2016/02/09

195) තෙරපන විදිල්ල

තවත් අළුත් සතියක් . හැම සතියකම ලිපි කිහිපයක් පල කරන්නට දරන උත්සාහය තව දුරටත් පවත්වා ගන්නත් එක්ක අද තවත් ලිපියකට මුල පුරන්නයි උත්සාහය. හැබැයි ලිපියේ එහාට යන්නට ඉස්සර වෙලා කියන්නට ඕන , මේ ලිපියේ කියවෙන දේවල් කෙනෙක්ට අප්‍ර‍සන්න වෙන්න පුළුවන්. ඒ නිසා “වින්දනයක්“ ලබන්න පමණක් හිතාගෙන ආව නම් මෙතැනින් එහාට කියවන එක ඒතරම්ම පලක් නැති වේවි .

එසේ නම් අද මාතෘකාව “වමනය“ .
“ඊඊඊඊයාාාාාා .... ඈෑෑෑෑයීීීයාාාාා“
මේ Projectile vomiting වගේ



ඔය ඒකනේ මම මුලින්ම කීවේ අද මාතෘකාව ටිකක් අප්‍ර‍සන්න වේවි කියලා. කෙසේ වුවත් , ලිපියේ ඉදිරියට යනවා නම් මෙ මාතෘකාව ටිකක් විතර වෙනස් වෙන බව කියන්න ඕන . ඒ අද කතා කරන්නෙ නිකංම වමනය ගැන නොවෙයි , ප්‍ර‍ක්ෂිප්ත වමනය හෙවත් Projectile vomiting ගැන.

මොකක්ද මේ ප්‍ර‍ක්ෂිප්ත වමනය කියල කියන්නේ ?

මෙහෙමයි ඔබට මතක ඇති නේ සාමාන්‍යයෙන් වමනය දාත්දි , සැලකිලිමත් නොවුනොත් , පරිස්සම් නොවනුනොත් එය පතිත වන්නෙ ඇඟටම , නැත්නම් පොඩ්ඩක් ඈතට .(මේක කියත්දි මට මතක් වුනේ ඒ දවස් වල මඟුල් ගෙවල් වලට එහෙම ගියාම අපේ මිත්‍රයෝ සැර ජාති බීල , කෑම කන්න වාඩි වුන වෙලේ ඉඳන් ඇඟවල් පුරා හලා ගන්න වමනය ගැන .)  ඒ සාමාන්‍ය “වමනය“ දැමීමට වඩා , මෙ විශේෂිත අවස්ථාවේ ‍, වමනය පිට වෙන්නෙ ලොකු පීඩනයක් එක්ක . ප්‍ර‍තිපලේ වමනය ඇඟෙන් ඈතට “විදින“ එක . ඇඟෙන් අඩි දෙකක් තුනක් විතර ඈතට වුනත් මේ ප්‍ර‍ක්ෂිප්ත වමනය විදින්නට පුළුවන්.
සාමාන්‍ය වමනය

මෙන්න මේ විදියට “ඈතට විදින“ වමනය දැමීමක් වෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන එක වටිනවා . විශේෂයෙන්ම මෙ “විදිල්ල“ වරින් වර සිදුවනවා නම් , කිසිසේත්ම නොසලකා නොහැරිය යුතු තත්ත්වයක් නොවන බව කියන්නට ඕන .

අපි දැන් බලමු මෙ ප්‍ර‍ක්ෂිප්ත වමනය ඇති වීමට හේතු සාධක විය හැකි තත්ත්ව මොනවද කියන එක .
 
