2012/01/14

77) දෙයියන්ටත් කතා කරන ..රජ්ජුරුවෝ ඔයා ළඟද ?

මෙන්න පත්තරේ ...
ටිකක් පහු උනා අළුත් ලිපියක් එක් කරන්නට ..මේ දවස් වල ටිකක් වැඩ වැඩිය වගේ ..අනෙක කාළගුණෙත් දරුණූ වේගෙනයි එන්නේ ..අද හරි හෙට හරි වින්ටර් එකේ හොඳම කොටස ඇරඹෙන්නයි හදන්නේ ...ඒ වෙනුවෙන්ම Storm watch මගින් විනාඩි දහයකට වතාවක් විතර කාළගුණේ වෙනස්වීම් කියනවා ..සීතල , තෙත වැහිබර ගතියක් ..තද හුළඟකුත් එක්ක අවට පිරිල ...


අදත් වෙනද වගේම rest එකේදි පොඩි කතා බහකට අපේ rest room එකට අපි ටික එකතුවුනා ..වෙනද වගේ නෙවි අද ලොකු කතාබහක් ලෙඩක් ගැන ..වෙනදනම් ඉතින් කාන්තාවෝ ඇදුම් මෝස්තරයි පුරුෂ පාර්ශවේ කාර් ගැනයි තමයි වැඩි පුර කතාව ...අද වෙනස් ..කවුරුත් Toronto Sun පත්තරේ (මේ පැත්තට එන්න ඉන්නවා නම් ටිකක් කියවල ,මෙහේ තත්ත්වේ දැන ගන්නත් පුළුවන් ) තියෙන ලිපියක් ගැන තමයි අවධානය ..වෙනදට නම් ඉතින් මේ පත්තරේ මේසේ පාළුව මකනවා විතරයි ..

මේ කෝපි කඩේ ...
news එක මේකයි ...පහුගිය දවසක එක්තරා විශේෂ මානසික රෝගියෙක් රෝහලින් පැන ගොස් තිබුණා ..විශේෂයි කිව්වේ ඔහු මීට කාළෙකට ඉස්සර වෙඩි තැබීමකින් මිනීමැරුමක් කළා ..ඒත් අධිකරණයෙන් නිදහස් වුනා ..ඒත් තවමත් Schizophrenia රෝගියෙක් ලෙසින් ප්‍රතිකාර ලබමින් සිටියා ...පහුගිය දවසක ඔහු රෝහලින් පැන ගොස් තිබුණා ..කවුරුත් මේ ගැන ටිකක් බිය වුනා ..මොකද Serial killer කෙනෙක් බවට ඔහු පත්වීමේ ලොකු අවධානමක් තිබුණ නිසා ..කවුරුත් හිතුවේ serial killer කෙනෙක් වෙලා හැමතැනම දිගට හරහට වෙඩි තියමින් යාවි කියල ..මොකද ඔහු සතුව ගිණි අවියකුත් තිබිල තිබුණා ...ඒ නිසා පොලීසිය , ප්‍රෙද්ශයේ ජනතාව , කැමරා පද්ධතිය හැම දෙයක්ම දාගෙන මේ මනුස්සයා හෙව්වා ..ටිකක් හොයල බලත්දි මෙන්න මිනිහ ඉන්නවලු මෙහේ Tim Horton කෝපි කඩේක කෝපි  බිබී ..කිසි වගක් නැතිව ....

කොහෙම හරි ඒ ප්‍රශනේ නම් අවසන් ..ඒත් මට ප්‍රශ්නයක් ! ....මොකක්ද ..මේ වෙනකොට ලිපි හැත්තෑ පහක් ලිව්වත් තවම Schizophrenia ගැන තවම ලිව්වේ නෑ නේද කියල එක ...ඔව් තවමත් ඒ ගැන නොලිවු නිසා අද ලියන්නයි හිතන්නේ ...

කාටද පුළුවන් වුනේ අර ලෙඩේ නම එකපාර කියන්න ....? ...ඔව් ටිකක් කියවන්න අමාරු ලෙඩක් ..ඒ එක්කම මානසික රෝග අතරින් ටිකක් දරුණූ ඝණයේ තත්ත්වයක් ..(මානසික රෝග අතර පිළීකාව කියලත් මේකට කියනවා ) ..මේක ස්කිසෝෆ්‍රේනියා කියල කියවන්නත් පුළුවන් ..නමුත් ව්‍යවහාරයේ අපි කියන්නේ සික්සොෆ්‍රීනියා කියන නමින් ..(සිංහලෙන් නම් භින්නෝන්මාදය ...)

