2011/08/23

49) “ටින් කිරි“ නොවන රං කිරි කතාව ...



ආදරේ ...
අද තමයි දවස ,  ඒ කියන්නේ ඊළඟ post එක සකසන්න දවස.එක ලිපියකින් ඉවර කරමු කියලා පටන් ගත්තත් අද වන විට එය ලිපි හතරක් දක්වාම විහිදිල ගිහින් , කමක් නැහැ , මේ තුලින් යම් පිරිසක් ප්‍රයෝජනයක් ගන්න බව වැටහෙන නිසා ඉතිරි ලිපි ටිකත් ලියන්න ඕන. අද අපි කතා කරන්න ඕන මව්කිරි සහ මව් කිරි ලබා දීම ආශ්‍රිත කරුණු ගැන , මොකද කිරි දෙන විදිය දැන ගන්න ඕන “බබාව හම්බ වුනාට පස්සේ නෙවි , ඊට ඉස්සර වෙලා ඒ ගැන දැන ගෙන සිටීම හරිම වැදගත් , විශේෂයෙන්ම එන්න ඉන්න අළුත් අමුත්තාට.


හොඳයි එහෙම නම් අපි අපේ කතාව පටන් ගනිමු නේද ? ,


හිනා යනව අහනදේට නේද ?
දැන් අපි ඇහුවොත් අළුත උපන් දරුවාට තිබෙන හොඳම ආහාරය මොකක්ද කියල , අනිවාර්යයෙන්ම ඔබ කියාවි මව් කිරි කියල , මොකද ඒ මතය අද ඒ තරමටම සමාජගත වෙලා තිබෙනවා, එය එක් අතකින් සතුටක් , ඒත් මතයක් ලෙසට එළෙස සමාජ ගතවුනත් ප්‍රායෝගිකව එක ක්‍රියාත්මක වීමේ නම් යම් යම් ගැටළු පවතින් බව අද හදුනාගෙන තිබෙනවා. ඒ කිව්වේ “නිසි කාළ සීමාව පුරාවටම තම දරුවාට මව් කිරි ලබා දීම “ කියන අවශ්‍යතාව තවමත් සාර්ථකව ඉටු නොවන බවයි පර්යේෂණාත්මකව සොයාගෙන තිබෙන්නේ.එහි යම් සංවර්ධනයක් මේ වන විට ලබා තිබෙනවා ,


 ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ සමස්ථ දරු පැටවු ප්‍රමාණයෙන් 34.8% ක් තරම් ප්‍රමාණයක් විතරයි මාස හයක් පුරාවට තම අම්මගේ කිරි පමණක් ලැබීම කියන වාසනාව ලැබිල තියෙන්නේ. ඒ කියන්නේ තවමත් වැඩි දරු සංඛ්‍යාවක් එයාලගේ මුල් මාස හය ඇතුලත කිරි වලට අමතරව වෙනත් ආහාරත් ලබා ගන්නවා , විවිධ හේතු ඇති ,  ඒත් මෙය අවාසනාවන්ත තත්ත්වයක් , මොකද මව් කිරි කියන්නේ , කිරි බීමක් විතරක් නොවෙයි , එය පුංචි එකාට හොඳ බෙහෙත් මඩිස්සලයක් , ලෙඩ රෝග වලින් පැටිය බේරගන්න අවශ්‍ය ප්‍රතිශක්ති හැකියාව මේ මව් කිරි වල තිබෙනවා. ඒ විතරද දරුවාගේ මානසික තෘප්තිය ,  තමන්ගේ අම්ම ගැන සෙනෙහස පුබුදුවන පුදුමාකාර දියරයක්. 


පොඩි සතුටුදායක දෙයකුත් තිබෙනවා කියන්න , ලෝකයේ අනෙක් රට වලට සාපේක්ෂව අපේ කළාපයේ රටවල මාස හයක් දරුවාට මව් කිරි පමණක් දීම (exclusive breast milk for six moths කියන තත්ත්වය ඉහළ අගයක තිබෙනවා , ඒත් පහුගිය වසර දහය පුරාවට එම තත්ත්වය එතරම් යහපත්ව ඉහළ ගිහින් නැහැ . අපි 44% ඉඳළ 45% දක්වා පමණයි අවිත් තියෙන්නේ , නමුත් යුරෝපීය රටවල් , අප්‍රිකානු රටවල් එම අගය සීඝ්‍රව ඉහළට ගෙන ඇවිත් තිබෙනවා , 


බබා ලෙඩ වෙලා ..
මේ අනතුර සංඛ්‍යාත්මකව කිව්වොත් 2006 දි ලෝකය පුරා අවුරුදු පහට අඩු දරු පැටවු ලක්ෂ 95ක් පෝෂණ ගැටළු නිසා පොලොවට පස් වෙලා තිබෙනවා , මෙයින් වැඩි දෙනෙක් තවමත් අපි අතර , නිසි කළ දක්වා මව්කිරි දෙන්නට අවස්ථාව ලැබුණානම් . මෙයින් අපි වාගේ රටවල ඉන්න අවුරුදු පහට අඩු පැටියෙක් පාචනය , නියුමෝනියාව හෝ හෝ වෙනත් ආසාදන infections මත මිය යාමේ හැකියාව , මව් කිරි ගන්නා දරුවෙක්ට සාපේක්ෂව 6-10 ගුණයකින් විතර වැඩි බවත් දැන් හදුනාගෙන තිබෙනවා . පේනව නේද ඔබේ දරු පැටියට මව් කිරි දීමේ වැදගත් කම , ඕං දැං ඉතින් පහේ පන්තියේ ඉන්න බබා ළඟට අරගෙන කිරි දෙන්න හදන්න එපා , අපි මේ කියන්නේ මුල් මාස හය අනිවාර්යයෙන්ම මව් කිරි දීමත් එතැන් සිට අවුරුදු දෙක දක්වා වත් වෙනත් ආහාර සමඟ මව් කිරී දීම කියන කරුණ ගැනයි.


