2012/08/28

115) ඇඟිල්ලෙන් අල්ල ගන්න පිරිමි ගැටේ .(පුරස්ථ ග්‍රන්ථි පිළිකාව) ..

 අද කතාවට මාතෘකාවෙන රෝග තතත්වයේ නම මුලින්ම කියන්නම් , මොකද ඒක දැක්ක ගමන්ම සමහර කෙනෙක් පෝස්ට් එක කියවන එකෙන් ඉවත් වෙලා යාවි ..

“අපෝ ඔය ලෙඩ අපිට හැදෙන්නේ නැහැනේ ! ...අනෙක වයසට ගිහින් හැදෙන ලෙඩ ....දැම්ම මොකදට ඕව ගැන ...“

එහෙම ඉවතට නොයන ඔබ වෙනුවෙන් අද කතා කරන්නට හදන්නේ පුරුෂ පාර්ශවයට වද දෙන නොසලකා හැරියොත් අවාසනාවන්ත බලපෑමක් වුනත් කරන්නට තරම් බල සම්පන්න ලෙඩක් ගැන ...ඒ පිළිකාවක් ...


ඇයි මේ තරම් පිළිකා ගැනම කතා කරන්නේ ..එකක් ඒක මගේ වෘත්තීය දිවියේ සංවේදීම රෝග කාණ්ඩය වුන නිසා (ඒ කීවේ , මම වැඩිම කැමැත්තෙන් සේවය කළ විශේෂඥ ඒකකය වුනේ පිළිකා ඒකකය )  ..අනෙක ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට , තවත් අවුරුදු අටකදි ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දැනට පවතින ප්‍රමාණය වගේ 50%කින් වැඩි වීමක් වෙන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබීම ...ඒ නිසා කෝකටත් අපි මේ අනතුරු ගැන දැන සිටීම වැදගත් ..ඇයි ද දන්නවද ...බොහාමයක් පිළිකා පෙර හඳුනාගැනීමෙන් සුව කරන්නට පුළුවන් නිසා. ඒ නිසා  අපි මේ අප්‍රසන්න ,කකුලුවා(Cancer) ගැන කතා කරමු . අද කතා කරන්න හදන්නේ පිරිමි අපිටම විතරක් කරදර කරන කෙනෙක් ගැන ., කාන්තාවන්ටත් මේ ග්‍රන්ථීයේ යම් සම්බන්ධයක් තිබුණත් වැඩියෙන්ම කරදර කරන්නේ පිරිමින්ටමයි ..

ඒ තමයි Prostate cancer   ...සිංහලෙන් කිව්වොත් පුරස්ථ ග්‍රන්ථිමය පිළිකාව ...සමහර විට ඔබ මේ ගැන යමක් අහලත් ඇති මේ නම ඇහුවෙ අදම වෙන්නත් ඇති ..කෝකටත් කියල හැමදාමත් වගේ අපි මෙ රෝගයට සම්බන්ධ ජීව විද්‍යත්මක කරුණූ ටිකක් සරළව කතා කරලම වැඩට බහිමු.

මොකක්ද මේ Prostate නැත්නම් Prostate gland එක කියන්නේ .අපි දැනටමත් දන්නවා අපේ ඇඟේ විවිධ ග්‍රන්ථී පිහිටලා තිබෙන බව . දහදිය නිපදවන ග්‍රන්ථී , සමේ තෙල් ගතිය නිපදවන ග්‍රන්ථී , ඊළඟට ....ඔව් ඛේඨ ග්‍රන්ථි ....ඇයි තයිරොයිඩ් ග්‍රන්ථීය නේද ..ඔය වගේ ග්‍රන්ථී ගණනාවක් අපේ ජීව ක්‍රියා පවත්වා ගන්නට දායකත්වය දෙනවා .. මේ හැම කෙනෙක්ම යම් දියරමය සංයෝගයක් නිපදවමින් එය ස්‍රාවය කරමින් ඒ සේවය කරනවා . 

