2012/08/13

113) අතින් ඇද ඇගේ හදවත හපන්නා ..(ආතරයිටිස් ගැන කතාවක්)

ඊයෙ වැටිච්ච වැස්සත් එක්ක උදේ පාන්දර හීතල ගතිය වැඩිවුනා වගේ . රේඩියෝ එකේ පිරිත් ටික සද්දෙට ඇහෙන්න දාලා , ඉස්කෝලෙ නෝනා කුස්සියට ගියේ වෙනද වගේම තමන්ගේ පුතාට ගෙනියන්න කෑම ටික හදල දෙන්න . ගෙදර කවුරුත් මේ පිරිත් හඬත් එක්කම ඇහැරෙන බව දන්න නිසා , මුලින්ම ඉතින් තේ ටිකක් හද දෙන එකනේ වටින්නේ . ඉස්කෝලේ නෝනා කේතලේට වතුර එකක් පුරවල සුදානම දවසේ වැඩ පටන් ගන්න..


“දඩාස් ....“ ..

“මොකද අම්මා ....“ කාමරේ හිටි සුමිත් ඇඳේ ඉඳගෙනම කෑගැහුව ...

“නෑ ...මේ කේතලේ වැටුන පුතේ ..... මං ඒක අස්කරල දාන්නං ...“ 

“මං අම්මට කියල තියෙනව නේ ඔය උදේ පාන්දර නැගිටගෙන දුක් විඳින්න එපා කියල . මං යන්න ඉස්සර තේ ටිකක් හදාගෙන බොන්න බැරියැ . ....මොකද අම්මේ තාම අතේ අමාරුව තියෙනව වගේද ...?“ කුස්සියට ආපු සුමිත් අම්මගෙන් ඇහුව ..

“ඔව් පුතේ ...උදේට නං අත දිග ඇර ගන්නම බැහැ වගේ ...ඇල්ලුවත් දැනෙන්නෙත් නැහැ ....අනේ මන්ද මෙහෙම ගිහින් මාත් එකතැන් වේවිද කියල ....“

“එදා ඩොක්ටර් කීවනේ අම්මට හරියට බෙහෙත් ටික ගත්තොත් එහෙම කරදරයක් වෙන එකක් නැහැ කියල ...ඒ නිසා ඒව ගැන හිතන්නේ නැතිව හරියට බෙහෙත් ටික ගන්න ..අනෙක දැන් ටිකක් විවේකෙන් ඉන්න ඕන කාළෙනේ .....දැන් ඔය වැඩ ටික නංගිට ටිකක් බාර දෙන්න ...අම්ම පොඩ්ඩක් විවේකෙන් ඉන්න ...“ 

“ඒ කෙල්ල තාම පොඩි එකී නේ පුතේ ...!“ ....

ඉස්කෝලේ නෝන හැමදාම මුහුණ දෙන මේ සිද්ධියේ එක දවසක් විතරයි මේ ...ඒ වගේම , මේ රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයෙන් පෙළෙන එක් අයෙක් විතරයි , ඒත් මේ වෙනකොට ලෝකේ සමස්ථ ජනගණයෙන් 1-2%ක් පමණ මේ තත්ත්වයෙන් විඳවනවා. එයිනුත් වැඩිම පිරිම කාන්තාවන් , ඇත්තම කීවොත් මේ රුමටොයිඩ් ආතරයිටිස් හැදුනු අයගෙන් භාගෙකට වඩා කාන්තාවන් (තුන් ගුණයක් විතර) , දැන් ඔබ කියාවි මේක ඉතින් වයසට ගියාම හැදෙන ලෙඩක්නේ කියල ..නැහැ , ඕනම වයසකදි මේ අවදානම තිබුණත් අවුරුදු 25-60 වගේ කාළෙදි මතු වීමේ අවදානම හුඟක් වැඩියි , කතාවේ ඉස්සරහට යන්න ඉස්සර වෙලා වැදගත්ම දේ කියන්නම් , මෙය නිකම්ම නිකම අතේ පයේ රැදාවක් කියල නොසලකා හරින්න එපා , මොකද ඔබ නොදැනුවත්වම මේ රෝගයට පුළුවන් , ඔබේ හදවත හපා කන්නට , ඔබේ වකුගඩු දියකරන්නට , ඔබව , ඔබටත් නොදැනම මරණය වෙත ඇඳගෙන යන්නට හැකියාවක් ඇති Rhumatoid arthritis ගැන මීට වඩා යමක් දැනගන්න එක වටී යැයි හිතෙනවා නම් මේ කතාවත් එක්ක රැඳිල ඉන්න , නැත්නම් ඉතින් මෙයින් මිදිල යන්න  ....

