දිවා විවේකය අතරේ හිතුන පොඩ්ඩක් තැපැල් කන්තෝරුව පැත්තට ගොඩ වැදිලා එන්න. (ලංකාවෙදි ගෙදරටම ගෙනත් ලියුම් දුන්නට මේරට වල ඒ උදව්ව නැහැ . ලියුම් එන්නෙ අපේ තැපැල් පෙට්ටියට නිසා එතැනට ගිහින් අපේ ලියුම් , පාර්සල් ගන්නට ඕන.) සීත සෘතුවට උණුසුම් කබාය අත්‍යවශ්‍ය අංගයක් වුනත් අද නම් මොන කබාද ? “චිරි චිරි“ ගාන හිම මඩ (Slush) උඩින් රෝද යන්නෙ පුංචි කාළේ මඩ වගුරු වල නටපු හැටි මතක් කරමින් .
![]() |
පරිස්සම් කරගත යුතු පෙට්ටිය |
හැමදාමත් වගේ පත්තර , වෙළඳ දැන්වීම් , නිකං දෙන ක්‍රෙඩිට් කාඩ් , නිකං දෙන ෆෝන් ගැන දැන්වීම් ඔක්කොම ඇදල ඉවර ලියුම් ටිකත් සාක්කුවේ දාගෙන නැවත රාජකාරියට යන අතරේ මතක් වුනේ තවමත් මම Stroke ගැන පෝස්ට් එකක් ලීවෙ නැහැ නේද කියන එක. (මේ වෙන කොට TIA සහ Hernia ගැන ලියන්නට ඉල්ලීම් ලැබිල තිබුණත් “මාගලක් “ එන්නට තරම් විවේකය මද නිසා තවමත් එය පමා වෙනවා.) ඒ නිසා රෝයීගේ සිදුවීමත් එක්ක Stroke ගැන පොඩි කතාවක් ලියන්නට හිතුනා. විශේෂයෙන්ම දරුවන්ට ඇති වන Stroke තත්ත්වයන් ගැන .
හැංගුන දේ ...වටිනම දේ ?
ඔබෙන් ඇහැව්වොත් , වැදගත්ම අවයවය මොකක්ද ? කියලා විවධ උත්තර ලැබෙන්න පුළුවන් . නමුත් “හෘදය සහ මොළය“ ඒ අතරෙ ඉහළම තැනක ඉඳීවි . ඒ මොකද අනෙක් සියළු අවයව , ඉන්ද්‍රිය වලට ජීවත් වන්නට අවශ්‍ය කෑම බීම යොමු කරන කෙනා හෘදය , එහෙම ජීවත් වන අවයව , ඉන්ද්‍රියයන්ට තමන්ගේ රාජකාරි කරගෙන යන්නට උපදෙස් දෙන්නා මොළය. ඒ නිසාම මේ අවයව දෙක හරිම කඩිසරයි , ඒ කඩිසර බව නිසාම මේ දෙන්නගේ සෛල මිය ගියොත් නැවත පණ ගන්වන්නට බැහැ , ඒ වගේම මිය ගිය සෛල වෙනුවට අළුත් සෛල ඇවිත් අඩුපාඩුව පුරවන්නෙත් නැහැ . අන්න ඒ නිසා හෘදය සහ මොළයේ සෛල පරිස්සම් කරගන්න එක හරිම වැදගත් .නමුත් අද ලියන්න යන මාතෘකාවට අදාලව වැඩි පුර කතා කරන්නෙ මොළයේ සෛල ගැන විතරයි .
