2011/08/13

45) මේ ඔක්කොම කං බබා ලැබෙන කං



අද උදේ සේවා මුරය නිමා කරල ගෙදර එනකොට දෙකත් පහුවෙලා , ගෙදර ඇවිත් ටිකක් අන්තර්ජාලේ සැරිසැරුවා , අද හවස් වෙලා බටගන්විල බෝධිය පැත්තෙ යන්නත් ඕන , දවස් දෙකකින් විතර යන්න බැරි උනානේ.





බටගන්විල බෝධීන් වහන්සේ ....
මේ දවස් වල රෑට බෝධිය ගාව හුඟක් සෙනඟ( මොකද විභාග , නිවාඩු තව තව හේතු) . එතකොට ඒ තරම් හිතට විවේකයක් ලැබෙන්නේ නැහැ වගේ , මොකද සමහරු බුදුන් වඳින්නේ “දෙයියන්ට , බුදුන්ට“ ඇහෙන්න තරම් හයියෙන් කෑගහලනේ , ඒ නිසා අපි මේ දවස් ටිකේම  අපි හවස පහ විතර වෙනකොට ගිහින් ටිකක් බුදුන් වැඳල ,විවේකයෙන් , හිතේ සැහැල්ලුවෙන් ඉඳළ එනවා . මම මීට ඉස්සර දවසක් කීව වගේ මේ බෝධී පූජාව “නිකං ගහකට වැඳීමක් “ විදියට , නැත්නම් පල්ලියේ යාඤාව හෝ සලාතය හරි  “නිකං කාළෙ නාස්ති කිරීමක්“  වගේ  හිතෙන තාරුණ්‍යයක් සමහරුන්ට තිබෙනවා , මම මෙතැන තාරුණ්‍යය කිව්වේ ඒ වයසේ ඇති වන පෙරළිකාර හැඟීම් එක්ක එවැනි සිතුවිලි ඇතිවෙන්නට ඉඩ තිබෙන නිසා , සමහර වැඩිහිටියොත් ඉන්නව මේ විදියට හිතන , නමුත් මගේ වැටහීම නං “නියම මනුස්සයෙක් වෙන්න අධ්‍යාත්මික පසුබිම “ හරිම වැදගත්  එය නැතිව මොන උගතෙක් උනත් “මනුස්සයෙක්ද ? “ කියන ප්‍රශ්නය අහන්නම වෙනවා ,

සිතට දැනෙන “සැහැල්ලුවේ සතුට“........
ඔබ කුමක් සිතුවත් මට  නම් ඒ පරිසරයෙන් ලැබෙන ශාන්ත , සුන්දර බව මගේ , අපේ ජීවිතේ ප්‍රබෝධමත් කරනවා, හිත පුදුම සැහැල්ලුවක් කරමින් ඊළඟ දවසේ එන ඕනම බරක් දරා ගන්නට දිරිමත් කරනවා.නැත්නම් දෙමව්පියන් හැටියට , රැකියාවේ හැටියට අපි දවසකට දරන “බර“ , අවිවේකීත්වය අපේ හිත රෝගී කරන්නට ඉඩ  තිබුණා. ඒත් අපි නම් හැමදාම ප්‍රබෝදයෙන් ..හැබැයි ඒ “අර පිටි  වර්ගය “ නිසා නෙවී.

කතාව ටිකක් දුර ගියා , ඒත් වරදක් වුනේ නැහැ කියල හිතෙනවා , මම මේ වගේම කතාවක් මගේ දහවැනි ලිපියෙදිත්  කිව්ව වගේ මතකයි . ඔන්න ඉතින් අපේ අය බෝධිය ළඟ ඇමදලා , පිරිසිදු කරලා , බුදුන් වඳින්න පටන් ගත්තා , මාත් බුදුන් වැඳළ ඉවර වෙලා වෙනද වගේම ටිකක් විවේකයෙන් ඉඳළ එන්න හදන කොට හරිම ලස්සන සිදුවීමක් දැක්ක , තරුණ යුවලක් බොහොම ශ්‍රද්ධාවෙන් බුදුන් වඳිනවා , වයස විසි පහක විතර ඇති , මට හිතෙන්නේ අළුත විවාපත් වූ යුවලක් වගේ , දෙගොල්න්ගෙම දෙමාපියන් එක්ක ඇවිත් , බොහොම පිළිවෙලට මල් පහන් පූජා කරනවා , ඇත්තටම හරිම සුන්දර , ඒ වගේම හිත හැදෙන දසුනක් , කොහොම වුනත් දැන් දැන් අපේ තරුණ දරුවන් මේ ආගමික පරිසරයට යොමු වෙන ප්‍රමාණය ටිකක් වැඩියි වගේ දැනෙනවා , මොකද මම දැකළ තිබෙනවා උසස් පෙළ වයසේ පිරිමි දරුවන් පිරිස් මෙතැනට ඇවිත් මල් පහන් පූජා කරල ,බුදුන් වැඳල යනවා. ඒ වගේ දසුන් හරිම සුන්දරයි මට හිතෙන විදියට.

බුදුන් වැඳල ගෙදර එන ගමන් අපි කතා කළා ඒගැන , මේ ගැන බ්ලොග් එකට ලියමු මගේ යෝජනාවට මනෝජත් එකඟ වුනා , “මහේෂ් අපි මේ එක්කම Preconception health care planning ගැන ලියමුද ? ඒකත් එක්ක ගොඩක් දේ එකතු කඑන්න පුළුවන් නේද ? “ ඇගේ යෝජනාව මට තවත් රුකුලක් දුන්නා ,
අපි දෙන්නා......යාළුයි 

හරි එහෙම නම් අපි අද පටන් ගන්නවා දිගම මාතෘකාවක් , ඒ විවාපත් වූ යුවලක් දරුවකු පිළිසිඳ ගැනීම දක්වා පවත්වා ගත යුතු සෞඛ්‍යානුකූල සිරිත් විරිත්  , ඊට  පස්සේ ගර්භනී සමයේදී කළ - නොකළ යුතු දෑ , ඊට පස්සේ දරුඋපත සහ මුල් දින කිහිපය තුල දරුවා වෙනුවෙන් ඉටු විය යුතු දේ , ...බය වෙන්න එපා මේ ඔක්කොම එක post එකක දාන්නේ නැහැ , පියවර තුනකින් විතර අපි මේ ගැන කතා කරමු , සමහර විට මේ ලිපි ටිකෙන් මම “අර්ධ ශතකයට“ ලං කරාවි.