අදත් ලෙඩේ ගැන වනන්න ඉස්සර වෙලා , තැනේ වනන්න එපායැ ...දැන් අපි හදන්නේ මේ තැන ගැන හඳුනගන්න ... අපි මීට කාලෙකට ඉස්සර කතා කළානේ මේ වෛද්‍ය විද්‍යාත්මක පද බෙදෙන හැටි ...මෙතනදි ආත්‍රයිටිස් හැදෙන්නේ “ආත්‍ර“ + “අයිටිස්“ කියන කොටස් දෙකෙන් , “ආත්‍ර “ කියන්නේ “හන්දි“  කියන වචනේ ..එතකොට ‘ අයිටිස් ‘ කියන්නේ “ප්‍රදාහය“ , ඒ කිව්වේ ඉදිමිලා , රතුවෙලා , වේදනාවක් ඇති වෙන එක ....එහෙම නම් මේ ආත්‍රයිටිස් කියන්නේ හන්දිවල ප්‍රදාහය කියන දේ ....ආතරයිටිස් වර්ග නම් සීයකට වැඩිය තියෙනවා ..ඒ එකකට එකක් වෙනස් වුනත් හැම අවස්ථා වෙම හන්දි වේදනාව පොදුයි ....හැබැයි අපි අද කතා කරන්න හදන රුමැටොයිඩ් ආතරයිටිස් අනෙක් හැමෝටම වඩා විශේෂයි කියන්න පුළුවන් හේතු ගණනාවක් තිබෙනවා , ඒ අතරේ මෙය හිමින් සැරේ වැඩි වන , කාළයක් තිස්සේ පවතින ලෙඩක් වීමත් , මේ වේදනාවට හේතුව ඇඟ ඇතුලෙම සිදුවන වැරදි වැටහීමක් වීමත් , වගේම මේ ලෙඩේදි සන්ධි විතරකින් නොනැවතී හදවත , වකුගඩු වගේ ඉන්ද්‍රියයන් පවා මරා දමන්නට තරම් ප්‍රබල ලෙඩක් වීමත් ඊට හේතු කියන්න පුළුවන් ...

කතාව වැඩි වුනා වගේ ..අපි දැන් පිංතූරයක් බලමු ..

 මේ පිංතූරයේ පෙන්වන්නේ අපේ සාමාන්‍ය අස්ථි දෙකක් එකතු වෙන සංධියක් ...ඔය රූපේ උඩිනුයි යටිනුයි ඉන්න අස්ථි(Bone) දෙක කෙලින්ම එකට නොගෑවෙන්න ...(එහෙම අස්ථියකට අස්ථියක් එකට ගෑවුනොත් ඒක හරියට හුණු ගල් දෙකක් එකට ගෑවෙනව වගේ වේවි ) , බොහොම සීරුවට නවන්න පුළුවන් වෙන්න , ඇඟේ බර හොඳට දරා ගන්න පුළුවන් වෙන්න හැදුනු පුදුම ජීව විද්‍යාත්මක ආකෘතියක් තමයි මේ අස්ථි සන්ධිය ...

මේ සන්ධියේ තියෙන අස්ථී කෙළින්ම එකට ගැටෙන්නේ නැහැ කියල අපි කීවනේ ..එහෙම වෙන්නේ , අස්ථිය කෙළවරේ පොඩි කැප් එකක් දාල තියෙන නිසා , බොහාම සුමට , ශක්තිමත් Cartilage කියන ව්‍යුහයෙන් හැදුනු මේ කැප් එක නිසා තමයි ඇට කටු දෙකේ ඔළු ගෙඩි නොහැප්පී තියෙන්නේ . ඒ වගේම ඇට කටු දෙකේ ඔළු ගෙඩි දෙක අතරේ පොඩි හිදැසක් හදල ඒක “එන්ජින් ඔයිල් “ වගේ උකූ ලිස්සන සුළු දියරයකින් පුරවල තියෙන්නේ ඇයි කියල අහන්න ඕන නැහැනේ ...ඒ හොඳින් ලිස්සල යන්න , මේ හන්දිය නිදහසේ හරවන්න , නමන්න මේ “තෙල්“ තිබෙන්නම ඕන , ඒ තෙල Synovial fluid කියල නම් කරන්නේ ඒව හදන්නේ Synovial membrane කියන පටලයෙන් නිසා . දැන් ඔය තෙල් පුරවපු සන්ධිව වටෙන් හොඳට වැහෙන්න joint capsule එකක් දාල තියෙන්නේ ...ඊට එළීයෙන් තමා අපි ශක්තිය දෙන   , අපි ඇවිදිද්දි අත පය ඇවිද්දවන පේෂි තිබෙන්නේ .... පේෂී ගැන අපි මෙතැනදි ඒතරම් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ . ඒත් මේ මුලින් කතා කළ කොටස් වලින් එකක හරි වෙනසක් ලෙඩවිමක් වුනොත් ඔය හන්දිය රිදෙන්න පටන් ගන්නවා , අන්න ඒ අවස්ථාව තමා ආතරයිටිස් කියල අපි කියන්නේ.