Schizophrenia මේක ඇත්තටම දරුණූ ..ඒ වගේම බොහොම කාළයක් ප්‍රතිකාර කළ යුතු ..නැත්නම් බොහෝ කාළයක් විඳවන ..ඒ වගේම ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් වෙන ලෙඩක් ..මේක ඇති වෙන්න ප්‍රධානම හේතුව මොළයේ තියෙන ස්නායු සම්ප්‍රේශක Neurotransmitter  කියල රසායනික ද්‍රව්‍ය වන වන අසමතුලිතතාවයක් කියල දැනට සොයාගෙන තිබුණත් ..තවමත් පර්යේෂණ කෙරෙනවා .කොහොම හරි මේ විදියට මොළයේ රසායනිකයන් වෙනස් වුනාම , “හිතන විදිය“ , වෙනස් වෙනවා ..තීරණ ගන්න විදිය වෙනස් වෙනවා ..ඒ විතරක් නෙවි මේ පුද්ගලයාගේ “ආවේග ...හැඟීම් “ ආදියත් අස්වාභාවිත වෙන්න පුළුවන් ...තව දේවල් තියෙනවා ..මෙයාට අමුතු දේවල් පේනවා .ඇහෙනවා ..අමුතු විශ්වාස ඇතිවෙනවා ...කෙටියෙන්ම කිව්වොත් මිනිහා  සම්පුර්ණයෙන්ම වෙනස් චරිතයක් බවට පත්වෙන ..පත් කෙරෙන රෝග තත්ත්වයක් ... ඕං ඉතින් මම ඔයාව බය කරන්න හදනවා නොවෙයි ..මේ ලෙඩේ වුනත් පාළය කරන්න පුළුවන් ..හරියට ප්‍රතිකාර ගත්තොත් ..බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් .. අනෙක් දේ අපි අතරෙත් තවම හඳුනා නොගත් මේ රෝගීන් ඕනෑ තරම් ඉන්නවා ...කතාවේ ඉස්සරහට යන්කෝ ..එතකොට තේරේවි කවුද මේ කියල ..සමහර විට මේ ඔයා ගැන  වෙන්නත් පුළුවන් ..මොකද අපි සිය දෙනෙක් ගෙන් එක් අයෙක්ට මේ තත්ත්වය ජීවිත කාළයේ එක් අවස්ථාවක හරි මතුවෙන්න ඉඩ තිබෙන බව අද සොයාගෙන තියනවා ..

පිස්සු නටනවා කියල කියන්න එපා 
මෙන්න මේ වගේ ලෝක ප්‍රසිද්ධ අයත් මේ “දරුණූ මානසික“ රෝගයෙන් පීඩා වින්දා...ඒත් බලන්න මේ කවුද ..මොනවද කළේ කියල ...Tom Harrell ප්‍රසිද්ධ ජෑස් ගායකයෙක් ....John Nash  නොබල් ත්‍යාගලාභී ගණිතඥයෙක් ...Vaslav Nijinsky ලෝක ප්‍රසිද්ධ බැලේ නර්තන ශිල්පියෙක් ...මේ හැමෝම Schizophrenia තත්ත්වයෙන් පෙළුනු අය ..වෙනස ඔවුන් නිවැරදි අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමු වුනා ..එහෙනම් අපි ටිකක් ගැඹුරට යමු ...

මුලින්ම බලමු කොහොමද මේ රෝගය ඇතිවෙන්නේ කියල ...මේකටත් ප්‍රධානම හේතු සාධකය පවුල ...නෑ මම මෙතන පවුල කිව්වේ ..ජානමය සම්බන්ධයක් කියන එක ..ඒ කිව්වේ මේක “ආරෙන්“ එන්න ඉඩ තියෙන ලෙඩක් ..තව විදියකින් කිව්වොත් තමන්ගේ අම්මට ,තාත්තට හරි සහෝදර , සහෝසදරියකට හරි Schizophrenia තිබුණොත් අනෙක් සාමාජිකයාටත් එය ඇතිවෙන්න අවදානමක් තියෙනවා ...මේක ඉළින්ම සම්බන්ධයි නිවුන් සහෝදරයන් අතරේ ...ඒ කිව්වේ “සම නිඹුල්“ අයෙකුට මේ ලෙඩේ හැදුනනම් අනෙක් කෙනාට ඇති වෙන්න 50%කට කිට්ටු අවස්ථාවක් තියෙනවා ....


ඊට අමතරව දරු උපත සිදුවන අවස්ථාවේ නැත්නම් ගර්භණී අවස්ථාව තුල සිදුවන අනතුරු නිසාත් වියපත් වුනාම මේ තත්ත්වයට අවදානමක් තියෙනවා ..විශේෂයෙන්ම මව ගර්භණී අවස්ථාවේ යම් මානසික රෝගයකින් පෙළුනනම් ...නැත්නම් දරුණූ ශ්වනසාබාධයකින් පෙළුනනම් ..දරුවට ලැබෙන ඔක්සිජන් අඩුවීමක් වෙනවා ..එයත් දරුවට අනාගතේ අවදානමක් ගේනවා ..(දැන් ගේ ඇතුලේ දුම පුරවන තාත්තලා ටිකක් හිතුවොත් තමා හොඳ ..) ..

තාත්තලා ගැන කීවම මතක් වුනේ දරුවට මේ මානසික රෝගය ඇති කරන්න තාත්තගේ වයසත් බලපානවලු ..ඒ කියන්නේ දරුව බිහිවෙනකොට තාත්තගේ වයස අවුරුදු 50ක් විතර නැත්නම් ඊට වැඩි නම් ..ඒ දරුවට මේ මානසික රෝගය ඇතිවීමට වැඩි අවදානමක් තියෙනවා ..දැන් මේක කියවන අපේ මිතුරන් ටිකක් කල්පනාකාරී වීම හොඳයි ..මොකද හැමදේම පහුකර කර හිටියොත් දරුවට හොඳ නෑ .....

