2011/12/25

73) කකුලෙන් නැඟලා සුදු කොඩි වනනා “‘පණු පැටියා“

ඕං අදත් මේං මෙහෙම හිම වැටෙනවලු ...
කාළෙකට පස්සේ දවස් තුනක විතර නිවාඩුවක් ලැබුණා ..සීතලයි , නත්තලයි එක්ක මේ නිවාඩුවේ වටිනාකම වැඩි කළා වගේ ., පහුගිය දවස් ටිකේ නැවතිලා තිබුණු “හිම වැටිල්ල“ ඊයේ ඉඳන් ආයෙත් ටික ටික පටන් අරගෙන , හැම තිස්සෙම පුළුන් වගේ පුංචි පුංචි හිම වැටෙනවා , පොඩ්ඩන්ට නම් “නියමයි “ , ..මේ කාළගුණ තත්වෙත් එක්ක The Weather Network“ අපිට හරිම වැදගත් , ඒ කිව්වේ මෙහේ ප්‍රධාන රූපවාහිනි channel එක , හැම විනාඩි දහයකට වතාවක්ම පවතින , විය හැකි කාළගුණ තත්ත්වේ “හුඟක් දුරට“ හරියටම කියන හොඳ සේවාවක් , අපිට හරිම වැදගත් මොකද මෙහෙ විනාඩි දහයක් තුල ලොකු කාළගුණ විපර්යාස වෙන අවස්ථාත් තියෙනවා ,


four O one එක වෙනදම මෙහෙමයි
අද හැටි මෙහෙමයි ...
අද කාළගුණ වාර්තාවෙන් පස්සේ Highway forecast එක ., හැම පාරකම හිම ....වෙනද බොහොම කළබලකාරි නමුත් ලස්සන රටාවකට යන වාහන අද බොහොම පරිස්සමින් යන බවක් පේනවා , ඒ අතරේ අපි ඉන්න කිට්ටුවම තියෙන Express route එක 401  , මේකේ line දෙකක්ම බ්ලොක් වෙලා , මේක ලොකු ප්‍රවෘත්තියක් ...ඇත්තමයි මට හිතෙන විදියට කිලෝමීටර් පහක හයක විතර දිග පෝලිමක් , සාමාන්‍යෙයන් මෙහෙම අවස්ථා අඩු නිසා ඇත්තටම මේක ලොකු ප්‍රවෘත්තියක් තමයි , නිවේදිකාව කියන විදියට තව විනාඩි පහක් දහයක් අතරේ මේ තදබදය සාමාන්‍ය තත්ත්වයට ගන්න පුළුවන්ලු , ඒත් මට ඒ රෑප රාමු දිහා බලාගෙන හිටියම මතක් වුනේ අද ලියන්න මාතෘකාවක් , ඒ Deep Vein Thrombosis කියන මරණීය “පණූවෙක් “ ගැන ...

සිරා ශිරා ....
අද අපි මුලින්ම මේ නම ගැන ටිකක් කතා කරලා , “සතාගේ හැටි අඳුනගෙනම“ ගැඹුරට යමු , මුලින්ම මොනවාද මේ Deep vein කියන්නේ , මෙහෙමයි අපි ඇඟේ තියෙන ලේ නල ප්‍රධාන වර්ග දෙකක් තියෙන බව ඔබට මතකද ?  ඒ තමයි හෘදයේ කෝෂිකා කුටීර වල සිට ඉන් ඉවතට රුධිර ගෙන එන “ධමනි Arteries" , අනෙක දේහයේ අනෙක් පටක , අවයව වල ඉඳල හෘදය වෙතට ආයෙත් රුධිරය අරගෙන එන “ශිරා එහෙම නැත්නම් Vein“ , අනෙක් වර්ගය තමයි ඔබ දෙන්නා සම්බන්ධ කරන්න උදව්වෙන Capillaries කේශනාලිකා ...අද අපේ කතාවට වැදගත්ම කෙනා Vein , මෙයින් Deep vein කියන්නේ ඇඟ ඇතුලට වෙන්න තියෙන ලොකු ශිරා වලට ..