නමුත් කොහොමද මේ සෛල මිය යන්නේ ? ස්වභාවිකව නම් වියපත් වීමත් එක්ක ක්‍රමයෙක් මොළයේ සෛලත් වියපත් වෙමින් , වෙනස්වීම් වලට භාජනය වෙන්නට පුළුවන් , මිය යන්නත් පුළුවන් . කෙනෙක් වියපත් වෙත්දි එන “කල්පනාව අඩුවීම “ , “ නිතර සිදුවන අමතක වීම්“ , වගේම ඇල්සයිමර් , ඩිමෙන්ෂීයා වගේ තත්ත්ව ඇති වන්නේ මේ වියපත් වීමත් එක්ක සිදුවන මොළයේ සෛල වෙනස් වීම් සහ මිය යාම් නිසාවෙන්. නමුත් එසේ නොවී අනපේකෂිත ලෙස මොළයේ සෛල මිය යන්නට පුළුවන් අවස්ථා තිබෙනවා , ඒ හිසට සිදුවන දැඩි අනතුරක් , අනාරක්ෂීතව භාවිත කරන සමහර රසායනික ද්‍රව්‍ය නිසා ඊටත් වඩා ප්‍රධාන දේ , මොළයේ කොටස් වලට ලේ අරගෙන එන නාල වල ලේ කැටිති හිරවීම නිසා හෝ එම නාල පුපුරායාම නිසා එහෙමත් නැත්නම් ජලයේ ගිලීම , පෙනහළු අක්‍රිය වීම වගේ හේතුවක් නිසා “හුස්ම ගන්න බැරි වීමෙන්“ , නිරහාරව සීටීමෙන් සෛල මැරී යන අවස්ථාව. මොන තරම් “චන්ඩිකම් “ කළත් මොළයෙ සෛල වලට කෑම බීම (විශේෂයෙන්ම ඔක්සිජන් ) නැතිව විනාඩි 3කට වඩා ඉන්න බැහැ . පළමු විනාඩි තුන තුල යන්තම් පණ ගැට ගහ ගත්තත් , ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් මොළයේ සෛල නැවත පණ ගන්නට බැරි විදියට මියැදෙන්නට පටන් ගන්නවා. මේ “මියැදීමත්“ එක්කම , එම කොටසින් පාලනය වන අවයව , ඉන්ද්‍රියයන් , නැත්නම් අත පය දුර්වල වෙමින් අක්‍රිය වන්නට පටන් ගන්නවා . මෙන්න මේ අවස්ථාවට තමයි අපි කියන්නෙ අංශභාගේ හැදිල කියල .
මේ කී කාරණා අතරින් , මොළයෙ සෛල වලට ලේ ගේන නාල , රැධීර කැටියකින් හරි වෙනත් යමකින් හරි හිරවෙලා (Ischemic Stroke) එහෙම නැත්නම් පාලනය නොකළ අධීරුධීර පීඩනය හෝ Cerebral Aneurysm වැනි අවස්ථා වල සිදුවන වාහිනී වල පිපිරීමක් නිසා (Hemorrhagic Stroke) , මොළයෙ යම් ප්‍රදේශයකට ඔක්සිජන් සැපයුම නැතිවීමත් සමඟ ඇති වන තත්ත්වයට තමයි Cerebral Stroke කියන්නේ . ඒ Stroke එකෙ ප්‍රතිපලය තමයි අංශභාගය විදියට අපි දකින්නේ . මේ තරම්ම දරුණූ නොවුනත් , ලොකු අවදානමක් ගැන සංඥාවක් දෙන Transient Ischemic Attack (TIA) ඇති වන්නේ මොළයේ ලේ නහරයක් තාවකාළිකව අවහිරවීමක් නිසාවෙන් . එය Stroke එකක් තරම්ම දරුණූ අංශභාග තත්ත්වයක් ඇති නොකළත් , ඉදිරියේ ඇති විය හැකි එවන් අවදානමක් ගැන පෙර හැඟවීමක් .
දැන් මේ ලිපිය කියවන කෙනෙක් හිතන්න පුළුවන් “අපෝ ඔය වයසට ගියාම හැදෙන ලෙඩක් නේ , දැන්ම මොකටද ඕන ගැන හොයලා “ කියල , නමුත් Stroke තත්ත්වය
- උපදින්න ඉන්න දරුවන්ට සහ උපතින් මාසයක් අතරේ දරුවන්ට
- වයස මාස එකේ ඉඳළ අවුරුදු දහ අටේ විතර යෞව්වනයන් දක්වා
- එතැන් සිට ඕනම වයසක අයෙක්ට
ඔබ දැන් ඇස් ලොකු කරගනිවි , උපදින්න ඉන්න බබාලටත් Stroke ?
ඔව් , උපදින්න ඉන්න බබාලට වගේම ඉපදිලා මාසයක් අතරේ ඉන්න බබාලටත් මෙන්න මේ අවදානම් සාධක ඇත්නම් මෙවන් ස්ට්‍රෝක් එකක් එන්න ඉඩක් නැතිව නොවෙයි .
