2016/01/09

183) නින්ද නැති රැයේ - ඔබට හොරා ඔබ වෙත එන්නා

“ලොකූ .... ලොකූ ...වෙලාව හරි , සද්ද නැතිව නැගිටල යං , ලේස්ති වෙන්න “ , අද සෙනසුරාදා ලොකූගේ ඉස්කෝලේ බාස්කට්බෝල් ටූර්නමන්ට එක. නිවාඩු දවස කියලවත් නිදා ගන්නයෑ . උදේ හතයි පනහට ඇහැරෙනවා කියන්නේ .. විශේෂෙයෙන්ම මේ වින්ටර් එකේ  , සැප තමා. ඊයේ පෙරේද ඉඳළ මනෝජටත් ටිකක් හෙම්බරිසාව වගේ නිසා අපි මේ ට්‍රයි කරන්නේ එයාව  ඇහැර වන්නේ නැතිව ලොක්කිව ලේස්ති කරගන්න.



“ම් ම් තවම එලාර්ම් එක වැදුනේ නැහැනේ ! “ ලොක්කි ඒමේ අත ඇඹරෙනවා ,
“මේ එලාර්ම් රඑක වැදුනොත් අම්ම ඇහැරෙනවා , සද්ද කරන්නේ නැතිව නැගිටල එන්න , “
“අනේ , මොකද මේ පාන්දරම ...  “ ...පොඩ්ඩි ඇහැරුණා ,
‘‘මේ ..පොඩී , එනවද අක්කව ඉස්කෝලෙට දාල එන්න යන්න  , හැබැයි කෑගහන්න බෑ “
“බෑ මම නිදි මේ  ,....ගර් ගර් ගර් ගර්ර්ර්ර්‘‘ අයෙත් ඔළුවේ ඉඳළම රෙද්ද පොරවගෙන “හොඳටම ගොරවනවා“ ,
කොයිතරම් උත්සාහ කළත් මනෝජව නොඇරවන්නට හරිගියේ නැහැ , “ ආ .. වෙලාව හරිද , යං මං කෑම හදන්නම් , පොඩී චූට්ට්ක් එහාට වෙන්න , නැත්නං යං උඩට “ අම්මගේ අස්සට තුරුල් වෙලා හිටි පොඩීව එහා මෙහා කළා.

(සිකුරාදා රෑ කියන්නේ අපේ ෆිල්ම් බලන දවස නිසා , එදාට පොස්ට් ලියන්න ලැබෙන්නෙ නැති තරම් , එදා කවුරුත් බලාගෙන ඉන්නේ බේස්මන්ට් එකට ගිහින් ලස්සන ෆීල්ම් එකක් බලලා , ඔක්කොමලා එකට නිදා ගන්න , එදාට  ඉතිං මේ “ලොකු කෙල්ලොත්“ අම්මටයි තාත්තටයි තුරුල් වෙලා දවල් වෙනකම්ම නිදා ගන්න එක පුරුද්දක් වෙලා . (ආරංචියක් ලැබුණ දැන් ලංකාවටත් Netflix සේවාව සපයන බව :D)   )

කොහොමින් කොහොම හරි අක්ක ලේස්ති වුනා විනාඩි පහක් තියල , සීතල හිම වැස්සක් අස්සෙන් අක්කව ඉස්කෝලෙට ගිහින් දාල ගෙදර ආවේ දැන් .  ඊයේ පොස්ට් එකක් ලියා ගන්න බැරි වුුන නිසා අද ලියන්න ඕන “පොඩි පෝස්ට් එකක්“ . මොකක් ගැනද ලියන්නේ ? “ගෙරවිල්ල ගැන“ , පොඩ්ඩි අද උදේ ගොරවපු “බොරු ගෙරවිල්ල“ ඔස්සේ , Sleep apnea කියන ගෙරවිල්ල ගැන තමයි ලියන්න හදන්නේ .

