2016/02/03

194) හැංගි හැංගි ලොකු වෙලා ලෙඩ දෙනවා “වම“

අද කතාවත් “හදවත“ ගැන . මේ දවස් වල වැඩියෙන්ම කතාවන , වැඩියෙන්ම “විකිණෙන“ දෙයක් නොවැ මේක. ඉතින් ඒ නිසාම මමත් අද පෝස්ට් එකට “හදවත“ම මාතෘකා කරගත්ත. ඒ වගේම ඔබ දන්නව “සොඳුරු සුව අසපුවෙන්“ වැඩි පුර දකින්නට ලැබෙන්නෙ ලෙඩ රෝග  , බෙහෙත් හේත් ගැන කියලා . ඉතින් ඒ සම්මතය නොබිඳම අද අපි කතා කරන්න හදනවා තවත් එක් හදවත් රෝග තත්ත්වයක් ගැන . ඒ තමයි Left Ventricular Hypertrophy කියන තත්ත්වය . මේ ලොකු කතාවට එන්නට ඉස්සර අප පොඩ්ඩක් හෘදයේ ක්‍රියාකාරීත්වය මතක් කරගනිමුද  ?



ලොකු විස්තරේකට යන්න ඕන නැහැ , මොකද අපි හැමෝටම යම් අවබෝධයක් තියෙනවා නේ . නමුත් හදවතේ කූටීර ඔස්සේ ලේ ගමන් කරන විදිය විතරක් පොඩ්ඩක් මතක් කරගනිමු මෙන්න මෙහෙම.
මතකයිනේ හදවතේ තියෙන්නෙ කුටීර හතරක් , උඩින් තියෙන Right Atrium ( දකුණූ කර්ණිකාව) , සහ Left Atrium ( වම් කර්ණිකාව) පහලින් තියෙන්නේ Right Ventricle දකුණූ කෝෂීකාව සහ වම් කෝෂිකාව ( Left Ventricle) .

 දකුණු කෝෂීකාවේ තිබෙන්නෙ ඔක්සිජන් අඩු ( අපිරිසිදු කියල කියමු) රැධිරය , කෝෂිකාව තෙරපෙත්දි මේ රැධීරය,  රූපයේ තියෙන දම්පාට ලේ නාලය ( Pulmonary Artery) දිගේ්  පෙනහළු වලට යැවෙනවා. වම් කෝෂිකාවේ තියෙන පිරිසිදු ( ඔක්සිජන් වැඩි රුධීරය) , තෙරපීමත් සමඟ රූපයේ රතු පාටින් පෙන්වල තියෙන Aorta  -  සංස්ථානික මහා ධමනිය දිගේ මුළු ඇඟ පුරාවටම යවනවා. මේ සඳහා ලොකු තෙරපීමක් කරන්න ඕන නිසාමයි වම් කෝෂීකාවේ බිත්තිය , දකුණට වඩා ටිකක් මහත .

මේ තමයි සාමාන්‍ය තත්ත්වය . නමුත් යම් හේතු ගණනාවක් නිසා වම් කෝෂිකාව තුල දිගින් දිගටම පීඩනය , එය යෙදිය යුතු තෙරපීම වැඩිවීම නිසා , එහි බිත්ති තවත් ඝණ වෙන්නට පටන් ගන්නවා. , තවත් ගණ වෙනවා .  තවමත් අපට ලෙඩක් විදියට දැනෙන්නේ නැති තරම්  , මේ විදියට දිගටම වැඩි වැඩ කරන්නට ගියොත් වම් කෝෂිකාවේ බිත්තිය හුඟක් ඝණ වෙලා ,කෝෂිකාවේ කුටීරයත් කුඩාවෙන තරමට බිත්තිය මහත්වෙලා ,  බර වැඩි වෙනවා. දැන් මේ  පේෂියේ බර නිසා , වෙනද වගේ ලේ ටික මුළු ඇඟ පුරාම තල්ලු කරන වැඩේ හරියට කරගන්න බැහැ. ප්‍ර‍තිපලේ මොකක්ද  ? ඇඟ පුරාවට ලැබිය යුතු ඔක්සිජින් සහිත පිරිසිදු ලේ නිසි පරිදි නොලැබී යාම . ඔන්න දැන් එක එක රෝග ලක්ෂණ එන්න පටන් ගන්නවා . මොනවද ඒ ?
ඔය දකුණු පැත්තේ හදවත මේ ලෙඩේ නිසා වම් කෝෂිකා බිත්තිය ඝණ වුනු හැටි පෙන්වනවා

