2012/01/29

81) ගල නොපතන්නයි ..හොඳටම බොන්නයි

හිම කුමාරියක්ද ?...
“ලොකූ ...මේ දවස් වල වෙනදට වැඩිය හොඳට වතුර බොන්න ඕන තේරුණාද ? ....අනෙක මේ කෑම දාන්නේ ගෙදර ගෙනත් කන්න නෙවි ...“ දෙන්නටම කියන්නේ ...අක්කට සැර දාන කොට හොරෙන් පැත්තකට වෙන “මිතිලි නංගිටත්“ එක්ක අම්ම දේශනයක් .. ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා උදේ පාන්දර හැමදාමත් ඔය වගේ උපදෙස් මල්ලක් ලැබෙනවා , ඒත් මේ දවස් වල හිම වැස්සත් එක්ක අපේ දෙන්නටම කන්න බොන්න “වෙලාවක්“ නැති බවයි හැමදාමත් හවසට දැන ගන්න ලැබෙන්නේ , හේතුව හොයල බලන්න නම් ඇඳුම් දිහා බලන්න ඕන , මේ දවස් වල කට්ටියට බර වැඩ , ඉස්කෝලේ පිට්ටනිය පුරා හදල තියෙන snow manලා , snow fairyලා හදන්න “ඉන්ටවල් “එක වැය වුනාම කන්න වෙලාවක් ඇතැයි නේද ? ....


කොහොම වුනත් , මේ කතා අස්සේ මගේ හිතට තවත් “ලියන්න යමක්“ එක් වුනා , ඒ ප්‍රමානවත් දියර පාණය නොකිරීම නිසා ඇතිවන්නට පුළුවන් “ගලක්“ ගැන ..(මේ ලියන දෙයින් එක් අයෙක් හරි දැනුවත් වේවි කියන අරමුණ ඇතිව තබන මේ සටහන් බලන්නේ නම් අතේ ඇඟිළි ගානක පිරිසක් වෙන්න පුළුවන් , ඒත් ඒ දැනුම ඔවුන් වෙතින් තව දුරටත් බෙදී යනවා නම් , එය සතුටක් ..)

ඔව් දිග කතා වලට යන්න ඕනැ නැහැ , අපි අද කතා කරන්න හදන්නේ , වකුගඩු සහ ම්‍රත්‍රා වාහිනි ආශ්‍රිතව ඇතිවන ‘මුත්‍රා ගල්“ ගැන Renal calculi ..(මොකද තවත් තැන් වල , ඒ කිව්වේ පිත්තාශය ,‍ඛේට ග්‍රන්ථී , ඔය වගේ තවත් තැන් වල මේ ගල් Calculi (කැල්ක්‍යුලි) හැදෙන්න පුළුවන් )

ඇත්තටම මේ ගල් මොනවද ? හැදෙන්නේ කොහොමද ? කියල අපි ටිකක් හොයල බලමු ..ඔය Renal calculi හැදෙන්න ඕන කරන ඔක්කොම දේවල් ලැබෙන්නේ අපේ ඇඟෙන්මයි , ඒ කිව්වේ Calcium , uric acid ,  වගේ රසායනික සංයෝග තමයි ප්‍රධානම මුල ද්‍රව්‍ය වෙන්නේ මේ Calculi හදන්න . එයිනුත් ප්‍රධානම කැල්සියම් ..එයා අපි ආහාර පාන මගින් ඇඟට දාගන්න Oxalate  , Phosphate වගේ කාණ්ඩ එක්ක එකතු වෙලා තමයි මේ විදියට ගලක් බවට පත්වෙන්නේ , කැල්සියම් වලට අමතරව මුලින් කීව වගේ යූරික් ඇසිඩ් (සාමාන්‍යෙයන් මුත්‍රා වල තියෙන) නම් රසායනිකයත් මේ ගල් හදන්න සාධකයක් වෙනවා . ඒ වගේම මේ යුරික් ඇසිඩ් ගල් වැඩි පුර හැදෙන්නේ පිරිමි අයට බව අද හදුනාගෙන තිබෙනවා . ඊට අමතරව පිළිකා ඖෂධ ගන්නා අයටත් වැඩි පුර අවස්ථාවක් තියෙන්නේ Uric acid ගල් හැදෙන්නනයි . ඔය දේවල් වලට අමතරව සමහර ඖෂධ සඳහා ගන්නා ඖෂධ නිසාමත් මේ විදියට මුත්‍රා ගල් හැදිමේ අවදානමක් තිබෙනවා .(එය වලක්වන්න තමයි ඒ ඖෂධ වර්ග ගන්නා විට වැඩිපුර වතුර බොන්න කියන්නේ ..කියන දේ නොඇහැව්වොත් “ගල්ම“ තමයි ) .ඒ වගේ දිගින් දිගටම මුත්‍රා ආසාදන U.T.I (Urinary tract infection තියෙන එකත් හොඳ මදි ..එයාලටත් ගල් අවදානම තියෙනවා)