එහෙම නම් දැන් පටන් ගනිමු අද “ගෙරවිල්ල“

අප හමෝම දන්නව සමහරු නින්දෙදි ගොරවනවා , සමහරු නිද්දෙන් දොඩවනවා, ඔය අතරේ සමහරු නින්දෙන් ඇවිදිනවා . ඔය වගේම නින්දෙන් කරන එක එක වැඩ .
(මේ නින්දෙන් ඇවිදිල්ල ගැන කියත්දි මතක්වුනේ අසූ නමයේ විතර අප  ගමේ මිතුරන් කිහිපදෙනෙක් පාඩම් කරන්න එකතු වුනේ අහංගම මහාවිහාරය පන්සලේ ධර්මශාලාවට , කෑම බීම ඔක්කොම පහසුකම් දුන්නේ අපේ ලොකු හාමුදුරුවෝ , ගරුතර පුජ්‍ය රැකව අස්සජි හිමි ඇතුළු පුංචි සාමනේර උන්නාන්සෙලා ටික , හොදට කාළ බීලා කයිවාරුවක් ගහල පාඩම් කරන්න ගන්න කොට රෑ දොළහ විතර ඇති , ටිකක් පාඩම් කරත්දි නිදිමතයි , කට්ටියම දැන් නිදි , හැබැයි ඒ දහම්  පාසලේ තිබුණූ ලොකු මේස වලින් වට කරපු ආරක්ෂක කොටුවක් මැද , මොකද අපේ මිතුරන් අතරේ එක් අයෙක් නින්දෙන් ඇවිදින්නෙක් , අනෙක දක්ෂ ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක් , කතාවක් තිබුණා අපේ මිත්‍රය රෑට නින්දෙන් ඇවිත් පොළු සටන් ( ඒ කීවේ ටයිකුන්ඩු වල කරන පොළු සටන්) කරනවැයි කියල , ඔය කතාව නිසා පරිස්සමට “ඔළුව  බේර ගන්න හැංගිලා තමයි එදා නිදා ගන්න වුනෙත් , ඔය විදියට රෑට ඔළුව බේර ගත්තත් , උදෑසනට ගෙදර යත්දි  කඳ නැති ඔළු “ පාර අයිනේ වැටවල් වල තිබුණු මතකයත් මේ එක්කම මතක් වෙනවා.)

කතාට ටිකක් පිට ගියා , :D මෙන්න මේ නින්දෙදි සිදුවන සිදුවීම් අතරේ එක්තරා “සුවිශේෂි ගෙරවිල්ලක්“ තමයි මේ Sleep apnea කියන්නෙ. මේක හොඳ සිංහල වචනයක් මම දන්නෙ නම් නැහැ. දන්න කෙනෙක් එකතු  කළොත් දැනුමට අළුත් දෙයක් වේවි එය . apnea කියන එකේ  වෛද්‍ය විද්‍යාත්මක අදහස නම් “තාවකාළිකව හුස්ම නැවතීම“ කියන එක . කෙසේ වෙතත් සිදුවන්නේ මෙයයි ,
අපි නින්දට යනවා ,
තද නින්දට ගිය ගමන් ගොරවන්න පටන් ගන්නවා ,
ඊළඟට හුස්ම හිර වෙනවා ,
ටික වෙලාවක් හුස්ම නොගෙන ඉන්නවා ( තත්පර කිහිපයක් , සමහර විට මිනිත්තුවක් විතර)
ඔන්න එකපාරටම කැස්සක් එක්ක ඇහැරෙනවා ,
ඉක්මණට ඉක්මණට හුස්ම ගන්නවා ,
.
.