![]() |
පිංතූරය ගත්තෙ www.supportourribbons.com |
- දරුව ගර්භාෂයේ ඉන්න කාළයේ , මව සහ දරුවා සම්බන්ධ කරන Placenta (වැදෑමහ) ආශ්‍රිත ගැටළු රෝග තත්ත්ව තිබෙනවා නම් දරුවට යම් අවදානමක් තිබෙනවා .
- දරු ප්‍රසවයේදී දරුවාට ලැබෙන ඔක්සිජන ප්‍රමාණය අඩුවන යම් සිදුවීමක් වුනා නම්
- දරුවාගේ ලේ ආශ්‍රිත හෝ , ලේ කැටිගැසීම ආශ්‍රිත රෝග තත්ත්වයක් පවතී නම් එයත් අවදානමක්
- ඒ වගේම මේ පුංචි පැටියගෙ හෘදය ආශ්‍රිත රෝග තත්ත්වයක් පවතී නම් , මෙවන් දරුවන් පිළිබදවත් අවදානයෙන් ඉන්න එකවටිනවා.
- ඒ වගේම දරු පැටියට මොළය ආශ්‍රිත අසාදන තත්ත්වයක් , (මෙනින්ජයිටිස් , එන්කෙෆලයිටිස්) ඇත්නම් එයත් Stroke එකක් සඳහා අවදානමක් ,
මේ වගේ වයසක (Neonatal) ඉන්න පැටියෙක්ට Stroke එකක් ආවොත් මොනවද පෙන්වන ලක්ෂණ ?
උපත ලද ගමන් හෝ , මුල් මාස කිහිපයේ ඉන්න දරුවෙක්ට නම්
උපත ලද ගමන් හෝ , මුල් මාස කිහිපයේ ඉන්න දරුවෙක්ට නම්
- අපස්මාරෙය්දී වගේ අසාමාන්‍ය ගැස්මක් , (මේ අවස්ථාව උපතින් පැය කිහිපයකදි වුනත් ඇති වන්නට පුළුවන්)
- එහෙම නැත්නම් , මුහුණේ , අතක පයක වරින් වර ඇතිවන තිගැස්සීමක්
- දරුවාට මාස කිහිපයක් වන අවස්ථාවේ නම් , අම්මගේ මුහුණ , නැත්නම් පියයුර ස්ඵර්ශ කරන්න අත් ඔසවත්දි , එක පැත්තක් පමණක්ම එසවෙන අතරේ අනෙක් පැත්ත එතරම් ප්‍රාණවත් නැති බවක් දක්වන්ට පුළුවන්. (මොළයේ අනතුරු සිදුවූ පැත්තට විරුදධ පැත්තෙ තමයි මේ වෙනස දකින්නට පුළුවන්)
- හුස්ම ගන්න රටාව බිඳිමින් , ටික වෙලාවක් හුස්ම නොගෙන සිටීම
ලොකු දරුවන්ටත් Stroke එන්න පුළුවන් ද ?