අපි පටන් ගනිමු Preconception health care planning වලින්ම , සමහරුන්ට මේක අළුත් පදයක් වෙන්න පුළුවන් , අනේ මම “පද හදනවා එහෙම නොවෙයි“ , මේක ජාත්‍යන්තරවම පිළිගන්නා සොඛ්‍යානුබද්ධ මාතෘකාවක් , අපිට මේක හොඳ සිංහලෙන් කිව්වොත් , මෙන්න මෙහෙම කියන්න පුළුවන් ,“ගර්භණිත්වය ලබා ගැනීම පිළිබඳ තීරණය කළ මොහොතේ සිට දරු පිළිසිඳ ගැනීමක් දක්වා පවත්වා ගත යුතු ජෛවවිද්‍යාත්මක , සෞඛ්‍යානුකූල සැලසුම“ , ටිකක් බර වැඩියි වගේ නේද ? අපි මෙහෙම කියමු , අපිට ගැලපෙන විදියට , විවාපත් යුවලක් (ලංකාවේ විදියට) දරු පිළිසිඳ ගැනීමක් දක්වා කළ යුතු නොකළ යුතු දේ ගැනයි අපි කතා කරන්න හදන්නේ , මෙහි වටිනාකම ප්‍රධානවම ලැබෙන්නේ “බිහි වන දරුවාට“ , එසේනම් නිරෝගී දරුවෙක්  වෙනුවෙන් අපි කළ යුතු දේ ගැනත් නොකළ යුතු දේ ගැනත් කතා කරමු.මේ මාතෘකාවෙදි Husband and wife දෙදෙනාටම සම වගකීමක් ලැබෙතත් , අපේ වැඩි අවධානය යොමු වන්නේ කාන්තාව වෙතට , මොකද “දරුවා බිහිවන තුරු රැක බලා , පෝෂණය කරන ප්‍රධානතම ජීවිය ඇය වන නිසා .

ශ්‍රී ලාංකිකයන් විදියට සමාජ චාරිත්‍රානුකූලව සහ සාමාන්‍යෙයන් අපි “දරුවෙක් ගැන හිතන්නේ “ ,  ඒ කිව්වේ දරුවෙක් පිළිසිඳ ගැනීමක් ගැන උනන්දු වන්නේ “විවාහයෙන් පස්සේ“ , ඊට පෙර දරු පිළිසිඳ ගැනීමක් සිදු වුනොත් බොහෝවිට එය සමාජයේ සාමාන්‍ය පිළිගැනීමට එපිටින් යන්නක් ලෙසයි අපි බොහොමයක් සිතන්නේ , නමුත් ඒ තත්ත්වය පිළිබඳවත් මීට වඩා සාධාරණව බැළිය යුතු කාළය එළැඹිලා කියලයි මට හිතෙන්නේ , මක් නිසාද ගබ්සාවන් නිසා කරදරයට පත් වූ අවිවාහක කාන්තාවන් බහුතරයක් , ඒ අනතුරට පත් වෙන්නේ “සමාජයට මුහුණ දිය නොහැක“ කියන මතය නිසා , විවාහයට පෙර ලිංගිකව එක්වීම , අපේ සමාජ-සංස්කෘතිමය පසුබිමත් එක්ක වැරදි යැයි සමාජ සම්මතයක් වුවත් , අද පවතින සමාජ ගැටළු සහ පෙළඹවීම් එක්ක , ඒ ගැන යම් සාධාරණයක් ඉටු විය යුතුයි මට හිතෙනවා , ව්ශේෂයෙන්ම ආරක්ෂිත ලිංගික භාවිතයන්  Safe sex යන කරුණ ගැනත් අපේ දැනුවත් බව වැඩිවිය යුතුයි , මෙය මගේ පුද්ගලික මතයක් විතරයි , පුර්ව වෛවාහක ලිංගික ඒකවීමට හෙවත් premarital sex කියන දේ අපේ සමාජ ගත කළ යුතු යැයි දැන් මම කියන්නේ නැහැ , ඒත් තව ටිකක් ඒ ගැන හිතන්න පුළුවන් නම් ..!

හරි , අපි දැන් “හරි පාරට“ එමුකෝ , විවාහ වූ යුවලකගේ ඊළඟ පිම්ම “දරුවෙක් “ , දරු පවුලක් කියන්නේ ඒකනේ  , ඉතින් කවදටද දරුවෙක් ගැන හිතන්න ඕන , බැන්ද දවසෙදිමද ? ඊට පසුවද ? ...ඔබ විවිධ මත පළකරාවි ,  එත් විද්‍යානුකූලව මේ පිළිබඳව හිතන්නට ඕන විවාහයටත් පෙර සිටම , ඒ කිව්වේ ‘බබා ගැන“ හිතන්න ඕන “ලොකු බබා හම්බ වෙන්නත් “ ඉස්සරම හොඳද !

ඔබේ විවාහයට , එහෙම නැත්නම් දරු පිළිසිඳ ගැනීමට අඩුම තරමේ මාස තුනකට වත් පෙර මේ ගැන හිතන්නට , සැලසුම් කර ගැනීම ආරම්භ කරන්නට ඕන , විශේෂයෙන්ම තවත් මාස තුනකින් දරු පිළිසිඳ ගැනීමක් දරා ගන්නට සුදුසු ශාරීරික සහ සොඛ්‍යානුකූල පරිසරයක් හදා ගන්න , එහි පළමු වගකීම කාන්තා ඔබ සතුයි , ඒ වගේම දරු පිළිසිඳ ගැන්වීමක් කරන්නට සුදුසු ශාරීරික තත්ත්වය පිරිමි ඔබ හදා ගන්න ඕන , ටිකක් නුහුරු වුනත් මේ අවස්ථාවේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී මේ ගැන සාකච්ඡා කිරීම හරිම වැදගත් , (ලංකාවේ මේ පිළිබඳ එතරම් උනන්දුවක් නැතත් බොහෝ බටහිර රටවල preconception counselling sessions තිබෙනවා ,) මේ හමුවේදි ඔබේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කරාවි , එතැනදි ඔබේ පවතින සෞඛ්‍ය ගැටළු හදුනා ගැනීමත් , ඊට නිසි ප්‍රතිකාර ලබා දීමත් , විය හැකි සෞඛ්‍යමය අනතුරු වලක්වා ගැනීමටත් යොමු වේවි, මෙහිදි විශේෂයෙන්ම ඔබ සැලකිළිමත් විය යුතු කරුණූ කිහිපයක් ගැන අපි කතා කරමු ,
ඔන්න වෙන වැඩේ ....

