2011/08/17

47) ගින්දර නැති .....සුන්දර “කඩේ යාම“

අපි යනවා කඩේ...
මීට පෙර ලිපි දෙකේ (45 , 46) ඊළඟ පියවර විදියට අද ලිපිය ලියන්නයි මේ සූදානම. බොහෝ පිරිසක් මේ ලිපි මාලාවෙන් ප්‍රයෝජනයක් ගන්නා බැව් හැඟෙන නිසා මේ මාතෘකාව ඉදිරිටත් ගෙනියන්න ඕන කියල හිතෙනවා.නමුත් තවත් ලිපි දෙක තුනකින් විතර ,  ඒ කියන්නේ “පියයුරු සහ මව්කිරි ගැනත් බබා ලැබුණට පස්සේ මුල් දින කිහිපය“ ගැන කතා කරල , ආයෙත් පරණ විදියට වෙනස් මාතෘකා වලට යන්නයි සූදානම.

එහෙම නම් අපි අද කතාව පටන් ගනිමු. නැවතත් මතක් කරන්න ඕන , මේවන විට ඔබ මෙහි මුල් ලිපි කියවා නැත්නම් කරුණාකරල 45,46 ලිපි දෙක කියවන්න . ඊට පසුව මේ ලිපියට ආවොත් වඩා වැදගත් වේවි .

අම්මයි තාත්තයි “කඩේ යනව“ වගේ ..
හොඳයි , දැන් මාස හයක් විතර ඇති ,  ඒ කිව්වේ “ඔයාගේ බංඩියේ ඉන්න පුංචි පැටියට“ මාස හයක් විතර . ඔය කාළෙ හරිම වැදගත්  , මොකද දැන් “එයා ටිකක් ලොකු ළමයෙක්“ , හදිසියක් වුනොත් “එළියට එන්න වුනත් “ ලෙහෙස්තියි , ඒ කිව්වේ තව මාසෙකදි වගේ සමහර අවස්ථා වලදි පැටිය එළියට ගන්නට සිදු වෙන අවස්ථා තියෙනවා .බය වෙන්න එපා  යම් හේතුවක් නිසා එහෙම වුනොත් , රෝහලේ N.I.C.U. එකේදි “ඔබේ චන්ඩි පැටියා“ රැක බලා ගන්නවා , දැඩි සත්කාර තත්තව යටතේ.

හරිම දැන් ඉතින් එයා වගේම ඔයාත් ලෙහෙස්ති වෙන්න , ගොඩාක් දේ සූදානම් කර ගන්න තියෙනවා , මුලින්ම හිත සතුට රඳව ගන්න , ඔයා අම්ම කෙනෙක් වෙන්න හදන්නේ ..ජීවිතේ සුන්දරම , ලස්සනම හීනයක් හැබෑවෙන්නයි යන්නේ , මං දන්නව අද කාළෙ හිතේ කරදර බෝමයි ,  ඒත් මේ පැටිය ගැන මතක් කරගෙන ඒ කරදර හිතෙන් ඈත් කරල තියා ගන්න , මොකද ඔයාගේ හිත රිදෙන කොට , ඔයාගේ පැටියට රිදෙනවා , ඒ මුදු මොලොක් හිත රිද්දන්න එපා ,


මහත්තයෝ , ඔයා තව ටික් දවසකින් තාත්ත කෙනෙක් , මෙතුවක් නොදැනුන වගකීමක් පපුවට දැනෙන දවස ළඟයි , එන්න , ආදරෙන් ඔබේ පැටිය ගාවට , චුට්ටක් කතා කරන්න , පුංචි හාදුවක් දෙන්න පැටියට ...ඔව් ඔබේ පැටියා , ඇතුලේ ඉඳගෙන ඔයාට ආදරෙන් හාදුවක් දෙනව ඔයාට දැනේවි .අත්දැකීමෙන් කියන්නේ , සමහර වෙලාවට මෙහෙම හාදුවක් දුන්නම “පැටිය නටනවා , සන්තෝසේ ....,ඔබේ බිරිඳගේ හිත හැකි තරම් සතුටින් තියන්න , සතුට පිරෙන , ආදරේ හිතෙන ලස්සන පිංතූර වලින් ඔබෙත් බිරිඳගේත් කාමරය , ගෙය සරසන්න ..

