2012/08/29

116) සොඳුරු හමුව බිඳ දමනා හොඳම ක්‍රමේ (උපත් පාලන ක්‍රම ගැන)

ඊයෙත් පෝස්ට් එකක් දාල අදත් පෝස්ට් එකක් දාන්න වෙයි කියල කවුද හිතුවේ ..ඒත් නොහිතන දේවල් වෙන නිසා , මූලික හේතු දෙකක් හේතුව විදියට දාගෙන මෙන්න මේ පෝස්ට් එකත් එකතු කරනවා , සමහර විට කියවන ඔබට ටිකක් කරදරයක් වුනාද දන්නෙත් නැහැ , එහෙම වුනොත් මේ ලිපිය තව ටික දවසකින් කියවන්නකෝ ...



මේලිපිය ලියන්න හේතු වුනේ මගේ විද්‍යුත් තැපෑල් ලිපිනය වෙත ආ පැනයක්..ඇත්තටම එකක් නොවෙයි , ප්‍රශ්න වැලක් ..සමහර විට ඔහු මේ ලිපි කියවන මිතුරෙක් වෙන්න ඇති , කෙසේ වෙතත් ඒ නොදුටු මගේ හිතවන්න මල්ලීගේ ඉල්ලීමක් විදියටත් , ඇත්තටම මෙහි යම් වැදගත් කමක් ඇති යැයි හැඟුනු නිසාත් ...ඉදිරි දින කිහිපය කාළගුණයේ දරුණු පහරකට ලක්වෙන්නට ඇති හැකියාවත් , (දන්නවනේ ISAAC අද ඇමෙරිකාවේ ප්‍රෙද්ශ ගණනාවකට බලපෑමක් කළා , ...එහි බලපෑම අපේ පැත්තටත් සෙනසුරාදා ඉරිදා වෙන කොට ඒවි කියන අනාවැකි පළ වෙනවා) , ඒ වගේම දිගු සති අන්තයක් නිසා (මෙහෙදි ඉතින් නිවාඩුවක් කියන්නේ ඉතින් සුදු කපුටෙක් දකිනව වගේ තමයි .... ) විවේකය අඩුවෙන්නට හැකි නිසා , පෝස්ට් එකක් එක් කරන්නට නොහැකි වෙන්නට පුළුවන් නිසාත් ..................හෑල්ල ඉවරයි ..දැන් අද කතාවට ..


“අය්යේ මගේ බිරිද දැනට ගැබිනියක් මට දැනගන්න ඕන බබා ලැබිල මොන වගේ කලයකින්ද ආරක්ෂාකාරී පවුල් සැලසුම් ක්‍රමයක් කරන්න ඕන කියල,දැනට තියන අතුරු අබාද නැති හොදම ක්‍රමය මොකක්ද කියල ,දරුවන් අතර පරතරය මොන වගේ විය යුතුද කියල

ගොඩක් ස්තුති අය්යේ.ඒ වගේම දැනගන්න පුලුවන්ද අතේ සමට යටින් ඇතුල් කරන පවුල් සැලසුම් ක්‍රමයක් තියනවනේ ඒ ක්‍රමයේ වාසි අවාසි මොනවද කියල, බබා ලැබිල මාස 6 විතර පසුව කළාට ප්‍රස්නයක් නැද්ද ,එක කරන්නේ කොහොමද විස්තර ටිකක් ,මම හිතන්නේ අයියට අලුත් ලිපියක් ලියන්න හොද මාතෘකාවක් වේවි මේ මගේ ප්‍රශ්න ටික"

ඔය තමයි මට අද කතාව ලියන්නට මුල පෑදූ පැනය ... පැන පැන ආ පැන ... (මේ ලිපිය එවූ මළණුවන් මා සමඟ අමනාප නොවනු ඇතැයි සිතනවා ඔබේ පැනයම මෙසේ පළ කළාට)

ඔව් ..අද ප්‍රජනක සෞඛ්‍ය කියන පාඩමක් තිබුණට , ඕක හරියට කෙරෙන්නේ බොහොම සීමිත පාසල් ගණනාවක විතරයි , මොකද තවමත් අපේ රටේ තියෙන්නේ “ලිංගිකත්වය“ ගැන , එහි විද්‍යාත්මක පසුබිම ගැන පවා “කෙළින් මූණ බලාගෙන කතා කරන්න බැරි “ ආකල්පමය බැඳීමක් ..ඒ නිසා තරුණ දරුවන් ඒ “දැනුම “ සොයාගන්නේ , අවිධිමත් සම්පත් මඟින් , නැත්නම් “කල්ලියේ “ සාමාජිකයකුගෙන් ..