Rheumatoid arthritis diagram
මේ අතරින් අපි මේ කතා කරන රුමැටොයිඩි ආතරයිටිස් වලදි වෙන්නේ අපේ ඇඟේ ඉන්න , අපිව ලෙඩ රෝග වගේ හතුරන්ගෙන් බේර ගන්න පද්ධතිය , ඒ කිව්වේ අපේ ඇඟ ඇතුලේ ඉන්න ආරක්ෂක හමුදාව මේ හන්දියේ ඉන්න Synovial membrane එක ත්‍රස්තවාදි කඳවුරක් කියල වැරදියට හඳුනගන්නවා . දැන් මොකද වෙන්නේ , ප්‍රතිශක්ති කරන හමුදාම තමන්ගේ රාජකාරිය විදියට , මේ synovial membrane එකට පහර දෙනවා . ( මේ වරදවා වටහා ගැනීමට හේතු ගණනාවක් තිබෙනවා , එයින් ප්‍රධාන හේතුව ඊට සම්බන්ධ ජානයක්  කියලයි දැනට පර්යේෂකයින් හඳුගෙන තිබෙන්නේ . ) , දැන් මෙතන පොඩි යුද්දයක් වගේ තමයි . අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉන්න හමුදාවයි , synovial පටකයයි සටන ..මේ සටන නිසා මෙතන ඉදිමෙන්න , පටන් ගන්නවා , කැඩෙන පටක කෑලි එක්කම අර තෙල් වගේ දියරයත් වැඩිපුර වැගිරෙන්න පටන්ගන්නවා . මේ සිද්දිය දිගින් දිගටම වෙත්දි මේ හන්දිය ඉදිමෙන්න පටන් ගන්නවා ., සමහර විට ගැටයක් වගේ එළියට මතුවෙන්න තරම් පුළුවන් (rheumatoid nodules) ...වේදනාව දෙන්න පටන් ගන්නවා ...
මේ සටන ටිකෙන් ටික දරුණූ වෙලා , ඊළඟට අපි මුලින් කියාපු “ කාටිලේජ තොප්පිය“  වගේම අස්ථීයත් කඩා දමමින් දියකරන්නට තරම් ලොකු යුද්ධයක් බවට පත්වෙනවා ... ඒ කියන්නේ දැන් නරකම අවස්ථාව ...දැන් මේ  සන්ධීයෙන් හරියට වැඩක් කරගන්නට බැහැ .. ඒවිතරක් නොවෙයි ...යුද්දෙට අහුවෙලා අස්ථියත් කැඩිල බිඳිල ගිහින් නිසා මෙච්චර කල් හොඳට දිගට තිබුට ඇට දැන් ඇද වෙලා , නැවිලා ..මෙන්න මේ රූපේ වගේ හැඩේ වෙනම් වෙන්නත් පටන් ගන්නවා ..

මේ නම් ඉතින් ලෙඩේ ටිකක් දුර ගිහින් , අපි දැන් බලමු මේ රෝගය මුලින් හදුනගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියල ...එහෙම වුනොත් යුද්දේ ඇවිලෙන්න ඉස්සර වෙලා නිවාගන්න හරි බැරියැ නේද ? ...

මේ අතරින් අතේ එහෙම නැත්නම් ඇඟිලි වල ඇතිවන හේතුවක් කියා ගන්න බැරි “පොඩි වේදනාව“ මුල්ම ලක්ෂඞයක් විදියට ගන්න පුළුවන් , තවමත් හන්දිය ඉදිමිලා වගේ නොපෙනේනනත් පුළුවන් , නමුත් ඊළඟට ඇඟිළි පුරුක් , එහෙම නැත්නම් අනෙක් සන්ධියක් ටිකක් ඉදිමිණු බවක් හඳුනගන්නට පුළුවන් වේවි ...ඔන්න තව විශේෂයක් තිබෙනවා . සාමාන්‍යෙයන් මේ ඉදිමීම් ඇඟේ දෙපැත්තෙම  ,ඒ කිව්වේ දකුණු අතේ ඇඟිලි පුරුක් ඉදිමිලා නම් , ඒ දවස් වලම වම් අතෙත් ඇඟිළි පුරුක් ඉදිමෙන්න පටන් ගන්නවා . ඇඟිළි පුරුක් ගැන කියත්දිත් , පහල හන්දි වලට වඩා අතේ ඉහළ තිබෙන පුරුක් , සන්ධි  , වැලමිට වගේ තැන් වැඩි අවදානම් ..

මේ ලක්ෂණ බෙහොම හෙමින් හෙමින් තමයි වැඩිවෙන්න පටන් ගන්නේ , ඒ නිසාම අපේ නොසැලකිල්ලට ලක්වෙන්න අවස්ථෘවක් වැඩියි . මේ විදියට පොඩි පොඩි කැක්කුම් එක්ක එන RA. දැන් උදේට වද දෙන්න පටන් ගන්නවා ... මොකක්ද මේ උදේට වද දිම කීවේ ...? ... උදේ පාන්දර නැගිට්ට ගමන් අතේ ඇඟිළි හොඳිටම ඉදිමිලා වගේ දැනේවි ,නිකං දරදඬ වෙලා වගේ ...අත හිරි වැටිලා , කිසි දෙයක් හරියට අල්ල ගන්න බැරිව පැයක් විතර අතගගා ඉන්න වේවි (morning stiffness) ...ඊට පස්සේ අමාරුව ටිකක් අඩුවෙලා , සමහර විට අමතක වෙලාම යන්නත් පුළුවන් ..ආයෙත් ඒක මතක් වෙන්නේ හෙට උදේ තමා ....මෙන්න මේ රුමැටොයිඩ් ආතරයිටිස් , එයාගේ දරුණූම පුහාරය දෙන්න හදන බවට දෙන හොඳ ඉඟිය ..ඒ කීවේ මේ උදේට සිද්ද වෙන ඇඟිලි ඉදිමීම නොසලකා ඉන්න එපා ...මොකද තව ටික දවසක් මේ විදියට ගියොත් ඒ අතෙන් , ඇඟිල්ලේන් , කකුලෙන් වැඩක් ගන්න බැරිවෙන්නත් පුළුවන් නිසා .