ලස්සනයි නේ ....
ඔන්න දැං ඉතිං කඩේ යන්න කාළේ , අද කාළේ එක එක විදියේ කඩේ යාම් තියෙනවනේ , ඒ නිසා දැන් අපි යන්න හදන කඩේ යාම “සුන්දර කඩේ යාම කියල“ කියමු නේද ? මේ ගමනේදි පුංචි පැටියට ඕන කරන දේවල් ටිකක් ගන්න ඕන , ඒ දේවල්  ඔබේ නැන්දම්මට කියල , එහෙම නැත්නම් අම්මට කියල ගෙන්වගන්න එපා , ඔබයි , බිරිඳයි දෙන්න එක්වෙලා ගිහින් තෝරන්න , පැටිය හිතේ මවාගෙන ඒ සුන්දර “කඩේ යාම‘ කරන්න .

ඔන්න මුලින්ම ඇඳුම් නේද ප්‍රශ්නේ ? ...නිල් පාටද  රෝස පාටද නේද ?...මගේ පුද්ගලික මතය නම් ලැබෙන්න ඉන්න දරුව “ගැහැණුද පිරිමිද “ කියල වැඩිදුර හිතාගෙන කඩේ යන්න, ඇඳුම් ගන්න එපා , (වෛද්‍යවරයගෙන් බල කර කර අහන්නත් එපා ), කව්රු උනත් එන්න ඉන්නේ ඔයාළගෙම ආදරය  , ඒ ඔබ දෙන්නාගේ “ආදරයේ ගෞරවනීය ශක්තිය“ මුසු වුනු “ඔබේම ආදර පැටියෙක්“ ... ඒ වගේම සායනික අත්දැකීම් එක්කම යමක් කිව්වොත්  , ඔය රෝස පාට , නිල් පාට , කහ පාට ඇඳුම් අඳින එක සමහර වෙලාවට ටිකක් ගැටළුකාරී වෙන්නත් පුළුවන් , මොකද උදාහරණයක් විදියට , ඔබේ දරුව ඉපදිල මුල් දින කිහිපයේ හමේ පාට ආකාර කිහිපයකින් වෙනස් වෙන්න පුළුවන් , හම කහ පාට වෙන්න , නිල් පාටට හුරු වෙන්න , නැත්නම් හමේ තියෙන රෝස පාට අඩු වෙන්න , ඔන්න ඔය වගේ පාට වෙනස් වීමක් වුනොත් , එය හඳුනගන්න හරිම ලේසියි පැටියට සුදු පාට ඇඳුමක් අන්දල තිව්වොත්  , අනෙක සුදු පාට චුටි ගවුම් පොඩිත්තක් ඇන්දම පැටිය හරියට “ලස්සන සුරංගනාවියක්“ වගේ , බලන්නකෝ , එතකොට හාදු දීල , හාදු දීල ,ඔබේ ආදරේ පැටිය ගිල්ල ගන්න හිතෙන හැටි.
ඇඳුම සුදුයි ....ඇගට සුවයි ....
ඒ ඇඳුම් තෝරත්දි රෝස පාට  , නිල් පාට ගැන ඕනවට වඩා හිතන්න ඕන නැහැ , අනික ඒ පාට විතරක් තියෙන ඇඳුම් තෝරගන්නවට වඩා  වැඩිය ලස්සන , සුන්දර සුදු පාට හරි ඊට ආසන්න පාටත් තෝර ගන්න ,සුදු පාට පසුබිමේ , පුංචි මල් වැටිච්ච ගවුම් පොඩිති වුනත් කමක් නැහැ , හොඳට මතක තියා ගන්න , ඒ ඇඳුම් පොඩිති , 100%ක් කපු රෙදි වලින් තෝර ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ නැත්නම්  වැඩිපුර cotton මිශ්‍ර රෙදි හෝ ඇඳුම් තෝර ගන්න .ඒ වගේම පහසුවෙන් අන්දන්න පුළුවන්  ගලවන්න පුළුවන් , සැහැල්ලු ඇඳුම් තෝර ගන්න . පොඩ්ඩක් බලන්න ඇදුමේ තද මැහුම් දාර තිබෙනවද කියලා , ඒ වගේ ඇඳුම් නොගෙන , මැහුම් දාර මෘදුවට තිබෙන ඇඳුම් විතරක් තොර ගන්න , මොකද පැටියගේ සිනිඳු හමට ඔය ඇඳුම් දාර නිසා පවා තුවාල වෙන්න පුළුවන් ,
අම්මයි ...පොඩ්ඩයි ලොකු කතාවක් ..ඇඳුම ගැන ..?

