2011/07/08

28) කකුලෙ එතී දිවි වනසන මකුළු දැල - Varicose veins

හොඳ වෙලාවට ඇහැරුනේ  !!!!!
අද ටිකක් නිදි මතයි වගේ ..ඊයේ රාත්‍රී සේවා මුරය කළේ ..වෙනදට වඩා ටිකක් මහන්සියි ..ඇඟේ අමාරුවද , හිතේ අමාරුවද මන්දා ...ටිකක් නිදා ගන්න ඕන ...ගෙදර කවුරුවත් නැහැ ...පොඩ්ඩෝ දෙන්න ඉස්කොළේ , මගේ බිරිද රෝහල් සේවා මුරයේ ...තනියම ගෙදර ඉන්න හරිම කම්මැලිය වෙනදට නම් ....අද නම් නිදා ගන්නමයි හිතෙන්නේ ....

“අපි යමුද ....වෙලාව හරී......“ මගේ බිරිඳගේ හඬ වගේ යාන්තමට  ඇහුන ...හීනයක්ද ? ..මොකද කවුරුවත් හිටියේ නැහැනේ ගෙදර ....ටිකක් කල්පනා කළා ... වෙන්න බෑ ....දඩිස් ගාල ඇඳෙන් නැගිට්ටේ කවුද මේ  කියල බලන්න...බැලින්නම් මෙන්න ..මනෝජා .... මගේ නිදි බර ඇහැ ගියේ ඔරලෝසුවට වෙලාව එකහමාරයි ....දැනුයි තේරුනේ මම උදේ හතහමාරෙ ඉඳල හොඳට නිදා ගෙන ...


“මහේෂ්....ලොකූයි , පොඩ්ඩයි ගේන ගමන්ම අපි ටවුන් පැත්තේ යමුද  කරවල ටිකක් ගන්න .........මාළු ගිණි ගණන් !....කාළෙකින් හොඳ කරවල ටිකක් ලැබුනෙත් නැහැනේ ...අපේ අක්කල දෙන්නත් කැමතිනේ ...“ මගේ බිරිඳ ලොකු විග්‍රහයක් කළා ....“හරි ඉන්න මම “ටක්“ ගාලා එන්නම් ...ඒක නෙවෙයි මේ වෙලාවේ කරවල ගන්න ටවුන් ගියොත් අපි කරවල වෙනවා Traffic jam එකට අහු වෙලා ....දැන් අපේ ජෝඩුව ගෙනත් හවස් වෙලා යමු කරවල ගේන්න....“  නිදි මතක් තියෙත්දි  ගිණි අවුවේ Traffic jam  අස්සේ යතුරු පැදියක් හසුරවන එකේ අමාරුව දන්නේ මමනේ ....

අපි හවස ගියා කරවල ගේන්න ...“බොම්බෙලි ..කට්ටාවෝ..බල ..කඩේ පුරවල ......“මුදලාලි මහත්තය හිමින් හිමින් ආව ..අපේ ළඟට ...“ ආ..... මේ අපේ කරාපිටියේ මහත්තයනේ ....අඳුන ගන්න බැරි උනා එකපාරටම .....කාළෙකින්  ආවෙත් නැහැනේ ......, මිස් නම් ඉතින් සතියකට සැරයක් හම්බ වෙනවා තියටරියෙදි ....“ තට්ටේ වහගන්න පොරකන සුදු කොන්ඩ ගස් දෙක තුන අතගාමින් මුදලාලි කියනව ...“ඇයි මුදලාලි තියටර් එකට යන්නේ ....දියවැඩියාව දැන් Control කරගෙන නේද යන්නේ ...? “ මට මතක් වුනා  මීට වසර දෙකකට ඉස්සර දියවැඩියාවේ උපරිම තත්ත්වයට ගිහින් , එළොව ගිහින් මෙළොව ආපු මේ අහිංසක මනුස්සයා.. “ නෑ මහත්තයෝ මට වෙරිකෝස් නේ ..ඉතින් බැන්ඩේජ් දාගන්න එපායැ ....ඉතින් හැම සතියෙම යනවා “

කතාව ඉවර වෙලා ..හොඳ කරවල කැල්ලකුත් අරගෙන අපි ගෙදර ආවා ....මම තව ලස්සන කෑල්ලක් ගෙනාවා ..ඒ තමයි අද ලියන්න හොඳ මාතෘකාවක් ... Varicose vein ...