දැන් අපි “ගල් හැදෙන හැටි “ කතා කළානේ .ඊළඟට අපි බලමු කොතනද මේ ගල් හැදෙන්නේ කියල .එය දැන ගත්තම අපිට එන රෝග ලක්ෂණ එන විදියට වගේම තවත් කරුණූ තේරුම් ගන්න පහසුයි . ඒකට අදත් පාඩම ..

 මේ තියෙන්නේ අපේ මුත්‍රා නිශ්පාදනය සහ බහිස්ස්‍රාවයට අදාල පද්ධතිය , මේ ඉහළ තියෙන වකුගඩු ඇතුළෙ ගල් හැදුනොත් ඒ තත්ත්වය අපි නම් කරන්නේ Nephrolithiasis කියන නමින් (Nephro-වකුගඩුව Lithos-ගල්) ....ඊට පහලින් තියෙන බට (Ureter) ඇතුලේ වගේම ඊටත් පහතින් තියෙන මුත්‍රාශය (Bladder) තුලත් මේ විදියට ගල් හැදෙන්න පුළුවන් . මේ හැම තැනකදිම ගල් හැදෙන්නට පුළුවන් වුනත් ඉන් වකුගඩුව තුල ගල් පැවතීම හුඟක් අනතුරුදායකයි . ඒ කිවවේ Nephrolithiasis වලට නිසි ප්‍රතිකාර නොගෙන හිටියොත් , එය වකුගඩුව නරක්වී , Renal failure නැත්තම් වකුගඩු මිය යාමට පුළුවන් . එය ඉතාමත් අවාසනාවන්ත සහ ජීවිතය ගැන අවදානම් අවස්ථාවක් . ඒ වගේ දරුණු තත්ත්ව ඇති කරන්න වුනත් මේ පුංචි ගලට පුළුවන් .

ගල් ම(ල්)ලක් 
දැන් ටිකක් බලමු මේ අනතුරට ඔබත් අවදානම්ද කියල ...මුලින්ම කියන්න ඕන Renal calculi කියන තත්ත්වය අපි ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් , ඒත් පිරිමි අපිට වැඩි අවස්ථාවක් තියෙනව Gents first ...ඒ වගේම පවුලේ කෙනෙක්ට “ගල් “ හැදුනනම් ඔබටත් පොඩි අවදානමක් , මොකද මේ ගල් හැදෙන හේතු සාධක අතරේ රුධීරයේ පවතින සමහර රසායනික සංයෝගත් හේතුවෙන නිසා .ඒනිසා පවුලේ කෙනෙක්ට හැදුනනම් අනිත් අය  පරිස්සම් වෙන එක , විශේෂයෙන්ම අනෙක් අවදානම් සාධක වලින් ඉවත් වන එකයි කළ යුතු .  මේ වගේ සාධක වලට අමතරව මුත්‍රා ගල් හැදෙන්නට ප්‍රධානම “අවදානම් සාධකය“ විදියට අද හඳුනාගෙන තිබෙන්නේ “විජලනය“ ..ඒ කිව්වේ ප්‍රමාණවත් තරම් දියර පානය නොකිරීම . ඒ කියන්නේ වසය , බර , පරිසරයේ තත්ත්වය වගේ සාධක එක්ක ඇඟට අවශ්‍ය දියර ප්‍රමාණය වෙනස් වුනත් , සාමාන්‍යෙයන් වැඩිහිටියෙක් දියර ලීටර් 1.5ක් දෙකක් අතරේ පානය කරන එකයි සුදුයි , දැන් මම කිව්වේ නැහැ එකපාරට වතුර ලීටර් දෙකක් බොන්න කියල , මේ කිව්වේ දවසේ පැය විසි හතර පුරාම , බොන වතුර , තේ , වෙනත් දියර (මේකට ඇල්කොහොල් එක් කරන්න එපා ..එතකොට ගල් හැදීමේ අවදානම ඉහළ යන්න  පුළුවන්) , ඔක්කොම මීට ඇතුලත් ) ..කොහොම වුනත් දියර ප්‍රමාණය මීට පෙර කී සාධකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් . ඒ නිසා මෙන්න මේ Calculator එක භාවිත කරගෙන තමන්ට ඕන දියර ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන් . ප්‍රමාණවත් තරම් දියර ගත්තාද කියන එක ගැන පොඩි අවබෝධයක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මුත්‍රා වල වර්ණය , එය ලා කහ පාටට හුරු නම් ඒ  කියන්නේ ප්‍රමාණවත් දියර ප්‍රමාණයක් අරගෙන තිබෙනවා , මුත්‍රා තද කහ පැහැයක් නම් (රෝගී තත්ත්වයක් , ඖෂධ හෝ ආහාර වර්ගයක් නිසා හැර) ඒකේ තේරුම ඔබ “විජලනය“ වෙලා කියල හිතන්න පුළුවන් .

