2011/07/14

32) මරණයේ දැවිල්ල - Gastritis වලින් පරිස්සම් වෙන්න

සීතල ......උණුහුමක්  ???......
ඊයේ ඇසළ පෝය දවස ...දුවන වැස්සත් එක්ක වරින් වර වැටෙන පොද පොළොව විතරක් නොවෙයි අපේ හිතත් සංසුන් කළා වගේ දැනෙනවා ...ඒත් මගේ බිරිඳගේ හිත නම් නොසන්සුන් කරළ වගේ ..ඇය සෝදපු රෙදි ටික වේලගන්න විදියක් නැතිව “යුද්ධයක්“ කරනවා ...“ලොකූ මේ වෙලිච්ච රෙදි ටික ගෙට ගිහින් දාන්න ...ආයේ වැස්සොත් ඒ ටිකත් ඉවරයි .....“ බිරිඳ කළබළය මුසු විධානයක් දුන්නා...“අම්මේ ..අද විජිත සාදුලගේ පන්සල් යමුද ? හුඟ දවසකින් ගියේ නැහැනේ ...“ රෙදි ටික ගෙට ගෙනත් දාපු ලොක්කී අම්මගෙන් අහනව මම අහගෙන ...“යමු ..හැබැයි වැස්සොත් නම් යන්න බැහැ , අනෙක අර තාත්තගේ වැඩක් ඉවර කර ගන්න තියෙනවා කිව්වනේ...ඔයාල කරදර කරන්නේ නැතිව හිටියොත් ඉක්මණට ඒ වැඩේ ඉවර  කරගෙන ..හවස් වෙන්න ඉස්සර පන්සලට යමු .....“ පැහැදිලි කරන ගමන්ම කළබලේට රෙදි දානව ..පොඩි අවු රැල්ලක් වැටිලා ඒකයි මේ .....

කොහොම හරි මගේ වැඩ කටයුතු අවසන් වෙනකොට හවස හතර විතර ....ඔක්කොමල සූදානමින් ..මාත් ඉක්මණට හරි බරි ගැහිල පන්සලට යන්න සූදානම් උනා ..

පන්සල පිරිලා සිල් සුවඳින් ...හිරි පොඳක් වැටුනත් ඒ ගැන කිසි වගක් නැතිව හැමෝම හරිම සැහැල්ලුවෙන් බුදුන් වදිනව ..බෝධි පූජාවට සූදානම් වෙනවා ....

අපේ සෝභිත හාමුදුරුවෝ....
“ආ...ලොකු අක්කා ....කාළෙකට පස්සේ අපිව මතක් වෙලා තියෙන්නේ ......“ නායක හාමුදුරුවා ඈත තියාම අපේ ලොකූට පුංචි විහිළුක් කළා.....ලංකාවේ විතරක් නොවෙයි ලෝකය පුරාම දහම් අධ්‍යපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ ලොකු හාමුදුරුවෝ හොඳ ගුරුවරයෙක් ..දැන් විශ්‍රාමිකව ..ඒත් පොත පත ලියමින් දැනුම බෙදනවා ....“අපි හිතුව මහත්තයල අපිව අමතක කරලම රට ගිහින් කියල ..“ අපෙන් වුනු වරදක් මතක් කළාද කියල මට හිතුන ...මොකද පහුගිය මාස දෙකක් විතර අපිට පන්සලට එන්න බැරි උනා ..ඒත් හැමදාම වගේ බටගන්විල බෝධිය ළඟට ගියේ හිතේ සැහැල්ලුවක් විඳින්නට..“නෑ ..හාමුදුරුවනේ පහුගිය දවස් ටිකේම ටිකක් වැඩ වැඩි උනා ....ඒනිසයි එන්න බැරි වුනේ ..“ කතාව අතරෙදි එතැනට විජිත හාමුදුරුවො වැඩම කළා ...“ආ නිශාන්ත මහත්තයල , කාළෙකින් ....“ විජිත හාමුදුරුවො අපත් එක්ක දෙබස ඇරඹුවා ...

