2016/02/16

196) හද ගිණි නිවන්නාගේ අවදානම

ගැස්ට්‍රයිටිස් කියන්නෙ අද සමාජයේ , කැස්ස හෙම්බිරිස්සාව වගේම “පොදු දෙයක්“ වෙලා. ඒ නිසා හුඟ දෙනෙක් ඒ රෝග තත්ත්වය ගැන හොඳට දන්නවා. (නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතැනින් ගිහින් ගැස්ට්‍රයිටිස් ගැන කියවන්න පුළුවන්) . 

මේ Gastritis සහ ඊටම සම්බන්ධ GERD උගුර- පපුව දැවිල්ල ඇතිවීම , ආමාශයික වෘණ (Gastric Ulcer)  වගේ තත්ත්ව වලදි ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ අතර , අවස්ථා කිහිපයක් තිබෙනවා .
  • රෝග කාරකය බැක්ටිරියාවක් නම් (H.pylori) ඒ සඳහා ප්‍රතිජෛවක වර්ග
  • ආමාශයේ පවතින දැඩි ආම්ලිකතාව පාලනයට , ප්‍රතිඅම්ල (Antacids) 
  • ආමාශයික යුෂයට එක්වන අම්ල ප්‍රමාණය අඩු කිරීමට යොදා ගන්න ප්‍රතිහිස්ටැමීන වර්ගයේ ඖෂධ (Antihistamines)
  • ආමාශයික , අම්ල නිපදවීම අඩු කරනවන Proton Pump Inhibitors (PPI) ගණයෙ ඖෂධ
මෙයින් අන්තිමට කීව PPI ඖෂධ අද ලංකාවෙත් හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා.........prazole වගේ නම් සහිත විවිධ වෙළඳනාම සහිත PPI ඖෂධ අද ඕනම ඖෂධ වෙළඳ සැළක දකින්නට , වගේම පහසුවෙන් මිලට ගන්නටත් පුළුවන්.

රෝග තත්ත්වය අනුව නියමිත කාළය තුල මෙම ඖෂධය ලබා ගැනීමේ වරදක් නැහැ . (සාමාන්‍යෙයන් එකවර සති දෙකකට වඩා මේ ඖෂධය නියම කරන්නෙ නැතත් , විශේෂ අවස්ථා වල සති 16ක් දක්වා වරින් වර පසු අගැයුම් සහිතව නියම කරන්නට පුළුවන්  ) නමුත් ගැටළුව ඇත්තේ , දිගින් දිගටම බොහෝ කළක් තිස්සේ මෙම ඖෂධය භාවිතයට ගැනීම. මොනවා කළත් හැමදාමත් ගැස්ට්‍රයිටිස් තියෙන නිසා , හැමදාමත් ...........prazole පෙත්තෙන් ජීවත් වෙන්නට හුඟ දෙනෙක් උත්සාහ කරනවා , සමහරුන් වසර ගණනක් තිස්සේ පුරුද්දක් විදියට ගන්න තරමටම එය අත්‍යවශ්‍ය සාධකයක් වෙලා . නමුත් ,දිගින් දිගටම මෙම PPI කාණ්ඩයේ ඖෂධ ගැනීම   ආපදා ගණනාවකට හේතු වෙන බව කළක් තිස්සේ පර්යේෂකයන් පැවසුවා , ඒ අතරේ
  • දරුණූ නියුමෝනියා වැනි ශ්වශන ආබාධ , 
  • ආහාර මාර්ගයේ ඇතිවන ආසාදන , උදරාබාධ  (ඉතා අනතුරුදායක තත්ත්වයට පත්විය හැකි මට්ටමේ)
  • අස්ථි දුර්වල වීම්
  • විටමින් බී ඌණතා සහ ඒ ආශ්‍රිත රෝගාබාධ  තිබුණා. 
පර්යේෂකයන් කළක් තිස්සේ කළ පර්යේෂණ දෙකක ප්‍රතිපල අනුව මේ PPI ඖෂධ දිගු කාළීනව ගැනීම නිසා මොළයෙ සෛල වලට හානි වන බවත් , එහි ප්‍රතිපලය විදියට “මතකය මිය යන“  Dementia රෝග තත්ත්වය ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ඊයේ දවස තුලදි  එළිදැක්වුවා. ඇත්තෙන්ම කිව්වොත් වෛද්‍ය ක්ෂේත්‍රය තුල තිබූ සැකයක් සනාථ කරන ප්‍රතිපලයක් එය. 

මේ අනුව ඔබත් බඩේ දැවිල්ලට , ගැස්ට්‍රයිටිස් වලට වෛද්‍ය අනුමැතියකින් තොරව .......prazole ඖෂධය දිගටම ගන්නවා නම් ටිකක් හිතන්න. සල්ලි දීලා තවත් ලෙඩක් ගන්නවාට වඩා ,රෝග තත්ත්වය පාළනයට ගත හැකි අනෙක් ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වෛද්‍යවරයා සමඟින් කතා කරන්න, නිවැරදි ආහාර රටාව , මානසික සැහැල්ලු බව පවත්වා ගැනීම , ඔබට ගැස්ට්‍රයිටිස් වැඩි කරන ආහාර භාවිතය අඩු කිරීම වගේ උපක්‍රම ඔස්සේ ගැටළුවට විසඳුමක් ලබා ගන්නට උත්සාහ කරන්න. නැතොත් වෛද්‍ය උපදෙස් මත පමණක්ම මෙවන් ඖෂධ නිසි පරිදි පාවිච්චි කරමින් මෙ දැවිල්ලෙන් ගොඩ එන්නට උත්සාහ දරන්න. එය අදට වගේම ඔබෙ හෙට දවසටත් වැදගත් වේවි.