මේ “විජලන“ ප්‍රශ්නේට හැරෙන්න , ඔබ දියවැඩියාව , අධිරුධිර පීඩනය වගේ තත්ත්වයකට දිගු කාළීනව ප්‍රතිකාර ලබනවා නම් හුඟක් පරිස්සම් වෙන්න.ඒ වගේම “රක්තවාතය Gout“ තත්ත්වයෙන් පෙළෙන කෙනෙකුටත් Renal calculi සඳහා වැඩි අවදානමක් තිබෙනවා . ගර්භණී අවස්ථාවෙදිත් මුත්‍රා ගල් හැදෙන්න අවස්ථාවක් තියෙනවා.

හොඳයි දන් බලමු මේ “ගල් ඇතිවුනාම“ අපිට කොහොමද දැනෙන්නේ කියල ...ඔබ දන්නවද ඔබටත් , දැනටමත් මේ අවදානම තිබෙන්න පුළුවන් ,මොකද මේ හුඟක් Renal calculi වල මුල් අවස්ථා වලදි එහෙම නැත්නම් වකුගඩුව වගේ තැනක තිබෙන අවස්ථාවකදි වේදනාවක් ඇති නොවන තරම් , එය වකුඩුවේ හරි , ඒ නාලයක හරි හිරවුනාම තමයි වේදනාව ඇති වෙන්නේ . හිර නොවනුත් සමහර ගල් ඔය මුත්‍රා බට දිගේ ගමන් කරන කොටත් වේදනාවක් එනවා . (විශේෂයෙන්ම උල් කටු වගේ පිහිටිම් සහිත ගල් ගමන් කරත්දි ) . කෙටියෙන්ම කිව්වොත් ප්‍රධානම ලක්ෂණය තමයි “වේදනාව“ ..මේක නිකම්ම වේදනාවක් නොවෙයි , කොන්ද පැත්තෙන් පටන් අරගෙන බඩ දිගේ පහලට ඇවිත් ලිංගික ප්‍රෙද්ශය දක්වා දුවන , බොහොම දැඩි , පුපුරු ගසනවා , නැත්නම් අනිනවා වැනි  තද වේදනාවක් . මේ වේදනාවේ තද කම නිසාම මේ එක්ක වමනය යන්නත් ඉඩ තියෙනවා , සමහර විට මේක “බඩවැල් මිරිකනවා වගේ“ දැනෙන renal colic එකක් වෙන්නත් පුළුවන්.  මේ එක්කම මුත්‍රා කරත්දි මුත්‍රා මාර්ගය ආශ්‍රිතව වේදනාවත් එක්ක , ලේ මිශ්‍රිතව මුත්‍රා පිටවෙන්න පුළුවන් . සමහර විට මුත්‍රා බර දැනුනත් , එය පිට  කරගන්න බැරි වෙලා ලොකු වේදනාවකට පත්වෙන්නත් , මේ ගල පිහිටන තැන අනුව ඉඩ තිබෙනවා.  මේ විදියට වරින් වර මුත්‍රා එක්ක ලේ යන අයෙක්ට , ඊට දවසකට දෙකකට පස්සේ තදට උණ ගැනෙන්න පුළුවන් , ඒ කියන්නේ දැන් ඔබට මුත්‍රා ගල් මගින්, සිදුවන “සිරීම්“ නිසා මුත්‍රා ආසාදනයකුත් හැදෙන්න පටන් අරගෙන  , දැන් නම් බලන් ඉන්න එපා ඉක්මණීන් වෛද්‍යවරයෙක් කරා යොමු වීමයි සුදුසු.