මේ සිසිල ගතට විතරක් නොවේ සිතටත් ...
මා පිළිකා ඒකකයේ සේවය කරන කාළේ පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති ලෙසින් මහඟු සේවයක් කළ මේ ස්වාමීන් වහන්සේගේ හැමදාමත් කතා බහේදි ඒ අතීතය එක්කම අද දවසේ පිළිකා ඒකකයේ තත්ත්වය ගැනත් කතා කරනවාමයි ...“හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේගේ අසනීප තත්ත්ව එහෙම ...? “ මම මතෘකාව වෙනස් කරමින් ඇහුමා ..හැමදාමත් අනුන්ගේ ලෙඩ ගැන විතරක් හොයන , තමන්ගේ අසනීප විඳි දරාගෙන ඉන්න උන්වහන්සේ දරුණු ලෙසින් Gastritis තත්ත්වයෙන් පෙළෙන බව මම දන්නව..
“ඒකනේ ...මහත්තයෝ ..ආයෙත් වැඩි වෙලානේ ...ඔළුවත් එක්කම කකියනවා සමහර වෙලාවට ..පහුගිය දවසක වමනෙත් ගියා .... මේ පාර නම් යන්න ඕන ලොකු මහත්තය හම්බවෙන්න...“

අපි බෝධි පූජාවටත් සහභාගි වෙලා ගෙදර ආවා ... රෑ නින්දට ගියේ හෙට උදේට Gastritis ගැන ලියන්න ඕන කියල හිතාගෙනම ....

අම්ල , භෂ්ම ...බඩ දැවිල්ල ...
මතකද අපේ පාඩමක් තිබුණු itis ගැන (මෙතැනින් එන්න පුළුවන් ) මේකත් අයිටිස් එකක් තමයි ...අපි දැන් පොඩ්ඩක් බලමු මේ අයිටිස් එක හැදෙන Gastro හෙවත් ආමාශය ගැන ....ඔයා ආමාශය කියන්නේ පේශි වලින් හැදුනු මල්ලක් වගේ දෙයක් ..හැබැයි මේක නිකම්ම මල්ලක් නොවේ ...එක අතකින් Blender එකක් කියල කියන්නත් පුළුවන් ..මොකද මේ මල්ලේදි තමයි අපි කන කෑම භෞතිකව වගේම රසායනික අතිනුත් පොඩි පොඩි කෑලි වලට කැඩිල ලේ වලට උරා ගන්න පුළුවන් තත්ත්වයට ගේන්නේ ..මේ වැඩ කරගන්න ආමාශයේ පේෂි වගේම එම බිත්තියෙන් ස්‍රාවය කරන විවිධ අම්ල , එන්සයිම කියන දියරයන් ශ්ලේශමල වගේ අත්‍යවශ්‍ය සංයෝග නිපදවනවා ...මේ අතරින් අම්ල කියන්නේ මොනවද කියල ඔබ දන්නවා ..පිළිස්සෙන සුළු දියරයක් ..මතකද පාසලේ විද්‍යාගාරයෙදි නයිට්‍රික් ඇසිඩ් ටිකක් (හොරෙන්) අතට වැටුනම දැනෙනදේ ...ඉතින් බොහොම සැර අම්ලයක් (Hydrochloric acid) ;තමයි මේ ආමාශ බිත්තියෙනුත් නිපදවෙන්නේ ..

දැන් ඔබ අහන්නට ඉඩ තියෙනවා ...එතකොට ඇයි පිච්චෙන්නේ නැත්තේ කියලා ...මේකයි ආමාශ බිත්තියත් එම කුහර ප්‍රදේශයත් වෙන් කරන ආරක්ෂණ කටලයක් තියෙනවා Mucosa නමින් ..ඒ පටලය තුල තියෙන Mucus නිසා තමයි අපේ ආමාශය ආරක්ෂා වෙන්නේ ..(නැත්නම් ඉතින් අපි කන හැටියට බඩත් දිරවල , දියවෙලා  ගිහින්)

