ඔබෙත් පැටිය වෙනුවෙන් . මේ දවස් වලට එකපාර ගොඩක් කන්න බැහැ , බලකරන්නත් එපා , පොඩි කෑම වේල් කිහිපයක් දෙන්න . ඔය ක්‍රීම් ක්‍රැකර් වගේ බිස්කට් හොඳ උපක්‍රමයක් , දැන් ඉතිං බිස්කට් වලින් කාමරේ පුරවන්න එපා , එළවළු , බත් ,මස් මාළු එක්ක සාමාන්‍ය ආහාර වේලක විටනාකම දැන් හරිම වැදගත් , ඒත් උදේ පාන්දර එන මේ ගැටළුව නිසා ඒ වෙලාවට ඔය බත් එක කන්න අමාරුයි , අන්න  ඒවෙලාවට තමයි බිස්කට් , ටොස්ට් කළ පාන් පෙත්තක් , වගේ උපක්‍රම යොදා ගන්නට පුළුවන් , ඇය අප්‍රිය නොවෙන පළතුරු වර්ගයකුත් මේ උපක්‍රමයට හොඳයි , ඒ වගේම හැමදාම එකම කෑම දෙන්නේ නැතිව පොඩි මාරුවක් දාන්න පුළුවන් නම් හොඳයි . තුනපහ වැඩිය දාන්න එපා මේ අවස්ථාවේ , අනෙක් කෑම කන අතරේ වතුර වැඩිපුර බීමත් හොඳ නැහැ . කෑම කාපු ගමන් ඇඳට වැටෙන්න එපා ටිකක් වෙලා ඇවිදින්න , වැඩක් කරන්න. (දැන් මං කිව්වද වතුර බොන්න එපා කියල ....?නෑ , මම මේ කිව්වේ කෑම කකා වැඩි පුර වතුර බොන්න එපා කියලා ..!)


හිතේ සැහැල්ලුවෙන් ඉන්න බලන්න....
මේ එක්කම සමහර විට කෑම කන්න අප්‍රසන්න බවක් , සමහර කෑම වර්ග වලට වැඩි කැමැත්තක් (ඇඹූල් කන්න ආසයි නේ ) වගේ තත්ත්ව එක්ක ඇගේ ආහාර රටාව වෙනස් වෙනවා , ඔන්න මහත්තයට තව වැඩ ,ආස හිතෙන කෑම හොයන්න එපායැ , දොළදුකනේ , දෙන්න ඇය රිසි කැම බීම , හැබැයි සමහර කෘතිම බිම ජාති , කෘතිම ආහාර වැඩිපුර නොගෙන ඉන්නවනම් හොඳයි . කොහොම වුනත් මහත්තයෝ ඇය සතුටින් තියන්න , මොකද එතකොට ඔබේ පැටියත් සතුටින්.


දැන් ටික ටික ඔබේ පියයුරු වල වර්ණයේ වෙනසක් වේවි , විශේෂයෙන්ම “නිපලය අවට තද පැහැ වීමක් “ සිදු වෙනවා , ඒ වගේම පියයුරු වල බර ගතියක් , වරින් වර චුට්ටක් රිදෙන බවක් දැනේවි , බය වෙන්න එපා , මොකද දරු පැටියගේ ‘කිරි කම්හල“ ටික ටික වැඩ පටන් ගන්නකොට එන පොඩි පොඩි දේවල් ඔය .ඒ එක්කම බඩෙත් හිටපු ගමන් තද කැක්කුමක් , සමහර විට විදුලියක් වගේ කැක්කුමක් යන්න පුළුවන් . ඕකට අපි කියන්නේ “abdominal crams" කියලා , ගර්භාෂය ටිකක් ලොකු වෙන්න ඇදෙන කොට තමයි මෙහෙම පොඩි පොඩි රිදිලි එන්නේ .
පොතක් කියවන්න ..


දැන් ඔබේ ගැබිණි බිරිඳට “ටිකක් මහන්සි ගතියක් , සමහර විට කම්මැළි ගතියක් දැනෙන්න “ පුළුවන් . ඇයට විවේක ගන්න දෙන්න , රාත්‍රී හොඳ නින්දක් වගේම දවල් වරුවටත් පොඩි nap එකක් දැම්මට වරදක් නැහැ , හැබැයි මුළු දවසේම නිදා ගන්න යන්න එපා , ඔබටත් දරු පැටියටත් ලෙඩ ගොඩක් ඇතිවේවි එමඟින්. සාමාන්‍ය දවසේ ක්‍රියාකාරකම් , කටයුතු වලට අමතරව පොඩි වෙනසක් කරන්න , film එකක් ගෙනත් දෙන්න එක්කම එකතු වෙලා බලන්න , කියවන්න හොඳ පොතක් අරන් දෙන්න ඇයට කියවන්න , හොඳ සිංදු ටිකක් අහන්න සලස්වන්න , ඇවිදීම හෝ සරළ ව්‍යායාමයක යෙදෙන්න . හැකියාවක් තිබේ නම් තමන්ගේ ආගමික පරිසරයට ගිහින් ඒ සුව විඳින්නට අවස්ථාවක් අරන් දෙන්න . ඒ වගේ ක්‍රියාකාරකම්  දරුවාගේ මානසික වර්ධනයටත් හේතු වන බව අද සොයා ගෙන තිබෙනවා.