පවුල් සංවිධානය ගැන , උපත් පාලනය ගැන අවුරුද්දට දවසක් ලොකු උත්සවයක් තිබිල කතා කළත් එය නිසි ලෙස රටේ ප්‍රජාව කරා එනවාදැයි සැකයි . එයත් තවත් “සමරු උත්සවයක්“ පමණක් වන තරමට පත්වෙලා. කෙසේ වෙතත් අපි අඳුරට සාප කර කර ඉන්නවා වෙනුවට “කළ හැකි දේ “ කරන්නට උත්සාහ කරමු , ඒ නිසා “සොඳුරු සුව අසපුවෙන්“ ගන්න මේ උත්සාහය කෝටියක් ප්‍රජාව අතරට නොයන්න පුළුවන් , ඒත් ඉලක්කම් දෙකකවත් පිරිසක් මේ කරුණූ උකහා ගනීවි කියල විශ්වාසයෙන් ...ඕන්න එහෙනම් පටන් ගත්තා කතාව..
මොකක්ද මේ උපත් පාලනය කියන්නේ පොතේ හැටියටම කිව්වොත් ..“ The practice of preventing unwanted pregnancies,“ ...සුද්ද සිංහලෙන් ම කිව්වොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්විමට ගන්නා ක්‍රියාකාරකම් ...මේ යටත් ඔබ දැනටමත් දන්නා ක්‍රම ගණනාවක් තිබෙනවා . ඒ හැම එකකින්ම කෙරෙන්නේ කුමක්දැයි අපි පොදු අදහසක් අරගෙනම වැඩේ පටන් ගන්න එක තමා හොඳ .

ගැබ් ගැනීමක් ...නැත්නම් පිළිසිඳ ගැනීමක් වන්නට සම්පුර්ණ විය යුතු මුලික අවශ්‍යතා කිහිපයක් තිබෙනවා ,ඒ සත්‍රිය ස්ත්‍රී ජන්මාණුවක් , නැත්නම් ඩිම්බයක් (Ovum) පැවතීම , සක්‍රිය පුරුෂ ජනමාණු සෛලයක් නැත්නම් ශුක්‍රාණූවක් පැවතීම( Sperm ), මේ දෙන්නට එක් වෙන්නට සුදුසු වට පිටාවක් ලැබීම , සහ මේ දෙන්නා සක්‍රිය ලෙස එක්වීම Conception....

මෙන්න මේ “දෙන්නාගේ එක්වීම අවසානයේ“ එය තවත් දරු පැටියෙක්ගේ උපතක ආරම්භයක් බවට පත්වෙනවා. මේක හරිම වාසනාවක් , ඒ වගේම හරිම සුන්දර නිමේශයක් ....නමුත් මෙය ගැටළුවක් විය හැකි අවස්ථාත් නැතිවා නොවේ ....ඒ මොනවද කියන්න ඕන නැති වුනත් කියන්නම් ...

එකක් , අදාල කාන්තාව දරු පිළිසිඳ ගැනීමක් දරන්නට සුදුසු කායික තත්ත්වයක නැත්නම් , ඒ කිව්වේ යම් රෝගී තත්ත්වයක් , පිළිකා නාශක ඖෂධ වැනි ප්‍රතිකාර ලබන්නියක් වීම , හෝ ඉතා මෑත කාළයකදි දරු උපතක් සිදු කර තිබිම , වැනි කාරණා නිසා ඇය කායිකව මේ තත්ත්වයට සූදානම් නැති වෙන්න පුළුවන් .


දෙවැන්න , සමාජයීව ඇය විවාහක තත්ත්වයෙන් නොසිටින්නට පුළුවන් , මේ රටවල නම් Single parent කියන සංකල්පය නිසා එවන් අවස්ථාවක ලොකු කරදරයක් නොවනත් , අපේ වගේ රටක අවිවාහක තත්ත්වයේ සිටින කාන්තාවක “ගැබිනියක් වීම“ දණ්ඩ නීති සංග්‍රහයේ නැති මරණ දණ්ඩනය නියම කළ යුතු වදරක් විදියටයි අපේ සමාජය දකින්නේ ...දකිනවා විතරක් නොවේ , හැකියාවක් වෙතොත් වක්‍රාකාර දණ්ඩනයන්ට ලක් කරන්නටත් පෙළඹෙනවා. සමාජයීය වශයෙන් තවත් කාරණා තිබෙනවා , ඒ ..ඇය විවාහකව සිටියත් , දරුවන් අතර යම් පරතරයක් තබා ගන්නට දෙමාපියන් අපේකෂා කරනවා නම් , එහෙම නැත්නම් “පුංචි පවුල රත්තරං“ කියන බටහිර සංකල්පය අදහනවා නම් , නැත්නම් ඇත්තටම යම් සමාජයීය හේතුවක් ඇත්නම් තවත් දරුවන් නොහදන්නට .....මෙන්න මේ අවස්ථාවට Conception කියන දේ “අවාසනාවක්“ වෙන්නත් පුළුවන් ...ඒ නිසා අපි පෙර කතා කළ විදියට ස්ත්‍රී - පුරුෂ ජන්මාණු එක් වීමක් නොවන්නටත් , දෙදෙනා අතර ලිංගික බැඳීම් නිසි ලෙසින් පවත්වා ගන්නටත් ගන්නා උපක්‍රම Contraception , හෙවත් උපත්පාලනය කියල විස්තර කෙරෙනවා .

අපි දැන් බලමු මේ Contraception වලදි සිදුවන කාර්ය මොකක්ද කියල ...හරිම සරළයි ..අපි මුලින් කීව කාරණා හතරෙන් එකක් හරි කිහිපයක් හරි ඇතිවීම වලක්වන එක තමයි මෙහිදී කෙරෙන්නේ , ඒ කිව්වේ යම් උපක්‍රමයක් භාවිත කරමින් ස්ත්‍රී හෝ පුරුෂ ජන්මාණු නිපදවීම , නවත්වන එක , නැත්නම් ඒ දෙන්නා හමුවීමේ අවස්ථාව නැති කරන එක , හෝ හමුවෙන තැන ෙ නැති කරන එක . මේ කටයුත්ත කර ගන්නට විවිධ ඖෂධ , උපකරණ වගේම ශල්‍යකර්ම වැනි දේත් යොදා ගන්නවා . අපි දැන් කතා කරන්න හදන්නේ අන්න ඒ දේ ගැන ..