මෙහිදි හරිම වැදගත් , ලාබ බෙහෙතක් ගැන කතා කරන්නම වෙනවා , ඒ තමයි Folic acid කියන විටමීනය , දරුවාගේ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනයට අත්‍යවශ්‍ය විටමිනයක් වන Folic acid ගැනීම , දරු පිළිසිඳ ගැනීමට මාස තුනකටවත් පෙර ආරම්භ කිරීම සුදුසු බවයි වෛද්‍යමතයි , මොකද පිළිසිඳ ගැනීමකින් මුල් සති අටක විතර කාළෙදි තමයි “දරුවගේ“ ස්නායු පද්ධතිය සැකසීමේ පළමු පියවර , අඩිතාලම වැටෙන්නේ ,

අම්ම ෆෝලික් බිව්වනම් .......
ඒ අවස්ථාව වෙනකොට මවගේ ඇඟේ ප්‍රමාණවත් තරම් ෆෝලික් ඇසිඩ් නොතිබුනොත් ඇති වෙන්නේ හරිම අවාසනාවන්ත තත්ත්වයක් , බිහිවෙන දරුවාගේ මානසික තත්ත්වය සහ බුද්ධිය එතරම් හොඳ මට්ටමක නොවෙන්න පුළුවන් , ඊටත් වඩා දරුවාගේ සුෂුම්නාවේ spina කොටස් කොන්දෙන් එළියට ගෙඩි වගේ එන්නත් spina bifida , සමහර විට මොලේ පුංචි anencephaly වෙලා බිහිවෙන්නත් පුළුවන් , එහි අනතුර ගැන කියන්න ඕනද ?....

මේ විදියට ඔබ විවාහයට , එහෙම නැත්නම් දරු පිළිසිඳ ගැනීමට පෙර ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවුනොත් නිසැකවම මෙම විටමීනයේ වැදගත් කම කියල දේවි , ගත යුතු මාත්‍රාව සහ ගත යුතු කාළය පිළිබඳ කරාවි , එසේ නොවුනොත් ඔබ ඒ ගැන විමසන්න , ඔබේ දරුවා වෙනුවෙන් .

රුබෙල්ලා වැක්සින් ගත්තද දන්නෑ......
ඊළඟ වැදගත් දේ තමයි රුබෙල්ලා එන්නත , මේ වන විට ලංකාවෙ නම් සාර්ථකව මෙම එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වන නිසා මේ වන විටත් ඔබ මෙම එන්නත අරගෙන ඇති , එසේ නැත්නම් “දරු පිළිසිඳ ගැනීමක් ගැන සිතන්නට , මාස තුනකට පෙර වත් “  මෙම එන්නත ලබා ගන්න , ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න , හැබැයි හොඳට මතක තියා ගන්න , මෙම එන්නත ලබා ගැනීමෙන් මාස තුනක්වත් ගත වන තුරු පිළිසිඳ ගැනීමක් ඇති  කර ගන්න එපා  , එය අනතුරුදායක වෙන්න පුළුවන් , ඔබට වගේ “ඔය රංකැටියාටත්“ ..

මේ එන්නත මගින් සිදුකරන්නේ ජර්මන් සරම්ප නම් රෝගය ඇති වීම වලක්වන එක , අපි මේ තරම් මේ රැබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප ගැන කතා කරන්නේ , ඔබ ගර්භණී අවස්ථාවේ ඔබට රැබෙල්ලා හැදුනොත් එම රෝගයට පුළුවන් ඔබේ කුසේ ඉන්න පැටියාව හපා කන්න , සමහර විට මරල දාන්න වුනත් , (ඊටත් වඩා අනතුර අර විදියට හපා කාළ , අවයව අඩුවෙන් , දේහ ක්‍රියාකාරීත්වය අඩුවෙන් ඒ කිව්වේ අන්ධ , බිහිරි දරුවෙක් බිහිවුනොත් ) ,  ඒ නිසා අනිවාර්යයෙන්ම මෙම රැබෙල්ලා ඒන්නත ලබා ගන්න , බය වෙන්න එපා , පහුගිය කාළේ විවිධ මත පැතුරුනත් , සිදුවීම් වුනත් ලිංගික වශයෙන් සක්‍රිය වයසේ ඉන්න හැම කාන්තාවක්ම මෙම එන්නත ලබා ගැනීම හරිම වැදගත් ,

පවුලේ සතුට ...
දැන් අපි යමු ඊළඟ වැදගත්ම දේ ගැන කතා කරන්න , දැන් මම දන්නව මෙතෙක් වෙලා කම්මැළි කමේ මේක කියෙව්වනම් දැන් ටිකක් අවදානයෙන් මේ ගැන කියවාවි කියල , මොකද මේ කරුණු ඔබේ ජීවිතේට වගේම ඔබේ පැටියාගේ ජීවිතයටත් , සමස්ථයක් වශයෙන් ගත්තම සමස්ත පවුලේම සතුට සහ පැවැත්මටත් වැදගත් , මොකද දන්නවනේ “දරු පැටියා ලෙඩෙක් වුනොත් “ ඒ අම්මට තාත්තට , මුළු පවුලටම කෙතරම්ම වේදනාවක්ද කියල .