ලස්සන මලක්ද ...? නෑ .....gastric mucosa පටලයක් 
මේ ගැස්ට්‍රයිටිස් වලදි වෙන්නේ මේ ආරක්ෂක පටලය තුවාල වෙලා ප්‍රදාහයට (Inflammation of gastric mucosa ) පත් වෙන එකයි ...දැන් mucosa එක තුවාල උනාම , ප්‍රදාහයට පත්වුනාම මොකද වෙන්නේ ..එයත් එක්ක ඉන්න අනෙක් සෛල වල ක්‍රියාවත් අක්‍රමවත් වෙනවා ..ප්‍රතිපලය ආමාශයික එන්සයිම , අම්ල , වගේම අර ආරක්ෂක Mucus ස්‍රාවය වීමත් අක්‍රමවත් වෙනවා ...දැන් මොකද වෙන්නේ ආමාශයේ තියෙන රසායනික ද්‍රව්‍ය සහ ආමාශ බිත්තිය අතර ගැටීම වලක්වන mucosa පටලය දුර්වල වෙලා (Mucus නිශ්පාදනය අඩුවීමත් එක්ක) අර ආමාශයේ තියෙන විවිධ රසායනික දියර එහි බිත්තියත් එක්ක සෘජුවම ගැටෙන්න පටන් ගන්නවා ..තුවාල වෙනවා ..දැන් බඩ දැවිල්ලක් එනවා ..එතකොට තමයි අපි කියන්නේ එයාට Gastritis කියලා ....

දැන් මම ගැස්ට්‍රයිටිස් වල ලක්ෂණ කියන්න ඕනද ? .................ඕක කියන්නත් දෙයක්ද නේද ..ඒතරමටම අපිට මේ රෝගය මිතුරු වෙලා තියෙන්නේ ..ඒත් වැඩේ පිළිවෙලක් තියෙන්න ඕන නේ ..මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්

පිච්චෙනවෝ ....කළිසමද?..නැහැ ..බඩ
ප්‍රධානම දේ වේදනාව ..බඩේ මැද හරියට වන්නට තමයි බහුලවම ඇතිවෙනනේ ...මේ වේදනාව පිළිස්සෙනවා වැනි හෝ තුවාල කරනවා , අනිනවා වැනි ත්‍රීව්‍ර වේදනාවක් වන්නට පුළුවන් ,

ඒ එක්කම උගුරට එන ස්වභාවයක් , උගුර පිච්චෙනවා වැනි දැවිල්ලක් සමහර විට වමනෙ යන්නත් ඉඩ තියෙනවා , හැබැයි මේ වමනේ හුඟක් වෙලාවට අවර්ණ හරි කහ කොළ පාටක් වගේ තියෙන්නේ ..ඒත් සමහර විට රතු පැහැයට , ලේ මිශ්‍රව තිබෙන්නත් පුළුවන් ...එහෙම වුනොත් ඒකේ තේරුම දැන් ටිකක් අනතුරුදායක තත්ත්වයට තුවාල වෙලා කියන එකයි ...දැන් ඉතින් බල බල ඉන්න එපා ඉක්මණ් නිසි ප්‍රතිකාරයක් අවශ්‍යමයි ...

අනිත් ලක්ෂණය තමයි බඩ පුරවා දැමීම වගේ තත්ත්වයක් ..හැම තිස්සේම බඩ පිරුණු ස්වභාවයක් පෙනෙනවා , ඒ වගේම දැනේනවා ...

තත්ත්වේ සීරියස් ....
ඒ එක්කම කැම අජීර්ණයක් වගේ හොඳින් දිරවන්නේ නැතිව මලපහ පිටවෙන්නත් ඉඩ තියෙනවා ...හැබැයි වැඩේ දරුණු අතට හැරුණාම  මේව විතරක් නෙවි ...පපුවේ අමාරු රෝගියෙක්ට ඇතිවෙන ලක්ෂන වගේම ඇති වෙනවා  (බොහෝ හෘදයාබාධ වලට ලක්වූ වන් නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොලබා ඉන්නටත් හේතුව මේ පටලැවිල්ල, මෙතැනින් ඇවිත් ඒ ගැන දැනගන්න ) ...පපුවේ වේදනාවක් ...දහදිය දානවා ..ඇඟ සීතල  වෙලා සුදුමැළි වෙනවා ...ඒ එක්කම තාර වගේ කළු පාට ඇළෙන සුළු මලපහ පිටවෙන්නත් පුළුවන් ...දැන් නම් වැඩේ අනතුරුදායක මට්ටමක...