කකියන කොන්ද ..
මේ දවස් වෙනකොට ඇයට පොඩි කොන්දෙ කැක්කුමක් ඇති වෙන්න , කකුල් වල ඉදිමුමක් වගේ එන්න පුළුවන් , සමහර විට කකුල් හිරි වැටිල වගේ දැනෙන්නත් පුළුවන් , ඒ එක්කම කකුළෙ නහර ගැට ගැහිලා තද කැක්කුම් එන්නත් පුළුවන් , ඊට හේතුව ස්නායු , රුධිර වාහිනි වගේ තැන් පැටිය ඉන්න ගර්භාෂය විසින් තෙරපීම. කකුල් ඉදිමිලා නම් නිදාගන්න කොට පොඩි මෘදු කොට්ටයක් කකුල් වලට තියා ගන්න , හුඟක් වෙලා වාඩි වෙලා ඉන්නවනම් ,  ඉස්සරහින් පොඩි stool එකක් තියලා කකුල් දෙක එහි තබා ගන්න පුළුවන් ,  ඒවගේම හුඟක් වෙලා එකතැන හිටගෙන නොඉන්නවානම් හොඳයි , රැකියාවේ ස්වභාවය මත වරින් වර වාඩි වෙන්න පහසුකමක් සලසගන්න.ලුණු දාපූ අමතර කෑම ජාති අඩුවෙන් ගන්න , සාමාන්‍යයෙන් ඇ‍ගේ ලුණු ප්‍රමාණය sodium වැඩි උනාම වතුර ඇඟ ඇතුළෙ රැඳෙන ගතියක් ඇති වෙනවා.එතකොටත් මේ වගේ ඉදිමිමක් වෙන්න පුළුවන් .සපත්තු දානව නම් අඩිය හුඟක් උස් ඒව දාන්න එපා . 


නොගෙන ඉන්නවානම් හොඳයි


පොඩි කැක්කුමක් ආවට වෙනද වගේ “පෙති ගිලින්න“ යන්න නම් එපා , මොකද ගර්භණී සමයෙදි වෛද්‍ය අනුමැතිය මත දෙන විටමින් සහ පෝෂක සැපයුම් වර්ග හැරෙන්නට වෙනත් කිසිම ඖෂධයක් නොගෙන ඉන්න පුළුවන් නම් තමයි හොඳ , මෙතනදි බෙහෙත් කිව්වේ ගිලින ඒව විතරක් නොවෙයි ඔබේ ඇඟේ ගාන ක්‍රීම් වර්ග ගැන පවා වෛද්‍ය අවදානය යොමු කරනවා නම් හොඳයි , මොකද සමහර ර්‍කිම් වර්ල වල තිබෙන steroid මගින් පැටියට පොඩි හරි කරදරයක් වෙන්න පුළුවන් , නමුත් ඔබ යම් කාළීන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ පිළිබඳව පෙර ලිපියේ කතා කළ විදියට වෛද්‍යවරයා සමඟ කතා කරන්න , එවිට අවශ්‍ය වෙනස්කම් කර දේවි , එම ඖෂධ හැර කැක්කුමක් ආ ගමන් “ඩෝල් මෝල් “ ගහන්න එපා .විශේෂයෙන්ම මේ දවස් වල ඔළුවෙ තද කැක්කුමක් එහෙම හැදෙන්නත් ඉඩ තියෙනවා , ඒ වෙලාවට හිස දෙපැත්ත ටිකක් massage කරගෙන නළල , මුහුණ ටිකක් මද රස්නේ වතුරෙන් හොඳගෙන බලන්න , අඩු වේවි , හරි නොගියොත් වේදනානාශක මෘදු බාම් වර්ගයක උදව්ව ගන්න , 