  • ඇඟපත පුරා රිදෙන , තලල දාල වගේ තෙහෙට්ටු ගතිය 
  • පොඩි වැඩක් කළත් හරි මහන්සියි වගේ , හති වගේ
  • සමහර වෙලාවට කලන්තෙට වගේ එනවා
  • පොඩ්ඩක් මහන්සි වුනොත් හදවත ගැහෙනව පිටතට දැනෙන තරමට 
  • ටිකක් මහන්සි වෙන වැඩක් කළොත් පපුවේ වේදනාවක් මතු වෙන්න පටන් ගන්නවා 
මේ අවස්ථාවේවත්  නිසි පරික්ෂණ ඔස්සේ නිසි ප්‍ර‍තිකාරය නොලැබුණොත් තවත්  ටික කළක් යත්දි හෘදයට වැඩ කරගන්නම බැරිව ජීවිත අවදානමක් ඇති කරවන තවත් හෘද රෝග , Stroke වගේම අනපේක්ෂීත මොහොතක හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වෙලා ක්ෂණික මරණයක් වුනත්  වෙන්න පුළුවන්.

දැන් ඔය වගේ  ලක්ෂණ පෙන්නුවත් මේ රෝගයේ මුල් අවස්ථාවේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති තරම්. ඒ අවස්ථාවේ මේ ලෙඩේ අහුවෙන්නෙ නම් වෙනත් මොකක් හරි ලෙඩකට හෘදයේ ECG එකක් නැත්නම් Echo-cardiogram එකක් කළොත් තමා.

මේ විදියට බැලුවම මේ ලෙඩේ , ගොඩින් බේර ගන්න පුළුවන්  එකක් වගේ නෙවි නේ ? එහෙම නම් වඩාත් සුබයි මේ Left Ventricle Hypertrophy ඇති වන්නට හේතු විය හැකි අවදානම් සාධක හඳුනගෙන ඉන්න එක.
මෙන්න මේවා තමයි LVH  ඇති කරන්නට බලපාන ප්‍ර‍ධාන හේතු ,
  1. මේ හේතු  අතරින් පළවෙනියා අධීරුධිර පීඩනය 
  2. හෘද් කපාට ආශ්‍රිත රෝග පැවතීම
  3. දැඩි සහ ප්‍ර‍බල ව්‍යායාම දිගු කළක් තිස්සේ කිරීම ( Athlete Hypertrophy)
  4. ජානමය බලපෑම මත ඇති වන හෘද් පේෂි ඝණවීම් 
මේ රෝගය වලක්වා ගැනීමෙදි  කළ හැක්කේ අවදානම් සාධක හඳුනාගෙන ඒවාට නිසි ඖෂධ සහ පරික්ෂණ වලට යොමු වෙමින් හෘද් පේෂියට වන බලපෑම පිළිබඳව වරින් වර අගැයුම් කර ගැනීමයි .කෙසේ වෙතත් වියපත් වීමත් එක්කම වගේම දේහ බර වැඩි වීමත් , දියවැඩියාව වැනි කාළීන රෝග තත්ත්ව පැවතීමත් අර මුලින් කී අවදානම් සාධක වලට “පෝර දානවා“ , ඒ කිව්වෙ  තවත් අවදානම් වැඩි කරන නිසා මේ තත්ත්ව වල ඉන්න කෙනෙක් තමන්ගේ වෛද්‍යවරයා සමඟින් LVH සඳහා තමන්ට ඇති අවදානම පිළිබඳ කතා කරල , අහල දැනගන්න එක හුඟක් වැදගත් . මහත්තයලට වඩා නෝනලට ඒක හුඟක්ම වැදගත් . මක් නිසාද මෙ LVH තත්ත්වය කාන්තාවන් අතර පිරිමින්ට සාපේක්ෂව වැඩි බව හඳුනාගෙන තිබෙන නිසා.