මට කොයින්ද ලොකු පොම්ප ....
ඔය ශිරා වල ලේ ගන්නේ හෘදය දිසාවට කියල දන්නවනේ , Artery වල නම් ලේ ගන්න හෘදයෙන් හොඳ පීඩනයක් දෙනවා , ඒ තෙරපුම නිසා තමයි ධමනි ඇතුලේ ලේ ගමන් කරන්නේ , ඒත් මේ ශිරා වලට ඒ වගේ ලොකු සහයෝගයක් ඉන් ලැබන්නේ නැහැ , ශිරා ඇතුලේ ලේ ගමන් කරන්නේ , ඒ ශිරාව ළඟ ඉන්න පටක , පේෂි වගේ දේවල් මිරිකිම මඟින් දෙන පීඩනයෙන් . ඒ කිව්වේ Vein වල ලේ ගලන්න නම් ඒ ආශ්‍රිතව ඉන්න පේෂි හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕන  ඊට අමතරව අපේ ශ්වනස ක්‍රියාවලිය වගේම තවත් සාධක කිහිපයකතුත් ශිරා ඇතුලේ ලේ ගෙනියන්න යම් දායකත්වයක් ගන්නවා .අපි හිතමු යම් හේතුවක් නිසා Vein එකක් අවට තියෙන පේෂි වල චලනයන් , දැඟලිල්ල නැතිවුනා කියල , දැන් මොකද වෙන්නේ , අර ශිරාව ඇතුලේ ලේ ගමන් කරන වේගය , අඩු වෙනවා , හරියට අපේ හයිවේ එක බ්ලොක් වුනා වගේ (මොකද තව ටිකකින් හිම වැටුනම මේ ඔක්කොම වාහන ටික ඔතනම හරි වෙනවා) , දැන් ඉතින් මේ වේගය අඩු වෙච්ච , එකතැන හිරවෙච්ච  ලේ ටික , ටික වෙලාවක් යත්දි “කැටි ගැහෙන්න“ පටන් ගන්නවා. මේ කැටි , සමහර වෙලාවට හුඟක් දිග පණුවෙක් වගේ ලේ කැටියක් වෙන්නත් පුළුවන් ,  මේ තත්ත්වය ඕනම ශිරාවක උනත් , Deep vein එහෙම නැත්නම් ඇඟේ ඟැඹුරින් තියෙන ලොකු ශිරාවල මේ විදියට කැටියක් හැදෙන එක හරිම භයානකයි , 

මේං පණු පැටියා ...!!!!
මොකද හේතුව ...? වැරදිලාවත් මේ “ ලේ පණූවා“ (Embolism) මෙතනින් ගැලවුනොත් මොකද වෙන්නේ ? ඒ දිග ලේ “වැල“ හෘදය වෙතට ගිහින් හෘදය ඇතුලේ හරි  , නැත්නම් හුඟක් වෙලාවට සිදුවෙන විදියට  පෙනහළු වල ලේ නහර වල හරි , සමහර විට මොළයට ලේ ගෙනියන නලයක හරි අවහිර වෙන්න පුළුවන් ,මේ අවහිරවීම තමයි Thrombosis කියන්නේ ,  ප්‍රථිපලේ මරණය , එහෙම නැත්නම් අංශභාගය වගේ භයානක වෙන්න පුළුවන් . මෙයින් වඩාත් අනතුරුදායකම අවස්ථාව තමයි මේ “ලේ පණුවා“ රිංගලා ගිහින් පෙනහළුවට ලේ ගෙනියන “Pulmonary artery එකේ හිරවෙන එක ...ක්ෂණික ප්‍රතිකාරයක් නොලැබුණොත් ප්‍රථිපලේ අවාසනාවන්තයි .හරියට Heart attack වුනා වගේ තමයි , ..ප්‍රධාන වශයෙන් මේ විදියට ලේ ගමනාගමනය අඩුවෙලා “කැටි ගැහුණු ලේ වැල්“ හැදෙන ස්ථානයක් තමයි අපේ පාදය .

ඔළුවට ගියොත් පැත්තක් ඉවරයි ..
මේක ඇත්තටම හරිම භයානක තත්ත්වයක් , ඒ වගේම අපි සාමාන්‍යෙයන් වැඩිය හිතන්නේ නැති තත්ත්වයක් , ඒ නිසා අපි ටිකක් විස්තරාත්මකව මේ ගැන කතා කරමු .