අපි මේ කතා කරන Prostate gland එකත් ඒ විදියට වැඩ කරන කෙනෙක් . ඉන්නේ නම් ටිකක් හැංගිච්ච තැනක . පිරිමින්ගේ නම් මුත්‍රාශය පතුලේ හැංගිලා තමයි ඉන්නේ ..මුත්‍රාශයේ සිට මුත්‍රා , එළියට ගෙනියන බටය Urethra , වගේම ශ්‍රක්‍රාණූ දියරයක් විදියට යොමු කරන බටයත් අපි මේ කතා කරන Prostate gland තුලින් තමයි ගමන් කරන්නේ . ඒ නිසාම ප්‍රොස්ටේට් ග්‍රන්ථීය කරන දේ කුමක් දැයි මතක තියා ගන්නත් පහසුයි , මුල්ම වැඩේ තමයි අපේ මුත්‍රා ගලායාම පාළනය කරන එක ...ඒක කරන්නේ Prostate  ග්‍රන්ථීයේ තිබෙන  රබර් පටි වගේ පේෂි තන්තු මඟින් .. අනෙක් කාර්යය තමයි ලිංගික උත්තේජනයකදි ශ්‍රක්‍රාණු මිශ්‍ර තරළයට අවශ්‍ය කරන ආරක්ෂක දියරක් හදල වක්කරන එක . විශේෂයෙන්ම ලිංගික උත්තේජනයේ උච්චතම අවස්ථාවේ ඉවතට නිකුත් වන දියරයේ වැඩිම වගකීමක් දරන්නේ අපේ මේ ග්‍රන්ථීය .

ඒ කියන්නේ මේ ග්‍රන්ථිය හරියට ක්‍රියාකාරී නැත්නම් කරදර ගොඩක් වෙන්නට පුළුවන් . ඔව් , ටෙස්ටොස්රොන් සහ ඇන්ඩ්‍රජන් කියන හෝමෝන වල බලපැමට යටත් වෙලා බොහොම හොදින් වැඩ කරගෙන යන මේ ග්‍රන්ථීය වයසට යත්දි පොඩි පොඩි කරදර දෙන්න පටන් ගන්නවා . 

මොන වගේ කරදරද ? ...සමහර විට ග්‍රන්ථිය ඉදිමිලා ඒක මැදින් ගමන් කරන බට තද කරන්නට පුළුවන් . දැන් මොකද වෙන්නේ ...අපි කිව්වනේ මැදින් ගමන් කරන්නේ මුත්‍ර අරගෙන යන බටය කියල ..දැන් ඒක හිරවෙනවා , . එතකොට මුත්‍රා කරගන්න බැහැ , සමහර විට මුත්‍රා කරන්න ඕන වුනත් පිට කරගන්න සෑහෙන තටමන්න ඕන ...සමහර විට මුත්‍රා කරලා ඉවර වුනාම ..ඕන්න ආයෙත් යන්න වගේ දැනෙන්නත් පුළුවන් ., මුත්‍රා පිට වුනත් වෙනද වගේ ඈතට වැටෙන්නේ නැහැ ..කකුල් දෙක ගාවටම වැටෙන තරමට වේගෙ අඩවෙලා . අනෙක හුඟක් වෙලාවට බිංදු බිංදු මත්‍රා පිට වෙනවා පාලනයක් කරගන්න බැරිවම ., මොන විදියට කරත් තෙමාගන්නම වෙනව ....දැන් ඉතින් මේ කීව දේට හේතු වුනේ අර ග්‍රන්ථිය ඉදිමීමනේ ...මේ ඉදිමිම පිළිකාමය නොවන තත්ත්වයේ Benign එකක් වුනොත් සරළ ප්‍රතිකාර කිහිපයකින් මේ කරදරේ මගහරවා ගන්නට පුළුවන් ...ඒත් ඒක පිළිකාමය malignant ඉදිමීමක් වුනොත් .......? .....

ඔව් ඔබ දැනටමත් දන්නව පිළිකාවක් කියන්නේ “මහ අකීකරු , විකෘති සෛල වගයක් “ කියලා ...කිසිම පාළනයක් නැතිය බෙදෙන මේ සෛල නිසා හැදෙන පිළීකා ගෙඩිය නිසා ඔය විදියට බට තද වීම විතරක් නෙවි , වටේ ඉන්න අනෙක් ඉන්ද්‍රියයන් මරල දාන්නත් පුළුවන් . පිළිකාවක හැසිරීම මොනවගේද කියල හරියටම දැන ගන්න පිළිකා ගැන මීට පෙර ලියැවුනු සටහන් වලට යන්න..

Prostate cancer එකේදිත් වෙන්නේ ඒකමයි ..එයා මුලින්ම මුත්‍රා බටේ මිරිකල කියනවා ..“ඔන්න මම වැඩ පටන් ගන්නයි හදන්නේ , ඕන නං අල්ලගන්නෝ ...“ කියල ...මෙතනින් එහාට මේ පිළිකාව හැංගි මුත්තං සෙල්ලං කරනවා ...ඒ කියන්නේ දැන් අපි නොසලකා හැරියොත් , මෙයා හෙමින් සැරේ අවට ඉන්න අවයව විනාශ කරන්න පටන් ගන්නවා, එයින් ප්‍රධානම තැන කොඳු ඇට ..ඊළඟට පෙනහළු , ඒ කියන්නේ අපේ ඇඟේ වැදගත්ම තැන් අපෙන් උදුරගන්නට පටන් ගන්නවා ..එහෙනම නම් මොකක්ද කරන්න ඕන ...