දැන් අපි පොඩ්ඩක් කතා කරමු මීට වඩා ටිකක් ලොකු දරුවෙක් ගැන , ( මාසයත් අවුරුදු 18ත් අතරේ දරුවන් කාණ්ඩය පිළිබඳව )
මේ අය සඳහා වන අවදානම් සාධක ටිකක් වෙනස් ,
- හෘදය හා රැධීර වාහිනී ආශ්‍රිත රෝග ඇත්නම්
- මොළයේ ආසාදනයක් පැවතීම
- ලේ ආශ්‍රිත රෝග ( සික්ල්සෙල් වැනි)
- හිසට සිදුවන අනතුරු ( මෙහිදි මොළයේ ලේ නාල වලට වන අනතුරු තමයි ප්‍රාධානම හේතුව)
- කට සහ මුහුණේ එක පැත්තක් ටිකක් ඇද වෙලා තිබීම , විශේෂයෙන් දරුව හිනාවෙත්දි කට පැත්තට යන අතරේ ඒ පැත්තෙ ඇහැත් අනෙක් පැත්තට වඩා පහලට බර වෙලා වගේ පේන්න පුළුවන් (Face drooping)
- එක පැත්තක අතක් , නැත්නම් කකුළක් අප්‍රාණික බව පෙන්වාවි , ඇවිදිනවා නම් ඇවිද ගන්න බැරිව වැටෙන්න වගේම , එක කකුළක් අදිමින් ඇවිදින්නත් පුළුවන් . වෙනද අත්දෙකෙන්ම කිරි බෝතලේ අල්ලන දරුවට දැන් එක අතක් පණ නැති නිසා එය කරගන්න බැරි වග පේන්නත් පුළුවන් Arm weakness
- කතා කරන වයසේ දරුවෙක් නම් වෙනදට වඩා කතාව , ශබ්ද පිට වීම වෙනස් වෙන්න පුළුවන් , Speech difficulty
- හොඳට ඇවිදිමින් හිටි දරුවෙක් දැන් ඇවිදිත්දි අසාමාන්‍ය ලෙස පැද්දීමක් එක්ක වැටෙන්න පටන් නම් සහ දිගින් දිගටම මේ ලක්ෂණය පෙන්නවා නම් නොසලකා නොහැරිය යුතු දෙයක්
- කෑම ගන්නා වයසේ දරුවෙක් , ඒ වගේම හොදින් සාමාන්‍ය ලෙස ආහාර ගනිමින් සිටි දරුවෙක් , දිගින් දිගටම කෑම හිර කරගන්නවා නම් , කෑම ගිලින්නට ආසාමාන්‍ය වෙහෙසක් දරනවා නම්
- පාසල් යන වයසේ දරුවෙක් , දිගින් දිගටම තීව්‍ර හිසරුදාවක් , ඇස් වල පෙනීමේ වෙනසක් , මෙතෙක් නොපැවති අසාමාන්‍ය ගැස්මක් ( අපස්මාරය වැනි) , මේ එක්කම වමනය සමඟ නිදිබර බවක් පෙන්වනවා නම්
FAST කියල මතක තියා ගන්න පුළුවන් Face, Arm,Speech , Time ( මේ කියන්නේ මුල් ලක්ෂණ තුන දැක්ක නම් time නාස්ති නොකර ඉක්මණට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න කියන එක)
මේ අවදානම් සාධක , රෝග ලක්ෂණ පිළිබඳව මව් පියන් (වගේම දරුවනුත්) දැන ගැනීම වැදගත් වන්නෙ , අවස්ථාවක “ඉක්මණින්“ ප්‍රතිකාර වෙත යොමු කර හැකිවීම . මක්නිසාද , Stroke එකක් ඇතිවීම සහ නිසි ප්‍රතිකාරය අතර කාළය වැඩිවන තරමට දරුවාට වන ගැටළු , අනතුර වැඩියි . මුලින් කීව වගේ මොළයේ සෛල වලට ඔක්සිජන් තැනිව ඉන්න පුළුවන් විනාඩි තුනයි , ඊට වඩා ගත වෙන හැම තත්ත්පරයකම සිදුවන්නේ මොළයෙ සෛල ක්‍රමයෙන් මරණයට පත්වීම , මේ “සෛල මරණය“ නිසාමයි දරුවට ඉදිරි ගැටළු රැසකට මුහුණ දෙන්නට වෙන්නේ.
මොනවද මේ ගැටළු ?
- අංශභාගය වැනි තත්ත්වයක් නිසාවෙන් චලනයන් , ඇවිදීම , අත්පා නිසි ලෙස ක්‍රියාකරගන්නට බැරි වීම නිසා ඉදිරි ජීවිත කාළයම යම් අපහසුතාවලට ලක්වීම
- මොළයේ සෛල විනාශයත් සමඟ මතකය , ස්මරණය වැනි හැකියාවන් අඩු වීමේ අවදානම නිසාවන් දරුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට යම් බාධා ඇති වීමට ඇති ඉඩ
- කථනයට අදාල පේශි , දිව තොල් , නිසි ලෙස හසුරුවන්නට අපහසුවීම නිසා භාෂාව සහ කථනය සම්බන්ධ ගැටළු ඇතිවීම
- පෙනීම ආශ්‍රිතව ඇති වන ගැටළු නිසා පාසල් කටයුතු වලදී මුහුණ දෙන ප්‍රශ්න
- මෙවන් දරුවන් තුල ඇති විය හැකි විවිධ චර්යාත්මක ගැටළු නිසාවෙන් අධ්‍යාපන සහ සමාජයීය කටයුතු වලදි අපහසුතාවට ලක්වීමේ ඉඩ.