හය වෙනකං කුක්කු දෙනවා (බොනවා)
මේ අනතුර හදුනාගත් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ UNICEF ආයතනය මේ ගැන වැදගත් හදුන්වාදීම් දෙකක් කරනවා ,  ඒ දරුවාට මාස 6ක් වන තුරු මව් කිරි පමණක් අනිවාර්යය exclusive breastfeeding for 6 months, අනෙක එතැන් පටන් අනෙක් ආහාර දීම ආරම්භ කළත් අවුරුදු දෙක දක්වාවත් මව් කිරිද ලබා දිය යුතුයnutritionally adequate and safe complementary feeding starting from the age of 6 months with continued
breastfeeding up to 2 years of age or beyond .


ඇත්තටම ඇයි මේ විඳ්‍යඥයින් , පර්යේෂකයින් ලෝක සංවිධාන , මව් කිරි දීම ගැන මේ තරම් පෙළඹවීම් කරන්නේ  ?  මේකයි හේතුව මව් කිරි කියන්නේ දරු පැටිය වෙනුවෙන්ම ලැබෙන මිල කරන්න බැරි තරම් සම්පතක් නිසා .අපි ටිකක් හොයල බලමු මේ මව් කිරි ලබා දීමෙන් මවට  ඒ වගේම දරුවට ලැබෙන ප්‍රයෝජන , වාසි මොනවාද කියල ,


මුල්ම සහ වැදගත්ම කරුණ ,  දරුවාගේ වයසට සරිලන පෝෂණ සහ ශක්ති අවශ්‍යතා නිවැරදිවම සපයන මාධ්‍ය මව්කිරි , විශේෂයෙන්ම මාස හය දක්වා දරුවාගේ පෝෂණ සහ ශක්ති අවශ්‍යතාවය 100%ක්ම සපුරන්න මව් කිරි වලට පුළුවන් . ඒත් හොඳට මතක තියා ගන්න මාස හයෙන් පස්සේ එම අවශ්‍යතා සම්පුර්ණයෙන් සපුරන්න මව් කිරි වලට බැහැ , ඒ නිසා ඒ ඒ කාළෙට වැඩිවන අමතර ප්‍රමණයට , අනිවාර්යයෙන්ම වෙනත් ආහාර ලබා දෙන්නට ඕනමයි , මාස හයෙන් පස්සේ මව් කිරි වල තිබෙන යකඩ ප්‍රමාණය , දරුවාගේ අවශ්‍යතාවයට කිසි සේත් ප්‍රමාණවත් නැහැ , මේ නිසා තමයි අපේ සමහර දරුවන් මාස නමය විතර වෙනකොට  ඇඟේ ලේ අඩුයි කියල වෛද්‍යවරුන් හඳුනගන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මාස හය දක්වා මව් කිරි දුන්නත් ඉන් ඉදිරියට වෙනත් ආහාර එක් කිරීම , විශේෂයෙන්ම මස් , මාළු , කොළ එලවළු වැනි යකඩ අඩංගු ආහාර එකතු කිරීම හරිම වැදගත් , මම මෙතැන යකඩ ගැනම කිව්වේ මේ කාළෙටත් එම ආහාර එක්ක මව් කිරි දෙනවා නම් අනෙක් පෝෂක සෑහෙන ප්‍රමාණයක් මව් කිරි වලින් ලැබෙන නිසා .


මෙන්න රත්තරං (,)කිරි 
දෙවැන්න , මව් කිරි වලට පුළුවන් දරුවා බොහෝ රෝග සංඛ්‍යාවකින් බේරා දෙන්නටත් , විශේෂයෙන්ම මුල් දින කිහිපය තුල ස්‍රාවය වන කෙලෙස්ට්‍රම් කියන රං කිරි liquid goldදියරය ඒහිදි ලොකු වැඩක් කරනවා ,  ඒ දියරය තුල පෝෂණ මෙන්ම පැටිය රෝග වලින් බේරා ගැනීම සඳහා ස්වභාවික antibodies වර්ග ගණනාවකුත් අඩංගු වෙලා තිබෙනවා, එ මගින් දරුවා කන් ආසාදන , පාචන තත්ත්වයන් , ශ්වසන පද්ධතියේ ආසාදන තත්ත්ව , ළමා දියවැඩියාව මෙන්ම සමහර පිළිකා තත්ත්ව මතුවීම වලක්වා ගැනීමේ හැකියාවත් , අසාත්මිකතා වලට ඔරොත්තු දීමේ හැකියාවකුත් මේ කොලෙස්ට්‍රම් වලින් දරුවට ලැබෙන බව අද සොයාගෙන තිබෙනවා. මේක දරුවාට නොමිලේ ලැබෙන මිල කරන්න බැරි ආරක්ෂකයෙක් , ජීව පංචායුධයක් මේ ...


ඒ වගේම මව් කිරි මගින් දරුවාගේ ආහාර ජීරණ පද්ධතිය , නැත්නම් බඩවැල් හොඳට සකසනවා , ඒ කියන්නේ “පැටියගේ බංඩියටත් “ හොඳයි , ඒ නිසා ඉදිරි කාළයේදි දරුවා ගන්න ආහාර උරා ගැනීම හොඳින් කරන්න එය වැදගත් ,  ඒවගේම පොඩි කාළෙ විය හැකි “බඩවැල් නරක් වීම N.E.C (Necrotizing enterocolitis )“ කියන අනතුරුදායක තත්ත්වයත් ඇතිවීම වලක්වනවා , දන්නවද මේ ලෙඩෙත් අපේ පුංචි පැටව් අපෙන් උදුරගන්න හේතුවක් වෙනවා.


