2016/01/12

185 ) රෑට රෑට ගන්න හිතෙන “ආස“ම පෙත්ත

ලස්සන ...................winter එක (පිංතුරයwww.wookmark.com)
වෙලාව අටයි පනස් පහයි , පොඩ්ඩො දෙන්න ඉස්කෝලෙට දාල මගේ සේවා ස්ථානයට එත්දි . අද දවසට හිම වැස්ස . අඳුර තිබුණත් තද හුළඟක් නැති නිසා ඒතරම්ම සීතල නැහැ . දැනෙන විදියට සෙල්සියස් සෘණ 15-20 ක් වගේ ඇති . කොහොම වුනත් තවත් ලස්සන දවසක් .

සපත්තු , සීතල කබා ,  හිස් වැසුම් ඉවත් කරල  සැහැල්ලු වුනා විතරයි . කාමරේට ඇතුළු වෙන්න වුනෙත් නැහැ , 


“හේයි මයික් !  මමං මේ බලාගෙන හිටියේ , එල්විස් ප්‍රෙස්ලිගේ රෙකෝඩ් එක ගෙනවද ? “ ඈත තියාම කෑගහගෙන මේ එන්නෙ අපෙ පෝල් මහත්තයා . තවත් අවුරුදු පහකින් විතර ශතකයට ලං වෙන්න බලාගෙන ඉන්න පෝල් මහත්තයා විනෝදකාමී “තවම කොල්ලෙක්“ . ඊයේ පොරොන්දුවක් වුනා එල්විස් ප්‍රෙස්ල්ගේ විනයිල් තැටියක් ගෙනත් දෙන බවට . උද උදේ ඉඳළම ඒක ගෙනකං බලං ඉඳල වගේ .

“ෂහ් !ර්‍ ඒක  වාහනේ , අමතක වුනා අතට ගන්න , පොඩි මෑන්ල දෙන්න ඒක උඩ නගිවි කියන බයට පිටිපස්සෙ ෂිට් එකට දැම්ම . ඉන්න මං විනාඩියෙන් ගෙන්නම් “ 
ආයෙත් අර කබා , සපත්තු ඇඳුම් කට්ටලේ දාගන්න එපායැ . එක්කෝ ඕන නැහැ , පොඩි දුරනේ මෙහෙම ගිහින් එමු මගේ හිත කියනවා. 

මේ එල්විස් ප්‍රෙස්ලි තවමත් ඒ ගී හඩට ඔවුන් වශී වෙලා 
මොන ජැකට් ද පැන්න එළියට , දිව්වා , අරගත්තා සිංදු තැටිය ., සීතලයි දැන් තමයි “සැපට “ දැනෙන්නෙ , පිච්චෙන සීතලක් . 

“ආ , මෙන්න ඕන කරන බඩුව “ තැටිය දිගු කළා පෝල් මහත්තය දිහාවට . 
ඒක අතට ගන්නව වෙනුවට මෙන්න මගේ මූණ දිහා බලගෙන , 
“මයික් ! කළ වැඩේ හොඳ නැහැ , අපිත් කොල්ලා කළේ ඔය වගේ වැඩ කළා, හැබැයි ඒක සෞඛ්‍යයට හොඳ නෑ , හදිස්සියක් නැහැනේ ජැකට් එක දාගෙන නේ එළියට යන්න තිබුණේ , “ 
“ආ .. ඒච්චර ගානක් නෑ “ ඇඟිලි පිච්චෙනව වගේ දැනුනත් එහෙමම කීව.
“ගානක් නෑ ! ආයේ යන්න එපා ඔය වගේ , මෙහේ ටොරොන්ටෝ නෙවි , සීතල වැඩියි , පරිස්සමින් “ ටික්ක තරහින් වගේ කීව්වත් ඒ ආදරය මුසු අවවාදයක් වග හැඟෙනවා . 
පෝල් මහත්තයා සිංදු තැටියත් අරංගියා , මම මගේ වැඩ පටන් ගත්තා , ටික වෙලාවක් ගියාට පස්සේ තමයි සැප නියමෙට දැනෙන්නේ , ඔළුවෙ කැක්කුමයි ඉවසන්න බැරි ගානට . මට ආයෙත් මතක් වුනා පෝල් මහත්තයාගේ කතාව  “ගානක් නෑ ! ආයේ යන්න එපා ඔය වගේ , මෙහේ ටොරොන්ටෝ නෙවි , සීතල වැඩියි , පරිස්සමින් “ 