පිරිසිදුව ඉන්න...
ඔන්න ඔය කාළයට ශාරීරික පවිත්‍රතාව පවත්වා ගැනීම හරිම වැදගත් , මොකද බොහෝ විට යෝනි මාර්ගයෙන් යම් තරළමය ස්‍රාවයක් පිටවෙන්න පුළුවන් , ඒ ඇඟේ සිදුවන හොමෝන වෙනස්කම් නිසා , අපි ඒ අවර්ණ හෝ කිරි පැහැ  , ගඳක් නැති ඇලෙන සුළු ස්‍රාවය පිටවීම නම් කරනවා leukorrhea කියලා , මෙය සාමාන්‍ය දෙයක් , කරන්න ඕන දේ පිරිසිදුව සිටීම , විශේෂයෙන්ම මේ කාළෙට මුත්‍රා පිටවන වාර ගණනත් වැඩි වෙනවා නේ  , ඒ හැම වාරයකදිම එම ප්‍රෙද්ශය හොඳින් සෝදා , පිරිසිදු යට ඇඳුම් අඳින්නට හොඳින් මතක තබා ගන්න . මේ සිදුවිම් දෙකම සාමාන්‍යයි ,  ඒත් එම ස්‍රාවීන් මත වෙනත් දිලීර , බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන් නිසා සෝදා පිරිසිදුව තබා ගත්තාම ප්‍රමාණවත් . නමුත් එම ස්‍රාවයන් කහ කොළ පැහැ , දුගඳක් සහිත නම් ,  ඒ වගේම කසන සුළු නම් එය යම් ආසාදන infection වෙන්න පුළුවන් . බය වෙන්න එපා ඔය කාළට දිලීර අසාදන fungal infections ඇතිවීමේ අවදානම වැඩිය , ඉතාමත් කළාතුරකින් වෙනත් ආසාදනයක් වෙන්නත් පුළුවන් , කොහොම වුනත් වේ වගේ වෙනස් තත්ත්වයක් තිබේ නම් අත් බෙහෙත් කර කර ඉන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න , මොකද ආසාදනයක් නම් නිසි ලෙස ප්‍රතිකාර නොගත්තොත් ඔබේ පැටියටත් කරදර ඇති වෙන්න පුළුවන් . මොකද තව ටික දවසකින් ඔබේ පැටියත් එළියට එන්නේ ඔය පාරෙන්ම නේ , ඉතින් පාර පිරිසිදුව තියාගන්න එපායැ නේද?.


මෙච්චර වෙලා කතා කළේ ගැබිණි ඇයට මුහුණ පාන්න සිදුවන තත්ත්වයන් ගැනනේ , දැන් අපි අපේ ගමන පොඩ්ඩක් වෙනස් කරමු , දැන් පැටිය ටිකක් ලොකුයි , කොහොමද දැන ගන්නේ කවද විතර හම්බවේද කියලා , සමහර විට ඔබේ සායනයෙන් , නැත්නම් වෛද්‍යවරයා මේ ගැන ඔබ දැනුවත් කරන්නට පුළුවන් ,  ඒත් ඒ  ගැන පොඩි දැනුමක් තියේනම් හොඳයි නේ . 
දුවෙක් නං... :-) )
දැන් එහෙනම් ගණන් පන්තිය ,මෙන්න මෙහෙමයි ගණන , ඔබේ අවසන් ආර්තවයේ පළමු දිනය මතක් කරල ලියා ගන්න . අපි හිතමු පෙබරවාරි 4 කියල , දැන් ඒකට එකතු කරන්න 7ක් , උත්තරේ පෙබරවාරි 11 , දැන් එතැන ඉඳල මාස තුනක් පිටිපස්සට යන්න , නොවැම්බර් 11 , ඔන්න දවස , ඒ කියන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් 11 දිනට පැටිය ලැබෙන්න අවස්ථාවක් තිබෙනවා , සමහර විට පොඩි වෙනසක් වෙන්න පුළුවන් , ඕ ඔබේ ආර්තවය ක්‍රමාණුකූලද , දින 28ද වගේ හේතු එක්ක , දළ වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන් මේ ගණනෙන්. අපි Estimated date of delivery කියලයි මේ දිනය හඳුන්වන්නේ .ඔබේ ගාන හදා ගන්න මෙහෙම කම්මැළිනම් මෙන්න කැල්කියුලේටරයක්ම තිබෙනවා ගිහින් ගාන හදා ගන්න .


නියම කික් එක ...
තව ගණන් හැදිල්ලක් තිබෙනවා ඒ kick count ගැන. ඒ කියන්නේ මේ වෙන කොට පැටිය දඟලනව දැනෙනවා , මේ දැගලිල්ල වාර ගණන ගැන අවධානයෙන් ඉන්න , මොකද දරුවට ඇතුලේ යම් අපහසුතාවයක් තිබෙන අවස්ථාවල එය හඳුනගන්න හොඳම ක්‍රමය තමයි මේ දැඟළිලි වාර සටහන “kick count“ . සැක සහිත අවස්ථාවලදි ඔබේ වෛද්‍යවරයා කියාවි එය දිනපතා සටහන් තබා ගන්න කියලා.කොහාම වුනත් මේ ගැන සාමාන්‍ය  තත්ත්වය ගැන ඔබේ දැනුමක් තිබෙන එක වැදගත් .