මොලේ ඇතුව වැඩ කරන්න D.H.A 
ඒ වගේම ඔබ බලාගෙන ඉන්න බුද්ධිමත් දරුවෙක් බිහි කරන්නත් මේ මව් කිරි වැදගත් , මව් කිරි වල තිබෙන මේද අම්ල සහ ප්‍රෝටීන මගින් දරුවාගේ මොළයේ වර්ධනය සිඝ්‍ර කරන බවත් එමඟින් පැටියගේ බුද්ධි ඵලය හෙවත් I.Q. ඉහළ අගයක පවත්වා ගන්නට හැකි වන බවත් හදුනාගෙන තිබෙනවා ,  ඒත් මේකට නිශ්චිතම සාධකය , මව් කිරි වල කුමන සංඝටකයද යන්න ස්ථිරව ප්‍රකාශ නොකළත් මව් කිරි වල තිබෙන D.H.A. docosahexaenoic acid කියන මේද  අම්ලයත් ඇරැකිඩොනික් ඇසිඩ් A.R.A නම් මේද අම්ලයත් එකතු වෙලා මොළයේ සෛල සහ ස්නායු සෛල හැදිමට දායක වන බව ප්‍රකාශවෙනවා , ඒ නිසා මව් කිරි වලින් එන ස්වභාවික D.H.A. සහ A.R.A දරුවාගේ බුද්ධී වර්ධනයට දායක වන බව කියන්න පුළුවන් , ඔන්න දැන් ඔබට මතක් වේවි අර ටී වී  එකේ යන දැන්වීම් “D.H.A. අඩංගු කිරි පිටි ......“ , ඔය හරක් කිරි වල , මිනිස් දරුවෙක්ගේ බුද්ධි ඵලය  හදන්න තරම් ප්‍රමාණවත් D.H.A / A.R.A නැහැ , ඔය වෙළඳ සමාගම් කරන්නේ , සාමාන්‍ය කිරි පිටි වලට කෘතිමව හදපු මේ මේද අම්ල දෙක එකතු කරනවා , නමුත් මේ කෘතිම D.H.A. හෝ A.R.A මගින් අපි මුලින් කී කාර්යය නිසි ලෙස ඉටු නොවනවා මෙන්ම  , ඒ කෘතිම මේද අම්ල නිසා දරු පැටියට වෙනත් රෝග තත්ත්ව විශේෂයෙන් උදරයේ රෝග තත්ත්ව ඇති කරන්නත් ඉඩ තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා මහ ගොඩක් මුදල් දීල “ලොකු නමක් “ තියෙන හරක් කිරි දෙනවට වඩා තමන්ගේ පැටියට තමන්ගෙන් ලැබෙන “මිනිස් මව් කිරි “ දීම කොයි තරම් වටිනවාද ?


මේ උණුසුම් ආදරේ ...
ඔන්න දැන් වැදගත්ම දේ , මව් දරු ආදරය , සෙනෙහස , බලන්න මවක් තමන්ගේ දරු පැටියට කිරි දෙන වෙලාවට මුහුණෙ තියෙන “වෑහෙන දරු සෙනෙහස“ , පැටියටත් එහෙමම මයි ,  මව් කිරි දීම මගින් ඇතිවන මේ මව් දරු ස්නේහයත් , දරුවා පිරිපුන් පුද්ගලයෙක් කරන අඩිතාලමක් බව මතක තියා ගන්න.විශේෂයෙන්ම එහිදි මවගේත් දරු පැටියාගෙත් සම එකිනෙකට ගැටෙන එක හරිම වැදගත් , ඒ උණූසම හුවමාරුව අපි නොදකින හාදයාංගම බැඳිමක සේයාවක් .


එච්චර නොවෙයි , දරුවට කිරි දෙන නිසා අම්මටත් වාසියි , මොනවද ඒ , වැදගත්ම වාසිය , පැටිය බිහිකරල මේ වෙලාව වෙන කොටත් ටිකක් තුවාලවෙලා ඇදිල තියෙන ගර්භාෂයේ ලේ වැගිරීම් අඩු කරල , නැවත එය සාමාන්‍ය පිහිටුමට ගෙන එන්නට වැදගත් ඔක්සිටොසින් කියන හොමෝනය ස්‍රාවය වීම , කිරි දෙන විට වැඩි වෙනවා ,  ඒ වගේම දරුවට කිරි දීම නිසා මව , තමන්ට ඇතිවිය හැකි පිලිකා තත්ත්ව කිහිපයකිනුත් ආරක්ෂා වෙනවා , විශේෂයෙන්ම පියයුරු සහ ඩිම්බකෝෂ වල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්නට මේ මව් කිරි දීමට පුළුවන් .අනෙක් මේ විදියට කිරි දෙන කාළ සීමාවේ යම් තරමකින්  උපත් පාලනය කිරීමේ හැකියාවකුත් තිබෙනවා , (එත් එය 100%ක්ම සාර්ථක ක්‍රමයක් නොවෙයි ) 


තේ ටිකක් බොමුද ?
බබාට දෙන කිරි ගැන කියවල දැන් නං ටිකක් මහන්සියි , පොඩි විවේකයක් අරගෙන කිරි තේ එකක් එහෙම බීලා එමුද ?


හරි ඕන්න මව් කිරි වල වැදගත් කම කතා කරා , තවත් කරුණූ බොහොමයි , ඔක්කොම ලියන්න ගියොත් ටිකක් boring වෙන්න පුළුවන් , ඒ නිසා අපි දැන් අපේ පීල්ල ටිකක් එහා මෙහා කරමු .


දැන් එහෙනම් අපි කතා කරමු මෙච්චර වටින්න මව් කිරි වල මොනවද තියෙන්නේ කියලා .


මව් කිරි වල වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ ජලය , ඊට අමතව මේදය , ප්‍රෝටීන , කාබොහයිඩ්‍රෙට් , විටමින් සහ විවිධ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වර්ග අඩංගුයි , ඊට අමතරව anti infective factors ලෙස හැදින්වෙන දරුවාට ප්‍රතිශක්තික හැකියාව ලබා දෙන සංයෝග ගණනාවක් වගේම පැටියගේ පුංචි බඩවැල් , හොඳට වැඩෙන්න , දිරිවීමේ හැකියාව වැඩි කරනBile-salt stimulated lipase වගේම  Epidermal growth factor නම් ප්‍රෝටීන් මිශ්‍රණයත් නොමිලේ මව් කිරි එක්ක දෙනවා . 