මේ එක්කම එන්න පුළුවන් තව ලක්ෂණ විදියට , මද උණ ගතියක් , අත පය හරියට රිදෙන නිසාම දවසේ වැඩ කරගන්න බැරිව වාඩිවෙච්ච තැනින් නැඟිට ගන්න බැරි වගේ හිතෙන තත්ත්වයක් දැනේවි . හන්දි දිග ඇරෙත්දි තද වේදනාවක් එක්ක හන්දියෙන් පොඩි පොඩි සද්ද බද්ද ඇහෙන්නත් පුළුවන් . දැන් ලෙඩ  වෙච්ච හන්දි හොඳට ඉදිමිලා හොඳට අදුනගන්න පුළුවන් . ඇවිදින එක , අතින් කරන වැඩ බොහොමයක් දැන් කරන්න අමාරුයි  ,එකක් වේදනාව , අනෙක අපිට ඕන විදියට අපේ අත පය වැඩ කරන්නේ නැහැ වගේ දැනෙන්නේ ..තව ටික දවසක් ගියාම ඇඟිලි , එහෙම නැත්නම් මේ ඉදිමිලා තිබුණූ සන්ධි ඇද වෙලා , ඇකිලිලා වගේ යන්න පුළුවන් . හැබැයි ඉතින් මේ ලක්ෂණ එනකම්ම බලාගෙන ඉන්න එපා කියන එක තමයි වැදගත් ...

මීට අමතරව මේ එක්කම පපුවේ වරින්වර කැක්කුමක් , නැත්නම් හුස්ම ගනිත්දි තව වේදනාවක් වගේ ඇස් වල කැසිල්ලක් වගේ දැනෙන්ත් පුළුවන් . තව ....ඇඟේ තැත් තැන් වල පොඩි ගැටිති වගේ හමෙන් මතුවෙලා පේන්නත් ඉඩ තියෙනවා ...

මේ ඔක්කොම ලක්ෂණ නොඑන්න පුළුවන් , ඒත් මුලින් කියපු ලක්ෂණ එකක් දෙකක් දැක්ක ගමන් පවුලේ වෛද්‍යවරයා හමුවට ගිහින් ප්‍රතිකාර පටන් ගන්න එක හරිම වැදගත් ..සාමාන්‍ය පරික්ෂාවකින් , වෛද්‍යවරයාට පොඩි අදහසක් ඇති කරගන්න පුළුවන් රෝග තත්ත්වය ගැන , ඒත් එය තහවුරු කරන්නට තවත් රැධීර පරික්ෂණ කිහිපයක් එක්කම එක්ස්රේ පිංතූර කිහිපයකුත් ගන්නට වේවි . මෙයින් රෝග තත්ත්වය කුමක්දැයි තීරණය කරන වෛද්‍යවරයා ප්‍රතිකාර පටන් ගන්නවා . වැදගත්ම දේ ...මේක අපේ ඇඟේම සිදුවන වැරදි වටහා ගැනීමක් (Autoimmune disease) එකක් නිසා සම්පුර්ණයෙන්ම සුව කරනවා කියල කියන එකක් නැහැ . ඒත් ඔබට දිගු කාළයක් බෙහෙත් ගන්න වේවි . , විශේෂයෙන්ම වේදනානාශක . ඒ රෝගය පාලනය කරගෙන විය හැකි අවදානම් වලක්වා ගන්නට .බෙහෙත් ගැන කියත්දි වැදගත් දෙයක් කියන්න ඕන ..ඒ තමයි මේ රෝග තත්ත්වයට ප්‍රතිකාර විදියට දෙන සමහර ඖෂධ පිළිකා සඳහාත් ප්‍රතිකාර විදියට යොදා ගන්නවා ....හැබැයි ඒකේ තේරුම රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ පිළිකාවක් කියන එකනම් නොවෙයි ..නමුත් බෙහෙත් ගනිත්දි දොස්තර මහත්තයගෙන් හරියට අහගන්න ඕන , කන බොන හැටි , පරිස්සම් වෙන හැටි ...මේක ඇඟ ඇතුලේ යුද්දයක් නිසා දෙන බෙහෙතුත් ඒකට හරියන්න එපායැ නේද ....දැන් මේ නැවතත් කියන්නේ , දෙන බෙහෙත ගැන හරියට දැන ගෙන නිවැරදි විදියට ගත්තොත් වැඩි කරදර නැතිව ලෙඩේ පාළනය කරගන්න පුළුවන් . 

ඖෂධ ප්‍රතිකාර පමණක් මදිනම් දැන් ශල්‍යකර්මත් කරන්නට පුළුවන් ..ඒත් එමඟින් කෙරෙන්නේත් ලෙඩේ නරක පල විපාක අඩුකරල දෙන එක තමයි ....මේ බෙහෙත් වලට අමතරව ඔබේ වෛද්‍යවරයා ඔබට භෞතචිකිත්සීය ප්‍රතිකාර වලටත් යොමු කරාවි , අපි කියන්නේ ඉස්පිරිතාලේ එක්සයිස් කාමරේ ..අන්න ඒකට ගිහින් ව්‍යායාම , තැවීම් වගේ ප්‍රතිකාර කරගන්නත් වේවි .. මේ ප්‍රතිකාර වගේම හොඳ පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීමත් , ඒ කිවේ මේ දවස් වල කන්න හිතෙන්නේ නැහි වුනාට , තේරුම් අරගෙන හොඳට කන්න බොන්න ඕන ...ඒ එක්කම ලෙඩ වෙච්ච සන්දියට පොඩි rest එකක් දෙන එකත් වැදගත් ..