ආයෙත් ටික වෙලාවකින් නින්ද යනවා , නැවතත් හුස්ම හිර වෙනවා , කැස්ස එක්ක අවදි වෙනවා , මෙන්න මේ විදියට මුළු රෑ පුරාම වරින් වරි ගොරවමින් හුස්ම හිරවෙමින් , කැඩි කැඩි නිදා ගන්නටයි මෙයාට වෙන්නේ. මෙන්න මේ තත්ත්වය තමයි ස්ල්ප් ඇප්නියා නියන වෛද්‍ය විද්‍යාත්මක නමින් හඳුන්වන්නේ . මෙහි ආකාර කිහිපයක් තිබුණත් , Obstructive Sleep Apnea කියන තත්ත්වය තමයි හුඟක් බහුල.

මේ ගැටළුවේ තිබෙන විශේෂත්වය තමයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල දොස්තර මහත්තයට කියන්න රෝගීන් පෙළඹෙන්නේ නැති එක. ඒකට හේතු කිහිපයක් තිබෙනවා , එකක් තමන් දන්නේ නැහැ නින්දෙදි තමන්ට මෙහෙම කරදරයක් වන බව . අනෙක දැන ගත්තත් අපි හිතන්නේ “ ආ ඕක ගනන් ගන්න දෙයක් නෙවි , කවුරුත් නින්දෙන් ගොරවනවා“ . නමුත් මම හිතන වැදගත්ම දේ අප හුඟ දෙනෙක් මේ Sleep Apnea තත්ත්වය නිසා ලැබෙන නරක පල විපාක ගැන දන්නෙ නැහැ. ඒ නිසාම මුලින්ම කතා කරමු , මේ Obstructive Sleep Apnea නිසා තමන්ගේ සෞඛ්‍යයට සිදුවන හානි මොනවද කියලා ,
නිසි ආරක්ෂණ පියවර හෝ ප්‍රතිකාර ලබා නොගෙන ස්ලීප් ඇප්නියාව පැවතීම නිසා ,

  • අනපේක්ෂීත හදිසි මරණය , අංශභාගය  , දියවැඩියාව , හෘදයාබාධ සහ  මොළයේ ක්‍රියාකාරී්ත්වය සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ අවදානමක් ඇති කරනවා. 
ඊට අමතරව , දවස පුරා පවතින “අහේතුක තෙහෙට්ටු බව“ , අප්‍රාණික , නිදිබර බව , රාජකාරි කටයුුත වලදි , රියපැදවිම වගේ අවස්ථාවකදි “තීරණ ගැනීම පමා වීම “ සහ ඒ ආශ්‍රිතව අපහසුතා ඇතිවීම වගේ තවත් ගැටළු ගණනාවක් ඇති කරවන්නට පුළුවන්.

මේ කරදරකාර තත්ත්වය ඕනම වයසක කෙනෙක්ට හැදෙන්න පුළුවන් වුනත් , 
  • ඔබ තරබාරුනම් ,
  • නෝනලාට වඩා මහත්තුරුන්ට තමයි මේකේ අවදානම් වැඩි ( නෝනලට හැදෙන්නෙ නැහැ කීව නොවෙයි) 
  • දරුවන්ට නම් ටොන්සිල් වල ඉදිමීම් , උගුරේ අසාදන නිතර ඇති වන දරුවන්ට මේ අවදානම වැඩියි.
  • දුම්බොන , සහ රෑ නින්දට පෙර “පොඩ්ඩක් ගන්න“ (මත්පැන්) අයට තවත් අවදානම් , මොකද ඔය ගන්න “පොඩ්ඩ නිසා“  උගුරේ තිබෙන පේශි තද  නින්දට වැටෙනවා .
  • ටික ටික වයසට යන්න යන්න මේ තත්ත්වය සඳහා ඇති අවදානම් ලකුණූ එකතු වෙනවා ඉබේම .
  • පොඩ්ඩක් “බෙල්ලේ වට“ ප්‍රමාණය බලන්න , නෝනගේ අඟල් 15කට වඩා අඩුනම් , මහත්තයගේ අඟල් 17ට අඩුනම් ඔන්න අවදානම් ! (මේ කීවේ වැඩිහිටි අය ගැනයි පොඩ්ඩන් ගැන නෙවෙයි)
  • ඔබ නිදි පෙති , නින්ද ඇති කරවන ඖෂධ , මානසික රෝග / ගැටළු වලට දෙන ඖෂධ භාවිත කරන්නනුත් අවදානම් කණ්ඩායමේ සාමාජිකයෝ  