මේ කියන ලක්ෂණ ඔබට තිබෙනවා නම් ප්‍රමාද කරන්න එපා . සුදුසු වෛද්‍යවරයෙක්ගෙන්  ප්‍රථීකාර ගන්න . හුඟක් වැදගත් දෙන බෙහෙත් බොන එක වගේම , දෙන උපදෙස් පිළිපදින එකත් , තත්ත්වය ටිකක් දුර දිග ගිහිල්ලනම් , ඔබට රෝහලකට යොමු කරාවි , එහිදි , බඩේ Xray , CT. scan වගේම Ultra sound පරික්ෂණත් කරන්න පුළුවන් .ඊට අමතරව ඇඟට යම් ඩයි වර්ගයක් ඇතුළු කරලා ගන්න විශේෂිත Xray  මගිනුත් ගල් පිහිටන තැන , ප්‍රමාණය වගේ තීරණ ගන්නට ඔබේ සෞඛ්‍ය කණ්ඩායම යොමු වේවි.

හරි අපි හිතමු “ගල් “ තිබෙන බව හදුනා ගත්ත කියල , දැන් ඉතින් ඔපරේෂන් කරන්නම වේවිද ? ...බය වෙන්න එපා , අද ..එකපාරටම Operation කරන්න ඕන නැති තරම් මොකද ඊට වඩා පහසු ප්‍රතිකාර ක්‍රම හුඟක් තියෙනවා . අනෙක ගල් හුඟාක්ම කුඩා නම් ඔබට යම් වේදනානාශක වර්ගයක් එක්ක , මුත්‍රාකාරක Diuretics වර්ගයක් දෙන්න පුළුවන් , එවිට වෛද්‍යවරයා ඔබට පවසාවි වැඩි පුර දියර වර්ග ගත යුතු බව .දැන් ඔබට තියෙන්නේ බෙහෙත් බීලා , හොඳට බීලා ඉන්න එක ..වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා කරන්නට යන්න වේවි , හරිම වැදගත් දැන් ඔය “මුත්‍රා පල් කර කර ඉන්නේ නැතිව“ මුත්‍රා බර දැනුන අවස්ථාවේ එය බැහැරලන්නට කටයුතු කරගන්න . සාමාන්‍යෙයන් මේ ප්‍රතිකාරයෙන්ම ඔබේ ගල් පිට වෙලා යන්න 80% ක විතර හැකියාවක් තිබෙනවා.

මීට අමතරව මේ ගල් වල තියෙන රසායනික සංයෝග බිඳ වට්ටන්න , තව දුරටත් ගල ලොකු වීම වලක්වන්නත් බෙහෙත් වර්ග දෙන්න පුළුවන් (ගල් දියකරන්න කියලයි පොදුවේ කියන්නේ ) ..

මේ බෙහෙත් සියල්ලම ප්‍රමාණවත් නැතිනම් , ඔබට පුළුවන් ගල පුපුරවා හැරල , ඒ කුඩා ගල් කෑලි සාමාන්‍ය විදියටම මුත්‍රා එක්ක පිට කරල ඔබේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න , මේ ක්‍රමය අපි නම් කරන්නේ Lithotripsy කියල (ExtraCorporeal shock wave  lithotripsy ) . මෙහිදි කරන්නේ අතිධ්වනි තරංග කියන භාවිත කරමින් ගල කුඩු කරන එක . මේක ලොකු වේදනාවක් ඇති කරන ප්‍රතිකාරයක් නම් නෙවි , හැබැයි මේ පොඩි ගල් කුඩු මුත්‍රා එක්ක පිට වෙන කොට නම් සුළු වේදනාවක් ඇති වෙනවා තමයි , එයත් වේදනානාශක වලින් අඩු කරගන්න පුළුවන් .