ඔළුවේ කැක්කුමත් එක්ක මට මතක් වුනේ මෙන්න මේ වෙළඳ දැන්වීම , මතක විදියට 87 විතර ගිය වෙළඳ දැන්වීමක් . 

මේ දැන්වීමෙදි කියවෙන්නේ ඩිස්ප්‍රින් කියන වෙළඳ නාමය ඔස්සෙ අලෙවි වුනු වේදනානාශකයක් පිළීබඳව. මොනවද මේ ඩිස්ප්‍රින් වල අඩංගු ඖෂධය , ඒ ඇස්පිරින් . 
අද කතා කරන්න හදන්නෙ මෙන්න මේ ඇස්පිරින් පෙත්ත පිළීබඳව . පෙත්ත ගැන ලොකු ගැඹූරු කතාවක් නොවෙයි , වෛද්‍යනියමය විදියට ඇස්පිරින් දිගු කාළීනව ගන්නා අය දැන ගත යුතු කරුණූ කිහිපයක් ගැන.

ඇස්පිරින් වල වේදනානාශක ගුණයක් වගේම ලේ කැටි ගැසීම අඩු කරන හැකියාවකුත් තිබෙවා . මෙයින් වේදනානාශක හැකියාව සඳහා අද මේ ඖෂධය භාවිත නොවන තරම්. නමුත් දෙවන හැකියාව ඒ කීවේ ලේ කැටි ඇති වීම අඩු කරන හැකියාව නිසා , මෙන්න මේ අයට දිනපතා ඇස්පිරිස් මිලිග්‍රෑම් 75ක් ගන්න කියල වෛද්‍ය නිර්දේශය ලැබෙන්න පුළුවන් , කවුරුද ඒ අය ?
  1. හෘදය ආශ්‍රිත ශල්‍යකර්ම වලට භාජනය වූ අයට , 
  2. හෘද පේෂියට රැධීර සැපයිම අඩුවීම සිදුවූ Ischemic heart disease)  සහ ඒ ඔස්සෙ හෘදයාබාධයක අවදානම  ඇති අයට ,
  3. මීට පෙර හෘදයාබාධයක් ඇතිවූ අයට දෙවැනි වර ඇති වීම පාළනයට 
  4. හෘදය ක්‍රියාකාරීවයේ යම් විෂමතා ඇති අයට ( Atrial fibrilation වැනි ) 
  5. මීට පෙර Stroke  , එහෙම නැත්නම් ආඝාතය හෝ තාවකාළික ආඝාත තත්ත්වයක් ( මොළයේ ලේ කැටි හිරවීමක් ) සිදුවූ හෝ එම අවදානම ඇති අයට ,
  6. හෘදයාබාධයකට හෝ ආඝාත තත්ත්වයකට ඉහළ අවදානමක් ඇති අයට 
මේ කියාගෙන ගියේ පොඩි අදහසක් ගන්න විතරයි , මීට අමතරව තවත් සන්ධී ආශ්‍රිත ප්‍රදාහ තත්ත්ව වලදිත් වෙනත් අවස්ථා කිහිපයකදිත් වෛද්‍යවරයා දෛනික ඇස්පිරින් මාත්‍රාවක් නියම කරන්නට පුළුවන්.

කෙසේ වෙතත් මෙලෙස දිනපතා ඇස්පිරින් 75mg-81mg ගැනීම ඉහත කී අවදානම අඩු කරනවා වගේම සමහර පිළිකා වර්ග ඇති වීම අඩු කරන්නටත් දායක වන බව පර්යේෂකයන් පවසනවා.

