2025/09/28

257) හෝටල් කාමරේ නොකී කතාව

හැම ජීවියෙක්ටම පොදු ජීව ලක්ෂණයක් අප ඉගෙන ගත්තා හයේ හතේ පන්ති වලදි , ඔබට මතකද මන්දා? (අපට ඉගැන්නුවේ අරුණලතා ගුරුතුමිය, ඔබට මතකද ඔබේ ගුරුවරයා කවුද කියල?) ඒ , සංවේදීතාව එහෙම නැත්නම් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව. එය ජීවියා සංකීර්ණ වන්නට, එහෙම නැත්නම් ජීවියාගේ ස්නායු පද්ධියේ සංකීර්ණත්වය වැඩි වෙත්දි, වේදනාවට/හානිකර බවට සංවේදීකම (nociception) සිට, " සවිඥානක වේදනාව" conscious pain නමින් වෙන්කර හදුන්වන සංකීර්ණ අවස්ථාව දක්වා එනවා. දැන් ඉතින් මිනිස්සු, අපි බොහාම සංකීර්ණ ස්නායු පද්ධිතයක් හිමි අයනේ. (සමහර වෙලාවට ඕක හරියට පාවිච්චි නොකළත් 😉) ඒ නිසා, මිනිස්සු වන අපට ඔය සවිඥානක වේදනාව තවත් කොටස් කරල , චිත්තවේගීය වේදනාව එහෙම නැත්නම් කායික වේදනාව වගේ එක එක හැඩයෙන් තේරුම් ගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, එහෙම හදුනාගත්ත වේදනා වර්ග ටික, මොළයේ හෝටල් කාමර (මොළ හෝටලේ) වල දාල පරිස්සං කරල තියා ගන්නත් හැකියාවක් අපට තියෙනවා.

මෙහෙම පරිස්සං කරල තියා ගන්න එක, අනෙක් සංකීර්ණ ජීවීන්ට වගේම අනාගතයේ විය හැකි අවදානම් වලින් ආරක්ෂා වෙන්න වැදගත් වුනත්, අපට දැනෙන වේදනාව, මොළයේ කාමරය ඇතුලේ තනියම ඉන්නේ නැති එක නොවැ ප්‍රශ්නේ. ඒ කිව්වේ, එයා , මොළයේ කාමරේට රිංගන්නේ, "වේදනාව+සිදුවීම" කියන විදියට ජෝඩු දාල. ඔය විදියට ජෝඩු දාල යත්දි "සිදුවීම" කියන දේ හරියට කියවනවා. එයාට මතකයි ඒ රිදුනු සිදුවීම, ඒ වෙලාවේ ඇඟට දැනුනු දේ, ඒ වෙලාව, ඒ වෙලාවේ අවට පරිසරය කොයිවගේද ..ඔය වගේ අදාල වේදනාව මුලින්ම මුණගැහුණූ වෙලාවේ සිදුවුනු හැමදේම "සිදුවීම"ට මතකයි.

දැන් වැඩේ තියෙන්නේ, කාමරේ ඇතුලට යන "වේදනාව සහ සිදුවීම" කියන ජෝඩුව කාමරේට වෙලා "නිකං ඉන්නේ නැතිකම. නිකං ඉන්නව කිව්වේ, ආයේ දඟලන්නේ නැතිව කාමරේට වෙලා සැපට නිදාගන්නේ නෑ. විශේෂයෙන්ම අර "සිදුවිම" කියන කෙනා. එයා කාමරේ හිටියට හැම තිස්සේම ඇහ ගහගෙන , කන තියාගෙන ඉන්නේ වටේ සිදුවෙන දේවල් ගැන. ( නෑ නෑ කාමරේ හංගපු කැමරා ඇති කියල නොවෙයි 😉)

හිතන්නකො, ඔය ඉන්න අතරේ "සිදුවීම"ට ඇහෙනවා, එයාගේ මතකයේ තියෙන වේදනාම මුලින්ම හමුවුනු දවසේ වුනු දේට සමාන හෝ ඊට ආසන්න යමක් අවට සිදුවෙන්න යනවා වගේ. ඔන්න දැන් මොළ කාමරේ ඉන්න සිදුවීම කළබල වෙනවා, "මේ මේ, මට ඇහෙනවා ඔයා මට මුලින්ම හමුවුනු දවසේ වුනා වගේම දෙයක්" නැගිටින්න, නැගිටින්න " කියල කෑගහන්න පටන් ගන්නවා. මේ කරච්චලේ ඇහෙන මොළ කාමරේ අනෙක් කාමර වල ඉන්න අයයි, නිදාගෙන හිටි සෙක්‍යුරිටි මහත්තයයි, ෆෝන් එක උඩ අත තියාගෙන නිදාගෙන හිටි රිසෙප්ෂනිස්ට් නෝනලයි ඔක්කෝම කළබල වෙනවා. දැන් මුළු ම‍ොළ හෝටලේම එකම කළබලයක්. ඔන්න ඔය අවස්ථාවට තමයි අප කියන්නේ trauma response එකක් කියලා.

අපේ ජීවිත ඇතුලේ අපට දැනුනු, හැඟුණූ වේදනාවන්, එයාගේ ආදරණීය "සිදුවිම" එක්ක අපේ ‍මොළයේ හෝටල් කාමර වල දැනටත් ඉන්නවා. සමහර සැපට නිදි ඒත් අර කිව්ව "සිදුවීම" කියන කෙනා නිදි වගේ ‍අපට ව‍ටා සිදුවන දේ අහගෙන , එක රෙද්ද අස්සෙන් එක ඇහැක් හරි දාගෙන වටේ වෙන දේවල් ගැන බලාගෙන ඉන්නවා. ඔන්න ඔය වගේ අපේ මොළ හෝ‍ටලේ කාමර වල ඉන්න trauma ගැන කතා කරන්න, ඒ "සිදුවීම" වලට කතා කරන්න අවස්ථාවක් දෙන්න "සිත් සුව අරණ" ඇතුලේ මේ මාසයම ප්‍රමුඛත්වයක් දෙනවා. එන්න කතා කරන්න. ඔබේ මොළ හෝටලේත් කාමර වල ඉන්න, "වේදනාව+සිදුවීම" ජෝඩු වලට කතා කරන්න උනන්දු කරන්න.

එහෙම කතා කරත්දි සමහර විට , සමහර trauma ‍ජෝඩු ආයේ ඉතින් මේ කාමරේ ඉඳල වැඩක් නෑ කියල යන්න යාවි, ඒ අය හරිම ලේසියි . හැබැයි සමහර trauma ජෝඩු ඉන්නවා ඇදලවත් එළියට දාගන්න බැරි. අන්න ඒ වෙලාවට ඊට උදව් ගන්න ඕන චිකිත්සක සේවයක (Psychologist / Psychotherapist හෝ Mental health counsellor) උදව් අරගෙන ඔය කරදරකාර , එළියට දාගන්න අපහසු "වේදනා+සිදුවීම" කියන trauma ‍‍ජෝඩු ටික එළියට දාගන්න බලන්න. එහෙම වුනොත්, අනාගතයේ ඔබට සුවයක් දැනේවි.

256) බිඳුනු වැඩිහිටියෙක් තනන, ගුරු-දෙගුරු සුළු වැරදි

මුලින්ම කියන්න ඕන කරුණූ දෙකක් තිබෙනවා. එකක්,මේ වගේ මාතෘකාවක් දැක්ක ගමන් "අනේ අම්ම, තාත්තට ගුරුවරුන්ට මෙහෙම කියනවද" කියල හදවතට දැනෙන කම්පණයෙන් දුක හිතෙන අයත් මේ කියවන ඔබ අතර ඉන්න පුළුවන්. නමුත්, මේ ලියවෙන කරුණ ගැන සමබරව හිතාබලමින් , නැවත මාතෘකාවට හැරි බලන්නැයි ඒ අයට ආරාධනා කරනවා.

මේ ලිපිය ලියන්නට ප්‍රධානම හේතුව වුනේ, "සිත් සුව අරණ" තුල වගේම අපේ සමාජය තුල බහුලව දකින වැඩිහිටි ගැටළු බොහොමයක හේතු බීජය ඇත්තේ, එම පුද්ගලයා කාළයකට පෙර, එහෙම නැත්නම් ළදරු, ළමා හෝ යොවුන් වියේදි මුහුණදුන් මානසික කම්පණයන්ගේ (childhood trauma) බලපෑම් බව හදුනාගන්නට හැකි නිසා සහ එම හදුනාගැනීම් ගැන අද දවසේ වැඩි විමසීමක් කරන නිසාවෙන්.

අවිශ්වාසයන්, පවුල් තුල ඇති ගැටළු, අභියෝග වලට මුහුණදෙන ආකාරයන්, සමාජය ඉදිරියේ මුහුණදෙන පෞරුෂමය ගැටළු, වගේම සමහර කාළීන සෞඛ්‍යය ගැටළු වලටත් අදාල කාළය තුල මුහුණදුන්, විඳි මානසික පීඩාවන් සහ ඒ ඔස්සේ ඇතිවී, මනස තුල තැන්පත් වී ඇති ළමා හෝ යොවුන් කාළයේ විඳි මානසික කම්පණයන් හේතු වන බව මේ ඔස්සේ යමින් හදුනාගනිමින් තිබෙනවා.

මේ කරුණූ පදනම්ව ළමා කාළයේ සිදුවන මානසික කම්පණයන් (childhood trauma) පිළිබඳ කෙටි සටහන් කිහිපයක් එකතු කරමින් යම් කතාබහක් ආරම්භ කරන්නට උත්සාහ කරන අතරේ, ඒ වෙනුවෙන් මූලික වන මෙම ලිපිය එකතු කරන්නේ, දෙමාපිය, ගුරුවර, වගේම වෙන්ට දෙමාපිය , වෙන්ට ගුරුවරු සහ ළමා , යොවුන් , වැඩිහිටි ඔබ වෙනුවෙන්මයි. මේ සටහන කියවා එක් අයෙක් "(trauma) මානසික කම්පණය සහ එහි බලපෑම් සිතන්නට" පෙළඹේද, එයයි මගේ සතුට.

කතාව පටන් ගනිත්දිම කියන්න ඕන, ඔබ වගේම මාත් පොදුවේ පිළිගන්නා කරුණක් තමයි දෙමාපියන්, ගුරුවරුන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තම දරුවන්ගේ, තම සිසුන්ගේ යහපත. (පොදු අදහස) නමුත්, ඒ ආදරය තුල කරන , හෝ කෙරෙන සමහර සිදුවීම්, දරුවාගේ මනස තුල "තුවාලයක්" ඇති කරන trauma එකක් ඇති කරන්නට සහ එය මනස තුල රැඳී පවතිමින්, දරුවාගේ පමණක් නොව, එම දරුවා වැඩිහිටියෙක් වනදා, එම වැඩිහිටි ජීවිතයටද බලපෑමක් කරන්නට පුළුවන් .

දැන් කෙනෙක් කියන්න පුළුවන්

"අපේ අපි කොයිතරම් නම් ගුටි කාළ තියෙනවද" ,

එහෙම නැත්නම්

"ඕව දරුවන්ට අමතක වෙනවා"

කියල ඔබ තමයි මේ ලිපිය හුඟක් විමසිල්ලෙන් කියවන්නටම ඕන. හේතුව මේකයි, සමහර විට එදා කෑ ගුටි වගේම, ඒ තුල දැනුනු ලැජ්ජාව, මුදා හැරිය නොහැකි වූ ආවේගය නිසා වූ මානසික කම්පණයේ බලපෑම , අද වැඩිහිටියෙක් වුනත් තවමත් හොල්මන් කරනවා ඇති. අනෙක, මේ ඇතිවන තුවාල "අමතක" වෙලා යන්නේ නැහැ, මනසේ පතුලේ කිඳා, රැඳී පවතිනවා. ඒ හැඟීමත් එක්ක ඇතිවුනු "වේදනා+සිදුවීම" හැංගිලා වද දෙනවා. ඒ නිසාමයි මෙම මානසික කම්පණයන් “hidden wounds.” ලෙසත් හදුන්වන්නේ.

අනෙක, දරුවෙක් තුල මෙවන් මානසික කම්පණයන් ඇති වෙන්නට පුළුවන්, දරුවට පහරක් ගැසූ අවස්ථාවේ, එහෙම නැත්නම් ටිකක් සැරට බැන්න අවස්ථාවක පමණක්ම නොවෙන්න පුළුවන්. සමහර විට දරුවෙක්ට හිතේ දැනුනු දුකට , තමන්ගේ අම්ම, තාත්ත සංවේදී න‍ොවුනු අවස්ථාවක්, ජීවිතේම විඳවන වේදනාත්මක කම්පණයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා, වැදුනු පාරට වඩා, දරුවාගේ හිතට "දැනුනු බර" තමයි සැඟවුනු තුවාලය ඇති කරන්නේ.

මෙවන් අවස්ථා කිහිපයක් ගැන වර්ග කිරීමක් සහිත සටහන්, පහුගිය සති කිහිපය තුල සතියකට එක බැගින් "සිත් සුව අරණ" වෙත එක් කළත්, ඒවායෙන් යමක් ගන්නේ කීදෙනාද කියල හිතුණ අවස්ථා නැතිවාම නොවේ. ඒත් , මේ මාසයේ ආරම්භ කළ තේමාව නිමා කරන්නත් එක්ක මේ ලිපිය ලියන්නේ, කැමති අයෙක්ට කියවා, යමක් ගන්නටත්, කැමති නම් යමක් එකතු කරන්නටත් ආරාධනා කරමින්.