- ඉතාම දරුණූ අවස්ථාවකදි මරණය වුනත්
![]() |
T කියන තැනට “කාළෙ කන්න එපා කියල දාගන්න“ |
දරුවන් සිටින ඔබ , ඔබෙ දරුවා මෙවන් අවදානම් සාධක සහිත අයෙක් ලෙස වෛද්‍යවරයා හඳුන්වා දුන්නෙ නම් එම අවදානම් සාධක පිළිබඳව සහ Stroke එකකදි ඇතිවන ලක්ෂණ පිළිබඳවත් ( විශේෂයෙන්ම FAST පිළිබඳව) , එවන් අවස්ථාවක ඉක්මණින්ම කළ යුතු වෛද්‍ය ප්‍රතිකාරයට යොමු කීරීමේ වැදගත් කමත් දැන සිටීමත් ඉතා වැදගත් . මෙතැනදි වෛද්‍ය ප්‍රතිකාර කියන්නෙ නිකම් අත්බෙහෙත් , හෝ බලි තොවිල් නොවෙයි ( ඒවා ගැළපෙන අවස්ථා තිබුණත් මේ රෝගයේදි නම් ඒ සඳහා කල් පහු කරන්න එපා) . ඉක්මණීන්ම පහසුකම් සහිත රෝහලකට යන්න . පහසුකම් ඇත්නම් ගිලන් රථයක් සහ වෛද්‍ය කණ්ඩායමක් , ගෙන්වා ගන්න . එයයි කළ යුතු .මෙතැනදි නම් ඉක්මණ කොට වෙන්නෙ නැහැ. නැවතත් මතක තබා ගත යුතු දේ ප්‍රතිකාර නැතිව ගත වෙන හැම තත්ත්පරයක්ම , දරුවගේ අනාගතයේ සුබ සිහින බොඳ කරන්නට ඉඩ ඇති බව .
ඉක්මණින්ම දරුවා රෝහලකට යොමු කෙරුනොත් , සාමාන්‍ය දේහ පරික්ෂාවක් ඔස්සේ තත්ත්වය පිළිබඳ දළ ඇගැයීමක් ලබා ගන්නා වෛද්‍යවරයා , රැධීර පරික්ෂණ සහ CT හෝ MRI පරික්ෂණයක් මඟින් සිදුවූ අනතුර පිළිබඳ නිසි ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගන්න අතරේ සිදුවූ අනතුරේ ස්වභාවයට අනුව , ලේ නහරයක් අවහිර වෙලා නම් ඒ අවහිරය ඉවත් කරන්නට , ලේ කැටිය දිය කර හරින්නට හෝ , ලේ නහරයක් බිඳිලා නම් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා සමඟින් එම බිඳුනු ලේ නහර අළුත්වැඩියා කර ආපදාව අවම කරන්නටත් කටයුතු කරාවි .
මේ කියු සහ නොකියු පරික්ෂණ , ප්‍රතිකාර සියල්ලම නිසි ලෙස කරගන්නට පුළුවන් වුනොත් අද තිබෙන ඉතා සුක්ෂම ප්‍රතිකාර ක්‍රම ( මොළයේ ලේ නහර බයිපාස් කිරීම , එම නහර තුලට කම්බි කොයිල් වැනි Stent ඇතුළු කර නහර පළල් කර දීම , ලේ කැටිත්ත කපා ඉවත් කිරීම හෝ දිය කර හැරීම ) මඟින් සෑහෙන හොඳ ප්‍රතිපල සහිතව රෝහලෙන් පිටවන්නට දරුවට අවස්ථාව ලැබේවි. නමුත් ප්‍රතිකාරය සඳහා සිදුවන “කල් මැරීම“ නිසා සිදුවන හානිය නම් පුරවන්නට මේ ප්‍රතිකාර වලට බැහැ .