නමුත් මේ හොඳ වගේම ඇස්පිරින් මඟින් සිදුවන අවදානම් කිහිපයකුත් තිබෙනවා , ප්‍රධානතම දෙයක් ආමාශය සහ අන්ත්‍ර ආශ්‍රිතව ඇති වන තුවාල , සමහර විට මේ තුවාල සහ ඒ ඔස්සෙ සිදුවන ලේ වහනයන් ( මොකද මේ වෙනකොට ලේ කැටි ගැසීමේ හැකියාවත්  අඩුයිනේ ) නිසා ඉතා අවදානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන් . 

මේ නිසා ඔබට ඇස්පිරින් ගන්නවා නම් , දිගින් දිගටම බඩ දැවිල්ල තිබෙනවා නම් මළපහ කරත්දි “කළු පැහැයට“ හුරු ලේ පිටවීමක් වෙනවා නම් , බලාගෙන ඉන්න එපා . ඉක්මණින්ම ගිහින් දොස්තර මහත්තයට ඒගැන දැනුම් දෙන්න . එවිට අදාල තත්ත්වයට ප්‍රතිකාරයක් වගේම අවශ්‍ය නම් මෙ ක්‍රියාවම කෙරෙන වෙනත් ඖෂධයකට මාරු කරගන්නත් පුළුවන් වේවි (Clopidogrel වැනි ඖෂධයකට).

මේ අවදානම අඩු කරගන්නට ඔබට කරන්න පුළුවන් දෙයක් මුලදිම ඔබේ වෛද්‍යවරයා පවසන්න ඇති , ඒ තමයි මේ බෙහෙත “කෑමට පස්සේ ගන්න “ කියල කියන එක . ඇස්පිරින් පෙත්තේ ක්‍රියාකාරීත්වය වඩාත් ඉහළට යන්නෙ රෑට ගත්තොත් කියන හඳුනාගැනීම නිසා වෛද්‍ය නිර්දේශය අනුව රෑට (හෝ නිර්දේශ කකරන ආකරය අනුව) කෑමෙන් පස්සෙ  , හොඳ වතුර කෝප්පයක් එක්ක මේ පෙත්ත ගන්න එක තමයි සුදුසුම . ඒ වගේම ගත්තට පස්සෙ අඩුම තරමේ පැය දෙකක්වත් යනතුරු ඔය බඩ දැවිල්ලට බොන , කන පෙති සුදුසු නැහැ . විශේෂයෙන්ම එන්ටරික් කෝටඩ් Enteric Coated කළ ඇස්පිරින් පෙති ගත්තට පස්සෙ . (පොඩ්ඩක් බලන්න ඔය බෙහෙත් පෙති කවරේ මුද්‍රණය කරල තියනවා එය Enteric coated ද කියන වග) 

අනෙක් වැදගත් දේ , ටිකක් සැළකිල්ලෙන් බලන්න , සමේ , දත් වලින් අසාමාන්‍ය විදියට ලේ පැල්ලම් ,මතු වෙලාද කියල . එහෙම නම් ඒකත් වෛද්‍යවරයාට දැනුම් දිය යුතු වෙනසක් .තව එකක් කණ ඇතුලෙන් අසාමාන්‍ය සද්ද බද්ද ඇහන්න පටන් ගත්තෝත් , අැහෙන එක අඩුවෙලා වගේ දැනෙනව නම් ඒකත් තව එකක්.