කතාව පහසුවෙන් ගෙනියන්නට උදව්වක් විදියට, පෙර කී විදියට, දරුවෙක් මුහුණදෙන, "මානසික කම්පණයක්" විය හැකි සිදුවීම් කිහිපයක් ගෙන ඒ ඔස්සේ යමක් ලියන්නටයි සැලසුම. එහෙම නම්, එන්න කතා කරන්න.

1) දරුවාගේ හැඟිම් නොසලකා හැරීම

හිතන්න, ඔබේ දරුවා කුමක් හෝ සිදුවීමක් නිසා හඬන්නට පටන් ගන්නවා. සමහර විට ඔබ අවිවේකයෙන්, එහෙම නැත්නම් වෙනත් කටයුත්තක යෙදෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මේ ඇඬිල්ල "මහ කරදරයක්" කරගන්න ඔබ කිව්වොත් "නවත්ත ගන්නවා ඔබ ඇඬිල්ල" "ඕක අඬන්න දෙයක්ද" එහෙමත් නැත්නම් "ඔයා කොල්ලෙක් නේද ඔහොමත් අඬනවද" වගේ වචන කිහිපයක්, සමහර විට ඒ ඇති දරුවා තුල මානසික කම්පණ තුවාලයක් ඇතිවන්නට "අම්ම (තාත්ත) ‍මගේ දුක දැක්කෙ නෑ," එහෙම නැත්නම් "මගේ දුක අඩු කරගන්න ආදරේ වෙනුවට අම්ම (තාත්ත) දුන්නේ මගේ හිත රිද්දන, මාව ලැජ්ජාවට පත් කරන දෙයක්" කියන හැඟීමෙන්. මේ තුවාල එක්ක වැඩිහිටියෙක් වෙත්දි ඔබේ දරුවා , තමන්ගේ හැඟීම් නිසි ලෙස මුදා හරින්නට විශ්වාසයක් නැති අයෙක් බවට පත් වෙලා, හැඟීම් හිරකරගෙ‍න ඉඳලා, චිත්තවේග "පුපුරායන" අවස්ථාවන්ට පත් වෙන්නටත් පුළුවන්.

2) දරුවාගේ වැරදිම දැකීම

දරුවා කරන කටයුතු අතර , වැඩිපුරම දකින්නේ, සහ දරුවාට පෙන්වන්නේ "වැරදිම" නම් , තවත් විදියකින් කිව්වොත්, දරුවා කරන හොඳක් , ජයග්‍රහණයක් දරුවාට දැනෙන්නට නොදීමත් නිසා ඇතිවන "සැඟවුනු තුවාල" , මේ දරුවා වැඩිහිටියෙක් වනදා, තමන්ගේ වටිනාකම් නොහදුනන, හැමවෙලාවෙම තමන් වැරදි කළා හෝ ගත් තීරණ වැරදි ලෙස විඳවන, ඒ නිසාම ජීවිතේ අභියෝග බාර ගැනීමට බියක් දක්වන තරුණයෙක්, වැඩිහිටියෙක් බවට පත් වෙන්නට ඉඩක් තිබෙනවා.

3) නිරන්තර සැසඳීමට ලක් කිරීම

දරුවා, තම සහෝදර-සහෝදරියන්, එහෙම නැත්නම් පාසලේ අනෙක් මිතුරන් සමඟ සැසඳීමට ලක් කිරීම තුල දරුවාට දැනෙන පීඩාව , මනස තුල ඇති කරන "සැඟවුනු තුවාලය" , අනාගතයේ ඊර්ෂ්‍යාව සහ හීනමානය සහිත වැඩිහිටියෙක් නිර්මාණය කරන්නට හේතුවන්නට පුළුවන්. ඒ වගේම, තමන් කුඩා කාළයේ විඳි වේදනාවන්, අද වැඩිහිටියෙක් ලෙස පවත්වා ගත යුතු මිනිස් සම්බන්ධතා, බැඳීම් , විශ්වාසය පවත්වා ගැනීම් වෙත හානිකර ලෙස බලපෑමෙන්, එම පුද්ගලයා සමාජය තුල නැවතත් පීඩාවකට ලක්වෙන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

4) හානිකර ආකාරයේ දැඩි "විනය"

දරුවා "හොඳින් හදා ගැනීමට" හෝ දරුවාගේ "වැරදි හදා ගැනීමට" තවත් විදියකින් කිව්වොත් දරුවාගේ විනය හදාගැනීමට ( ලෙස සිතමින්) දරුවාට පහර දීම, බැන වැදීම්, පිරිස ඉදිරියේ දරුවා ලැජ්ජාවට පත් කිරීම් නිසාවෙන් ඇතිවන මානසික තුවාල සමඟ ජීවත්වන, ඒ ඔස්සේ වැඩිහිටියෙක් වන පුද්ගලයා සමාජය ඉදිරියේ නිරන්තර අසාමාන්‍ය බියකින්, අවිශ්වාසයකින් සිටීමට පෙළඹිය හැකි අතර, ඒ නිසාම පවුල , රැකියාව තුල ගැටුම් ඇති කරගනිමින්, තමන්ගේ ආක්‍රමණශීලී බව මතු කරමින් ගැටුම් වලට පත්වීමටත් ඒ නිසාම සමාජීය ලෙස කොන්වී, වෙන්ව ජීවත්වීමට පෙළඹීමටත් ඉඩක් තිබෙනවා.

5) ආදරය ‍, දැනෙන්නට නොදීම

දරුවෙක් අම්ම තාත්තගේ ආදරය කෑදරයි. ඒ ආදරය ලැබිම දරුවා තුල මානසික සතුටක් වගේම මානසික ශක්තියක් ලබා දෙන අතරේ, එසේ "ආදරය අපේක්ෂා කරන" දරුවාට , නිසි අවස්ථාවේ දෙමාපිය-ගුරු වෙතින් නිසි ආදරය "දැනෙන්නට නොලැබීම" නිසා එම වේදනාත්මක මානසික කම්පණයන් සමඟ වැඩිහිටියෙක් වන පුද්ගලයා, තම සමාජ ජීවිතය තුල පවත්වා ගත යුතු බැඳීම් සහ ඒ තුල තිබිය යුතු විශ්වාසයන් පවත්වා ගැනීමට අපහසු, ආදරය සුහද බව තවත් අයෙකුට ලබා දීමට නොදන්නා හෝ එසේ "දැනෙන්නට දීමට" අපහසු අයෙක් වන්නට පුළුවන්.

6) අනපේක්ෂිත ප්‍රතිචාර

දෙමාපිය හෝ ගුරවරයා වරින්වර , දරුවා අනපේක්ෂිත (හෝ දරුවාට වටහා ගත නොහැකි) චිත්තවේග ප්‍රතිචාර දැක්වීම, උදාහරණයක් මොහොතකට පෙර දරුවාට ආදරයෙන් කතා කරන කෙනා, තවත් මොහොතකින් "කිසිදු හේතුවක්" නැතිව දරුවා වෙත කඩා පණිමින් බැන වදිනවා නම් , මේ තුල ඇතිවන මානසික කම්පණය, දරුවා වැඩිහිටියෙක් වනදා , නිරන්තර කාංසා සහගත තත්ත්වය (හේතුවක් නොමැති බියකින් පිරුණූ හිතක් ඇති) , හැම සමාජ බැඳීමකදීම, කටයුත්තකදීම "අති පරිස්සම්" ලෙස කටයුතු කරන, සමාජ බැඳීම් තුල හමුවන අනෙක් අය නිරන්තර සැකයට භාජනය කරන, ඒ නිසාම වැඩිහිටි සමාජ ජීවිතය තුල විඳවන අයෙක් වන්නට පුළුවන්.

7) අධික අපේක්ෂාවන් දරුවා වෙත පැටවීම.

කිසිදු අතපසුවීමකට, වැරදීමකට, ලකුණූ අඩුවීමකට අවස්ථාවක් නොතබා, හැම විටම ඉහළම, හොඳම දේ ලබා ගන්නට "බල කිරීමකට" ලක්වන දරුවා වැඩිහිටියෙක් වෙත්දී, වැඩිහිටි ජීවිතය, සමාජ ජීවිතය, රැකියා තුලද "හොඳම, ඉහළම" යන හැඟීමට කෑදර වීම නිසාවෙන්, වැරදි වලට මුහුණ දීමට බිය, තමන්ගේ අඩුපාඩුවක් වෙනත් අයෙක් වෙතින් ඇසීමට බිය, හැම දේම "අති පරිපූර්ණ perfectionism) තත්ත්වයෙන් කරන්නට උත්සාහ කරන , ඒ නිසාම නිරන්තර මානසික පීඩනය, ආතතිතයට පත්ව ජීවත්වන අයෙක් ලෙස සමාජගත වන්නටත්, මේ හේතුව නිසාම කාළීන කායික සහ මානසික රෝග, පීඩා වලට ගොදුරු වන්නටත් වැඩි ඉඩක් තිබෙනවා.

8 ) වරද නොහදුනාගැනීමේ බර

දෙමාපිය, ගුරු , වැඩිහිටි අප අතිනුත් සමහර අවස්ථා වල වැරදි වෙන්නට පුළුවන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව වන මෙවන් වැරදීමකදි, එය දරුවාට අදාල වන තැන , තමන්ට වැරදුනු බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නට නොපෙළඹෙමින්, තමන්ගේ වැඩිහිටිකම ඔස්සේ සිදුවුනු වරද සඟවා , එසේ නොවුනා සේ සිටින බව දරුවාට දැනීම නිසා ඇතිවන වේදනාව, මානසික කම්පණයක් වන්නට පුළුවන්. "තාත්ත කළ දේ වැරදියි, ඒත් තාත්ත ඒ වෙනුවෙන් සමාව ගන්නවා වෙනුවට ...." ලෙස හිතට ‍හැඟීමක් එක් කරගනිමින් වැඩිහිටියෙක් වන මේ දරුවා, සමාජය තුල දී තම වගවීම්, වගකීම් නොගන්නා, හෝ වැරදීම් බාර බාර ගෙන , නිවැරදි වීමට උත්සාහ කරනවා වෙනුවට , වැරදීම් නිසා අසාමාන්‍ය ලෙස පීඩාවට පත්වන අයෙක් වන්නට පුළුවන්.

9) දරුවා "නොදැකීම"

මේ කියන්නේ, තම දරුවා, එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්‍යයා තුල ඇති හැඟීම්, වටිනාකම් ගැන දෙමාපිය හෝ ගුරුවරයා කිසිදු හදුනාගැනීමක් නොකරයි නම්, තවත් විදියකින් කිව්වොත් "දරුවා නොදකී" නම් ඒ "තමාව නොදැකීම" (මේ කියන්නේ ඇසින් නොදැකීමම පමණක් නොවේ) නිසාවෙන් දුකට, වේදනාවට පත්වන, එයම සැඟවුනු තුවාලයක් ලෙස මනස තුල තැන්පත් කරගන්නා දරුවා, වැඩිහිටියෙක් වනදා, අධිෂ්ඨානනය බිඳුනු, තමන් වටා ඉන්නා හැමෝම සතුටු කරවන්නටම පෙළඹෙන, තමන්ගේ සීමාවන් ගැන අවධානයක් නැති අයෙක් ලෙස සමාජය තුල රැදෙන්නටත් ඒ නිසාම පීඩාවට පත්වන්නටත් පුළුවන්.

10) අධි ආරක්ෂාව ලබා දීම

තම දරුවාට කිසිදු "හානියක්" , අපහසුතාවයක් ඇති නොවීමට යැයි සිතමින් "දැඩි" රැකවරණයක් ලබා දීමට කටයුතු කිරීම තුල , දරුවාගේ ස්වාධීත්වය ගොඩනගා ගැනීමට බාධාවක් වන අතර, ඒ "අධි රැකවරණය" තුල වැඩිහිටියෙක් වනදා, තමන්ගේ හැකියාවන් ගැන නිසි අවබෝධයක් නැති, තවත් අවස්ථාවක තමන් ගැන පවා විශ්වාසයක් නැති , වැඩිහිටි සමාජ ජීවිතය තුල "ගත යුතු අභියෝග" පවා බාර ගැනීමට බියවන වැඩිහිටියෙක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ කියාගෙන ගියේ, දරුවෙක් තුල හානිකර ලෙස මානසික කම්පණයක් ඇති කළ හැකි, ඒ ඔස්සේ සැඟවුනු තුවාල මනස තුල ඇති කරමින් අනාගත වැඩිහිටියා වෙත බලපැමක් කළ හැකි , ගුරු-දෙගුරු අප අතින් විය හැකි යම් සිදුවීම් කිහිපයක්. ඇත්ත, අප කවුරුවත් "සර්ව සම්පුර්ණ" නැහැ. අප අතින් අඩුපාඩු , වැරදි, සමහර විට නොසිතා සිදුවන්නට පුළුවන් වගේම, තවත් අවස්ථාවක, සිතා සැලසුම් කර, දරුවාගේ යහපත වෙනුවෙන් යැයි සිතා අප ගන්නා ක්‍රියාමාර්ග දරුවාගේ මනස තුවාල කරන්නත් පුළුවන්. ඒ නිසා, මේ childhood trauma සහ ඒවායේ අනාගත බලපෑම් ගැන යම් දැනුවත් බවක් ලබා ගැනීම, ඔබ, අපට වගේම, අපේ දරුවන්ගේ අනාගතයටද සුබදායී කරගන්නට පුළුවන් බව මතක් කරමින් ලිපිය නිමා කරනවා. මතක තබා ගත යුතුම දේ, මේ කතා කළ සහ මෙතැන නොලී තවත් සිදුවීම් ඇති දරුවාගේ මනස තුල "සැඟවුනු තුවාල" ඇති කරමින් ඔවුන්ට childhood trauma ඇති කරන. මේවා සැඟවුනු තුවාල, ඒ නිසා ඒ මොහාතේම, එහෙම නැත්නම් ටික දවසකින් එළියට එන හෝ දරුවාට අමතක වෙලා යන දේ නොව, දරුවාගේ අනාගතයට බලපෑම් කරන්නට පුළුවන්, දරුවා‍ගේ මනස තුල සැඟවී තිබෙන තුවාල බව වටහා ගැනීමයි වැදගත්.