ගල් ඇදීම ...
මේ ක්‍රමයටත් ඉවත් කරන්න බැරි ගල් (ප්‍රමාණයෙන් විශාල , ඒ වගේම වකුගඩුව වගේ ඉන්ද්‍රියයන් ඇතුලට ගිලී ගිය ) ඉවත් කිරීමට ශල්‍යකර්ම කරන්න වෙනවා . එයත් දැන් බහුලව කෙරෙන්නේ බඩේ පුංචි සිදුරකින් ඇතුළු කෙරෙන Endoscope ක්‍රමයෙන් , මේ සියල්ල මගින් කළ නොහැකි නම් තමයි Nephrolithotomy කියන සම හරහා සිදුකරක් මගින් හෝ විවෘත ශල්‍ය කර්මය විදියට කෙරෙන්නේ .

දැන් ඔක්කොමත් කළා කියමු ..මේ රෝග තත්ත්වය දැන් සුව වුනත් ඔබ පරිස්සම් නොවුනොත් ආයෙත් එන්නට ඉඩ තියෙනවා . ඒ කිව්වේ Renal Calculi වරින් වර මතුවෙන්න පුළුවන් තත්ත්වයක්  ,ඒ නිසා පරිස්සම් වෙන්න , විශේෂයෙන්ම එක් අවස්ථාවක හරි මෙය හඳුනගත්තා නම් , නැත්නම් අවදානම් බව හඳුනාගත්තා නම් හුඟක් පරිස්සම් වෙන්න . නැත්නම් මේ පුංචි ගල ඔබේ ජීවිතයම ගිල දමාවි ..

මෙන්න ගල් ගැන වීඩියෝවක් 

එහෙනම් අදට සමු ගන්නවා , තවත් දවසක ලෙඩක් දාන්න හිතාගෙනම ..
-----------------------------------------------------------------------------------------------
මේ දවස් වල “සිංහල බ්ලොග් පරිශ්‍රය“ හරහා හමාගෙන ගිය “ලිංගිකත්වය මූලික වූ“ සුන්දර කුණාටුව ඔස්සේම මේ මාතෘකාවට හසු වුනානම් සමාවෙන්න ...ඒ එක්කම ඔය “කුණාටුවේ හමාගෙන ආ “ සමහර  අවස්ථා , සිදුවීම් සාමාන්‍ය තත්ත්වයන් නොවන බව තේරුම් නොගත් අයත් අපි අතර ඉන්නා බව දැනුන , ඒ  නිසා ඒ හැමෝගෙම හිත සුව පිණිස මගේ 41 වන ලිපියට සිත යොමු කරවන්නට මේ  මොහොත අවස්ථාවක් කරගන්නවා. කැමැත්තෝ පැමිණ කියවත්වා .දැනුවත් වෙත්වා ..කැමැත්තෝ මේ දැනුම තවත් අය වෙත බෙදා හරිත්වා ....

14 comments:

  1. මුත්‍රා ගල් සැදී දුක් විඳින ලෙඩ්ඩු මාත් දැකලා තියනවා .ඒක හරිම වේදනාකරී කියාත් අසා තියෙනවා .. මෙම ගලක් මම දැකලත් තියෙනෙවා.
    මටසිලි‍ටු දුබුරු පැහැති ගලක්. මේ රෝගය පිරිමි අයට වැඩි වශයෙන් සැදෙන්නේ ඇයි කියා කියන්න පුළුවන්ද?
    කෙසේ වූවත් ප්‍රමාණවත් තරම් වතුර බොනවනම් මේ මුත්‍රා රෝග වලින් වැලකෙන්න පුළුවන් බව අත්දැකීමෙන් දන්නවා . හොඳ ලිපියක්. ස්තූතියි.

    ReplyDelete
  2. වතුර බොන ප්‍රමාණය අඩුයි කියලා අහන බැණුම් ප්‍රමාණය එන්න එන්න වැඩිවෙන නිසාවත් දැන් පුරුදු වෙන්න ඕනෙ ගොඩක් වතුර බොන්න

    ස්තුතියි ලිපියට..