මේ කරුණූ කාරනා හරියට නොකර ගත්තොත් වෙන්න පුළුවන් දේවල් මොනවද ...අත පයට වෙන දේවල් කීවනේ ...ඊට අමතරව කොඳු ඇට බිඳිලා එක්තැන් වෙන්න , හෘදයේ තුවාල හැදිල බොහොම අවාසනාවන්ත තත්ත්ව වලට මුහුණ දෙන්න , පෙනහළු තුවාල වෙලා අර කාසේ ලෙඩ්ඩු වගේ ( ඒ කිවේ ප්‍රතිකාර නොගන්න ක්ෂය රෝගීන් වගේ ) .....ඒ විතරක් නොවෙයි සමහර විට අතපය කපල ඉවත් කරන්නත් වෙන්න පුළුවන් ......පොඩ්ඩක් ඉන්න කළබල නැතිව . මේ හුඟක් දේවල් වෙන්නේ බෙහෙත් හරියට නොගෙන හිටියොත් .. .ඒනිසා සොඳුරු සුව අසපුවේ සහෘද ඔබ මේ පණිවිඩය ඔබේ ඥාතියට , මිතුරට හරියට ලබා දුන්නොත් මම හිතන්නේ නැහැ ලෙඩේට බෙහෙත් නොගෙන ඉඳීවි කියලා ...

අන්තිමට තව වැදගත්ම දෙයක් කියන්නයි හදන්නේ , ඔබට මේ රෝගය හදාගන්න ඕන නම් , පහසුවෙන්ම එය කරගන්නට දුම්වැටියක් දල්වා ගන්න ! ...දුම්බීම සහ අක්‍රිය දුම් බීම (අපි මේ ගැන කතා කළා පෙර ලිපියකදි) ....රුමටොයිඩ් ආතරයිටිස් අවදානම ඉහළ නංවන බව සොයාගෙන තිබෙනවා ...


38 comments:

  1. රොගියෙක්ට සුදුසු නුසුදුසු ආහර වර්ග එහෙම තියෙනවද?
    ඒ ඇරෙන්න ඔබ හිතන විදිහට? මේ සඳහා වඩා සුදුසු දේශීය වෛද්‍ය ක්‍රමයද ? බටහිර වෛද්‍ය ක්‍රමයද? අතේ ඇඟිලි පුරුක් ඉදිමෙන්නේ නැතුව රිදෙන එක විතරක් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් සුවිශේෂි ආහාර ක්‍රමවේදයක් නැතත් , තරබාරුව ඇති කර නොගෙන සිටිම වැදගත් නිසා ඊට ගැලපෙන ආහාර වේලකට හුරු වීම වැදගත් , (මාංශ ආහාර මේ තත්ත්වය උග්‍ර කරතැයි කතාබහක් තිබුණත් තවම එය සාර්ථකව ඔප්පු කොට නැහැ .)

      ඔබේ දෙවැනි පැනයට පිළිතුරු දීමේදී පළමුව සමාව ඉල්ලනවා , මක් නිසාද යත් , මම ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය ක්‍රමය ගැන සංසන්දනාත්මකව විචරන්නට තරම් දැනුමක් මට නැහැ , විශේෂයෙන්ම දේශිය වෛද්‍ය ක්‍රමය ගැන මට ඇත්තේ අඩු අවබෝධයක් , ඒ පිළිබඳව ඇත්තටම මම දැනටත් කණගාටුවෙනවා .

      ඔව් වෙන්න පුළුවන් , ඉදිමිම ඇතිවීමත් එක්කම වේදනාව පොදු ලක්ෂණය වුවත් , වේදනාව පමණක් තිබෙන්නට පුළුවන් හඳුනාගත නොහැකි පටක ඉදිමීමක් එක්කම ..

      ස්තුතියි ඔබේ පැමැණීම සතුටක් , මට මතක විදියට නම් මේ ඔබේ පළමු අදහස් දැක්වීම .

      Delete
    2. බොහෝම ස්තූතියි!!

      දේශීය වෛද්‍ය ක්‍රමය අනුව නම් උෂ්ණ අධික ආහාර නුසුදුසු බවක් තමා කියන්නේ
      ඉස්සෝ දැල්ලෝ තක්කලි මුරුංගා වැනි දෑ. ඇල්වතුර නෑම පවා අගුණ ලෙස ඔවුන් පවසනවා.

      cod liver oil භාවිතා කිරීමේ විෂේෂ ගුණයක් එහෙම තියෙනවද මේකට

      Delete
    3. ස්තුතියි මා නොදන්නා දෙයක් පිළිබද දැනුවත් කළාට , ඔව් fish oil වල ඇති omega 3 මඟින් යම් බලපෑමක් කළ හැකි බව හඳුනාගෙන තිබෙනවා ,ඒත් එමඟින් සුව කිරීමක් කෙරෙන්නේ නැහැ .

      Delete
  2. වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිමත් කරනවාට හැමදාමත්.