එහෙම නම් childhood trauma ගැන ඔබේ අදහස්, අත්දැකීම් එකතු කරන්නට කොමෙන්ට් තීරුව විවෘතව තබමින් ලිපිය නිමා කරනවා. trauma සහ ඩිමෙන්ෂියා තත්ත්වන් පිළිබඳව, වෘත්තීමය කටයුතු වෙනුවෙන් කළ අධ්‍යයනය කිහිපයක කරුණූ ඔස්සේ, සහ කැනඩානු මනෝ විද්‍යාඥයකු වන Dr. Gabor Maté ගේ The Myth of Normal: Trauma, Illness, and Healing in a Toxic Culture නම් ඇබ්බැහිවන සුළු පොතේ සමහර කරුණුද එක් කර මේ ලිපිය ලියූවේ,

-මහේෂ්

255) බිරිඳ අගය කිරීමේ දිනය

 අද,

බිරිඳ අගය කිරීමේ දිනය

ඔව්, අද දවස එහෙම නැත්නම් සැප්තැම්බරයේ තුන්වන ඉරිදාව Wife Appreciation Day ලෙසයි නම් කෙරෙන්නේ. දැන් මේක කියවපු ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්,

"ඕකට මක්කටෙයි වෙනම දවසක්"

"අපි ඉතින් හැමදාම අගය කොරනවනේ"

එහෙමත් නැත්නම්,

"ඕව ඉතිං බටහිර සංකල්පනේ, අපේ සගුස්කුරුතියේ, ආගමේ....#$#%#%#"

ඔය මොනවා කිව්වත්, විවාහ ජීවිතයක් තුල "බිරිඳකගේ" වටිනාකම, අගය කිරීමක් විදියට ඇයට ලැබෙනවාද කියන එක සමහර විට ප්‍රශ්නාර්ථයක් වෙන්නත් බැරි නෑ නේද?

අතීතයේ පැරණි කතාබහ අතරට ගියොත්, , මහන්සිවෙලා ගෙදර එන සැමියාට සතුට, උණුසුම , ආදරය දෙමින් පවුලේ බැඳීම වෙනුවෙන් කටයුතු කරන, දරුවන් බිහි කරලා, ඒ දරුවන් හදාවඩා ගැනීමේ කාර්යය තුල ලොකු වගකීමක් ගත්ත ඇය, අද වෙත්දි සැමියා සමඟ සමාන වූ වගකීම් රැසක් දරන්නේ, ( සමහර විට සැමියා‍ටත් වඩා වැඩි) රැකියාවක වගකීම්, එහෙම නැත්නම් පවුලේ ආර්ථික දියුණූව, අළුත් රටක් තුල ස්ථාවර වීම වගේ හේතු වෙනුවෙන් පෙර කී සියල්ල කරන අතරේ දිවා රෑ වෙහෙස වෙමින් අධ්‍යාපනය ලැබීම වගේ වෙනත් අභියෝගත් බාර ගනිමින් වෙන්නට පුළුවන්. ඒ නිසා වැඩකට නැති කතාවගේ වගේ හිතුණත් මේ "බිරිඳ අගැයීමේ දිනය" ගැන ටිකක් කතා කරමුද?

මෙතැනදි සමහර අයෙකුට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි "අගය කිරීම්" කියන්නේ මොකක්ද කියල. (මොකද කෙනෙක් අගය කිරීම කියන්නේ, තමන් පහත හෙළීමක් වගේ සංකල්ප දරන ඇත්තොත් නැතෑ). එයා කරන දේට ස්තුතිය කීමද, ඇත්තටම එහෙම කියන්නෝනද එයත් කරන්නේ ගෙදර වගකීමක් නේ?.

ඔය වගේ හිතුවිලි ගොන්නක් එන්න පටන් ගනිත්දි, ලිපියේ රිද්මය ටිකක් වෙනස් පැත්තකට ගන්නම්. ඒ, විවාහ ජීවිතය, ආදර ජීවිතය තුල පැවතිය යුතුම, දැන සිටිය යුතුම "ආදර භාෂාව" ගැන. එහෙම නැත්නම් මේ ගැන විශේෂ හදුන්වා දීමක් කරන, Dr. Gary Chapman කියන විදියටම Love Languages in Marriage ගැන.

දැන් මේක "විවාහයේ ආදර බස" කිව්වට ඉතින්, ඔය ආදරේ කරන, ආදරරේ කරන්න පටන් ගත්ත පුංචි පැටවු පැටික්කියන්ටත් මේ බාසාව දැන සිටීම වාසියක් වෙනවා. ඒ නිසා බරබර වුනත්, දැන ගන්න කැමති නම් කියවන්න එන්න.

ආදරණීය බැඳීමක් හොඳින් පවතින්න නම්, සාර්ථකව පවතින්න නම් තිබිය යුතුම වැදගත් ලක්ෂණයක් තමයි එකිනෙකා වෙත ඇති ගෞරවය සහ අගය කිරීම. එහෙම නොවන තැනක , සමහර විට "බැඳීමක් වගේ" දෙයක් තිබුණත්, ඇත්තම ආදරණීය බැඳීමක් පවතින්නට ඇති ඉඩ අඩුයි. දැන් මේ කියන ගෞරවය සහ අගය කිරීම කියන දේ "දැනෙන්න දෙන්න ඕන" දෙයක් මිස, නිකංම හිතේ විතරක් තියාගෙන ඉඳලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. ‍මොකද කොයිතරම් කිව්වත්, "අපි දෙන්න රංරස වාගේ ගැලපුනා" කියල, කෙනෙක්ට අනෙක් කෙනාගේ හිත ඇතුලේ තියෙන්න හැම දෙයක්ම කියවා වටහාගන්නට බැහැ. අනෙක් එහෙම අනෙක් කෙනාගේ හිතට බලෙන් පැනල ඒකේ තියෙන දේවල් කියවල "අනේ එයා මට හරි ආදරේ වගේ" කියල හිත හදාගත්තාටම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. මේක "දැනෙන්න දෙන්න ඕන දෙයක්".

අන්න එතැනදි තමයි ආචාර්ය චැප්මන් දේවගැතිතුමන්ගේ "ආදර බාසාව" වැදගත් වෙන්නේ. නෑ නෑ, මේ කෙනා අළුත් බාසාවක් හදුන්වා දුන්නා නොවෙයි, සමාජය තුල, පවුල තුල තිබෙන කරුණූ පිළිබඳ ගැඹුරු විමසීමක් කරල, මෙන්න මේ කරුණූ පහ, ආදරණීය බැඳීමකට, සාර්ථක විවාහයකට වැදගත් වන ආකාරය හදුන්වා දෙනවා.

මේ තමයි ඒ ආදර බාසාවේ ප්‍රධාන කරුණූ පහ.

1. අගැයීමේ වචන- ආදරණීය බැඳීමක තිබිය යුතු ප්‍රධාන ක්‍රියාකාරකමක් තමයි හොඳ සන්නිවේදනයක්. ඒ තුල එකිනෙකාගේ හිත් තුල ඇතිවන අදහස්, වචන විදියට පැහැදිලි ලෙස හුවමාරු කරගනිත්දි, එයාගේ හිත ගැන මෙයාට හරියට දැන ගන්නට ලැබෙනවා. අන්න, ඒ ක්‍රියාකාරකම තුලදී එකිනෙකා වෙත අගය කරගැනීම, එකිනෙකාගේ වටිනාකම, එකිනෙකා කළ කී දේ තුල ඇති වටිනාකම "වචනයෙන්" (එහෙම නැත්නම් අංග චලනයෙන් හෝ) හුවමාරු කරගැනීමයි මේ Words of affirmation කියන පළමු කරුණෙන් කියවෙන්නේ. මේ කියවන ඔබ , ඔබේ බිරිඳට, ඔබේ සැමියාට එහෙම නැත්නම් ආදරවන්තයාට , ආදරවන්තියට කළ , කී දේ ගැන හොඳක් කියල තියෙනවාද? අන්න එහෙම නම් ඔබ මේ බාසාවේ පළමු පංතිය සමත්. ඔය අතරේම, එයා ඉතිං මගේ වයිෆ්නේ, ආයේ ඉතින් ඕක වචනෙන්ම කියන්නේ මක්කටෙයි" කියල හිතල, ඒ අගය කිරීම හිත ඇතුලේම තියා ගත්ත සැමියෙක් නම් ඔබ, මේ හොඳ අවස්ථාව එක් පන්තිය පාස් වෙන්නට.

2. වැඩට එක්වීම - තමන්ගේ ආදරවන්තයාව අගය කරන්නට තියෙන තවත් හොඳ ක්‍රමයක් තමයි එයා පවුල් ඇතුලේ "වගකීමක්" විදියට කරන කටයුත්තෙදි පුළුවන් විදියට උදව් වෙන එක, එකතු වෙන එක. විශේෂයෙන්ම , ඒ "වගකීම" ඇතුලේ තමන්ගේ බිරිඳ, සැමියා වෙහෙසට පත්වන බව හිතට දැනිලා, ඒ වෙනුවෙන් උදව් වෙලා, ඇය හෝ ඔහු පමණක් දරන වෙහෙස බෙදා ගන්න , ඒ වැඩකටයුතු වලට එක්වීම තමයි මේ ආදර බාසාවේ දෙවන පන්තිය වෙන්නේ. ඔව්, උයන්න පිහන්න හපන් හාමිනේ , පිඟන් කෝප්ප ටිකත් හොඳල අස් කරනකං ඉන්නේ නැතිව, ඒ වැඩ ටික කරල කුස්සිය ටිකක් අස්කරන දුන්නම එයාට දැනෙන සතුටම තමයි, අගය කිරීමක් වන්නේ, මේ උදව් ආචාර්ය චැප්මන් Acts of service විදියටයි හදුන්වා දෙන්නේ.

3. ආදර තෑග්ග - (මේ නමින් පරණ චිත්තර පටියකුත් තිබුණද මන්දා ?) මේ තවත් ක්‍රමයක් තමන්ගේ බිරිඳ, සැමියා එහෙම නැත්නම් ආදරවන්තයා හෝ ආදරවන්තියගේ වටිනාකම, කරන කැප කිරීම්, ඒ ආදරණීය බැඳීම පවත්වා ගැනීම වෙනුවෙන් වන මහන්සිය "අගය කිරීමට" කළ හැකි. මෙතැනදි තමන්ගේ ආදරවන්තයා හෝ වන්තියගේ හිතට සතුටක් ලැබෙන තෑග්ගක් දීම කරන්නට පුළුවන්. මෙතැනදි වැදගත් ඒ තෑග්ගේ මිළ හෝ වටිනාකමම පමණක් නොවෙයි, ඒ තෑග්ග , තම ආදරණීයයාට කොයිතරම් ළඟයිද, කොයිතරම් වටිනාකමක් දැනෙනවාද, ඊටත් වඩා, ඒ තෑග්ග ලැබීම තුල තමන් වෙනුවෙන් ලැබෙන ආදරණීය අගය කිරීම කොහොම දැනනවාද කියන එකයි. දැන් මේ තෑග්ග, පුංචි සීනි බෝලයක්ද? ෆෙරාරියක් ද කියන එක තමන්ගේ මට්ටම් .......... කියනව වගේ ඔබටම බාරයි. මේ තමයි ආදර බාසාවේ තුනේ පන්තියේ විභාගය.