මේ ගැන කතා කරන්නට ඉස්සර වෙලා අපිට සිද්ද වෙන්නේ පුංචි පාඩමක් කියල දෙන්න ..රුධිර සංසරණ පද්ධතිය ගැන ....ඔයාල දන්නවනේ අපේ හෘදය කියන පොම්පෙන් ලේ පොම්ප කළාම ඒව ඇඟේ අවයව වෙතට ගෙන යන බට වලට කියන්නේ ධමනි , විද්‍යාත්මකව කියන්නේ Artery කියලා ....ඔහොම යන ලේ ඒ ඒ අවයව වල පාවිච්චි කළාට පස්සේ එළියට අවයවයෙන් ඉවත් කරන ලේ නැවත හෘදයට ගේනනේ “ශිරා“ හෙවත් Vein  වලින් ...

හැබැයි ඒ නැවත හෘදයට එන ක්‍රියාවට ලොකු තල්ලුවක් දෙන්න කෙනෙක් නැහැ ...ඒ කිව්වේ ධමනි ඇතුලේ ලේ ගමන් කරන්න ලොකු තල්ලුවක් දෙනවා හෘදය ..ඒත් ශිරා වලදි ඒ තරම් තල්ලුවක් නැහැ ...ඉතින් ශිරා වටේ තියෙන පේෂි වලින් එන තෙරපුම , අත්පා වල සිදු වන චලනය , ශ්වසන ක්‍රියාව වගේ දේවල් වලින් ලැබෙන පුංචි තල්ලුවෙන් තමයි ..මේ ලේටික ශිරා දිගේ හෘදයට එන්නේ ...ලේසි නැහැ .....ඇඟේ ඉහල ප්‍රදේශ වල අත් වල ලේ ටිකක් පහසුවෙන් මේ විදියට ආවත් , කකුල් වල ලේ ගෙනෙත්දි ලොකු අමාරුවක වැටෙනවා ...ඇයි ඒ...මොකද එතැනදි අර ලේ වලට වෙනවා ...ගුරුත්වයට විරුද්ධව ඉහළට ගලා එන්නට ...උඩුගම් බලා ගලන්නට (තේරුම් ගන්න පුළුවන්නේ ඉහළ ඉඳල පහලට ඒම ලේසි උනත් පහළ ඉඳල ඉහලට යාමේ අමාරුව ..නේද ) ඉතින් මේ කටයුත්තට සහයක් විදියට ශිරා වල හෘදය දිශාවට ඇරුනු කපාට තියෙනවා ...දැන් ඉතින් මේ කපාට පහු කරමින් හෙමින් හෙමින් ලේ ටික හිරා දිගේ ඉහළට යනවා ..

හොඳ ................................නරක .........කකුල.
හැබැයි ඉතින් කාළයක් මේ අමාරු වැඩේ කරන කොට ශිරාවනුත් දුර්වල වෙනවා ....එතකොට ශිරා බිත්තිය දුර්වල වෙනවා ...කපාට හරියට වැඩ කරන්නේ නැතිව යනවා ..ප්‍රතිපලේ මොකක්ද ...අර ලේ ටික හෘදය වෙතට යන්නේ නැතිව පාදයේ ශිරා ඇතුලේ රැස් වෙනවා ..එතකොට ශිරාවේ බිත්තිය දුබල වෙලා ඉදිමෙනවා ..ගෙඩි වගේ එළියට පේන්නේ මේ ඉදිමුණු ශිරාවන් ....මේ වෙනකොට පාදයේ පටක වලට ලේ සැපයීමේ ක්‍රියාවත් දුර්වල වෙනවා ....

මේ විදයට පාදයේ ශිරා දුර්වල වෙන්නට කාරණා බොහොමයක් තියෙනවා ...වියපත් වීම , තරබාරුව , ගර්භනීත්වය (ඒක මේ මුදලාලිට නම් අදාල නැහැනේ ) , වැඩි වේලාවක් සිටගෙන හෝ වාඩිවී සිටිම , අර්ශස් වැනි තත්ත්ව තිබිම , දිගු කාළීනව කැස්ස පැවතීම , ජානමය බැඳිමකුත් තියෙනවා ...ඒ වගේම පාදයට කරන ලද ශල්‍යකර්ම හෝ අනතුරු නිසාත් මෙම තත්ත්වය ඇති වන්නට පුළුවන් ...මේ හැමදේකින්ම වෙන්නේ ..බොහොම අමාරුවෙන් කන්ද නැගගෙන එන්න හදන ලේ ටිකට බාධා කරන එකයි ...ප්‍රතිපලේ ලේ ටික කකුලෙම හිර වෙලා ඉන්න එකයි ....