මීට අමතරව ලස්සන , බ්ලැන්ක්ට් පොඩිත්තක් දෙකක් , පොඩි Crib ෂීට් කිහිපයක් , පොඩි කොට්ටයක් (කොට්ට තෝර ගනිත්දි හුඟක් දිග කොට්ට ගන්න එපා , ඒවා පහසුවෙන් නැමෙන නිසා සමහර විට දරුවට කරදරයක් කරන්නත් පුළුවන් ) , පැටිය පිහිදාන්න මෘදු තුවායක්  , වුල් වලින් හදපු අත් මේස් , කකුල් වලට දාන මේස් කූට්ටම් කිහිපයක්  , හොඳ නැපීස් Nappies ටිකක් වැඩි පුර (දහයක් විස්සක් විතර , pampers නොගෙන ඉන්නවානම් තමා වඩාත් හොඳ , මොකද නිවැරදි පාවිච්චි නොකළොත් පැම්පර්ස් කියන්නේ විෂබීජ මල්ලක් වෙන්න පුළුවන් දෙයක්) , කැමතිනම් ලස්සන පුංචි තොප්පියක් වගේ දේවල මිළට අරන් තියා ගන්න .ඒ වගේම ආරක්ෂිත nappy pins කිහිපයක් ගන්න , (හොඳට බලන්න ඒ Nappy pins පහසුවෙන් lock කරන්න පුළුවන්ද කියලා) ,
අරකත් ගමුද ?

ඊට අමතරව Cord clamp දෙකක් විතර ගන්න (බලන්න හොඳට expire date එක ගැන , අඩුම තරමේ තව මාස පහකට වත් ඉදිරි දිනයක් තියෙන විදියට තෝර ගන්න ) , දැන් පුළුවන් නම් , සල්ලි තියෙනව නම් ලස්සන පොඩි Crib එකක් එහෙම නැත්නම් කොට් එකක් ගන්න , හැබැයි ඒකනම් තව ටිකක් පරක්කු වෙලා ගන්නත් පුළුවන් . ඔය එක්කම පැටිය නාවන්න ඕන කරන ප්ලාස්ටික බේසමක් වගේ උපකරණත් ගන්න පුළුවන් නම් පහසුවක් , අනෙක පැටියගේ උපකරණ ගබඩා කරල තියාගන්න , විශේෂයෙන්ම පැටිය එන දවසට රෝහලට අරගෙන ප්ලාස්ටික බෑග් එකකුත් ගන්න .දැන්  මේ හැමදේම හොඳට පිරිසිදු කරල (සබන් සහ වතුරෙන් හොඳට හෝදල තිබේ නම් මෘදු විෂබීජනාශක දියරයක් මිශ්‍රකරලම හොඳට හෝදල , අව්වේ වේලල සූදානම් කරගන්න) , මේ එක්කම තව වැදගත් දෙයක් ගන්න ඕන , ඒ වර්ණවත් , හඬක් නැගෙන , චලනය වන සෙල්ලම් බඩුවක් , හොඳට මතක තියා ගන්න . ගෙදර තව අයියල , අක්කල ඉන්නවනම් ඔන්න ටිකක් කල්පනාවෙන් , එන්න ඉන්න පැටියට සෙල්ලම් බඩු ගන්න ගමන් එයාලටත් වයසට ගැලපෙන සෙල්ලම් බඩුවක් ගන්න , නැත්නම් ප්‍රශ්න ගොඩයි .අනෙක මේ අළුත් පැටියට දක්වන ආදරය ගැන ඒ ලොකු පැටවුන්ට වැටහීමක් නැහැ  , ළඟට අරගෙන ආදරෙන් කියා දෙන්න , එයාල බංඩියේ ඉන්න කාළෙත් මේ වගේම කළ බව , කිසි වෙලාවක ඒ ලොකු පැටවුන්ට ආදරේ වෙනසක් කරන්න එපා , මේ “සුන්දර දරු ආදරේ “ කියන්නේ බෙදන්න බෙදන්න තවත් සුන්දර වෙන පුදුම සංවේදී හැඟිමක්.