4. එක්ව ඉන්නා කාළය - ඕං දැන් පටන් ගත්ත ගමන් කියාවි, "ඉතින් අපි එකටමනේ ඉන්නේ" කියල. ඔව්, පවුලක් වුනාම, ආදරණීය බැඳීමක් ඇති වුනාම අප ඉතින් එකටම, එකම නිවසක එහෙම නැත්නං පුළුවන් හැම වෙලාවකම ළඟින් ඉන්නනේ උත්සාහ කරන්නේ. ඒ විතරක්ම මේ කියන්නේ, ඔයාල දෙන්න විතරක් ටිකක් නිදහසේ, ඔයාල දෙන්න ගැන කතා කරන්න, ඒ ආදරය ගැන බෙදාහදා ගන්න, ළං වෙලා ඉන්න යම් කාළයක් වෙන් කරගන්න එකේ වැදගත්කම. ඔය බටහිර පන්නෙට කිව්වොත් පො‍ඩි "ඩේට්" එකක් යන එක , දෙන්න එක්ක තනිවෙලා චිත්තරපටියක් බලන එක, ...හ්ම් දැන් කියාවි මේ ළමයි එක්ක "ඩේට්ම" තමයි කියල. ඒත් පුළුවන්, ඔය දරු පැටවු නිදා ගත්තට පස්සේ ඔය දෙන්න එක්ක ගෙදර ටීවී එකේ චිත්තපටියක් බලන්න, නැත්නං පැටවු නිදාගත්තට පස්සේ ඔය එළියට , මිදුලට ඇවිත් දෙන්න එක්ක ටිකක් "නිදහසේ" කතා කරකර ඉන්න, ඒ කිව්වේ හෙට උයන ඒව, රස්සාවේ ප්‍රශ්න නොවෙයි, ඔයාල දෙන්න ගැන, ඒ ආදරයේ උණූසුම ගැන කතාබහ කරන්න, එකතු වෙලා තේ එකක් බොන්න. අර චැප්මන් දේවගැතිතුමා මේකට කිව්වේ නම් Quality time කියල. (අනේ මන්දා , මේ ආචාර්යතුමාගේ නම ලියන හැම වෙලාවෙම මතක් වෙන්නේ මගේ ආසම කෑමක්....දන්නෝ දනිති , කති)

5. ආදරයෙන් බැදෙන්න - (මේ මෙතැන ලියන්න ඕන වුනේ "බැ‍ෙඳන්න" කියන එක. එහෙම නැතිව බැදෙන්න නොවෙයි 🙂 , ඒත් මේ කොම්බුව ඈත් වුන නිසා බැදෙන්න වුනේ) මේ තමයි ආදර බාසාවේ පහේ පන්තියේ ක්‍රියාකාරකම. මේ කියන්නේ, ආදරයෙන් ඉන්න එකිනෙකා වෙත ඇති අගය කිරීම "දැනෙන්න දෙන්න" පුළුවන් ක්‍රමයක් තමයි කායිකව එකිනෙකා වෙත ආදරයෙන් බැඳීම. ‍"මේ දවස පුරාම මහන්සිවෙලා මහන්සිවෙලා ආවම ඔය කියන බැඳීම කොරන්න පුළුවනැයි" කියල මේ කී ගමන් කළබල වෙන්න එපා. මේ බැඳීම (Physical touch) කියන්නේ, එකිනෙකා‍ වෙත ආදරයෙන් දෙන හාදුවක්, අතින් අත අල්ලාගෙන ඔය ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න එක වෙන්නත් පුළුවන්. "හ්ම් ඇස් දිහාබලාගෙනම ඉන්න....#$#%#" කියල හිතුණ ඔබ ඇත්තටම ඒ උත්සාහය අරගෙන බැලුවොත් දැනේවි ‍කොයිතරම් ආදරණීය අගය කිරීමක් ඒ ඔස්සේ දැනේවිද කියල. (දැන් අහන්නෙපා ,අර ඇස් දොස්තර මහත්තයා කොයිතරම් ආදරණීය අගය කිරීම් දෙනවාද කියල)

ඔය පන්ති පහම නැතත්, එකක් හරි පාස් වෙලා බලන්ට, කොයිතරම් සතුටක් ඔබ දෙදෙනාටම දැනේවිද කියල.

254) ඔයාට ජෙලස්ද? එයාට ජෙලස්ද?

මේ ප්‍රශ්න දෙකෙන් එකක් හරි ඔබට අහන්න ලැබිල ඇති නේ? බොහෝ විට අහන්න ලැබිල ඇති. දැන් මේ පෝස්ට් එක ඇතුලේ ජෙලසි කියන්නේ මොකක්ද කියල ලොකු පැහැදිලි කිරීමකට යන්නේ නැහැ.

නමුත්, අපි නිකංම ජෙලසි කියන එක ඇතුලේ, එය සාමාන්‍ය හැඟීමක සිට, ප්‍රතිකාර ගත යුතු අවස්ථාවක් දක්වා යාහැකි සීමාවක් පවතින බව දැන සිටීම වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ කතාව විතරක් මෙතැනට එකතු කරන්නම්.

ඔය පොඩි ඉරිසියාකාර හැඟීමක් ඇති වෙලා ටික වෙලාවකට පස්සේ නැති වෙලා යන එක සාමාන්‍ය දෙයක්. ඔබේ ආදරවන්තයා වෙන ලස්සන ගෑනු ළමයක් දිහා බැලුවම හරි, අල්ලපු ගෙදරට ලොකු අල්මාරියක් ගේනව දැක්කම හරි වෙන්න පුළුවන්. නමුත්, මේ ඊර්ෂ්‍යාකාර හැඟීම, ඔබේ දවසේ සාමාන්‍ය කටයුතු වලට බාධාවන තරමට, ඔබටම පීඩාවක් වන තරමට, නැවත නැවත ඇති වෙමින්, ඒ ඔස්සේ සැකය, ආවේගය වැනි තවත් හැඟීම් පීඩාකාරී ලෙස එක්වන ස්වභාවයක් ඇත්නම් එය හොඳ තත්ත්වයක්‍ නොවේ. අන්න ඒ අවස්ථාවෙදි, මානසික සෞඛ්‍යය ප්‍රතිකාර ලබා දෙන වෘත්තිකයෙක්ගේ සහයෝගය ලබා ගැනීම අනාගතයේ විය හැකි අවදානම් මෙන්ම වර්තමානය තුල පීඩාවන්ද වලක්වා ගන්නට හේතු වේවි.

මේ සාමාන්‍ය සහ අවදානම් සීමා වලට යාහැකි ජෙලසි වර්ග කිහිපයක් හඳුනාගන්නට පුළුවන්. ඒ තමයි,

Rational Jealousy - මෙහෙම හිතමුකෝ, රාජකාරි වැඩට කියල නිවසින් දවස් ගාණක් පිට ඉන්න වෙලා මහත්තයා ගෙදර ආ දවසක බිරිඳට හසුවෙනවා නම් සැමියාගේ ජංගම දුරකථනයේ එකම කාන්තාවකගේ අංකයට ලබා දී ඇති වැඩි ඇමතුම් ප්‍රමාණයක්, එතැනදි පොඩි "සාධාරණ" හේතුවක් වගේ තිබෙන තත්ත්වය තුල එම බිරිඳට Rational Jealousy ඇති වෙන්න පුළුවන්. මේකත් දැඩි අවදානමක් නැති, විසඳා ගෙන සාමාන්‍ය විය හැකි තැනක සිට, ජීවිත අවදානමක් දෙන තත්ත්වයක් දක්වා පැතිරිය හැකි ඊර්ෂ්‍යා තත්ත්වයක්.

Family jealousy- පවුලට දරුවෙක් ඉන්න අවස්ථාවේ තවත් දරුවෙක් එකතු වෙන්න හදන කාළේ, අර වැඩිහිටි දරුවා තුල මේ කියන ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. බංඩියේ නංගි බබකේ තියාගෙන එයාට ආදරය නොකර, එන්න ඉන්න නංගි බබාට ආදරේ කරන අම්ම ගැන, එහෙම නැත්නම් එන්න ඉන්න නංගි බබා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වීම "විය හැක්කක්". ඒ වගේම වැඩිහිටි දරුවන් අතරත්, දෙමාපියන්ගෙන් ලැබෙන සැලකිලිවල වෙනස්වීම් නිසා මේ තත්ත්වයට එන්න පුළුවන්.

Sexual and suspicious jealousy - අර මුලින්ම කීය ජෙලසියේ දිගුවක් විදියට, තමන්ගේ විවාහක/ජීවන කොටසක්කරු වෙනත් අයෙක් සමඟ ලිංගික සම්බන්ධකමක් ඇති බවට මතුවන සැකය හෝ තහවුරු කරගැනීම තුල ඇති වන නිසි මැදිහත් නොවීම තුල අවදානම් මට්මට යාහැකි තත්ත්වය.

Romantic Jealousy ඉහත අවස්ථාවට තරමක් සමාන, යම් සාධාරණ හෝතුවක් මත හෝ සැකයක් මත, තම ආදරණියයා තමන්ට නැති වේය යන බිය ඔස්සේ ඇති වන ඊර්ෂ්‍යාව තමයි මේ.

Power jealousy තමන් පවත්වා ගැනීමට උත්සාහ කරන "තත්ත්වය" ඔබට සමාන වෙනත් අයෙක් ලබා ගැනීම හෝ ලබා ගනීවි යන අවිනිශ්චිත අනාරක්ෂිත බව හිතට දැනෙත්දී, මතු වන ඊර්ෂ්‍යාකර හැඟීම් මේ වර්ගයට අයත්.

Pathological jealousy - අදාල පුද්ගලයාට පවතින , ප්‍රතිකාර ගත යුතු වෙනත් මානසික රෝගයක බලපෑම නිසා ඇති වන සාධාරණ හේතුවක් නොමැති, අනාරක්ෂිත බව, මවාගත් විශ්වාසය වැනි දේ නිසා ඇති වන ඊර්ෂ්‍යාකාර හැඟීම. පෙර කී තමන්ගේ අනාරක්ෂිත හැඟීමට අමතරව, දැඩි පාලනය කිරීමේ , යමෙකු හැසිරවීම් උග්‍ර ආශාවකුත් මෙ අයට ඇති වන්න පුළුවන්. පදනම් වන මානසික රෝගයට ප්‍රතිකාර ගැනීම මෙහිදී අවශ්‍යම වෙනවා.

දැන්වත් ඔයාට ජෙලස්ද? 😊

මෙම අවස්ථා පිළිබඳව මගේ වෘත්තිය පරිසරය තුල ලැබුණූ අත්දැකීම් ඉදිරියේදී බෙදා ගන්නම්. කැමති නම් ඔබේ අත්දැකීමත් එකතු කරන්න. මොකද , දැනුවත් වෙන තරමට සහ ක්‍රියාත්මක වන තරමට, විය හැකි අවදානම් සීමා කරන්නට පුළුවන් නිසා.

එපමණයි. කතාව ඉවරයි.

253) සමාජ මාධ්‍යය සහ ඔබේ මානසික සෞඛ්‍යය.


අද සමාජය තුල පුද්ගලයෙක්ගේ මානසික සෞඛ්‍යය කෙරේ, සෘජු නමුත් නොදැනෙන දැඩිම බලපැමක් කිරීමට සමාජ මාධ්‍යයන් සහ ප්‍රධාන මාධ්‍ය හේතු වෙනවා. එම නිසා, තම මානසික සෞඛ්‍යයට යහපත්, මධ්‍යය භාවිතයකට හුුරු වීම "තම ජීවිතය" වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වේවි.

නිකමට හිතල බලන්න, ඔබ ‍දේශපාලන ගැටළුවක් ගැන හොයන්න ගත්තොත් එතැනින් එහාට වෝල් එක පිරෙන්නේ සමාන ප්‍රශ්න වලින්, ඔබ ලේ වැගිරෙන, පහර දීමක් ගැන නැරඹුවොත්, එතැන් සිට ‍ලේ වැගිරෙන, සටහන් යුද්ධ විනාශ ගැන ඔබේ ඇහ ඉදිරියේ තබාවි. මුදල් වෙනුවෙන් පවත්වා ගන්නා සියළු මාධ්‍ය කරන්නේ "ඉල්ලුමට සැපයුමක්" එය , සාම්ප්‍රදායික පැරණී මාධ්‍ය වලදී තවත් මිනිසෙක් අතින් හෝ නව මාධ්‍ය තුලදී, ස්වයංක්‍රීය ඇල්ගොරිද්මයකට පදනම්ව ආවත් සිදු වන්නේ එකම දෙයයි. ඒ , එම 'රතු" ලප අපේ හිත් වලට රැඳවීමක්.

මේ දෙදහස් විසි දෙක වුනත්, අපේ මනස ඇතුලේ තවමත් "ගල් යුගයේ" මානසිකත්වය යම් තරමකට රැදෙනවා. ඒ නිසා, විනාශයන්, අපරාධ, කැඩීම් බිඳීම් වල තොරතුරු හිත ඇතුලේ රැඳ‍වෙන අවස්ථාව වැඩියි. මොකද, වන සතුන් , වෙනත් අවදානම් තුල,"ගල් යු‍ගයේ" හිටි මූල් මිනිසා තම ආරක්ෂාව වෙනුවෙන්, "විය හැකි සහ සිදුවුනු" විනාශයන් මතක තබා ගත යුතු වුනා.

මේ ඔස්සේ, අපේ හිත "කෑදරකමින්" ඉල්ලන මෙවන් ප්‍රවෘත්ති වෙත යොමු වීම , අද දවසේ "නවීන ලෝකය" තුල ජීවත් වන අපේ මානසික සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. ඒ , "ගල් යුගයට" වඩා,බරක් අපේ හිත් වල පැවතීම නිසාමයි.

මේ තුල , අද දවසේ මාධ්‍යයයන්, සමාජ මාධ්‍යයන් භාවිත නොකර යුතුයි කියන "අන්තවාදී ගල්" මතයක් ඔබ අතරේ තබන්නට නොවෙයි මගේ උත්සාහය. අද දවසේ මේ මාධ්‍ය/සමාජ මාධ්‍යය පවත්වා ගැනීම අවශ්‍යතාවයක්. ඒ වගේම, විශේෂයෙන්ම සමාජ මාධ්‍යය තුලින් යහපත් බොහෝ දේ කරන්නට පුළුවන්. නමුත්, එකිනෙකා හමුව පවත්වා ගන්නා "මානව සම්බන්ධතා" වලින් ලැබෙන මානසික සෞඛ්‍යමය වටිනාකම්, මෙවැනි මාධ්‍ය ඔස්සේ සිදුවන සම්බන්ධතා ඔස්සේ නොලැබෙන බව හඳුනාගෙන තිබෙනවා. එමනිසා, කුමන මාධ්‍ය භාවිත කළත්, "මිනිස් හමුවීම්, සහ පරිසරය සමඟ බැඳීම" පවත්වා ගැනීම ඔබේ මානසික සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් බව මතක් කරන්නටම අවශ්‍යයි.