ඊළඟ දේ තමයි ඔබේ පවත්නා රෝග තත්ත්ව පාළනය කර ගැනීම , මේකත් පටන් ගන්න ඕන පිලිසිඳ ගැනීමකට අඩුම තරමේ මාස තුනකටවත් ඉස්සර ඉඳළ , මෙතැනදි දියවැඩියාව  සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධිත තත්ත්ව ගැන (Hypothyroidism ) ,අපස්මාරය Epilepsy සහ ඇදුම Asthma  වැනි තත්ත්ව ගැන විශේෂ අවධානයක් යොමු කෙරෙනවා .මොකද මේ හැම රෝග තත්ත්වයක්ම නිසි ලෙස පාලනය කර නොතිබීම මගින් පිළිසිඳ ගැනීමක් සිදුවීම ප්‍රමාද වෙන්න , නැත්නම් infertile වෙන්න , ඒ විතරක් නොවෙයි සමහර අවස්ථා වලදි දරුවාට යම් විකෘතිතා හෝ රෝග තත්ත්ව ඇති වෙන්නත් හේතු වෙන්න පුළුවන් .විශේෂයෙන්ම හයිපොතයිරොයිඩිසම් වගේ තත්ත්වයතින් පෙළෙන මවකට උපදින දරුවෙක්ගේ මානසික වර්ධනය අඩු බව හදුනාගෙන තිබෙනවා. ඒ වගේම අපස්මාරය වගේ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගත්තත් මේ අවස්ථාවේ එම ඖෂධ වෙනත් වර්ග වලට මාරු කිරීමක් කරන්නත් ඉඩ තිබෙනවා .මීට අමතරව මානසික රෝග, වකුගඩු සහ රුධිරය ආශ්‍රිත රෝග , ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග තත්ත්ව තිබේ නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නම ඕන .

ඒ වගේම ඔබ යම් ඖෂධයක් දිගු කාළිනව භාවිත කරන්නෙක් නම් ඒ බව අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාට පවසන්න , මොකද සමහර ඖෂධ මගින් කළලයට යම් හානිවීමටත් ඉඩ තිබෙනවා , උදාහරණයක් විදියට ඔබ දිගු කාළීනව ලේ කැටි ගැසීම පාලනය කරන , ප්‍රතිකැටිකාරක ඖෂධ භාවිත කරනවා නම් ඔබේ වෛද්‍යවරයා ඒ පිළිබඳ දැනුවත් කරන්න , එවිට ඊට අදාල වෙනස් කිරීම් ඔහු විසින් නියම කරාවි .

බබා (ට) හම්බ වේද ...දන්නෑ ....
ඔන්න දැන් අමාරුම දේ , ඒ තමයි තරබාරුව පාලනය කිරීම , මොකද තරබාරුව මගින් පිළිසිඳ ගැනීම මෙන්ම දරු ගැබ දරා ගැනීමේදිත් යම් යම් අපහසුතා ඔබට ඇති කරන්න පුළුවන්.දරුවට උපතේ සිටම පවතින රෝගාබාධ ඇති කරන්නත් මෙය හේතුවක් . ඒ විතරක් නොවෙයි දරු ප්‍රසූතිය පවා ගැටළුකාරී කරන්න මේ තරබාරුවට පුළුවන් . දැන් මෙතැනදී කිව්වේ කන්නේ බොන්නේ නැතුව ඉඳල හොඳටම කෙට්ටු වෙන්න කියල නෙවි , ඒකත් හොද නැහැ. වැදගත්දේ තමයි උසට සරිලන බර පවත්වා ගැනීම .තව විදියකින් කිව්වොත් නිවැරදි B.M.I. අගය පවත්වා ගැනීම . මෙන්න මෙතැනින් ගිහින් ඔබේ එම අගය බලා ගන්න , එය 23ට ආසන්නව ලබා ගන්න පුළුවන් නම් තමා වඩා හොඳ . දැන් කල් තියෙනවානේ , ඒ නිසා නිසි උපදෙස් මත තමන්ගේ බර පාලනය කර ගන්න , එතකොට තව මාස තුනක් විතර ගියාම හොඳ බරක් එක්ක , මවක් වෙන්නට උත්සාහ කරන්න පුළුවන් .

තාත්තගේ සතුට ...පැටියගේ දුක ......
දැන් මේ ඔක්කොම “නෝන“ ගැන නේ කතා කළේ , දැන් ඕං මහත්තය ගැන කතාව , ඔබ දැන් සිටම ඒ කිව්වේ  තාත්ත කෙනෙක් වෙන්නට සැලසුම් කරන්නට මාස තුනකටවත් පෙර සිට දුම්බීමෙන් වලකින්න , මොකද දුම්බීම මගින් ඔබේ ශුක්‍රාණූ වල පිහිනීමේ හැකියාව අඩු කරනව  වගේම ඒ තුල තියෙන ජාන විකෘතිතා ඇති කරන්නත් පුළුවන් , ඒ අනතුර මොකක්ද කියන්නම ඕනද ?  ඔව් , සමහර විට දරුවෙක් ලබා ගන්නට සෑහෙන කරදර විඳින්නත් වෙන්න පුළුවන් , ඒ වගේම බිහිවන දරුවාගේ මානසික වගේම කායික විකෘතිතා සහ ආබාධ සහිත දරුවෙක් බිහි වන්නත් මෙය සාධකයක් වේවි. දැන් ඉතින් මහත්තය නොබිව්වත්  බිරිඳ ඉන්න තැන සිගරට් දුම නිතරම තියෙනවා නම් , ඇය අක්‍රිය දුම්පානය passive smoking කරන්නට සිදු වෙලා නම් අපේ අරමුණ සාර්ථක නැහැ. එම නිසා මහත්තය දුම්නොබිම වගේම බිරිඳට “නොමිලේ දුම දෙන සාධක “ තිබේ නම් එයත් ඉවත් කරන්න , සමහර විට මේ ඉලාපොරොත්තු වන පැටියා වෙනුවෙන් මුළු පවුලෙන යම් කැප කිරීමක් කරන්නට වේවි.ඒ එකක්ම කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා , ඒ තමයි පිරිමි අයගේ ලිංගික අවයව ආශ්‍රිතව තද උණුසුම පැවතිනොත් , ඒ වගේම එම අවයව වලට රැධීරය ගලා ඒමට බාධා වන තරමට තද ඇඳුම් ඇන්ඳොත් ටිකක් කරදර වෙන්නත් පුළුවන් , මොකද අද සොයාගෙන තියෙනවා එලෙස වෘෂණ කෝෂ Testicles වලට තද උණුස්ම ලැබීම මඟින් එහි තුල නිශ්පාදනය වන ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව අඩු වන බව , ඒ නිසා ඔබේ රැකියාව ගැන ටිකක් හොයල බලන්න එවැනි තත්ත්වයක් ඇතිවේද කියල , ඒ වගේම ඔබ උණූසුම් ජලය නෑමට හුරු වෙලා ඉන්නවනම් , (විශේෂයෙන්ම ගිලී නෑමට ) පැය භාගයකට වඩා එසේ උණූසුම දියේ නොඉන්නවානම් හොඳයි.(අඩුම තරමේ දරුවෙක් ගැන හිතන්න මාස තුනකට පෙර සිටවත්) ,  ඒවගේම යට ඇඳුම් අදිත්දි , හුඟක් තද , ඒ වගේම තද රස්නයක් ඇති කරන ඇඳුම් නොඅඳිනවා නම් තමා හොඳ.අනෙක විනෝදාංශය පාපැදි පැදීම නම් , මේ කාළේ වැඩි වේගයෙන්,වැඩි දුර පාපැදි පැදීමත් සීමා කරන්න , එයිනුත් ඔබේ ලිංගික අවයව අනවශ්‍ය තරමට උණූසුම් වෙනවාළු.