දැන් පවුලේ අපි හැමෝම දැන ගන්න ඕන දෙයක් කියන්නයි යන්නේ , මේ දවස් වල ඔබේ බිරිඳගේ moods  ටිකක් වෙනස් වෙන්න පුළුවන් , ටිකක් දුකෙන් වගේ ඉන්න , සමහර විට හඩන්න , කළකිරිල වගේ ඉන්න පුළුවන් . මේ විදියේ තත්ත්වයක් දැක්කොත් පවුලේ හැමෝම ඇයට විශේෂ උදව්වක් කරන්න , ඇයට පුළුවන් තරම් විවේකයෙන් , සතුටින් ඉන්න අවස්ථාව දෙන්න , ටිකක් ඇවිදින්න යන්න , හිතට සහනයක් දෙන්න , හැබැයි තත්ත්වය ටිකක් වැඩියි වගේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන කතා කරන්න , නැතිනම් තත්ත්වය උග්‍ර වෙන්නත් බැරි නැහැ. 
ආදරෙන් ඉන්න ...
දැන් ඉතිං පොඩි ප්‍රශ්නයක් තිබෙනවා නේද ? මේ කාළෙ ලිංගිකව එක්වුනාට කමක් නැත්ද කියන එක . සාමාන්‍ය පිළිගැනීම නම් අවසන් සති කිහිපය වනතුරු මේ ලිංගික එක්වීමේ වැරදක් නැති බව , හැබැයි හරිම වැදගත් මේ අවස්ථාවේ පිරිසිදු බව , විශේෂයෙන්ම එක්වීමට පෙර දෙදෙනාම හොඳින් ශාරීරික පවිත්‍රතාව සලසා ගන්නවනම් තමා හොඳ. ඒ වගේම එක්වීමේ සථාපිත positions පිළබඳ වෙනසක් කරගන්න . ලොකු පීඩනයක් උදරයට නොදෙනවානම් එය පහසුවක් වේවි . මොකද මේ වෙන කොටත් උදරයේ පීඩනය නිසා ටිකක් අපහසුතා එක්කනේ ඇය ඉන්නේ .ඒත් විශේෂ ගැටළු අවස්ථා වලදි ඔබේ වෛද්‍යවරයා මේ පිළිබඳ විශේෂ උපදෙස් දෙන්න පුළුවන් , නැතත් ඔබ ඒ ගැන අහන්න , මොකද මේ හැමදෙයක්ම අවශ්‍ය දේවල්නේ.


මල්ලි එන්න ළඟයිනේ ...
දැන් ඔබේ පැටියත් එක්ක කතා කරන්න , අක්කව හෝ මල්ලිවත් සූදානම් කරන්න එන්න ඉන්න නංගි පැටිය හරි මල්ලි පැටිය හරි බාර ගන්න . සැහැල්ලුවෙන් සතුටින් ඉන්න , ආදරෙන් මුසු වන්න , හිතේ තරහ පුරවගෙන ඉන්න එපා , විනෝදයෙන් මුළු පවුලම එක් වෙලා ඉන්න . මතක තියා ගන්න මේ හැම දේ දිහාම “හොරෙන් බලාගෙන , අහගෙන ඔබේ පැටියා ඉන්නවා, “ 


එහෙම නම් අදට යන්න යනවා , ඊළඟ දවසේ ප්‍රසූතිය සහ ආශ්‍රිත තත්ත්ව සහ ගැටළු ගැනත් ඔබ දැන සිටිය යුතු කරුණු ගැනත් කතා කරන්නට. ඒත් මේ ප්‍රමාණවත් කියල හිතෙනවනම් අපි මෙතැනින් මේ මාතෘකාව නවත්වල වෙන මාතෘකාවකට යමුද ? තීරණය ඔබේ ....


මෙන්න අර පිහිනුම් තරඟයේ වීඩියෝවක් (අපේ බුද්ධි මත්‍රයගෙන් දැන ගන්නට ලැබුණු මේ වීඩියෝව නම් හරිම වැදගත් බලන්නම ඕන දෙයක්) 


මෙන්න පැටිය හැදෙන හැටි බලන්න  ලස්සන වීඩියෝ එකක් 



44 comments:

  1. නිශාන්ත මහත්මයා,,
    ඔබගේ ලිපිය මොනතරම් සාර්ථකද කියනවනම් මට හිතෙනවා මේ ලිපිය නිතර නිතර කියෙව්වොත් දරුවන් නැති සොවින් සිටින කෙනෙක් සාර්ථක ප්‍රතිපල ලැබේයි කියලා..
    එතරම්ම හැගීම්බරයි......
    බොහොම පින් ඔබ මේ කරන සේවයට...

    ReplyDelete
  2. ගිම්හානි,
    හැමදාමත් වගේම අදත් ඔබ දෙන සහයෝගි දිරිමත් කිරීම වෙනුවෙන් ස්තුති තරනවා.
    අපි බලමු යම් මේ වගේ දේ ගැන නිසි දැනුම බෙදා දෙන්නට.