මේ හේතු නිසාවෙන්, ප්‍රධාන මාධ්‍යය වගේම Facebook/Twitter/TikTok/Instagram වැනි ප්‍රධාන සාමාජ මාධ්‍ය වගේම, තවත් විශේෂිත සමාජ මාධ්‍යයන් ද "දැනුවත්ව" භාවිත කිරීම වැදගත්. විශේයෙන්ම එය, "සමාජ මාධ්‍යයක්" බව , එහි මූලික තාක්ෂණික කරුණූ සහ තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට පවත්වා ගත යුතු සීමා දැන එය භාවිත කිරීමයි, "ඵලදායි" භාවිතයක් වෙන්නේ. එහෙම නැත්නම් අර "වඳුරට දැළි පිහිය හම්බුනා වගේ" වීම සාර්ථක දෙයක් නොවෙයි.

එම නිසා, සමාජ මාධ්‍යය (සහ ප්‍රධාන මාධ්‍යය) ඔබේ මානසික සෞඛ්‍යයට හිතකර වන ලෙස, එහෙමත් නැත්නම් අහිතකර වීම අවම වන ලෙස භාවිත කරන්නේ කොහොමද කියල කතා කරමු දැන්.

  1. ඔබේ අවශ්‍යතා ප්‍රමුඛතාගත කරගන්න. - ඒ කිව්වේ ‍, මේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ අපේක්ෂා කරන අරමුණු ඇති නේ, විනෝදය වෙන්න පුළුවන්, සමහර විට රටේ ‍තොටේ සිදුවන දේ දැන ගැනීම, නැත්නම් දේශපාලන ප්‍රවණතා, සමහර විට සිංදු අහන්න, විනෝද කතාවක් බලන්න, එහෙමත් නැත්නම් තමන්ට වැදගත් වන යමක් දැන ගන්නට වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ අපේ අවශ්‍යතා පිළිවෙලක් කරගත්තාම, අපට පහසුයි මොන වගේ මාධ්‍යය සමඟද සම්බන්ධතා පවත්වා ගත යුතු වෙන්නේ කියල සැලසුමක් හදාගන්නට.
  2. වගකීම සහ වගවිමක් දරන තැන් හඳුනාගන්න - දැන් ඔබේ අවශ්‍යතාවයන්ට අනුව, තොරතුරු ලබා ගැනීමට ඔබ සම්බන්ධ වන , follow කරන, සමාජ මාධ්‍ය පිටු, සමූහ, පුද්ගලයන් හෝ වෙබ් අඩවි ඇත්නම් ඒවාට ඒකවීමට පෙර, එහි අන්තර්ගතය හඳුනාගන්නට උත්සාහ කරන්න. මීට පෙර පළකර ඇති තොරතුරු කොයිතරම් දුරට පිළිගත හැකි මට්ටමේදැයි විමසීමක් කරන්න. ඒ තුල දේශපාලනික, ආගමික, වෙනත් "අන්තගාමී" රටාවක් නොදකින්නේදැයි විමසන්න. සියයට සියයක සමබරතාවයක් කිසිවකින් අපේක්ෂා කළ නොහැකි වුවත් යම් සාධාරණ මට්ටමක් ඇත්දැයි බලන්න. ඒ තුල පළ කර ඇති තොරතුරු "රැල්ලට " යාමට කරන පළ කිරීම් දැයි සොයා බලන එකත් වැදගත්. විශේෂයෙන්ම විවිධ ව්‍යාජ මත සමාජ ගත වීමට මෙම "රැලි" පැතිරීම හේතුවක්. මෙතෙක් පළ කර ඇති ලිපි තුලින්, මුදල් වෙනුවෙන්, විව්ස් වෙනුවෙන් ව්‍යාජ, හිත් ඇදගන්නා මාතෘකා යොදමින් "පොළඹවා ගැනීමක්" කරන මාධ්‍ය පිළිබඳ සැලකිළිමත්වන්න.
  3. ලෝකය සමඟ එක්ව දකින්න- ඔබ තෝරා ගන්නා මාධ්‍ය පිටු අතරට, ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර මාධ්‍ය, යම් විෂය ක්ෂේත්‍රයකට අදාලව නම් එම විෂයේ ලෝකය පිළිගන්නා ආයතන වල පිටු සමඟද එක්වන්න. ඒ ඔස්සේ, අපට ලැබෙන තොරතුරු කොයිතරම් නිවැරදිද, අදට ගැලපේද කියන එක තෝරා බේරා ගන්නට උදව් වේවි.
  4. ඇබ්බැහියක් නොකර ගන්න- සමාජ මාධ්‍ය (හෝ ප්‍රධාන මාධ්‍යය) භාවිතය "ඇබ්බැහියක්" බවට පත් කරගැනීමෙන් වලකින්න. ඔබට එම "තොරතුරු රස" නැතිව ජීවත්වන්නට පුළුවන් බව දැනෙන්නට දෙන්න. ඒ වෙනුවෙන් තෝරා ගත් කාළ සීමාවක් පමණක් යොදන්න. ඔබේ මානසික නිදහසට බාධාවක් වන බවක සංඥා දැනේ නම් , අදාල මාධ්‍ය වලින් ඉවත් වී "විවේකයක්" ගන්නට හැකි "පෞරුෂයක්" ගොඩනගා ගන්න. FOMO එනම්, Fear of missing out තත්ත්වයෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල මතුවන පණිවිඩ, ‍තොරතුරු කියවීම "ඇබ්බැහිවීමක්" ඇති නොකරගන්න.
  5. මිතුරු ගොමු සැලසුම් කරගන්න- බොහෝ සමාජ මාධ්‍ය වල ‍තොරතුරු බෙදී යාමේදි මිතුරු කණ්ඩායම් හෝ සම කණ්ඩායම් සැකසීමක් සිදුවන නිසා , එතැනදී ඔබේ මානසික සෞඛ්‍යයේ යහපත වෙනුවෙන් "තෝරා ගැනීමක්" කරන්නට පසුබට නොවන්න. මක්නිසාද, අයෙකුගේ මානසික සෞඛ්‍යය කෙරේ එම පුද්ගලයාගේ වටපිටාව, සම්බන්ධ වන මිනිස් සම්බන්ධතා ඉහළ බලපෑමක් කරන නිසා. "හොඳම" කියන වචනය නොව මධ්‍යස්ථ, විවෘත, පරිණත මට්ටම තුල මිශ්‍ර කණ්ඩායමක්වත් තෝරා ගන්න. අවම වශයෙන් "අන්තවාදී" මානසිකත්වයෙන් ‍පෙළෙන , සෘණෘත්මක පිරිස අඩුවෙන් තෝරා ගන්නට කටයුතු කරන්න.
  6. "සංස්කෘතික මිනිසෙක්" ලෙස රැදෙන්න- තෝරා ගත් මාධ්‍ය තුල ඔබ, හැකිතරමින් ,අද ලෝකයට ගැලපෙන "මිනිස්කම" ඇති සාමාජිකයෙක් ලෙස හැසිරෙන්න. මක්නිසාද, ඔබ යම් හේතුවක් නිසා "වෛරය" වැපිරීමක් කරත්දි, ඔබේ මනස තුල ඇතිවන තුවාල , අනාගතයේ ඔබේ ජීවිතයට කැලැල් එකතු කරන නිසාවෙනි.
  7. "කාළය කන්නට නොව" - මෙම මාධ්‍ය, සමාජ මාධ්‍යය තුල "කාළ-කන්නෙක්" බවට පත් නොවි, හිත සතුට, විවේකය ලබන අතරේ ඔබට වටිනා යමක් එකතු කරගන්නට උත්සාහ කරන්න. එය දැනුමක්, මිත්‍රත්වයක්, සතුටක් විය හැක.
  8. දැන මැන බෙදා ගන්න- මෙවන් මාධ්‍ය තුල තොරතුරු පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ බෙදා ගැනීම් ඔස්සේ නිසා, තමන් බෙදා ගන්නා තොරතු‍ර ඔබට වැදගත්ද? සමාජයට වැදගත්ද, එමෙන්ම එහි නිරවද්‍යතාවය කෙසේදැයි තහවුරු කර පමණක් බෙදා ගන්න. රැල්ලට බෙදෙන "ව්‍යාජ සහ සනාථ නොකළ" ‍තොරතුරු බෙදා ගැනීමේ විපාකයන් අද බොහෝ රටවල් විඳිමින් සිටින බව පෙනේ. ලංකාවේද එවැනි "රැළි" ගියා මතකය. ඔබ යමක් බෙදා ගන්නේ නම්, සමාජයට "හානිකර නොවන" දෙයක් එක් කිරීම යුතුකමක් සේ සලකන්න.
  9. ඔබ, ඔබම වන්න- සමාජ මාධ්‍ය තුල තවත් මිතුරකු , සාමාජිකයෙක් පළ කරන පුද්ගලික තොරතුරක්, පිංතූරයක්, සිදුවීමක් , තමන්ගේ ජීවිතය සමඟ සසඳමින් "වෙනත් අයෙක් වෙන්නට" උත්සාහ කිරීම හෝ , වෙනත් අයෙක් නිසා ඔබේ හිත රිදවා ගැනීම "ඔබේ මානසික සෞඛ්‍යයට අහිතකර වන බව හඳුනාගන්න. සමාජ මාධ්‍ය තුලදීද "ඔබ, ඔබම" වීම තුල නිදහස රැදෙනු ඇත.
  10. පීඩාවෙන් මිදෙන්න - මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය තුල තමන්ගේ මානසික සෞඛ්‍යයට පීඩා ඇති කරන දේ ඇත්නම් එයින් ඉවත්වන්නට හෝ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න. එය, තමන්ට පීඩනයක් ඇති කරන "නාමික මිතුරෙක්" හෝ , පීඩාකාරී , ව්‍යාජ තොරතුරු බෙදන පිටුවක් අවහිර කිරීමක් , තමන්ගේ මිතුරු ගොමුවෙන් ඉවත් කිරීමක් වෙන්නට පුළුවන්.. අද දවසේ සමාජ මාධ්‍යය පැවතිය යුතු වුනත්, ඔබ කැමති නම් එහි රැදීම වැදගත් වුනත්, එම මාධ්‍ය/සමාජ මාධ්‍ය පරිසරය ඔබේ මානසික සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස පවත්වා ගන්නටත්, අහිතකර කරන සාධක ඉවත් කර, ඔබේ මනසට වාසිදායක පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම තිබීමත් ඔබට වාසියක් වේවි.

252) සුව දෙන සිරික්කිය - සිනා තෙරපිය.

"හිනා හිනා හිනා හිනා වෙන්න හිනා... කරදර ඉවත දමා ...පොඩ්ඩක් වෙන්න හිනා" මතක විදියට ජිප්සිස් කණ්ඩායම මෙහෙම කියත්දි සමහරු කිව්වේ "හිනා වී තරවෙන්න" කියලා. ඔය අතරේ "සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලත් කිව්වලු. ඔය මොන මොන කතා අතරෙත් හිනාව මිනිස් සංස්කෘතිය තුල හැඟීම් ප්‍රකාශ කිරීමට වගේම සන්නිවේදන ක්‍රමයක් ලෙසත් පැවතෙමින් තිබෙනවා.ඔය හිනා කතා අතරේ, අද  මටත් හිතුනා, හිනාව ගැන කතාබහක් එකතු කරන්නට. ඒ හිනා තෙරපිය ගැන. එහෙම නැත්නම් Laughter therapy ගැන. ඔව් ප්‍රතිකාරයක් විදියට අද වෙත්දි මේ රටවල භාවිත කරන, විශේෂයෙන්ම Recreation Therapy කියන මගේ වෘත්තීය පරිසරය තුල ප්‍රායෝගිකව භාවිත වන නිර්-ඖෂධිය ප්‍රතිකාර ක්‍රමයක්.

ලෙඩ හොඳ කරන්න හිනාව බෙහෙතක් කරලද ?

ඔව්, එක්තරා විදියකින් එහෙම කියන්න පුළුවන්. වසර සිය දහස් ගණනක් තිස්සේ හිනාව තමගේ හිතට , ගත සහනයක් සලසන බව මිනිසුන් අත්දැකීමෙන් දැන හිටියත්, මතක විදියට හැත්තෑ ගණන් වල මේ ගැන කෙරෙන "විද්‍යාත්මක පරික්ෂණ" වලදි හඳුනාගන්නවා, හිනාව ඔස්සේ සමහර කාළීන රෝග තත්ත්ව වලට සිදුවන බලපෑම. ස්වයංප්‍රතිශක්තික රෝග කියන ටිකක් අපහසුකාරී, සමහර විට වේදනාකාරී තත්ත්වයන් සඳහා ඖෂධ නොවන හිනාවෙන් ප්‍රතිකාරාත්මක දෙයක් සිදුවන බව එම පර්ය‍ේෂණ ඔස්සේ හඳුනාගන්නවා. ඉන් පසුව මේ ගැන කෙරෙන තවත් පර්යේෂණ ගණනාවකදි, සිනා ප්‍රතිකාරය , ස්ට්‍රෙස් හෝමෝන වල ක්‍රියාකාරකම් අඩු කර , මානසික පීඩනය අඩු කිරීමටත්, හදවත, පෙනහලු, මොළය වැනි අවයව වලට වාසි ලබා දීමටත් උදව් වෙන බව තහවුරු කරගන්නවා. ආසන්නයේම කළ ප්‍රධාන පෙළේ පරික්ෂණ මාලාවකින්, පසු කෝවිඩ් සහ කාළීන පසු කොව්ඩ් තත්ත්වයේ අපහසුතා සෑහෙන දුරට අඩු කරන්නට සිනා ප්‍රතිකාරය යොදා ගන්නට පුළුවන් බව වෛද්‍ය පර්යේෂණාත්මකව හඳුනාගන්නවා. (මේ ලියන මැදියම් රැයේ අදාල පර්ය්ෂණ වාර්තා ‍සොයා අමුණන්නට හිත දෙන්නේ නැහැ, නමුත් මේ ගැන වැඩිදුර දැනගැනීමට අවශ්‍ය අයෙකුට, මගේ වෘත්තීය තුල ලබා ඇති සිද්ධාන්තමය සහ ප්‍රායෝගික දැනුම සීමාව තුල අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම, පර්යේෂණ වාර්තා නම් ගූගල් එ‍කෙන් වුනත් හොයා ගන්න පුළුවන් වේවි)

හිනා තෙරපිය හදන්නේ කොහොමද?