මුලින්ම අළුත් ඒවට වඩා පරණ ඒව හොඳයි කියල පරණ ක්‍රම ටිකක් ගැන කතා කරමු ..මේ කියපු ඒවට වඩා දන්න අය ඇතිනේ ..ඒ ගැනත් කොමෙන්ට් එකක් දැම්මට කමක් නැහැ , ඒ ගැන විස්තර එතැනදි බැරියැ නේද ?




පරණ ..ඒත් හැමදාටම නොවරදින , කිසිම වියදමක් නැති ක්‍රමය තමයි Abstinence , මොකක්ද මේ අපූරු ක්‍රමය.....ලිංගිකව එක් නොවී සිටීම ....තව ටිකක් විස්තරාත්මකව කීවොත් , Prevention of Penial-Vaginal penetrative intercourse (යෝනි මාර්ගය තුලට කිසිවිටෙක ශිෂ්ණය ඇතුළු නොකර සිටීම) ..දැන් ඉතින් මේ ගැන තව කියවන්න ඕන නැහැනේ ...100%ක්ම ප්‍රත්‍යක්ෂ මේ උපක්‍රමය අවිවාහක වගේම විවාහක පාර්ශවයත් එදා වගේම අදත් යොදා ගන්නවා .



“හොඳා “කියන නිල් පාටයි ....“එපා“ කියන රතු පාටයි 
අනෙක් උපක්‍රෙම් කැලැන්ඩරේ කතිර ගහන ක්‍රමේ Calendar method ... මේ ගැන කතා කරන්න ඉස්සර වෙලා ඩිම්බ සෛලය ගැන , ආර්තව චක්‍රය ගැන පොඩ්ඩක් කියල ඉන්න වෙනවා . අපි දන්නවා සාමාන්‍යෙයන් ආර්තව චක්‍රය දින 28ක් වශයෙන් චක්‍රීයව සිදුවන්නක් , නමුත් එය පොඩ්ඩක් එහා මෙහා වන අවස්ථා නැතිව නොවෙයි , අපි මේ දින 28ක ආර්තව චක්‍රය ගැන සැලකුවොත් , එහි ආර්තවය , නැත්නම් රුධිර වහනය ආරම්භ වූ දින සිට දින අටක් විතර යනකම් සිද්ද වෙන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්ති කැඩිලා ඉවත් වෙලා අළුත් පටකවලින් එය නැවත සකසා ගන්න එක ( මේ දවස් ටිකේ ලිංගිකව එක්වුනා කියල ගැබ් ගැනීමේ අවදානම අඩුයි , 9,10,11 වගේ දවස් වල ගර්භාෂය අළුත් බිත්ති හදාගෙන ඉන්නවා අළුතින් එන ඩිම්බ සෛලය පිළි ගන්නට , නමුත් සාමානයෙන් ඩිම්බ සෛලය නිකුත් වෙන්නේ 12-15 අතරේ දවසක ...මේ නිසා මේ දවස් ටික නම් හරිම භයානකයි .....නෑ නෑ ..භයානකයි කීවේ මේ දවස් වල ලිංගික එක්වීමක් වුනොත් අනාරක්ෂිතව , ශුක්‍රාණු මුදා හැරීමක් වුනොත් ගැබ් ගැනීමක් වීමේ අවදානමක් තිබෙනවා .. මොකද මේ අතරේ මොන වෙලාවේ ඩිම්බ සෛලය ඒද දන්නේ නැති නිසා ( සාමාන්‍යෙයන් 13, 14 වගේ දවසක එය ඩිම්බමෝචනය සිදුවුනත් , එය වෙනස්වීමට ඉඩ තිබෙනව) ඒ නිසා ආර්තවය ඇරඹීම පළමු දිනය කියල ගත්තොත් ඉන් 9-15 විතර කාළ සීමාව අනාරක්ෂීතව ඒක වීම ගැටළුවක් ඇති කරන්නට පුළුවන් . දැන් මේ ආපු ඩිම්බය දවස් දෙකක් විතර බලන් ඉඳල , ශුක්‍රානුවක් එන්නේ නැති පාටයි නම් මොකද වෙන්නේ ...ඩිම්බය හැකිළිලා අක්‍රිය වෙලා යනවා ... ඒ කීවේ 14 වෙනිදා ඩිමබය ආවනම් ..එයා තව දවසක් විතර බලාගෙන ඉඳීවි ..ඒ කියන්නේ 16 වෙනි දවසෙන් පස්සේ සංසේචනයක් වෙන්නට හැකියාවක් එයට නැහැ . තව විදියකින් කිව්වොත් , ඔන්න ආයෙත් “නිදහස් කළාපයක් !“ ...මෙතැනි ඉඳල නැවත ආර්තවය ඇරඹෙන තුරු අනාරක්ෂීත ලිංගික එක්වීමක් වුනා කියල කරදරයක් වෙන්න ඉඩ අඩුයි .මේ ක්‍රමය හරියන්නේ ආර්තව චක්‍රය නිසි රටාවකට සිදුවන කාන්තාවන්ට විතරයි කියනවා වගේම මෙහි සාර්ථක භාවය 70%ක් විතර වෙන්න පූළුවන් . ඒත් හොඳට මතක තියා ගන්න මේ ක්‍රමය මඟින් සමාජ රෝග වැනි තත්ත්ව වලින් ආරක්ෂාවක් නොලැබෙන බව සහ 100%ක ආරක්ෂාවක් නොලැබෙන බවත්, නමුත් ශාරිරිකව කිසිදු හානියක් නොවන “හොඳ ක්‍රමයක්“ ....මේ විදියටම ඇයගේ දේහ උශ්නත්වයේ වෙනස , ගැබ් ගෙලේ පවතින තෙතමනය වැනි දේ පවා මේ වගේ රටාවකට වෙනස් වන නිසා ඒවත් “හොඳ කාළෙ“ හොයාගන්න යොදා ගන්න පුළුවන් වුනත් , ඒව ප්‍රායෝගික බවින් අඩුයි , ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු .

අනෙක් ක්‍රමය “පිටවන්නට පෙර පිටතට ගැනීමේ ක්‍රමය“ Coitus interuptus නැත්නම් Withdrawal කියන ක්‍රමය . සාර්ථකත්ව අතින් ඉතාම පහල අගයක ඉන්න , ඒ වගේම ආරක්ෂාව අතින් කිසිදු පලක් නැති මේ ක්‍රමයෙදි සිදුවන්නේ , පුරුෂයා , තමන් ලිංගිකව උච්ච අවස්ථාවට පත්වෙලා ශුක්‍රාණූ මුදා හරින්නට මොහොතකට පෙර ශිශ්නය පිටතට ගැනීම ...වැඩේ වෙන්න මේකයි , අපි හිතුවට ශුක්‍රාණූ පිට වුනේ නැහැ කියල , ඒ වෙන කොටත් යම් ශුක්‍රාණූ ප්‍රමාණයත් යෝනි මාර්ගයට ඇතුළු වෙලා අවසන් , දැන් ඉතින් පිටතට ගත්ත කියල පලක් නැහැ , මොකද සංසේචනයක් වෙන්නට ඕන , ඒකම එක ශුක්‍රාණුවක් විතරයි . ඒ කියන්නේ මේක නම් අත්හදා බලන්නවත් නොයුතු ක්‍රමයක් , ‍

තව තවත් මෙවැනි ක්‍රම ඇති නමුත් එහි ප්‍රායෝගික වැදගත්කම් අඩු නිසා අපි දැන් එමු , අද විද්‍යාත්මකව තහවුරු කළ පිළිගන්නා “උපත්පාලන ක්‍රම “ ගැන කතා කරන්නට.
මුලින්ම Combined oral contraceptives අපි O.C.P. කියන කියන එක් වර්ගයක් මේ ..වෙළඳ නාම වශයෙන් නම් විවිධාකාර වර්ග තිබුණත් ඒ සැම පැකට්ටුවකම ඇත්තේ එකම වර්ගයේ ඖෂධ (ප්‍රජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් මුලිකව ) පෙති සංඛ්‍යාවක් , යම් රටාවකට සකසලා , ඒ රටාව හඳුනාගන්නට පුළුවන් විදියට අංක 1 සිට දින එහි ලකුණු කරලත් තිබෙනවා . දැන් මේක පාවිච්චි කරන්නේ කොහොමද ..හරිම ලේසියි , හැමදාමත් එක පෙත්ත බැගින් , දවසේ එකම වෙලාවකදි බොන්නට ඕන , වැදගත්ම දේ අමතක නොකර හැමදාමත් ගන්න එක .. වැරදිලාවත් එක දවසක් අමතක වුනොත් , ඊට පසුදා පෙති දෙකක් හෝ ඖෂධ පත්‍රිකාවේ සටහන් ආකාරයට ගන්න ඕන වගේම තව දවසක් දෙකක් ලිංගිකව ඒකවීමේදී කෝනඩමයක් වැනි ක්‍රමයක් භාවිත කරන එක පරිස්සමට හොඳයි . මේ මඟින් ඩිම්බ පිටවීම වැලැක්වීම වගේම ගර්භාෂ බිත්තිය සංසේචනයකට නුසුදුසු තත්ත්වයක පවත්වා ගැනීමත් කරන නිසා මේ පෙති භාවිත කරන කාළෙ පිළිසිඳ ගැනීමක් වීමේ අවදානම 5%ටත් වඩා අඩුයි ...මෙන්න මේ තතත්ව තිබෙන කාන්තාවන් මෙය නොගන්නවා නම් හොඳයි , නැත්නම් මේ පෙති පටන් ගන්නට ඉස්සර වෛද්‍ය උපදෙස් ලබා ගන්න ... කවුද මේ හොඳ නැති අය ...දැනටමත් ගර්භනී තත්ත්වයේ ඉන්නා කාන්තාවන් , කිරි දෙන මව්වරුන් , අක්‍රමවත් රුධීර වහනයන් (යෝනි මාර්ගයෙන්) ඇති අය සහ අක්මාවේ දැනටමත් ගැටළු ඇතැයි හඳුනාගත් අයට පොඩි අවදානමක් තිබෙනවා . ඒ වගේම පියයුරු පිළිකා අවදානමක් හඳුනාගෙන ඇති සහ අධී රුධිරපීඩනය , ලේ කැටි ඇති වීම වගේ තත්ත්ව වලට මුහුණ දුන්නු කාන්තාවනුත් වගේම අවුරුදු 35ට වැඩි කාන්තාවක් නම් ..මේක ගන්න ඉස්සර ඔබේ වෛද්‍යවරයා හමුවෙන එක හොඳයි , නැත්නම් නොගෙන ඉන්න එක හොඳයි .ඒ වගේම වැදගත් දෙයක් කියන්න තියෙනවා ...ඒ තමයි සමහර Antibiotic නිසා මේ පෙති වල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන් . ඒ කියන්නේ ප්‍රතිජීවක ගන්න අතරේ OCP අරගැනීමෙන් විතරක් ආරක්ෂා වෙන්න උත්සාහ කරන්න එපා ...ඒ අ දවස් ටිකේ වෙනත් ආරක්ෂක ක්‍රමයකුත් අනුගමනය කරන එක තමා සුදුසුම.එ වගේම යම් ලෙඩකට බෙහෙත් ගන්න ගියාම , තමන් උපත්පාලන පෙති පාවිච්චි කරන බව කියන්න ඕනමයි ..ඒකට ලැජ්ජවෙන්න ඕන නැහැ හොඳේ ..