මේ අවදානම් අයට නින්දෙදි සිදුවෙන්නේ , නින්දත් එක්ක ලිහිල් වෙන “තල්ලෙ පේශි“ පහලට ඇවිත් ශ්වසන මාර්ගය අර්ධව හෝ පුර්ණව අවහිර කිරීම . බාගෙට වැහුනොත් “තද ගෙරවිල්ලත්“ , ඔක්කොම වැහුනොත් ,“ හුස්ම හිරවිල්ලත්“ ඇතිවෙනවා .  දැන් මෙතැන පහලට කියල කිව්වේ මේ කෙනා නිදා ගන්නේ උඩු අතට කියන අදහසින් ,

පිංතූරය ගත්තේ විකිපීඩියාවෙන්
මේ පිංතූරය බැලුවොත් පෙනේවි නින්දත් එක්කම ලිහිල් වුනු මෘදු තල්ල පහලට ගිහින් ශ්වසන මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කර තිබෙන විදියට , මේ වෙලාව වෙත්දි හුස්ම ගැනීම මුළුමනින්ම නැවතිලා , නමුත් මේ ශ්වසන මාර්ගය බාගෙට වැහුනොත් , හුස්ම ඇතුළු වෙත්දි “තල්ල “ කම්පනය වන්නට පටන් ගන්නව , එතකොටයි ගෙරවිල්ල ඇති වන්නේ .

හරි දැන් ප්‍රශ්නෙට උත්තර තියෙනවාද ? උත්තරෙත් “ඔව්“

පළමු සහ වැදගත්ම උත්තර තමයි අවදානම් සාධක අඩු කරගන්න එක , ඒ කීවේ තරබාරු නම් තමන්ගෙ දේහ බර ටිකක් අඩු කරගන්න උත්සාහ කරන්න , දුම්වැටි සහ මත්පැන් ගැන කියන්න ඕන නැහැනේ , විශේෂයෙන්ම මත්පැන් කෝකටත් තෛලය කියල හිතාගෙන ඉන්න මහත්වරු අඩුම ගණනේ නින්දට පෙර ගන්න “පොඩ්ඩ“ නොගෙන ඉන්නවත් උත්සාහ කරන්න. පොඩි දරුවන්ට නිතර උගුරේ අමාරු හැදෙනවා නම් , අපි කවුරුත් දන්න විදියට ටොන්සිල් ඉදිමිලා කන්න බැරිව , හුස්ම ගන්න අමාරුවෙන් ඉන්නවා නම් අත්බෙහෙත් කරන්න ඉස්සර වෛද්‍යවරයෙක් හමුවෙලා නිසා ප්‍රතිකාර ලබා ගෙන තවත්  අවදානමකට ඇති අවස්ථා අඩු කරගන්න පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යාව වගේ නාසය අවහිර කරන තත්ත්වයකින් පෙළෙනව නම් සේලයින් බිංදු හෝ ෆාමසියෙන් ලබා ගත හැකි Nasal spray එකක් ( ස්ටිරොයිඩ් හෝ ප්‍රතිජෛවක අඩංගු නැති , ආස්‍රැත ජලය හෝ සේලයින්මය  ස්ප්‍රේ වර්ග) හෝ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ලබා ගන්නා Nasal spray වර්ගයක් භාවිත කරමින් රාත්‍රිෙය්දි නාසය අවහිර වන එක අඩු කරගන්නට උත්සාහ කරන එකත් වැදගත්.