මෙන්න feeding bra එකේ වාසිය ...
ඔය එක්කම ඔබේ ගර්භණී බිරිඳ වෙනුවෙන් , ඇයට අර වැදගත්ම දවසට අඳින්න සැහැල්ලු ඇඳුම් කිහිපයක් ගන්න , ඉදිරියෙන් විවෘත කරන්න පුළුවන් බෙඩ් ජැකට් කිහිපයක් , චීත්ත (robe) කිහිපයක් , මෘදු සෙරෙප්පු යුගලක් ඒ වගේම කිරි දෙන මවකට සුදුසු හොඳ තනපට කිහිපයක් (Feeding bra ,මේ  තනපට හරිම වැදගත් මොකද දන්නවද සමහර මවුවරු “කිරි දීම නිසා තමන්ගේ රූ සපුව කැත වෙනව කියන බයට , නිසි කාළ සීමාවක් දරුවට කිරි නොදෙන තත්ත්වයට පත් වෙනවා , ඇත්ත ,කිරි දෙන මවකගේ පියයුරු වල යම් විශාල විමක් , බර වීමක් වෙනවා , ඒත් ඒ කාළයේ නිසි ලෙස , සුදුසු Feeding bra පැළඳ ඉන්නව නම් අම්මගේ හැඩේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ )

බඩු මල්ල ....
ඔය බඩු ටික ගන්න ලොකු මුදලක් යන්න ඇති  කමක් නැහැ ,අපේ පැටියටනේ , අනෙක් මවකගේ පියෙකුගේ වටිනාම සම්පත වෙනුවෙන් කරන මේ “වියදම , ඇත්තටම නාස්තියක් නෙවි “ , දැන් බලන්න pocket එකේ තව කීයක් තියෙනනවද කියලා , තිබේ නම් ඔබේ බිරිඳට කියවන්න හොඳ පොතක් , බලන්න ලස්සන DVD එකක්, ගන්න.ඒවගේම ඔය යන ගමන් රසවත් පළතුරු මල්ලකුත් බිරිඳට අරගෙනම යන්න .

දැන් ඇවිදල , ඇවිදල මහන්සි ඇතිනේ ,

කට පුරවල හිනාව ....හිත පිරවෙන හිනාව 
“දැන් එහෙම නං ගෙදර යං , ගිහින් අපි දෙන්නා එකතු වෙලා මේ බඩු මුට්ටු ටික හොඳල , වේලල , ලස්සනට arrange කරමු , අපේ පැටිය මේ ඔක්කොම අහගෙන ඇතිනේ ....“

“හ්ම් ..ටිකක් මහන්සි නං තමයි , .....එයා මේ ඔක්කොම අහගෙන බලාගෙන සතුටින් ඇති , අපි එනෙම් යමු නේද ?“

එහෙනම් ගිහින් එන්නං , අද කළ “සුන්දර කඩේ යාමෙන් පස්සේ , පියයුරු සාත්තුව ගැන කතා කරන්න එනවා ..

30 comments:

  1. අදනං මුලින්ම මම වගේ ඇවිල්ලා තියෙන්නෙ.....

    අර පාට ප්‍රශ්නෙට හොඳ උත්තරයක් අද ලිපියෙ තියෙනවා. ගන්න ඕන බඩු වල විස්තරත් පැහැදිලිව තියෙන හින්දා මේ කාලේ ගෙවන අලුත් දෙමව්පියන්ට ගොඩක් වැදගත් වෙයි මේ ලිපිය.

    ReplyDelete
  2. මේක කියවද්දි මට මතක් උනා අපේ බබා(අක්කගෙ) වෙනුවෙන් අපි නොයෙක් දේවල් එකතු කරපු හැටි.අරවගේම ඉස්පිරිතාලෙට යන්න මල්ලකුත් හැදුව.

    ඇද තිරරෙදි කොට්ට මෙට්ට කාමරේ පවා අලුත් කරා.
    එයාට හැමදේම අලුතින්.වෙලාවකට මටත් දුක හිතුන,ඉස්සර මම් ගැන බැලුවේ හැමෝම.දැන් මාව ගනන් ගන්නෙ නෑ,කෑවද බීවද අහන්නෙත් නෑ.අලුත් අමුත්තා ඉන්න නිසා.පොඩි අයට නම් ගොඩක් ඒ වෙනස දැනෙනව ඇති :)

    ස්තූතියි ගොඩක් දේවල් දැන් ගත්තා.