    ReplyDelete
  3. බොහොම වටින ලිපියක්,, මේකට ස්තූති නොකර කොහොමද

    ReplyDelete
  4. දිගටම ලියන්න අය්ය.අපි නොදන්න බොහෝ දේ දැනගත්තා.අපේ අක්කට බබා ලැබෙන්න ඉද්දි එයා නිතර ගාපු ක්‍රීම් එකේ සුවද පවා අප්‍රිය වෙන්න ගත්තා.ආසාවෙන් කෑව සමහර කෑම පවා අප්‍රිය කරා.

    බබා ලැබෙන්න ඉද්දි මම් බලාගන ඉදලා තියනව,බබා දගලනව.අත තිබ්බම පයින් ගහනව.

    ReplyDelete
  5. අම්මො ...... අර කික් එක ඇත්තම එකක්ද...?

    ReplyDelete
  6. ලස්සන වීඩියෝ එක බලන්න බැහැ නේ සර්. මම හිතනවා ගබ්සා කිරීමේ ආදීනව සමාඡයට කියල දුන්නොත් බංඩිය ඇතුලේ පැටියා තම ඡීවිතය බේරගන්න දරන උත්සහය පෙන්නුවොත් අපේ සමාඡය හුගතක් ලස්සන වේවි එහෙම නේද පියානණී

    ReplyDelete
  7. >>හරී - පිණිපළස .
    ස්තුතියි ඔබට

    >>Tanikada Jeewithe
    ඔය වගේ අවස්ථා සමහර වෙලාවට දකින්න පුළුවන් .
    ස්තුතියි

    >>nadeesha ,
    අනිවාර්යයෙන්ම නදීශා දුව , අපි ඉදිරියෙදි ඒ ගැන කතා කරමු.
    ස්තුතියි

    ReplyDelete
  8. නදී,
    ඔව් ඒ කාළෙට සමහරුන්ම ගඳ සුවද ගැන අති සංවේදී වෙනවා ,  ඒනිසා ඔය තත්ත්වය ඇති වෙන්න පුළුවන් , මේ තත්ත්වය අවට ඉන්න පිරිස තේරුම් ගැනීම හරිම වැදගත් .
    ස්තුතියි

    ReplyDelete
  9. දරුවෙක් කියන්නේ ලොකු සම්පතක් !!! කසාද බැදපු දෙන්නෙක්ගේ ඊලඟ ලොකුම හීනේ තමයි දරු සුරතල් බලන එක. ඒත් ඒ හීනේ සමහරුන්ට ඉටු කරගන්න ලැබෙන්නේ නෑ කියලා හිතෙනකොට ඒ අයට කොච්චර නම් දුකක් ඇතිද. මේ කතාව මට මතක් උනේ අපේ බෝඩිමේ හිටපු ඇන්ටිට බැදලා අවුරුදු 10ක් විතර යනකම් දරු සම්පත් නැති උනා ලූ. අන්තිමේදි නලදරු උපතකින් තමයි දැන් ඉන්න එකම පුතාත් ලැබිලා තියෙන්නේ. ඒ අතින් වෛද්‍ය විද්‍යාව කියන්නේ විස්ව කර්ම වැඩක්.

    මෙ ලිපිය කියෙව්වම මට වෙනදා වගේම ප්‍රශ්නයක් ඇති උනා. අපේ අම්මලා කියනවා ඇහිලා තියෙනවා ගර්භනී කාලෙට ඇතිවෙන දොලදුක් සංසිදෙව්වේ නැත්නම් ලැබෙන දරුවගේ කන්පෙති තුවාල වෙනවලු (වණ වෙනවලු.) මේ කතා වේ ඇත්ත නැත්ත මොකද්ද කියලා දැනගන්න කැමතියි අයියා !!!!

    ඇත්තටම ගොඩක් වටින ලිපියක් අයියේ.

    ReplyDelete
  10. මධුරංග,
    ඇත්තෙන්ම මේ අමිල සම්පත ගැන සංවේදී විමම වාසනාවක් .
    මේ කන් පෙති පැසවිම සහ දොඳදුක් සංසිදුවිම සෘජු සම්බන්ධයක් නැතත් , දොඳදුක් සංසිදුවීම මඟින් මවගේ සිතේ ඇති වන සතුට ,ආදරය වගේ හැඟිම් නම් පැටියට සෘජුවම බලපාන බව සොයාගෙන තිබෙනවා.
    ස්තුතියි

    ReplyDelete
  11. මා අසා තියනවා ඇතම් ගර්බනී මව්වරුන්ට ගර්බනී සමයේදීත් ඔසප් වීම සිදු වෙනවා කියා.
    එය ඇත්තක්ද? එසේ වන්නේ ඇයි???