මේ එක්කම නිදා ගන්න ස්ථාපිතය වෙනස් කරගන්න , හොඳම ක්‍රමය පැත්තට  හැරිලා නිදා ගන්න එක Side-sleeping හෝ මුණින් අතම මුහුණ පැත්තට හරවා නිදා ගන්න පුළුවන් නම් මේ තමයි සරළ සහ ඉක්මණ්ම අත් බෙහෙත . ප්‍රශ්නේ තියෙන්නේ කොහොම පටන් ගත්තත් නින්ද ගියාම “පරණ පුරුද්දටම“ යන එකනේ. ඒ නිසා ටික කලක් පුරුදු වෙන්න වේවි මේ නිදා ගන්න ස්ථාපිතය .

CPAP උපකරණය මඟින් “සැප නින්දක්“ 

කෙසේ වෙතත් මේ තත්ත්වය දිගින් දිගටම තිබෙනවා නම් , හොඳම දේ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා සුදුසුම ප්‍රතිකාරයට යොමු වෙනඑක , ප්‍රතිකාර විදියට ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒ අතරේ හුඟක් ප්‍රසිද්ධ මාස්ක් දමාගෙන  නිදා ගැනිල්ල , නැත්නම් Continous Positive Airway Pressure CPAP ක්‍රමයෙදි කරන්නෙ උපකරණයක් මඟින් නාසය සහ කට ආවරණය වන විදියට පැළඳගෙන ඉන්න මාස්ක් එකක් ඔස්සේ පොඩි පීඩනයක් සහිතව වාතය තල්ලු කිරීම , මේක දිගටම  සිදුවන නිසා නින්ද ගියත් , තල්ලේ පේෂි ලිහිල් වෙලා පහලට (ශ්වාස නාලය පැත්තට ) තල්ලු වුනත් , අර උපකරණයෙන් එන වාතයේ පීඩනය නිසා සම්පුර්ණයෙන්ම වැහෙන තරමට පහලට තල්ලුවෙන්නේ නැහැ , ඒ අර උපකරණයෙන් එන පීඩනය නිසා . මේ නිසා ශ්වසනයට කිසිම කරදරයක් නැතිව “සැප නින්දක් “ නිදා ගන්නට පුළුවන් . (ඒත් මුල් දවස් ටිකේ මෙ මාස්ක් දාගෙන නිදා ගැනිල්ල “මොන සැපද “ කියල හිතෙනවා )

මුඛය තුල රඳවනයන්
අනෙක් ක්‍රම විදියට මුඛය තුල රඳවන සහ නාසය මතු පිටින් පළඳවන ප්ලාස්ටික් වලින් තැනූ උපකරණ තිබෙනවා , ඉන් සමහරක් , අපෙ මෘදු තල්ල පහලට වැටීම නවත්වන අතරේ සමහරකින් වන්නෙ ශ්වනස මාර්ගය විවෘතව තබා ගන්නට පීඩනයක් ලබා දෙන එක.

මේ ක්‍රම සියල්ල අසාර්ථක නම් ශල්‍යකර්මයක් මඟින් මෙය නිවැරදි කරගන්න පුළුවන් , සමහර විට අමතර මේද පටක කපා ඉවත් කිරීමක් හෝ , මෘදු තල්ලෙ ඇතුලට රිංගවන කූරකින් “තල්ලට“ ටිකක් දැඩි බවක් ලබා දීලා , කඩා වැටෙන ගතිය අඩු කරගන්නත් පුළුවන් . කියවත්දි හිතෙන්නේ නම් මහ දරුණූ ඔපරේෂන් එකක් කියල , නමුත් එය දවසකින් දෙකකින් ගෙදර යන්න පුළුවන් තරමේ ශල්‍යකර්මයක්. කෙසේ වෙතත් දැනගත යුතුම දේ මේ Sleep Apnea නිසා ඇති විය හැකි කරදර නැති කරගන්න නම් මේ කිව්ව යම් උපක්‍රමයක් සහ කිහිපයක් හරි ගන්නටම වෙනවා .