දැන් අම්මයි තාත්තයි ...ඒ කිව්වේ බලාපොරොත්තුවන පැටියගේ අම්මයි තාත්තයි දෙන්නම පරිස්සම් වෙන්න ඕන දේවල කිහිපයක් තිබෙනවා , ඒ තමයි පරිසරයේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් ( ඔය කෘතිම රසායනික අඩංගු ආහාර පාන පවා සීමා කරගෙන) , අනතුරුදායක උපකරණ හෝ විකිරණ ආදියෙන් පරිස්සම් වෙන්න , මතකනේ ඔබේ මොබයිල් ෆෝන් එක් පාවිච්චි කරන විදිය පවා නිවැරදි කර ගන්න වෙනවා , ඔබ ලැප්ටොප් එක භාවිත කරන විදිය ලැබෙන්න ඉන්න පැටියට සෘජුවම බලපාන්නට පුළුවන් , ඒ නිසාම පරිස්සම් වෙන්න . (මේ ගැන කියවන්න මෙතැනින් යන්න ) විශේෂයෙන්ම මේ කාළේ ඔබේ පරිගණකය Lap-Top
මෙව්ව  හොඳ නෑ ...ඇඟට (පැටියට) ගුණ නෑ ..
වුනත් උකුළේ තියාගෙන වැඩ නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. අනෙක් වෛද්‍යවරයාට පවා බලකරමින් X-ray ගන්න ආසාවෙන් ඉන්න අය ඉන්න නිසා මෙහෙම කියන්නම් , වෛද්‍ය උපදෙසකින් තොරව කිසිම විටෙක මේ අවස්ථාවේ X-ray ගන්න එපා . ඔබේ රැකියා පරිසරය තුල යම් විෂ රසායනික වැනි දෑ පරිහරණය කරන්නට වෙනවා නම් ඔබේ අධීක්ෂණ නිලධාරින් සමඟ කතා බව කරන්න , පුළුවන් නම් මේ කාල සීමාවේ සිට දරුවා බිහිවන කාළ සීමාව තුරුවත් වෙනත් ඒකකයකට සුහද මාරුවක් ඉල්ලගන්න.සමහර විට ඔබ කියාවි ඕව කිව්වට කොහේ කරන්නද කියලා . උත්සාහ කරල බලන්න , ඔබේ ලැබෙන්න ඉන්න දරුව වෙනුවෙන්නේ , මොකද වැඩේ වැරදුනොත් සමහර විට ඔබෙත් , දරුවාගේ ජීවිතේම අඳුරේ වැටෙන්න පුළුවන් , ඒ නිසා උත්සාහ කරන්න.

අනෙක් වැදගත්දේ  , ඔබ දෙදෙනාගෙන් කවරෙක්ගේ හෝ පරම්පරාවෙන් එන රෝග තත්ත්වයක් තිබෙනව නම් පැටියෙක් හදන්නට ඉස්සර වෙලා ඒ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න , ඒ රෝගය පිළිබඳ ඉතිහාස කතාව , පවුල් බැඳීම ගැන , එවිට ඒ උපදෙස් මත ඉදිරි සැලසුම හදා ගන්න එක , ඔබට සහ දරුවාටත් යහපතක් වේවි.

රසට කන්න ..
දැන් ඔබ සූදානම් හොඳ පෝෂණවත් ආහාරයට හුරු වෙන්න , හැමදාම “කඩෙන් අරගෙන බඩට දාගත්ත“ නම් දැන් ඔබට ලැබෙන්න ඉන්න දරුව වෙනුවෙන් වෙනස් වෙන්න , මාළු , එලවළු ටිකක් එක්ක බත් ටිකක් කන්න ., මස් මාළු කන එක හොඳයි , ඒත්  පීකුදු භාවිතය නම් ඒ තරම් හොඳ මදි  , පළතුරු හරිම වැදගත් හැබැයි අර නැවේ මාස ගාණක් කුණු වෙලා එන Fresh ඇපල් , මිදි වගේ ඒවා නොවෙයි , අපේ රටේ , ගමේ හැදෙන කෙසෙල් , අඹ , වගේ පළතුරු හුඟක් හොඳත් , මිළත් අඩුයි. ඒ වගේම හොඳට වතුර බොන්න , අඩුම තරමේ ලීටර් එකහමාරක් දෙකක්වත් , (අනිත් සැර බීම නවත්තන් මහත්තයෝ , මොකද පැටියට නරකක් වෙන්න පුළුවන් , අනික ඔබේ ලිංගික ශක්තිය දුර්වල වෙන්නත් පුළුවන්, අනික කෝපි වලට ඇබ්බැහි වෙලාමනං ඉන්නේ ටිකක් අඩු කරන්න )

ඔබ විවාහකව සිටිනවා නම් , මේ වන විටත් උපතක් පමා කිරීම සඳහා යම් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරනවා නම් , දැන් එයින් මිදෙන්න කාළේ හොඳයි , හැබැයි ඒ භාවිත කරන ක්‍රමය අනුව ඉන් ඉවත් වෙන්න ඕන කාළය වෙනස් වෙන නිසා ඒ පිළිබඳවත් නිසි සෞඛ්‍ය උපදෙස් ගන්න.