කෙසේ වෙතත්, සියළු ප්‍රතිකාර අවසානයේ දරුවාට තවත් සෞඛ්‍ය වෘත්තිකයන් ගණනාවකගේ සහය ලබන්නට සිදුවේවි . ඒ අතරේ භෞත චිකිත්සක , වෘත්තීය චිකිත්සක , භාෂණ චිකිත්සක , ළමා මනෝ වෛද්‍ය විශේඥවරු , වගේම අධ්‍යාපන මනෝ වෛද්‍යවරුත් ඉන්නට පුළුවන් . මේ සියල්ලම නිසි කළට වෙලාවට නිසි අයුරින් සිදු වුනොත් , ටික කළකට පස්සෙ දරුවා නැවතත් සිටි තත්ත්වයට ආසන්නට මට්ටමකට පත්කරගන්නට පුළුවන් . නමුත් මේ සියල්ල රඳා පවතින්නෙ මෙන්න මේ ප්‍රධාන සාධක මත
- දරුවගේ තත්ත්වය ( වයස , වෙනත් රෝග තත්ත්ව , වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව)
- අනතුරේ ස්වභාවය ( ලේ කැටියක් හිර වීමක්ද නැත්නම් නහරයක් පිපිරීමද කියන එක , ධමනියක [මොළයට ලේ ගේන නහරයක ] වූ ගැටළුවක්ද නැත්නම් ශීරාවක [මොළයෙන් ලේ හදවත දෙසට ගෙන යන නහරයකද] කියන කරුණු)
- අනතුර සිදුවන අවස්ථාව ( දරුවා ගර්භාෂයේ සිටීත්දී හෝ බිහිවන අතරතුරද , නැත්නම් දරුවා බිහිවුනාට පසුවද කියන දේ)
- මුල් ලක්ෂණ මතු වීම සහ ප්‍රතිකාරය ආරම්භවීම අතර ගත වූ කාළය
එහෙම නම් අද “මාගලක් “ එලුව වගේ තමා , මොනවා කරන්නද ? මේ වගේ දෙයක් ගැන උඩින් පල්ලෙන් කියන එක නොකිය ඉන්නවට වඩා අනතුරක් . ඒ නිසා සියල්ල හැකි සහ දැන ගත යුතු තරමට විස්තර කර කර ලියත්දි , පැදුරත් මාගලක් වෙනවා .
ඒ වගේම හැම ලිපියකම පොඩි ආරම්භක කතාවක් ලියන්නේ හේතු දෙකකට , එකක් එහෙම “පැණි ටිකක්“ දැවටුවෙ නැත්නම් ලෙඩ ගැනම කතා කරන මේ “කසාය “ ගන්නේ නැතිව ඉන්න පුළුවන් නිසා . අනෙක් ඔය රට එන්න උත්සාහ කරන අයට මේ රට වල පැවැත්ම , ක්‍රමය , පරිසරය ගැන පුංචි හරි වැටහීමකුත් ඉන් ලබන්නට පුළුවන් කියල මට හිතෙනවා . මොකද අප මේ රටට එත්දි මේ බොහෝ දේ දැන උන්නේ නැහැ . දැන ගෙන ආවොත් ඇති වෙන්නට පුළුවන් Cultural shock එක ටිකක් හරි අඩුවේවි නේ .
ස්තුතියි ඔබට !
ඔබේ අදහස් , යෝජනා චෝදනා මට හුඟක් වැදගත් . ඒ ඒ වගේම මේ ලිපි ඔබට යම් දැනුමක් , නැත්නම් අඩුම තරමේ මේ තත්ත්ව ගැන සොයන්නට පෙළඹවීමක් දෙනවා නම් , සොඳුරු සුව අසපුව පිළිබඳ තව අයෙක් දැනුවත් කරන එක සමහර විටෙක උපකාරයක් වෙන්නත් පුළුවන් . ඒ සඳහා මුහුණු පොත ඔස්සෙ ඔබෙ මිතුරන් “සොඳුරු සුව අසපුව පිටුව“ වෙතට එක් කරන්නට ඔබට දැන් පුළුවන් . මේ ඒ සඳහා මග https://www.facebook.com/groups/sonduru/
නැත්නම් https://www.facebook.com/nursinglk/ ඔස්සේ එන්නත් පුළුවන්.