එසේ නම් අදට සමු ගන්නට වෙලාව හරි වගේ , මේ දේවල් කියන්නේ අනවශ්‍ය බයක් ඇති කරගෙන ජීවිතේ විඳව විඳවා ඉන්නට නොවෙයි විය හැකි අවදානම් හඳුනගෙන් , ඉන් කළ හැකි මඟහැරීම්  කර ගනිමින් නිරෝගී දිවියක් සතුටින් ගත කරන්නට පෙළඹවීමක් කරන්නට පමණයි.

සමුගන්නම් , සුව සතුට ඔබට පතමින්!
(අද සොඳුරු සුව අසපුවේ මුහුණූපොතේ කණ්ඩායමට 1900 වන  සාමාජිකයත් එක් වුනා , සතුටික්  හිස් දෙඩවිලි නැති , කුණූහරුප නැති , කුණු නැති , දේශපාලනයන නැති මේවගේ පිටුවකට මෙපමණ පිරිසක් එකතු වුනා කියන එක.



ස්තුතියි ඔබට ,

රැදී සිටියාට ,

රැදී සිටිනවාට ,

අළුත් ලිපි සමගින් එක්වනවාට මෙන්ම

වැඩකට ඇති යමක් ගැන කතා කරන්න කැමති ඔබ වැනිම මිතුරන් මේ සමූහයට එක් කරනවාට

---------------------- ස්තුතියි මම මහේෂ් සොදුරු සුව අපසුව පිටුව වෙනුවෙන් !

11 comments:

  1. ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහසට මිතුර !

      Delete
  2. මේ ගැන දැනගෙන හිටියේ නෑ. ගැහැණු අයට බලපාම වැඩි එකට නම් හිත සිදුනා.ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා ! , හිත “සිදුනත්“ හද සිදුනෙ නැත්නම් පරිස්සම් :D . කෝකටත් කියල දැන ගෙන ඉන්න එක වටිනවානේ .

      Delete
  3. හ්ම්...........පරිස්සම්වීම යෙහෙකි කියා සිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මහත්මයා , “දැනුවත් වීම සහ පරිස්සම් වීම“ ඉතා යෙහෙකි. ස්තුතියි ඔබට

      Delete
  4. //දකුණු කෝෂිකාවේ තියෙන පිරිසිදු ( ඔක්සිජන් වැඩි රුධීරය) , තෙරපීමත් සමඟ රූපයේ රතු පාටින් පෙන්වල තියෙන Aorta // මෙතන වම් වෙන්න ඕන නේද?

    හැමදාමත් වගේ හොඳ දැනුවත් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍ර‍සන්න . එය නිවැරදි කළා මේ දැන්. ඔබ මේය මතු නොකළා නම් ලිපියේ වැදගත්ම තැන පටලැවිලි සහගත වෙන්නට තිබුණා. නැවතත් ස්තුතියි ඔබට .

      Delete
  5. හදවත.... වටිනවා. ශරීරාංග බද්ධකිරීම් පිළිබඳ දැනුවත්කිරීමක් කරන්න හැකිනම් අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , මාතෘකාව ටිකක් සංකීර්ණ දිගු ලිපියක් ලෙසින් ඉදිරියේදි එක් කරන්නම් , ස්තුතියි තවත් මාතෘකාවක් එක් කළාට .

      Delete
  6. "ඇඟපත පුරා රිදෙන , තලල දාල වගේ තෙහෙට්ටු ගතිය
    පොඩි වැඩක් කළත් හරි මහන්සියි වගේ"
    me wage matath welawakata athi wenawa math wediya ganan gaththe ne e gena.godak watina lipiyak meka.

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)