මේ ඇස්පිරින් ගනිත්දි ඇදුම වගේ හුස්ම ගැනීමේ අපහසුතා තියෙන අයට ඒ තත්ත්වය වැඩි වීමේ අවදානමක් තිබෙන නිසා , බෙහෙත් ගන්න ඉස්සර වෙලා දොස්තර මහත්තයාට කියන්න තමන්ට ඇදුම තත්ත්වය හැදෙන කෙනක් බව. ( මෙහෙම කීවේ අපේ රටේ අපට එක දොස්තර කෙනෙක් නෙවිනේ ඉන්නෙ , දවස ගානෙ එක එක වෛද්‍යවරයා ගාවට යන නිසා ඔවුන්ව දැනුවත් කරන්න තමන්ගෙ රෝග තත්ත්ව , ගන්න බෙහෙත් , වගේ සාධක ගැන  විශේෂයෙන්ම ඔබට වකුගඩු , අක්මාව ආශ්‍රිත රෝග තිබුණා නම් ඒව ගැන ඔබේ “අළුත්“ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඔබේ ආයු කාළය අඩුවීම වලක්වාවි) 

තවත් වැදගත් දෙයක් , ඔබ අධීරුධිර පීඩනය සහ හෘදය ආශ්‍රිත තත්ත්වයකින් පෙළෙනවා නම් , ඔබට ඇස්පිරින් නිර්දේශ කරල ඇති . ඒ වගේම  දිනපතා ඔබේ රැධීර පීඩනය මැනල ලකුණු කරල උපදෙස් දීල තිබෙන්නත් පුළුවන් . මෙන්න මේ වගේ අවස්ථාවක , ඔබේ රැධීර පීඩනය වෛද්‍යවරයා අපේක්ෂා කරන මට්ටමට පාළනය නොවී ඉහළ අගයක තිබෙනවා නම් , ඉහළ යනවා නම් , “කළබල නොවී  , නමුත් ප්‍රමාද නොවී “ ඒ බව වෛද්‍යවරයාට දැනුම් දීම ලොකු අවදානමක් මඟහරවා ගන්න වැදගත් . ඒ කීවේ අධීරුධීර පීඩනය ඉහළ මට්ටමක පවතින්දි ඇස්පිරිස් පෙත්තත් ගන්නවා නම් මොළයේ ලේ නහර බිඳීමක් ඔස්සේ Stroke එකක් අඝාතය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනව. අන්න ඒ අවදානම අඩු කර ගන්නයි මේ දැනුම් දීම කරන්නේ .

කෙසේ වෙතත් , මේ ඇස්පිරින් පෙත්ත කෝකටත් තෛලයක් වත් , දිර්ඝායු ලබා දෙන්නක්වත් නොවෙයි . විය හැකි අවදානමක් අඩු කරගන්නට කළක් තිස්සේ ගත්තත් , කිසිම  වෙලාවක වෛද්‍ය උපදෙසක් නැතිව හිතුමනාපෙට පෙත්ත ගන්න එක නතර කරන්න එපා. එය තිබෙනවාට වඩා ලොකු අවදානමක් ඇති කරගැනිමක් වෙන්නට පුළුවන් . ඒ නිසා ගන්න එක වගේම නතර කරන එකටත් සුදුසුකම් ගත වෛද්‍ය උපදෙසක් අවශ්‍යමයි . 


හරි අදට අැති කියල හිතෙනවා මොකද දැන් වෙලාවට උදේ 12:30 ලංකාවේ ඔබට නම් දවස් දොළහමාරට විතර . එහෙම නම් නැවත හමුවෙන තුරු සුව සතුට පතනවා , ඔළුවේ කැක්කුම අඩු නිසා දැන් නං සැපට නිදා ගන්න පුළුවන් වේවි වගේ .
( ආ කියන්න අමතක වුනා , ඔය මාතෘකාවේ “ආස පෙත්ත“ කීවේ මේ බෙහතෛ් සම්පුර්ණ නම Acetylsalicylic Acid ; ASA  “ආස“ නිසා) 

16 comments:

  1. මයිනස් වල ඇවිදං ආවට පස්සේ වැරදිලා කං පෙත්ත හරි නහය හරි තදින් අතගෑවොත් දවසටම ඒ සනීපය දැනෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒ නම් “කවර සැපක්ද “ . දැනෙන විදිියට ඒ සැප හොදට විඳල තියෙනව වගේ මගේ මිත්‍රයත් :D ස්තුතියි ඔබේ පැමිණීම වෙනුවෙන්