ඇත්තටම මේ විදියට ලේ කැටි ගැහෙන්න හේතුව මොකක්ද ? ප්‍රධානම හේතුව තමයි ලේ ගමනාගමනයට බාධා වීම නිසා , ඒ වගේම ශිරා අවට තියෙන පේෂි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම , ඒ වගේම රුධිරය ආශ්‍රිත රෝග තත්ත්ව වගේ පිළිකා නිසාත් මේක වෙන්න පුළුවන් .

උදාහරණ විදියට අපේ පාද වල චලනයන් සීමා වන අවස්ථා , ඒ කිව්වේ දිගු වෙලාවක් එක විදියටම වාඩි වෙලා හරි , හාන්සිවෙලාම හරි ඉන්න කෙනෙක්ගෙ අපි කිව්ව විදියට පේෂි චලන අඩු වෙනවා , ඔන්න අවදානමක් , ඒ නිසා විශේෂ වෛද්‍ය උපදෙසක් දුන් අවස්ථාවක හැරෙන්න , අපි වරින් වර අපේ පාද චලනය කරන්න ඕන , ඔන්න මේක කියවන “පුටුවට වැඩි වෙලාවක් “ බර දීගෙන ඉන්න අයට කියන්නේ , පැය දෙක තුනකට වතාවක් හරි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න , පුටුවෙන් නැගිටින්න , හොඳ ගැඹුරට හුස්මක් ගන්න ...මෙහෙම කළොත් ඔබේ ශිරා ඇතුලේ “ලේ පණුවන්“ හැදෙන එක නවත්ත ගන්න පුළුවන් . ඒ කියන්නේ මේ විදියට ක්ෂණික මරණයක් වීමේ අවස්ථාව අඩු කරගන්න පුළුවන් .

ඔහොම හොඳ නෑ ..ඇඟට ගුණ නෑ ....වැඩි වෙලාවක් ඉන්නෙ හෙම නෑ ..
ඒත් අස්ථී බිඳිමක් වගේ හේතුවක් නිසා කකුල හෙල වෙන්න බැරි වෙන්න cast එකක් එහෙම නැත්නම් අපි කියන විදියට ප්ලාස්ටර් එකක් (Plaster of Paris ) දාලනම් ? ...ඔව් යම් අවදානමක් තියෙනවා , ඒත් මේ අවස්ථාවලදි ඇඟිලි වලට කලයුතු ව්‍යායාම පිළිබඳව ඔබ දැනුවත් කරාවි , අපි කිව්ව විදියට ගැඹුරු ශ්වසන ව්‍යායාම ගැන දැනුවත් කරාවි , මේ මගින් අවදානම අඩු කරගන්න පුළුවන් ,  ඒ එක්ක අවශ්‍යතාවයක් වෙතොත් “ලේ කැටි ගැසීම පාලනය කරන එහෙම නැත්නම් ලේ කැටි දියකරන ඖෂධ anticoagulant or Thrombolytics )  ඔබේ වෛද්‍යවරයා විසින් ලබා දේවි , ඒ නිසා අහේතුක බියක් ඇති කරන්න එපා ,

ඒ වගේම සමහර ශල්‍යකර්ම වලට පස්සෙත් මේ තත්ත්වය එන්න පුළුවන් නිසා තමයි සෞඛ්‍ය කණ්ඩායම ඔබට විවිධ ව්‍යායාම් ගැන කියා දෙන්නේ , කරදරදයක් කියල හිතන්නේ නැතිව ඒ කියන දේවල් කරනවා නම් ඔබේ ජීවිතයට ආරක්ෂාවක්  , මොකද අපි දන්නවා ඔබ Surgery එකේ වේදනාවෙන් ඉන්නා බව ඒත් ඒ වේදනාව යම් තරමකට දරාගෙන කියන දවසට ඇඳෙන් නැගිටින්නේ නැතිව තවත් ඇඳේම හිටියොත් , ගැඹුරට හුස්ම ගන්න කිව්වම ඒ කියන විදියට කරන්න උත්සාහ නොකළොත් අනතුරට පත්වෙන්නෙ ඔබේ ජීවිතය , ඉතින් ඒ කියන උපදෙස් හරියට පිළිපදින්න , එහෙම වුනොත් මේ Deep vein thrombosis කියන “සැඟවුනා මාරයා“ මතුවීම වලක්වා ගන්න පුළුවන් .