දැන් ඉතින  ඔක්කොම හරි කියල ගෙදරට වෙලා කකා බිබී නිකං ඉන්න එපා , ඔබේ සාමාන්‍ය වැඩකටයුතු , රාජකාරි කරන්න , හැබැයි ඔබේ හිතේ අර සැලසුම වැඩ කරන්න ඕන , මොකක්ද සැලසුම “තව ටික දවසකින් අපි පැටියෙක් හදා ගන්නවා “ කියන එක .එතකොට ඔය කරදර වගේ දැනෙන දේවල් කරදර නොවේවි. ඒ අතරේ දෙන්නා අතරේ තියෙන ආදර බැඳීම් වැඩි කරගන්න , අනාගත දරු පැටිය ගැන කතා කරන්න , “සුන්දර හීන දකින්න, “ , සිත සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න , ඒ හැම දෙයක්ම අපි නොසිතුවට හරිම වැදගත් භාවිතයන් .

මේං අම්මේ මල්ලි සිංදු කියනවා ....
ඔබ මේ වන විටත් දරුවෙක් සහිත මවක්  , පියෙක් නම් , ඒ දරුවා යමක් තේරුම් ගන්න පුළුවන් වයසේ නම් ඉන්නේ ඒ පැටියත් ළඟදී එන අළුත් මල්ලි හර නංගි හරි බාර ගන්න සූදානම් කරන්න , අහල බලන්නකො නංගියෙක්ද මල්ලියෙක්ද ඕන කියලා , නැතිනම් අළුත් පැටියා ඉපදිලා එයා ගැන ටිකක් වැඩි පුර හොයන බලන කොට “අපේ ලොකු පැටියා “ ටිකක් නපුරු වෙන්න පුළුවන් .(මෙතන ලොකු පැටිය කිව්වේ ලොකු දරුව ගැන . හැබැයි සමහර අවස්ථා වල දරුවා ලැබිලා , ඒ පැටියත් එක්ක බිරිඳ වැඩි පුර ගැවසෙන කොට , තමන් ගැන “හොයන්නේ නැහැ දැන් මට ආදරේ නැහැ“ වගේ හැඟීමක් මහත්තයට ඇති වෙන්න පුළුවන් , එහෙම දැනුනොත් බිරිඳ ඔබ නම් ටිකක් තේරුම් අරගෙන ඔහුට ඔබේ ආදරය හඟවන්න , ඔබ ස්වාමියා නම් දරු පැටිය වෙනුවෙන් ඒ තත්ත්වය  තේරුම් ගන්න ඔබත් එක් වෙන්න දරු පැටිය ගාවට ,එතකොට වෙනදටත් වඩා ආදරයකින් ඔයාල හැමෝම  , මුළු පවුලම සුවඳවත් වේවි.)

රෝස පාට සරු කාලේ 

දැන් අපේ සැලසුමේ අවසන් හරියට ඇවිත් , මේ ටික ජීව විද්‍යාව පාඩමක් වගේ , ඔබේ දරු පැටිය පිළිසිඳ ගන්න හැටි  , ඒ සඳහා ඔබේ කාර්යය , මේ වගේ දේවල් ගැන ටිකක් කියවල , දැන ගන්න හොඳම කාළෙ මේ. සමහර විට මේ වෙන විටත් ඔබේ පවුලේ වෛද්‍යවරයා යම් කරුණු ටිකක් කියල දීලා ඇති . විශේෂයෙන්ම කාන්තාව තමන්ගේ ආර්තව චක්‍රයේ  ස්වභාවය , දින පරතරය වගේ කරුණු පිළිබඳ අවබෝධ කරගෙන , සටහනක් තියා ගන්න පූළුවන් නම් තවත් හොඳයි , මොකද එයින් අපිට පුළුවන් දරු පිළිසිඳ ගැනීමකට “හොඳම කාළෙ “ ගැන අවබෝධයක් ලබා ගන්න .කෙටියෙන් කිව්වොත්  ඔබේ ආර්තවය ක්‍රමානුකුලව වෙනවා නම් ආර්තවය පටන් ගන්න දවස 1 කියල හිතුවොත් එයින් 11වන දිනයේ සිට 156වන දිනය විතර
දක්වා ලොකු අවස්ථාවක් තියෙනවා පිලිසිඳ ගැනීමක් සිදු වෙන්න , මොකද එය දවස් වල තමයි ඩිම්බ සෛලය (ස්ත්‍රී ජන්මාණු සෛලය) , ගර්භාෂය ඇතුලට සැපත් වෙන්නේ , එදාට ඇගේ රස්නේ ටිකක් වැඩි වෙන්න පුළුවන් , එ වගේම බඩේ පුංචි වේදනාවක් වගේම පියයුරු වල පොඩි කැක්කුමකුත් එන්න පුළුවන් , ඔන්න ඔය දවස හොයා ගත්තොත් හරිම ලෙහෙසියි පිළිසිද ගැනීමක් වෙන්න , එදා තමයි “සරුම දවස“ ,ඉතින් ඒගැන දැන ගෙන ඉන්න එපායැ නේද ? කොහොම වුනත් ඔන්න එක මාසෙකදි ඔය වැඩේ හරි ගියෙ නැහැ කියල කළබල වෙන්න එපා , දිගටම උත්සාහ කරන්න , පළමු මාසෙම පිළිසිද ගැනීමක් විමේ හැකියාව 30%ක් විතර , හැබැයි 60%ක් විතර මුල් මාස එය ඇතුලත ගර්භනීත්වයට පත් වෙන්න පුළුවන් , ඒත් අනිවාර්යයෙන්ම 85%ක්ම පළමු අවුරුද්ද ඇතුලත අම්මල වෙනවා. හැබැයි මේ ඉලක්කම් හරි යන්නේ උපත් පාලන ක්‍රම භාවිත නොකර අවම වශයෙන් සතියකට වාර දෙකක් වත් ලිංගිකව එක් වෙනවා නම් විතරයි.