    ReplyDelete
  3. දැන් කාලේ ගොඩක් අය කෙට්ටු වෙන්න බෙහෙත් ගන්නවනේ...... ඒත හොද දෙයක්ද..... මේ කාරණාවට බලපාන්නේ කොහොමද

    ReplyDelete
  4. බුද්ධි,
    ස්තුතියි ඔබට.

    ReplyDelete
  5. නදී,
    ස්තුතියි ඔබටත් ,

    ReplyDelete
  6. නියම ලිපියක් අයියා.
    මෙහෙම දෙයක් තියෙනවා නේද. ඔය ගර්භණි කාලවලදි අම්මට පිරිත් බණ වගේ දේවල් අස්සවන්න සලස්වන එක හොදයි කියලා. එතකොට ලැබෙන ළමයට ඒවා දැනෙනවලු. නිරෝගි ළමයෙක් වෙනවලු.

    මම් ඒක ඇත්තද කියලා නම් දන්නේ නෑ. අයියම ඒක පහදලා දෙන එක වටිනවා.

    මේක කියවපු ගමන් මට මතක් උනේ කාලයක් මම් යාලුවෙලා හිටපු ගෑනු ලමයා කියපු කතාවක්. එයාගේ අම්මා පොඩි කාලේ ඒයැයියට කිරි දෙන එක ප්‍රතික්ෂේප කලා ලූ. මොකද එයාපොඩි හන්දා අර පූස් පැටියෙක් වගේ කියලා හිතුන ලු. එයාලගේ අම්මට එයාව අතට ගන්නකොට මොකද්ද අපුලක් දනෙනවලු. එහෙම වෙන්නේ මොකද.

    ReplyDelete
  7. ඔබගේ මේ ලිපි පෙල ගොඩාක් අයට ලොකු පිටුවහලක් වෙයි..

    ReplyDelete
  8. මධුරංග ,
    ඔව් මල්ලී , මේ කාළයේ ඒවගේ දේ ඇහෙන්න සලස්වන එක හරිම වටිනවා . ඉන් ප්‍රධාන වශයෙන් මවගේ මානසික තත්ත්වය යහපත් වෙනවා , එවිට ඇයගේ හෝමෝන ක්‍රියාකාරීත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා , එය පැටියට දැනෙනවා , ඒ වගේම අම්මගේ චිත්තවේගීය ස්වභාවයත් පැටියට බලපාන බව අද සොයා ගෙන තිබෙනවා.
    එය විය හැකි දෙයක් සමහර අවස්ථා වල දරුවෙක් බිහි කළාට පස් මවගේ මානසික තත්ත්වයේ යම් වෙනසක් වෙනවා , මේ තත්ත්වය postpartum depression ලෙසත් සමහර අවස්ථා baby blues ලෙසත් නම් වෙනවා , ඇය එබඳු තත්ත්වයකට පත්වුනා වෙන්න පුළුවන්.
    ස්තුතියි ඔබට .

    ReplyDelete
  9. Gimhani ,
    බොහොම ස්තුතියි ඔබටත් , ඔව් අපි මේ ගැන තව ටිකක් දැනුවත් කරලා , අපේ පුරුදු වෙනස් මාතෘකාවලට යන්නයි හිත.
    ස්තුතියි ඔබටත්

    ReplyDelete
  10. chamari ,
    චමරි කෙට්ටු වෙන්න බෙහෙත් ගන්නවා කියන එක ටිකක් අපැහැදිලියි, මොකද සාමාන්‍යෙයන් රෝග තත්ත්වයක් නොවේ නම් කෙට්ටු වෙන්නම කියල බෙහෙත් දෙන්නේ නැහැ. PCOS තත්ත්වයේදි නම් බර අඩු කරගන්න දෙනවා ,
    කොහොම වුනත් මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගැනීමෙන් වැළකීමයි වඩාත් සුදුසු , මොකද අම්මට කෙට්ටු වෙන්න ඕන වුනාට ඒබෙහෙතෙන් පැටියගේ බරටත් යම් කරදරයක් වෙන්න පුළුවන් .
    ස්තුතියි

    ReplyDelete
  11. ගොඩක් වටිනවා අයියේ මේ ලිපි පෙළ. :)

    ReplyDelete
  12. ChammA,
    ස්තුතියි මල්ලී , ඔබේ ලිපි මාලාවත් හරිම රසවත් ...