    ReplyDelete
  3. වතුර ඔනවට වඩා බිව්වොත් ඒකත් අවුලක් නේද? මටත් කියන්න පුලුවන්ද පිරිමින්ට මේකෙ අවධානම වැඩි කියලා.......

    ReplyDelete
  4. බොහොම ස්තූතියි හැමදාමත්ම වාගේ.
    මෙහෙම සරලව කියාදෙන්නෙ පුළුවන්නම් ඉස්කෝලේ ළමයි පවා අපූරුවට ඉගෙන ගනීවි මේ කාරණා

    පරම ලාභය හිමිවේවා...!

    ReplyDelete
  5. -Gimhani,
    ඔව් සමහර ගල් නම් ඔබ කියනවා වාගේ බොහොම සුමට ඒවා , නමුත් තවත් වර්ගය කිහිපයක් තිබෙනවා ඉන් ඉන් සමහරක උල් කටු වගේ රළු ස්වභාවයක් තිබෙන ගල් වලින් තමයි වැඩියෙන්ම තුවාල වීම් වෙන්නේ , ස්තුතියි පැමිණියාට , මේ ලිපිය බෙදා හරින්නට සහය වූවාට , අදහස් දැක්වූවාට.

    -රූ.... ,
    ස්තුතියි රූ ..දවසට ප්‍රමාණවත් තරමට වතුර බොන්න ...ඒක ලෙඩ ගොඩකින් බේරෙන්න ක්‍රමයක් .

    -Shaggy
    ඔව් Shaggy , ඒ නිසා තමයි වයසට , බරට , දවසේ පරිසර තත්ත්වයට වගේම ඔබේ ක්‍රියාකාරකම් වලටත් අනුව බොන ප්‍රමාණය වෙනස් වෙනවා . නමුත් සාමාන්‍ය ප්‍රමාණය තමයි වැඩි පුර අපි කතා කරන්නේ . ඔව් මේ ප්‍රශ්නයම ගිම්හානිත් අහල තිබුණා . මේක මූලිකවම සංඛ්‍යාත්මකව පර්යේෂණ මඟින් සොයාගත් සාධකයක් , නමුත් මීට හේතු විය හැකි තත්ත්ව ලෙස දේහයේ පරිවෘත්තීව සීග්‍රතාව කාන්තාවන්ට සාපේකෂව ඉහළ අගයක තිබීමත් , ඇන්ඩ්‍රජන් කියන හොමෝන වල සිදුවමකුත් , ප්‍රධානවම නොසැලකිල්ල කියන සාධකයත් ගැන ප්‍රකාශ වෙනවා . ස්තුතියි

    -තිස්ස දොඩන්ගොඩ,
    බොහොම පිං ඔබතුමාටත් පැමිණියාට මෙන්ම අදහස් දැක්වූවාටත් ...

    ReplyDelete
  6. api mewage samahara dewal danagthata oluwata bahala inna kale adui..eth oyage me write style eka..kida bahinwa..maru ...tawa liyanna..jayawewa

    ReplyDelete
  7. -king Ramsis,
    ස්තුතියි , එන්න ඇවිත් කියවන්න , දැනගත්දේ බෙදා දෙන්න ..

    ReplyDelete
  8. මම මේ වෙනකොට මේ තත්වයට පත් වෙලා බෙහෙත් බොමින් ඉන්න කෙනෙක්..ස්කෑන් එකක් කරල බැලුවා..මිමි 9ක ගලක් මුත්‍රාශයේ තියෙනවා..මගේ අම්මෝ..ඒ වේදනාව ගැන නම් අහන්න එපා..වෛද්‍යවරයා බෙහෙත් නියම කරලා දවසට අවම වතුර ලීටර් 3ක් බොන්න කිව්වා..බොන බෙහෙත වගේම බොන වතුර ප්‍රමාණයත් හරිම වැදගත් කියලා එතුමා පුන පුනාම කිව්වා..සති දෙකකින් නැවත ස්කෑන් එකක් කරල බලමු..එතකොට යහපත් ප්‍රථිපලයක් ලැබෙයි කියලත් කිව්ව..නමුත්...මට ඇතිවෙලා තිබෙන රෝග තත්ත්වය..ඊට බලපෑ හේතු සහ මින් ඉදිරියට අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග ගැන ඉතා පැහැදිලි අවබෝදයක් මේ ලිපිය කියවීමෙන් මට ලැබුනා..මන් ගැන සලකනකොට මේ ලිපියේ කාලීන බව හා අගය කියා නිම කල නොහැකියි..
    ඔබට බොහෝම පින්..
    පරම ලාභය ලැබේවා..