සිංහල බ්ලොග් පිටු අතරේ
මේ පිටුවට අකුරක් කළත් පවතින කාළවේලාවේ අගහිඟකම නිසාම අනෙක් මිතුරු සිංහල බ්ලොග් පිටු වෙත පැමිණෙන්නට , අදහස් දක්වන්නට ලැබෙන්නේ ඉතාමත් සීමිත අවස්ථාවක් . එය මගෙන් ඉටු විය යුතු , යුතුකමක් පැහැර හැරීමක් ලෙස දැනෙන බව ඔබට කියන්නටම ඕන , ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින අතරෙම හැමවිටම උත්සාහ ගන්නවා එම යුතුකම යම් තරමකින් හෝ ඉටු කරන්නට .සති අන්තය ඒ වෙනුවෙන් වෙන් කරන්නටයි උත්සාහය. ඒ නිසා සති අන්තය තුල අළුත් ලිපි සොඳුරු සුව අසපුවට එක් නොවන්නෙ .
එසේ නම් නැවත හමුවන තුරු ඔබ සැමට සුව සතුට පිරි දිනයක් පතමි
මේ Cultural shock එක ගැන කතාව http://www.nursinglk.com/2012/05/96.html
මොළයේ ලේ නහර වල ඇති වන Aneurysm ගැන ලිපිය http://www.nursinglk.com/2013/06/135.html
වැදෑමහ ආශ්‍රිතව ඇතිවන ගැටළුවක් පිළිබඳ ලිපිය http://www.nursinglk.com/2014/03/154.html
කැනඩාවට හරි විදියට එන මග ගැන සිංහලෙන්ම දැන ගන්න ඕන නම් http://sincanada.blogspot.ca/
හෑ..... ආරෝග්‍යා පරමා ලාභා කියල තියෙන්නෙ නිකන් යැ..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි මිතුර ඔබේ දිරි ගැන්වීමට !
Deleteවටිනා ලිපියක්................... හැකි වෙලාවට අනික්වාගේ පැත්තේ යන්න... හැමදෙනාම කාර්යබහුලයි තමයි.... මොනවා වුණත් දිගට ම ලිවීම වැදගත්.... ජය
ReplyDeleteස්තුතියි ඔබට , ඔව් සති අන්තයේ නම් හැකි තරම් සිංහල බ්ලොග් වෙත යැවෙනවා , අදහස් දක්වනවා ( මගේ පුද්ගලික ප්‍රොෆයිලයෙන්) නමුත් එය ප්‍රමාණවත් නැති තරම් කියල හැඟෙනවා . ස්තුතියි ඔබට නැවතත් මිතුර!
Deleteවිනාඩි තුනක් කියන්නෙ ජීවිතේ කණපිට පෙරළෙන්න පුලුවං කාලයක් බලාගෙන යනකොට.
ReplyDeleteවටිනා ලිපියක්.
ස්තුතියි මිතුර , ඔබේ පැමිණීම සතුටක් !
Deleteබොහොම වටිනා ලිපියක්...
ReplyDeleteමේ වගේ අපි නොදන්නා කරුණු ගැන අපිව දැනුවත් කරන්න කාලය වය කිරීම බොහොම අගය කොට සලකනවා...
-------
පොඩි ඉල්ලීමක් තියෙනවා...
පිත්තාශයේ ගල් ඇතිවීම...
===============
--මීට අවුරුදු කීපයකට කලින් මගේ පිත්තාශයේ ගලක් ඇතිවෙලා සැත්කමකින් ඉවත් කළා..
ඒ දොස්තරවරු කිව්වේ මගේ ලේ වල කැල්සියම් අනුපාතය ටිකක් විතර වැඩි නිසා ශරීරයේ ඕනෑම තැනක මේ විදියට කැල්සියම් එකතුවෙලා ගල් විදියට හැදෙන්න පුළුවන් කියලා...
ඔබට පුලුවන් නම් මෙන්න මේ ගැටලුව ගැනත් ලිපියක් ලියන්න...
ස්තුතියි ඔබට ඔබේ දිරිගන්වන සුළු වදන් වලට .
Deleteපිත් ගල් ගැන නම් 86 වල ලිපියෙදි “ගාල්ලෙ රතු ගල“ ලිපියෙදි ලිව්වා මතකයි . ඔබ කියන හේතුවූ සාධකය වන හයිපර් කැල්සිමියාව ගැන ඉදිරි ලිපියකදි කතාවක් කියන්නම් :D . ස්තුතියි ලියන්නට තවත් මාතෘකාවක් ලබා දුන්නාට