      Delete
  3. RH Factor & ESR සාමාන්‍ය අගයන් පවතිද්දි ඇඟිලි රිදෙන එක මේ රොගයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙය වීමට ඇති ඉඩ අතිශ්‍යය අඩුයි ,“කිසි සේත්ම නැත“ නොකියන්නේ , කළ පරික්ෂණ වල නිරවද්‍යතාව ගැන ගැටළු පවතින්නට පුළුවන් නිසා , වඩාත් සුදුසුම දේ , මේ ලක්ෂණ පවතීනම් සුදුසුකම් ලත් වෛද්‍ය ප්‍රතිකාරයක් නිසි අවස්ථාවේ ලබා ගැනීම ..
      ස්තුතියි

      Delete
  4. Rhumatoid arthritis ඇරෙන්න වෙන ආතරයිටිස් වර්ග තියනවද?
    අද ලිපියෙනුත් ගොඩක් දේ දැනගත්තා..ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔව් , ආතරයිටිස් වර්ග සියයකට වැඩිය තිබෙනවා , ඉන් බහුලව හඳුනාගත හැකි අවස්ථාවක් තමයි මේ .
      ස්තුතියි රූ ..

      Delete
  5. හදිසියේ වගේ කියවපු නිසාද මන්දා මේ ලෙඩේ හැදෙන්න හේතුව දැක්කේ නැහැ.ගැහැණු අය සාමාන්‍යයෙන් සිගරට් බොන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මේ රෝගය Autoimmune disease එකක් නිසා , අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය , අපේම පටකයක් “විරුද්ධකාරයෙක් “ විදියට වැරදි වැටහීමක් ඇති කරගැනීමෙන් තමයි ලෙඩේ පටන් ගන්නේ , නමුත් ඊට හේතුවන සාධක වලින් ජානමය සම්බන්ධතාව , එනම් පරම්පරාවෙන් පැමිණිම පිළිබඳ සාක්ෂි සහිතව පර්යේෂණ මඟින් කරුණූ ඉදිරිපත් කර ඇතත් , වෙනත් සාධක ගැන කියන්නට වෙන්නේ සාමාන්‍ය අදහසක් තමයි
      .ඒ අධික තරබාරුව , අස්ථී වලට වන අනතුරු සහ ආසාදන යම් පෙළඹවීමක් කරනවා , ඒත් සිගරට් දුම නිසා මේ තත්ත්වය මතුවීම වැඩි කරන බව හඳුනාගෙන තිබෙනවා .
      ඇත්ත , ගැහැණූ අය සිගරට් නොබිව්වට බොන පිරිමින්ගේ “නරකම දේ“ ගන්නේ ඇය , ඒ අක්‍රිය දුම ආඝ්‍රාණයෙන් ..

      ස්තුතියි ඔබටත්

      Delete
  6. හැමෝටම දැනගන්න මෙහෙම ලිපි ලියන එක ඇත්තටම වටිනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට හිරුහිමාවී ....බෙහෙත් ගන්නවා වගේම ලෙඩ රෝග ගැන දැන සිටීමත් හරිම වැදගත් ..

      Delete
  7. ලෙඩ කිව්වාම කෙලවරක් නෑ මේ පංචස්කන්ධයම ලෙඩ ගොඩක්. මේ වගේ ලිපි කියෙව්වාම තමයි හෙතෙන්නෙ ලෙඩක අවදානම සහ බරපතල කම. මේවගේ ලෙඩ්ඩඩු රෝල්වල බේත් ගන්න ඉන්නවා දැකල තියෙනවා. ඒත් සම්පූර්ණ විස්තරේ දැනගත්තේ මේ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමාටත් , මෙලෙසින් දිරිගැන්වීම් කරනවාට ...

      Delete
  8. මමත් මෙම රෝගයෙන් හෝ ආසන්න රෝගයකින් පීඩා විඳිනව.මුලින්ම ප්‍රතිකාර කල වි.වෛද්‍යවරයා(RHUMETALOGIST) තීරණය කලේ ACTIVE RA SERO NEGATIVE ලෙස.නමුත් මාස 04ක් පමන කරනලැබු ප්‍රතිකාර වලින් වෙනත් SENIOR RHUMETALOGIST වෙත යොමු කරනු ලැබුවා.ඹහු තීරණය කරනු ලැබුවේ වෙනත් ආතරයටිස් විශේෂයක් ලෙසයි.එහි නම ආරම්භ වන්නේ SPINE....ලෙසයි. මේ පිලිබඳව යමක් පැහැදිලි කලහැකි නම් ඉතා අගනේය.

    ReplyDelete
    Replies
    1. ඔබ ලබා දී ඇති තොරතුරු අනුව ඒ Spinal osteoarthritis වෙන්නට පුළුවන් , මෙතැනදි වෙන්නේ නම් අපි මේ කතා කළ තත්ත්වයට යම් තරමක වෙනස් දෙයක් , කොඳු ඇට පෙළෙහි අස්ථී දුර්වල වීම , ආශ්‍රිත කාටිලේජ දුරුවල වීමත් එක්ක , ස්නායු තෙරපීමෙන් ඇති වන තද වේදනාව මෙහිදී පොදු ලක්ෂණය , විශේෂයෙන්ම බෙල්ල , සහ තුනටිය ආශ්‍රිතව ඇතිවීම් හැකියාව ඉහළයි, දේහ බර වයසට සරිලන නිරෝගී බරක පත්වා ගැනීමත් , භෞත චිකිත්සක ප්‍රතිකාර , වේදනානාශක පතිකාර වැනි දෙයින් තත්ත්වය සහ වේදනාව මැඩ පවත්වා ගනිමින් සාමාන්‍ය දිවි පැවැත්ම පවත්වා ගත හැකි තත්ත්වයක් ..