මෙන්න මකුළු දැලක් Spider veins
අපි දැන් මේ ගැටළුවේ අනතුර ගැන ටිකක් අවබෝධයක් තියෙන නිසා බලමු ..මෙම ගැටළුව ඇති වෙනකොට මතුවන ලක්ෂණ මොනවාද කියලා .... මුල්ම දේ තමයි පාදයේ රුධිර සැපයුමට බාධා වන නිසා කකුලේ තද කැක්කුමක් එන එක ...ඒ වේදනව කකුළ ඇතුලෙන්ම එන්නේ ...හුඟක් වෙලාවට ඒ කැක්කුම් එක්ක කකුළ හිර වෙනවා වගේ දැනෙනවා ..නිකම් කකුලේ බරක් දාල වගේ .ටිකක් හොඳට බලන්න කකුලේ හමේ පාට එහෙම වෙනස් වෙලාද කියල ...මොකද ඒක ටිකක් අවදානම් අවස්ථාවක් ...ඉක්මණට වෛද්‍ය උපදෙස් ගන්නම ඕන ...කකුල පල්ලෙහා , විළුඹ හරියේ ඉදිමීමක් එහෙම තියේද බලන්න ....සමහරුන්ට එන්නේ කකුළෙ කරන්ට් එක වදිනවා වගේ එහෙම නැත්නම් පිච්චෙනවා වගේ පුංචි කැක්කුමක් ....දැන් කසන්න වගේ දැනෙන්නත් පුළුවන් , අනේ කසන්න නම් එපා ..තුවාල වුනොත් ඉවරයි ...මේව තමයි Varicose vein තියෙන බව වගේම හැදීගෙන එන බවත් කියන ලක්ෂණ ..සමහර විට එළියට පෙනෙන විදියේ නහර ගැට තිබෙන්නත් පුළුවන් කොච්චර ලස්සනද එතකොට නේද ?  සමහර විට ගැටගැසුනු ස්වභාවය නැතත් දැලක් ආකාරයෙන් මතුවුනු රුධිර වාහිනී දැලක් දකින්නට ලැබේවි (Spider veins) ...

ගිණි පිටවෙනවෝ ...
මේ ලක්ෂණ තියෙනව නම් ගණන් නොගෙන ඉන්න එපා ..ගණන් ගන්න ...මොකද තව ටික දවසක් ගියාම රුධිරවාහිනි නරක් වෙන්නත් (රුධිර වාහිනී ප්‍රදාහයට පත්වෙන්න ) පුළුවන් ...ඒකට අපි කියනවා phlebitis කියලා ..හරිම වේදනාකාරී  තත්ත්වයක් ...

ඊටත් වඩා අනතුරුදායක තත්ත්වයක් තියෙනවා ...ඒකට අපි කියන්නේ D.V.T. (Deep vein Thrombosis) කියල එතැනදි වෙන්නේ අපේ ශිරා ඇතළෙ ලේ කැටි හැදෙන එක ...අනතුර මේකයි ...මේ හැදෙන ලේ කැටියක් ශිරා දිගේ ඉහළට ගිහින් හෘදයේ කිරීටක ධමනියක් ඇතුළෙ හිරවුනොත් ..ඉවරයි  ජීවිතේම ...හදවත නවතිනවා ...Heart attack එකක් .(කියවන්න හදවතේ ලේ ගමන අඩුවීම ගැන) ...අපි හිතමු අර ලේ කැටිය ඉහළට ගිහින් මොළයේ ලේ නහරයක හිර වුනා කියලා ..දැන් ඉතින් අංශභාගේ (Paralysis)...