    ReplyDelete
  9. මුත්‍රා ගල් කියන එක කාලයක් මට හොඳට වද දුන්නා
    වේදනාව ඉවසගෙන ඉන්න බැරුව බිම පෙරලි පෙරලි ඉඳලත් තියෙනවා
    මුලින්ම වේදනාව පටන් ගත්තේ 2001 දී.
    ඒක නිකම් බෙහෙත් වලට නැතිවෙලා ගියා
    ආපහු 2004, 2005 දී මතු උනා
    අන්තිමට ස්කෑන් කරලා හොයා ගත්තා වකුගඩුවේ ඉඳලා මුත්‍රා පෙරෙන නාලයේ පොඩි පොඩි වැලි කැට වගේ ගල් තියෙනවා කියලා
    මටත් බෙහෙත් විතරයි දුන්නේ
    ඒකෙන් හොඳ උනා

    ඒත් ආපහු 2010 දී දෙවතාවක් ඒ වේදනවා ඇති උනා, මම රට ඉඳලා නිවාඩුවට ගෙදර ගියාම
    ඒ දවස් ටිකේ වැඩ වැඩි නිසා මට වතුර බොන්න උනේ අඩුවෙන්

    මම ඒ වෙලාවේ ස්කෑන් කලේ නැහැ
    සාමාන්‍ය දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා
    ඒකෙන් වේදනාව නැති වෙලා ගියා
    වතුර බොන එක වැඩි කලාම ආපහු ඒ වේදනාව ඇති උනේ නැහැ

    ඒත් මේ පෝස්ට් එක බැලුවහම දැන් මට හිතෙනවා ආපහු චෙක් කර ගන්න එක හොඳයි කියලා

    වකුගඩු හෝ මුත්‍රා ගල් නැති වෙන්නත් අක්කපාන කොළ කන එක හොඳයි කියනවා නේද
    ඒ වගේම Parsley කියන ශාකයේත් වකුගඩු පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා කියනවා

    මේ ගැන ඔබගේ අදහස කුමක්ද

    ReplyDelete
  10. -කළණ,
    ඔබතුමාට බොහොම පිං , ඒ වගේම ඉක්මණින් නිරෝගී සුව ලැබේවායි පතමි .

    -ලොකු පුතා,
    ඔව් හැකියාවක් ඇත්නම් නැවත පරීක්ෂා කරගන්න එක හොඳයි ..ඔබ නම් කර තිබෙන ශාක පත්‍රවල යම් ඖෂධීය ගුණයක් ඇති බව මාත් අසා තිබෙනවා , විශේෂයෙන්ම ඉන්දියාවේ Parsley පත්‍ර , තේ විදියටත් ඖෂධීය පානයක් ලෙසට ගන්නවා ..නමුත් මේ ගැන ලියන්න තරම් මා හට දැනුමක් නැත්තේ මේ පිළබඳව පිළිගත් පර්යේෂණාත්මක තොරතුරු මා සතුව නැති නිසාත් , මුලිකව බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදී මේ පිළිබඳව දැනුවත් නොකෙරෙන නිසාත් .. කෙසේ වුවත් පාන වර්ග වැඩි වශයෙන් ගැනීම තමා වැදගත් ..ස්තුතියි

    ReplyDelete
  11. ගජමුතු වගේ විකුනගන්න තිබුනනං නේද ???

    ReplyDelete
  12. -ඕනයා,
    ඇත්තෙන්ම සමහර ගල් ගජමුතු වගේම තමයි ....ස්තුතියි මල්ලී

    ReplyDelete
  13. ඉතා වැදගත් ලපියක් දැනුවත් කලාට පිං............

    ReplyDelete
  14. ස්තුතියි ඔබට .

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)