මේ පෙත්තේ වාසි වෙන්නේ අපිට දරුවෙක් ගැන හිතපු දවසක මේක නවත්තල දාන්න පුළුවන් වීමත් , එතැනදි පිළිසිඳ ගැනීමේ හැකියාව නැවත ලැබීමත් , ලිංගික ක්‍රියාවලියට කිසිම බාධාවක් , ගැටළුවක් ඇති නොකිරිමත් වගේම ඉතා පහසු ක්‍රමයක් වීමත් නිසා . ඒත් මේ පෙති ගනිත්දි ඇයට පොඩි පොඩි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් , කරකැවිල්ල , ඇඟේ බර වැඩි වීම , දිගටම පවතින ඔළුවෙ කැක්කුම , පොඩි පොඩි මූඩ් එකේ වෙනස්කම් ..ආර්තවය තාවකාළීකව නැවතීම වගේ තත්ත්වත් එන්න පුළුවන්. මේ අතුරු ආබාධ පොදු වුනත් ඉතාමත් සීමිත අවස්ථාවක මීට වඩා දරුණූ අතුරු පල ඇති නොවනවාමයි කියන්නට බැහැ ..හැබැයි ඒ ඉතාමත් සීමිත අවස්ථාවක විතරයි .
මේ විදියටම හෝමෝනයක් (ප්‍රොජෙස්ටරෝන්) අතේ නැත්නම් කකුලේ පේෂීයකට ඉන්ජෙක්ෂන් එකක් විදියට ඇතුළු කරගන්න ක්‍රමයක් තිබෙනවා . රජයේ සෞඛ්‍ය ආයතනයකදි ඩිපො ප්‍රොවේරා කියන නම යොදා ගත්තත් එහිත් වෙළඳනාම ගණනාවක් තිබෙනවා , එය ඖෂධ වර්ගය මත මාසිකව හෝ මාස කිහිපයක වතාවක් නැවත නැවත ලබා ගැනීම මඟින් ගැබ්ගැනීමේ හැකියාව අඩු කරගන්නට පුළුවන් . ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට 99%කට වඩා සාර්ථකත්වයක් දරන මේ ක්‍රමයෙදිත් පෙර ඖෂධයෙදි කීව වගේම නොගත යුතු පිරිසක් ඉන්නවා , ඒ වගේම ඒ අවදානම් , අතුරුපල අපේකෂා කර යුතු වෙනවා . විශේෂයෙන්ම බර වැඩිවීම සහ ඒ ආශ්‍රිත රෝග තත්ත්ව ඇති වීමේ අවදානමක් මෙහිදිත් තිබෙනවා .
ප්‍රො‍ජෙස්ටරෝන් කියන හෝමෝනයම තවත් සාන්ද්‍ර කරල , උකු කරලා , පොඩි කැප්සූලයක රිංගවල ..අන්න ඒ කැප්සූලය අතේ සම යට තැන්පත් කරන ක්‍රමයක් තිබෙනවා . අපි ඒකට කියන්නේ Implant කිරීමක් කියල ,Nor-plant කියන නමින් රෝහලේදි නම් කරාවි , මෙයත් වැඩ කරන්නේ ඉහත අවස්ථාවේ කී විදියටමයි , වෙනකසට තියෙන්නේ සම යට තැන්පත් කරත්දි දැනෙන සුළු වේදනාව සහ තැන්පත් කරන කැප්සූල් ප්‍රමාණය අනුව වසර 3-5ක් අතර කාළයකට ආරක්ෂාවක් (ගැබ් ගැනීමෙන්) ලබා දීමක් කෙරුණත් ආපදා නැතිවා නොවේ , බොහොමයක් මුලින් කී ඒවාමයි . එයට අමතරව අක්‍රමවත් යෝනි රුධීර වහනයන් සිදුවන්නට පුළුවන් . ඒ විතරක නොවෙයි මේ Progesterone අඩංගු උපත්පාලන ක්‍රම මඟින් කාන්තාවගේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ හැකියාවන් අඩුවන බවට පර්යේෂකයන් හඳුනාගෙන තිබෙන අතර තවමත් මේ හෝමෝන භාවිතය ගැන එහි පල අපල ගැන පර්යේෂණ පැවැත්වෙනවා , ඒ නිසා සමහර අවස්ථාවල මෙම පෙති , ඉන්ජෙක්ෂන් නිසා “පිළිකා“ වැනි තත්ත්ව ඇති වීමේ අවදානම් ගැන පවා කියැවෙනවා . නමුත් බහුලව දැකිය හැක්කේ අපි මේ කතා කරල ආපදාවන් පමණයි .