ගර්භනී අවස්ථාවෙදිත් පාදයේ ලේ ගැලීමට යම් අවහිරතා ඇති කරනවා , ඒ නිසානේ ඒ කාළෙට ඔය කකුල් කැක්කුම් , හිරිවැටීම , ඉදිමිමි වැඩි , ඉතින් මේ විදියට ගර්භණී සමයෙදි වගේම දරු ප්‍රසූතියෙන් සති 6ක් 8ක් යනකනුත් මේ විදියට ශිරා ඇතුලේ ලේ කැටි ඇතිවීමේ අවදානමක් තියෙනවා , විශේෂයෙන්ම සිසේරියන් සැත්කමෙන් දරුවා බිහිකරලා , “ඔපරේෂන් එකේ අමාරුවට“ ඇඳට වෙලාම ඉන්න අම්මලාට මේ තත්ත්වය හරිම අවදානම් , ...ඒ නිසා අපි ව ටිකකින් කතා කරන මූලික ලක්ෂණ තිබුණොත් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න ,

තරබාරුව මෙතැනදිත් ප්‍රධාන “මාරක සාධකයක්“ , ඒ කිව්වේ තරබාරු කෙනෙක්ගේ මේ විදියට “Thrombosis" එකක් ඇතිවීමේ අවස්ථාව අනෙක් කෙනෙක්ට වඩා වැඩියි ,

මීට අමතරව පවුලේ අයෙක්ට මේ තත්ත්වය තිබුණානම් ඔබ පරිස්සම් වෙන්න , මොකද මේක පවුලේ ..ආරයෙන් යන්නට යම් ඉඩක් තියෙනවා , අනෙක ඔබ රැධිරය ආශ්‍රිත , කාළීන රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් මේ ගැන හොඳින් දැන ගෙන ඉන්න එක හොඳයි , ඒ වගේම අපේ සල්ලි වලට දුම්බොන මහත්තුරුත් , මහත්තුරුන්ගේ දුම නොමිළේම බොන නෝනලාත් “Deep vein thrombosis“ සඳහා ලොකු අවදානම් කාණ්ඩයක් බවත් අමතක කරන්න එපා ....


මාරක ලක්ෂණ හතර ..
දැන් අපි බලමු මේ විදියට Deep vein thrombosis වල මූලික අවස්ථාව වන ලේ කැටිත්තක් අපේ ශිරා ඇතුලේ ඇතිවුනාම එන ලක්ෂණ මොනවාද කියලා ...“පස්වරු“  මතක නම් හරි ලේසිය මතක තියා ගන්න , ඒ තමයි
P-Pain-වේදනාව ,
S-Swelling - ඉදිමිම ,
W-Warmth - රස්නේ ගතිය
R-Redness - රතු වීම ...

පාදයේ වගේ තැනක මේ තත්ත්වය මුලින්ම මතු වෙන නිසා මුලින්ම හඳුනගන්න ලේසියි , හැබැයි හොඳ අවධානයෙන් හිටියොත් තමයි ඒ .මොකද සමහර විට රෝහලේ දී පවා වරදවා හදුනාගන්නටත් ඉඩ තියෙනවා , මොකද දන්නවද ? ..සමේ තුවාලයක් එක්ක ඇතිවන Cellulitis කියන තත්ත්වයටත් ඔය ලක්ෂණ ටිකම ඇති වෙනවා ,  ඒනිසා මේ ලක්ෂණත් එක්ක අපි මුලින් කී සාධක තිබුණා නම් හුඟක් පරිස්සම් වෙන්න ඕන . හැබැයි මේක දැක්ක ගමන් අනවශ්‍ය විදියට “කුලප්පු වෙන්න“ එපා ..ඒකම අනතුරක් ..