මොළ දෙකේ වෙනස !
මේ එක්කම පවුලේ බැඳීම් නැතිවී යාම මව් හෝ පියා දරුවා අඩු වයසේදි මිය යාම , නැත්නම් පවුල් ආරවුල් මගින් දෙමාපියන් වෙන්වීම ...වගේ සාධකත් මීට උදව් වෙන්න පුළුවන් ...ඒ වගේම වෙනත් ආර්ථීක නැත්නම් සමාජයීය සාධක ...පවුලෙන් කොන් කිරීම .සමාජයෙන් කොන් කිරීම වගේ සාධක නිසාත් කළකදි Schizophrenia තත්ත්වයට පත් වෙන්න පුළුවන් .. දන්නවද තරුණ වියේදි “ආදර බිඳ වැටීම් “ පවා හේතු වෙන්න පුළුවන් බව අද සොයාගෙන තිබෙනවා...මීට අමතරව විවිධ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත් අනාගතයේ Schizophrenia ලෙඩෙක් ඇති වන්නට ප්‍රධාන හේතුවක්...

දැන් අප ටිකක් හොය බලමු මේ ලෙඩේ හැදුනම ඇතිවන ලක්ෂණ මොනවාද කියල ..හොඳට කල්පනාවෙන් කියවන්න ..මේ ලක්ෂණ ගැන කියවන විට කවුරු කවුරු මතක්වේද බලන්න ..

අපි පැහැදිලි කිරීමේ පහසුවට මේ ලක්ෂණ ගොන්න ප්‍රධාන කොටස් තුනකට කඩනවා ..ඒ Positive symptoms , Negative symptoms සහ Cognitive symptoms කියල ..දැන් බලයි මොනවද අප්පේ මේ බර කතාව කියල ..පොඩ්ඩක් ඉන්නකෝ ..අපි මේ එකින් එක ටිකෙන් ටික ලිහා ගනිමු ..

මුලින්ම මොනවද මේ Positive symptoms නැත්නම් ධන ලක්ෂණ කියලා ..මුලින්ම අස්වාභාවික අදහස් මත ඔවුන්ගෙන් මතුවෙන්න පටන් ගන්නවා ..ඒ කිව්වේ සාමාන්‍යෙයන් ලොකේ සිද්ධ නොවන දෙයක් ගැන මේ කෙනා අධිකව විශ්වාස කරනවා ..මේකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ Delusions කියල .....

“මං දෙයියෝ “ ...
සමහරු කියනවා තමන්ගේ ඇඟ ඇතුලට භූතයෙක් රිංගල ..නැත්නම් දෙවියෙක් ඇතුළු වෙලා ..තමන්ට අසාමාන්‍ය බලයක් දෙනවා ..සමහර විට කියාවි “මගේ හිතේ තියෙන දේවල් පිට සක්වල ඉන්න අය ඇදල ගන්නවා “ ඔන්න ඔය වගේ ...මට මතකයි අපේ පුහුණූවීම් කාළේ අංගොඩ මානසික රෝහලේදි හමුවුනු “පොඩි බුදුන් “ ...නමනම්  හරියට මතක නැහැ ..පොඩි කොලු ගැටයෙක් ...වයස අවුරුදු 18ක් විතර ..මිනිහ කියන්නේම තමන් බුදු වෙලා කියලමයි ...එයාගාවින් යනව නම් අපි එයාට වැඳ නමස්කාර කරල තමයි යන්න ඕන ..ඉන්නනෙත් ටිකක් උඩින් ...බිත්ති කණ්ඩියක හරි මේසයක් උඩ හරි ..මොකද එයා බුදුන් නේ .මේ Religious delusion  ඔය සමහරු කියන්නේ තමන් අර දෙයියෝ මේ දෙයියෝ  එහෙම නැත්නම් “බුදු හාමුදුරුවෝ“ , කිස්තුස් වහන්සේ තමන් කියල ..ඒත් Religious delusion  තමයි ....

තවත් උදාහරණ ..සමහරු විශ්වාස කරන්නේ තමන් දුටුගැමුණු රජ්ජුරුවෝම කියල ..කොච්චර එහෙම නොවෙයි කිව්වත් මෙයානම් පිළිගන්නේ නැහැ ..“මමයි රජ්ජුරුවෝ (Grandiose delusion) .....“ ඇවිදින්නෙත් ඔළුව කෙළින් තියාගෙන “කඩුවත් වන වන ..“  ,