ඕන්න එහෙනම් පෝටිං , ඒ ටිං මේ ටිං ගැන කතා කරල ඉවරයි දැන් ...දැන් අපි කතා කරන්න යන්නේ ලෝකයේ සොඳුරුම දන් දීම ගැන  නැත්නම් මව් කිරි දෙන විදිය ගැනයි කතා කරන්නේ , 


බැඳිම ....
ඇත්තටම මොන වෙලාවෙද පැටියට කිරි දීම ආරම්භ කරන්න ඕන  ? සමහර විට මේක ප්‍රශ්නයක් , ඒත් අද දරුවන් බිහිවිම රෝහල් තුල සිදු වන නිසා මේ ගැටළුව එච්චර ප්‍රශ්නයක් නෙවි. දරු පැටියා බිහිවෙලා හැකි ඉක්මණින් කිරි දීම ආරම්භ කරන්නට ඕන , කොහොම වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ දරුවා බිහිවී පැයක් ඇතුලත මව් කිරි දීම ආරම්භ කරන්න ඕන කියලයි , දැන් ඉතිං පැයක් බලං ඉන්න එපා , පුළුවන් ඉක්මණින් කිරි දෙන්න පටන් ගන්න , ඒක පැටියට වගේම මවටත් හොඳයි , අපි කීවනේ අර ඔක්සිටොසින් ක්‍රියාකාරීත්වය නිසා ගර්භාෂය ඉක්මණින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අනෙක මුලින්ම එන කොලෙස්ට්‍රම් ටික දරුවට ඇතුළු වෙන එන හරි වැදගත් මොකද , තව ටික වෙලාවකින් එයාගේ ඇඟ ඇතුලට අපිටත් හොරා , අපේ ඇසට නොපෙනෙන කුඩා අංශු ඇතුළුවන්න පුළුවන් , මොකද පැටිය තව ටිකකින් ඇඟිලි උරන්න , අත ලෙවකන්න පටන් ගන්නවා ,  ඒවෙනකොට කොළෙස්ට්‍රම් ඇඟ ඇතුළේ තිබුණොත් ඇතුළු වන විෂබීජ ගැන එයා බලා ගනීවි , පැටියට කරදරයක් වෙන්න කොළෙස්ට්‍රම් ඉඩ තියන්නේ නැහැ.


මේං අම්මගේ හුරතලේ ...
මේ ඉක්මණින් කිරි දීමේදි පැටියට ලැබෙන කිරි විතරත් නොවෙයි වැදගත් , තව වැදගත් දෙයක් තිබෙනවා ,  ඒ මව් කිරි නිශ්පාදනාගාරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ප්‍රධාන හොමෝන වන ඔක්සිටොසින් සහ ප්‍රොලැක්ටීන් කියන දෙන්නා ඇති තරම් හැදෙන්නට , උනන්නට වැදගත් සිද්දියක් මෙතැනදි වෙනවා ,  ඒ තමයි අම්මගේ සම සහ දරුවාගේ උණූසුම් සම ස්ඵර්ශවීම , මේ සිදුවීම හරිම වැදගත් , ඒ නිසා තමයි අද කියන්නේ කිරි දෙන අතරේ , වගේම කිරි දෙන්නට ඉස්සර වෙලා දරුපැටියට අම්මගේ පපුව මත පියයුරු අතර හුරතල් වෙන්න දෙන්න කියලා ,  ඒ ආදරණිය සුරතලය නිසා කිරි ෆැක්ටරියේ වැඩ ලේසි වෙන බව ඔබ දන්නවාද ?


කොහොමද හොඳට කිරි දෙන්නේ කියල ඇහුවුවොත් මේකයි කියන්න වෙන්නේ , ප්‍රධානම දේ පැටියට කිරි දෙන්න  මවක් හැටියට ඔබ “සූදානම් වෙන්න“prepare  ඕන , පෙර දැනුවත් වීම , ඔබේ පෝෂණය යහපත්ව පවත්වා ගැනීම , ශාරීරික පිරිසිදුකම විශේෂයෙන්ම අම්මගේ අත් හොඳින් සෝදා සිටිම , මේ හැම දෙයක්ම වැදගත් , මෙතැනදි බබාලගේ තාත්තටත් ලොකු වගකීමක් තිබෙනවා , බබාලගෙ අම්ම කරන්නට යන සුන්දරම දන් දීමට ඔබටත් උදව් වෙන්න පුළුවන් , තාම අම්මට දරු පැටිය අල්ලල හරියට තියා ගන්න බැරුව ඇති , 
සොඳුරුම මොහොත ..
නැත්නම් පැටියගේ ඔළුව පරිස්සමට අල්ලගන්න බැරිව ඇති ,ඒ විතරද බබාලගේ අම්මමේ වෙනකොට තවත් පොඩි පොඩි වේදනාවන් එක්කයි ඉන්නේ , ඔබට පුළුවන් ඇයට සහය වෙන්න , ළං වෙන්න ඇයට ආදරෙන් , ඔබේ පැටියට ආදරෙන් , අම්මයි තාත්තයි දෙන්නම පැටියට කතා කරන්න , තොදොල් හුරතල් වචන ටිකක් ...පැටිය කන හරවගෙන අහගෙන ඉන්නවා නේද එතකොට ... , දරු පැටියගේ මුව ලං කරන්න ඔබේ පියයුරට . ඒ සුමුදු උණුසම් සම ඔබේ පියයුරේ ගෑවෙන්න සලස්වන්න බබලගේ අම්මේ , දැන් පොඩ්ඩා ටිකක් එහෙට මෙහෙට දඟලලා හරියටම නිපලය හොයාගෙන තමන්ගේ වැඩේ පටන් ගනීවි , ලොකු ලොකු දේවල් කරන්න එපා නිපලය හොදා දෙන්න , එයා හිමීට හොයා ගනීවි මොකද අපි නොදන්න එයා දන්න සුවඳක් මෙතන තියෙනවා නේද ? (හැබැයි හරියට දරු පැටියට නිපලය ඇතුලුවීමේදි අම්ම ටිකක් උදව් කරන එක හොඳයි, හැබැයි කළබලේට බලෙන් ඔබන්න යන්න එපා crack nipple වෙලා විඳවන්න වේවි. )මේ තමයි මම දකින ලෝකේ තියෙන සුන්දරම මොහොත ....