    ReplyDelete
  12. Gimhani,
    සාමාන්‍යෙයන් එසේ වන්නේ නැහැ , බොහෝ විට සිදුවන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්තියේ සිදුවන සුළු රුධීර වහනයක් ඔසප් විමක් ලෙස වරදවා වටහා ගැනිමක් .
    නමුත් ඉතාමත් සිමිත අවස්ථා වල සංසේචනය වීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඔසප් වීමට සමානම ලෙස රුධිරය පිටවන අවස්ථා ඇති වන්නට පුළුවන් .
    ස්තුතියි

    ReplyDelete
  13. හෆෝයි මතක් කරන්න එපා ඔය දවස් . . . . හීං ආතල් එකක් තිබ්බ තමා . . . ඒත් ඒ දවස් වල කාපු කට්ට . . . ???
    හැබැයි ත්‍රීපෝෂ නං මරු ඈ . . . .

    ReplyDelete
  14. ඕනයා ,
    ඒ වුනාට ඒ “සුන්දර කට්ටෙ රස“ මැරෙන තුරුම කිය කියා හිනාවෙන්න පුළුවන් සුන්දර මතකයක් නේද මල්ලී ..

    ReplyDelete
  15. ම්තෘකාව නවත්වන්න එපා....

    තවදෙයක්‌ එක්‌ක කරන්න කෙමතී ඔබ කිඋව පැටිය එක්‌ක කත කරන්න කියලා....
    මා අසා තියෙනවා කළලයට මාස 4ට පසු එය සන්වෙදී කියලා..කියන කරන දේවල් දැනෙනවා කියලා..සතුට දුක දැනෙනව කියලා...
    එ වගේම තම පැටියව හදන්න එලියට එනකම් බලන් ඉන්න ඔන නැ.අම්මාගේ කුසෙදීම හදන පුලුවන් කියල දරුවගේ මානසික දියුනුවට එය බලපනව කියල (දරුවාව අත ගැම,කතා කිරිම සෙල්ලම් කිරිම) වගේ තව ගොඩාක්‌ දෙවල් .
    එ ගැනත් හැකිනම් ලියන්න
    වෙනදා කියනව වාගේ වෙදගත් ලිපියක්‌
    ස්‌තූතී..

    ReplyDelete
  16. සොදුරු මිනිසා ,
    ඔව් පැටියා මවගේ හඬ , හැඟීම් චිත්ත ආවේග වගේ හැම දේටම සංවේදීයි , ඒ නිසා ඒ කාළෙ ඉඳළම දරු පැටියට ආදරේ දෙන්න ඕන .
    ස්තුතියි , ඔව් අපි ඉතිරි ටිකත් ලියමු ...

    ReplyDelete
  17. ත්‍රීපෝෂ දෙන එක නම් නියමයි.බබා කන්නෙ නැති උනාම අපි කනව.රහායි.

    ReplyDelete
  18. නදී,
    හ්ම් ඒකත් හොඳ වැඩක් , මොකද අම්මයි - දරුවයි දෙන්නම හොඳ පෝෂණ තත්ත්වෙක් ඉන්න එපායැ නේද ?...
    ස්තුතියි ඔබට

    ReplyDelete
  19. @@නදි,

    ඔයා අක්කගේ බබාගේ ත්‍රිපොෂ ටිකට වැඩේ දෙනව වගේ..හික්ස්..

    ReplyDelete
  20. ගොඩාක් වැදගත්, කාලීන ලිපියක්... දැනුවත් කිරීම් වලට ගොඩාක් ස්තුතිය...

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මේ වගේ කරුනු කාරණා දැනගන්න ඕනෙම වෙලාවකයි මට මේ ලිපිය කියවන්න ලැබුනේ.

    තව පොඩි ගැටලු දෙක තුනක් තියෙනවා. ඊ මේල් ලිපිනයක් වත් දුන්නොත් ලොකු දෙයක්.

    තව එකක්, හාමිනේට කන්ඩ කියලා දෙන ඒවා එයාට කන්ඩ බැරි උනාම අපි කෑවට කමන්නැද්ද, පොඩි එකාට ඒවත් තේරෙයිද දන්නැ නේද?

    ReplyDelete
  23. මේ තියෙන ලින්ක් එකෙන් අද කතාවේ මුල් ටික ගැන කියවෙනවා වගේ

    http://www.facebook.com/permalink.php?story_fbid=225574990821724&id=1695358034&notif_t=share_reply

    ReplyDelete
  24. හීතාදර මහෙශ්. කලයක් මම ඔබගෙ ලිපි සියල්ලම කියවනවා. ඉතාමත්ම හොද කලීන දෙවල් සියල්ලම තරුන පෙලට වෑදගත්. ඔබට ජය
    හිතවත්
    ප්‍රදීප්

    ReplyDelete
  25. -චතුරංග පෙරේරා | chathuranga Perera ,
    ස්තුතියි ඔබට අදහසක් ලිවාට

    -බුද්ධි ,
    සතුටුයි හඳුනගන්න ලැබුනාට ,
    මගේ email සහ සියළු තොරතුරු “මගේ අරමුණ“ පිටුවේ තිබෙනවා , ඔබට පහසු ක්‍රමයකින් අමතන්න .
    අහපු එකට උත්තරේ නම් “අම්මට අහුවුනොත් පොඩි එකාට තේරෙයි“
    මේ link එක වැඩ කරන්නේ නැහැ වගෙ ..