තවත් පොදු අවස්ථාවක් තමයි අසාමාන්‍ය සැකය ඇතිවීම(Persecutory delusion) ...කෑම එකවත් කන්නේ නැහැ හේතුව ඇහැව්වම “ අරුන් ඕකට වස දාල ඇති “ , නැත්නම් “ඔය කෑම එකක්යැ ...ඔය මාළු කෑල්ලට වස දාල තියෙන්නේ ...නොකිව්වට මං දන්නවා “ ...ආයෙ කවනව නම් බොරු තමා .....තව හොද ඩිලුෂන් එකක් තමයි අනුන්ගේ දේවල් තමන්ගේ වගේ හිතන එක ..ඒ කිව්වේ රේඩියෝ එකේ සිංදුවක් ගියොත් එයා හිතන්නේ “මේ මටම මගේ හිත රිද්දන්නම හිතල  ලියපු එකක්“ ..පාරේ කවුරු හරි හූවක් කිව්වොත් “ඔය හූ කියන්න ඇත්තේ මටමයි“ ... ඔන්න ඔය තමයි අපි මේ කියන අස්වාභාවික විශ්වාස වලට උදාහරණ ..ඔන්න තව සමහරු ඕන කමින්ම හිතාගෙන ඉන්නවා තමන්ගේ ඇඟ ඇතුළෙ පිළිකාවක් ..නැත්නම් ඇඟ ඇතුළෙ යකඩ කෑල්ලක් තියෙනවා .Somatic delusions..විශේෂත්වය මොන සක්කරයටවත් මේක බොරු බව ඒත්තු ගන්වන්න බැහැ ..කොච්චර කීවත් එයාගේ කතාවම තමයි ඇත්ත ....

අනෙක් Positive ලක්ෂණේ තමයි Hallucinations කියන්නේ ..මේ ලක්ෂණේ දි වෙන්නේ මෙයාට අසාමානය දේවල් ඇහෙනවා ...දැනෙනවා ...හොද උදාහරණයක් තමයි මේ අය කියනවා තමන්ට දෙවියෝ කතා කරනවා ...සමහරු ඇත්තටම යාළුවෙක් එක්ක කතා කරනවා වගේම කතා කරනවා ...ඒත් අපිට පේන්න කවුරුවත් නැහැ ...Auditory hallucination කියලයි ඒ අවස්ථාවට කියන්නේ ... තවත් සමහරුන්ට විෂුවල් හැලුසිනේෂන් visual hallucination එතකොට එයාට අමුතු දේවල් පේනවා . සමහරුන්ට ගේ ඇතුලේ හොල්මන් ඇවිදිනව පේනවලු ...සමහර වෙලාවට “සියලු දේවාභරණ පැළඳ ගත්ත ...දෙයියෝ අපේ ගෙදර ගාවටම එනවා ..මම දකිනවනේ ..“ අපි කාටවත් නොපෙනුනාට මෙයාට පේනවා ...මේක ගැන කිව්වම “පිං තියෙන අපිට තමයි ඒව පේන්නේ , උඹලට කොහෙද ...“ මට මේ දෙබසත් තාම මතකයි ...මේ විදියටම අපිට නොදැනෙන “සුවඳ ...රස ..“ ඔය වගේ දේවල් දැනෙන්නත් පුළුවන් මෙයාලට ..ඒ විතරක් නොවෙයි අපිට මුණ ගැහුණු එක් රෝගී ගැහැණු දරුවෙක් කිව්වේ ..“කවුද මේ බිත්තියෙන් අත දාල මගේ .......ඇල්ලුවනේ ..“ ..ඇත්තටම අඬාගෙන ඇවිත් මෙහෙම කියනකොට කොහොමද කියන්නේ බොරු කියල ..ඉතින් අපි ගිහින් බිත්තිය පෙන්නුවම ...“නෑ ..දැන් ටිකකට ඉස්සර වෙලා මේ බිත්තිය මැදින් ලොකු අතක් ඇවිත් ඇල්ලුවේ“ .....ඒ බිත්තිය මැදින් අතක් එන්න තියා ඇණයක් වත් එන්න බැහැ ..ඒත් මේ කෙල්ලට “ඒක වෙලානේ ...“ අපි ඔය තත්ත්වෙට කියන්නේ Tactile hallucination කියල ...

මම කවුද ? ...
ටිකක් කම්මැළිද මන්ද ..ඒත් මේ ලක්ෂණ ගැන ටිකක් වැඩි පුර විස්තර කළේ මේ වගේ තත්ත්වයන් හදුන ගන්න ලැබුණොත් ඉක්මණින් ඔහු ..නැත්නම් ඇය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ට යොමු කරන්න ..හැබැයි පරිස්සමින් ..සහ උපක්‍රමශීලීව ..මොකද මුල් අවස්ථාවෙම ප්‍රතිකාර ගන්නට අවස්ථෘවක් ලැබුණොත් ..ලබා දෙන්නට උදව් වෙන්නට ඔබට හැකිවුනොත් එයම මහ පිනක් ..ඒකයි මෙච්චර වැල් වටාරම් එක්කම ලියන්නේ ..අනෙක අපි අතරේ මේ රෝගයෙන් පෙළෙන ..ඒත් හඳුනා නොගත් පරිසක් ඉන්නවා ..ඒ අය රෝග තත්ත්වය උග්‍ර වෙන්න ඉස්සර හඳුනගන්න ඔබට හැකි වුනොත් එයම කොතරම් වටිනවාද ..?