මේ වගේ තත්ත්වයක් ගැන සැකයක් ඇතිවුනොත් කරන්නට තියෙන්නේ “කළබල නොකර“ ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න එක. මුලින්කී සාධකත් එක්ක P,S,W,R, ලක්ෂණ ඇත්නම් වඩාත් හොඳයි වාහනයකින් ඉක්මණින් ඔබේ රෝහලට යන්න පුළුවන් නම් , මොකද මේ ජීවිත අවදානම් අවස්ථාවක් වෙන්නටත් බැරි නැති නිසා . මේ එක්කම ටිකක් හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේ ආවොත් ඔබ කළබල නොවී පුළුවන් තරම් විවේකයෙන් ඉන්න අතරේ , අනෙක් අයගේ උදව්වෙන්  හැකි ඉක්මණින් රෝහලගත කරන්නම ඕන . කළබල වුනාම වෙන්නේ අර ලේ කැටිත්ත හිර වෙලා ලොකු අනතුරක් වීමේ අවස්ථාව වැඩි වෙන එක ..ඔබට මේ ලක්ෂණ ආවේ රෝහල්ගත වෙලා ඉන්න වෙලාවක නම් ඉක්මණින් ඔබේ වෛද්‍යවරයාට , හෙදියට දැනුම් දෙන්න.

මේ විදියට නිසි වෙලාවට ඔබ රෝහල් ගත කළා නම් , ලේ කැටි ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳ ක් Prothrombine time , Clotting time , රුධීර පරීක්ෂණ කිහිපයක් එක්ක , ඔබේ පපුවේ එක්ස් රේ ඡායාරූපයකුත් ගනිවි , ඒ වගේම ඔබේ පාදයේ හෝ සැක සහිත ප්‍රෙද්ශයේ) ශිරා වල රුධිර ගමනාගමනය ගැන හඳුනගන්නට Doppler scanning කියන පරීක්ෂණයත් කරන්නට ඉඩ තියෙනවා .

මේ Deep vein thrombosis කියන තත්ත්වයමැයි හරියට හඳුනගත්තොත් ඔබේ වෛද්‍යවරයා රුධිර ප්‍රතිකැටිකාරක Anti coagulant මගින් ප්‍රතිකාරය අරඹනවා , එයින් තවදුරටත් ලේ කැටිය වර්ධනය වීම වගේම තවත් ලේ කැටි හැදීම වලක්වන නිසා අනතුර අඩු වෙනවා , බොහෝ අවස්ථාවල ආරම්භයට “සේලයින් වල දිය කළ“ ඖෂධයක් විදියට දෙනවා , ඉක්මණින් ක්‍රියාත්මක කර ගන්නට . ඊට  පස්සේ බොන පෙති වලට හරවාවි ..හොඳට මතක තියා ගන්න මේ රුධිර කැටි වලක්වන පෙති මාස කිහිපයක් ගන්නට වෙනවා , ඒ කාළෙ තුවාල වීම ඇති නොවීමට වගබලා ගන්න , හේතුව මොකක්ද ? ඔබ දැන් ගන්න බෙහෙත නිසා ලේ කැටි ගැසීම අඩු වෙලා තියෙන්නේ , ඉතින් පොඩි තුවාලයක් උනත් ලේ නවතින්නේ නැතිව පිටවෙන්න ඉඩ තියෙනව . ඒ වගේ තත්ත්වයක් එහෙම නැත්නම් දත් වලින් ලේ ගැනීමක් වගේ දෙයක් දැක්කොත් කිසි වෙලාවක හිතුවක්කාර විදියට බෙහෙත නවත්වන්න එපා ...මේ වෙනස ගැන ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කරන්න , ඔහු ඊට නිසි ප්‍රතිකාර සහ වෙනස් කිරීම් අවශ්‍ය නම් කරාවි .

මේ මාස කිහිපයේ ප්‍රතිකාර අතරතුර වාර සති කිහිපයකට වතාවක් ඔබට රෝහලට , සායනයට යන්න වේවි , එය කරන්න , මොකද දැන් ඔබේ ලේ වල කැටි ගැසීමේ ස්වභාවය පිළිබඳ හොඳ අගැයුමක ඉන්න ඕන , ඒ එක්කම ඔබට කියා දෙන ව්‍යායාම හරියට කරන්න , සමහර විට compression stockings පළඳින්නත් වෙන්න පුළුවන් , මේ හැම දේම හරියට කළොත් ඔබ දැන් පවතින අවදානමෙන් මෙන්ම ඉදිරියේදි ඇතිවිය හැකි මෙබදු අවදානම් තත්ත්ව වලිනුත් පරිස්සම් .

කතාව ටිකක් දිග වැඩි උනාද මන්ද  ? ඒත් කියන්න තියෙන එක කියන්න එපායැ හරියටම නේද ...ඉතින් මේ කතාව නම් මෙතනින් ඉවරයි ,  හැබැයි කතාව අවසන් කරන්නට ඉස්සර පැතුම් දෙකක් !   සතුට සහ දුක දෙකම මතුවන පැතුම් දෙකක්  ..