මෙහෙමයි, Laughter therapy කියන්නේ, "හිනාව" යම් සංව්ධානිත සැලසුමක් අනුව සූදානම් කරල, සක්‍රිය ක්‍රියාකාරකමක් විදියට සේවාලාභියාට කරන්නට අවස්ථාව දෙන සහ අදාල පුහුණුව ඇති වෘත්තිය සෞඛ්‍ය සේවකයෙක්ගේ අධීක්ෂණය ලබා දෙන චිකිත්සීය කටයුත්තක්.

වෙන්නේ මෙහෙමයි. ‍පොදුවේ හිනා තෙරපිය ඔස්සේ බොහෝ පුද්ගලයන්ට, රෝගීන්ට, තත්ත්ව වලට ප්‍රතිකාරාත්මක වාසියක් ලැබුණත් සමහර සෞඛ්‍යය ගැටළු වලදී යම් සීමා තිබිය යුතු නිසා, අදාල සේවාලාභීන් පිළිබඳ පෙර සොයා බැලීමක් කරනවා. ඔවුන‍්ට දැනට පවතින රෝග තත්ත්ව, පොදු කායික සෞඛ්‍යය මට්ටම, මානසික මට්ටම, ලබා ගන්න ඖෂධ, ක්‍රියාකාරකම් කළ හැකි සීමාව වගේ. මේ තොරතුරු සොයා බැලීමෙන් පසුව "සුදුසුකම් ලැබූ" පිරිස කණ්ඩායමක් ලෙස මෙම චිකිත්සීය ක්‍රියාකාරකමට එක්වීමයි වඩාත් සාර්ථක ලෙස දකින්නේ.

දැන් හිනා තෙරපිය දෙන හැටි

දැන් ක්‍රියාකාරකම මෙහෙයවන සෞඛ්‍ය වෘත්තිකයාගේ අධීක්ෂණ සහ උපදෙස් අනුව, ශාරීරික උණුසුම් කිරීම්, මෘදු ශ්වසන ක්‍රියාකාරකම්, සහ ගැඹුරු ශ්වසන ව්‍යායාම වලින් පසුව , විවිධ වේග, ගැඹුර, පරතර සහිත සිනාවන් ආරම්භ කරනවා. එතැනදී එය කණ්ඩායමක් ලෙස කරන නිසා සිදුවන "සිනා බෝවීම" තුල ක්‍රියාකාරකමේ සතුට , ජවය වගේම ප්‍රතිකාරාත්මක වටිනාකමක් වැඩිවෙනවා. සම්පුර්ණ ක්‍රියාකාරකම විනාඩි 45ක පමණ කාළයක් දිවෙන අතර, ඒ තුල Warm-up,Endurance,Strength and Balance,Cool down වැනි සියළු අත්‍යවශ්‍ය ව්‍යායාමික කොටස් අඩංගු වෙනවා. ඒ සියල්ලට වඩා, ක්‍රියාකාරකම අවසානයේ, කණ්ඩායම තුල ඇති වන බැඳීම, සිනාව, හිතවත් බව තුල තවත් වටිනාකම් ගණනාවක් කයට සහ මනසට එකතු වෙනවා.

හිනා තෙරපියෙන් ලැබෙන දේ

මේ සිනා චිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිපල ගණනාවක් පිළීබඳ පර්ය‍ේෂණාත්මකව තහවුරු කරගෙන තිබෙනව. ඒ අතර,

මානසික පීඩනය , කාංසාව ඇති කරන හෝමෝන මට්ටම අඩු වීම සහ ඒ‍වායේ ක්‍රියාකාරීත්වය අඩු කිරීම.

හෘද සහ රුධිරවාහිනී වල ක්‍රියාකාරීත්වය සෞඛ්‍යමය සීමා තුල වැඩි වීම,

කායික වේදනාවන් අඩු වීම

ප්‍රතිශක්තිය දියුණූ වීම,

මොළයේ සෛල වල ක්‍රියාකාරීත්වය අඩු වීම තුල මතුවන පීඩාවන් අඩුවීම

අමතර කැලරි දහනය වීම

අළුත් හිතවත්කම් , විනෝදමය හමුවිම් නිසා ඇතිවන සමාජයී සෞඛ්‍යයම වාසි

මේ වගේ වාසි ගණනාවක් මේ ක්‍රමය ඔස්සේ ලබා ගන්නට පුළුවන්.

කාටද හිනා තෙරපිය හොඳම?

ආසන්න කාළයක තුල ප්‍රධාන ශල්‍යකර්ම වලට ලක්වූ, හෝ ඉතා මෑතදි හෘදයාබාධ වලට ලක්වූ, සමහර මානසික රෝග තීව්‍ර අවස්ථාවේ පවතින වගේ සීමිත අවස්ථා කිහිපයකට හැරෙන්නට මෙම ප්‍රතිකාරමය ක්‍රියාකාරකම යොදා ගන්නට පුළුවන්. නමුත්, වයස, රෝග තත්ත්ව, ශාරීරික හැකියාවන් මත අදාල සිනා ව්‍යායාම මාලාව වෙනස්කරන්නට වෙන්න පුළුවන්. කෙ‍සේ වෙතත්, මේ තරම් චිකිත්සීයමය සංවිධානයක් නැතත්, මෘදු ශ්වසන ව්‍යායාම ( ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සෙමින් , මෘදුව, ගණනය කරමින් පවත්වා ගැනීම) , ගැඹුරු ශ්වසන ව්‍යායාම , සහ ඉන් පසුව මෘදු සිනාවකින් ඇරඹී, ගැඹුරු වැඩි හඩක් පිටවන සේ කරන සිනාවන් , එක් කරමින් තනියම වුනත් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම "බොරු හිනාවකින්" වුනත් මෙම උත්සාහ ආරම්භ කරන එකේ වැදගත්කම් වන්නේ "මොළයට බොරු හිනාව සහ ඇත්ත හිනාව" ලොකුවට වෙන්කර හඳුනගන්න අපහසුකම. එහි වාසිය වෙන්නේ, ආරම්භයට "බොරු හිනාවකින්" වැඩේ පටන් ගත්තත්, ව්‍යායාමය තුල ඉදිරියට යාමේදී මොළය විසින් ලබා දෙන "සතුටු හෝමෝන" වල ක්‍රියාකාරම ආරම්භ වී එහි වාසිය ලැබීමයි.

අපේ වෘත්තීය පරිසරය තුල ,

මූලික මට්ටමේ ඩිමෙන්ෂියාව සහිත ,

රිය අනතුරු ඔස්‍සේ මොළයට වූ හානි සමඟ ජීවත්වන,

කාළීන රෝග තත්ත්ව සහිත,

වියපත්වීම තුල ඇති පොදු සෞඛ්‍යය ගැටළු මත සිටින සේවාලාභීන් වෙනුවෙන් මෙම චිකිත්සීය ක්‍රමය ලබා දෙනවා.

සිනා චිකිත්සාව ගැන යම් අදහසක් ලැබෙන්නට ඇතැයි හිතනවා, තව දුරටත් සොයා බැලූවොත් Laughter Yoga නමින් ඕන තරම් වීඩියෝ ලැබේවි. එම ක්‍රමය සහ Laghter Therapy අතර වෙනසකම් තිබුණත්, යම් අදහසක් ලබා ගැනීමට ඔබට පුළුවන් වේවි.

එහෙම නම් හිනාවෙලා ඉන්න. ප්‍රශ්න ඇතොත් අහන්න ලැබෙන විවේකයකදි දන්න දේ බෙදා දෙන්නම්. එතකං තරහ ගන්නේ නැතිව හිනාවෙලාම ඉන්න.

251) ජීවිතේ සරු කරන නිදහස් ජීවිතය.

 අපි කාගෙත් "ජීවිතය තුල" තවත් "ජීවිත කිහිපයක්" තිබෙනවා.

"‍මේ මොන හතර බීරි කතාවක්ද? එකක් ඇතු‍ලේ තව කීපයක් තියෙනවා? "

"ඔව්, අපේ ජීවිතය තුල තවත් කොයිතරම් අනු ජීවිත තියෙනවද? පාසල් ජීවිතේ, තනිකඩ ජීවිතේ, යුග ජීවිතේ, සමාජ ජීවිතේ, රැකියා ජීවිතේ ... තව මොනවද? ගිහි ජීවිතේ ... "

අපේ ජීවිත කාළය තුල අප මුහුණදෙන අත්දැකීම්, සමාජීය ක්‍රියාකාරකම්, භෞතික, චිත්තවේගීය හැසිරීම ඔස්සේ අප ලබන අත්දැකීම් වලට පොඩි සීමාවක් දාල අපට කියන්න පුළුවන්නේ ....ජීවිතේ කියල නේද? දැන් මේ විදියට කියාගෙන යන , අත්දැකීම් ලබන ජීවිත අතරේ ඔබට තිබුණාද "නිදහස් ජීවිතය" එහෙම නැත්නම් Leisure Life කියල දෙයක්?

"ඈහ් ඔබ අනෙක් ජීවිත ගැන කතා කරලවත් තිබුණට ඔය කියන Leisure Life එකක් තිබුණද දන්නෙත් නැහැනේ "

කළබල වෙන්න එපා, ඔබට ජීවිතයේ යම් කාළයක හරි මේ කියන ලීෂර් ලයිෆ් එක විඳින්න ඇති ඔබ, සමහර විට දැනටමත් ඔබ විඳිනවා ඇති නමුත් එකම දේ, අපි ඒ ගැන වෙනම නොහිතපු එක වෙන්න පුළුවන්. ඒ නිසා මේ පෝස්ට් එක කියවන ඔබට ආරාධනා කරනාව මේ කියන ලීෂර් ලයිෆ් එක ගැන , එය ඔබට අදාල වන ආකාරය ගැන හිතන්න එකතු වෙන්න කියලා. ඊට පස්සේ ගෙදරදි කරන් එන්න පොඩි Home work එකකුත් තියෙනවා 🙂

මොකක්ද මේ Leisure life කියන්නේ? අපි ඕ‍කේ ලයිෆ් කෑල්ල ගලවල පැත්තකින් තියමු , දැනට ලීෂර් කෑල්ල ගැන කතා කරමු,

Leisure කියන්නේ, විවේකය, නිදහස , ටිකක් විස්තර කළොත්,

ඔබ නිදා ගැනීමට, රැකියාව හෝ ආර්ථික, සමාජීය සැලසුම්ගත "කළ යුතුම" වගකිම් කිරීමට, නිවසේ, පවුලේ "කළ යුතු වගකීම්" වලට අදාල වැඩකටයුතු කිරීමට අතිරේකව ඔබ ලැබෙන "අනිවාර්ය නොවූ, ඔබ කැමති දෙයක් කරන්නට" ඉඩ ඇති නිදහස්, විවේක කාළය.

මේ ටික කියවලට නිදහස නැතිව ගියා වගේ හිතෙනවා නම් තව හරි ලස්සන අර්ථ දැක්වීමක් එකතු කරන්නම, "leisure is when the heart is at ease and happy, when the mind is calm, and when the soul feels like singing."

දැන් ඔළුවට වැටෙන්න ඇති නේ මොකක්ද මේ ලීෂර් කියන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ "විනෝදාස්වාදය වෙනුවෙන් යොදාගත හැකි නිදහස් කාළය"

දැන් ප්‍රශ්නේ ඇත්තටම ඔබට එහෙම ලීෂර් ලයිෆ් එකක් තියෙනවද? එහෙම නැත්නම් Leisure activities ඔබට හඳුනාගන්න පුළුවන්ද?

"මොකෝ නැත්තේ, මම ඉතින් වැඩට යන්නේ නෑනේ, ඔය උයන පිහින, මහන ඔක්කොම ලීෂර් ලයිෆ් එක නේ" කෙනෙක් අහන්න පුළුවන්.

"නැහැ, අම්ම කෙනෙක් නැත්නම් ගෘහණියක් (හෝ සැමියා) නිවසේ අය‍ගේ අවශ්‍යතාවය වෙනුවන් උයනවා කියන එක Leisure එකක් වෙන්නේ නැහැ. මොකද ඒක "ඔබ කළ යුතු දෙයක්".

"ආ මම ඉතින් කරන්නේ උගන්වන එකනේ, ඉතින් හැමදාම ලීෂර් තමා" ‍අපේ ගුරුතුමෙක් කියන්න පුළුවන් .

"නමුත් , එය Leisure activity එකක් වෙන්නේ නැහැ, මොකද ඔබ එය රැකියාව තුල කළ යුතු දෙයක් නිසා. "

"ආ මම ඉතින් සංගිත කාරයනේ, මගේ ජොබ් එක සිංදු කියන එක, ඒ කියන්නේ මගේ ජීවිතේම Leisure නේ" සිංදු කියන අපේ මිත්‍රයෙක් අහන්න පුළුවන්.

"ඒත් උත්තරේ "නැත" එය, ඔබේ Leisure activity එකක් වන්නේ නැහැ. මොකද ඒ ඔබේ ආදායම උපයා ගැනීම වෙනුවෙන් කරන රැකියාව."