      ස්තුතියි ඔබට , මේ පිළිබද තවත් යමක් දැන ගත යුතු නම් අහන්න ..දන්න දේ කියන්නම්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තුතියි පැහැදිලි කිරීමට,මම වෛද්‍ය වාර්තා EMAIL කරන්නම්, ඹබට ඉඩකඩ තිබේනම් ඒවා පරික්ෂාකර මා දැනුවත් කරන්න.සමහර දේවල් වෛද්‍යවරයාටත් වඩා හොඳින් ඹබතුමා පැහැදිලි කරනව.නිතර කමෙන්ට් නොකලට මම හැමදාම ඹබගේ ලිපි බලනව.ඹබ ලබාදෙන දැනුම මිලකල නොහැකියි.

      Delete
    4. ඔබට අදාල පිළීතුර , ඔබේ ලිපිනය වෙත යොමු කර ඇත , නමුත් ප්‍රමාදයක් වී නම් සමාවන්න

      Delete
  9. මම අදයි මේ බ්ලොග් එකට ආවේ. ඇත්තටම ඉතාමත් හොද බ්ලොග් එකක්. අපි නොදන්න දේවල් අපිට තේරෙන්න කියලා දෙනවා. ස්තූතියි. ඇත්තටම පින්..

    ReplyDelete
    Replies
    1. මුලින්ම  ඔබ සාදරයෙන් පිළිගන්නවා සොදුරු සුව අසපුවට ...

      ස්තුතියි දිරිමත් කළාට සහ අගය කළාට , ඔව් මම දැනගත් යම් දෙයක් ඔබට දැනගන්නට තබත්දි , මම නොදන්නා බොහෝ දේ මේ බ්ලොග් පරිශ්‍රෙයන් මමත් ගන්නවා , 

      Delete
  10. වටිනා ලිපියක්. සන්දි ආශ්‍රිත රෝග ගෑන තවත් විස්තර දෑනගන්න තියෙනවනම් හොඳයි කියල හිතෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. ඔවි ලයාන් අපි විටින් විට තවත් මේ ආශ්‍රිත රෝග තත්ත්ව ගැන කතා කරමු , ස්තුතියි දිරිගන්වනවාට ..

      Delete
  11. Very good article. i am also suffering with RA. I have it in my fingers. When it is winter,it is damn painful....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට , ඔව් කාළගුණීක වෙනස්වීම් එක්ක මේ තත්ත්වය උග්‍රවීමේ හැකියාවක් තිබෙනවා , නමුත් රුමැටොයිඩ් නොවන අනෙක් ආතරයිටිස් වර්ග එහිදි සීතලට වඩාත් සංවේදීයී ..

      Delete
  12. what sort of diets will be good for this RA?

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් සුවිශේෂි ආහාර ක්‍රමවේදයක් නැතත් , තරබාරුව ඇති කර නොගෙන සිටිම වැදගත් නිසා ඊට ගැලපෙන ආහාර වේලකට හුරු වීම වැදගත් , (මාංශ ආහාර මේ තත්ත්වය උග්‍ර කරතැයි කතාබහක් තිබුණත් තවම එය සාර්ථකව ඔප්පු කොට නැහැ .)

      කෙසේ වෙතත් ආසියාතික රටවල ආහාර ක්‍රමය මඟින් මේ තත්ත්වය මතුවීමේ අවදානම අඩුවිය හැකි බවට මත පළවනවා ..

      ස්තුතියි ඔබේ පැමිණීමට

      Delete
  13. I have one more question sir, I am taking Omega3 (1000mg) 3 capsules per day. They say fish oil is good for these pains... Is it true?

    ReplyDelete
    Replies
    1. ඔව් , ඔමේගා 3 මඟින් ආතරයිට්ස මඟින් ඇතිවන වේදනාව අඩු කිරීමට යම් හැකියාවක් ඇති බව දැනට කළ පර්යේෂණ වලින් හඳුනාගෙන තිබෙනවා , නමුත් එහි සාර්ථකත්වය ගැන ගැටළුත් නැතිවා නොවේ . කෙසේ වෙතත් ඔමේගා 3 ආකාර කිහිපයකින් ඔබට පිහිට වේවි .
      ස්තුතියි

      Delete
  14. THANK YOU SO MUCH.....

    ReplyDelete
  15. මටත් වරින් වර, විශේශයෙන් අධික ලෙස සන්ධි වෙහෙසීමක ( උදා ඇවිදීම) යෙදුන විට ඒ ආශ්‍රිත වේදනාවක් (සමහරවිට නැවීමට අපහසු තරම්) , ඉදිමීමක් තියෙනව. එහෙත් වේදනා නාශක දිනක් දෙකක් ගත් විට නැතිව ගොස යලි කලකින් තමා මතුවන්නෙ. මෙය වසර විස්සක පමණ සිට අඩු වැඩි වශයෙන් තිබෙන නිසා මෑතක මම රුමටොලොජිස්ට් වරය්කු හමු වුනා. පළමු වර මුණ ගැසුනු දොස්තර මහතා මෙය ආතරයිටිස් බව තහවුරු කර, ඒ සඳහා වේදනා නාශක සමඟ බෙහෙත් වගයක් ලබා දුන්නා. එහෙත් වසරකට පසු නැවත ලංකාවට පැමිණ එම වෛද්‍යවරයා නැති කම නිසා වෙනත් රුමටොලොජිස්ට් වරියකට පෙනූ විට, ඉතා විශාල රුධිර පරීක්ශන මාලවකින් පසු ඇය කියා සිටියේ මෙය ආතරයිටිස් නොවන බවත්, නිවැරදි විනිශ්චයට තවත් පරීක්ශ්න කල යුතු බවත්, එහෙත් මා ලංකාවේ සිටින කාල ප්‍රමානවත් නැති බවත්ය. විශේශයෙන් ඇය කියා සිටියෙ උදෑසන දැනෙන වේදනා නැති වීම, සන්ධි නොමැති යටි පතුල් පවා ඉදිමීම සහ වේදනා ඇතිවීම වැනි කරුනු නිසා මෙය ආතරයිට්ස් විය නොහැකි බවය. ඇගේ ප්‍රකාශය තරමක අස්වැසිල්ලක් ගෙන දුන්නද එයම දෙගිඩියාවක්ද ඇතිකර තිබේ.