“මීට වසර හතකට හෙටවන් දිනෙක (26දා) ලොවම කම්පා කළ මහා විනාශයෙන් එකවර අපි හැර ගිය දහස් ගණනක් වූ ඒ සැමට අපේ දහමේ හැටියට පින් දෙමින් , ...“... සුනාමිය දා ගාල්ල , කරාපිටිය රෝහලේ සේවය කළ මට , ඒ අත්දැකීම කිසිදා අමතක නොවන්නක් ...ගලවන්නට පවා නොහැකි වන තරමට තම මව බදාගෙන මියැදී සිටි , රතු ගවුම් පොඩිත්තක් හැඳි පුංචි කෙළි පොඩිත්තියක් මගේ හිතේ තවමත් රිදුම් දිදී සැඟවෙනවා ... අනේ කිසිදා එවන් අවාසනාවන්ත විනාශයක් නොදකින්නට ලැබේවායි පතමින් .....

ඔබ සැමට “ ලබන්නා වූ නව වසර , නිරෝගී සුව පිරි වාසනාවන්ත සුබ නව වසරක්  වේවා  ....“  පතමි ...

මෙන්න D.V.T හැදෙන හැටි වීඩියෝවක් http://youtu.be/CETfozL0cQg

මෙන්න එයින් සුදු කොඩි වනන හැටි http://youtu.be/uS1RGbW8UbQ

16 comments:

  1. වටිනා ලිපියක්.. ගොඩක් තොරතුරු දැනගත්තා මේ ගැන...

    ReplyDelete
  2. ස්තූතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.අය්යා පනු බෙහෙත් මාස 6කට සැරයක් ගන්න එක අනිවාර්යද?ehema ganna oneidha? වැඩිහිටි අයටත්?

    2012 වසර අය්යා අක්කා බබලා දෙන්නාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මම්ත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  3. ලිපියට ස්තුතියි. මේ තත්වය හැදෙන වයස් සීමාවක් තියනවද?
    වලක්වගන්න පුළුවන් විධි මොනවද?

    ReplyDelete
  4. බොහොම අගේ ඇති තොරතුරක්. දැම්ම පොඩ්ඩක් වටයක් ඇවිදල එන්නං පොඩි උන්ගෙ ලෝකෙට යන්න කලින්.

    ReplyDelete
  5. -ලයාන් ,
    ස්තුතියි ලයාන් , “සොඳුරු සුව සිප්හලේ“ පළමු පැමිණීමත් ඔබ ...!

    -න දී ,
    ස්තුතියි නදී ... ඔව් සාමාන්‍යෙයන් මාස6-12 අතරෙදි ගන්න පුළුවන් , ඒත් ඒක වයස , පරිසර තත්ත්වය , පුරුදු වගේ දේවල් එක්ක වෙනස් වෙනවා , කොහොම වුනත් මේ කාළ සීමාව මැදිහත් අගයක් ලෙස ගත හැකියි , කෙසේ වෙතත් පණු බෙහෙත් ගන්නවා නම් , නිවසේ සියල්ලන් එක් වර ගන්න එක , ගැනීමට පෙර හොඳට නා පිරිසිදු විම , ඇඳ ඇතිරිළි කොට්ට ආදිය හොදින් පිරිසිදු කර භාවිත කිරීම , ඖෂධය ගත් පසු යම් අසාත්මිකතා හෝ වෙනස්කමක් ඇත්නම් වෛද්‍යවරයා දැනුවත් කිරීම , දී ඇති උපදෙස් පරිදිම (කැමට පසු ?) ගැනීම සහ මීළඟට නියමිත වාරය සහ දිනයන් පිළිබඳ දැන ගැනීම වැදගත් ..කොහොමත් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ගන්නවා නම් වඩාත් හොඳයි ...

    -රූ.... ,
    මේ තත්ත්වය සඳහා වයස් සිමාවක් නැතත් වැඩිහිටි සහ වියපත් වීමත් සමඟ අවදානම වැඩිවෙනවා , වලක්වා ගන්නනම් කරන්න තියෙන්නෙ අර කරන්න එපා කියපු දේවල් ටික නොකර ඉන්න එක තමා ..වලක්වා ගැනීමට ඖෂධ භාවිතා කිරීමක් සාමාන්‍යෙයන් සිදුවන්නේ නැහැ..ස්තුතියි ..