      Delete
  2. අපි කුඩා කාලයේ ඇස්පිරින් කාණ්ඩයේ පෙත්තක් තිබුනා කෝටාල් කියලා. ඒ පෙත්ත හොර මත්පැන් පැසවීම ඉක්මන් කිරීමට යොදාගන්නා බවට කතාවක් තිබුනා. මා හිතන්නේ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ වේදනා නාශක පෙති වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නොදැන සටි යමක් දැන ගන්නට ලැබුණේ ඔබේ කොමෙන්ටුවෙන් , කළකට පෙර ඉහළම තැනක තිබුණත් අද වෙනත් වේදනානාශක මඟින් ඒ තැන අත්කර ගනිමින් තිබුණත් , තවමත් “විශ්වාසවන්ත වේදනානාශකයක් “ ලෙසට ලොව පුරාම පිළිගන්නවා .
      ස්තුතියි ඔබට

      Delete
  3. ඉස්සර ඩ්‍රිස්ප්‍රීන් බහුලව දකින්න තිබුණත් දැන්නං කලාතුරකින් තමයි දකින්න හම්බවෙන්නෙ. ඕක ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ දතේ කැක්කුමට කැක්කුම තියෙන දත් කුහරෙන් තියන්න.

    අැස්ප්‍රීන් පෙති වතුරෙ දියකරන්නැතුව ගිලින්න එපැයි කියල තමයි ඒ දවස්වලනං අහල තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න ඇස්පිරින් දිය කරලා බොන්න කියන එක තමයි බහුලවම දෙන උපදෙස , නමුත් ඒ පෙත්ත එන්ටරික් කොටඩ් නම් කුඩුකරලා දියකරලා බොන එක සුදුසු මදි , මටත් මතකයි අපි පාසල් යනකාළෙ දත්කැක්කුමට ඇස්පිරින් හපාගෙන කට ඇඹුල් කරගෙන හිටි හැටි .
      ස්තුතිය ඔබට

      Delete
  4. මට ඇස්ප්‍රින් බිල අසාත්මිකතාවක් ආව පුංචි කලේ. ඊට පස්සේ ගණන් එපා කියල තියෙන්නේ. නමුත් කියවන හැම තහනම් කියන්නේ ඒක හොඳයි කියල. හරිම උභාතොටිකය.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් ආසාත්මිකතාවයක් ආවානම් , නැවත එම ඖෂධය හෝ එම රසායනිකය අඩංගු ඖෂධ ලබා නොදෙන එකයි පොදු ක්‍රමය. ඒ වගේම එක ඖෂධයකට අසාත්මිකතාවයක් දැක්වූවානම් වෙනත් ඖෂධවලදිත් සැළකිළිමත් වෙන එක වටිනවා. මොකද අසාත්මිකතාවය , සාමාන්‍ය කැසිල්ලක ඉඳළ , ශ්වාසනාලය අවහිරි කරන , හෘදය නතර කරන තත්ත්වයට පවා එන්න පුළුවන් අවදානම් දෙයක් නිසා.
      ස්තුතියි ඔබට !

      Delete
  5. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2383-2016-01-13-22-21-20

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර මේ බෙදා ගැනීම වෙනුවෙන්!

      Delete
  6. අැස්ප්‍රින් ජීවිත බේරන පෙත්තක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම , ඔබටත් වෘත්තිය අත්දැකීම් ඇති නොවැ , මේ පෙත්ත නිසා පණ ගැට ගහගත්තු රෝගීන් එක්ක වැඩ කරළා :D ස්තුතියි මේ පැත්තේ ආවාට

      Delete
  7. වැදගත් ලිපියක්. මේ පිලිබඳව දැනුවත් කිරීම ගැන සතුටු වෙමි. තව තවත් මෙවැනි ලිපි මගින් අපව දැනුවක් කරන්න උතසාහා කරණ්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රේමතිලක අයියා , ඔව් ලැබෙන විවේකයෙන් කොටසක් දැන් මේ වෙනුවෙන්ම තමයි කැප වෙන්නේ ‍, නැවතත් ස්තුතියි මේ පැත්තෙ පැමිණීම වෙනුවෙන් !