වැදගත්ම දේ තමයි මේ හැංගි හොරා පැමිණියා දැයි සැක කළ හැකි ලක්ෂණ ගැන පොඩි අවබෝධයක් තිය ගන්න එක . මුලිකම ලක්ෂණ එන්නේ මුත්‍රා සම්බන්ධව , අපි මුලින් කීව වගේ මුත්‍රා කරගන්න ඇති අපහසුකම් එක්ක මුත්‍රා එක්ක ලේ පිටවීමක් වෙන්නත් පුළුවන් , ඒ වගේම ශ්‍රක්‍ර තරලයත් එක්ක Semen ලේ පිට වෙන්නත් පුළුවන් ..සමහර විට ඔබ ලිංගිකව එක් වෙලා ඉන්න අවස්ථාවේ ශිෂ්ණය පතුලෙන් පිච්චෙන , තද වේදනාවක් එන්නත් පුළුවන් .

දැන් මේ වගේ ලක්ෂණයක් දෙකක් ආවොත් , කෝකටත් කියල ඔබේ පවුලේ වෛද්‍යවරයාට කියල පරික්ෂාවක් කර ගන්න .. ඔහු ඔබේ ගුද මාර්ගය තුලින් ඇඟිල්ලක් ඇතුලු කරල P.R.පරීක්ෂණය මඟින් මේ ග්‍රන්ථීය ස්ඵර්ශ කරල බලාවි , දැන් ඔහුට දළ අවබෝධයක් ගන්න පුළුවන් Prostate gland එකට මොකද වෙලා තියෙන්නේ කියලා ..සැක සහිත නම් සරළ රුධීර පරික්ෂණයක් නියම කරාවි ...ඒකේ නම මතක තියා ගන්න එක වටින නිසා නම කියන්නම් ...P.S.A. මේ Prostate Specific Antigen කියන රුධීර පරික්ෂණයේ අගයන් එක්ක මෙය පිළීකාවක් දැයි තහවුරු කරගන්න හැකියාවක් ඇති වෙනවා . ඒ අගය 4.0 ng/mL ට වඩා වැඩි නම් වෛද්‍යවරයා ඔබ තවත් පරික්ෂණ කිහිපයකට යොමු කරාවි , ඒ අතරේ එක්සේ , සිටී ස්කෑනින් වගේම , පොඩි ශල්‍යකර්මයක් මගින් ග්‍රනිථීයෙන් පටක කෑල්ලක් Biopsy අරගෙන එහි සෛල වල හැඩය ස්වභාවය පරික්ෂා කරන්නටත් යොමු කරාවි .

ඔන්න ඔය ඔක්කොම කළාට පස්සේ වෛද්‍යවරයා ඔබට කියාවි , එය පිළිකාමය ගෙඩියක්ද නැත්ද යන වග ..නැවතත් මේ කීව එක් ලක්ෂණයක් හරි P.S.A. අගය 4ට පොඩ්ඩක් වැඩිවුනා කියන එකෙන්ම මෙය පිළිකාවක් කියල හිතල කළබල වෙන්න එපා .. කළ යුත්තේ නොසලකා නොහැර හරියම තත්ත්වය කුමක්දැයි හඳුනාගන්නා තුරු අදාල පරික්ෂණ වලට කැමැත්තෙන් ඉදිරිපත්වෙන එකයි.මොකද නොසලාක සිටීම ලොකු අනතුරකට අතවනන නිසා .