    ස්තුතියි ඔබට

    ReplyDelete
  26. -ප්‍රදීප් ,
    ඔබට බොහොම ස්තුතියි දිරි ගන්වන අදහසට . හැකියාවක් තිබේ නම් මේ දැනුම තවත අයෙකුට බෙදා දෙන්න ,
    ස්තුතියි

    ReplyDelete
  27. ඔව් දැනුයි ඔබේ විස්තර ටිකක් කියෙව්වෙ....
    මම ජීටෝක් වලින් ඉන්වයිට් කලා. හදුනගන්න ලැබුනට සතුටුයි කිව්වට ඔබ තුමා ම‍ගේ බ්ලොග් එකට නම් ඇවිත් තිබුනා. ස්තුතියි විස්තර වලට

    මේ ලින්ක් එක බලන්න

    http://www.facebook.com/video/video.php?v=147676105276962&comments

    ReplyDelete
  28. බුද්ධි ,
    ස්තුතියි , ඇත්තෙන්ම මිල කරන්න බැරි දෙයක් මේ දීල තියෙන්නේ , මම ඔබෙන් අවසර ඉල්ලනව මේ වීඩියෝවත් post එකට රඑකතු කරන්නට , හරිම වැදගත් .
    ඔබට අතිශ්‍යින් ස්තුතියි

    ReplyDelete
  29. මගේ මල්ලිගේ නොනත් මේ දවස්වල වසර 2.5කට විතර පස්සේ ඔය සතුටු දායක අවස්තාවට මුහුන දීලා ඉන්නේ.

    එයාත් නිතරම කියනවා ..කෑම උයන කොට එන සුවද පවා එයාට ගදයි කියලා. ඒ වගේම කෑම කන්නෙත් හරි අඩුවෙන්. කන ටිකත් වමනේ යනවා.
    අයියා ලියලා තියෙන බොහෝ ලක්ෂණ අපි එයාගෙන් නිරීක්ෂණය කරනවා.
    ඇත්ත තමයි..වෙනදා නිතරම හිනාවෙන් පිරිලා තියෙන මූන, දැන් අපිත් එක්ක තරහා ගානටයි තියන් ඉන්නේ...D

    අද මම මේ ලිපිය කියවලා ගොඩක් දේ දැන ගත්තා.
    මේ ගැන දිගටම ලියන්න.

    ඔයා මේ කරන්නේ මහගු පිං කමක්...අයියා.

    ReplyDelete
  30. මහේෂ්,
    ඇත්තටම ඕක මට අයිති දෙයක් නෙමෙයි. ඕක දාලා තියෙන්නෙ මුණුපොතේ මගේ යාලුවෙක්. පුලුවන්නම් බ්ලොග් එකට දාන්න. හැබැයි ඕක යූටියුබ් එකෙත් තිබුනා. ඒක හොයා ගත්තානම් ලේසියෙන්ම දාන්න තිබුනා. මේක උනත් දැම්මට කමන්නැ! ඕක අපි කාටවත් අයිති එකක් නෙමෙයි. සුදුමහත්තුරු කට්ටියක් හදපු එකක්. ස්තුතියි

    ReplyDelete
  31. @Gimhani- හිහ් ඉතින් එයා ගොඩක් කන්නෙ නෑනේ,හදපුවා නාස්ති වෙන නිසා අපි කනව.:))

    ReplyDelete
  32. - නිල් අහස -
    ගොඩාක් සතුටුයි , ඒ වගේම ස්තුතියි ඔබට .

    -බුද්ධි ,
    ඇත්තෙන්ම බුද්ධි ඒකෙ තිබුණු වටිනකමට , ඒ ලින්ක් එකම දැම්ම , දැන් නං youtube ලින්ක් එක හොයා ගත්තා.
    බොහොම ස්තුතියි , බලන්න අපි හැමෝම එක් වුනොත් මේ බ්ලොග් අවකාශය කෙතරම් නම් ඵලදායීතැනක් වෙනවද ?

    ස්තුතියි

    ReplyDelete
  33. වීඩියෝ එක බැලුවා. හරියට හීනයක් දැක්ක වගෙ. හරිම පුදුමයි.
    ගොඩාක් ස්තුතියි බුද්ධිටත් දක්වපු සහයෝගයට....