මේ සුදානම් විම තුල ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන , පැටියත් එක්ක ටික වෙලාවත් රැදෙන්න පුළුවන් තැනක් (place) තෝර ගන්න , විශේෂයෙන්ම ටික වෙලාවක් ඉන්න වෙනවා ,අනෙක පැටිය පරිස්සමට රඳවගන්න ඕන , මේ නිසා හොඳ පහසු පුටුවක් , නැත්නම් ඇඳ උනත් කමක් නැහැ . 


Cradle hold, breastfeeding photos, breastfeeding positions, breastfeeding pictures
මේ තමයි cross cradle position එක
දැන් ඉතින් හරි position එක තෝර ගනිමු ,  ඒ කියන්නේ කිරි දෙන අවස්ථාවේ දරු පැටිය රඳව ගන්නේ කොහොමද කියන එක , විවිධ ක්‍රම තියෙනවා , 


lying down while breastfeeding
lying positionඑකයි මේ 
එයින් පහසු , අවස්ථාවට ගැලපෙන ක්‍රමයක් තෝර ගන්න ඔබට පුළුවන් , මේ මොන ක්‍රමයට රඳවගත්තත් හැම අවස්ථාවකම දරුවගේ පහසුව , ආරක්ෂාව වගේම මවගේ පහසුවත් බලන්න ඕන , මොකද මව වේදනාකාරී තත්ත්වයකනම් ඉන්නේ කිරි නිශ්පාදනය අඩු වෙන්න පුළුවන් ,මොකද අර හොමෝන වල ක්‍රියාකාරීත්වය සහ මානසික තත්ත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. (බබාගේ අම්මගේ හිත සතුටින් තියන්න ඕනි මහත්තයෝ නැත්නම් බබාටයි කිරි නැතිවෙන්නේ ) ,
 ඒවගේම දරුව හොඳට මවට පෙනීමත් වැදගත් , දෙන්නාගේ සම හොඳින් ගැටෙන එකත් ඒ වගේම වැදගත් , 


අපි ටිකක් බලමු ඒ කිරි දීමේ ස්ථාපිත මොනවද කියලා .නම් වශයෙන් ගත්තම ආකාර කිහිපයක් තිබෙනවා , ඒවා අපි නම් කරන්නේ නම් cradle position , cross cradle position , foot ball position යනාදි විදියට .මොන විදියට වුනත් වැදගත්ම දේ තමයි පැටියට පහසුවෙන් කිරි උරා බොන්නට අවස්ථාවක් ලබා දීම වගේම මවට අදාල කාළ සීමාව පහසුවෙන් ගත කිරීමට හැකිවීම.මේ position ගැන කියවනවට වඩා වටින්නේ බලන එකනේ , මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක්ම බලන්න ,


වැරැද්දක් නේද ...මේ වෙලාවට හොඳට කිරි පෙවෙන්නේ නැහැ 
මේ මොන ක්‍රමය තෝර ගත්තත් තව වැදගත් දෙයක් ,  ඒ තමයි මවගේ පියයුර , නිපලය හොඳින් පැටියගේ මුව තුලට ඇතුළු වෙලාද කියන එක අපි එයට කියන්නේ latch on කියලා , ඒ ගැන හොඳ practice එකක් තිබෙන්න ඕන , බය වෙන්න එපා ඔබට පුළුවන් එය හඳුනාගන්නට. හොඳින් එය සිදු වෙලා නම් ඔබේ ඇරියෝලාවේ වැඩි ප්‍රමාණයක් පැටියගේ මුව තුලට ඇතුළු වෙලා තියෙන්න ඕන . අනික පියයුර ටිකක් ඇතුලට ඇදිල තිබෙන ගතියක් දැනෙනවා , විශේෂයෙන්ම නිපලය දරුවගේ මුව තුලදී තෙරපිලා ටිකක් ඇතුලට ඇදෙනවා , දරුවගේ දිවෙන් පියයුර හොඳින් තෙරපෙන බව ඔබට දැනේවි , පැටියගේ නාසයත් පියයුරට හුඟක් ළං වෙලා නේද පොඩ්ඩගේ නිකටත් පියයුරේ ගැවෙන තරම්  , 
හොඳට latch on වෙලා නේද 
දැන් ඔබට පෙනෙන්නේ පැටිය කට ලොකුවට පියයුරත් එක්ක සම්බන්ධවෙන නිසා , නිපලයෙන් නෙවි ඔබේ පියයුරෙන් කිරි උරනව වගේ නේද ? එය හොඳ තත්ත්වයක් , මේ විදියට හොඳට නිපලය සහ දරුවගේ මුව සම්බන්ධ වුනා නම් බලන්න දරුවගේ උගුර දිහා , වරින් වර රිද්මයානුකූලව කිරි ගඟ ගලන හැටි ,  ඒ හඬත් ඔබට ඇහේවි , මේ තත්ත්වයේදි අම්මට තද වේදනාවක් දැනෙන්නට විදියක් නැහැ , නිපලය හරියෙන් තද වේදනාවක් දැනෙනවනම් හරියට නිපලය දරුවට ඇතුළු වෙලා නැහැ , දැන් පැටියට කිරි ටික බොන්න දෙන්න , ඊළඟ වතාවෙදි ටිකක් සැලකිලිමත් වෙන්න. හොඳට මතක තියා ගන්න , කිසි වෙලාවක පැටියගේ මුවෙන් නිපලය අදින්න එපා , පියයුර තුවාල වෙන්න පුළුවන්.latch on ගැනත් විඩියෝ එකක් බලා ගන්නකෝ 



දැන් පේනව නේද පැටියට කිරි දෙන එකත් හරියට දැන ගෙන කළොත් තමයි වඩා ප්‍රෙයෝජනයක් ලැබෙන්නේ , එතනදි මේ 5 P  හරිම වැදගත්  , ඒකිව්වේ Prepare(සූදානම) , Position (නිවැරදි ස්ථාපිතය ) practice (හුරුව) ,Patience(කරුණාවන්ත ඉවසිලිවන්ත බව)  ,Persistance (දිගින් දිගටම සිදුකිරීම)  .