ආදරෙන් බැඳෙන්න (හැබැයි බැදෙන්න එපා) 
දැන් නම් ඔක්කොම වගේ හරි , අපි මාස තුනක් තිස්සේ ලෙහෙස්ති උනානේ නේද ? දැන් සැලසුමේ අවසන් පියවර , එහෙම නම් “දෙන්නගේ ආදරණිය කැමැත්ත “ එක්ක පැටියෙක් හදා ගන්න “ආදරණිය බැදිමට “ එක්වෙන්න ,  විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්  , ඒ හදිසියේ ගැබ් ගැනීමකට වඩා සැලසුම් සහිත ගැබ් ගැනීමකදි දරුවාට ලැබෙන යහපත් දේ වැඩි බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා , ඒ නැතත් අපිටම හිතා ගන්නත් පුළුවන් නේ , සැලසුමක් නැතිව වැඩක් උනොත් කොහොමද කියලා නේද ? ඒ වුනත් “ඔය ආදරණිය ලිංගික බැඳිමෙදිත් “බබා... බබා....මගේ බබා “  කිය කිය ඉන්න එපා , එම එක්වීමේ සතුටයි රසයයි විඳින්න , මොකද නිවැරදිව සංසේචනයක් වීමට , ඒ කිව්වේ පිරිමියාගේ ශුක්‍රාණුව පිහිනල ගිහින් ස්ත්‍රී ඩිම්බයට ඇතුළු වීමට , මේ ලිංගික එක්වීමෙදි දෙදෙනා ලබා සතුට , හැඟිමත් බලපානවා. , ඒ එක්කම ලිංගික එක්වීම අවසන් වුන ගමන් නැගිටල දුවන්න එපා ,ටිකක් වෙලා ඇඳේ වැතිරිලා ඉන්න , එය හරිම වැදගත් ශුක්‍රාණූ වලට පහසුවෙන් පීනල ස්ත්‍රී සෛලය ගාවට යන්න , ඔබේ වයස අවුරුදු 35ට වැඩියනම් 35-40 වගේනම් අනේ ප්‍රමාද කරන්න එපා , ඉක්මණට පැටියෙක් හදා ගන්න preconception plan එකක් හදා ගන්න ..මොකද ප්‍රමාද වුනොත් Down's syndrome ගැටළු ඇතිවීමේ අවදානම වැඩියි ........



මෙහි දෙවැනි ලිපියෙදි  “ගර්භණීත්ව , එය හඳුනාගැනීම සහ උපත දක්වා කළ යුතු දෑ “ ගැන කතා කරන්නට හිතා ගෙන ඉන්නවා , අපි බලමු ඉක්මණින් එයත් එළිදක්වන්නට , කාළය තමයි ටිකක් බාධකය වෙන්න හදන්නේ , මේ ලිපිය සැලසුම් කරන්න පටන් ගත්තේ ඊයේ publish කරන්නේ අද ..කොහොමද කාළය යන ඉක්මණ , ඔන්න එහෙනම් අපි සුබ පැතුවා , ගිහින් එන්නං , සතුටින් ඉන්න.

21 comments:

  1. තාම නම් මම මේ දේ ගැන පුන්චිම දෙයක්වත් හිතලා තිබුනේ නැ... ඒ කිව්වේ අපේ කියලා අනාගතේ දවසක ලස්සන පවුලක් වෙලා ජිවත් වෙන හැගිම විතරමයි තිබුනේ... එත් මේ ලිපිය අකුරක් නැර කියෙව්වා... අපි මේක දිහා බලාගෙන එක හුස්මට කියවන්න පුලුවන් උනත් මේ වගේ වටින දෙයක් කරන්න ඔයා ගොඩාක් ලොකු මහන්සියක් වෙනවා කියලා මට දැනුනා...
    ඒත් මේ දේවල් ඇත්ත්ටම මිල කරන්න බැරි තරම්...
    දිගටම මේ වගේ ලිපි ලියන්න.....
    ජය වේවා,

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දේවා , ඔව් අපි සිංහල බ්ලොග් අවකාශය තුල යම් දෙයක් කරන්නට බලමු , ඔබේ දිරි ගන්වන වදන් මට ශක්තියක් , ස්තුතියි නැවතත්

    ReplyDelete
  3. මහන්සි වෙලා ලියපු, කරුණු කාරණා සියල්ල අතුලත් අංගසම්පූර්ණ ලිපියක්. බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට.

    ප.ලි
    බලාගෙන ගියාම දරුවෝ හදන එකත් හිතූ තරම් ලේසි නෑ වගේ....

    ReplyDelete
  4. >"ඔබේ වයස අවුරුදු 35ට වැඩියනම් 35-40 වගේනම් අනේ ප්‍රමාද කරන්න එපා , ඉක්මණට පැටියෙක් හදා ගන්න"

    මේ සීමාව පිරිමි අයටත් අදාලද?

    ReplyDelete
  5. පැණියා,
    බොහොම ස්තුතියි ඔබට , මෙම වයස ගැන වගකීම මුලින්ම එන්නේ කාන්තාවට , අයගේ වයස වැඩිනම් අර කිව්ව වගේ තත්ත්ව ඇති වෙන්න අවදානම වැඩියි , එත් පිරිමියාගේ වයසත් වැඩි වීමේදී සංසේචනයක් වීමේ හැකියාව අඩුවෙන්න පුළුවන් , එමඟින් සපලතාව අඩුවෙන්නට ඉඩ තිබෙනවා


    ඇත්තෙන්ම දරුවෙක් හදා ගන්න එක , විශේෂයෙන්ම කරදරයක් නැතිව නිරෝගී දරුවෙක් බිහි කරගන්නවා කියන එකත් අමාරු වැඩක්

    ReplyDelete
  6. බොහොම වටිනා ලිපියක්. Folic acid ගැන මා හරියටම දැන සිටියේ නෑ.
    අනිත් කරුනුත් හරි වදගත්....
    ඊයේ මට විවාහක දරුවන් නැති තරුන යුවලක් හමු උනා මිතුරියකගේ ගෙදරදී. එයාල ගොඩාක් වෙද්දු පස්සේ ගිහින් ඒත් දරුවන් නෑලු. ඒත් ආගම දහමට එච්චර නැඹුරු නැති බවක් පෙනුනා. මීට පෙර වෙද ගෙදෙරිනුත් මේ ඔබේ ලිපියෙනුත් පැහදිලිනේ අනිවාර්යෙන් බුදු දහමෙනුත් විශාල පිහිටක් ලැබෙන බව.....
    ඉතින් මා ඒ තරුනියට අවවාද කලා නිතර නිතර පන්සල් යන්නත් ..ඒ පිලිබද යහපත් ප්‍රාර්ථනාවන් කරන්නටත්....