ඊළඟ Positive ලක්ෂණේ....මේ අයට කිසිම වැඩක් පිළීවෙලට කරගන්න බැහැ ...කෑම කන එක ...ඇඳුමක් අ දින එක ...අඩුම තරමේ නාගන්න එකවත් හරියට කරගන්න බැහැ ..එක්කො බාගෙට වැඩේ කරගෙන එනවා ...හැම වැඩක්ම අපිළිවෙලයි .Disorganized බවක් තමයි ඒ හැම දෙයක් ගැනම අපිට දැනෙන්නේ .ඒ එයාට ගැන කිසි තැකීමකුත් නැහැ ..අනෙක හැඟීම රහිත බවක් තමයි මුහුණේ පෙන්න තියෙන්නේ .සමහර විට අවස්ථාවට ගැලපෙන්නේ නැති හැඟීම් තමයි පෙන්වන්නේ .කතාවට ගියාම එකිනෙකට කිසිම ගැලපීමක් නැති කතාවල් එක දිගට කියාගෙන යාවි ..

මෙන්න වේලාසනම ඇතිවන ප්‍රධානම ලක්ෂණේ ...මෙයා “හරිම සංවේදී කෙනෙක් වෙනවා “ ...හරිම සුළු දේකටත් ඉක්මණින් තරහ වෙලා ..කණ්ඩායමෙන් ඈත් වෙලා තනියම ඉන්නවා ...එයාම කියාවි “මගේ යාළුවෝ මාව අයින් කරලනේ ...මට කවුරුවත් නෑ ..මං තනිවෙලා ..“ ..ඒත් ඇත්ත මේක නොවන්න පුළුවන් ..එයාමයි යාළුවන්ගේන් අයින් වුනේ ..එහෙම ඈත් වෙලා තනිවෙලා දුක් විඳින බව යාළුවන්ට හඟවන්න හරිම ආසයි ....ඔන්න ඔය හරිම සෙන්සිටිව් යාලුවො ඉන්නවා නම් ටිකක් පරිස්සමින් හොයල බලන්න එයාලගේ චර්යාව මොනවගේ වේද කියලා ...

අපි මේතුවක් වෙලා කතා කළේ එක ලක්ෂණයක් ගැන ... Positive symptoms ගැන ...දැනුයි අපි එන්නේ Negative symptoms වලට ..මොනවද මේ Negative symptoms ...මේ අයගේ හැම වැඩක්ම Slow වෙනවා ...ඔය කොහේට හරි වෙලා පැත්තක් බලාගෙන නිකං ඉන්නවා ..කිසිම උනන්දුවක් ..ප්‍රෙබෝධයක් නැහැ ...සමහරුන්ට ඔය වගේ දවස් ගාණක් වුනත් ඉන්න පුළුවන් ..(මේ රෝගයේ එක්තරා අවස්ථාවක “පිළිමයක් වගේ එකම විදියට දවස් ගාණක් ඉන්න තත්ත්වයකුත් තියෙනවා) ...හැමෝගෙන්ම අයින් වෙලා ..සමාජයෙන් කොන්වෙලා . කොන් කරලා නෙවි ..එයාම කොන්වෙලා ....

තුන් වැනි ලක්ෂණෙ Cognitive symptoms .. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ මතකය , බුද්ධිමක තත්ත්වය ඉතාම පහළ ..රස්සාවට යන්න ..ඉස්කොළෙට යන්න කැමැත්තක් නැහැ ..ගියත් මුකුත්ම මතක නැහැ ..සමහරුන්ට තමන්ගේ නමවත් මතක නෑ කිව්වොත් ඔබ පිළිගන්නවද ..?

දැන් මේ ලෙඩ ලක්ෂණ මල්ල කියෝගෙන යත්දි හිතන්න එපා මේක එන්නේ වයසට ගිය අයට විතරයි කියල ...නැහැ ..වයස අවුරුදු 18 විස්ස වගේ සීමාවේ ඉඳළම මෙය මතුවෙන්න පුළුවන් .. ..ඒ නිසා මේගැන අවධානය අඩු කරන්න එපා ...අනෙක් කාරණේ මේ රෝග තත්ත්වය  ජීවිත කාළය පුරා ආකාර තුනකින් ඇතිවෙන්න පුළුවන් ..