ඔය ගැස්ට්‍රයිටිස් තත්ත්වය බොහොම කෙටි කාළයකින් ඇති වෙන්න පුළුවන් ...අපි ඒකට කියන්නේ acute gastritis කියලා ..ඔය විභාග කිට්ටු වෙන කොට අපේ දරුවන්ට ඇතිවන බඩේ කැක්කුමට හේතුව එය වෙන්න ගොඩක් ඉඩ තියෙනවා ,ඒ වගේම සැර මත් පැන් බීව අවස්ථාවක ඇති වන බඩේ දැවිල්ලත් එයමයි ...නමුත් අද දවසේ බහුලවම තියෙන්නේ Chronic gastritis තත්ත්වය , ඒ කියන්නේ දිගු කාළයක් ...සමහර විට මාස 3ක් 6ක් හෝ ඊටත් වැඩිකාළයක් මේ Gastritis තත්ත්වය පවතින එක...ඒක හරිම අනතුරුදායක තත්ත්වයක් ...

බැක්ටීරියාවගේ සෙල්ලම ....
ඇත්තටම මේ ගැස්ට්‍රයිටිස් සඳහා හේතුව මොකක්ද ? විවිධ හේතු කිව්වත් අද පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා ඊට ප්‍රධානම සාධකය වන්නේ Helicobacter pylori (H.Pylori තමයි කෙටි නම ) කියන බැක්ටීරියාවා කියල .. අපේ කෑම බීම හරහාම දේහ ගත වන ඒගේම පුද්ගලයෙක් ගෙන් තවත් අයෙකුට බෝවිය හැකි මේ බැක්ටීරියාව ආමාශයට ගිහින් එහි ඇතුළු බිත්තියේ  Epithelil cells) සෛල තුවාල කරනවා
ලස්සන දඟ කාරයා(මාරයා) ...H.Pylori 

...ඒතකොට තමයි මේ ගැස්ට්‍රයිටිස් වේදනාව ඇති වන්නේ ....පොඩ්ඩක් බය කරන්න හිතුනා ...මෙන්න මෙහෙම ...මේ බැක්ටීරියාවට පුළුවන් කාළයක් තිස්සේ අපේ ආමශය මේ විදියට තුවාල කරමින් Atrophic gastritis කියන තත්ත්වය ඇති කරලා එය ආමාශ පිළිකාවක් දක්වා ගෙන යන්නට ....(ඔබ දැන් හිතනව ඇති මම අර ඇම්ඩන් වගේ...කොහෙන් ආවත් නවතින්නේ “පිළිකාවෙන්“  කියලා.. නැහැ රෝගයක නිවැරදි තත්ත්වය , විශේෂයෙන්ම ඉන් ජීවිතයට ඇති අවදානම හඳුනාගන්න තුරු අපි මේව එච්චර ගනන් ගන්නේ නැහැනේ ...ඒකයි මේ ඇම්ඩන්ගේ method එක භාවිත කරන්නේ ...)  මෙන්න තවත් අනතුරක් දියුණුවන රට වල ජනගහණයෙන් 80%ක්විතර මේ වන විටත් මේ H.Pylori මගින් ආසාදනය වෙලාලු ...(අපිත් ඒ 80% ද ) , දියුණු රටවලත් 50%ක් විතර ආසාදිතයන් ..කොහොමද තත්ත්වේ ..