මේකට හේතුව ස්ථීරම නොකිය වුනත් , යම් ජානමය සබඳතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනව , ඒ ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන ජාන ඒකකයක් දැනටමත් හඳුනාගෙන තිබීම , ඒ වගේම වයස අවුරු 40ට වැඩි පිරිමින් වැඩි අවදානම් (කාන්තාවන් මේ තත්ත්වයට පත්වීම නොහඳුනා ගන්නා තරම් සුළු සංඛ්‍යාවක් බවය කියැවෙන්නේ)  , තරබාරුනම් , එකතැන ඉඳගෙන කරන කම්මැළි රස්සාවක් කරනවා නම් ( ඒ කීවේ සක්‍රියව ඇඟ නොවෙහෙසෙන ) , රැකියාව විදියට තීන්ත කර්මාන්ත හෝ තීන්ත හෝ සම්බන්ධ රසායනික කර්මාන්ත වල යෙදෙන , ඒ ආශ්‍රිතව ජීවත් වන අය වැඩි අවදානම් , මත්පැන් භාවිතය වගේම සමාජ රෝග පැවතීමත් අවදානම වැඩි කරන බව සොයාගෙන තිබෙනවා , තවත් ආහාර වේලේ ශාකමය ආහාර අඩුවෙන් කෑමට ගන්න අයත් අවදානම් . ....ඔය ඔක්කොම අවදානම් ....ඒ කීවේ මේ සියල්ලම නොවන , කෙනෙකුට වුනත් මෙම පිළිකාව හැදෙන්න යම් ඉඩක් තිබෙනවා ..ඒ නිසා ඔය ලිස්ට් එක බලල ...“අපිට හැදෙන්නේ නැහැ ...කියල “ අමතක කරල  දාන්නත් ...“අපොයි මටත් කැන්සර් එක වගේ “ කියල කළබල වෙන්නෙත් නැතිව මේ තොරතුරු දැනගෙන නිසි තැන නිසි ප්‍රතිකාරයට යොමු වීමයි වැදගත් . 

දැන් ...මේ තතත්වය පිළිකාවක් වුනොත් මොකද වෙන්නේ ...ඔව් ...වැදගත්ම දේ මේ තත්ත්වය මුල් අවස්ථාවෙම හඳුනා ගැනීම , මොකද මෙයා ඇඟ ඇතුලෙ හැංගිමුත්තං ගහමින් අනෙක් අවයවත් විනාශ කරන කෙනෙක් නිසා , වෙන තැන්වලට පහර ගහන්න ඉස්සර හඳුනගත්තොත් ශල්‍යකර්මය මඟින් පිළිකාමය පටක කපා ඉවත් කිරීමත් ...විකිරණ ප්‍රතිකාර සහ පිළිකා ඖෂධ ප්‍රතිකාරත් ලබා දේවි ..ඒ වගේම හෝමෝනමය ප්‍රතිකාර ලබා දෙමින් ග්‍රන්ථීයේ සක්‍රිය බව පාලනය කරන්නත් උත්සාහ කරාවි . 

මුලින්ම අල්ල ගත්තොත් ලොකුම කරදරයක් නොවී රෝග තත්ත්වයෙන් සුවය ලබන්නට පුළුවන් , ඒත් ඒ වෙනකොට වෙන තැනකට පැතිරිලා තිබුනොත් වැඩේ ටිකක් දුර දිග යනවා , මොකද එතාකොට ප්‍රතිකාරයත් මීට වඩා සංකීර්න වෙනව වගේම සුව කිරීම කියල වචනය වෙනුවට “හොඳින් පාලනය කිරීම“ කියන පදය ආදේශ කරන්නටත් වෙනවා. 

මේ පද ආදේශ කිරිම් වලට යනකම් ඉන්න එපා ...මුලින්ම හදුනගැනීමට සහය වෙන්න ..එය කරන්න පුළුවන් ඔබටමයි , මොකද මේ එළියට පේන තැනක් නොවෙන නිසා වෙන කෙනෙක්ට වඩා “මේ වෙනස“ හඳුනාගන්නට පුළුවන් ඔබටමයි ...

එසේ නම් තවත් එක් සොඳුරු හමුවීමක් නිමා කරන්නටයි සූදානම් ..

මෙතෙක් කල් Blogspot.com වෙතින් නොමිලේ ලබා දුන් ඉඩ හසර යොදා ගනිමින් පවත්වාගෙන ගිය “සොඳුරු සුව අසපුව“ දැන් තමන්ගේම තැනකට ආවා .. ඒ www.nursinglk.com කියන domain එකට ...තවත් දින කිහිපයකදි මෙතෙක් භාවිත වූ ලිපිනය ක්‍රියාත්මක නොවන්න ඉඩ තිබෙනවා . ඒ නිසා විය හැකි අපහසුතාවන් පිළිබඳ කණගාටු වන අතර ...ඒ ගැනත් පෙර දැන සිටීමෙන් ආපදාව වලක්වා ගන්නට පුළුවන් බව විතරක් අවසානයේ කියන්නම් .. 

ඒ නිසා මේ රෝගය ගැනත් ලක්ෂණ ගැනත් කළ යුතු දේ ගැනත් ඔබේ මිතුරාටත් කියන්න ...