ඩිමෙන්ෂියා රෝගය යනු කුමක්දැයි දැන ගන්නට කැමති නම් මෙන්න ලිංක් එක http://www.nursinglk.com/2012/08/112.html

ගැස්ට්‍රයිටිස් ගැන විස්තර ඇතිව දැන ගන්නට මෙතැනින් පුළුවන් වේවි. http://www.nursinglk.com/2011/07/32.html

එසේ නම් වැලන්ටයින් උත්සව සහ ඊට පස්සේ තිබුණූ Family day  වැඩසටහන් වගේම , පොඩ්ඩන්ට ඉස්කොළෙ නිවාඩු නිසා තිබෙන අවිවේකය අතරේ “පොඩි ලිපියකින්“ අදට සමුගන්න හිතනවා . හැකි ඉක්මණින් තවත් ලිපියක් එක කරන අපේකෂාවෙන් .

ඔබ සැමට සුව සතුට පිරි දිනයක් !

පසුව ලියමි : කළක් තිස්සේ සිංහල බ්ලොග් ලියූ මගේ දූවල දෙන්නත් ටික කළක් නතර වෙලා තිබුණු “පුංචි හිතට දැනෙන දේ“ බ්ලොග් පිටුව ආයෙත් ලියන්න පටන් අරගෙන . වෙලාවක් ඇතොත් ඒ පැත්තට ගිහින් පුංචි දිරි ගැන්වීමක් කරල එන්න පුළුවන් නම් ස්තුතියි ඔබට  මෙන්න එතැනට යන ලිංක් එක http://www.cyberslk.net/

11 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්. මටත් ගැස්ට්‍රයිටිස් තියවනේ..
    අර බ්ලොග් එකටත් ගිහිල්ලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔෙබ් අදහස් දැක්වීම වෙනුවෙන් . ඒ වගේම “පුංචි හිතට දැනෙන දේ “ පිටුව වෙත දක්වන සහයෝගය වෙනුවෙනුත් .

      Delete
  2. මටත් ඔය අටමගලේ තියෙනවා...
    හැබැයි හැදෙන්නේ මට ඕනේ වෙලාවට, ඒ කියන්නේ මට ගෑස්ට්‍රයිටීස් උත්සන්න වෙන්නේ බොහෝ විට මානසික ආතතිය අනුව...

    ReplyDelete
    Replies
    1. හරියට හරි , මානසික ආතතිය ගැස්ට්‍රයිටිස් වගේම ඇදුම තත්ත්වයටත් බලපානවා. ස්තුතියි ඔබ දෙදෙනාටම .

      Delete
  3. ගැස්ට්‍රයිටිස් සමග මුඛයට කෙළ උනා එන්නෙ ඇයි කියා කියන්න පුලුවනිද?

    ReplyDelete
    Replies
    1. ගැස්ට්‍රයිටිස් වගේම ඊට සම්බන්ධ GERD (GAstro- Esophageal Reflux) ආහාර මාර්ගයේ ආමාශය සහ ඉන් ඉහල කොටස් වල ඇති වන්නේ ප්‍රදාහික තත්ත්වයක් , මේ ප්‍රදිහික තත්ත්වයත් එක්ක වෙනස්කම් රැසක් වෙනවා. එයින් එකක් විදියට කෙළ ස්‍රාවය වීම වැඩිවීමත් වෙන්නට පුළුවන් . එවන් අවස්ථාවකදි තමයි වැඩිපුර කෙළ ඉනීම සිදුවන්නෙ . ස්තුතියි ගිම්හානි අළුත් කරුණක් එක් කරන්නට මග පෑදුවාට.

      Delete
  4. ටිකක් සැර බෙහෙත් වර්ගත් එක්කත් ඔය කියන බෙහෙත දෙනවා නේද? ගස්ලබ්බා මේ ටිකේ ටිකක් වැඩිපුර ඔය බෙහෙත බිව්වා.නවත්තන්න ඕනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , නමුත් සමහර ඔෟෂධ සමඟ සති කිහිපයක් මේ ඖෂධය ලබා දෙන්නට පුළුවන් , ඒ අදාල ඖෂධ මඟින් සිදුවිය හැකි ආමාශයක ආපදා අඩු කිරීමට . එය නියම කළ පරිදි ලබා ගැනීම වැදගත් , නමුත් එලෙස වෛද්‍යනියමක් නැතිව , මාස ගණනක් තිස්සේ දිගු කාළීනව ලබා ගැනීම නම් අවදානම් බවයි මෙහි පර්යේෂකයන් පවසන්නනේ . සුබ දවසක් ඔබට  

      Delete
  5. vadagath lipiyak. I am taking esomeprazole. I also have some phlegm in my throat all the tim. Doctor's are prescribing same one over and over again.

    ReplyDelete
    Replies
    1. ඔව් තවමත් මේ තත්ත්වය තවමත් දිගටම සිදුවෙනවා , එක හේතුවක් මෙවන් තත්ත්වයන් පිළිබඳ යාවත්කාළීන නොවීම , දෙවැන්න නොසැලකිල්ල , ඒ වගේම තෙවැන්න වෙනත් කිසිදු ප්‍රතිකාරයකින් ප්‍රතිපලයක් නැති තැන , ගැටළුව තාවකාළිව යටපත් කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලබා දීම. කෙසේ වෙතත් මේ අවදානම පිළිබඳ ලොව පුරාම ඉන්නා වෛදයවරුන් සක්‍රියව කටයුතු කිරීමට තවත් කළක් යාවි , එතෙක් !
      ස්තුතිිය මිතුර ,

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)