ෂහ් ...කුක්කු ටිකක් ලැබුණ නම් .....
දැන් ඕං තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා , මොන වෙලාවට , නැත්නං පැය කීයෙන් කියටද කිරි දෙන්නට ඕන ?  මේ ගැන පෝෂණවේදීන්ගේ මතය නම් ඒ සඳහා සම්මත වෙලාවක් නැත්නම් schedule එකක් තියා ගන්න එක වැරදියි , පැටියට බඩගිනි වුන බව ඔබ හඳුනගත්තම , පැටියට කිරි ඕන කියල තේරුම් ගත්තම දෙන්න , කොහොමද බබාට බඩගිනි වෙලා කියල අඳුනගන්නේ ? අඬන එකෙන්මද ? නෑ ඔය අඬන්නේ බඩගින්නටම නොවෙන්නත් පුළුවන් , පුංචි පැටියට බයක් දැනුනම , මදුරුවෙක් කෑවම , අම්මගේ උණුහුම නෑ කියල දැනෙන කොට පොඩි එකා අඬනව , ඔය හැමවෙලාවටම කුක්කුව කටේ ගහන්න යන්න එපා , හැබැයි මුල් සතියේ නම් එහෙම වෙන්න පුළුවන් , මොකද ඒ සතියේ පැටියට හරියට බඩගිනි වෙනවා , පොඩි එකාට කිරිත් එපාවේවිද මන්ද ? දරුවට බඩගිනි බව හඳුනගන්න හොඳ ලක්ෂණ කීපයක් තිබෙනවා , බොහොම සරළම දේ පැටිය අත කටේ දාන්න හදනවා , එහෙම නැත්නම් අවට තියෙන දෙයක් ලෙව කනවා , තොල් දෙකෙන් පුංචි හඬක් දීල බලනව අම්මට තෙරෙනවද මගේ බඩගින්න කියලා , සමහර වෙලාවට කට ඇරළ  පියයුර දිහාවට ඇදෙන්න බලනවා, ටිකක් කළබල ගතියක් පෙන්වනවා , බඩගින්නට අඬන්නේ මේ විදියට කියන එකක්වත් හරි ගියේ නැත්නම් තමා  , ඔය වගේ ලක්ෂණ ගණනාවක් තිබේවි , එයත් දරුවගෙන් තව දරුවෙක්ට වගේම දරුවගේ වයසත් එක්ක වෙනස් වෙන්න පුළුවන් . කොහොමවුනත් මවක් දින කිහිපයකදි හුරු වෙනවා පැටියගේ බඩගින්න හඳුනගන්න .  කොහොමත් මුල් සති කිහිපය තුල පැය 2කට විතර කිරි දෙන්න වේවි , දැන් ඔරලෝසුව දිහා බලාගෙන ඉන්න එපා ..මම කීවේ දළ වශයෙන් පැය දෙකකට වරක් විතර කිරි දෙන්න වේවි .


වෙලාව දිහා නෙවි , බබා දිහා බලාන ඉන්න ...
කිරි දෙන්න ගත්තම විනාඩි කීයද කිය කියා බලන්න එපා , පැටියට ඇතිවෙන තෙක් කිරි දෙන්න , සාමාන්‍යෙයන් විනාඩි 20ක් විතර කිරරි බොන්නත් පුළුවන් , එයාට ඇති වුනාම බබා පියයුරෙන් අයින් වෙනවා , හැකි තරම් උත්සාහ කරන්න පියයුරු දෙකෙන්ම කිරි දෙන්න , නැත්නම් මේ වතාවේ වම් පියයුරෙන් දුන්න නම් ඊළඟට දකුණු පියයුරෙන් කිරි දෙන්න මතක ඇතුව . මෙ වගේ සමහර විට පැටියගේ බඩ පිරුණම නින්ද යන්නත් පුළුවන් , අම්මල හිතනව එතකොට පැටියට නින්ද ගියාට බඩගිනි ඇති කියලා , මෙහෙමයි කිරි දෙන වෙලාවට අම්මගේ පියයුරු ප්‍රෙද්ශය පැටියට හොඳට ස්ඵර්ශ වෙන විදියට තිබන්න , ඇඳුම් නිරාවරණය කරල පැටිය තුරුළට ගන්න , එහෙම අම්මගේ ඇඟේ ගෑවෙන වෙලාවට පැටිය නිදා ගන්නේ හොඳට කිරි බීලා ඉවර වුනාම තමයි , පොඩ්ඩක් පියයුර යටින් සී අකුරේ හැඩේට මහපට ඇඟිල්ලයි දබරඇඟිල්ලයි තියල යන්තමට පියයුරු තෙරපල බලන්න ඒ වගේම කිරි බොන අතරේ පැටියගේ පිට මෘදුව අතගෑමත් හොඳ උපක්‍රමයක් , බබා බොරුවට නිදි නම් ඔන්න ආයේ ඇහැරල කිරි බොනවා , අනේ නින්ද ගිය ගමන් පැටියගේ කන මිරිකළ , කකුල් කිති කවල බලෙන් නැගිට්ටවන්න එපා , අපිටත් තරහ යනවනේ එහෙම කළොත් නේද ? 