මෙන්න  තුවාල ..... Varicose vein ulcer
ඔය අනෙක් ගැටළුව තමයි  Varicose Ulcer ....මේකෙදි වෙන්නේ කකුළෙ ලේ සැපයීම අඩුවීමත් එක්ක ..තුවාලයක් හැදෙන එක ...තුවාලෙ හොඳ වෙන්නේ නැහැ ..කාළයක් පවතිනව ..සෑහෙන්න විඳවන්න වේවි ...සමහර විට මාස පහක් හයක් විතර වුනත් යන්න පුළුවන් ... ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඉතින් අවදානම කියන්න ඕන නැහැනේ ..(දියවැඩියා පාද සාත්තුව ගැන දැන ගන්න මෙතැනට එන්න)

මේ අවදානම හරි ලක්ෂණ හරි දැනෙනවා නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරයට යොමුවෙන්න...එවිට වෛද්‍යවරයා ඔබව මූලික පරීක්ෂාවකට යොමු කරලා රෝග තත්ත්වල ගැන හඳුනා ගනීවි ...සමහර විට Doppler scan කියන පරීක්ෂණය කරාවි ...එයිනුත් ඉදිරියට ගියොත් Phlebography නම් වන විශේෂිත X ray කිහිපයක් ගනීවි ..හොඳට මතක තියා ගන්න මේ පරීක්ෂණයට පෙර ඔබට විශේෂිත ඩයි වර්ගයක් ඇඟට ඇතුළු කරනවා ...ඔබ යම් ඖෂධයකට , කෑමකට විස ලක්ෂණ පෙන්වල තියෙනවනම් තව විදියකින් කිව්වොත් අසාත්මික නම් Food or Drug Allergy (මේ ගැන තවත් කතාවක් මෙතැනින්) ඔබේ වෛද්‍යවරයා හෝ හෙදිය එම තත්ත්වය ගැන දැනුවත් කරලා තියන්න ...එවිය ඔවුන් ඊට අදාල ඖෂධ ලබා දී අදාල පරීක්ෂණය කරාවි ...

මෙන්න කකුල් (නෑ නෑ Stockings) 
ඉතින් මේකට ප්‍රතිකාරයක් තියෙනවාද ? ඔව් ..අද බොහොම ඵලදායී ප්‍රතිකාර කිහිපයක් තිබෙනවා ...රෝග තත්ත්වය එතරම් දරුණු තත්ත්වයේ නොවේ නම් ඔබට විශේෂිත මේස් වර්ගයක් Compression stockings පළඳින්නට උපදෙස් දේවි ...ඒ මේස් ටිකක් තදට කකුලට පීඩනයක් ...තෙරපීමක් දෙනවා  ...එතකොට අර ලේ ගමනට පොඩි support එකක් දෙනවා .සමහර විට ඒ වෙනුවට Four layer bandage කියන විශේෂිත බැන්ඩේජ් එක දාන්නත් පුළුවන් ..හැබැයි මේ බැන්ඩේජ් එක දාන්න විශේෂ පුහුණුවක් අවශ්‍යයි .ඒක ඔබට ළඟම තියෙන රජයේ රෝහලකදි කරගන්නට පුළුවන් ..

ඒකත් ප්‍රමාණවත් නොවේ නම් අර ලේ නහර තුලට යම් ඖෂධයක් ඇතුළු කරලා නහර ඝණ කරන ප්‍රතිකාරයක් තියෙනවා Sclerotherapy නමින් ...Sodium tetradecyl Sulphate නමින් දියරමය බෙහෙතක් තමයි නහරය ඇතුලට විදින්නේ ...හොඳට මතකයේ තියා ගන්න ඔබ උපත් පාලන ක්‍රමයක් විදියට හෝමෝන පෙති ගන්න කෙනෙක් නම් ඒ බව වෛද්‍යවරයාට කියන්න ...එවිට ඔහු ඔබට උපදෙස් දේවි ..ටික දවසකට ඒ පෙති ගන්න එක නතර කරන්න කියලා ...හරිම වැදගත් මේ කරුණ ..කිසිම විටෙක මේ උපදෙස ගණන් නොගෙන ඉන්න එපා ...ඒ කාළ සීමාවට වෙනත් උපත් පාලන ක්‍රමයක් අනුගමනය කරන්න ..නැතිනම් මේ ප්‍රතිකාරයත් එක්ක වෙනත් අනතුරුදායක් ගැටළු කිහිපයක් ඇති විමේ අවදානමක් තියෙනවා ...
හොඳ  Compression stockings හි හැටි