    ReplyDelete
  7. Gimhani,
    ඔව් ගිම්හානි ,අපේ ජීව පද්ධති වල නිසි ක්‍රියාකාරීත්වයට මානසික තත්ත්වයේ සෘජු බලපෑමක් තිබෙනවා , නමුත් මෙහිදී විවාහයෙන් පළමු වසර අවසාන වන තුරුත් පිළිසිඳ ගැනීමක් වී නැතිනම් වඩාත් සුදුසු Infertility පිළීබඳ විශේෂඥ ප්‍රතිකාරයකා යොමු වීම , (විශේෂයි: නිසි විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරයකට - මොකද එවිට infertile වීමට හේතු හොයාගෙන , එය නිවැරදි කරමින් , හෝ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් සංසේචනයක් කරගන්නට පුළුවන් ,
    පහත් link එකෙන් ඒ අයට තව තොරතුරු සොය ගන්නට පුළුවන්
    ස්තුතියි ගිම්හානි --
    http://www.lankahospitals.org/data/medical_facilities/fertility.html

    ReplyDelete
  8. ගොඩක් වැදගත් තොරතුරු එකතුවක්.බොහොම පින්!

    අය්ය මම් ඇහුව බැන්ද ගමන්ම වගේ අපි ලියාපදිංචි වෙන්න ඕනේලු මිඩ්වයිෆ් ලග.ඒක ඇත්තද?

    අර ඉස්පිරිතාලෙන් දෙන පෙති හෙන ගදයි,අක්ක බබා ලැබෙනන් ඉද්දි ක්ලිනික් ගියාම දුන්න ඒ විටමින් පෙති.නහයට ලන් කලාම බුවැ...ක් ගානව,වමනේ යන්න එනව ඒවල සුවදට.

    ReplyDelete
  9. නදී ,
    ඔව් මෙලෙස ලියාපදිංචිවීම වෙනත් රටවල නම් අනිවාර්යයි , නමුත් ලංකාවේ එවැන්නක් ප්‍රායෝලිකව දකින්න අමාරුයි , හැබැයි පිළිසිද ගැනීමක් හදුනගත් වහාම වත් එම ලියාපදිංචිය විය යුතුයි,

    එම පෙති වල ටිකක් අප්‍රසන්න ගඳක් එන්න පුළුවන් , ඒ වගේම ඒ කාළෙට කොහොමත් පොඩි හරි සුවඳකින් හෝ ගදකින් වුනත් වමනය එන්න ඉඩ තිබෙනවා , මේ පෙති ගොඩ වෙනුවට , සියල්ල එක් කර තැනූ තනි capsules ඖෂධ වෙළඳපොලේ තිබෙනවා , තරමක මිලක් වැයවුනත් අවස්ථාවේ හැටියට කැමතිනම් ඔබට එවැනි option එකක් තෝරා ගන්න පුළුවන් ,
    ස්තුතියි නදී -

    ReplyDelete
  10. ස්තූතියි පැහැදිලි කිරීමට.

    ReplyDelete
  11. ගුරැ පියානණී රැබෙල්ලා එන්නත විදපු කෙනෙක් දරැ පිළිසිද ගැනිමට මාස 3ට කලින් නැවතත් එම එන්නත ගත්තොත් එය අහිතකරද? එය ඡිවිතයේ එක වරක් පමනක් ගත යුතු එන්නතක්ද? ඒ ගැන ටිකක් පහදා දෙන්න.

    ReplyDelete
  12. nadeesha ,
    නැවත ගැනීමේ අවශ්‍යතාවයක් එන්නේ පළමු එන්නතෙන් ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොලැබීයයි තහවුරු වූ අවස්ථාවක පමණයි , සාමාන්‍යෙයන් එක් වරක් පමණක් ගැනීම ප්‍රමාණවත් , අනිවාර්යයෙන්ම එන්නත සහ ගැබ් ගැනීම අතර අවම මාස තුනක වත් පරතරයක් තිබිය යුතුමයි .
    ස්තුතියි දුව ....

    ReplyDelete
  13. ඉතාමත් වටින ලිපියක ස්‌තූතී...
    පිරිමිය දුන් බීමට අවු 5ක පටන් අබ්බෙහි ඌ අයෙක්‌නම් මස තුනක්‌ට පෙර නැවැත්වීම ප්‍රමන්ණවත්ද? ඔබගේ උපදෙස්‌
    ස්‌තූතී...

    ReplyDelete
  14. සොදුරු මිනිසා,
    වඩාත් හොඳයි ඊට පෙර නවත්වන්නට පුළුවන් නම් මොකද දුම්බොන හැම වාරයකදිම එම සෛල වලට යම් හානියක් වෙනවා , නමුත් අවම වශයෙන් මාස තුනකටවත් පෙර නැවැත්වීම යම් තරමකින් හරි අවදානම වලක්වා ගැනීමට වැදගත් ,
    ස්තුතියි ඔබට -

    ReplyDelete
  15. ස්තූතියි.මමත් ඔබෙන් අහන්න හිතුව දේ ටික ඔබ කියා දුන්නා.

    ReplyDelete
  16. sri,
    සතුටුයි , ඔබ යම් දෙයක් දැන ගත්තානම් , ස්තුතියි.

    ReplyDelete
  17. ගොඩක් අය කෙට්ටු වෙන්න බෙහෙත් ගන්නවා. ඒ අයට මේ කරුණෙදි ප්‍රශ්ණයක් වෙන්න ඉඩ තියෙනවද ?

    ReplyDelete
  18. chamari .
    මීට පිළිතුර 47 සටහනේ දක්වා ඇත කරුණාකර එම පිළිතුරු සටහන බලන්න.
    ස්තුතියි

    ReplyDelete
  19. බොහොම ස්තූතියි ලිපියට, ජය

    ReplyDelete
  20. බුද්ධික කසුන් ,
    ස්තුතියි ඔබට

    ReplyDelete
  21. wooow
    oyata godak sthuti api ekka meka beda gathata

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)