    -ඉන්දික උපශාන්ත ,
    හ්ම් ...මේ ටික කියවල ඉවර වෙනකොටත් කකුල හිරි වැටිල ඇති නේ ...ඔව් ඇවිදල ඇවිත් එන්න “පුංචි හිතට දැනෙන දේ“ බලන්න ..වෙලාවක් තිබුණොත් “සොඳුරු සුව සිප්හල“ පැත්තෙත් ඇවිත් යන්න එන්න ....ස්තුතියි

    ReplyDelete
  6. හිටගන ඉන්න වෙලාව වැඩිවෙද්දිත් මේ තත්වය එන්න පුලුවන්ද ???

    ReplyDelete
  7. Learn lot about Deep vein thrombosis. Thank you very much.

    Wish you & your family a Very Happy & prosperous New Year.

    ReplyDelete
  8. මහත්මයා, මා වසර ගණනාවක්ම රෝද පුටුවක කල්ගතකරන පුද්ගලයෙකි.ඔබේ ලිපියේ සදහන් කරුණ මා වන් කෙනෙකුට වඩාත් බලපාන බව සිතේ.මේ රෝගී තත්වය ඇතිවීම වළකා ගැනීම සඳහා මා වැනි පුද්ගලයෙකු ගත යුතු පියවර කවරේද.

    ReplyDelete
  9. -ඕනයා,
    මෙහෙමයි මල්ලී ..හිට ගෙන ඉන්නා වෙලාවට වඩා වැදගත් ඒ කාළෙ තුල කොයිතරමි පාද චලනයන් වනවාද කියන එක , කොහොම වුනත් ඊට හිටගෙන සාමාන්‍ය රැකියාවක් කරත්දි සෑහෙන තරමක ඇවිදීම් වනවා ,ඒ නිසා අනතුරේ යම් අඩුවක් තියෙන්න පුළුවන් , හැබැයි ඇඳේම දිගු කාළයක් ඉන්න කෙනෙක් ඊට වඩා අවදානම් ..

    -Anonymous,
    Thank you and wish you healthy new year to you ..

    -Anonymous ,
    පළමුව ඔබ ඔවැනි තත්ත්වයක සිටින අවස්ථාවක පවා සිංහල බ්ලොග් රස විඳින බව දැනුනාම ඔබ ගැන එක්තරා ආඩම්බරයක් සහ ගෞරවයක් ඇතිවෙනවා ...ඔව් ඔබ රෝද පුටුවේ දිගු වෙලාවක් සිටිනවා ඇති ..ඒ කාළ සීමාව තුල වරින් වර ඔබේ පාද බලෙන් චලනය කරවිය යුතුමයි ...ඔබේ අතින්ම හෝ වෙනත් අයෙක්ගේ ආධාරයෙන් පාදයේ සන්ධී , ඇඟිළි වරින වර චලනය කරමින් ,ආධාර ඇතිව නවමික් පාද වල පේෂි වලට ව්‍යායාම දෙන එක තමයි වඩාත් සුදුසු ..අඩුම තරමේ දවසට දෙතුන් වතාවක් වත් එය කරමින් පාද වල රැධිර වහනය සක්‍රිය කර ගන්න පුළුවන් ..ඔය තැවීම , තෙල් ගෑම වගේ දේ වලිනුත් වෙන්නේ ඒකම තමයි ...හැබැයි තැවීම නම් හුඟක් පරිස්සමින් දැන කළ යුතු දෙයක් ...ඔබ පෙර කී වෙනත් අවදානම් තත්ත්ව කිහිපයක් තිබේ නම් පාද වලට compression stockings වැනි දේ භාවිත කිරීමත් යහපතක් වේවි ..ස්තුතියි පැමිණියාට ..ඔබට මේ පිළිබඳ වෙනත් ගැටළු ඇත්නම් හෝ ඔබේ සෞඛ්‍යයට අදාල වෙනයම් හෝ පැවයක් ඇත්නම් යොමු කරන්න ...මම හැකි තරම් සාධාරණ පිළිතුරක් දෙන්නම් ..