දොයි දොයි දොයි ගුඩුස් ගියා ....
හරි කොහොම හරි බබා කිරි දුන්න කියමුකෝ බලන්න පැටියගේ බඩ පිරිළ නේද ? දැන ගන්න සමහර විට මේ පිරුණු බව දෙන්නේ බීපු කිරි වගේම , ඒ අතරතුරේ උරා ගත්ත හුළං නිසාත් වෙන්න පුළුවන් , ඒ නිසා ඊළඟට කරන්න ඕන වැදගත්ම දේ දන්නවද ? ඒ තමයි “ගුඩුස් අරින එක ...“ මෙතැනදි කරන්නේ පැටිය කිරි උරා බොන වෙලාවේ බංඩි ගෙඩිය ඇතුලට උරාගත්ත වාතය ඉවත් කරන එක , මොකද මේ වාතය හරිම වාතයක් , ඉවත් නොකළොත් වෙන්නේ ඊළඟ වතාවේ කිරි බොන්නේ නැනැ , නැත්නම් බොන්නේ අඩුවෙන් , කිරි බිව්වත් ටික වෙලාවකින් කිරි වමනය දාන්න පුළුවන් , පැටියට වගේම අම්මටත් හරිම වේදනාකාරී , මොකද කරන්නේ , පැටිය හොඳට කිරි බීල ඉවර උනාම වඩා ගෙන පැටියගේ බංඩිය ඔබේ උරහිසේ උඩ දාරයේ රැදෙන විදියට රඳවගන්න තේරුං ගන්න පහසු වෙන්න මෙන්න රූපෙකුත් දැම්මා , 
මෙන්න ගුඩුස් යවන පෝලිම 
ඔන්න ඔය විදියට තියාගෙන පොඩ්ඩගේ පිටට ආදරෙන් පොඩි තට්ටුවක් දාන්න , රිද්මයකට පොඩි තට්ටු කිරීම් කිහිපයක් කරන්න , පැටිය ඔය විදියට වඩාගෙන ටිකක් ඇවිදින්න , ඔන්න ඔබට දැනේවි පොඩි හඬකුත් එක්ක ගුඩුස් ගියා , ඒ කියන්නේ හිරවෙලා තිබුණු වාතය ඉවත් වුනා , ඒ විදිය හරි නොගියොත් ඒ කියන්නේ විනාඩි දහයක් විතර ගියත් බඩේ තියෙන හුළං පිරිණු  ගතිය අඩු නොවුනොත් පොඩි සද්දෙ දාගෙන ගුඩුස් පිටවෙලා නොගියොත් දරුවා ඔබේ උකුළෙ වාඩි කරල වගේ තියාගෙන ඉන්න ටික වෙලාවක්  ඒ විදියට ඉඳිත්දි බොහෝවිට හරියාවි .කොහොම වුනත් මේකත් එක්තරා දක්ෂතාවයක් , හුරුවක් මේ වැඩේ වැඩිය හොඳට කරන්න පුළුවන් තාත්තලට , කවුරුවත් කරහ වෙන්න එපා , මොකද මේව ලියත්දි මගේ අත්දැකීම් මතක් වෙනවානේ , ඒ ගැනත් මෙන්න හොඳ වීඩියෝ එකක් 
දැන් මග බලාගෙන ඉන්නවනේ ..

මේ අපි කතා කළේ දරුවෙක් ලැබෙන්න ඉස්සර වෙලා ඇය දැන ගත යුතු කරුණු ටිකක් , කෙසේ වුනත් මේ කටයුතු වලදි පෙර දැනුවත් විම හරිම වැදගත් , බබා ලැබුණට පස්සේ වැඩේ වැරදුනොත් හානිය පැටියටනේ , ඒ නිසා අපි ටික ටික දැන ගනිමු මේ හැම දෙයක් ගැනම ..තව කියන්න දේවල් බෝමයි , ඒත් මට දැනෙන විදියට ලිපිය හුඟක් දිග වැඩිවුනා වගේ , ඒත් ඉතිං කිරි දෙන එක කොටස් වශයෙන් කරන ටෙලියක් වගේ බැහැනේ ඇතිවෙනකං කිරි දෙන්න ඕන , ඕං එහෙනං මං ගියා , ඇතිවෙන්න ඇති නේද ?




16 comments:

  1. අද මන් පලවෙනියා
    මේ වනතෙක්‌ දැනන් හිටියෙ කිරි බොන එකයි පොවන එකයි විතරයි..මේ ලිපි පෙල මට බොහොම වැදගත්.
    මගෙ නැනලානම් ගුඩුස්‌ අරින්න දෙන්නේ අපෙ අම්මට..
    ඒවගෙම තම බබා ලැබිල පැය කීපයක්‌ අතුලත මවු කිරි නොදුන්නොත් පියයුරු පිලික සැදෙන ප්‍රතිශතය වැඩී කියල අහල තියෙනව එක ඇත්තද?
    මුදී (සොදුරු මිනිසාම තමා)

    ReplyDelete
  2. -මුදී ,
    ඔව් මීට සම්බන්ධ පර්යේෂණ රාශියක් මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා , නමුත් මව්කිරි ලබා නොදීම සහ පියයුරු පිළිකා වැළදීමේ ප්‍රවණතාව වැඩිවීම කියන සාධක දෙක තුල සම්බන්ධතාවයක් හදුනාගෙන තිබෙනවා .
    ස්තුතියි

    ReplyDelete
  3. මම අහල තියෙනවා කිරි ඉතිරි උනාම පියයුරු පිළිකා හැදෙන්න බලපානවා කියල. ඒ කථාව ඇත්තක්ද සර්...........