මාව අඳුනගන්න ....
මුල් අවස්ථාව ..ඔය පොඩි පොඩි ලක්ෂණ කිහිපයක් ...කල්පනාවෙ පොඩි වෙනසක් ..චර්යාව ටිකක් කම්මැලි ගතියක් පෙන්නාවි ..වෙන්වෙලා තනියම ලෙඩා වගේ ඉන්න කැමති වේවි ...සමහර විට වෙනදාට වැඩිය ආගමට ..ලැදි බවක් පෙන්නනත් පුළුවන් ..ඒත් මේයා තවම පවුලේ සාමාජිකයන් ..මිතුරන් අතරේ ඉන්නවා ..කවුරුවත් මෙයාට “ලෙඩක් බව,“ හඳුනගන්නේ නැහැ ..ඔහොම ඉඳළ ටික දවසකින් ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත්වේවි ..ඔය අවස්ථාව අපි වෛදය විද්‍යාවෙදි නම් කරන්නේ Prodormal phase කියලා .. ඔය අස්ථාවේ හඳුනගන්න පුළුවන් වුනොත් ...නිසි ප්‍රතිකාරයට යොමු වුනොත් මීට වඩා දරුණු තත්ත්වයට පත්වෙන එක වලක්වා ගන්න පුළුවන් ...ඒත් එය නොවුනොත් තව ටික කළකදි අපි ඉහත කිව්ව දරුණූ රෝග ලක්ෂණ එක්ක අපි සාමාන්‍යයෙන් කියන “පිස්ස“ ගේ චරිත ලක්ෂණම ඇති වෙන්න පුළුවන් Active phase ..දැන් ප්‍රතිකාර කරන්න පෙළඹේවි ..ප්‍රතිකාර කළත් සමහර විට නොකළත් ටික කළකින් තදබල ලක්ෂණ අඩු වෙන්න පුළුවන් ..ඒත් සමහර ලක්ෂණ ඉතිරි වෙලා ඉදිරියට යාවි Residual phase ..ආයෙත් යම් අවස්ථාවක තදබල ලෙසින් මානසික රෝගය උත්සන්න වේවි මේ විදියට නැවත නැවත අර Active phase එක ඇතිවීම ඉතාම අවදානම් ..මොකද එහි ප්‍රතිපලය නැවත පාළනයක් කළ නොහැකි තරමටම මේ මානසික රෝගය උත්සන්න වෙන්න පුළුවන් ..

ඉතින් මේ තත්ත්වයට ප්‍රතිකාර තියෙනවාද ?...ඔව් මේ Schizophrenia රෝගයට ඖෂධීය ප්‍රතිකාර ...විද්‍යුත් ප්‍රතිකාර ..චර්යාත්මක ප්‍රතිකාර ..ඔය වගේ ආකාර කිහිපයක ප්‍රතිකාර තියෙනවා ..ඒත් ඒ ප්‍රතිකාර වල නිසි ඵල ගන්නට නම් “ලෙඩේ කුරෝලු වෙන්න ඉස්සර“ ...එහෙම නැත්නම් ලෙඩේ උත්සන්න වෙන්න ඉස්සර නිසි සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක්ට පෙන්වන්න ..උපදෙස් ගන්න ...ආසන්නම රජයේ රෝහලේ මානසික රෝග සායනයට යොමු කරවන්න ..එහෙම කළොත් මේ රෝග තත්ත්වය හොඳන් පාළනය කරගෙන ජීවිතය ගෙවන්න පුළුවන් ...හැබැයි මේ රෝගියාට පවුලෙන් ..සමාජයෙන් උදව් ඕන ..ඔහු නැත්නම් ඇය ඔබේ කෙනෙක් විදියට සලකන්න ..  මොකද මේ තුවාල වෙලා තියෙන මනසට හරියට රිදෙනවා ..ඔබෙන් වෙන පුංචි අතපසු වීමක්  ..තද වචනයක් ඇති එයාට ජීවිතේ නැති කරගන්න වුනත් ..(මානසික රෝගී අයෙක් රැක බලාගන්න විදිය අපි 18 වැනි ලිපියෙදි කතා කළා ..කැමති නම් මේ link එකට ගිහින් ඒ ගැනත් බලන්න ..) එහෙම නම් අපි අද කතා කළ Schizophrenia කියල රෝග තත්ත්වය ගැන කතාව මෙතැනින් නිමා කරනවා ...මොකද මේ වගේ රෝග වල ප්‍රතිකාර ..ඖෂධ ...පරිස්සම් වෙන්න ඕන විදිය අපි මීට ඉහත ලිපි කිහිපයක කතා කරල තියෙනවා ..ඒ දේවල් ආයෙත් කියවන්න ඕන නැහැනේ ...එහෙම නම් අදට සමුගන්නම් ..

පසුවදන,...
මෙන්න ඔබේ අදහස් එක්ක සොයාගත්ත එක්තරා සිංහල චිත්‍රපටියක කොටසක් ....බලන්න වීඩියෝව මානසික රෝගීන් ගැන සංවේදී අදහසක් ගත හැකි අවස්ථාවක් ....http://youtu.be/Ev8pu1IvLt0

22 comments:

  1. හ්ම්...නියුරෝ ට්‍රාන්ස්මිටර් වලිනුත් ඇසිටයිල්කෝලින් කියන එක වැඩි වුනාම තමයි මං හිතන්නේ ඔය තත්ත්වය ඇතිවෙන්නේ!

    ReplyDelete
  2. The Beautiful Mind චිත්‍රපටිය මතක් වුනා..තාරකා වාසලමුදලිත් මේ වගේ රෝගියෙක් ගැන ලස්සන පොතක් ලියලා තිබුනා...භිනොන්මාදය මෙච්චර බරපතලයි කියලා දැනගත්තෙ ඒවයින්..ස්තුතියි ලිපියට..

    ReplyDelete
  3. ගරිල්ලා මාකටින් සිනමා නිර්මාණයේ කමල් අද්දර ආරච්චි රඟපාන්නේ ඔය තත්වයේ ඉන්න පුද්ගලයෙකුගේ චරිතයක්.