    ReplyDelete
  10. සම්පූර්ණ ලිපියම පේන්නෙ නෑ. අන්තිමට මේ ටිකෙන් ලිපිය ඉවරයි! "ඒකෙ තෙරුමනම් කොන්ද පැත්ත කියන එක..ඔය හැම එකේම ර් ර් ර් ර් නොගෑවට කමක් නෑ ...."

    ReplyDelete
  11. වටිනා කියන ලිපි අතරේ තවත් වටිනා ලිපියක්. ඔබේ ලිපිය කියවද්දී මට ගැටළුවක් මතු උනා. දැන් දේශීය වෙදකමේදී , පාද අස්ථි බිදීමකදී , පතුරු තියල පාදය නොසොල්වා මාසයක් පමණ එක තැනම ඉන්නා ලෙසට උපදෙස් ලැබෙනවා. එලෙස රෝගී වුනු කෙනෙක්ට ඔබ සදහන් කල ආකාරයකට ලේ කැටිත්තක් සැදීමේ අවධානම වැඩියි නේද ? වෙද මහතුන් , බිදුණු පාදට නොසෙල්ලවා සිටින ලෙසට තරයේ අවවාද දෙනවා විනා, පාද ඇඟිලි හෝ සොලවා , ලේ කැටිති සෑදීමේ අවධානම අඩු කරලීමට උපදෙස් දෙන්නේ නම් නැ.

    ReplyDelete
  12. මේ විස්තර සිංහලෙන් පලවෙන එක කෙතරම් ලොකු දෙයක්ද අන්තර්ජාලය දිනපතා පත්තරයක් තරමට ලාංකිකයන්ට ලං කරවන්න ඔබ විදෙශයක සිට කරන සෙවය අගයනවා. දිගටම සිංහලෙන් ලියන්න ලැබේවා.

    …සුබ නව වසරක් !

    ReplyDelete
  13. -ඉන්දික උපශාන්ත ,
    මේ අදහස “සොඳුරු සුව සිප්හල“ ගැනනේ ...ගොඩාක් ස්තුතියි , මේ සටහන සැකසුවාට තවමත් නිසි තරම් feedback නැති නිසා එහි වෙනස්කම් පිළීබඳ මට අවබෝධයක් නැති තරම් , ඒ අවස්ථාවේ ඔබ ලබා දුන් මේ අදහස හරිම වටිනවා ...

    ලිපිය අවසන් වෙන්නේ “අපි ඊලඟට කතා කරන්නේ අපේ ඇඟේ තියෙන තරාදියක් ගැන .....දන්න කෙනෙක් ඉන්නවනම් කියමුකෝ බලන්න “ කියන වාක්‍යෙයන් ..මම පිටුවේ දිග ටිකක් අඩු කළා ..දැන් වෙනසක් තිබේ දැයි කියන්න ..මේ ලිපිනය භාවිතයෙන් හරි ඉහළ ඇති “සොඳුරු සුව සිප්හල“ tab එකෙන් හරි ගිහින් බලන්න ..බොහොම ස්තුතියි , ඒ වගේම නැවත ප්‍රතිචාරයක් කරුණාවෙන් බලාපොරොත්තු වෙනවා .

    ReplyDelete
  14. -Kavindi,
    ඔබේ තර්කය යම් තරමකට නිවැරදියි , නමුත් මම හිතන විදියට එහිදි පතුරු හෝ පත්තුව යොදා කරන වෙළුම මගින් Compression stocking එකක වගේ පීඩනයක් ශිරා වලට ඇති වෙනවා , එය යම් තරමක උදව්වක් ..කොහොම.් අස්ථි බිඳමකදි එම බිඳිම නොසොල්වා තබා ගැනීම වැදගත් ..නමුත් මේ අවදානම වලක්වා ගැනීමට ඖෂධ , ආහාර පාන සහ අනෙක් ව්‍යායාම මඟින් කටයුතු කිරීම ඒ වගේම වැදගත් ..ස්තුතියි

    -Loku John ,
    ස්තුතියි ඔබට ..ඔව් අපි උත්සාහ කරමු සිංහල බ්ලොග් මඟින් “අපේ මිනිසුන්ට“ යහපත් යමක් දෙන්නට ....ස්තුතියි

    ReplyDelete
  15. ගොඩක් වටින ලිපියක් !

    ReplyDelete
  16. -මධුරංග,
    ස්තුතියි මල්ලී ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)