බඩගිනිද ? ..නැහැ ආතතිය Stress
ඊට අමතරව මානසික ආතතිය (මේ ගැන අපි කතා කළා , එතැනට යන්න ඕනද? ) , ශල්‍යකර්ම වලට ලක්වීම වගේම සමහර ඖෂධ සහ ප්‍රතිකාර නිසාත් ඇතිවෙන්න පුළුවන් ...හොඳම උදාහරණ විදියට Aspirin (හෘදයාබාධ සහිත වූවන්ට සහ සන්ධි ප්‍රදාහ Arthritis ඇති අයට බහුව සහ දිගු කාළීනව භාවිත වෙනවා ) , Ibuprofen (ප්‍රබල වේදනානාශකයක් සමහර විට අධික උණ පාලනය සඳහාත් ගන්නවා , ඒ වගේම හතිය , අසාත්මිකතා වලදි සහ තවත් බොහෝ අවස්ථාවල යොදා ගන්න Prednisolon කියන්නෙත් Gastritis ඇති කරන්නට පුළුවන් ඖෂධ ...ඊට අමතරව බොහෝ පිළිකා නාශක ඖෂධ මේ තත්ත්වය ඇති කරනවා ...(දැන් ඉතින් මේ බෙහෙත් නොබී ඉන්න කියල නෙවි මම කියන්නේ  , ලෙඩට අදාලව බෙහෙත  බොන්න , හැබැයි වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරත්දි කියන්න , මට Gastritis එහෙම නැත්නම් බඩේ දැවිල්ල තියෙනවා කියන එක , එවිට වෛද්‍යවරයා ඊට අදාල තවත් ආරක්ෂක ඖෂධයකුත් එක්කම බෙහෙත් දේවි ..)

ඒ වගේම ආහාරයේ අධික තෙල් සහ තුනපහ මිශ්‍රවී තිබීමත් මෙයට හේතුවක්  ඒ වගේම මත්පැන් භාවිතය අධිකව කෝපි භාවිතයත් ගැස්ට්‍රයිටිස් වලට අත වැනීමක් ...

ඒ වගේම වයිරස් උණ වගේ තත්තවයකට පස්සෙත් Syphilis කියන ලිංගාශ්‍රිත රෝගයේදීත් ගැස්ට්‍රයිටිස් මතුවීම පොදු තත්ත්වයක් වගේ ..ඊට අමතරව පණු අමාරු කියන තත්ත්වය නිසාත් (worm infections) මෙම තත්ත්වය ඇති වීමේ අවදානමක් මතු වෙනවා ....දැන් මේක කියවලා ඔළුව රිදෙනවාද ..බඩ රිදෙනවාද ...?

ඉතින් කොහොම හරි මේ වගේ ලක්ෂණ තියෙනවා නම් නිවාඩු නැහැ කියමින් කල් පහු කරන්න එපා (මොකද වැඩේ වැරදුනොත් සදාකාළිකව නිවාඩු ගන්න වෙනවානේ ) ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවෙන්න ..තව එකක් කියන්න ඕන , මේ වගේ රෝග තත්ත්වයකදි ඔබ මුලින්ම හමුවෙන්න ඕන ඔබේ පවුලේ වෛද්‍යවරයා , මක් නිසාද මේ තත්ත්වය සමහර විට ටික කාළයක් තිස්සේ තියෙනවා වෙන්න පුළුවන් ..ඔබේ වෙනත් රෝග නිසා හෝ ගැටළු නිසා ඇතිවෙනවා වෙන්න පුළුවන් ..ඒ ගැන හොඳටම දන්නේ ඔබේ ළඟම පවුලේ වෛද්‍යවරයා ....ඔහු ඔබේ ලේ පරීක්ෂාවක් , සමහර විට මළ පරීක්ෂාවක් වගේම E.C.G. , X ray වගේ පරීක්ෂණත් කරාවි (දන්නවනේ මේක හෘදයාබාධ එක්ක හැංගිමුත්තං කරන නිසා )

බෙහෙතෙන් ලෙඩක් ද ? ලෙඩට බෙහෙතක් ද ?
රෝග තත්ත්වය ගැස්ට්‍රයිටිස් කියල තහවුරු වුනොත් ඔහු ඔබට ඖෂධ කාණ්ඩ කිහිපයක් ලබා දේවි , ඒ අතරේ ප්‍රති අම්ලක ඖෂධ (Antacids)  ඔයාල හොදටම දන්න උදාහරණේ අර පෙපර්මින්ට් රස හපල කන පෙත්ත , එහෙම නැත්නම් ඒ වගේ සුදු පාට කිරි වගේ ඖෂධයක් , මේ හැම එකකින්ම කරන්නේ බඩේ ආම්ලික ගතිය තාවකාළිකව අඩු කරලා දැවිල්ලට සහනයක් දෙන එක ...හැබැයි හොඳට මතක තියාගන්න මේ ඖෂධ එක්ක ඔබේ මළපහ රටාව වෙනස් වේවි , ඒ ගැන අවදානයෙන් ඉන්න .. ඊට අමතරව Histamine blocker කාණ්ඩයේ Famotidine වගේ ඖෂධත් නියම කරාවි ...සමහර විට ඊටත් ප්‍රබල PPI කාණ්ඩයේ Omeprazole වගේ Zole නමින් ඉවර වෙන ඖෂධයක් දෙන්නත් පුළුවන් ...හැබැයි හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි මේ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව අනවශ්‍ය ලෙස දිගු කාළීනව ගන්න හොඳ නැහැ , මොකද එයිනුත් තවත් ලෙඩ ගොඩක් හැදෙන්න පුළුවන් .