දැන්නං මේක හතරබීරි කතාවක් වේගෙනම එනවා නේ... පොඩ්ඩක් ඉන්න. මම ගැට ටික ලියන්නම් අර කිව්ව අදහස් වලින්ම,

අර මුලින් කතා කළ ගෙදර ඉඳන් උයන පිහින, ඇඳුම් මහන අම්මා, දවසේ එයා කරන්න තිබෙන වැඩ ඔක්කොම ඉවර වෙලා, "නිදහසේ, විවේකයෙන්" ඉන්න වෙලාවක හිතෙනවා , පරණ ලස්සන සිංදුවක් අහන්න, ‍එහෙම නැත්තං ගෙදර තියෙන රෙදි කෑලි එකතු කරලා මහලා ලස්සන හැඩ වැඩ දාපු අත්පිස්නාවක් මහන්න. අන්න ඒ අවස්ථාව නම් අම්මා කරන්නේ Leisure activities ඒ කියන්නේ එයාගේ නිදහස් වෙලාවේ ,"අනිවාර්ය ලෙස කළ යුතු නොවන" , තමන්ගේ සතුට වෙනුවෙන් කරන දෙයක්. සිංදුවක් අහන්න ඕනම කියල තිබුණේ නෑනේ, අනෙක රෙදි කෑලි එකතු කරල ලස්සන අත්පිස්නාවක් මහන්න අනිවාර්ය වෙලා, එහෙම තැන්නම් එය නොකිරීම නිසා පාඩුවක් වෙන්නට තිබුණේ නැහැ.

දැන් අර ඉස්කෝලේ මහත්තයා, එයා සතුටින් දවස පුරාම දරුවන්ට උගන්වනව වුනත් එය Leisure activity එකක් වෙන්නේ නැති බව කීවනේ. හැබැයි, උන්නැහේ විවේක කාළය වෙලාවේ, තේ එකක් බිබී. අනෙක් ගුරු යාළුවොත් එක්ක එකතු වෙලා පත්තරේ අන්තිම පිටුවේ තියෙන ප්‍රහේලිකාව පුරවනවා නම් අන්න එතැන Leisure activity එකක් සිදුවෙනවා.

ඊළඟට අර සිංදු කියන ගායකයගේ කතාව. එයා දවස පුරාම සංගීත ප්‍රසංග වල ගායනා කළත් නැටුවත්, පුද්ගලිකව එය ඔහුට Leisure activity එකක් නොවුනත්, සංගීත ප්‍රසංගේ ඉවර වෙලා ගෙදර එන ගමන්, වාහනේ එන වෙලාව තුල දැනෙන විවේකයට පොඩි සිංදුවක් දෙකක් කියාගෙන ආව නම් අන්න එතැනදි Leisure activity එකක් සිදු වෙනවා .

හරි දැන්නම් වැඩේ ටිකක් තේරුණානේ. ඇයි ඉතින් මේ Leisure , Leisure activity ගැන මෙච්චර කතා කරන්නේ.

"හේතුව මේකයි,පුද්ගලයෙක්ගේ ජීවන තත්ත්වය සහ මානසික තත්ත්වය යහපත් කිරීම සඳහා අදාල පුද්ගලයාගේ Leisure life එක දැඩි බලපෑමක් කරනවා.ඒ නිසා ඔබ , ඔබ ගැන හිතත්දි ඔබේ Leisure life එක මොනවගේද කියල වටහා ගැනීම හරිම වැදගත්."

දැන් , මේ කතාව නිමාවෙන්න අවසානයේ මම මෙහෙම ඇහැව්වොත්,

"ඔබේ ජීවිතය තුල Leisure activities ලෙස කරන දේ මොනවාද? " කියල, හුඟක් දුරට වෙනදාට වඩා හිතන්න වේවි කියල විශ්වාස කරනවා. ඇත්තටම ඔබට Leisure life එකක් තිබෙනවාද? එහෙම නැත්නම් රාජකාරිය, දරුවන්ගේ රාජකාරි, පවුල‍ේ වගකිම් වගේ දාමයක් එක්ක ජීවිතය ගත කරනවාද? ඔබ මොන තත්ත්වයේ හිටියත්, ඔබේ අනාගතය වෙනුවෙන් ඔබේ Leisure life එක ගැන හිතන්න, ඒ ගැන දැනුවත් වෙන්න, ඒ වෙනුවෙන් යම් කාළයක් වෙන් කරගන්න කියන ඉල්ලීම අවසන් වශයෙන් කරන්නට කැමතියි.

"ඔව්, දුවනවා දුවනවා විතරක් නොවෙයි,නැවතිලා හුස්මක් ගන්න, සතුටක් ගන්න, විවේකයක් , නිදහසක් ඔබට තිබිය යුතුමයි, ඒ නිදහස , ඔබේ කැමතිම "විනෝදාංශයක් තුල ගත කරන්නට අවස්ථාවක් ලබා ගත යුුතුමයි. ඒ ඔබේ වගේම සමහර විට ඔබේ පවුලේම යහපත් සෞඛ්‍යය, විශේෂයෙන්ම යහපත් මානසික සෞඛ්‍යය වෙනුවෙන්මයි."

250) දැවෙන තැවෙන අප්පුහාමිගේ කතා වස්තුව.

ලැබුණූ විවේකයේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීම වෙනුවෙන් හිතන්නට ඕන, නමුත් සමහර වෙලාවට අපට හිතන්නට නොදැනෙන මාතෘකාවක් ගැන කෙටියෙන් සාකච්ඡා කරන්නට හිතුවා. ඒ Burnout ගැන. සිංහල පරිවර්තනය නම් එන්නේ "දැවීම" කියලා. ඔව් එක්තරා විදියක දැවීමක්. මේ කියන්නට හදන පියවර ඔස්සේ ඔබ කායිකව, මානසිකව එක්තරා දැවීමකට , බිඳීමක පත් වෙනවා. එය සමහර අවස්ථා වල Burnout Syndrom කියන නමින් හඳුන්වන්නට තරම් සංකීරණ, ගැටළු මිශ්‍රණයක්. ඇයි දැන් මේක ගැනම අද කතා කරන්නේ? එකක් වෘත්තිය වශයෙන් මම මැදිහත් වන සේවා ලබා දීම් වලින් සියයට හැටක් හැත්තෑවක් විතර මේ Burnout තත්ත්වය නිසා සිදුවන ගැටළු වෙනුවෙන්. ඉතින් මේ මාතෘකාව එක දවසක් තුල වාර ගණනක් කතා කරන, මතක් කරන දෙයක්. ඉතින් ඒක අර ගලේ කෙටුව වගේ ඔළුවේ රැදිලා තියෙන නිසා මේ වෙලාවේ "වෙනම මහන්සියක් වෙලා ලියන්න ඕන නැහැ". දෙක, මේ ගැටළුව ලංකාව තුල ඒතරම්ම සාකච්ඡාවට භාජනය වෙනවාදැයි සැකයක් මගේ අත්දැකීම් තුල තිබෙනවා. ලංකාව තුල සෞඛ්‍යය සේවය තුලවත්, අනෙක් වෘත්තික සාමාජිකයා burnout තත්ත්වට පත්වේද කියල හොයල බලන්නවත් දැනුවත් කරන්නවත් කටයුතු කරනවා නම් එය සතුටක්.

අප්පුහාමිගේ කතා වස්තුව ආරම්භය

හරි අපි මේක අප්පුහාමිගේ කතාවෙන් තේරුම් ගන්න බලමු. කවුද මේ අප්පුහාමි...?

අප්පුහාමි කියන්නේ හොඳට ඉගෙනකියා ගත්තු , ගමේ පොඩි රස්සාවක් කරගෙන හවස් වරුවේ යා‍ළුවොත් එක්ක සෙල්ලං කරන, කරදඩු උස් වෙච්ච කොළු ගැටයෙක්. ගමේ හැමවැඩටම එකතු වෙන, මරණෙට මඟුලට නැතිවම බැරි තරුණයෙක්.

මේ තරුණයගේ තියෙන ජවය,උගත්කම සහ ගම වෙනුවෙන් කරන කැපවීම දැකමට, ගමේ මැම්බර් මහත්තයා, අප්පුහාමිට කොළඹ ලොකු කන්තෝරුවට පියුුං රස්සාවක් අරන් දෙනවා.කොල්ලට හරි සතුටුයි, ඒ වගේම දුකයි යාළුවො, ගම හීං එතනවා දාල යන්ට. ඒත් ලොක්කෙක් වෙන්න නම් ‍‍කොළොම්පුරේට යන්ටම ඕන කියලා මැම්බර් මහත්තය කීව ‍දේ දෝංකාර දෙනව වගේ ඇහෙත්දි අප්පුහාමි හිත හදා ගත්තා.

හීතල පින්න එක්ක මූදු හුළඟ සැරට තිබුණ දවසක ට්‍රන්ක පෙට්ටියට සරංකඩමාළු දෙක තුනකුයි, මැම්බර් මහත්තය දුන්නු සරං කෝට් බෑයකුයි අහුරගත්ත අප්පුහාමි රුහුණූකුමාරියෙන් කොළොම්පුරේට එන්න කියල අහංගම ස්ටේසොමෙන් ටිකට් කෑල්ලක් ගත්තා. ජැන්ඩිපහට ඇඳල හිටිය අප්පුහාමි දැකපු ස්ටේසන් මාස්ටර් "බෑරක් යන්ට වගේ" ඇහුවත්, අප්පුහාමි කීවේ නෑ ‍කොහෙද යන්නේ කියල පුංචි හිනාවක් දැම්ම. "කට ඉස්සර කොරගන්න නරකයි මේ වගේ ගමනකදි" අප්පොච්චි කීපු දේ මතක් වුනා.

කොළඹ ආපු අප්පුහාමි ලොකු කන්තොරුවේ වැඩ පටන් ගත්තා. ගමේ වගේ නෙවි, හරි රස්නෙයි, දුමයි. ඒ වුනාට කන්තෝරුකාමරේ හරි පුසුඹයි. ලස්සන නෝනල මහත්තුරු සුවඳ ගාගෙන එහෙ මෙහෙ යත්දි අප්පුහාමිට හිමීට ලංවෙලා සුවඳ බලන්න නොහිතුනා නෙ‍ාවෙයි.

"‍මේ අප්පුහාමි හරිම දක්ෂයනේ, ආපු දවසේ ඉඳලා හරි හරියට මහන්සි වෙනවා" කන්තෝරු කාමරේ ඉස්සරහට තනි කළුවර මේසේ ඉන්න ලොකු මහත්තය හැමදාම කියනවා. අප්පුහාමිත්, ලියුං අරන් එහේ මෙහේ යනවා, ‍තේ හදනවා, කැඩිච්චි මේස පුටු හදනවා, හිටපු ගමන් කච්චචේරියෙට ගිහින් කරදහි කොළ අරං එනවා. පස්ස කැඩිච්ච කඩියා වගේ වැඩ. රස්සාව නම් කන්තෝරු කාමරේ ඇතුලේ ලියුං එ‍හාමෙහා අරං යන එක වුනාම, රස්සාව ඇඟට අරගෙන කරන අප්පුහාමි, තවත් වැඩත් බදාගෙන කරනවා. 'ඇස්වහක් කටහවහක් නෑ, කොල්ලට ඕන වැඩක් කොරන්න පුළුවන්" කන්තෝරු කාමරේ ලොකු නෝනල කසුකුසු ගානව ඇහෙන අප්පුහාමි තවත් වැඩ එකතු කරගෙන වැඩ කරනවා.

කොයිතරම් වැඩද කිව්වොත් තේකක් බොන්න, බොඩිංකාමරේ අත්තම්ම උයන බැඳල දෙන බත් ගෙඩියවත් කටට දාගන්න වෙලාවක් නෑ.පැය අටට, දහයක් විතර වැඩ කරල දුම් බැදිච්ච කෝච්චි පෙට්ටියේ නැගල බෝඩිංකාමරේට යන්දි රෑට කන්නත් බෑ වගේ , ඒ තරං මහන්සියි.ඒ විතර ද ගෙදර ගියත්, "හෙට අර පුටු කෑලි ටික ගබඩ කාමරේට දාල, මෙන්න මෙහෙම ලස්සනට හදන්න ඕන, ආ අර ලොකු මහත්තයගේ කාමරේ උඩ මකුණූ දැල් තිබුණ නේද, හෙට උදේම ගියාම අස්කරල දෙන්න ඕන, ලොකු මහත්තය සතුටු වේවි" බූරු ඇද උඩ , උඩ බලාගෙන මෝඩ උළු රටා දිහා බලාගෙන අප්පුහාමි කල්පනා කළා.

කාළය මෙහෙම යනවා, අප්පුහාමිට කව්රුත් ආදරෙයි, අප්පුහාමිත් කඩිය වගේ වැඩ. කෑමක් බීමක් මතක් වෙන්නේම නෑ. ගමේ යන්න හිතෙන්නෙත් නෑ, ඒ තරං කන්තෝරුවට බැඳිලා.

ආ කියන්න අමතක වුනානේ, අප්පුහාමි එතනට එන්න ඉස්සර හිටපු පියුං උන්නැහේ, නම නම් පිංහාමි. "හැබැයි කිසිම පිංපාටක් නෑ" අප්පුහාමිට හිතෙනවා. "කිසි වැඩක් කරන්නේ නෑ ඔහේ කොළ ටික එහෙ මෙහෙ අරං යනවා විතරයි" දැන් අප්පුහාමි කන්තෝරුවේ අස්සක් මුල්ලක් නෑර දන්නවා. කොයි වෙලෙත් වැඩම කරන මේ කොලුවට කන්තෝරුවේ නෝනල හරිම ආදරෙයි. මොකද නෝනලගෙ ගෙදරටම ගිහින් කෑම එක වුනත් ගෙනත් දෙන්න මේ කොළුව පහුබට වෙන්නේ නෑ. ඒ තරං කැපවීමක්.