ඒ වගේම වැදගත් කාරණයක් කියන්නට ඕන , මේ සඳහන් කළ හෝමෝන පෙති කාටවත් නොකිය ගන්න පුළුවන් වුනත් , මේ ඉන්ජෙක්ෂන් සහ Implant නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මඟින් සහ සුදුසු වෛද්‍ය ආයතනයකින් කරවා ගැනීම වැදගත් , විශේෂයෙන්ම Implant නිසි ලෙස කර නොගත්තොත් තවත් කරදර ඇඟට දාගත්තා වෙන්නත් පුළුවන් නිසා .
ඊළඟ ක්‍රමය තමයි I.U.D නැත්නම් Intra Uterine Device ගර්භාෂයට ඇතුළු කරන එක . මේකෙදි කෙරෙන්නේ තඹ හෝ ප්ලාස්ටික් , ඖෂඹ මිශ්‍ර කළ හෝ නොකළ පුංචි උපකරණයක් යෝනි මාර්ගය ඔස්සේ ගර්භාෂයට ඇතුළු කරන එක . හැඩයෙන් T වගේ හෝ ආසන්න හැඩයක් වෙන මෙය ගර්භාෂ බිත්තියේ දිගින් දිගටම ගැටීම් එක්ක ඇති කරන උත්තේජනය නිසා කළලයක් රැඳෙන්නට දෙන්නේ නැහැ , ඒ වගේම මෙහි අඩංගු හෝමෝන ඒ සංසේචනයක් වෙන්නට ඇති ඉඩත් අඩු කරනවා . විශේෂ පුහුණූවක් ඇති සෞඛ්‍ය නිලධාරිවරයෙක් , වෛද්‍යවරයෙක් විසින් ඇතුළු කරන මේ උපකරණය රැක බලා ගන්න විදිය ගැන උපදෙස් මාලාවක් ඒ අවස්ථාවෙදි කියල දේවි , මේ උපකරණය රැදෙව්වාම වරින්වර යටි බඩ ප්‍රෙද්ශයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය වුනත් වෙන ලොකු කරදරයක් ඇති වෙන්නේ නැති තරම් . (හැබැයි ඒ අදාල උපකරණයට අනුකූල උපදෙස් පිළිපැද්දොත් තමයි ) , කෙසේ වෙතත් මෙන්න මේ කරදර ලක්ෂණ ආවොත් බලන් ඉන්න එපා නැවතත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න යන්න .. මොනවද ඒ ලක්ෂණ මතක තියා ගන්න ලේසියි PAIS කිව්වම ..Period late (Pregnancy) , Abnormal pain ,Infection( උණ, සැරව පිටවීම වැනි, උණ ) String missing (ඒ කියන්නේ මේක හරියට රැඳිල තියේද කියල දැන ගන්න නූලක් එළියට යෝනි මාර්ගයෙන් මතු පිටට රඳවලයි තියෙන්නේ .. වරින්වර , නැත්නම් ලිංගික එක්වීමකට පෙර ඒ නූල ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන ...වැරදිලාවත් ඒක හොයාගන්න බැරිනම් එදාට ආරක්ෂිත උපක්‍රමයක් අනුගමනය කරල , පසුදාම වෛද්‍යවරයා හමුවෙන්නට යන්න වෙනවා .) , මේ උපකරණය මගින් 99%ක විතර ආරක්ෂාවක් ලබා දෙන බව හඳුනාගෙන තිබෙනවා.

ඊළඟ ක්‍රමේ කොන්ඩම භාවිතය මෙය male condom සහ female condom කියන අවස්ථා දෙකෙන්ම ගන්න පුළුවන් (හැබැයි එකවතාවකට ඔය දෙකම එකපාරට පාවිච්චි කරන්න යන්න ඕන නැහැ ) , මේ බොහොම ආරක්ෂීත , විශේෂයෙන්ම ගැබ්ගැනීමෙන් විතරක් නොවෙයි , ලිංගාශ්‍රිත රෝග වලින් පවා රැකෙන්නට පුළුවන් උපකරණයක් , මේ උපකරණ දෙකේදිම එය රඳවගන්නා විදිය අදාල පැකට්ටුවේ බොහොම පැහැදිලිව සටහන් කරල තිබෙනවා , ඒ නිසා , ඒ උපදෙස් නිසි ලෙස පිළීපැද්දොත් , 95%කට වඩා ඉහළ ආරක්ෂාවක් මේ මඟින් ගන්නට පුළුවන් , අනෙක් වැදගත්ම දේ මේ මඟින් කිසිදු අහිතක පලයක් ලැබෙන්නේ නැහැ (ඉතා සිමිත අවස්ථාවක රබර් වලට සංවේදී කෙනෙක්ට අසාත්මික ලක්ෂණ ඇති විය හැක) , ලිංගික එක්වීමේ දී ඇති සංවේදී බවට යම් හානියක් වන බව කියැවුනත් , ඒ ගැටළුව විසඳිමට සමත් නිශ්පාදන අද වෙළඳ පොලේ තිබෙනවා . වැදගත්ම දේ මේ උපකරණය සැකසෙන්නේ තුනී රබර්මය පටලයකින් නිසා එය ඉරී නොයන ලෙස සහ ලිංගික කාර්යය තුලදී ගැලවී නොයන ලෙස හසුරවාගැනීම , ඒ වගේම මේ උපකරණය තනා ඇත්තේ එක් වරක් පමණක් පාවිච්චි කරන්නට නිසා , ඊට පටහැනිව යොදා ගත්තොත් ලැබෙන රැකවරණය ගැන කියන්න ට බැහැ .