මේ ක්‍රම තමයි වැඩියන්ම කෙරෙන්නේ ..ඊට අමතරව තවත් විශේෂිත ශල්‍යකර්ම වර්ග කිහිපයක් (Phlebectomy , Catheter procedures ) තිබෙනවා ..ඊට අමතරව laser surgery කියන ඉතා සියුම් ප්‍රතිකාර ක්‍රමයත් හුඟක් ප්‍රතිපලදායක බව දැන් හඳුනාගෙන තිබෙනවා ....

treatinh vericose vein Treatment for Varicose Veins
පුළුවන් නම් මේකත් හොඳයි ...
මේව කතා කරන කොට ටිකක් බය හිතෙනවා නේ ..අපි දැන ගනිමු කොහොමද මේ තත්ත්වය ඇතිවිමෙන් වලකින්නේ කියලා ....ප්‍රධානතම දේ බර නිසි මට්ටමකින් ලබා ගන්න උත්සාහ ගන්න ...ඔබ අවදානම් තත්ත්වයේ නම් හිටගෙන ඉන්න හෝ වාඩි වෙලාම ඉන්න සිදුවන කාළ සීමාව හැකි තරම් අඩු කරන්න ඔබේ රාජකාරියේ හැටියට වාඩි වෙලාම හරි හිට ගෙනම හරි ඉන්න ඕනම නම් වරින් වර ටිකක් ඇවිදින්න , පාදයේ විළුඹින් එසවෙන්න ...ඒ විදියට පොඩි ව්‍යායාමයක් කරන්න, ඇවිදීම , පිහිනීම හුඟක් ඉහළ මට්ටමේ ව්‍යායාම  , වාඩි වෙනකොටත් පාද එක මත එක දාගෙන  කකුල් වල ලේ ගමන හිර වෙන විදියට වාඩි වෙන්න එපා ...හැකියාවක් තිබෙනවනම් දවසේ වැඩ ඉවර වුනාමවත් පාද සෘජුව ඉහලට එසවෙන විදියට බිම වැතිරිලා ටික වේලාවක් ඉන්න  ..කකුලේ හිරවෙලා හිටපු ලේ වලට දැන් නිදහසේ හෘදයට ගලාගෙන එන්න පුළුවන් ...

spider veins treatment
මෙහෙම ඉන්න හොඳ නෑනේ ....
සාමාන්‍ය මේස් නොවෙයි මේ තත්තවය සඳහා විශේෂිත වූ Compression stockings භාවිත කරන්න පුළුවන් නම් හොඳයි ..ඒත් ඉතින් මේ මුදලාලිට මේස් දාගෙන ඉන්න පුළුවනෑ නේද ? ... හැබැයි නිදා ගන්න කොට පාද පැත්තෙන් ටිකක් එසවෙන්න තියා ගන්න නම් එයාටත් පුළුවන් ...ඔන්න දැන් ඉතින් ඔළුවට තියෙන කොට්ටෙ කකුල් වලට තියාගෙන දඟලන්න එපා ...ඒ වැඩේ ඒතරම් පලදායක නැහැ ..කරන්න ඕන මෙහෙමයි ..ඔය ඇඳේ පාද පැත්තෙන් ලී කොටයක් හරි ශක්තිමත් දෙයක් තියල ඇඳේ ඒ පැත්තම එසවෙන්න තියන්න ....අඩි ගණනක් උසට හදා ගන්න එපා ..අඟල් 4ක් 6ක් හොඳටම ඇති ...

අපි යන්නට යමු ..වෙඩි වාගේ.... උඩින් සතොසින් .........
මේ විදියට කටයුතු කළොත් ඔබේ තවත් ජීවිත අවදානමක් මඟ හරවා ගන්නට පුළුවන් වේවි ...දැන් දඬුමොනරු එක්කම ඉන්න අපේ කට්ටියට කියන්නම දෙයක් තියෙනවා ....ඒ තමයි ඔබ දවසේ වැඩි වෙලාවක් යතුරු පැදියේ ධාවනයේ නම් , විශේෂයෙන්ම Forth , Fifth වගේ gear වල වැඩි වේලාවක් යනවා නම් , ඒ එක්කම ඔබේ පාදයේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් තිබේ නම් ..ඔබට අර මරණීය අනතුර වන D.V.T වැඩි අවදානමක් තියෙන කෙනෙක් ..බයික්  එක පැදල පැදලා හවසට ගෙදර ගියාම එන කකුල් කැක්කුම ගණන් නොගෙන ඉන්න එපා ....