“ට්‍රී ට්‍රී ....“ පෝස්ට් එකේම එල්ලිලා හිටිය “දැහැන බිදුනා“
“කවුද බෙල් ගහන්නේ මේ වෙලාවේ“
“ආ මේ පාස්ටර් බිල් නේ , එන්න එන්න ගෙට , “
ගමේ තියෙන ප්‍රජා දේවස්ථානයේ Community Church එකේ පාස්ටර්වරයා ,
“මයික් , හෙට උදේ ඔයයි , කෙල්ලෝ දෙන්නයි වයිෆ්තුයි එන්න ඕන Church  එකට , පොඩි පාර්ටියක් තියෙනවා ,ඔන්න  අද බෑ කියන්න බෑ , වයිෆ්තුත් නිවාඩුයිනේ “ උත්තර දෙන්න ඉස්සර වෙලා ගමන තහවුරු කරළත් ඉවරයි ,
“හරි . අපි එන්නම් සමහර විට පොඩ්ඩක් පරක්කු වේවි  , උදේම සමුපකාරෙට යන්න ඕන අළුත් එළවලු ටික ගෙට දාගෙන්න , “
“හරි හරි , කොහොමත් දේව මෙහෙයෙන් පස්සෙනේ වෙලාව ඇති “

එහෙම නම් හෙට ඉරිදාවටත් වැඩක් තියෙන්නෙ !
(දැන් මම දන්න හඳුනන මේ ලිපිය කියවන අය අහන්න පුළුවන් මහේෂ් දැං නමයි ආගමයි දෙකම මාරු කරලද කියල , නැහැ , නම නම් මයික් කියන්නේ , මගේ නම කියාගන්නට මේ අයට අමාරු නිසා , දේවස්ථානයට ගියත් ඔවුන් එක්ක ගම වෙනුවෙන් ස්වෙච්ඡා කටයුතු කළත් , අපි ඔක්කොම බුද්ධ දර්ශනය ජීවිතේ රඳවගත් අය . ( බුද්ධාගම ඇඟේ ගාගත්  බෞද්ධාගංකාරයෝ නම් නොවෙයි) , නමුත් අනෙක් හැම ආගමකටම එම ගරුත්වයම දෙනවා .

ආයෙත් හමුවෙමු , සුව සතුට පිරි සති අන්තයක් සැමට !

මාතෘකාවට යොදාගත් ගීත දෙක මෙන්න මෙතැන , සති අන්තෙනේ සිංදුවක් අහලම යන්න.




 ඒ එක්කම අපේ පාසල් කාළයේ හිටපු ජනප්‍රිය ගායකයෙක් වන ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා රෝගීව ප්‍රතිකාර ගන්නා බවක් පුවත් පත්වල දකින්නට ලැබුණා , එදා අපේ හිත් වලට සතුටක් දුන්නු මේ ගායකායට ඉක්මණ් සුව පතමින් සමුගන්නම් අදට .



13 comments:

  1. ගෙරවිල්ල වෙන්නෙ කොහොමද වගේම මේ වගේ භයානක තත්වයක් ඒකෙ තියෙනවයි කියලත් දැනගත්ත එක හොඳයි.
    නින්දෙදිම මළාම කොහොමද ආතල් එක. :D

    ReplyDelete
    Replies
    1. දෙවෙනියට දාල තියෙන සින්දුව තියෙන 'ඉඳියාප්ප කතාව' ඒ කාලෙ ආසාවෙන් බලපු එකක් තමයි. අනික ඒක රූගත කරල තියෙන්නෙත් මේ අහල පහල තැනක වෙච්චි.
      විකාර නැතුව ප්‍රහසනයක් දෙන්න පුලුවන් ඒ වගේ ටෙලි නාට්‍ය දැන් නැති එක කණගාටුවක්.