    ReplyDelete
  13. පෙකට වෙන්ටෑ වැදුගෙයි සන්නිය කියලා කියන්නේ. මම් ඉස්සරම ඕක ගැන ලිපියක් ලිව්වා. මේ තියෙන්නේ ඒක .

    ReplyDelete
  14. මධුරංග ,ඔව් එත් මීටම සමාන අවස්ථාවක් , ලින්ක් එක වැටිලා නැහැ , පුළුවන් නම් ආයෙත් දාන්න , මමත් හරිම කැමතියි ඒ වගේ දේ කියවන්න.
    ස්තුතියි මල්ලී .

    ReplyDelete
  15. ආසාවෙන් කියව්වා . අතීතේ මතක් වුනා

    ReplyDelete
  16. මෙන්න අයියා ඒ ලින්ක් එක.

    http://madurangacreations.blogspot.com/2011/01/blog-post_04.html

    ReplyDelete
  17. ස්තුතියි මල්ලී , 
    ඔබේ ලිපිය කියවුවා , ඒ අවස්ථාව baby blues විය හැකියි .

    ReplyDelete
  18. Bindi ,
    බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට . බින්දි ....

    ReplyDelete
  19. කපීකේක්August 18, 2011 at 11:02 AM

    දැන් ගොඩාක්, මහත අඩුකරගන්න ග්‍රීන් ටී, වෙන එක එක ටැබ්ලට්ස් වර්ග පවා තියනව.ඒවා ගැන ඔයාගේ අදහස මොකද්ද?ඒවා හොදද?සමහර ඒවා කියනව අතිරේක ආහාරමය ද්‍රව‍ය,පාන වර්ග කියල.ඒවලින් අපි වැඩිපුර ගන්න ආහාර වල කාබෝහයිඩ්ට් උරාගන්න එක පාලනය කරනවලු.

    තෙල් දියකරල අරින මැශින්ස් පවා පෙන්නනව ටීවි එකේ,ඉනේ පැලදගන හිටියාම හීට් වෙලා තෙල් දියවෙනවලු.ඒවා හොදද?

    ReplyDelete
  20. කපිකේක් ,
    මට මතක විදියට මේ ඔබේ පළමු අදහස් දැක්විම , පළමුව ඒ ගැන ස්තුතියි.
    මහත්විම කියන්නේ දේහයේ ශක්ති අවශ්‍යතාව සහ දේහයට වන ශක්ති සැපයුම අතර අසමතුලිතතාවයක් , කෙටියෙන් කිව්වොත් ඇඟට ඕනවටත් වඩා පිටි වර්ග , තෙල් සීනි වගේ කැලරි බහුල ආහාර ඇතුළු කර ගැනීම , විද්‍යානුකූලව කරන්න පුළුවන් දේ තමයි එක්කෝ ඇතුලට දාගන්න එක අවශ්‍ය තරම දක්වා සීමා කිරීම , නැත්නම් ඇතුලට දාගත්ත වැඩිලුර ටික දහනය වෙන්න තරමට ව්‍යායාම කිරීම ,
    එතකොට තරබාරුව පාළනය වෙනවා.
    ඔය ටී.වී තඑකේ පෙන්නන තෙල් දියකරන මැෂීන් වලින් කියන විදියට වෙනවා නම් ඒ පුද්ගලයා රැධිර පීඩනය අඩුවෙලා මැරෙන්න ඕන , මොකද ඒ තරම් ඉක්මණින් ඇඟ ඇතුළෙ තෙල් දියවෙලා හාස් ප්‍රදේශයක් හැදුනම සමස්ථ පීඩනය කඩා වැටෙනවා, ඔය බොහොමයක් කිසිදු විද්‍යාත්මක පර්යේෂකින් තොර හුදු ව්‍යාපාරික දේවල් , මොකද අද ලෝකයේ business වන විෂයක් තමයි තරබාරුව .