    ReplyDelete
  4. ගරිල්ලා මාකටිං ෆිල්ම් එකෙත් මේ ලෙඩේ ගැන පොඩි සීන් වගයක් තිබ්බ නේ :)

    ReplyDelete
  5. -Sabith,
    සරු කරුණක් එක් කළාට ස්තුතියි ..ඔව් ඔබ කියන සංයෝගය වගේම ප්‍රධාන වශයෙන් Dopamine කියන රසායනකියත් වැඩිවීම , එයට සංවේදීතාව වැඩිවීම මේ රෝග තත්ත්වය ඇති වන්න හේතුවක් බව Dopamine hypothesis of Schizophrenia මගින් හඳුන්වා දෙන්නේ ...ස්තුතියි සබිත් සරු කරුණක් එක් කළාට ...

    -රූ.... ,
    ඇත්තටම මම ඒ ගැන දැන ගෙන හිටියේ නැහැ ..අනෙක මේ රෝග තත්ත්වයේ සිංහල නම භාවිත කළ නිසා මටත් මතක් වුනේ මගේ සටහනේ සංහල නම භාවිත කරලම නැති වල ...ඔන්න දැන් මම සිංහල නමත් සටහනට ඇතුළු කළා ..ස්තුතියි රූ ....

    -Anonymous,
    ස්තුතියි ඔබේ පැමිණීම සතුටක් ..

    -ඇත්තද ...ඒ ගැන දැනගෙනෙ හිටියෙ නැහැ ..අද බලන්න ඕන ඒ ෆිල්ම එක ...අද නිවාඩු දවසනේ ....ස්තුතියි ඔබටත්

    ReplyDelete
  6. ඇත්ත. ගරිල්ලා මාකටිං ෆිල්ම් එකෙත් තිබුනා. -රූ.... Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුවේ) ලියලා තිබුනා Schizophrenia ගැන ලියන්න කියලා. දැන් ඔන්න ඒ ගැන සර්ව සම්පූර්ණ ලිපියක් තියෙනවා. බොහොම ස්තුතියි...

    ReplyDelete
  7. මමත් අහලා තියෙනවා ඕක දරුණු තත්වයක් කියලා, ස්තූතියි දැනුවත් කලාට!

    ReplyDelete
  8. බර වචන නොතෙරුනාට ලිපිය තෙරුනා බොහෝම ස්තුත්යි ලිපියට

    ReplyDelete
  9. -Pradeep Gunarathna,
    ස්තුතියි ප්‍රදීප් ඔබේ පැමිණීමට ..ඒ වගේම සතුටුයි ඔබ හඳුනාගන්නට ලැබීමත් ..ඔබේ ලිපි පෙළත් හරිම වැදගත් සිංහල බ්ලොග් පරිශ්‍රයට අවශයම පිටුවක් ..මගේ සුබ පැතුම් ..

    -ලහිරු ,
    ස්තුතියි ඔබෙ පැමිණිමට ..

    -Loku John ,
    අනේ Loku John සමහර වචන වල නියම සිංහල පද හදන්න ගියොත් ටිකක් නොගැලපෙන ගතියක් එනව වගේ . ඒ නිසා වගේම මේ සමහර වචන විෂයානුබද්ධ කරුණූ සොයන්නන්ටත් වැදගත් නිසා යෙදුවා ..ඒත් පුළුවන් තරම් අවශ්‍ය තරම තේරුම් කරන්නට උත්සාහ කළා ..මේ මාතෘකාව ගැන පොතක් වුනත් ලියන්න කරුණු සහ ආසාව තියෙනවා ..ඒ තරම් පර්යේෂන කෙරෙන “අපි දන්න“ , “අපේ ආසන්න පුද්ගලයින් පවා නොදැන පෙළෙන“ රෝගයක් මේක ..ඔබේ පැමිණිම සතුටක් ...ස්තුතියි Loku John ...

    ReplyDelete
  10. යම් සිදුවීමක් මීට කලින් ඒ විදියටම සිදුවෙලා තියනව වගේ හිතෙන එක මානසික රෝගයක ලක්ෂනයක්ද ???

    //සමහරු විශ්වාස කරන්නේ තමන් දුටුගැමුණු රජ්ජුරුවෝම කියල //
    ඔය කියන්නෙ කැලනියෙ ඉන්න එක්කෙනා ගැනද ???

    ReplyDelete
  11. -ඕනයා,
    මල්ලී ..ඔය කියල අදහස මේ මානසික රෝගී තත්ත්වයේ ඉන්න අයත් කියනවා..හැබැයි මෙය සාමාන්‍ය අයටත් විටෙක වෙන්න පුළුවන් දෙයක් , මොකද අපි ජීවත් වෙත්දි සමහර වෙලාවට සමාන සිදුවීම් , නැත්නම් ඒ සිදුවීම් සමාන යැයි අපි හිතාගන්න අවස්ථාත් තිබෙන නිසා ...

    නෑ මෙය සාමාන්‍ය Schizophrenic රෝගීන්ගේ අදහසක් ...එයිනුත් මේ අය ආරෝපණය කර ගන්නේ හුඟක් ප්‍රසිද්ධ ..ජනප්‍රියම චරිත..සිංහලේ හුඟක් ජනප්‍රිය වීර චරිතයක් නිසා මේ දුටුගැමුණු චරිතය මේ රෝගීන් බොහෝ අවස්ථාවල ගන්නවා ...
    ස්තුතියි

    ReplyDelete
  12. Beautiful Mind චිත්‍රපටය මතක් වුනා. වටින ලිපියක් හැම්දාම වගේ !