ඊළඟට වඩාත්ම යොදාගන්නා ක්‍රම ශල්‍යකර්ම , ඒහිදි පුරුෂයාගේ ශුක්‍රාණූ ගලා එන නාලය කපා අවහිර කිරිමක් vasectomy හෝ , ස්ත්‍රියගේ ඩිම්බ ගෙන එන නාලය ගැටගසා අවහිර කිරීමක් කරන්නට පුළුවන් , Tube ligation, 99%කට වඩා සාර්ථක බවක් තිබෙන , ඒ වගේම ශාරීරිකව ලොකු ආපදාවක් ඇති නොකරන මේ ක්‍රම වල හානිය , නැවතත් දරුවෙක් ඇති කරගන්නට සිතක් පහලවුනු කාළෙක , එය කරගන්නට නොහැකි වීම හෝ , ඉතා අපහසු වීම , හේතුව මේ ශල්‍යකර්ම මඟින් කෙරෙන වෙනස්කම් නැවත නිවැරදි කරන්නට අපහසුවීම , ඒ නිසා මේ ක්‍රම සුදුසුවන්නේ , නැවත දරුවන් බිහි කිරීමට අදහසක් නැත්නම් පමණයි , ඒ වගේම මෙය කරන්නේත ඒ තතත්වයන් තහවුරු කළ විටෙක පමණයි ...
තව තවත් බොහෝ ක්‍රම තිබුණත් මේ කතා කළේ බහුලව යොදා ගන්නා උපත් පාලන ක්‍රම ටිකක් ගැන . ඒ වගේම මේ ක්‍රම වල හොඳ නරක ගැන පොඩි අවබෝධයක් දෙන්නයි මට ඕන වුනේ , එය වුනාදැයි වැටහෙන්නේ ඔබට , ඒය මට දැනෙන්නේ ඔබේ අකුරකින් .....

ඉතින් අදත් මේ ලිපියේ නිමාවයි මේ , මේ ලිපියට අදාල කරුණු තහවුරු කෙරෙන පහත වීඩියෝ ටිකත් බලන්නට පුළුවන් නම් තවත් වැදගත් වේවි ..

අදට සමුගන්නම් ..නැවතත් හමුවෙමු ..

සංසේචනය වෙන හැටි

කොන්ඩමය ගැන

I.U.D ගැන



34 comments:

  1. ගොඩක් වටින සටහනක් අයියෙ... ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. ඔබේ පැමිණිම මට සතුටක් ..ස්තුතියි

      Delete
  2. වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න මහතානනි ඔබට.

      Delete
  3. සිංහලෙන් කියවන්න හොයාගන්න අමාරු විදියේ සටහනක්. ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ පැමිණීම සතුටක්

      Delete
  4. මේක නම් ගොඩක් වටින සටහනක්... බුක් මාක් කරගත්තා ඇත්තටම විවාහ අපේක්ෂිත මිතුරන් කිහිප දෙනෙක්ම ඉන්න නිසා ඒ අයට දෙන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් , දැනුම බෙදා දෙන්න , ඒ සතුට නිරාමිසයි ...

      Delete
  5. ස්තුතියි අයියේ,, හුගක්ම .....අලුත් කොල්ලෝ කෙල්ලොන්ට හුගක් වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් , මමත් ඒ බව විශ්වාස කරනවා . ස්තුතියි ඔබට ..

      Delete
  6. තරුණ පරම්පරාවට ගොඩක් වටින ලිපියක් අයියේ.. ස්තූතිය මේ වගේ දේවල් ගැන දැනු‍වත් කරනවට..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දැනුම නැති කම නිසා කරදර ගොඩක් ඇති කරගන්න බව තමයි හැඟෙන්නේ .
      ස්තුතියි ඔබටත්

      Delete
  7. Prevention of Penial-Vaginpenetr
    ative intercourse al ගැන නම් පොඩි ගැටලුවක් තියනවා,මගේ මිත්‍රයෙක්ගේ පෙම්වතිය ගැබ්ගත්තා වයස 16 දි , මිනිහට එතකොට වයස 18 , මිනිහා කෙල්ලව අවිස්වාස කලා, කොහොම හරි හොද මිතුරන් පිරිසක් හිටපු හන්දා ගෙවල් දෙකම කූල්ඩවුන් කරලා , කෙල්ලත් එක්කත් කතා කරලා , පිට මිනිස්සුන්ගෙන් විස්තරත් හොයලා බලලා , නිළනොවන මගූල් ගෙයක් යාළුවොම සංවිධානය කලා, පහුවදා දවල්වෙන කොට යාළුවන්ට කෝල්කරලා බිරිදගේ කන්‍යාවයට සාක්කී අපේ මිත්‍රයාම කියුවා.ඒ උපන් දරුවට දැන් වයස 13ක්.