    ReplyDelete
  4. අපේ බබාට දැන් අවුරුදු 2.6 .තාම හිටපුගමන් අම්මගෙන් කිරි බොනව පුරුද්දට වගේ.එයා වැඩිය කෑම කන්නෙත් නෑ.ගොඩක් අය කියන්නෙ දැන් කිරිදෙන එකෙන්(වයස අවුරුදු 2.6)බබාටත් අම්මටත් දෙන්නටම වැඩක් නෑ,ඒ කිරිවල ඒ හැටි පෝශණයක් නෑ කියල.දන් එයාගෙ බර කිලො10ක්.බරත් අඩුයි වයසට සාපේක්ශව.(අඩුබරට අවධානම්)

    ReplyDelete
  5. ඔබගේ ලිපිය බැලුවත් කොමෙන්ට් නොකලේ නදීශා නිසා.
    අදත් මිස් උනා නේද. බොහොම ප්‍රයෝජනවත් ලිපියක්. මම කීප දෙනෙක්ට යොමු කලා. බොහොම පින්...

    ReplyDelete
  6. කිරි බීලා ඉවරවෙලා ගුඩුස් ඇරලා නිදාගත්තම බබාලව තියන්නෙ බඩ යටට හිටින්න මූන පැත්තකට හරවලා නේද?අපේ අම්ම බබාව එහෙම තියන්නෙ.හරියට අර ගෙම්බා ස්ටයිල් එකට.බබාට කිරි දෙන්න කලින් බබාගේ අම්මට(අපේ අක්කට) රස්නෙන් කිරි කෝප්පයකුත් හදලා දෙනව බොන්න කියල.

    ReplyDelete
  7. හැමදාම වගේ වැදගත් ලිපියක් ලොකු අයියා!

    ReplyDelete
  8. -chamari ,
    කිරි ඉතිරි වීමෙන් පිළිකා හැදෙන බවක් තවම ස්ථිරව හඳුනාගෙන නැතත් එසේ කිරි ඉතිරි වීමෙන් එය නාල තුල රැඳී mastitis කියන පියයුරු ප්‍රදාහ තත්ත්වය හැදෙන්න පුළුවන් , දිගින් දිගමට මෙලෙස mastitis හැදෙන එකනම් යම් අවදානමක් ඇතිකරන බව සොයගෙන තිබෙනවා .
    ස්තුතියි චමරි

    -නදී,
    මාස හයෙන් පසුව අනිවාර්යෙන්ම සාමාන්‍ය කෑමට හුරු කරන්න ඕන , මව් කිරි දෙන වාර ගණන අඩු කිරීම තමා වඩා සුදුසු , ඇත්තටම මාස හයෙන් පස්සේ කිරි වල පෝෂණ සංඝටක ප්‍රමාණය හුඟක් අඩු වෙනවා , ඒ නිසා සාමාන්‍ය ආහාර හුු කරළ , එම කෑම කවල මව්කිරි ටිකක් දුන්නාට කමක් නැහැ , නමුත් අවුරුදු දෙක හමාරක් කියන්නේ මව් කිරි නවත්වන්න ඕන වයසක් , මොකද තව ටිකක් ලොකු වෙලා මව් කිරෙන් වෙන් කරන්න ගියාම පැටියගේ හිත හුඟක් රිදෙනවා ,ටිකක් මානසිකවත් බලපානවා , දැන් ටික ටික මග හැරග , වෙනත් විවිධ කෑම වලට හුරු කරල මව් කිරෙන් ඈත් කරවන්න .

    ඔව් ඔබේ දෙවැනි කරුණට , ඔව් ඔය ගෙම්බා position තමා එක ක්‍රමයක් ,  ඒක හරිම ලේසියි , අනිවාර්යයෙන්ම මූන පැත්තට හරවල තියන්න , මොකද නැත්නම් පැටියට කිරි වමනේ ගියොත් ලොකු කරදරයක් වෙන්න පුළුවන් .
    ස්තුතියි නදී

    -ගිම්හානි ,
    හ්ම් අදත් නදීශට මග හැරිලා , කමක් නැහැ ඇය ටිකෙන් ටික හුරු වේවි , අරමුණට එන්නට උත්සාහ දරාවි , අපිට හුඟක් මිතුරු මිතුරින් ලැබෙන වටිනා තැනක් මේ බ්ලොග් අවකාශය නේද ?
    ස්තුතියි , ඔබතුමිය සොඳුරු සුව අසපුවේ ආරම්භයේ සිටම දක්වන ධනාත්මක , පෙළඹුම්කාරි අදහස් දැක්වීම් මම අගය කරනවා , ඔව් අපි මේ තොරතුරු බෙදා දෙමු අවශ්‍ය හැමට
    ස්තුතියි

    ReplyDelete
  9. -ඉන්දික,
    ස්තුතියි මල්ලී , ඔබේ දිරි ගන්වන අදහසට...

    ReplyDelete
  10. vadagath lipiyak. nodanna karunu hugak dana gatta. obata bohoma stuti.

    ReplyDelete
  11. මම නම් අපේ අම්මගෙන් අවුරුදු තුනක්ම කිරි බීල තියෙනවා. හැබැයි ඒ ණය නම් ගෙවල ඉවර කරන්න බැරි උනා.

    ReplyDelete
  12. -Anonymous ,
    ස්තුතියි ඔබට .

    -සරත් ලංකාප්‍රිය
    ඇත්තෙන්ම සරත් ඒ ණය අපි කවද කොහොම ගෙවල ඉවර කරන්නද ?
    ස්තුතියි

    ReplyDelete
  13. හුගක් වෑදගත් වගෙම රසබර ලිපියක්....ස්තුති ඔබට...

    ReplyDelete
  14. -සරනි.
    ස්තුතියි ඔබට

    ReplyDelete
  15. kusa thula sitina daruwage buddhi vardanayata monavada karanna one kiyala kiyala dennako.

    ReplyDelete
  16. Mata masa eka 1/2 babek innwa. Mata thawama hariyata kiri erenawa madi..piliyam kala hamadema. Kama bima beheth eth hari yanne ne.eya nobi payak dekak idde kiri unanawa.vinadi 5k pamana bonna kiri athakota tiyei. Aye unanne paya 3kin pamana.a ai.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)