    ReplyDelete
  13. මම මේ ගැන ටිකක් දන්නවා.ටිකක් ඉගෙන ගෙනත් තියෙනවා. ඒ දැනුමට තවත් ගොඩාරියක් එකතු කරපු එකට තුති..

    ReplyDelete
  14. -Weni,
    ස්තුතියි වෙනි ...ඔබේ පැමිණීමම සතුටක් ..

    -වර්ණා ,
    ස්තුතියි වර්ණා ..ඔබටත් .

    ReplyDelete
  15. ලිපිය කියවන්න ලැබුනෙ දැන් තමයි.නිදහස් වෙලාවක් එනකම් හිටිය.
    රෝගයේ විස්තර ඇහුවමනම් බයත් හිතෙනවා. මේ වගේ ලෙඩ්ඩුන් ගැන නම් හොඳ අවධානයෙන් සිටිය යුතුමයි.ගෙදර අයටත් ලොකු වගකීමක් නේද.
    හොඳ ලිපියක් ස්තූතියි.

    ReplyDelete
  16. -Gimhani ,
    ඇත්තෙන්ම ඔබ හරි ..මේ ගැන පවුලේ අයට ඇති වගකීම ගැන පෙර ලිපියක සටහන් කළා ..
    ස්තුතියි ඔබට ..

    ReplyDelete
  17. ඔබේ ලිපි සෑම එකකම පාහේ අහන දෙයක් තමයි කම්මැලිද කියන එක . මම නම් හිතන්නේ නැ ඔබේ ලිපි කියවන කිසිම කෙනෙක්ට එහෙම හිතෙනවා කියල. මේ ලිපිය වගේම , ඔබ පළකරපු සෑම ලිපියකම තිබෙන්නේ රසවත් ලෙස ලියපු හරවත් දෙයක්.

    ReplyDelete
  18. -Kavindi ,
    ස්තුතියි කිවින්දි ,ඔව් සාමාන්‍යෙයන් බොහොමයක් බ්ලොග් ලිපි මේ තරම් දිගු නැහැ මට හිතෙන විදියට , අනෙක විෂයානුබද්ධ කරුණු (විශේෂයෙන්ම එතරම් හුරු නැති වචන ..සංකල්ප..) අඩංගු මේ වගේ ලිපි දිගු වෙලාවක් කියවන එක සමහර විට කම්මැළි කටයුත්තක් වෙන්නත් පුළුවන් නිසා මට එහෙම අහන්න හිතෙනවා ..පුළුවන් තරම් උත්සාහ ගන්නව මේ “තිත්ත මාතෘකා , පැණි වල ඔබ්බල“ ඔබ සැමට ලබා දෙන්න ..ස්තුතියි ඔබට ..

    ReplyDelete
  19. බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට. මේ විදිහේ රෝග ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් තියෙන අය සෑහෙන්න ඉන්නව කියලයි මට නං හිතෙන්නෙ

    ReplyDelete
  20. මෙන්න සාක්ෂි.
    මේ දුටුගැමුණු
    http://www.youtube.com/watch?v=ltijzU1arXM

    මේ ගෝඨයිම්බර
    http://www.youtube.com/watch?v=XG0X5raWyK8

    මේ බුදු හාමුදුරුවො
    http://www.youtube.com/watch?v=4KAJs7ib5ws

    මේ බුදුන් දුටු කෙනෙක්
    http://www.youtube.com/watch?v=eGouvL2NS8A

    ReplyDelete
  21. මෙන්න සාක්ෂි.
    මේ දුටුගැමුණු
    http://www.youtube.com/watch?v=ltijzU1arXM

    මේ ගෝඨයිම්බර
    http://www.youtube.com/watch?v=XG0X5raWyK8

    මේ බුදු හාමුදුරුවො
    http://www.youtube.com/watch?v=4KAJs7ib5ws

    මේ බුදුන් දුටු කෙනෙක්
    http://www.youtube.com/watch?v=eGouvL2NS8A

    ReplyDelete
  22. -දොඩන් ,
    ස්තුතියි දොඩන් ..ඔව් මේ තත්ත්වය නිසා දුක් විඳින වගේම ...අනෙක් අය දුකේ හෙළන පිරිසත් වැඩි වෙමින් පවතිනවා ..

    -Anonymous ,
    ස්තුතියි ඔබට , ඔව් මේ හැම වැඩසටහනක්ම වගේ අපි වෙනත් රටක හිටියත් ආසාවෙන් අහගෙන හිටියා , මේ හැම එකකම වගේ ඇත්තේ , මෙම මානසික රෝගය හෝ , එහි වෙනත් අවස්ථාවක් , ඇත්තෙන්ම මේ අනුගාමිකයන් කළ යුත්තේ මේ “රෝගියාව“ ඉක්මනින් ප්‍රතිකාරය සඳහා යොමු කිරීම, නැත්නම් මේ අයුරින් සමාජ “විපර්යාස“ කරන්නට පෙළඹීම සිදුවන්නක් , 
    ස්තුතියි

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)