    ඔබේ ආහාරයට ගමේ එළවළු ටිකක් , පළා ටිකක් එකතු කරන්න පුළුවන් නම් , පළතුරු ටිකක් එකතු කරන්න පුළුවන් නම් ඔය කියන කරල් ඕන නැහැ , කොහොමත් ඔය කරල් වලින් ඇඟට අනවශ්‍ය දේ යම් තරමක් හෝ ලැබෙනවා.

    කෙටියෙන් මෙච්චරයි , අවශ්‍ය පමණට කන්න , පිටි විතරක් නොකන්න . එළවළු , පලා එක් කරගන්න , ඇඟ මහන්සි වෙන්න වැඩ කරන්න , ව්‍යායාම කරන්න එතකොට ඔය මැෂින් , පෙති ඕන නැහැ (හැබැයි PCOS වගේ රෝගයක් නම් ඖෂධ ගන්න ඕන;

    ස්තුතියි

    ReplyDelete
  21. නොදන්නදේ ගොඩයි..
    අපේ අම්මත් ඔයවගේ දෙවල් ලැස්‌ති කලා මතකයි ලෙලිලා දෙන්නට.ඒ කලෙ මන් කිවෙ මොකද අලිඅයට කලින් මේ හෙන්ඩුව ලෙස්‌ති කරන්නේ කියලා. එකේ අගේ තෙරෙන්නේ දෙන් තමා
    බොහොම ප්‍රොයොජනවත්.
    පොඩි ඉල්ලීමක්‌ හැකිනම් නිවුන් දරුවන් බිහිවන හෙටිත් සුලුවෙන් ඔය ලිපි පෙලේම කොහෙන් හරි එල්ලන්න පුලුවන්නම්. අසයි දෙනගන්න
    ස්‌තූතී..

    ReplyDelete
  22. සොඳුරු මිනිසා ,
    ස්තුතියි ඔබට , ඔව් අපි ඉදිරි ලිපියක එල්ලමු නේද ?එතකොට අල්ල ගන්න ....

    ReplyDelete
  23. වැදගත්ම ලිපියක් මම අපෙ ඔෆිස් එකේ බබාල හම්බ වෙන්න ඉන්න කීප දෙනෙකුටම කිව්ව බලන්න කියල

    ReplyDelete
  24. ඔයා මාර පොරක් ,හොද වටිනා ලිපි ලියන්නේ. හරි වැදගත් ....

    ReplyDelete
  25. Weni,
    බොහොම ස්තුතියි ඔව් අපි දැනුම බෙදා තරමටයි සතුට .

    ReplyDelete
  26. viro,
    ඔව් හොඳ ලිපි ලියන්න උත්සාහ කරනවා ,
    ස්තුතියි

    ReplyDelete
  27. මේ ලිපි ටික සෑහෙන්න වටිනවා අයියේ... තවම හිතලා නැති වුනාට කවදහරි මෙව්වා ඕ​නේ වෙනවා....
    මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි...!

    ReplyDelete
  28. prasanna86k,
    ඔව් “කවද හරි මේව ඕන වෙනවා“ ඒ නිසා දැනුවත් වෙන්න , “එදාට“ ප්‍රෙයෝජනවත් වේවි.
    ගොඩක් ස්තුතියි අදහස් දැක්වූවාට ගෝල්ඩ් ෆිෂ් පැටියෝ ...

    ReplyDelete
  29. ගුරැ පියාණනි දැන් අපේ සොදුරැ අසපුව ගැන හුගක් අය කතා කරනවා ඇහෙත්දි අපටත් සතුටුයි.බංඩියේ ඉන්න පැටියට අපි කියන කරන දේවල් වැටහීම ගැන අපට සනාථ කරන්න පුලුවන් පැටියගේ වෙනස්කමි ටිකක් කියල දෙන්න.

    ReplyDelete
  30. nadeesha,
    ඔව් දරුවෝ මේක අපි හැමෝගෙම වැඩක් , එනිසා අපි හමෝටම සතුටුයි , මේ සඳහා දරුවන්ගේ බුද්ධිඵලය අගැයුම් කරමින් කළ පර්යෝෂණ වලින් ඒ බව සනාථ වෙලා තිබෙනවා , මෙහිදි අපේ ක්‍රියාකාරකම් දරුවාගේ මානසික තත්ත්වය කෙරේ සෘජුව බලපාන බව හඳුනාගත්තා.

    ස්තුතියි දුව ...

    ReplyDelete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)