මේ අතරින් ප්‍ර‍ධානම තැනක් ගන්නේ
  • හිස ඇතුලේ පීඩනය අසාමාන්‍ය ලෙස වැඩිවීම . Raised Intracranial Pressure
කොහොමද මේ විදියට ඔළුව ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වන්නට පුළුවන් ? හේතු ගනනාවක් තිබෙනවා ඒ අතුරින් වඩාත් දැකිය හැකි අවස්ථා විදියට ,
Hydrocephalus තත්ත්වය
  • හිස ඇතුලේ තිබෙන ආරක්ෂක  දියර ( CerebroSpinal Fluid)  ප්‍ර‍මාණය දිගින් දිගටම වැඩි වීම නිසා ඇතිවන Hydrocephalus (ඔළුව ලොකු බබාලා)  තත්ත්වයේ මුල් අවස්ථාව සිට මේ ආකාරයේ “විිදින වමනය“ දකින්නට පුළුවන්. ඕනම වයසක කෙනෙක්ට මේ Hydrocephalus  තත්ත්වය ඇති වන්නට  පුළුවන් වුනත් , වැඩි පුරම දකින්නට ලැබෙන්නේ කුඩා දරුවන් අතර. ඒ නිසා පුංචි දරුවෙක් මෙවන් “ඈතට විදින වමනය“ දැමීමක් දිගින් දිගටම කරනවා නම් හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන.
  • ඒ වගේම මොළයේ එහෙම නැත්නම් මොළය ආවරණය කරන පටල (මෙනින්ජි) වල ඇති වන ආසාදන තත්ත්වයන් නිසාත් (එන්සෙෆලයිටිස් , මෙනින්ජයිටිස් , මොළයේ උණ) මේ මුලින් කී “හිස තුල පීඩනය “ වැඩි වෙමින් මෙවන් “වමනයන් “ දකින්නට පුළුවන් වේවි.
  • තවත් අවස්ථාවක් විදියට මොළයේ ඇති වන “ගෙඩි“ ( පිළීකාමය හෝ නොවන) මඟිනුත් මේ කීව විදියට පීඩනය වැඩි කරමින් , projectile vomiting තත්ත්වය මතුකරන්නට පුළුවන්.
  •  මේ සේරටම  වඩා බහුලව දැකිය හැකි අවස්ථාව , අනතුරක් නිසා හිසට සිදුවන හානියක ප්‍ර‍තිපලයක් විදියට හිස තුලට ලේ වැගිරීමක් වෙනවා නම් , එහිදිත් මේ “ප්‍ර‍ක්ෂිප්ත වමනය“ කරමින් , හිස තුල පීඩනය වැඩි වන යමක් සිදුවන බව පෙන්වනවා. විශේෂයෙන්ම කියන්නට ඕන , අනතුරක් සිදුවෙලා  , බාහිරට පේන ලේ වැගිරිමක් නැති වුනත් ඊට පසුව මෙවන් “වමනයක“ සිදුවනවා නම් ඒ අවදානමක් පිළීබඳ සංඥාවක් බව හඳුනගන්න එක වටිනවා. හිසට සිදුවූ අනතුරකට පසුව “ප්‍රොජෙක්ටයිල් වොමිටිං“ වෙනවා නම් ඒ සංඥාව හුඟක්ම වැදගත් බව මතක තබා ගන්න. 

මේ විදියට ප්‍ර‍ක්ෂිප්ත වමනය ඇති කරනව ඊළඟ සාධකය තමා ,
  • ආහාර මාර්ගයේ ඇති යම් අවහිරතා. 
Pyloric stenosis තත්ත්වයේදි වමනය ඇතිවන අයුරු
ඒ කිව්වේ ආහාර ගෙන යන නාලයේ යම් ස්ථාන අසාමාන්‍ය ලෙස පටු වෙලා නම් , අවහිර වෙලා නම් මෙතැනදිත් අධීක පීඩනයක් එක්ක “ප්‍ර‍ක්ෂිප්ත වමනය ඇති “ වන්නට පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන් අතර හමුවන  Pyloric stenosis කියන පටුවීම් , වගේම Intussusception ලෙස හඳුන්වන , අන්ත්‍ර‍වල කොටස් වෙනත් කොටස් තුලට රිංගා හිරවන අවස්ථාව වැනි ඉතා අවදානම් තත්ත්ව වලදී පෙන්වන ප්‍ර‍ධාන ලක්ෂණයක් ලෙසත් මේ Projectile vomiting ඇති වන්නට ඉඩ තිබෙනවා.

මේ කියූ අවස්ථා දෙකට අමතරව , වැඩිහිට අය අතර බහුලව දකින්නට ලැබෙන ආහාර මාර්ගයේ ඇති වන තුවාල Peptic ulcer සහ , පිත්තාශ්ම අවහිර වීමකදි වගේම ,  එම ප්‍රදේශ වල ඇති වන ගැටිති නිසාත් ප්‍ර‍ක්ෂිප්ත වමනය ඇති කරවන්නට පුළුවන්.

එහෙම නම් මේ කෙටි ලිපිය තුල මෙතෙක් කියාගෙන ගියේ Projectile Vomiting තත්ත්වය ඇති කරවන්නට හේතු වන , ඒ වගේම වඩා සැලකිළිමත් විය යුතු අවස්ථා කිහිපයක් ගැන විතරයි. මේ සියල්ලම ගැන නැතත් මෙන්න මේ දේවත් මතක තියා ගත්තොත් වටිනවා , ඒ “හිසට සිදුවන අනතුරක් , ගැටීමක් හෝ දැඩි කම්පනයකට පස්සෙ මෙවන් ප්‍ර‍ක්ෂිප්ත වමනය ඇති වනවා නම් එය ලොකු අවදානමක පෙර සළකුණක් වන්නට පුළුවන් . ප්‍ර‍මාද නොකර පහසුකම් සහිත රෝහලකට රැගෙන යන එක සමහර විට ජීවිතයක් බේරා ගැනීමක් වන්නටත් පුළුවන්“

එසේ නම් අදට කතාව නිමයි , සුව සතුට පිරි දිනයක් ඔබට . හමුවෙමු නැවතත් හැකි විගසින්.


2 comments:

  1. මේ රෝගය ගැන මීට කලින් අසා තිබුනේ නැ.වටිනා ලිපියක් හැමදාමත් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , මේක ඇත්තටම රෝගයකට වඩා ගැටළුක එක ලක්ෂණයක් කියන එක තමා නිවැරදිම.

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)