18 comments:

  1. නැවතත් වෙනදා වගේම කාටත් වැදගත් ලිපියක්. ඇත්තටම මම නම් කරන්නෙ එච්චර බ්ලොග් කියවන්නෙ නැති අයට මේ ලිපිය ප්‍රින්ට් කරලා දෙනවා ඔබේ ලින්ක් එක එක්කම.. මොකද මේ වගේ කාරනා මෙච්චර සරලව සහ සම්පූර්ණව කියවන්න තියෙන අවස්ථා අඩු නිසා.. අළුත් ලිපිනය බුක්මාර්ක් කර ගත්තා දැන්මම..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට . ඇත්තෙන්ම ඔබ කරන්නේ ලොකු උදව්වක් , මක් නිසාද අපේ මිනිසුන්ට මෙවන් තොරතුරු ලබා ගන්නට අවස්ථා සීමිත නිසා ඔබේ උපකාරයේ වටිනාකමත් තවත් වැඩියි.
      බොහොම පිං ඔබටත්

      Delete
  2. Godak watina lipiyak.. hamadama wage adath loku danumak gaththa....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමරි ඔබටත් ,

      Delete
  3. සෑමදෙනාම දෑන ගත යුතු කරුණු අඩංගු ලිපියක්. බොහොම ස්තූතියි ඔබේ දෑනුම අපත් සමග මේ ආකාරයෙන් බෙදා ගන්නවාට .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිම්හානි දිරි ගැන්වීමට

      Delete
  4. වටිනා ලිපියක්. මේ රෝග ගැන දැනගෙන ඉන්න එක වැදගත් වේවි කවදාහරි.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම , ස්තුතියි හැමදාමත් ඇවිත් දිරිගන්නවාට

      Delete
  5. ඉතාම වටිනා ලිපියක් .. මෙවැනි තොරතුරු සිංහලෙන් කියවන්න ලැබෙන්නේ කලාතුරකින්.. මගේ මිත්‍රයෙක් මේ තත්වයට මුහුණදීලා පරීක්ෂණයකට ලක් උනා. ඔහුගේ තිබුනේ පිළිකා තත්ත්වයක් නොව ආසාදනයක් නිසා ඇතිවූ ඉදිමීමක් කියලයි මට කිවුවේ.. තවමත් ප්‍රතිකාර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් , ආසාදන වලට ලක්වුනාමත් මේ සමහර ලක්ෂණ මතු වෙනවා . ඔබේ මිත්‍රයාට ඉක්මන් සුව පතන අතරේ ඔබට තුති පුදනවා ඔබේ පැමිණීම වෙනුවෙන්.

      Delete
  6. ඉතාමත්ම වටිනා ලිපියක් සහෝ! බ්ලොගය මගින් ඔබ කරනා දේ ඇත්තටම වටිනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට , කරන්නාවු දිරි ගැන්වීමට

      Delete
  7. මේ රෝගය ගැන දැනගෙන හිටියට වැඩි විස්තර දැනගත්තේ මෙම ලිපියෙන්. ඒ ගැන හෙලිදරව් කළාට ඔබට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මහතානනි , ඔබේ “සත් සමුදුර“ තුලින් මාත් බොහෝ දේ ඉගෙන ගන්නවා ...

      Delete
  8. lipiya yatin parana lipi walata ahambu lesa yanna navigation keys tikak daanna.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , නමුත් පරණ ලිපි වලට යාම සඳහා "ලිපි මල්ල" පිටුෙව් පහසුකම් සපයා අැත. කරුණාකර රම පිටුව භාවිත කරන්න .
      එෙමන්ම Newer Post , Older Post මඟින්ද එම පහසු කම ලැෙබන බව හඳුනාගනු අැතැයි අෙප්ක්ෂා කරමි .

      Delete
  9. Kegel Exercise කරන එක හොඳද, පුරස්ථ ග්‍රන්ථියට?

    ReplyDelete
    Replies
    1. ඔව් , Kegel exercise පුර්සථ ග්‍රන්ථීයේ ගැටළු වලදි විතරක් නොවෙයි ඊට ප්‍රතිකාරයට පෙරත් පසුවත් වැදගත් . ඒ වගේම වයස අවුරුදු 40න් පසුව වරින් වර මෙම ව්‍යායාම කරනවා නම් , එය වියපත් වීමේදී ඇති විය හැකි මුත්‍රා බැහැරලීම ආශ්‍රිත ගැටළු බොහොමයක් වලක්වා ගැනීමට හේතු වෙනවා .
      ස්තුතියි සරු කරුණක් එක් කළාට , ඉදිරි දිනකදි මේ ගැන විස්තර එක්ක ලිපියක් එක් කරන්නට පුළුවන් වේවි.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)