"අප්පුහාමී"

"ලොකු මහත්තයා"

"මේ ලියුං ටික නොතාරිස්ට දාන්න කියල කිව්වට තාම කෙරිලා නෑනේ. ඉක්මණට මේ ටික ගිහින් දෙන්න" ලොකු මහත්තයා ටිකක් නොරිස්සුම් ස්වරෙයන් කීව. "අනේ මහත්තයා, මට මේ වැඩ එක්ක ඒක අමතක වුනා, මං මේං ගෙනියනවා" අප්පුහාමි ලියුං ටික අතට ගත්තත්, ලොකු මහත්තයානේ නොරිස්සුම් කතාව ඇල්ලුවේ නෑ. "කොහොද මම මේ ඔක්කොම කරනවා, අර පිංහාමි පිං බතා වගේ ලැගල ඉන්නවානේ." අප්පුහාමි තමන්ටම කියා ගත්තා. පිංහාමි විතරක් නෙවි, තව ඉන්නව පිංහාමිලා හරියට වැඩ නොකරන "කියන්න ඕන ලොකු මහත්තයට වෙලාවක, ඇයි මම විතරක් නැහෙන්නේ" එදා රෑවෙලා ගෙදර යන ගන් කොච්චි පෙට්ටි‍යේ මුල්ලක වාඩි වෙලා හිටි අප්පුහාමිට හිතුනා.

මාසයක් ගත වුනා, කන්තෝරු කාමරේ සරප් නෝන, කොල කෑල්ලකට අස්සං අරන් අප්පුහාමිට පඩි දුන්නා. කාමරේ මුල්ලක මේසය තියාගෙන , සල්ලි කොළ ටිකයි, කාසි ටිකයි දෙතුන් වතාවක් ගණං කර අප්පුහාමි හවස් වරුවේ බෝඩිමට ගියේ දාහක් හීන මවාගෙන. හැබැයි ඒ ගමේ යන්න එහෙම නොවෙයි. "හෙට සෙනසුරාදනේ, යන්නෝන ටවුම පැත්තේ, ලොකු මහත්තයගේ මෙ‍සෙට තියන්න ලස්සන පොඩි මල් පෝච්චියක් ගන්නෝන." කන්තෝරු කාමරේට ඕන කරන අඩුමකුඩුම බෑග් මල්ලක දාගත්ත අප්පුහාමි කොළුව, ආයේ බස්සෙකක එල්ලුනේ ගමේ යන්න එහෙම නෙවි." ගමේ යන්න බැරියැ පස්සේ, කොයිතරම් වැඩ මට මෙහේ කරන්න තියෙනවද" , එල්ලා යන ගමන් කොළුව හිතුවා.

කාළෙ ගියා, දැන් අප්පුහාමි කන්තෝරුවේ ලොක්ක වගේ, වැඩ වැඩ වැඩ. හැබැයි වෙනද වගේ නෙවි ටිකක් තරහ යනවා. පිං හාමිට පවා කෑගහනවා ඇහුන ළඟදි දවසක. "මහන්සියට වෙන්ටැති" කන්තෝරුවේ නෝනල හිතුවා.

දවසෙම මහන්සි වෙලා බෝඩිමට එන අප්පුහාමිටත් හරි මහන්සියි, වෙනදට වඩා මහන්සියි. කෑම එක උඩිනං පල්ලෙං කාල දාන කොළුව, කන්තෝරුවේ සියදෝරිස් ලියන මහත්තය ගෙනත් දුන්නු ගෝඩා දාපු යාපනේ සුරුට්ටුව උරල සුදු පාට බෝල දුං ගුලි වහලට යැව්ව. ඒ දුං ගුලි අස්සෙත් අප්පුහාමි දකින්නේ කන්තෝරු කාමරේමයි.

තුන් මාසයක් ගියා, තාමත් ගමේ නොගිය අප්පුහාමි පුංචි ලියුං කරදහි කෑල්ලක් විතරක් තැපැලට දැම්මා. "අම්මා, මට වැඩ වැඩියි. අඩුවුනාම එන්නං, අම්මටයි අප්පොච්චිටයි තෙරුවන් සරණයි" එච්චරයි ලියුම. අප්පුහාමිට ලියුමවත් දිගට ලියන්න හිතුනේ නෑ, ලියන්න දේවල් බෝමයි..ඒත්.. එකවෙලාවකට මේ සේරම එපා වෙනවා..වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ, අනෙක හොඳකුත් නෑනේ කොච්චර කළත්, මමම නැහෙනවා. මොකක්ද මේ ජීවිතේ? " යාපනේ දුංකොළ වලින් එන සැර සුදුපාට දුං ගුලියක් කිසිම හැඩයක් නැතිව අහසට මුදාහරින ගමන් අප්පුහාමි හිතුවා.

තවත් ටික දවසක් ගියා, "දැන් අප්පුහාමි ඉස්සර වගේ නෙවි, බලාගත්ත අත බලාගෙන ඉන්නවා, වැඩත් වරද්දනවා, දවසක් මං අමරෙට ලියපු ලියුමං මේක ලොකුමහත්තයට ගිහින් දීලනේ වැරදිලා, තව ඩිංගිත්තෙන් ගිණිවිජ්ජුම්බරයයි." අප්පුහාමිගේ බංකුව කිට්ටුවම ඉන්න සිරියාවතී නෝන, එයා මේසේ නෝනට කුසුකුසුගාල කියනව අප්පුහාමිට නොඇහුනා‍ නොවේ. ඒත් ඒක වගකටවත් ගත්තේ අප්පුහාමි නෙවි. මොකද, ඕවට කතා කරන්න තරං පණක් නෑ, ඇඟ රිදෙනවා, ඔළුව කකියනවා, ඒ අස්සේ අර ලියුං මේ ලියුං අරන් යන්නෝන, අනෙකමේ කළුවර කාමරේ වගේ කන්තෝරුව අස්සේ ඉඳල ඇති වෙලා මට" කාටවත් නොඇහෙන්න අප්පුහාමි එයාටම කියාගත්ත.

අප්පුහාමි‍ගේ කතා වස්තුවේ අවසානය

හරි දැන් දන්නවනේ කවුද මේ අප්පුහාමි කියලා. දැන් අපි බලමු මොකක්ද මේ අප්පුහාමිට වුනේ කියලා. ම්... නෑ, මෙහෙම කරමු, මම කියන්නම් Burnout එහෙම නැත්නම් මානසිකව, කායිකව "දැවීමකට" ලක්වීමේ පියවර, එහෙම නැත්නම් අවස්ථා ටික. ඒ ටික අරගෙන අර අප්පුහාමි ගේ කතාවට දාල , ඔබ කොතැනද කියල බලන්න.

එහෙම නම් මෙන්න පිළිගන්න...

The Twelve Stages Of Burnout.

1) Exessive drive/ambition. - වැඩට ඇති කැමැත්ත වැඩිත් එක්ක පෙන්වීම

2) Pushing yourself to work harder and harder. - වැඩ වැඩ වැඩ වලටම හිත යොමුවීම

3) Neglecting your own needs. - තමන්ගේ අවශතා පවා අමතක කිරීමට පෙළඹීම

4) Displacement of Conflicts - අතපහසුවීම් ,ගැටීම, වැරදීම් අනුන් නිසා, වැඩ වැඩිකම නිසා සිදුවන බව ‍සිතීම.

5) No Leisure time - තමන්ගේ නිදහස්, සතුට විනෝදාංශ වෙනුවෙන් කාළයක් නොමැතිවීම

6) Denial- මිතුරන්ගෙන්, සමාජයෙන් වෙන්වීම, හිතට එන බව රස්සාවේ වැඩ වැඩිකම නිසාම වන නිසා යැයි පිළිගැනීම

7) Withdrawal - මේ වැඩ වැඩිකම නිසා වෙලාව නැතිනිසා, තනිවෙන්නට උත්සාහ කිරීම, ඇබ්බැහි වලට ලක්වීම

8 ) Behavioural changes - වෙනත් අය හඳුනාගන්නා චර්යාම වෙනස්කම් ඇති වීම

9) Depersonalization - තමන් කිසිම වටිනාකමක් නැති, කළකිරීමක් ඇතිවීම

10) Inner Emptiness - තම‍ාගේ අනාගතය ගැන අවිනිශ්චිතබව, බිඳ වැටීම හිස් බවක් දැනීම

11) Depression - ජීවිතය ගැන කළකිරීමක්, එපා වීමක්,වෙහෙසකර පාළුවක් , අරමුණක් නැති බවක් දැනීම

12) Burnout Syndrome - හේතුවක් කියාගන්නට බැරි ඇඟපතේ අමාරු, ඔළුවේ කැක්කුම්, දවසේ කටයුතු කරගන්න බැරි තරම් නිදිමත, කෑම බීම ගැන කැමැත්තක් නැතිවීම සන්ධිවල වේදනාව, වැනි විවිධාකාර ලක්ෂණ මිශ්‍රණයක් මතුවීම. ‍මේ අවස්ථාවට එන තුරු නොසිටිය යුතු අතර යම් හේතුවක් නිසා මෙම අවස්ථාවේ නම් ඉක්මණ් වෛද්‍ය ප්‍රතිකාර, සහායක උපකාර ලබා ගත යුතු වේ.



--අකුරු කළ මම මහේෂ්

249) පොප් කෑන් එකේ කතාව.

දහවල් ආහාරය සඳහා විවේකය නිමාවෙන්න විනාඩි කිහිපයක් තිබිය දී, දේශකවරිය , වැඩසටහන් කාමරයට ආව. ඒ , පොප් කෑන් එකක්, එහෙම නැත්නම් සිසිල් බීම කෑන් එකකුත් අරගෙන.

කතා බහක් නැතිව, ඊළඟ වැඩසටහනට අදාල ස්ලයිඩ් එක තිරය මත පතිත කළ ඇය,

"හරි දැන් ඊළඟ දේශනයට යන්න ඉස්සර වෙලා මට ඔයාලගෙන් උදව්වක් ඕන. මොකක්ද දන්නවද? පහුගිය පැය විසි හතර තුල ඔයා මුහුණ දුන් stressful event එකක් ගැන කියන්න. කියන්න අකමැති නම් තමන්ගේ අවස්ථාව අනෙක් කෙනාට දෙන්න.ඔයාලට මුහුණ දෙන්න වුනු stressful event එකක් කියූ සැණින් මම මේ පොප් කෑන් එක මෙන්න මේ විදියට ‍හොලවනවා"

දැන්, වැඩසටහනේ එක් කෙළවරක ඉඳන් අපි එකිනෙකා අත්විඳි විවිධ කාංසාමය තත්ත්ව ගැන කියනවා, ඒ හැම එකක් සමඟම ඇය පොප් කෑන් එක දෙපසට හොලවල එය තහවුරු කරනවා. වැඩසටහනේ විස්සක් ඉන්නවා, දහ අට දෙනෙක්ම තමන් මුහුණ දුන් අවස්ථා ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඇය අර පොප් කෑන් එක දහ අටවතාවක් සෙලෙව්වා.

අවසන් කෙළවරටම ආව.

ඇය පොප් කෑන් එක තිබ්බා මේසේ උඩින්.

"දැන් ඊළඟ අභියෝගය, කවුද කැමති මේ පොප් කෑන් එක ඕපන් කරන්න"

ඇය හැමෝටමට ආරාධනා කළා. ඒත් කවුරුවත් නොවෙයි ඊට කැමති වුනේ, මොකද දැන් කවුරුත් දන්නවා, මේතරම් වතාවක් හොලවපු කෑන් එක විවෘත කරනවා කියන්නේ ඇතුලේ තියෙන බීම ටික එකවතාවට විසිරිලා මහ කළබැගැනීයක් වන වග. කවුරුත් නෑ වැඩේ බාර ගන්නේ.

"අන්න පේනවා නේද? ඔබ කැමති නෑ මේ කැළබුණු, සිසිල් බීම කෑන් එක ඕපන් කරන්න. අන්න ඒවගේ තමා අද දවසේ ඔබ ළඟට එන සේවාලාභියාත් මෙන්න මේ සිසිල් බීම කෑන් එක වගේ. විවිධාකාර පීඩනයන්, වෙනස්වීම් නිසා හෙලවිලා, කැලතිලා ඉන්නේ.බාහිරින් කිසිම වෙනසක් නෑ වගේ ඉන්න පුළුවන්.

ඉතින් එවැනි කෙනෙක්ගේ හිත විවෘත කරත්දි හරිම ප්‍රවේශම් වෙන්න ඕන. නොවුනොත්, ඒ පුපුරා යාම ඔබටත් ලොකු බලපෑමක් කරනවා. ඒකෙම අනෙක් පැත්ත, එවැනි පුපුරා යාමක් සිදුවුනොත් ඊට හේතුව මේ බීම කෑන් එකේ කතාවෙන්ම තේරුම් අරගෙන, ඔබේ ඉවසීම පවත්වා ගන්න එක හරිම වැදගත්."

ඇය සවස් වරුවේ දේශනය ආරම්භ කරන්න ඉස්සර වෙලාම කිව්වා.

සවස සාකච්ඡා කළ මාතෘකාව වුනේ, "මුල් පුරවැසියන් තුල" මානසික ගැටළු, රෝග සහ සියදිවි නසාගැනීමේ අවදානම. ලොකු පාඩමකට වඩා, බීම කෑන් එක , මුළු දේශනය පුරාම සාරාංශයක් හිතට ගෙනවා.