“තාත්තී මෙන්න චමින් අයියල ඇවීත් ...“ ලොකූගේ සද්දෙට මම උඩ ගියා ...“ආ එන්න ..එන්න ...“ මගේ සමුපකාර හෙද විදුහලේ දරුවො කිහිප දෙනෙක් ඇවිත් ...“සර් පොඩි Invitation එකක් දෙන්න කියල ආවේ ....“ කොළු පැටවු දෙන්නයි , දැරිවියො ටිකයි බිම බලාගෙනම ...“කෝ  දෙන්න බලන්න ....“ මමත් මගේ බිරිඳත්  ඒ ආයතනයෙන් සමු ගැනීම වෙනුවෙන් මේ දරුවන් පුංචි උත්සවයක් සූදානම් කරලා ... එකේ ආරධනා පත්‍රය මගේ අතේ රැඳුනා ...වසර පහක් පුරා මගේ ජීවිතයේ කොටසක් වුණු මේ ආයතනය සමුපකාර රෝහලත් , ජාතික කාර්මික සහ වෘත්තීය පුහුණු කිරීමේ අධිකාරියේ NAITA සහයෝගයෙන් දකුණේ රැකියා වියුක්ත දරු දැරියන් සිය ගණනකට ජීවත් වෙන්න මග හසර කියා දුන්නා ..අපිටත් ඒ පිංකමේ කොටස් කාරයන් වන්නට පින තිබුණා .ඒත් දැන් වෙලාව හරි සමුගන්නට ...මගේ දරුවනේ මේ ගමන නුඹලා තනි කරන ගමනක් නොවෙයි ...නුඹලාගෙත් ඉදිරි යහපත වෙනුවෙන් යන්නාවූ ගමනක් ...ඒත් හිතේ කඳුලක් නැතිවාමනොවේ ....
මෙන්න invitation එක ..ඔයාලටත් එක්කම

ඒ දරුවන්ගේ ආරාධනය ..සුවිශේෂි ආරාධනයක් ලෙස මගේ බ්ලොග් මිතුරු මිතුරියටත් මෙසේ ඉදිරිපත් කරන්නේ ...හැකිනම් එන්න ඔබත් මේ සුන්දර අවස්ථාවට , විශේෂයෙන්ම ගාල්ල සහ අවට සොයුරු සොයුරියන්ට එන්න පහසුයි ...තැන ගාල්ල , කරාපිටිය පාරෙ බෙලිගහ හන්දිය ,සමුපකාර හෙද විදුහල ...දිනය මේ ඉරිදා 10වනදා  , වෙලාව උදේ 8.30ට ..එන්න ..තවත් ඔබ වැනිම තරුණ දරු පිරිසකගේ සංවේදී නිර්මාණශිලී  ප්‍රයත්නයක රසය විඳින්නට ...ඔවුන්ට දිරියක් දෙන්නටත් ..

16 comments:

  1. තවත් වැදගත් ලිපියක්.
    ස්තූතියි දැනුවත් කලාට.

    ReplyDelete
  2. ස්තුතියි ඔබට කළ දිරි ගැන්වීමට ...

    ReplyDelete
  3. ගොඩක් දේ දැන ගත්තා . ස්තුතියි

    ReplyDelete
  4. වැදගත් ලිපියක්... බොහොම ස්තූතියි..

    ReplyDelete
  5. මේ රෝගය නිට්ටවටම සුව කල නොහැකියි නේද?

    ReplyDelete
  6. ඔවි නමුත් හොඳින් පාළනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවිය හැකියි .ස්තුතියි

    ReplyDelete
  7. @Bindi,

    ස්තුතියි අදහස් දැක්වූවාට

    ReplyDelete
  8. @සාතන් ,
    මගේ ස්තුතිය ඔබේ අදහසට ..

    ReplyDelete
  9. ඉතා වැදගත් ලිපියක්. ස්තුතියි මෙයට.

    ReplyDelete
  10. ස්තුතියි අදහස් දැක්වූවාට

    ReplyDelete
  11. thank you very much.

    ReplyDelete
  12. ස්තුතියි තාරක ...

    ReplyDelete
  13. its very important sir actually im very glade. becose your my lovely father of teacher

    ReplyDelete
  14. thank you my kid , I think now you will be able to use sinhala unicode ...

    ReplyDelete
  15. Obathuma karanne watina samaja sewayak.Obata e sandaha thawa thawath sakthiya lebewa.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)