    ඒ කොහොම උනත් Calendar method සහ Prevention of Penial-Vaginpenetr
    ative intercourse al තමයි හොදම ක්‍රම දෙක. ඒ දෙකම කලවම් කරලා එකට යොදා ගන්නවානං කිසිම ගැටලුවක් නැ.

    අවශ්‍ය වන්නේ මෙච්චරයි.

    ලිංගිකත්වය ජීවිතයේ සියල්ලම කර නොගැනීම පමණයි.

    එවිට ලැබෙන තවත් වාසියකූත් තියනවා.

    පැහැදිලි කල නොහැකි දැඩි බැදීමක් දෙදෙනා තූලම ඇතිවෙනවා.

    ලීංගිකත්වය මතම ගොඩ නැගෙන අඹුසැමි සබදකම් තමයි ඔය මගේ හිතේ ඉක්මනටම දික්කසාද වලින් කෙලවර වන්නේ

    අපි කසාද බැදලා වසර නමයක්

    ලොකූ දුවට වයස අදට හරියටම වසර 5ක්

    දෙවනි දුවට මාස 4ක්

    ඉතින් හිතලා බලන්ඩ හොදම ක්‍රමය මොකක්ද කියලා



    ReplyDelete
    Replies
    1. “Prevention of Penial-Vaginpenetrative intercourse al ගැන නම් පොඩි ගැටලුවක් තියනවා“

      මේක ගැටළුවක් නොවෙයි , මොකද ගැබ් ගැනීමක් වෙන්නට මුළු ශිෂ්ණයම , vagina තුගට ඇතුළු විමේ අවශ්‍යතාවයක් නැහැ , ඕනැ කරන්නේ , Sperm , ඒ වගේම එය පිට කරන්නේ Orgasm අවස්ථාවේ පමණක් නොවේ , ඊට පෙර “ පෙර සෙල්ලම“ , foreplay කරන අවස්ථාවෙත් ශුක්‍රාණූ පිටවන නිසා  එයම ඇති ගැබ් ගැනීමකට .වාසනාවට සියල්ල යහපත්ව විසඳීම සතුටක් .

      “Calendar method සහ Prevention of Penial-Vaginpenetr
      ative intercourse al තමයි හොදම ක්‍රම දෙක. ඒ දෙකම කලවම් කරලා එකට යොදා ගන්නවානං කිසිම ගැටලුවක් නැ. “ -

      ඔව් ආර්තව චක්‍රය නිසි රිද්මයට වෙනවා නම් Calendar method හුඟක් සාර්ථකයි

      ස්තුතියි ඔබට සරු කරුණූ එක් කළාට ..

      Delete
    2. Calendar method කියන්නෙ මොකක්ද?

      Delete
    3. Calander method ගැන ලිපිය තුල විස්තර කර තිෙබ් ..
      ස්තුතියි

      Delete
  8. වටිනාකම අමිලයි :)

    ReplyDelete
  9. බොහොම වැදගත් ලිපියක් අයියා ලගදිම විවහා ජීවිතයට පත් වෙන්න ඉන්න අපි වගේ අයට ගොඩක් වැදගත් අය්යා පුලුවන්නම් මෙ ලිපිය පිඩිෆ් විදියට හදල දෙන්න අපිට බාගත කරගන්න

    ගොඩාක් ස්තුතී මෙ වගේ ලිපිලියන්න වෙහෙස මහන්සි වෙන ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී , පහුගිය දවස් ටිකේ විවේකය අඩුවුනා , ඉදිරි දිනකදි ඉතිරි ලිපි ටිකත් PDF කරලා එක් කරන්නම් .

      Delete
  10. ප්‍රධාන උපත්පාලන ක්‍රම ගැන දැනගතයුතු කරුණු සියල්ලම පාහේ පිඬක් ලෙස එකට කැටිකර ඊටම ගැලපෙන කියවන්නට ආසහිතෙන විස්තරයක්ද සමඟ ඉදිරිපත් කරපු සිත්ගන්නා සුළු ලිපියක්.. අයියා කරන සේවය නම් අනගියි...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී ඔබේ පැමිණිම සතුටක් , වගේම මට දිරියක් .

      Delete
  11. ගොඩක් වටිනා ලිපියක් අයිය......

    ඔයාගේ බ්ලොග් එකේ ඔක්කොම එකී.... හෙම එකක්ම ගොඩක් වටිනවා.....
    දිගටම කරගෙන යන්න කියල සුබ පතනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී .. එන්න ඇවිත් දැනුවත් වෙන්න ..

      Delete
  12. විශාල වැදගත්කමක් තියෙන නිවරදිව කරුනු තේරුම් කරල දුන්නු අපුරු ලිපියක්.මමත් බුක් මාර්ක් කර ගතත අපිට ඉතින් ඉස්සරහට ප්‍රයෝජනවත් වෙනවනේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , ඔබේ පැමිණිම සතුටක් ..

      Delete
  13. Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි මා දිරි මත් කළාට

      Delete
  14. ෙගාඩක් දැනීමක් ලැබුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණිමට

      Delete
  15. කවදටත් වටින ලිපියක්....

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)