      Delete
    2. “නින්දෙද මළා නං“ සැපක් තමා , ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා විඳවන කරදර ගණනාවක් මේ ගෙරවිල්ලත් එක්ක එන එක .
      හ්ම් “හිරුට මුවාවෙන්“ ටෙලි නාටකය එදා අපේ හිත සතුටට පත් කළා කුණූ , අදෝනා වලින් හිත් පුරවන්නේ නැතිව . පසුගිය දවසක් මෙන්න මේ ලිංක් එක ඔස්සෙ අයෙත් ඒ රසය විඳින්නට පුළුව්න වුනා මට http://nawacinema.lk/thiraya.php .
      සුබ දවසක් මිතුර ! 

      Delete
  2. ඔබේ දැනුම බෙදා දීම නං අගෙයි....

    ප්‍රින්ස් ගැන සින්දුවා ලියලා තිබුණා.... වැඩි විස්තර සදහා ඒක ඒකතු කරන්නම්...

    http://sinduano.blogspot.com/2016/01/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර , ඔබෙ පැමිණීම සතුටක් වගේම මේ ලිංක් එක එකතු කළ එකටත් ගොඩක් ස්තුතියි .

      Delete
  3. බොහොම වටිනා කියන තොරතුරු ටික දීල තියෙන්නේ...

    අර කිව්වත් වගේ අපිටත් තියෙනවද දන්නේ නැහැ ඔය කියන ලෙඩේ...
    දැනගන්න විදියක් නැහැනේ...අපි එවෙලාවට බුදි නේ..මලා,ම තමයි බලා ගන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔතන තමයි ප්‍රශ්නෙ , ඇඳ කිට්ටුව නිදා ගන්න කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නෙ :D මොකද මේ ප්‍රශ්නෙදි ළඟ ඉන්න කෙනත් සෑහෙන දුකක් විඳිනවා . මොකද මහ රෑ “ලී මෝල “ වැඩ පටන් ගත්තම:D
      ස්තුතියි ඔබට මිතුර !

      Delete
  4. මම කෙට්ටුවට හිටපු කාලේ ගෙරෙව්වේ නැහැ, ඒත් දැන් හොඳට ගොරවනවලු...
    මේ වගේ හුස්ම හිර වෙනවද කියල පොඩ්ඩක් චෙක් කරන්න කියල ගෙදර උන්දැට කියල බලන්න ඕනේ, ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම් වලට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ පැමිණීමට , ඔව් කෝකටත් හොයල බලන එක වටිනවා .

      Delete
  5. බොහොම වැදගත් ලිපියක්.අපි නොදන්නා දේවල් කොච්චර තියනවද.මේ ලෙඩේ නිසා දුක් විදින අය මම දන්නවා. බොහෝ විට මේ නිසා පීඩා විදින්නෙ ඔවුන්ගේ භාර්යාවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි , ඇත්ත අප නොදන්නා දේවල් දැනගන්න එකම සතුටක් , ඔව් හුඟක් වෙලාවට “නිදි නැතිව විඳ වන්නෙ“ නෝනලා තමයි .

      Delete
  6. මමත් ගොරවනවලු. අපේ ඔෆිස් එකේ බොසා නම් මහා දවල් හිටගෙනත් ගොරවනවා. මීටර 100 ක් විතර දුරට ඇහෙනවා ඒ සද්දේ නම්.. :o
    හැබැයි නිරෝගිව ඉන්නවා. ජිම් එහෙම ගිහින් ශරීර බර එහෙමත් නියම ගානට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඇත්ත මේක අවදානමක් ! , ඒකෙන් කියන්නෙ නැහැ “ගොරවන හැම කෙනාටම මේ කියු දේවල් ඇති වෙනවා“ කියන එක. නමුත් මේ ගෙරවීම සහ ඒ අතර හුස්ම හිර වීම සිදුවන වැඩිදෙනෙක්ට මේ තත්ත්වයන් තම සිරුර තුල සිදුවනවා, එය “ලෙඩක් “ විදියට එළියට එත්දි ප්‍රමාද වෙන්න පුළුවන් නිසයි මෙවන් දේ දැන ගෙන ගත හැකි සරළ ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ . ස්තුතියි ඔබට

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)