මේ ඖෂධ වලට අමතරව ඔබේ රෝග සාධකය අර මුලින් කී බැක්ටිරියාව බව හදුනාගත්තොත් Antibiotics වර්ග කිහිපයක් (Clarythromycine වැනි ) දෙන්නත් පුළුවන් ..එහෙම වුනොත් අනිවාර්යයෙන්ම එම Antibiotics නිවැරදි වෙලාවට , වෛද්‍යවරයාගේ උපදෙස් මතම ගන්නට ඕන , එහෙම නොවුනොත් 2012 වෙන වෙන්නට පුළුවන් කියන ලෝක විනාශයට හේතු වන තත්ත්වයකට ඔබ පත් වෙන්න පුළුවන් ...(මෙතැනින් එන්න ඒ ගැන කතාවට)


දැන් ඉතින් දැන ගත්තනේ පරිස්සම් වෙන්න , පන්සලෙන් පටන් ගත්ත නිසාම ඉවර කරන්නම් මෙහෙම “ආරෝග්‍යා පරමා ලාභා .....සන්තුට්ඨි පරමං ධනං “ ......

දැන් නම් හොඳටම ඇති වගේ ..ඩියුටි යන්නත් ලේස්ති වෙන්න එපායැ ...එහෙම නම් මම යනවා ..ආයෙත් දවසක ලෙඩක් දාන්න එන්නම් ......

25 comments:

  1. අද ලිපියේනම් ප්‍රශ්නයක් අහන්න තියලම නැතුව ලියලා.
    බොහෝම ස්තුතියි..

    ReplyDelete
  2. ඒත් තවත් දැනුවත් විය යුතුමයි ...හැකි තරම් සටහන් කළත් ඔබට යම් ගැටළුවක් පවතීනම් විමසන්න , පිළිතුරු ෙදන්න කැමැත්ෙතන් ඉන්නවා ....ස්තුතියි ගිම්හානි ඔබට

    ReplyDelete
  3. මේ පැහැදිලි කිරීම් නම් ඉතා විශිෂ්ඨයි, අපිවත් කාටවත් මේ තරම් හොඳට පැහැදිලි කරන්නේ නෑ මේ දේවල්. හරි අගෙයි.

    ReplyDelete
  4. @Anithkona '
    බොහොම ස්තුතියි ඔබේ දිරි ගැන්වීම . මා සිත තවත් සටහනක් කෙරේ පොළඹයි ....

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක් මහත්තයෝ. නොදන්න ගොඩක් දේවල් දැනකියා ගන්න ලැබුනා. මම් මෙතනට ආවේ දිනිතියි මිතිලියිගේ චූටි බ්ලොග් පිටුවෙන්.

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි මධුරංග ..අපි සංහල බ්ලොග් වලින් අපේ මිනිසුන්ට යමක් කරමු නේද ?