    ReplyDelete
  34. හරිම ලස්සනයි. දවසින් දවස මේ බ්ලොග් එක ජනප්‍රිය වෙන බව දකින්නත් සතුටුයි

    ReplyDelete
  35. -Gimhani,
    ස්තුතියි , ඒවගේම “අපි හැමෝම එක් වුනොත් මේ බ්ලොග් අවකාශය කෙතරම් සරු කරන්නට පුළුවන්ද?“ කියන කාරණයට හොඳ උදාහරණයක් මේ සිදුවීම

    ReplyDelete
  36. -Bindi .
    ඔබ මුලින්ම ආ මැයි 26 දා සිට අද වන විට යම් දියුණූවක් ලබා ඇත්නම් ඒ ඔබ සැමගේ සහයෝගීමත් දිරි ගැන්වීම් නිසා , එහි පළමු ගෞරවය ඔබ ඇතුළු මගේ මිතුරු කැළට පුදන්නටම ඕන ,
    ස්තුතියි.

    ReplyDelete
  37. කියෙව්වෙ ඊයෙයි.. ඒත් ස්තූති කරන්න වෙලාවක් තිබ්බෙ නෑ...ස්තූතියි මිත්‍රයා.. බොයහා්ම ස්තූතියි.. දැන් මමත් ඔබේ යාවජීව පාඨකයෙක්.. - දෝණි

    ReplyDelete
  38. -sri
    සතුටුයි හදුනාගන්න ලැබුනට , කියවන්න , යමක් දැන ගන්න ,එය බෙදා දෙන්න ,  ඒ සතුට නිම් නැහැ

    ස්තුතියි

    ReplyDelete
  39. මේව අත්හදා බලන්න නම් තව කල් තියෙනවා. ඒත් ඉතින් දැන්ම තියා දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනෙ. ඒනිසා සේරම කියෙව්ව.

    පොඩි ප්‍රශ්නයක්.
    h.C.G කියන්නේ මොකද්ද?

    ReplyDelete
  40. -පැණියා,
    ඔව් ඕව් දැන ගෙන සිටීම තමයි වටින්නේ , h.C.G. කියන්නේ ප්‍රධාන වශයෙන් කළලය ආශ්‍රිත පටකයකින්(placenta) නිශ්පාදනය වන හෝමෝනයක් , එය අඩු වැඩි වීමෙන් කළලය ගැන යම් අදහසක් ගන්නට පුළුවන් .
    ස්තුතියි.

    ReplyDelete
  41. ස්තූතියි පිළිතුරට. තව ප්‍රශ්නයක් තියෙනවා. මම දන්න යාළුවෙකුගේ නෝන කෙනෙකුට බඩට මාස 3 ක විතර කාලෙදි ගුවන් ගමනක යෙදෙන්න සිද්ද උනා. එයින් දවස් 2~3 ට පස්සේ මෙයාට රුධිර වහනය වෙලා, රෝහල්ගත වෙලා ඉන්නත් සිද්ද උනා. ගුවන් ගමනට පස්සේ බබා හිටපු තැනින් පහත් වෙලාලු.

    1. බබා හිටපු තැනින් පහත් වීමක් වෙන්නේ ඇයි?
    2. ගර්භණී කාලයේදී ගුවන් ගමන් හොඳ නැද්ද?

    ReplyDelete
  42. -පැණියා,
    මෙහෙමයි , ගුවන් ගමනකදි සිදුවන සිදුවීම් බොහොමයි , වායු ගෝලීය පීඩන වෙනස , ඔක්සිජන් ආංෂික පීඩන වෙනසක් , උණූසුම , මානසික ආතතීන් ඔය වගේ සාධක ගණනාවක් මවට බලපානව වාගේම එයින් පැටියටත් ලොකු බලපැමක් වෙන්න පුළුවන් , ඒත් හැම ගර්භණී මවකටම ගුවන් ගමන් නුසුදුසුයි කියන්නේ නැහැ , විය හැකි ගැටළු අයෙක්ගෙන් තවත් අයෙකුට වෙනස් , නමුත් ගුවන් ගමනක් යායුතුම නම් එය කළලයට සති 14-27 වගේ කාළ සීමාවේ කරන්නට පුළුවන් නම් හොඳයි ,  ඒ වගේම සති 36ට පස්සේ එසේ නොයනවානම් තමා හොඳ.
    ස්තුතියි

    ReplyDelete
  43. අද තමයි මේ පෝස්ටුව කියෙව්වේ. හැමදේම සරල ව විස්තර කරලා තියෙන විශිෂ්ඨ සටහනක්. ස්තූතියි මේ සමාජ මෙහෙවරට. මමත් මේ වගේ ම මාතෘකාවක් ගැන කරුණු හොයද්දි තමයි මේ ලින්ක් එක දැක්කේ. මගේ ලිපියට මෙයින් පින්තූර දෙකක් බාගත්තා. අමනාපයක් නෑ කියලා හිතනවා ඒ ගැන.

    ReplyDelete
  44. ගොඩක් වටින ලිපි පෙලක්.ගොඩාක් පිං ඔබතුමාට

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)