      Delete
  8. ඇස්ප්‍රින් මෙහෙ ගොඩක් මැදිවියේ අය පාවිච්චි කරනවා. ඔබ කිවූ පරිදි ලේවල ද්‍රාව්‍යතාව ,ගලාගෙන යාමේ හැකියාව වැඩිකරගැනීමේ අරමුනින්. මන් කලින් බලාගත්ත ලෙඩෙක්ට මන් ඇස්ප්‍රින් හැමදාම දෙන එක නතර කරලා දවස් දෙකකට වගේ සැරයක් දුන්නා.කාටවත් කීවේ නෑ. ඒකට හේතුව එයා නිතරම එයාගේ හම සූරගන්නවා.ලේ එනවා එතකොට ගොඩක්. හැබැයි ආච්චි පස්සේ මැරුනාස්ව්භාවිකව. මට කියන්න මන් කල දේ වැරදිද?.
    ඒ වගේම මගෙ යාලුවෙක් කිවුවා එයත් ඇස්ප්‍රින් ගන්න ඔනේ එයාට එයාගේ ඩොක්ටර් යාලුවෙක් කීවලු හොදයි කියලා. කිසි හේතුවක් නෑ එයාට වයස 53 යි. හැබැයි එයා බයයි හාර්ට් ඇටෑක් ගැන

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවේ “හරි වැරිද්ද“ කියන්න නීතිමය වගකීමක් මට නැතත් , ඇස්පිරින් වලින් මූලිකව සිදුවන්නේ “ලේ කැටියක්“ ඇතිවීමේ හැකියාව අඩු කරන එක බවනම් කියන්නටම ඕන . ඒ නිසා තමයි ඒ සූරාගැනීම් වලදි ලේ අධිකව වහනය වන්නට ඇත්තෙ . කෙසේ වෙතත් , ඇස්පිරින් , වෝෆරින් වැනි ලේ කැටි ගැසීම අඩුකරවන ඖෂධ කාළීනව ගන්නා රෝගියෙක්ගෙ අසාමාන්‍ය රැධීර වහනයන් ඇත්නම් ඒ පිළිබඳව ඉක්මන් සහ නිසි පරික්ෂණ ( උදා PT/INR) කරමින් මාත්‍රාවන් නැවත සැකසිය යුතුමයි . ඒ වගේම නියපොතු , හෝ ආභරණ මඟින් , නැතහොත් වෙනත් බාහිර සාධක මඟින් තුවාල , අධීක තෙරපීම් ඇතිවිය හැකි අවස්ථාවන් අවම කරන්නට උත්සාහ ගත යුතු වෙනවා . උදාහරණ විදියට , නිය කෙටි කර කපා තැබීම , කතුරු පිහි වැනි උපකරණ භාවිත කරන්නට ඇකි අවස්ථාවන් සීමා කරදීම , වැටීමට ඇති අවදානම් අඩු කිරීම වගේ ලොකු වැඩ කොටසක් “ආරක්ෂෘවට කළ යුතු වෙනවාමයි .
      ( ඔව් ඔය ඇස්පිරින් ගැනීම ගැන විවිධ මත තිබෙනවා නමුත් දැනගතයුුතුම දේ මෙය කෝකටත් තෛලයක් නොවන වගමයි)
      ස්තුතියි ඔමා ඔබේ අත්දැකීමත් මෙයට එකතු කළාට .

      Delete

(අදහස් දැක්වීමට කිසිදු බාධාවක් නැති වුවත් , සතියකට වඩා පැරණී ලිපි වලට අදහස් දැක්වීමේදී එය පිටුවෙහි පළ වීමට සහ පිළිතුරු ලබා දීමට ප්‍රමාදයක් විය හැක.)