    ReplyDelete
  7. ලිපි හැමදාම කියෙව්වට කොමන්ට් එකක් නම් නොදාන තරම්. ( ඒකට ඉතින් මට බැනලා වැඩක් නෑ ඔය සින්හල හොඳ ළමයි මොබයිල් වල යුනිකෝඩ් සිංහල කියවන්න ඇප්ලිකේශන් හැදුවට ලියන්න එකක් හදලා නෑ. )
    මේ දවස් වල උදේ ඉඳන් රෑ වෙනකම් රෑ ඉඳන් උදේ වෙනකම් මාත් මුහුණදෙන තත්වයක් තමයි මේ. කොටින්ම කීවොත් කෑම ගැන අන්තිමට කාපු දෙයක් දරා ගත්ත දවසක් මතක නෑ. පිත වමනේ (yellow bile)දම දමා වේදනාවේ එහාම කෙලවරේ ඉන්නකොට අනේ නොකිය වෙනවා නෙමෙයි.
    මේ රටාවන් වලට ගොඩාක්ම මුහුන දෙන්නේ අර දියුනුයි කියන රටවල උන්දලා තමයි. කොහෙද ඉතින් වෙලාවක් කලාවක් කන්න බොන්න.මමත් ඉතින් දන්න කාලේ ඉඳලා උදේට තිත්ත කෝපි (espresso) කට ගාලා දවසෙන් භාගයකටත් වඩා ගෙවපු කෙනෙක්. දැන් උනත් ඒක වෙනස් කරන්න ඕන උනත් උදේට කන්න හුරු වෙන්න මට බෑ. එහෙම අකැමැත්තෙන් කාලා වමනේ දානකොට අර වේදනාව හොඳයි වගේ.
    මේවට natural remedy එහෙම නැද්ද?

    ReplyDelete
  8. It's another important article.I got a lot about Gastritis. Thank you.

    ReplyDelete
  9. @Il mondo di una povera pazza,
    බොහොම ස්තුතියි කියෙව්වාටත් , දිරි ගැන්වූවාටත් ...
    natural remedies ගැන නිවැරදිම අවබෝධයක් නැති නමුත් මට හැඟෙන දේ නම් මේ වන විට ඔබට Gastric ulcer තත්ත්වය ඇතිවී තිබෙන බවයි මගේ හැඟිම , එසේ යැයි තහවුරු වුවහාත් ඉක්මණින් නිවැරදි ප්‍රතිකාරයක් අත්‍යවශ්‍යමයි ..නැතිනම් ලොකු කරදරයක් වෙන්නට පුළුවන් ...
    ඉන් පසු ආහාර රටාවේ යම් වෙනසක් කරගන්නට වේවි ...මම දන්න තරමින් ඔය රටවල Fiber diets ලෙසින් තේ ලෙසින් පානයට ගන්න පුළුවන් සියළු පෝෂණ ද්‍රව්‍ය අඩංගු හුඟ වෙලාවක් බඩේ රඳෙන පිටි වර්ග තිබෙනවා ..ප්‍රතිකාරය තමයි පළමු අවශ්‍යතාව , ඊට පස්සේ මේ වගේ උපක්‍රමික ආහාරයකට වත් හුරු වෙන්න උදේ වරුවට ..
    මීටත් වඩා යමක් Natural remedy ගැන දැන ගත්තොත් ඔබව දැනුවත් කරන්නම් ...

    ReplyDelete
  10. @Sujeewa ;
    Thank you dear my friend , Your are dearest friend of mine .....

    ReplyDelete
  11. This is great...Thanks a lot !!!

    ReplyDelete
  12. බොහොම වැදගත් ලිපියක්. ඒ වගේම තවත් ඉල්ලීමක් කරන්න කැමතියි. ගැස්ට්‍රික් වලින් වලකින්න කරන්න පුළුවන් මොනවද කියලත් කියනවද ? බොහොම පිං...

    ReplyDelete
  13. ස්තුතියි චතුරංග ,
    ඔව් මේ තත්ත්වය වලක්වා ගන්නට ඔබේ ආහාර රටාව නිවැරදි කර ගැනීම ඒ යටතේ spicy foods ප්‍රමාණය අවම කර ගැනීම , මධ්‍යසාර භාවිතය අවම කිරීම , ආතතිය පාලනය කර ගැනීම වගේ කටයුතු කරන්නට ඕන , ඒත් ප්‍රධානතම හේතුව වන H.pylori ගෙන් පරිස්සම් වන්නට පිරිසිදු අළුත් ආහාරයට හුරු වෙන්න වෙනවා ...