    යම් පැහැදිලි කිරීමක් කල හැකිද?

    ReplyDelete
    Replies
    1. මේ ගැටළුවේදී මුලින්ම කියන්නට ඇත්තේ , වෛද්‍යවරිය විසින් දී ඇති තීරණය පිළිබඳව අදහස් දක්වන්නට යන්නේ නැහැ , මක් නිසාද මා ඒ සඳහා සුදුසුකම් ඇත්තෙක් නොවන නිසා .
      කෙසේ වෙතත් ඔබ මේ වන විට නිසි මඟට පැමිණ ඇතැයි සිතමි ,ඒ , මෙම රෝග කාණ්ඩය බෙදා වෙන් කිරීම සියුම්ව කළ යුතු , එකිනෙකට ඉතා ආසන්න ආතරයිටිස් වර්ග ගණනාවක් පවතින හෙයින්,
      රැධිර පරික්ෂණ වගේම , ඉදිරියේදි එක්ස්රේ , MRI වැනි පරික්ෂණත් කරන්නට ඉඩ තිබෙනවා කුමන වර්ගයේ ආතරයිටිස් එකක්දැයි තහවුරු කරගන්නට .
      කෙසේ වෙතත් මුලිකම සරළ ලක්ෂණ කිහිපයක් ඔබ තුල හඳුනාගන්නට නැතත් , වෙනත් සැඟවුනු ලක්ෂණ තිබෙන්නට පුළුවන් .කළ යුතු හොඳම දේ ඔබ දැනට සේවය කරන රටේ අදාල වෛද්‍යවරයා හමුවීම  හේතු කිසිපයක් මත , එකක් මේ සඳහා දිගු කාළීන සොයා බැලීම . ප්‍රතිකාර කළ යුතු වීම , ඒ සඳහා අවශ්‍ය දියුණු තාක්ෂණීක පහසුකම් ඔබ දැනට සේවය කරන රටේ තිබෙන්නට ඉඩ තිබීම.
      නැවතත් , රැමරටොයිඩි හි දරණූ ලක්ෂණ දැනට දකින්නට නැති නිසාත් මේ ව නවිට ඔබ යම් හෝ ප්‍රතිකාරයක සිටින නිසාත් සතුටු වන්නට පුළුවන් , කෙසේ වෙතත් නැවතත් නිසි පරික්ෂණ සිදු කිරගනිමින් කාළයක් තිස්සේ ප්‍රතිකාර ගත හැකි මේ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත් යැයි සිතමි
      ස්තුතියි ඔබට

      Delete
    2. බොහොම ස්තූතියි අදහසට. මෙහේ ප්‍රථිකාර ගන්න පටන් ගන්න ඕන කියන අදහස ස්තීර කලා වගේම ප්‍රමාද නොකරණු කියන අදහසත් තමයි තහවුරු උනා.

      Delete
  16. මහත්මයානනි මම කලින් දවසක ඔබතුමා ගෙන් ලද උපදෙස් වලට අනුව වෛද්‍ය වරයෙකු හමුවි මාගෙ අසනීපය ගැන පරික්ෂා කරා.එහිදි E.C.G පරීක්ෂනයකින් මසුව එතුමා ප්‍රකාස කරා පපුවෙ රොගි තත්වයක් නොමැති බව.ඉන්පසුව මම ස්නායු සම්බන්ද වෛද්‍ය වරයෙකුට යොමුකර රුධිර පරීක්ෂාවකින් අනතුරුව රුමැටික් කියල කියා ඉන්ජස්සන් 2 ක් ගහල සති දෙකකට බෙහෙත් දුන්නා.එම ලබාදුන් බෙහෙත් වර්ග-(1) salazopyrin en-tabs-(2)methycobal 500ug-(3)diclogesic 50(diclofenac sodium)-(4)folicid(folic acid 5mg)-(5)tab-methotrexate 2.5 mg මට මෙම බෙහෙත් ගැන පැහැදිලි කරගැනීම ඔබ තුමාගෙන් බලා පොරොත්තු වෙමි.ස්තුතියි

    ReplyDelete
  17. rheumatoid arthritis athi aya samaga lingikawa ekathu wima ayahapathda? rogi kanthawage lingika ashawan adu weda?

    ReplyDelete
    Replies
    1. එලෙස අනතුරක් නැති අතර ඇයගේ ලිංගික ආශෘව අඩුවීමට යම් ඉඩක් ඇත්තේ සන්ධී වේදනාව මඟින් ඇති කරන අපහසුතාව විය හැකි අතර , එය පාළනය කරගත් විට සියල්ල සාමාන්‍ය තත්ත්වයට හැරේවි.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)