    ReplyDelete
  14. අඩුවෙන් comment කලාට මම නිතරම ඔබතුමාගේ ලිපි කියවන කෙනක්.
    ලිපියක් ලියන විට බෙහෙත් වර්ග සහ ඒවායේ නම් සදහන් නොකර සිටීම වඩා හොදයි මගේ අදහසයි. ඒක බෙහෙත් අවභාවිතය වැලක්වීමට හේතුවේවී කියලා මට හිතෙනවා. මොකද එකම බෙහෙත වුනත් එකිනෙකාට වෙනස් අකාරයෙන් ක්‍රියා කල හැකි නිසා. මගේ අදහස ගැන වරදවා නොහිත ඒ ගැන පොඩ්ඩක් හිතා බලන මෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
  15. ස්තුතියි , ඔබේ අදහසට ගරු කරමි , ඉදිරි ලිපි වලදි මෙය නිවැරදි කරන්නම් ...ඇත්ත, අපේ රටේ පවතින ඖෂධ වෙළදාම් රටාවේ හැටියට ඕනම කෙනෙක්ට ෆාමසියකින් බෙහෙතක් නම කියල ඉල්ල ගන්න පුළුවන් නේ . වෛද්‍ය අනුමැතියකින් තොරව මේ විදියට සිදුවන ඖෂධ වෙළදාමේ එක් විනාශකාරී අවස්තාවක් තමයි මේ M.R.S.A තත්ත්වයත් , නමුත් වෙනත් බොහෝ රටවලදී වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ නිකුත් කරන්නෙ නැහැ .ස්තුතියි සරු යෝජනාවක් ගෙනාවාට

    මගේ 33 වන ලිපිය බලන්න , ඔබට සතුටු හිතේවි , ඔබේ අදහසට දැනටමත් මම එකඟ වෙලා තිබීම ගැන.

    ReplyDelete
  16. ඔබතුමා මගේ අදහස පිළිගත්ත ඒක ගැනත් එය ක්‍රියාත්මක කිරීමට එකගවීම ගැනත් ඔබේ නිහතමානිත්වය ගැනත් අතිශය සතුටු වෙමි.
    මේ වගේ ලිපි ලියන්න මගේ හිතෙත් ලොකු අදහසක් තිබුනත් ඒක තවම අදහසක සීමාවෙලා සාමන්‍ය බ්ලොග් එකක් කරන්න හේතුවෙලා තියෙන්න පැය 8 ක සේවාවක් කරන්න දිනපතා පැය 7 කට වඩා ගමන් කරන්න සිදුවෙලා තියෙන නිසයි.

    ReplyDelete
  17. @All in one ,
    ඇත්තෙන්ම සතුටුයි ඔබවන් අයෙක් හඳුනාගන්නට ලැබීමත් , ඔව් අපි හැකි තරම් නිවැරදි සහ වැදගත් දෙයක් සිංහල බ්ලොග් අවකාශය තුලට ලබා දෙමු

    ReplyDelete
  18. excellent article. thank you so much
    (sinhalen kota ganna bari weema gana kanagatuwa)

    ReplyDelete
  19. janith chandima . Thank you for your comment ,
    Its Ok , Language is not a problem , Read it and get some knowledge and spread it through your friends ,

    ReplyDelete
  20. රෝගය හදුනා ගැනීමට කල හැකි පරීක්ෂණයක් කියන්න පුලුවන්ද.

    ReplyDelete
  21. රෝගය හදුනා ගැනීමට කල හැකි පරීක්ෂණයක් කියන්න පුලුවන්ද.මෙ රෝගයට ප්‍රථිකර ගනිමට සුදුසු doctor කෙනෙක් කියන්න පුලුවන්ඩ.ගොඩක් අය මේක ගනන්ගන්නෙ නෑ.

    ReplyDelete
  22. -Anonymous,
    මෙම තතත්ත්වය ගැන පුර්ව ලක්ෂණ ලිපියේ සාකච්ඡා කළා ....පරික්ෂණ වශයෙන් ඇති බොහොමයක් වෛද්‍ය නිගමනය මත සිදු විය යුතු නිසා වඩාත් සුදුසු ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනී මයි ....ස්තුතියි

    ReplyDelete
  23. අති උත්සන්න අවස්ථාව ට පැමිණි රෝගියකු මුනගැසිය යුතු docter කවුද ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)